අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 168

 

බෝසතාණන් ද පැතු දෙතිස් ගුණාංගයෙන් යුතු බෝසත් බිරිඳ යසෝධරාව 03

සිදුවන දෙය රහසින් විපරම් කරමින් සිටි රාජපුරුෂයෝ සුද්ධෝදන රජු වෙත ගොස් “දේවයන් වහන්ස යශෝධරා කුමාරිකාවෝ කුමාරයන් වහන්සේගේ ඇසට ඉලක්ක වූණා. දෙදෙනා අතර මොහොතක් කිසි කතාබහක් ද වුනා ” යැයි සැළ කර සිටියා. සුද්ධෝදන මහ රජතුමාත් එය අසා ප්‍රීතිව යශෝධරාවන්ගේ පියාණන් වෙතට “ඔබ දුව මා පුත් කුමරාට පාවා දීමට කැමතිදැයි අසා දූතයකු පිටත්කර යැවුවා.

බුද්ධත්වය පතා තම දියණිය හැර දා සිදුහත් කුමරු යයි යනුවෙන් බියවූ යසෝධරාවගේ පියාණන් විවාහ යෝජනාවට අකමැති වීම.

යශෝධරාවන්ගේ පියා මේ වනවිටත් සිදුහත් කුමරුවන්ගේ භාෂාශාස්ත්‍ර, ශිල්ප විද්‍යා විෂයයන්හි දැක්වූ සමාර්ථයන් පිළිබඳව පැහැදී සිටියේ. එහෙත් ලපටි වියෙහි කුමාරයන් පිලිබඳ අනාවැකි පැවසූ අනාවැකි කරුවන්ගේ කතාවන් සිහිකොට කවරදාක හෝ මේ කුමරු ගිහිගෙය හැරදමා පැවිදි වෙතැයි සිය දියණිය පාවා දීමට මැළි වුනා . එහෙත් එය පිටතට නොඅඟවා යශෝධරාවන්ට තම අදහස් පිළිගන්වනු පිණිස ඇය ළඟට කැඳවා “දුව සිද්ධාර්ථ කුමාරයෝ කවරදාක හෝ ගිහි ගෙය හැර තපසට යන එක ඒකාන්තයි. අසිතර්ෂි තුමා ද නිමිත්ත පාඨක බමුණන් ද කී අනාවැකිය කා අතරත් ප්‍රකට එකක්. නුඹ ඔහුට පාවා දුනහොත් වැඩිකල් නොයා දීම කනවැන්දුම් වෙන්න පුළුවන්. එබැවින් ඔහු හා කර බන්ධනයට කැමති නොවන්න. යැයි කියා සිටියේ පියෙකු ළඟ දුවකට තියෙන අසීමත සෙනෙහෙන්. එතකොට යශෝධරා දේවිය මෙලෙස කිවා.

සිද්ධාර්ථ කුමරුන් හැර වෙන කිසිවකු හා සමග විවාහ නොවන බව යසෝධරාව තම පියාණන් හට පැවසීමෙන් පසු විවාහය සිදුකිරීම.

” පියාණෙනි මා සරණ යතොත් ඒ සිද්ධාර්ථ කුමාරයන් සමගම පමණමයි. එතුමන් හෙට පැවිදි වෙතත් එතුමන් කෙරෙහිම මිස අන් කිසිවෙකු හා සමග නො වසමි ” යනුවෙන් කියා සිටියා. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් එකට පැමිණි ගමන එලෙස කිසිවෙකුට ලෙහෙසියෙන් වෙන් කිරීමට හැකියාවක් ඇත්තේම නෑ . සිද්ධාර්ථ කුමාරයෝ ද යශෝධරාවන් මිස අන් කිසිම කුමරියක ආවාහ කොට නොගන්නෙමි එලෙස තරයේම කියා සිටියා. මෙසේ ඒ කුමරු කුමරියන්ගේ සරණ මංගල්‍යය වෙන කිසිවෙකුහට වලක්වාලිය නොහැකි වුනා . නොබෝ දිනකින් මහත් වූ මඟුල් උළෙලකින් යශෝධරා ව සිද්ධාර්ථ කුමාරයාණන්ට පාවා දෙනු ලැබුවා. ශුද්ධොදන රජ්ජුරුවෝ දෙදෙනාටම එක් විට කිරුළ පැළදුවා.

සිද්ධාර්ථ කුමරු සහ යසෝදරා දේවිය ත්‍රිවිධ ප්‍රාසාද තුල ගතකල තපස් දිවිය.

සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේත් යශෝධරා දේවීන්වහන්සේත් පෙර සිය දහස් ගණන් ජාතීන්හි එකට ඇසුරු කරමින් පෙරුම් පිරීමට එකිනෙකාට උපකාර වුනා . එයින් ඇති වූ ස්නේහය නිසා ඔවුහු එක්ව විසීමට කැමැත්ත ඇති ව සිටියත් කාමාසක්ත නොවී සෙනෙහෙබර සහෝදරයෙකුත් සහෝදරියකත් ලෙසින් ඔවුඔවුන්ට උපකාරී ව ලැදි ව කල් ගෙවන්නට වුනා . සුද්ධෝදන රජු සහ ප්‍රජාපතී දේවිය මේ අලුත් රාජ රාජිනී දෙදෙනාට දුක් පිළිබඳ කිසිම හැඟීමක් ඇති නොවන ලෙසට අවශ්‍ය හැමදෙයක්ම සපයනු ලැබුවේ සසර කලනොකිරීමට.

යසෝධරාවගේ පැමිණීමෙන් පසු රජමාලිගයේ සේවක සේවිකාවන් වහල්භාවයෙන් මිදීම.

යශෝධරාවන් රජගෙදරට එන්නට පෙර රජ පවුලේ පිරිසට වෙනමත් සේවක සේවිකාවන්ට වෙනමත් බොජුන් පිළියෙල කෙරුණා. එහෙත් යශෝධරාවන් එය වෙනස් කොට රජපවුලට පිළියෙල කෙරෙන ආකාරයෙන් රාජ භෝජන එහි සේවක සේවිකා දාසි දාසියයි දාසයන්ට හැමදෙනාටම දෙන්නට සැලැස්වූවා. එදා රටේ සිරිත අනුව සුද්ධෝදන රජ ගෙදරද දාස දාසි නමින් සේවක පිරිසක් සිටියත් ඔහු වහල්ලු නොවුනා . ඔවුන්ද රජ පවුලේ හිත මිතුරන් සේ මහත් රුචියෙන් තම සේවාව ඉටුකලා. රජගෙයි පමණක් නොව මුළු රටෙහි හැමදෙනාම යශෝධරාවන්ගේ කරුණා ගුණය කෙරෙහි පැහැදුණා.

සිදුහත් කුමරාගේත් යශෝධරා දේවියගේත් තපස් දිවිය නිසා දරු ඵල ප්‍රමාද වීම

කපිලවස්තු පුර වැසි සියල්ලෝ යශෝධරාවන්ට තමන් හැමදෙනාගේ මවක මෙන් මහත් ආදර ගෞරව බුහුමන් දැක්වුවා. සිද්ධාර්ථ කුමාරයත් යශෝධරාවත් වසන මාලිගාව සුද්ධෝදන රජුගේ මෙහෙයවීමෙන් නිරතුරු පැවැත්වෙන නැටුම් ගැයුම් ආදියෙන් හැමදාමත් මගුල් ගෙයක මෙන් සිරි ගත්තා. කොතරම් යස ඉසුරු සම්පත් පිරී තිබුනත් සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේගේත් යශෝධරා දේවීන් වහන්සේගේත් ගිහි ජීවිතය උත්සව භූමියක ඉන්නා තපස් වරයෙක් හා තපස් වරියකගේ ජීවිතය බඳු වුනා . ඔහු ලොව තතු සලකා බලන්නේ එළැඹ සිටි සිහියෙන් කල් යැවූවා. යම්කිසි දවසක ගිහිගෙය හැරදා යා යුතුයැයි අනගාරික ජීවිතයක් ගත කළ යුතු යැයි යන අදහස දෙදෙනාටම විය. තවුසන් මෙන් දිවි ගත කළ නිසාම ඔවුන් දෙපලට බොහෝ කලක් යන තුරුත් දරුවෙක් නොලැබිණ. යශෝධරාවන්ගේ කුස දරුවකු පිළිසිඳ ගත්තේ බෝසතාණන්ට අටවිසි වැනි අවුරුද්දේදීයි.

සැළකිය යුතුයි; සිදුහත් කුමරුගේ විවාහය පිළිබඳ වැඩි විස්තරයක් ජාතක අටුවාවේ හෝ අනිකුත් ථෙරවාද ග්‍රන්ථ වල සඳහන් නැත. එනිසා බළංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමිපාණන් මෙම විස්තර උපුටාගෙන තිබුණේ ලලිත විස්තරය ඇතුලු මහායාන ග්‍රන්ථවලිනි.

උපකාරක ග්‍රන්ථ – ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධර්තගෞතම බුද්ධ චරිතය, ජාතකට්ඨකථාව.