අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 143

 

ශක්‍ර භවන සහ සුධම්ම දේව සභාව

බුද්ධවංශ කතාවෙහි නිතර කියවෙන චරිතයකි දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දේවයාණන්ගේ චරිතය. ඔහුට ඒ මහා බලපරාක්‍රමයෙන් යුතු ඒ තනතුර ලැබුවේ ඔහු කල සමාජ සත්කාර ව්‍යාපෘති නිසාමයි. දෙව්ලොව යන්නට පෙරුම් පුරන ඔබට ඒ නිසාම එය කෙටියෙන් මෙහි ලියන්නට සිතුනා.

ශක්‍ර දෙවිඳු

ශක්‍ර දෙවිදු මිට පෙර ආත්මභාවයේ මගධ රට මචල ගමේ “මඝ” නම් මාණවකයෙක්. පණ්ඩිත වූ ව්‍යක්ත වූ ඔහුගේ හැසිරීම බෝධිසත්ව චර්යාව හා සමාන වුනා. ඔහු යහළුවන් තිස්තුන් දෙනෙකු හා එක්ව තමා ජිවත් වූ පෙදෙසට යහපත් බොහෝ කටයුතු කළා. තමාම නුවනින් පරික්ෂාකොට ගම මැද මහජනයා රැස්වන තැන තිබු විශාල කසළ ගොඩක් දෙඅතින්ම බැහැරකොට එම ස්ථානය රමණීය ස්ථානයක් බවට පත්කරනු ලැබුවා. ටික දිනකට පස්සේ එහිම විශාල මණ්ඩපයක් කළා. පසුව කල්යත්ම එහිම විශාල ශාලාවක්ද ඉදිකරනු ලැබුවා. එතැනින් නතරවුණේ නැහැ. ගමින්ද නික්මගොස් ගව්වක්ද අඩ යොදුනක්ද, ගව් තුනක්ද සැරිසරා තම සහායකයන්ද සමග විසම තැන් සම කරනු ලැබුවා. ඒ සියලුම දෙනා එකච්ඡන්දයෙන් ම ඒ ඒ තැන් බලා පාලම් දැමිය යුතු තැන් පාලම්ද, මණ්ඩප, ශාලා, වැව්පොකුණු, මල් ගස් මල් ආදිය අවශ්‍ය ඒ ඒ තැන්වල ඒ ඒ දේ අවශ්‍ය පරිදි තනා බොහෝ පුණ්‍යක්‍රියා සිදුකොට මරණින් පසු තාවතිංස භවනෙහි තම සගයන් තිස්තුන් දෙනාත් සමගින් උපන්නා. මෙය දීර්ඝ ලස්සන කතා පුවතක්. සමහරවිට කල්වේලා ලැබුනොත් මෙම ලිපි පෙළෙම ඉදිරියේදී විස්තර සහිතව කියවීමට ලැබේවි.

ශක්‍ර දෙවිදුගේ යසස

සක්දෙවිඳුගේ මාළිගාව හැඳින්වුයේ “වෛජයන්ති ප්‍රාසාදය” යන නමින්. වෛජයන්ති ප්‍රාසාදය යොදුන් සත්සියයක් උසයි. එහි කොඩි යොදුන් තුන්සියයක් උසයි. වෛජයන්ති රථය නොහොත් සක්දෙවිඳුගේ නිල රථයේ දිග යොදුන් එකසිය පනහකි. මැද රථපඤ්ඡරය යොදුන් පනහක්. රථ සන්ධිය සිට ශීර්ෂය දක්වා යොදුන් පනහක්. පසුපස කොටස යොදුන් පනහක්. එහි පර්යංකය ප්‍රමාණයෙන් යොදුනක්. යොදුන් තුනක් වූ සේසතක් එහි මුදුනේ සවිකර තිබෙනවා. එකම විය ගසේ අජානිය අශ්වයෝ දහසක් බැඳ තිබෙනවා. එහි දජය යොදුන් දෙසිය පනහක් උසයි. වාතයෙන් ඒ දජය සෙලවනවිට පංචමහා තුර්ය භාණ්ඩ වාදනය කරන්නාක් මෙන් මහා ශබ්දයක් පිටවෙනවා. ඒ නිසාම ඔහු පැමිණි විට තම පරිවාර සේනාව “අපි දැන් කාට බයවෙමුද? අප රජතුමා පැමිණ ඉන්ද්‍ර්ඛිලයක් මෙන් සිටගෙන සිටි යනුවෙන් එකිනෙකා උද්දාමයෙන් කතා කරන්නට වෙනවා.

