අපේ බුදුහාමුදුරුවෝ 368  (සන්තිකේ නිධානය)

 

ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබදව ඔබ නොදත් කරුණු. 04

එකසාටක බමුණා 02 (සබ්බට්ඨක දානය)

ඉන්පස්සේ  බමුණා බැමිණිය ගෙහි තබා වස්ත්‍රය පොරවා විහාරයට ගියා. ඒ වෙලාවේ ශාස්තෘන්වහන්සේ පිරිස මැඳ සරසනලද ධර්මාසනයෙහි වැඩ සිටිමින්  විසිතුරු අවන්පත ගෙන අහස් ගඟට බසින්නාක් මෙන්,  මහමෙර මථනදණ්ඩකොට සයුර කළඹන්නාක් මෙන් ධර්මය දේශනා කරමින් සිටියා. පසු වී පැමිණි නිසාම ඔහු හිටියේ පිරිසේ කෙලවර.  පිරිස් කෙළවර හිඳිමින් ධර්මය අසන්නාවූ බමුණාගේ සියලු සිරුර පුරවමින් පළමු යාමෙහිදීම පස්වණක් ප්‍රීතිය උපන්න. ඒ ඇති වූ චිත්ත ප්‍රීතිය නිසාම ඔහුට භාග්‍යවතුන් වහන්සේට පුජා කිරීමට යමක් ඕනේ කියා සිත කියනවා. එහෙත් සන්තකයේ කිසිවක් නැහැ. වටිනාකමකට තිබුණේ තමා පෙරවා සිටි එකම එක සළුව. ඔහු පෙරවූ වස්ත්‍රය හකුළා බුදුන් වහන්සේට දෙන්නෙමැයි සිතුවා. ඒ එක්කම  ඔහුගේ සිතේ ආදීනව දහසක් දක්වන්නාවූ මසුරුබවක්  උපන්න. “බැමිණියටද මටද එකම වස්ත්‍රයකි. අන් කිසි පොරෝණයක් නැත. නොපොරොවා නම් පිටත හැසිරීමට නොහැකියයි සර්‍වප්‍රකාරයෙන්ම නොදෙනු යනුවෙන් සිත කීවා. ඔහු අදහස අත්හැරිය. ඉන් පස්සේ  ඔහුට පළමු යාමය ඉක්මුණු පස්සේ මැදුම් යමෙහිද එසේම ප්‍රීතිය උපන්න. හෙතෙම “එතෙරවීම හෝ මරණයවේවා පසුව දනිමියි” වස්ත්‍රය හකුළා ශාස්තෘන්වහන්සේගේ පාමුලෙහි තැබුවා. ඉක්බිති වම් අත හකුළා දකුණු අතින් තෙවරක් අපොළා මවිසින් දිනනලදී. මවිසින් දිනන ලදියි හඬතුනක් නැගුවේ යුද්ධයක් දිනලා ජයගත් මහා සෙන්පතියෙක් වගේ.

ඒ මොහොතේ ඒ ප්‍රදේශයේ රජකම් කල බන්‍ධුමා රජතුමාත්  ධර්මාසනයට පිටු පසින් පිහිටි තිරය තුළ හිඳිමින්  ධර්‍මය ශ්‍රවණය කරමින් සිටියේ. රජවරුන්ට  නම් ‘මවිසින් දිනනලද’යි යන ශබ්දය ප්‍රිය වන්නේ නැහැ. බිය ගෙන දෙනවා.ඊට හේතුව යමෙක් රාජ්‍යය අල්ලා ගත්තාද කියෙන බිය නිසා. ඒ නිසාම තමයි කියන්නේ “ඔටුනක් පැළඳි හිස නොදනී හොඳ නින්දක් කියලා.”   ඔහු කලබල වුණා. ඔහු , “යව කුමක් කියන්නෙහිදැයි මේ පුරුෂයා විමසුවයි” රාජ පුරුෂයෙකු පිටත් කරනු ලැබුවා. රාජපුරුෂයා බමුණා ලගට ගොස් මොනවද ඔබ දිනුවේ විමසා සිටියා.  එවිට ඔහු මෙසේ උත්තර දුන්නා.

 ‘සෙස්සෝ ඇත්යහන් ආදියට නැඟ කඩු සම් ආදිය ගෙන සතුරු සෙන් දිනති. එය අසිරියක් නොවේ. මම වනාහි පිටුපසින් එන්නාවූ කුළුගෝණාගේ හිස මුගුරෙන් බිඳ ඔහු පළවා හරින්නාක් මෙන් මසුරුසිත මැඩ පෙරවූ වස්ත්‍රයි දසබලයන්වහන්සේට දුනිමි. මවිසින් ඒ මසුරුබව දිනන ලදී’.

ඔහු එසේ පවසන්නට වුණා. රාජපුරුෂයාටත් සියල්ල අවබෝධ වෙන්නට වැඩි වෙලා ගියේ නැහැ.  ඒ රාජපුරුෂයා අවුත් රජුට එපුවත සැළකොට සිටියා.  එවිට රජතුමා මෙසේ කීවා.

