අපේ බුදුහාමුදුරුවෝ 353 (සන්තිකේ නිධානය)

 

සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා අගසවු තනතුරු පැතූ අතීත කතා පුවත බුද්ධ වචනයෙන් 02

මෙලෙස අනෝමදස්සි බුදුහාමුදුරුවෝ තමා ඉදිරියෙන් අහසින් පැමිණ පොලව මත ශ්‍රී පාදය තබන දර්ශනය දෙස සරද තාපස තුමා බලාගෙන සිටියේ විස්මයෙන්. ඒ විතරක් නෙවෙයි, මේ වනවිටත් මහා ඉර්ධි සම්පන්න වූ තාපස තුමා සියලු ශාස්ත්‍ර වලත් දේහ ලක්ෂණ වලත් කෙල පැමිණ සිටියේ. උන්වහන්සේගේ බුද්ධානුභාවයත්, සිරුරේ පිහිටීමත් දැක ලක්ෂණ මන්ත්‍ර සිහිකොට මෙබදු ලකුණුවලින් යුත් තැනැත්තෙක් නම් ගිහිගෙයි සිටියොත් සක්විතිරජ වෙයි. පැවිදි වුවහොත් ලොව සියලු කෙලෙසුන් නැසූ සර්වඥකෙනෙක් වෙයි. මේ මහා පුරුෂයා නිසැකවම බුදු කෙනෙකුන් වියයුතුයයි දැන පෙර ගමන් කොට පසඟ පිහිටුවා වැඳ අසුන් පනවා ඉහලින්ම පිළිගනු ලැබුවා. බුදුරජාණන් වහන්සේ පැනවූ අසුනෙහි වැඩහුන්නා. සරද තාපස තුමා ද තමන්ට ගැළපෙන අසුනක එකත්පසෙක හිඳ ගත්තා.

ඒ වේලාවේ හැත්තෑහතර දහසක් පමණ වූ තාපස තුමාගේ අනුගාමී ජටිලයෝ ප්‍රණීත වූ ඕජායසම්පන්න වූ ඵලාඵල රැගෙන ගුරුවරයා ළඟට පැමිණ බුදුනුත් ඇදුරුතුමාත් වැඩහුන් අසුන් දෙස බලා විස්මයට පත්වුණා. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි. තමා ගුරුවරයා අභිබවා යන කෙනෙකු මෙලොව තවත් ඇතියි ඔවුන් නොසිතූ නිසා. දැන් තම ඇදුරුතුමා මිටි අසුනකත් අමුත්තා එසේත් නැතහොත් අනෝමදස්සි බුදුහාමුදුරුවෝ තම ගුරුවරයාගේ අසුනෙහි අසුන්ගෙන සිටීමත් නිසා. ඔවුන් මෙලෙස ඇසුවා.

 “ඇඳුරුතුමනි, අපි මෙලොව ඔබට වඩා උසස් කෙනෙක් නැතැයි කියමින් සිටියෙමු. මේ සිටින පුරුෂයා ඔබට වඩා උසස් කෙනෙකියි දැන් සිතන්නෙමු.

දරුවනි, කුමක් කියව්ද? අබඇටයක් සමඟ යොදුන් අටසැටලක්ෂයක් උස මහ මෙරට මා උපමා කරන්නහුද? දරුවනි, සර්වඥ වූ බුදුන් සමඟ මා සම නොකරව්.

ඉන් පස්සේ ඒ තවුසෝ, ඉදින් මේ මහා පුරුෂයා උත්තරීතර පුද්ගලයකු නොවන්නේ නම් අපේ ඇදුරුතුමා මෙබඳු උපමාවක් නොකරන්නේය. ඒකාන්තයෙන් ම මේ මහාපුරුෂයකුම වියයුතුයයි සියල්ලෝ ම බුදුන් පාමුල වැටී ශීර්ෂ ප්‍රණාමයෙන් වන්දනා කරන්නට වුනා.

ඉන් පසු ආචාර්යවරයා ඔවුන් අමතා, දරුවනි. අපේ බුදුන්ට දිය යුතු සුදුසු යමක් අප සතුව නැත. ශාස්තෘන්වහන්සේත් පිඬු සිඟා වඩින වේලාවෙහි මෙහි වැඩමවූහ. අපට පුළුවන් පමණින් දානය දෙමු. නුඹලා ළඟ ඇති ප්‍රණීත ඵලාඵල ගෙනඑව් යයි කියා ඒවා ගෙන්වාගෙන අත් සෝදා තමන් ම බුදුන්ගේ පාත්‍රයෙහි ඵලාඵල තැබුවා. බුදුන් ඵලාඵල පිළිගත් වහාම දෙවියෝ එහි දිව්‍යඕජස් බහාලුවා. ඒ තවුස් තෙම තමන් ම ජලයද පෙරා පිළිගැන්වූවා.

අහාර අනුභව කොට නිම වූ පසු ඔවුන් සියලු දෙනා ම අතවැස්සන් කැඳවා ශාස්තෘන්වහන්සේ ළඟ සතුටු සාමීචි කථා කරමින් සිටියා. බුදුරජාණන් වහන්සේ මෙහි වැඩම කරනු ලැබුවේ සුවිශේෂී කාරණයකට. ඒ සරද සහ ඔහුගේ කල්‍යාණ මිතුරාට අගසවු තනතුර ප්‍රාර්ථනය කිරීමට හැකි පින දැක ඒ සඳහා යොමු කිරීමටයි. ඒ සඳහා අවශ්‍ය පරිසරය සැකසීමට තම අගසවු දෙනමට භික්ෂු සංඝයා සමඟ මෙහි පැමිණෙත්වා යි යැයි බුදුරජාණන් වහන්සේ අදිටන් කරනු ලැබුවා. අගසවු දෙනම බුදුරදුන්ගේ සිත් හසර දැන ලක්ෂයක් භික්ෂූන් ද සමඟින් එහි වැඩමවා බුදුන්ට වැඳ එකත්පසෙක සිටියා.

උපකාර වූ මූලාශ්‍ර – සාරිපුත‍්තත්‍ථෙරවත්‍ථු