අපේ බුදුහාමුදුරුවෝ 125

 

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 20

කහවනු සියයක ණය හිලව් කිරීමට ජූජක මහලු බමුණාට පාවා දුන් තරුණ රූමතිය.

වෙසතුරු රජ ඇතුළු පවිලේ සියලු දෙන තපස් පැවිද්දෙන් පැවිදිව එලෙස බ්‍රහ්මචාරී ජිවිතයක් ගත කරද්දී තවත් පදෙසෙක ඔබ අප අසා ඇති තවත් අතීත වෘතාන්තයක් මෙලෙස ආරම්භ වෙමින් පැවතුණ.

කහවනු සියයක ණය හිලව් කිරීමට ජූජක මහලු බමුණාට පාවා දුන් තරුණ රූමතිය.

ඒකාලයේ කලිගු රටේ දුනනිවිටඨ නම් බ්‍රාහ්මණ ගමෙහි වැසියෙකු වූ ජූජක නම් බ්‍රාහ්මණයෙක් සිගාකෑමෙන් ජීවත්වුණා. ඔහු සිගාකෑමෙන් ලැබූ කහවණු සියයක් ආරක්ෂාව පිණිස එක්තරා බ්‍රාහ්මණ ගෙදරක තබා නැවත මුදල් සෙවීම සදහා පිටත්වුණා. ඔහු ආපසු ඒමට කල්ගත වූ නිසා බ්‍රාහ්මණ ගෙදර අය තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් වලට පරිස්සමට තැබූ කහවණු වියදම් කරගත්තා. පසුව මුදල්හිමියා අවුත් මුදල් නැති බව පිළිබදව චෝදනා කරද්දී මුදල් දීමට නොහැකි නිසා අමිත්තාතාප නම් තම දියණියව ඔහුට ඒ සඳහා හිලවු වීමට පාවාදුන්නා. ඔහු ඇයවත් රැගෙන කලිගු රටේ දුනනිවිටඨ නම් ගමට ගොස් අලුත් දිවියක් ආරම්භ කළා.

ජූජක මහලු බමුණාගේ තරුණ බිරිඳට ගමේ අනෙකුත් ගැහැණුන් නින්දා පරිභව කිරීම.

ඇය අමිත්තාතාපාව බ්‍රාහ්මණයාට ඉතාමත් හොදින් සැළකුවා. අනෙක් තරුණ බමුණෝ ඇගේ ආචාරශීලි බව දැක “මේ තැනැත්තිය මහළු බමුණකුට සත්කාර කරන්නීය.නුබලා අප කෙරෙහි කුමක් නිසා එසේ නොකරන්නාහුදැයි” තමන්ගේ බිරින්දන්ට තර්ජනය කරන්නට දොස් කියන්නට පටන්ගත්තා. එයින් කිපුණු ඒ කාන්තාවෝ මේ අමිත්තාතාපාව ගමෙන් පැන්නිය යුතුයයි සිතා ගංතොට ආදී තැන්හිද රැස්වී ඇයට නින්දා කරන්නට පටන්ගත්තා. ඒ කාන්තාවෝ දිය ගෙනෙන්නට ඔයට ගිය ඒ අමිත්තතාපාව පිරිවරාගෙන මෙසේ ඇනුම් පද කියන්නටත් පරිභව කරන්නටත් වුණා.

“මෙවන් ළදරු බව ඇතිකල්හි යම්කෙනෙක් තී මේ දිරාගිය මහල්ලාට දුන්හුද තිගේ ඒ මව සැතිරියකයි සිතම්හ. තිගේ ඒ පියා සතුරෙකයි හගිම්හ.

මෙවන් ළදරු බව ඇතිකල්හි යම්කෙනෙක් තී මේ දිරාගිය මහල්ලාට දුන්හිද තිගේ ඒ නෑයෝ රහසිගත තිට අවැඩක් මන්ත්‍රණය කළාහු විය යුතුය.

මෙවන් සොදුරු ළදරු බව ඇතිකල්හි යම්කෙනෙක් තී මේ ජරාජීර්ණ මහල්ලාට දුන්හුද තිගේ ඒ නෑයෝ රහසිගත තිට අවැඩක් මන්ත්‍රණය කළාහු විය යුතුය.

මෙවන් සොදුරු ළදරු බව ඇතිකල්හි යම්කෙනෙක් තී මේ ජරාජීර්ණ මහල්ලාට දුන්හුද තිගේ ඒ නෑයෝ රහසිගත තීට දුෂ්කරයක් මන්ත්‍රණය කළාහු විය යුතුය.

මෙවන් ළදරුවිය ඇතිකල්හි යම්කෙනෙක් තී මේ ජරපත් මහල්ලාට දුන්හුද තීගේ ඒ නෑයෝ රහසිගතව තිට පව්කමක් මන්ත්‍රණය කළාහු වන.

මෙවන් තුරුණුබව ඇතිකල්හි යම්කෙනෙක් තීමේ දිරාගිය මහල්ලාට දුන්හුද තිගේ ඒ නෑයෝ එකලා වැලිදු තිට අමනාපයක් මන්ත්‍රණය කළාහු විය යුතුය.

