අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 144

 

දෙව්ලොවෙහි ධර්ම කථික සනඞ්කුමාර බ්‍රහ්මරාජයා

මිට පෙර ලිපියෙහි සුධම්ම සභාවට දෙවිවරු රැස්වෙන කාරණා හතරක් කිවා. එයින් එකක් තමයි ධර්මශ්‍රවණය. මෙතැන් සිට ඔබ හට කියවන්නට ලැබෙන්නේ දෙව්ලොව එලෙස ධර්මය දේශණා කරනු ලබන ප්‍රධාන ධර්මකථිකයන් අතර අග්‍රස්ථාන වන සනඞ්කුමාර බ්‍රහ්මරාජයා පිළිබඳව.

දෙව්ලොව දෙවිවරුත් අපවගේම සතර පෝයට සිල්ගන්නවා. එවැනි අවස්ථාවල ඔවුන් සුධම්ම සභාව වෙත පැමිණෙන්නේ ධර්මශ්‍රවණය සඳහා. එය හරිම අසිරිමත් අවස්ථාවක්. මිට පෙර කී පරිදී එවැනි අවස්ථාවල එම ශාලාව අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවිවරුන්ගෙන් පිරියනවා. සාමාන්‍ය දෙවිකෙනෙකුගෙන් අවම වශයෙන් ගව් දොළහක්වත් ආලෝකය විහිදෙනවා කියනවා. පුණ්‍යමය ශක්තිය වැඩි මහේශාක්‍ය දෙවිවරුන්ගෙන් ආලෝකය ගව් සියයක් දක්වාත් විහිදෙනවා. ඒ වර්ණ අපි දන්නා වර්ණ නෙවෙයි. ඒව වර්ණ වලින් අපේ ඇසට හසුවෙන්නෙත් බොහෝ සුළු ප්‍රමාණයක්. එවැනි දෙවිවරු රැස්වූ ඒ ශාලාවෙන් කොතරම් දුරට රශ්මිධාරා විහිදෙන්න ඇතිද කියා දැන් ඔබට හිතේවි. එහෙත් ඒ රශ්මිධාරාත් පරදවන මොහොතක් එනවා. ඒ තමයි සනඞ්කුමාර බ්‍රහ්මරාජයා දම්සභාවට වඩින අවස්ථාව

දෙවියන්ගේ දිව්‍ය ප්‍රභාස්වරය මැඩළන සනඞ්කුමාර බ්‍රහ්මරාජයාගේ ආලෝකය

යම් කලෙක්හි සනඞ්කුමාර බ්‍රහ්මරාජයා තව්තිසා දිව්‍ය ලෝකයෙහි පහළ වන්නේද, එකල්හි මහත් ශරීරයක් මවාගෙනයි පහළ වෙන්නේ. ඊට හේතුවන්නේ බඹහුගේ යම් ඒ ප්‍රකෘති ශරීරයක් වේද, එය තව්තිසා වැසි දෙවියන්ගේ ඇස්වලින් දක්නට නොහැකි වීමයි. ඒ විතරක් නෙවෙයි ඔහුගේ යම් ප්‍රකෘති වර්ණයක් වේද එයත් තව්තිසා වැසි දෙවියන්ගේ ඇස්වලින් දක්නට නොහැකි වීමයි. ඒනිසා සනඞ්කුමාර බ්‍රහ්මතෙමේ තව්තිසා වැසි දෙවියන් අතර පහළවේද, ඒ බ්‍රහ්මතෙමේ අන් දෙවියන් තමාගේ ශරීරයේ පාටින්ද යසසින්ද මැඩපවත්වා ඊට වැඩි ආලෝකයකින් වර්ණයකින් බබලමින් තමයි පහලවෙන්නේ. හරියටම රත්රන් රූපය යම්සේ මනුෂ්‍ය රූපය ඉක්මවා වැඩියක් බබලාද, එපරිද්දෙන්ම යම් කලෙක සනත් කුමාර බ්‍රහ්මතෙමේද ශරීර පාටෙන් යසසින් අනිත් දෙවියන් මැඩපවත්වා වැඩියකින් බබලනවා.

