අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)230

 

ෂට් අසාධාරණ ඤාණ 09

අසිරිමත් බුදුගුණ වරුණ 24

මහාකරුණා සමාපත්ති ඤාණය 02

තථාගතයන් වහන්සේගේ මහා කරුණා සමාපත්ති ඤාණය නම් කවරේද?

නොයෙක් ආකාරයෙන් ලොව දක්නාවූ භාග්‍යවත් බුදුවරයන් වහන්සේලාට සත්වයන් කෙරෙහි මහා කරුණාව පහළ වෙනවා. එය පටිසම්භිදාමග්ගපාළියෙහි සාරිපුත්ත මහ රහතන් වහන්සේ මෙලෙස වර්ගකොට බෙදා දක්වා තිබෙනවා.

1. ආදිත්තෝ ලෝකසන්නිවාසෝ’ති පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්තේසු මහාකරුණා ඔක්කමති.

මෙය තමයි පළමුවන මහා කරුණා සමාපත්තියට සම වැදීමේ අරමුණ, “ආදිත්තෝ ලෝක සන්නිවාසෝ”.

ලෝක සන්නිවාස කියන්නේ, මෙතැන ලෝක සත්වයාට නමක්, ලෝක කියන්නේ කවුද? කුමක් ද?

පච්චයේහි, සංකරියති, ලුජ්ජති, පලුජ්ජතීති, ලෝකෝ.

හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වන, හේතු ප්‍රත්‍යයන්ගේ ශක්තියෙන් ම කැඩි කැඩී, බිඳී බිඳී, නැති වෙවී යන සංස්කාර රාසියට කියනව ලෝකය කියලා. ඒ මේ ලෝකයට ම අයත් බැවින්, සියලුම සත්වයෝ ද, පුද්ගලයෝ ද, ලෝක සන්නිවාස නමින් හඳුන්වනව. ඒ මේ ලෝක සත්වයා ආදිත්තෝ, ගිනෙන් දැවෙනවා. මේ ලෝක සත්වයා ගින්නෙන් (රාගාදි ගිනි වලින්) දැවෙනවා. මේ ගින්න නිවන්නට මා හැර කවුද වෙන ඉන්නේ. මේ ගින්න නිවන්න මා ඉදිරිපත් විය යුතුයි කියල මහාකරුණා සමාපත්තියට සමවදිනවා.

2. උය්‍යුත්තෝ ලෝකසන්නිවාසෝ

මේ ලෝක සන්නිවාස හෙවත්, ලෝක සත්වයා, නිරන්තරයෙන් අතරක් නෑර දුකක් විඳීමේ පීඩාවකින් ඉන්නව. උය්‍යක්තෝ කියන්නේ, උත්සහයකින් නිතර දුකට පිළියම් කරනව. උදේ අවදි වූ තැන් පටන්, නැවත නින්දට යන තුරු නිරන්තරයෙන් ම මේ දුකට පිළියම් කිරීමේ විශාල ව්‍යායාමයක යෙදී සිටිනවා. “

මේ දුකට පිහිට වෙන්නට වෙන කවුද ඉන්නේ. වෙන කිසිවකු නැති බැවින් මම පිහිට වෙන්නට ඕනැ කියල ලොවුතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ මහා කරුණාවට සමවදිනවා.

3. පයාතෝ ලෝකසන්නිවාසෝ,

මේ ලෝක සත්වයා නිරන්තරයෙන් ජරාමරණයන්ට පවරල තියෙනවා. උපන් දා පටන් ජරාමරණයට පවරල තියෙනවා. හරියට මරණ සහතිකයක් වගේ. බලවත් රාජ අපරාධකාරයෙකු හට, අසවල් දවසේ අසවල් තැනදී අසවල් විනාඩියට එල්ලා මරන්නට ඕනෑ කියල නියමයක් කරල තියෙන්නා වගේ, මේ ලෝක සත්වයා උපන් දා පටන් ජරාවට මරණයට කැප වෙලා ඉන්නවා. ජරාවට මරණයට හිමිකාරයෙක් වෙලා ඉන්නවා.

මෙන්න මේ කරුණ ගැන සිතන කොට ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට මහාකරුණාව පහළ වෙනවා.

4. කුම්මග්ග පටිපන්නෝ ලෝකසන්නිවාසෝ,

මේ ලෝක සත්වයා වැරදි මාර්ගයකට පිළිපැද ගමන් කරනවා. නිවන් මගට යන මාර්ගයේ ගමන් කරන්නේ නැහැ. නරකාදියට යන මාර්ගයේ ගමන් කරනවා. තිරිසන් අපායට යන මාර්ගයේ ගමන් කරනවා. ප්‍රේත අපායට යන මාර්ගයේ ගමන් කරනවා. පිට  සක්වළ ට යන මාර්ගයේ ගමන් කරනවා. මිනිසත් බවට යන මාර්ගයේ ගමන් කරනවා. ඉතා ටික දෙනෙක් දේවත්වයට යන මාර්ගයේ ගමන් කරනවා. මිථ්‍යා දෘෂ්ටි, මිථ්‍යා සංකප්පාද වූ මිථ්‍යා මාර්ගයේ ම ගමන් කරනවා. අවවාදයක් කළත් ඒක නොමඟින් තමයි පිළිගන්නේ. මෙන්න වැරදි මාර්ගයේ ගමන් කිරීම නිසා ලෝක සත්වයා ජරාමරණාදී දුකෙන් පෙළනවා.

