අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 167

 

බෝසතාණන් ද පැතු දෙතිස් ගුණාංගයෙන් යුතු බෝසත් බිරිඳ යසෝධරාව 02

මට කුමරියක පාවා දෙතොත් ඇය මෙහි සඳහන් වන දෙතිස් ගුණාංගයන්ගෙන් යුතු කෙනෙකු විය යුතු යැයි කුමරා බෝසත් බිරිඳක් සතු විය යුතු ගුණාංග පිලිබඳ විස්තරයක් සුද්ධෝදන මහ රජුට යවනු ලැබුවේ එවැනි කුල කාන්තාවක් කිසිදිනක සොයා නොගනීවි යයි සිතමිනි. එහෙත් ඒ සඳහාම පාරමී පුරමින් පැමිණ මේ සියලුම ගුණාංගයන් සහිතව තම ආදරණිය බිරිඳ යසෝධරා ඔහු උපන් දිනයේම මෙලොව එළිය දුටු බව ඔහුද දැන සිටියේ නැත.

සේවකයන් මෙම ලිපිය සුද්ධෝදන මහ රජුට දෙනු ලැබුවා. මහරජ එය කියවා බලා පෙරෙවි බමුණා කැඳවා ඔහුට මෙලෙස පවසනු ලැබුවා. “බමුණානෙනි, යන්න මෙහි සඳහන් ගතිගුණ ඇති කන්‍යාවන් ඇත්දැයි සොයා බලන්න. යම් කන්‍යාවක කෙරෙහි මේ ලිපියෙහි සඳහන් ගුණ ඇත්නම් ඇය ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යන කවර කුලයක එකියක වුවද කම් නැත. මාගේ පුතා කුලවංශ ගෝත්‍ර භේද නොසලකති. ඔහු ගුණ දහම පමණක් සළකනවා. ඒ නිසා වහාම මාව දැනුවත් කරන්න. යනුවෙන් කියා ඔහුව පිටත් කර යවනු ලැබුවා.

බමුණු තෙමේ ද ලියවිල්ල ගෙන විවිධ නගර වෙත යමින් මානාධික වූ ශාක්‍යකන්‍යාවන් අතුරෙහි හෝ අන් කුලවල දැරියන් අතර හෝ එම ගුණාංග වලින් යුතු කුමරියක් සොයන්නට වුවත් අවසානයේ එය නිෂ්ඵල කාර්යයක්ම වුනා . එහෙත් නොපසුබට වීර්යයෙන් තව දුරටත් ඇවිදින ඔහු එක් රාජ වංශිකයකුගේ මාලිගයකට පිවිසුණා. එවිට පෙර නොදුටු විරූ රූප සම්පත්තියෙන් යුතු කන්‍යාවක් ඔහු විසින් දුටුවා. බමුණා දුටු කුමරිය වහා ඉදිරියට අවුත් පෙරෙවි බමුණා ගේ පාමුල වැටී දෙපා අල්ලා ඔබට කුමක් අවශ්‍ය දැයි විමසනු ලැබුවා. එවිට බමුණා ඒ ලියවිල්ල පෙන්වා සුද්ධෝදන මහරජු සිද්ධාර්ථ කුමාරයාට මේ ලියවිල්ලෙහි දැක්වෙන ගුණ ඇති කෙනෙක් ආවාහ කොට දෙන්නට අපේක්ෂා කෙරෙයි යනුවෙන් පවසනු ලැබුවා. මේ කුමරිය නම් යශෝධරාවයි. ඕ ලියැවිල්ල අතට ගෙන කියවා බලා එහි සඳහන් සියලු ගතිගුණ තමා තුළ ඇති නියාව දැක “බමුණානෙනි, මෙහි සඳහන් හැම ගුණයක්ම මා කෙරෙහි ඇත. සිද්ධාර්ථ කුමාරයෝ මාගේ ස්වාමියා වෙත්වා එය කුමාරයන්ට කියන්න”එමෙන්ම පහත් ගති ඇති කිසිවකු හා එක්ව මාගේ වාසයක් ද නොවන්නේ යැයි කියනු ලැබුවා. යශෝධරාවෝ සුප්‍රබුද්ධ රජුගේත් සුදොවුන් රජුගේත් සොහොයුරියකගේ දියණියයි. බමුණානෝ ගොස් සුදොවුන් මහ රජුට යශෝධරාවන් පිළිබඳව තමා විමසා දත් සියල්ල සැළ කර සිටියා.

එවිට රජතුමා මෙලෙස සිතුවා. කුමාරයෝ ගුණ දහමෙහිම ඇලුණ කෙනෙක්. ඇතැම්විට ස්ත්‍රීහු තමන් කෙරෙන් නැති ගුණද ඇති සේ අඟවනවා. එනිසාම කුමරියක තෝරාගැන්ම කුමාරයන්ටම පැවරීම නුවණටහුරු යැයි සිතා එයට උපායක් යොදනු ලැබුවා. රජතුමා ස්ත්‍රී පළඳනා රාශියක් කරවා මේවා කුමරුන් ලවා රැස්වන ශාක්‍ය කුමාරිකාවන්ට දෙන්නෙමි මේවා දීමේදී යම් එකියක කෙරෙහි කුමරුවෝ වැඩි සැලකිල්ලෙන් බැල්ම හෙලූ නම් ඇය පාවා දෙමියි සිතා ගත්තා. ඉන්පස්සේ රන් රිදී මුතු මැණික් යොදවා ස්ත්‍රී පලදනා රාශියක් කරවනු ලැබුවා. ඉන්පස්සේ මෙලෙස නිවේදනයක් කරනු ලැබුවා.