ඒ වගේම යම් කලෙක සනඞ්කුමාර බ්‍රහ්ම තෙමේ තව්තිසා වැසි දෙවියන් අතර පහළවේද, එකල්හි, ඒ පිරිසෙහි කිසි දෙවි කෙනෙක් ඔහුට වැඳීමක් හෝ දැක හුනස්නෙන් නැගී සිටීමක් හෝ ආසනයක් දීම කරනුලබන්නේ නැහැ. සනඞ්කුමාර බ්‍රහ්මතෙමේ යම් දෙවියෙකුගේ ආසනයක හිඳීමට කැමැති වන්නේද ඒ දෙවිහුගේ ආසනයෙහි සනඞ්කුමාර බ්‍රහ්මතෙමේ අසුන්ගනු ලැබේවා යයි සිතමින් ඒ සියලු දෙවියෝම නිශ්ශබ්දව අත්දෙක එකට තබා වැඳගෙන ආසනවලම හිඳිනව. ඒ වගේම සනඞ්කුමාර බ්‍රහ්ම තෙමේ යම් දෙවියෙකුගේ ආසනයෙහි හිඳගන්නේද, ඒ දෙවි තෙමේ මහත්වූ සතුටක් ලබනවා. එය හරියටම අලුත රාජ්‍යයෙන් අභිෂෙක කරනලද ඔටුණු පළන් ක්ෂත්‍රිය රජෙක් මහත්වූ ප්‍රීතියක් ලබන්නේද, මහත්වූ සැපයක් විඳින්නේද, එපරිද්දෙන්ම සනඞකුමාර බ්‍රහ්මතෙමේ යම් දෙවියෙකුගේ ආසනයෙහි හිඳීද, ඒ දෙවිතෙමේ මහත්වූ ප්‍රීතියක් ලබනවා. ඒ වගේම මහත්වූ සැපයක් විඳිනවා

එය තවදුරටත් සුත්‍ර දේශනාවේ මෙලෙස විස්තර වෙනවා.

එලෙස සනඞ්කුමාර බ්‍රහ්මතෙම ඖදාරික (මහත්) ශරීරයක් මවාගෙන පංචසිඛ දිව්‍ය පුත්‍රයා මෙන් කුමාර වෙසයෙන් තව්තිසා වැසි දෙවියන් අතරෙහි පහළ වනු ලබනවා. ප්‍රථමයෙන්ම කරනුලබන්නේ ඔහු අහසට නැඟී පිහිටීමක් නැති ආකාශයෙහි පලක්බැඳ සිටීමයි. කෙසේදයත්, බලවත් පුරුෂයෙක් මනාකොට වස්ත්‍රාදියෙන් අතුරනලද ආසනයෙක්හි හෝ සමවූ භූමියක හෝ පලක් බැඳ හිඳින්නේද, ස්වාමීනි එපරිද්දෙන්ම සනඞ්කුමාර බ්‍රහ්ම තෙමේ අහසට පැනනැඟී පිහිටීමක් නැති අහසෙහි පලක් බැඳ, තව්තිසා වැසි දෙවියන්ගේ යහපත් පැහැදීම දැනගෙන මේ අදහස් ඇති ගාථාවලින් සතුට ප්‍රකාශ කරනු ලබනවා.

“පින්වත්නි, ඉන්ද්‍රයා (ශක්‍රයා) ප්‍රධානකොට ඇති තව්තිසා වැසි දෙවියෝ තථාගතයන් වහන්සේටද, ධර්මයටද, සංඝයාටද නමස්කාර කරමින් ඉතා ප්‍රීතිමත් වෙත්මය.”

“(ජනයෝ) සුගතයන් වහන්සේ කෙරෙහි බඹසර (උතුම් හැසිරීම) රැක මේ දෙව්ලොවට (ඉපදීම් වශයෙන්) පැමිණියාවූ වර්ණවත්වූද යසස් ඇත්තාවූද අලුත් දෙවියන් දක්නාහුය.

“ඒ දෙවතාවෝ වර්ණයෙන් (පාටින්) ද, යසසින්ද ආයුෂයෙන් වෙන දෙවියන් ඉක්මවා බබළත්. මහා ප්‍රඥා ඇති තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ දිව්‍ය ලෝකයෙහි විශේෂ බවට පැමිණියාහුය.”

“ඉන්ද්‍රයා (ශක්‍රයා) ප්‍රධානකොට ඇති තව්තිසා වැසි දෙවියෝ මේ කාරණය දැක තථාගතයන් වහන්සේටද, ධර්මයටද, සංඝයාටද නමස්කාර කරමින් වඩාත් සතුටුවෙත්.”

බ්‍රහ්ම ස්වරය

මෙලෙස ධර්ම දේශණය ආරම්භ කරන්නා වූ සනඞ්කුමාර බ්‍රහ්මයාගේ ශබ්දය අංග අටකින් යුක්තවනවා.

