අපේ බුදුහාමුදුරුවෝ 18

 

කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 01

දිපංකර බුදුන් වහන්සේ පිරිනිවි වර්ෂ ලක්ෂයක් යනතෙක් උන්වහන්සේගේ සසුන පැවතුනා. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිවයාමෙන් උන්වහන්සේගේ සාසනය ද අතුරුදහන් වුනා. දිපංකර බුදුන්ගේ පරිනිර්වාණයෙන් එක් අසංඛ්‍යයක් ගෙවි එක් කපක කොණ්ඩඤ්ඤ නම් ශාස්තෘන්වහන්සේ කෙනෙක් ලොව පහල වුනා. ඒ භාග්‍යවතුන් වහන්සේ සොළසාසංඛ්‍යය කල්ප ලක්ෂයක් පාරමී පුරා බෝධිඥානය මෝරවා තුසිත ලොව ඉපිද එහි ආයුතාක් කල් වැඩ සිට දේව ආරාධනයෙන් පසු පස්මහ බැලුම් බලා  දෙවු ලොවින් චුතවී රම්මවති නම් නුවරක සුනන්ද නම් රජ කුලයේ සුජාතා නම් දේවියගේ කුසෙහි පිළිසිද ගත්තා.

එදත් දීපංකර බුද්ධවංශයේ කී ආකාරයට දෙතිස් පෙළහර ඇතිවුනා. ඉපදීම සිට බුදුවීම දක්වා වූ කාලයේ ඇතිවූ සියලු විශේෂ සිදුවීම් සියලු බුදුවරුන්ගේ බොහෝදුරට එක හා සමාන වුනා. ඒ කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ අවුරුදු දස දහසක් ගිහිගෙයි වාසය කළා. උන්වහන්සේටත් “රාම”, “සුරාම”,  ’’සුභ’’ ය යන උතුම් ප්‍රාසාද තුනක් තිබුනා. එහි නැටුම් ගැයුම් වැයුම්හි දක්ෂ ඉතා අලංකාර ඇඳුමින් සරසන ලද පරිවාර අඟනෝ තුන් ලක්‍ෂයක් පමණ දිනපතා නැටුම් ගැයුම් වැයුම් පවත්වනු ලැබුවා. බිරිඳ ’’රුචිදේවී’’ නම්. පුත් තෙම ’’ජිනසේන’’ නම් වුනා. අවසානයේ සතර පෙරනිමිති  දැක ගිහිගෙයින් නික්ම දසමසක් මුලුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යය හෙවත් බුදුවීම පිණිස වෙර වෑයම් කොට බුද්ධත්වයට පත්වුනා.

සෑම බුදුවරයෙකුටම අවිජහිත ස්ථාන සතරකි. “අවිජහිත ස්ථාන” යනුවෙන් අදහස් කරන්නේ “අත් නොහරින ස්ථාන” යන්නයි. 

අවිජහිත ස්ථාන සතර

  1. සෑම බුදුවරයෙකුටම බෝධිපර්යංකය අත් නොහරින ස්ථානයකි. එනම් බුද්‍ධගයා බෝධිමණ්ඩලයයි.
  2. එසේම සියළු බුදුවරු ඉසිපතන මිගදායෙහි දම්සක් දෙසති. මෙය ද අත් නොහල ස්ථානයකි.
  3. මාතෘ දිව්‍යරාජයා ඇතුලු දෙවිවරුනට අභිධර්මය දේශනා කර නැවත මනුලොවට පා තැබූ ස්ථානය, එනම් සංකස්ස පුර වනාහී අත් නොහල ස්ථානයකි.
  4. දෙවුරම් ගඳකිළියෙහි ඇඳ පා පිහිටි තැන් සතර යන මේ ස්ථාන සතර සියළු බුදුවරයන් විසින් අත් නොහැරූ ස්ථාන සතර වුනා. එය කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවන්ටත් පොදුවුනා.

උන්වහන්සේ කෙළවරක් නැති තෙද ඇති, අපමණ පිරිස් ඇති, පමණ කළ නොහැකි ගුණ ඇති, ළංවිය නොහැකි ලෝකනායක තවත් බුදුවරයෙක් වුනා.

උන්වහන්සේ ඉවසීමෙන් පොළවට බඳු උපමා ඇත්තේද, සීලයෙන් සාගරයට බඳු උපමා ඇත්තේද, සමාධියෙන් මහමෙරට බඳු උපමා ඇත්තේද,වුනා.