 පින්වත්ති, ‘අපි දසබලයන්වහන්සේට සුදුසු දෙය නොදනුම්හ. බමුණා දුන්නේය,.’ මෙසේ කියා ඔහුට වස්ත්‍ර යුගලයක් යැවුවා. ඒ වටිනා වස්ත්‍රලත් බමුණට මෙහෙම හිතුණා.  “මෙතෙම නිහඬව සිටි මට පළමුව කිසිවක් නොදී ශාස්තෘන්වහන්සේගේ ගුණ කියනවිට දුන්නේය. ශාස්තෘන් වහන්සේගේ ගුණයන් නිසා උපන් දෙයින් මට කවර වැඩෙක්දැයි” ඒ වස්ත්‍රයුගලයද දසබලයන් වහන්සේටෙම පුජා කරනවා කියා උන්වහ්න්සේටම පුජා කරනු ලැබුවා. රජතුමාත්  බමුණාවිසින් කුමක් කරන ලද්දැයි විමසා ඔහු විසින් ඒ වස්ත්‍රයුගලයත් තථාගතයන් වහන්සේටම දෙන ලදැයි අසා වෙනත් වස්ත්‍ර යුගල දෙකක් නැවතත් යවනු ලැබුවා.  ඔහු  ඒවාද නැවතත් දන් දුන්නා. රජතුමා එම ප්‍රමාණය දෙගුණ කරමින්  වෙනත් වස්ත්‍ර සතරක්, අටක් දහසයක් වශයෙන්  මෙසේ වස්ත්‍ර යුගල තිස්දෙකක්ම යවනු ලැබුවා. බමුණා මෙහෙම සිතන්නට වුනා. “දැන් මෙය ඉවරයක් වෙන්නෙත් නැහැ. අනිත් අතට මෙය ලාභ ප්‍රයෝජන ලබමින්  වඩා ගැනීමක් මෙන් වේයයි සිතා තමා සඳහා එකක්ද බැමිණිය සඳහා එකක්දැයි වස්ත්‍රයුගල දෙකක් තබාගෙන

යුගලතිහක් තථාගතයන් වහන්සේටම පුජා කරනු ලැබුවා. එතැන් පටන් ඔහුට ශාස්තෘන්වහන්සේ විශ්වාස ඇත්තෙක් වුණා

දැන් ශීත කාලයත් එළඹිලා. බමුණා නිතරම දැන් බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට යනවා. එදත් ඔහු සුපුරුදු පරිදි භාග්‍යවතුන් වහන්සේ මුණගැසීමට ගියා. හැබැයි ඔහුට ශීත කාලයට පොරවන පොරෝනාවක් නොතිබෙන්නට ඇති.

 රජතුමාත් නිතර බුදු පියාණන් වහන්සේ බැහැදැකීමට එනවා.  එදින රජතුමා ශාස්තෘන්වහන්සේ සමීපයෙහි ධර්‍මය අසන්නාවූ ඔහු දැක ලක්‍ෂයක් වටිනා තමාගේ පෙරවූ රත් කම්බිලිය දී ‘මෙතැන්පටන් මෙය පොරවා ධර්‍මය අසව’යි පවසා සිටියා. හෙතෙම ‘මේ කුණු කයෙහි එළවූ මේ රාජකීය කම්බිලියෙන් මට කවර වැඩෙක්දැයි සිතා ඇතුල් ගඳකිළියෙහි එය තථාගතයන්වහන්සේගේ ඇඳ මත්තෙහි වියනක් කොට පුජා කරමින් යන්නට ගියා. ඉතින් එක් දිනක රජතුමා උදෑසනම විහාරයට ගොස් ඇතුල් ගඳ කිළියෙහි ශාස්තෘන්වහන්සේ සමීපයෙහි හුන්න. ඒ වේලාවෙහි විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහෙයෙන් විහිදුනු  සවණක් බුදුරැස් බමුණා විසින් වියනක් කොට පූජා කරනු ලැබූ කම්බිලියෙහි මත පතිත වී පරාවර්තනය වෙමින් ඒ කුටියට මහත් ආලෝකයක් වගේම අලංකාරයක් ගෙනේ දුන්නා. කම්බිලිය බෙහෙවින්ම බබළනවා. රජතුමා මෙය දැක්කා.දැක   හැඳින, ස්වාමීනි, අපගේ මේ කම්බිලිය අපිවිසින් එකසාටක බමුණාට දෙන ලදියි කියා සිටියේ මහත් සතුටින්. එවිට විපස්සි බුදුහාමුදුරුවෝ  ‘මහරජ, ඔබ විසින් බමුණා පුදන ලදී. බමුණා විසින් අපි පුදනු ලදුම්හ’යි පවසා සිටියා.එවිට රජතුමා  ‘බමුණා සුදුස්සන් දත්තේය. අපි නොදත්තෙමු’යි පැහැද මිනිසුන්ට උපකාරවන යමක් වේද ඒ සියල්ල අට අට කොට “සබ්බට්ඨක” නම්වූ දානයක් දුන්න. ඉන්පස්සේ ඔහුව පුරෝහිත තනතුරෙහි තැබුවා. ඔහුද  අටක් අටක් නම් සිවුසැටක් වේයයි සිවුසැටක් ලහබත් පිහිටුවා දිවි ඇතිතෙක් දන්දී සිල්රැක ඉන්පසුව නැවතත් දෙව් ලොවම  උපන්න.

උපකාර වූ මූලාශ්‍ර

මහාකාශ්‍යප තෙරණුවෝ අඞ්ගුත්තර නිකාය එතදග්ග පාළිය පළමුවෙනි වර්‍ගය