මෙවන් ළදරුබව ඇතිකල්හි නොමනා විසීමක් වසන්නෙහි යම්බදු තෝ මහල්ලාගේ ගෙහි වාසය කෙරෙහිද ඒ තිගේ ජිවිතයට වඩා මරණය උතුම්ය.

කල්‍යාණ වූ සොදුරිය, මෙවන් තරුණ බව ඇති කල්හි තී යම් කෙනෙක් මහල්ලාට දුන්හුද ඒ තිගේ මවුද ඒ තිගේ පියාද තිට අනික් සැමියකු නොලත්හයි සිතම්හ.

මෙවන් දහර බව ඇතිකල්හි තී යම්කෙනෙක් මහල්ලාට දුන්හුද ඒ තී විසින් නවම් යාගය නපුරුකොට පුදන ලද වන තී විසින් ගිනිපුජා නොකරනලද්දේ විය.

මෙවන් තරුණ බවක් ඇතිකල්හි යම්බදු තොප මහල්ලාගේ ගෙහි වාසය කෙරෙහිද, ඊට හේතුව තොප මිට පෙර ආත්මභවයන්හි ලෝකයේ බඹසරෙහි නියැලී සිල්වත් බොහෝ අසුපිරූ තැන් ඇති මහණ බමුණන්ට අක්‍රෝෂ කල නිසාවෙනි..

නයකු විසින් නසන ලද්දේ දුක් නොවෙයි. සැතින් පහරන ලද්දේ දුක් නොවෙයි.යම් ස්ත්‍රියක් මහළු සැමියකු දකීද හේ මැ දුක්ද තියුණු දුක්ද වෙයි.

මහළු සැමියා සමග ක්‍රීඩාවක් නැත. කාමරතියක් නැත. අල්ලාප සල්ලාපයක් නැත. සිනාවද නො හොබී. යම්කලෙක තරුණයාද තරුණියද දෙදෙන රහසිව හිද රහස් කියද්ද එසද ඔබලාගේ ළය ඇසුරුකළ යම්කිසි ශෝක කෙනෙක් ඇද්ද ඒ හැම ශෝකයන් නසිති.

තෝ ළදැරියෙහි රූමත්ය.පිරිමින් විසින් වෙසෙසින් පතන ලදුවහු නැගී යන්න.නෑයන්ගේ ගෙයි වසන්න.මහල්ලා කෙසේ නම් තී රමණය කරන්නේද ?

ඇය ඔවුන් ඉදිරියේ මෙලෙසින් අපහාස විද දියකළයද ගෙන හඩමින් නිවස වෙත පැමිණියා. සොදුරිය අඩන්නේ ඇයිදැයි බමුණා විසින් විචාරණ ලද්දී ඔහුට ඒ බව දන්වමින් මෙලෙස හඬා වැටෙමින් කියන්නට වුණා.

” බමුණ තොප මහලු හෙයින් ගැහැණු මට නින්දා කරති. එහෙයින් බමුණ තොපට දිය ගෙනඒමට ගගට නොයමි.”

එවිට බමුණා ඇයව සනසමින් මෙලෙස කියන්නට වුණා.

“තොපි මින් පසු මට මෙහෙ නොකරව. මට දියගෙන ඒමද නොකරන්න. මම දිය ගෙනෙමි. ඔබ නොකිපෙන්න. “

හරිම පුදුමයි, මෙම කාන්තාව ගැන අප මිට පෙර අසා තිබුනේ මේ අයුරින් නෙවෙයි. නපුරු දුෂ්ඨ මහල්ලාගෙන් වැඩගත් වංක කතක් ලෙසයි. එත් ඒ සියල්ල මේ සටහන කියවන ඔබට බොරු යැයි වැටහේවි. ඇත්තෙන්ම තමාගේ ස්වාමිපුරුෂය වයෝවෘද්ධ මහල්ලෙක් වුවත් ඇය ඔහුට හැම යුතුකමක්ම ඉෂ්ඨ කලේ අවංක කීකරු බිරිඳක් ලෙසින්. එත් ඒ හැම දේම වෙනස් කලේ අපිරිසිදු සමාජය. අපට මෙම කතාව කියා දුන්නෙත් එවැනිම සමාජයක සත්‍ය වසාලමින්.

ගැහැණුන් ගේ අපවාද නිසා පොදු ස්ථාන වලට නොයාහැකි බැමිණිය ඒ සඳහා සේවකයන් ඉල්ලීම.

එම කාන්තාව කෙලෙසින්වත් ඔහුගෙන් වැඩ කරවගන්නට කැමති වුණේ නැහැ. ඇය විසින් සැළකුවේ එය ඇයට කරන මදිපුංචි කමක් ලෙස. ඔහුගේ ඉල්ලීම එක හෙළා ප්‍රතික්ෂේප කල ඇය මෙලෙස කියන්නට වුණා.