ඒ විතරක් නෙවෙයි. ඔහුගේ දිව්‍යමය හස්තියාද, දිව්‍යමය වෘක්ෂයන් දහසකින් ගැවසීගත් නන්දන වනය, චිත්තලතා වනය, ඵාරුසක වනය, මිස්සක වනය, යොදුන් සියයක් උසයි. පරසතු රුක යට යොදුන් සැටක් දිග යොදුන් පනහක් පළල, යොදුන් පහළොවක් උස ජයසුමන මල්වල වර්ණයට සමාන පඬුපුල් අස්න පිහිටා තිබෙනවා. එහි මොලොක්බව නිසාම හිඳගත්තා වූ ශක්‍ර දෙවිදුන්ගේ සිරුරෙන් හරි අඩක්ම ගිලෙනවා. කෝටි දෙසියපනහක් පමණ වූ දෙවියන් කන්‍යාවියන් තුන් යොදුන් සේසත් දරනු ලබනවා. සතරවරම් රජදරුවෝ එහි ශක්‍ර දේවේන්ද්‍රයාගේ පරිවාරකයෝ ලෙසින් දොරටුව ළඟ සිටිනවා. සක්දෙවිඳු මහා සෘද්ධි ඇත්තෙක්. මහානුභාව ඇත්තෙක්.

සුදම් දේව සභාව.

සක්දෙවිදුට අයත් තවත් විශාල මන්දිරයකි දේව සභාව රැස්වෙන සුධම්ම දේව සභා ශාලාව. සුධම්මා දේව සභාවට නම ලැබුණු එක ගැනත් ලස්සන පසුබිම් කතාවක් තියෙනවා. සමහරවිය ඔබ දන්නවත් ඇති. ඉදිරියේදී කියවන්නට ලැබේවි.

එහි බිම නිමවී ඇත්තේ පලිගු වලින්. මිණිමුවා ඇණය. රුවන්මුවා මැටිය. රිදීමුවා ටැමිගැටි සහ එක්කොට බැදීම්ය. පබලුමය ව්‍යාල රූපය. සත්රුවන් මුවා ගෝපාන සීස (කැණිමඩල මුදුන) පැතිපාසක මුවවිටිය. නිල්මැණික් ගඩොල් පියසිය. රුවන්මුවා පියසි පටය. රිදීමුවා කොත්ය. දිග පළලින් යොදුන් තුන්සියයක්. වටේට යොදුන් නවසියයකි. 

සක්දෙව් රජ සුධම්මා දෙව් සභාවේ යොදුනක් වූ රන් පලගෙහි හිදිමින් සිටිනවා. තුන් යොදුන් සේසත් දරනු ලබන දෙවියන් දේව කන්‍යාවියන් කෝටි දෙසියපනහක් ඔහුව පිරිවරා සිටිනවා. මෙබදු වූ සුධම්මා සභාවෙහි ධතරට්ඨ නම් ගාන්ධර්ව රජ කෝටි ලක්‍ෂයක් ගාන්ධර්ව දේවතාවන් විසන් පිරිවරමින් කෝටි ලක්‍ෂයක් රන්මුවා පලක ද රන් සැත් ද ගන්වාගෙන පෙරදිසායෙහි බටහිර බලා දෙ දෙව්ලොව දෙවියන් පෙරටු කොට සිටිනවා. විරූපාක්ෂ රජ කෝටිලක්ෂයක් නාගයන් පිරිවරමින් බටහිර දිශාවෙහි පෙරදිග බලා දෙව්ලොව දෙවියන් පිරිවරමින් ඉන්නවා. විරූළ්හක කුම්භණ්ඩ රජ කෝටි ලක්‍ෂයක් කුම්භණ්ඩ දෙවියන් පිරිවරා කෝටි ලක්‍ෂයක් මිණිමුවා පලක සහ රන් සැත් ගන්වාගෙන දකුණු දිසාවෙහි උතුරු දෙස බලා දෙ දෙව්ලොව දෙවියන් පෙරටු කොට හුන්නේය. වෙස්සවණෝ යක් රජු කෝටි ලක්‍ෂයක් යකුන් පිරිවරා කෝටි ලක්‍ෂයක් පබළු පලක ද රන්සැත් ද ගෙන්වාගෙන උතුරු දිසාවෙහි දකුණු බලා දෙදෙව්ලොව දෙවියන් පෙරටු කොට සිටිනවා. ඔවුන්ට පිටුපසින් අනෙකුත් දෙවිවරුන් ඔවුන්ගේ බලපරාක්‍රමය අනුව රැස්වී සිටිනවා.

මෙහි රැස්වෙන්නේ පහත දැක්වෙන සතරාකාර අවශ්‍යතා සපුරාලීමටය

  1. වස් විසීම් සංග්‍රහය සඳහා.
  2. වස්පවාරණ සංග්‍රහය සඳහා
  3. ධර්මශ්‍රවණය සඳහා
  4. පරසතු ක්‍රීඩාව සඳහා යන කරුණු මතය.

වස් වසන භික්ෂුන් වහන්සේලාගේ ආරක්ෂාවද, වස් පවාරනයද, වස් එළඹෙන දිනයෙහි මෙන් වස් පවාරණ පොහොය දිනයෙහි ද රැස්ව අද කොහාට ගොස් කාගේ සමීපයෙහි පවරන්නෙමුදැයි සාකච්ඡා කරනු ලබනවා. එහි දෙව් රජ වූ සක්‍රයා පුවගු දිවයිනේ මහා විහාරයෙහි ම බොහෝ සෙයින් පවාරණය කරනවා. සෙසු දෙවිවරු පරසතු ආදී දිවමල් ද දිව සදුන් සුණු ද ගෙන තම තමා මනාප තැන්වලට පවාරණය කිරීමට කතිකා කරගන්නවා.

 
 
error: Content is protected !!