“අද පටන් තව සතියකින් කපිල වස්තුවෙහි සංස්ථාගාර ශාලාවෙහි සිද්ධාර්ථ කුමාරයෝ පෙනී සිටින්නාහ. එහි එන සියලු දැරියනට තුටු පඳුරු දෙන්නාහ. ඒවා ලබනු කැමති සියලු දැරියන් එදා එම ශාලාවට පැමිණිය යුතුයැයි” සැමතැනම ඝණ්ටාඝෝෂාවන් කරවනු ලැබුවා.

සත්වෙනි දිනයෙහි බෝසතාණෝ ශාලාවට වැඩ තමන්ට නියමිත භද්‍ර ආසනයෙහි හිඳ ගත්තා. සුද්ධෝදන රජ ද කවර නම් තැනැත්තියකට කුමාරයාණන් වැඩි සැලකිල්ලක් දක්වන්නේදැයි විමසා රහසින් බලා සිටින්නට රාජ පුරුෂයන් කිහිපදෙනෙකු යොදවනු ලැබුවා. කුමාරිකාවන් කෙනෙකුට පසු කෙනෙක් පිළිවෙලින් කුමාරයන් වෙත පැමිණියා. සිද්ධාර්ථ කුමාරයාණන් රූපශ්‍රීයෙන් අගපත් නිසාද, එක්කම පැවැති තේජස නිසාද, පැමිණි කිසිම කුමරියක් කුමාරයාණන් දෙස කෙලින් බලන්නට නො සමත් වුනා . බිම බලාගත් වනම ඇවිත් කුමරුන් දෙන පඬුරු පිළි ගෙන වහා නික්මගියා. සිද්ධාර්ථ කුමාරයෝ ද තුටු පඬුරු දුන්න නමුදු ඒ කිසිම කුමරියක දෙස ඕනෑකමින් බැලුවේ නැහැ. මැදහත් බැල්මෙන් යුතුව ඒ හැමදෙනාටම තුටු පඩුරු දෙනු ලැබුවා. ශාලාව වටා ආසනවල හිඳ බලා සිටී ශාක්‍ය අධිපතීහු කුමාරයාණන්ගේ ඉරියව් දැක “මේ නම් මහ පුදුම කෙනෙක් දෙව් කුමරියන් බඳු මේ තරම් රුසිරු හෙබි මේ කුමරියන් දැක ද ඕනෑකමින් බැල්මකුදු නොහෙලා යි සිනහ පමණකුදු නො පෑය. කිසිකෙනෙකු විසිනුත් නමා ගත නොහැකි තද සිතක් ඇත්තෙකු යැයි” ඔවුන් නොවුන් කොඳුරන්නට වුනා .

සියලු කුමරියන් නික්ම ගොස් නොබෝ වේලාවකින් යශෝධරාවන් පැමිණියා. ඇවිත් කුමාරයාණන් වෙත ගොස් බලාගත් වනම සිටියා. මේ වන විට පිළියෙල කර තිබූ සියලුම පළඳනාද නිම වී තිබුණා. එහි යශෝධරාවන්ට දෙන්නට කිසිවක් ඉතිරිව තිබුනේ නැහැ. යශෝධරාවෝ කුමාරයන් ළඟටම ගියා. ගොස් සිනාමුසු මුහුණින් යුතුව “කුමාරයාණෙනි මට තුටු පඩුරක් නොදෙන්නේද? ඔබෙන් යමක් පතා ආ මට සැලකිල්ලක් නොදක්වන්නේදැයි” ඇසුවා.

එවිට කුමරු “ඔබට නො සලකන්නේ නොවෙමි. සියලු තුටු පඬුරු දී නිම විය. ඔබ ආවේ බොහෝ පරක්කු වී කියා සිනහ මුහුණින් යුතුව තමන්ගේ ඇඟිල්ලක තිබුන ලක්ෂ ගණනක් අගනා මුද්ද ගලවා ඇය අතෙහි තැබුවා. එවිට “මේ ඔබේ මුදුව පළඳින්නට මම සුදුසුදැයි ඇය ඇසුවා” එවිට කුමරා ” මෙය මා සතු මුද්දකි. මේ පිළිගන්න. එවිට යසෝධරාව අපි ඔබගේ පළඳනා හැරගෙන ඔබගේ ඇඟිලි හිස් කරන්නට කැමැති නැත යනුවෙන් පවසා සිටියා. එවිට කුමරා “අපි ඔබට සුදුසු පළඳනා වන්ගෙන් මෙලෙස සරසන්නෙමු” යනුවෙන් පවසනු ලැබුවා. එවිට යශෝධරාවෝ බොහෝ සතුටු සිත් ඇතිව ගරු බුහුමන් දක්වා නික්ම ගියා.

සිදුවන දෙය රහසින් විපරම් කරමින් සිටි රාජපුරුෂයෝ සුද්ධෝදන රජු වෙත ගොස් දේවයන් වහන්ස යශෝධරා කුමාරිකාවෝ කුමාරයන් වහන්සේගේ ඇසට ඉලක්ක වූණා. දෙදෙනා අතර මොහොතක් කිසි කතාබහක් ද වුනා  යැයි සැළ කර සිටියා. සුද්ධෝදන මහ රජ එය අසා ප්‍රීතිව යශෝදරාවන්ගේ පියාණන් වෙතට ඔබ දුව මා පුත් කුමරාට පාවා දෙන්නේ යැයි දූතයකු යැවී ය

උපකාරක ග්‍රන්ථ – ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධර්තගෞතම බුද්ධ චරිතය, ජාතකට්ඨකථාව.