මේ සත්වයා වැරදි මාර්ගයෙන් ගොඩ ගෙන, නිවැරදි මාර්ගයට යවන්නට මා ඉදිරිපත් විය යුතු යයි කියා ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ, මහාකරුණා සමාපත්තියට සමවදිනවා.

5. උපනීයති ලෝකෝ අද්ධුවෝ,

මේ ලෝක සත්වයා උපන් දා පටන්, ජරා මරණ වෙත ඇදීගෙන යනවා. උපනීයති කියන්නේ පමුණුවනු ලබනවා කියන එක. වධකස්ථානයට ගෙන යන හරකෙකු තබන තබන පියවරක් පාසා වධක ස්ථානයට සමීප වෙලා වගේ, එසේම මරන්නට නියම වූ වරදකරුවෙකු තබන තබන පියවරක් පාසා ඔහුගේ මරණයට සමීප වෙන්නා වාගේ, ළඟා වෙන්නා වාගේ, උපන් දා පටන් අවුරුද්දෙන් අවුරුද්ද, මාසයෙන් මාසය, සතියෙන් සතිය, පැයෙන් පැය, විනාඩියෙන් විනාඩිය, තත්පරයෙන් තත්පරය, චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණය, මේ ආත්මභාවය ජරා, මරණ වෙත ඇදීගෙන යනවා. උදේ උදා වූ සූර්ය මණ්ඩලය මොහොතක් එක තැන නොසිට, පැය දොළහක් ඇතුළත අස්තයෙන් අස්තයට බැසගෙන යනවා. අවරට යනවා. මේ වාගේ සෑම සත්වයෙක් ම ජරා මරණ වෙත ඇදීන්ගෙන යනවා. මේ සත්වයා හට මා හැර වෙන කෙනෙක් නැහැ නේ ද පිහිට වෙන්ට කියා ලොවුතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ මහාකරුණා සමාපත්තියට සමවදිනවා.

6. අතාණෝ ලෝකෝ අනභිස්සරෝ,

මේ ලෝක සත්වයා තමාගේ යැයි කියන ලද සියල්ල හැර දාල අනාථව පරලොව යනව. හරිහම්බ කළ වස්තුවත් මගේ මගේ කියමින් හදාවඩා ගත්ත මේ ශරීර කුඩුවත් මහ පොළොව මත හැර දාල, අනාථව පරලොව යන්න සිදුවෙනවා. මේ බව සලකා සම්මා සම්බුදු රජාණන් වහන්සේ මහාකරුණා සමවතට සමවදිනවා.

7. ඌනෝලෝකෝ අතිත්තෝ තණ්හාදාසෝ ති,

මේ ලෝක සත්වයා සැමදාම, නොපිරුණු කළයක් වාගේ තෘෂ්ණාවෙන් සෑහීමකට පත් නොවී අතෘප්තිකර ජීවිතයක් ගෙවනවා. තෘෂ්ණාවට වහල් වෙලා ජීවත් වෙනවා. මොවුන්ට මා හැර වෙන කෙනෙක් පිහිට වෙන්නෙ නෑ කියලා මෙනෙහි කරමින් මහාකරුණා සමවතට සමවදිනවා.

8. අතායණෝ ලෝකසන්නිවාසෝ,

ලෝක සන්නිවාස හෙවත් මේ ලෝක සත්වයාට ආරක්ෂා වෙන්නට තැනක් නැහැ. හැමතැනම තියෙනවා, මේ සංසාර වධබන්ධන. ඒක නිසා ලෝක සත්වයාට ආරක්ෂා වෙන්නට තැනක් නැහැ කියන කාරණය සිහිපත් කරමින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහාකරුණා සමවතට සමවදිනවා.

9. අලේණෝ ලෝකසන්නිවාසෝ,

ලෝක සත්වයාට සැඟවී ඉන්න තැනක් ලෝක ධාතුවේ කොතැනකවත් නැහැ. ගල් කුහරයකවත්, පර්වත කුහරයකවත්, අහසේත්, මහමුහුදේවත් සැග වී ඉන්න තැනක් නැහැ. තමා කළ කර්මයේ විපාක තමාම විඳින්න ඕනැ. තමන් ගොඩනගා ගත්ත ප ස්කන්ධ දුක තමන් ම විඳින්නට ඕනෑ. මේ නිසා ලෝක සත්වයාට ආරක්ෂා ස්ථානයක් නැහැ, සැඟවී ඉන්න ස්ථානයක් නැහැ කියන කරුණ සිහිපත් කරමින් මහාකාරුණිකයන් වහන්සේ මහාකරුණා සමාපත්තියට සමවදිනවා.

10. අසරණෝ ලෝකසන්නිවාසෝ,

මේ ලෝක සත්වයා පරම අසරණ තත්වයෙන් වාසය කරනව. තමන්ට එන භය සන්සිඳවා ගන්නටත් බැහැ. අන් අයට එන භය සන්සිඳවන්න සමර්ථකමකුත් නැහැ. ඒක නිසා අසරණයි ලෝක සත්වයා කියා, මොවුන්ට මා හැර වෙන කෙනෙක් පිහිට වෙන්නෙ නෑ කියලා මෙනෙහි කරමින් මහාකරුණා සමවතට සමවදිනවා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

ඛුද්දකනිකාය » පටිසම්භිදාමග්ගපාළි » මහාවග්ගො » ඤාණකථා » මහාකරුණාඤාණ නිද්දේශය