  1. පීඩාවක් නැතුව මනාකොට නික්මෙන විස්සට්ඨ නම් ස්වරයද,
  2. වහා අර්ථය අවබෝධ කරන්නාවූ විඤ්ඤේය නම් ස්වරයද,
  3. මෘදු ගුණ යුක්තවූ මඤ්ජු නම් ස්වරයද,
  4. ඇසීමට මිහිරිවූ ස්වර්ණය නම් ස්වරයද,
  5. එක ඝනවූ බින්දු නම් ස්වරයද,
  6. නොවිසිර පවත්නාවූ අවිසාරී නම් ස්වරයද,
  7. ගැඹුරුව නික්මෙන ගම්භීර නම් ස්වරයද,
  8. මිහිරිවූ නින්නාදී නම් ස්වරයද යන අටයි.

මෙලෙස සනඞ්කුමාර බ්‍රහ්මතෙමේ පිරිසේ ප්‍රමාණයට ශබ්ද නගයි. බ්‍රහ්ම රජහුගේ ඝෝෂාව පිරිසෙන් පිටතට නොයයි. යමෙකුගේ ස්වරය මෙසේ අංග අටකින් සමන්විත වේද ඒ ස්වරය බ්‍රහ්ම ස්වරයයි කියනු ලබයි.

ඉන්පසු සනඞ්කුමාර බ්‍රහ්මතෙමේ ආත්මභාව (ශරීර) තිස්තුනක් මවාගෙන, තව්තිසා වැසි දෙවියන්ගේ වෙන වෙනම ආසනයන්හි පලක් බැඳ හිඳ තව්තිසා වැසි දෙවියන්හට ධර්ම දේශණා කිරීම අරබනවා.

දිව්‍යමය ඇසද රවටන සනඞ්කුමාර බ්‍රහ්මරාජයාගේ පුණ්‍යමය ශක්තිය

ඉන්පසු සනඞ්කුමාර බ්‍රහ්මතෙමේ ආත්මභාව (ශරීර) තිස්තුනක් මවාගෙන, තව්තිසා වැසි දෙවියන්ගේ වෙන වෙනම ආසනයන්හි පලක් බැඳ හිඳ තව්තිසා වැසි දෙවියන්හට ධර්ම දේශණා කිරීම අරබනවා. සනන් කුමාර බ්‍රහ්මයා විසින් ධර්ම දේශානාකරන කල්හි ඒ ඒ දෙවියන් මෙසේ සිතනවා. මගේ ආසනයේ වැඩ ඉන්න සනන් කුමාර බ්‍රහ්මරජයාම තමයි හැමෝටම කතා කරන්නේ. ඇත්තෙන්ම හැමෝටම හිතෙන්නේ ඔහු මගේ ආසනයේ හිඳගෙන ධර්ම දේශනය කරනවා කියලා. ඇත්තටම ඔහු සියලු ආසනවල පෙනී සිටයත් තමන්ගේ ආසනයේ ඇති රෑපය ඇරෙන්නට අනිත් ආසනවල රූප ඔවුනට පෙනෙන්නේ නැහැ. “එක් දෙවියෙකු කථාකරන විට මවනලද සියලු දෙවියෝම කථාකරනු ලබනවා. එක් දෙවියෙකු නිශ්ශබ්දව සිටින කල්හි (අනිකුත්) සියලු දෙවියෝම නිශ්ශබ්ද වෙනවා. දෙවියන්ගේ ඇසටත් මෙවැනි දේ හසුනොවන්නේනම් අප ගැන කුමන කතාද?

අවසානයේ සනන් කුමාර බ්‍රහ්මතෙම එක් එක් කොටස් ශරීර අකුලුවා සක් දෙවිඳුගේ ආසනයෙහි හිඳ තව්තිසා වැසි දෙවියන්ට කතා කරනුලබනවා.

මෙම පින්වත් ධර්මදේශනයේ සිත අලවාගත් සනඞ්කුමාර බ්‍රහ්ම රාජයා විසින් නිතර භාවිතා කල ගාථා රත්නයක් සූත්‍ර දේශනා වල දකින්නට ලැබෙනවා. එනම්

ඛත්තියො සෙට්ඨො ජනෙතස්මිං,

යෙ ගොත්තපටිසාරිනො;

විජ්ජාචරණසම්පන්නො,

සො සෙට්ඨො දෙවමානුසෙ’ති”

“ජන සමූහයා අතර ගෝත්‍රය සිහිපත් කරවන්නාවූ යම් කෙනෙක් වෙත්ද, ඔවුන් අතුරෙන් ක්ෂත්‍රිය ගෝත්‍ර ඇත්තේ ශ්‍රේෂ්ඨ වෙයි. අෂ්ට විද්‍යාවන්ගෙන් හා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්තවූ යමෙක් වේද, දෙවි මිනිසුන් කෙරෙහි හෙතෙම ශ්‍රේෂ්ඨ වේ” යනුයි.