අපේ බුදුහාමුදුරුවෝ 104

 

සුවිසි විවරණයේ සිට වෙස්සන්තර ජාතකය දක්වා පැමිණි දීර්ඝ ගමන කෙටියෙන් 01

අපේ බුදුරජාණන් වහන්සේට අයත් දුරේ නිධාන කතා පුවතේ සූවිසි නියත විවරණ මා හට හැකි අයුරින් විස්තර කළෙමි. යම් කල්පයක දීපංකර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුයේද එම කල්පයේම ඊට ප්‍රථම තවත් බුදුවරු තෙනමක් ලොව පහල වුණා. එහෙත් උන්වහන්සේලාගෙන් අප බුදුපියාණන් වහන්සේට විවරණ නොලැබුණි. ඒ නිසාම උන්වහන්සේලා පිලිබඳ විස්තර මෙම ලිපි පෙලට ඇතුළත් නොවුණි. එහෙත් අටුවාවෙහි එම කල්පයේ පහල වූ සියලු බුදුවරයන් වහන්සේලා ගැන විස්තර දක්වා තිබෙනවා. 

තණ්හංකර, මේධංකර, සරණංකර, දීපංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුමේධ, සුජාත, පියදස්සි, අත්ථදස්සි, ධම්මදස්සි, සිද්ධත්ථ, තිස්ස, ඵුස්ස, විපස්සි, සිඛි, වෙස්සභු, කකුසඳ, කෝණාගම, කස්සප, යන  ඒ අටවිසි බුදුපියාණන් වහන්සේලා ලොව පහල වුණා. සුර්යයා මෙන් ගණ අඳුර නසා ගිනි කඳක් මෙන් බැබලී සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය ලෙස දක්වමින් නිවී ගියා.

අප බුදුපියාණන් වහන්සේ පෙරුම් පුරමින් මෙලෙස සාරාසංඛ කල්ප ලක්ෂයක් පැමිණුනා. කස්සප බුදුරජාණන් වහන්සේගෙන් පසුව ගෞතම බුදුරජාණන් වහන්සේ හැරෙන්නට වෙනයම් බුදුවරු ලොව පහල වුණේ නැහැ. මෙසේ නියත විවරණ සඳහා දීපංකර පාදමුලේ සිට බුද්ධත්වය සඳහා පැමිණි ගමනට අනෙකුත් බෝධිසත්වයන් වහන්සේලා වගේම අප මහා බෝධිසත්වයන් වහන්සේත් අෂ්ට ධර්මයන්  සම්පුර්ණ කොට තිබිය යුතුයි. එනම්

  1. මිනිසත්බව,
  2. පුරුෂයකු වීම,
  3. රහත්වීමට තරම් පෙර පින් ඇතිබව,
  4. බුදුන්වහන්සේ නමක් හමුවීම,
  5. පැවිද්දකු වීම,
  6. ධ්‍යාන ලබා තිබීම,
  7. ප්‍රාර්ථනාව,
  8. අධික කැමැත්ත

මෙසේ අෂ්ට ධර්ම ආදී සියලු අංග සම්පුර්ණ කොට බුද්ධත්වය සඳහා නියත විවරණ ගත් බෝසත්වරු කල්ප කෝටි සියගණන් දීර්ග මාර්ග චාරිකාවක මෙම සසර තුල සැරිසරණ කාලය තුල මෙවැනි අන් පුද්ගලයන්ට නැති සුවිසේෂ පුණ්‍යමය ආනිසංස වලට හිමිකම් කියන බව අට්ඨ කතාවන්හි සඳහන් වෙනවා.

අවීචි මහා නිරයෙහි නුපදිති, එසේම සක්වල තුනක් අතරෙහි ඇති ලෝකාන්තර නිරයෙහිද, සාපිපාසා දෙකින් පීඩිත වූ නිජ්ජාම තණ්හා නම් ප්‍රේත යෝනියේද, කාලකඤ්ජන නම් අසුර යෝනියෙහිද නුපදෙති. තිරිසන් දුගතියෙහි ඉපදුනද වටුවකුට වඩා කුඩා සතෙකු ව නොයිපදෙති. ඒ බෝසත්වරු මිනිසත් භවයෙහි උපදිනා විට උපතින් අන්ධයෝ නොවෙති, එමෙන්ම බිහිරිව හෝ ගොළුව නොයිපදෙති. එමෙන්ම ස්ත්‍රී භාවයට නොයෙති, පුමඉතිරි දෙලකුණු ඇති උභතො බ්‍යඤ්ජනව ද නපුංසකව ද එම වර්ගවලට ඇතුළත්ව ද නොවෙති. සම්බෝධියට නියත වූ බෝසත්වරු ආනන්තරිය පාප කර්මයෙන් මිදුනාහු වෙති. කර්මවාදී, ක්‍රියාවාදී, සමිදුටු දැකුම් ඇති බෝසත්වරු මිසදුටුවෝ නොවත්. සුගති ලොව උපන්නද අසඤ්ඤ නම් බඹලොව වල නොයිපදෙති. සුද්ධාවාසි බඹලොව වල ඉපදීමට හේතු නොමැත්තේ අනාගාමී නොවන බැවිනි. ඥානයට නැඹුරු වූ කුදුමහත් භාවයන්හි නො ඇළුණු බෝසත්වරු පෙරුම් පුරමින් ලෝකෝත්තර චරියාවේම මෙලෙස හැසිරෙනු ලබයි.

error: Content is protected !!