යම්හෙයකින් ඔබ මා වෙනුවෙන් දිය ගෙනෙන්නේනම් මා හට බැල මෙහෙවරකම් කරයි නම් මම සැමියාගෙන් වැඩගන්නා එවන් කුලෙයෙහි නුපන්මු. බමුණ, ඔබ එසේ කරනු ලැබුවහොත් මම ඔබගේ ගෙයි නොවසන්නෙමි. එම නිසා මා හට බමුණ ඉදින් දාසයකු හෝ දාසියක හෝ නොගන්නාහු නම් තොප කෙරෙහි නොවසන්නෙමි. යම් කුලයක ස්ත්‍රීන් ස්වාමියන්හට වදකරත් ද මම එබදු කුලයක නුපන්නේ වෙමි. යම් හෙයකින් ඔබ ජලය ගෙනෙන්නේද මට එයින් වැඩක් නැත. බමුණ දැනගනුව, එසේ වුවහොත් මම ඔබට රුචිනොවන දෙයක් කරමි. එවිට ඔබ දුක් වන්නේය. යම්කලෙක ඍතු සම්බන්ධයේදී පවත්නා සැණකෙළියේ ස්වර්ණාභරණයෙන් සැරසුණු මා අන් පිරිමින් හා රමණය කරන්නී දක්නහුද ඒ තොපට දුක්වන්නේය. මා නොදැක්මෙන් හඩන්නාවූ මහළු තොපගේ කුදු බව බොහෝ වන්නේය. පැසුණු කෙහෙද බොහෝ වන්නේය.

එය අසා සිටි බමුණා බොහෝ අසරණ වුණා. ඔහු ඇයට මෙලෙස කිවා. 

“බැමිණිය, මා සතු ශිල්පයක් හෝ ධනයක් නැත . මම කෙසේනම් තිට දාසයක් හෝ දාසියක් ගෙනෙන්නෙම් ද? මම තිට මෙහෙ කරමි. පින්වතිය, කෝප නොවන්න.”

වෙස්සන්තර රජුගේ දරුවන් මෙහෙකාර කමට ගෙනෙන්න යැයි ජූජක බමුණා පිටත්කර යැවීම.

එහෙත් ඒ බසට ඒ තරුණ ස්ත්‍රිය කීකරු වුයේ නැහැ. ඇය මෙලෙස ඔහුට උපාය මාර්ගයක් කියාදුන්නා.

බ්‍රාහ්මණය, යම්සේ මා විසින් තෙපුලක් අසන ලදද එය මම ඔබට කියමි. සියල්ල දන් දෙන වෙසතුරු මහරජ, වංකගිරියේ වසයි. බමුණ ඔබ එහි ගොස් ඔහුගෙන් දාසයකු හෝ දැස්සක ඉල්ලව. එවිට ඒ රජ තොපට දාසයකුද දාසියකද දෙන්නේය. වෙස්සන්තර සමීපයට ගොස් දාසයකු හෝ දාසියක නොගෙනෙන්නාහු නම් තොපට රුචිනොවන දෙයක් කරන්නෙමි. ඒ අසා බ්‍රාහ්මණය තව තවත් බිය විය.

අවසානයේ ඇයගේ තර්ජන බියවැද්දීම් සහ ආදරය හමුවේ ඒ මහලු බ්‍රාහ්මණය තව තවත් බිය වුණා. ඉක්බිති ඒ බමුණා බියපත්ව බැමිණියගේ වයසට සහ කාමරාගයෙන් පෙළෙන ලදුව බැමිණියට මේ කාරණය කීවා.

“බැමිණිය තෙපි සංකුල නම් වූ කැවිලි ද සකුරුනම්වූ කැවිලිද මනාව සෑදු අත්වටද අත්සුණු ද බත්මුලක් ද මට මග උපකරණ ලෙස දෙන්න.සමාන කුල ඇති කුමරුවන් දෙදෙනෙකු තොපට දාසයන් පිණිස ගෙනෙන්නෙහි ඔවුහු දිවාරාත්‍රී නොමැළිව තොපට මෙහෙ කරන්නාහ. ඇයද වහා මාර්ගෝපකරණ පිළියෙළ කරදී බ්‍රාහ්මණයාට දැන්වූවා. ඔහු යාමට පෙර ගෙයි දුබල තැන් ශක්තිමත් කර දොර අලුත්වැඩියා කර වනයෙන් දර ගෙනවුත් කළයෙන් පැන් ගෙනවුත් සියළු භාජන පුරවා එහිදීම තවුස් වෙස් ගෙන, සොදුර මෙතැන් සිට අකාලයෙහි ගෙයින් පිටතට නොයන්න. මා ආපසු එනතෙක් අප්‍රමාදී වන්නැයි අවවාද දී පාවහන් ගලවා මාර්ගෝපකරණ පසුම්බිය උරයෙහි එල්ලාගෙන අමිත්තතාපව ප්‍රදක්ෂිණා කොට වැද කදුළින් පිරුණු දෙනෙතින් යුතුව ජයතුරා නුවරට දාසදාසියන් සොයමින් පිටත්ව ගියා.