අපේ බුදුහාමුදුරුවෝ 354 (සන්තිකේ නිධානය)

 

සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා 

අගසවු තනතුරු පැතූ අතීත කතා පුවත බුද්ධ වචනයෙන් 03

අනෝමදස්සි බුදු හාමුදුරුවන්ගේ කාලයේ වාසයකළ මිනිසුන්ගේ ශරීරය ඉතා විශාලයි. ඒ බුදුරජාණන් වහන්සේගේ රූපකායත් ඊටත් වඩා විශාල වෙන්න ඇති. උන්වහන්සේ වැඩ සිටි ආසනය කුඩා බව සරද තවුසාට පෙනී ගියේ පසුව. ඉන් පස්සේ සරද තාපස තුමා අන්තේවාසික සාධුවරුන් අමතනු ලැබුවා. දරුවනි, බුදුන්ට වැඩ සිටීමට ඇති අසුන මිටියි. අනෙකුත් ශ්‍රමණයන් ලක්ෂයකට පමණ ආසනත් නැහැ. ඔබ හැම අද උදාර බුද්ධ සත්කාරයක් කරනු ලැබුවා. දැන් හැකි ඉක්මනින් ගොස් පර්වත ප්‍රාන්තයෙන් වර්ණ ගන්‍ධ සම්පන්න මල් රැස් කරන්න. මෙය කීමට ගත වූ කාලය වැඩියි කියලා අටුවා ආචාරීන් වහන්සේලා කියන්න. ඊට හේතුව ඒ වාක්‍ය කියන්නට ගත්තා කාලයටත් වඩා ඉක්මනින් මල් රැස්වීමයි. සෘද්ධිමතුන්ගේ සෘද්ධි විෂය අචින්ත්‍යයි කියලා බුදුවරුන් කියන්නේ. ඒ කියන්නේ සිතා ගන්නට බැහැ.

 නිමේෂයකින් ඒ තාපසවරු වර්ණ ගන්‍ධ සම්පන්න මල් රැගෙනවුත් යොදුනක් පමණ උස මල් අසුනක් පැනවූවා. අගසවු දෙනමට තුන්ගවූ පමණ අසුන්ය. සෙසු භික්ෂූන්ට අඩ යොදුන් ප්‍රමාණාදි භේද ඇති අසුන්ය. නවක භික්ෂූන්ට එක්සිය සතළිස් රියන් උස අසුන්ය. එක් ආශ්‍රමයක මෙපමණ මහත් අසුන් කෙසේ නම් පැනවිය හැකි දැයි නො සිතිය යුතු ය කියලා අටුවාවේ කියන්නේ. ඊට හේතුව මෙය එහෙම පිටින් ම ඍද්ධිවිෂයක ක්‍රියාවක් නිසයි. මෙසේ අසුන් පනවා අවසානයේ සරද තාපස තුමා තථාගතයන් වහන්සේ ඉදිරියෙහි දෙඅත් ඇඳිලි බැඳ සිට, ස්වාමීනි, මට බොහෝ කලක් හිතසුව පිණිස මේ මල් ආසනයෙහි වැඩහිදිනු මැනවියි කියා සිටියා.

මෙසේ බුදු දුන් ඒ ආසනයෙහි වැඩ සිටින විට අගසවු දෙනමත් සෙසු භික්ෂුන්වහන්සේත් තම තමන්ට හිමි අසුන්වල වැඩ සිටියා. සරද තාපස තුමා මහත් වූ මල් කුඩයක් ගෙන, තථාගතයන් වහන්සේගේ හිසට උඩින් අල්වාගෙන සිටිය. ශාස්තෘන්වහන්සේ ජටිලයන්ගේ මේ මහත් වූ සත්කාරය මහත්ඵල වේවායි අධිෂ්ඨාන කරමින් නිරෝධ සමාපත්තියට සමවැදුණ. බුදුන් සමවතට සමවැදුණු බව දුටු අගසවු දෙනමක් සෙසු භික්ෂූන් වහන්සේලාත් සමවතට සමවැදුණා . ඔබ හොඳින් දන්නවා නිරෝධ සමාපත්තියට සමවැදුණ පසු එම සමාපත්තියේ දින සතක පමණ කාලයක් නො නැගිට සිටින බව. එලෙස ම තථාගතයන් වහන්සේත් සත් දිනක් නිරෝධ සමාපත්තියට සමවැදී සිටියා. ඒ අතර අත වැස්සෝ පිඬු පිණිස හැසිරෙන වේලාවෙහි වනමුල් ඵලාඵල අනුභව කරවා ඉතිරි කාලය තුළ බුදුරදුන්ට ඇඳිලි බැඳ වැඳ ගෙන සිටියා. සරද තාපස තුමා භික්ෂාචාරයටත් නො ගොස් මල් කූඩය ඔසවාගෙනම සත් දිනක් ප්‍රීති සුවයෙන් ම කාලය ගත කලා.

මෙලෙස ඉතාමත් ලස්සන දින හතක් ගතවුනේ කාටවත් නොදැනුවම. සත් දිනක් අවසානයේ ශාස්තෘන්වහන්සේ නිරෝධයෙන් නැගිට දකුණු පසින් සිටි අගසවු නිසඟ තෙරුන් අමතා, නිසඟ, සත්කාර කරන්නාවු තාපසයන්ට මලසුන් පිදීමේ අනුහස් කියා දෙන්නැයි වදාරනු ලැබුවා. තෙරුන්වහන්සේ සක්විති රජකුගෙන් මහා ලාභයක් ලත් මහා යෝධයකු මෙන් සතුටු සිතින් පාරමීඥානයෙහි සිට පුෂ්පාසනානුමෝදනාව පටන්ගතතා. තෙරුන්ගේ දේශනාවසානයෙහි තථාගතයන් වහන්සේ ද්විතීය ශ්‍රාවකයන් වහන්සේ අමතා, ඔබත් අනුමෝදනාවක් කරන්නැයි වදාරනු ලැබුවා. අනෝම ස්ථවිරයන් වහන්සේ ත්‍රිපිටක බුද්ධ ධර්මය මෙනෙහි කරමින් දහම් දේශනාවක් දෙශනු ලැබුවා. එහෙත් ශ්‍රාවක දෙනමගේම ධර්මදේශනවලින් එහි සිටි එක් කෙනෙකුට වත් ධර්මාවබෝධයක් නොලැබිණ.

ඉන් පසු ශාස්තෘන්වහන්සේ අප්‍රමාණ වූ බුද්ධවිෂයෙහි පිහිටා ධර්ම දේශනාව පටන් ගත්තා. දේශනා කෙළවර සරද තාපසයන් හැර හතළිස් හත්දහසක් පමණ වූ සෙසු ජටිලයෝ රහත්බවට පත්වූණා. ශාස්තෘන්වහන්සේ ඔවුන්ට, මහණෙනි, මෙහි එව්යයි අත දිගු කරණු ලැබුවා . එකෙනෙහිම ඔවුන්ගේ කෙස් රැවුල් අතුරුදහන් වුනා. සිරුරු අට පිරිකරින් සැදුම්ලද්දා.

උපකාර වූ මුලාශ්‍ර – සාරිපුත‍්තත්‍ථෙරවත්‍ථු