වක්කලී මහරහතන් වහන්සේ.
අතීතයෙහි පියුමුතුරා බුදුන්වහන්සේගේ කාලයෙහි කියනලද අයුරින්ම විහාරයට ගොස් පිරිස් කෙළවර සිටියේ දහම් අසමින් එක්භික්‍ෂුවක බලවත් ශ්‍රද්ධා ඇත්තවුන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක මාද අනාගතයෙහි මෙබන්දකුවීම වටනේයයි කියනලද ක්‍රමයෙන්ම ශාස්තෘන්වහන්සේට නිමන්ත්‍රණය කොට සත්දිනක් මහදන්දී තථාගතයන් වැද ‘ස්වාමීනි, මමද මේ පින්කමින් නුඹවහන්සේ විසින් දැඩි ශ්‍රද්ධා ඇත්තවුන් අතුරෙන් අගතනතුරෙහි තැබූ භික්‍ෂුව මෙන් අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ සසුනෙහි දැඩි ශ්‍රද්ධා ඇත්තවුන් අතුරෙන් අග්‍රවන්නෙම්යයි ප්‍රාත්‍ථර්‍නා කළේය. ශාස්තෘන්වහන්සේගේ ඔහුට අනතුරක් නොදැක විවරණදී වැඩිසේක.
හෙතෙමේත් දිවිඇති තෙක් පින්කම් කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ අපගේ ශාස්තෘන්වහන්සේගේ කාලයෙහි සැවැත්නුවර බමණු කුලයෙක්හි පිළිසඳ ගත්තේය. වක්කලී යනුවෙන් ඔහුට නම් කළාහුය. හෙතෙම වැඩිවියට පැමිණියේ ත්‍රිවේදයන උගෙන බික්සඟන පිරිවරා සැවතෙහි සැරිසරන්නාවූ බුදුන්වහන්සේ දැක බුදුන්වහන්සේගේ ශරීරසම්පත්තිය බලා ශරීරසම්පත්තය දැකීමෙන් තෘප්තිමත් නොවූයේ තථාගතයන්වහනසේ සමඟම හැසිරෙයි. වෙහෙරට යන්නාවූ තථාගතයන්වහන්සේ සමඟම විහාරයට ගොස් ශරීරසම්පත්තිය බලමින්ම සිටී. ධර්‍මසභාවෙහි හිඳ ධර්‍මය දෙසන්නාවූ බුදුරජාණන්වහන්සේගේ හමුවෙහි සිටියේ ධමර්‍ය අසයි. හෙතෙම ශ්‍රද්ධාව ලැබ ගිහිගෙයි වසන්නේ නිබඳව බුදුන්වහන්සේගේ දර්‍ශනය නොලබන්නේමැයි පැවිද්ද ඉල්වා ශාස්තෘන්වහන්සේ සමීපයෙහි පැවිදිවූයේය.
එතැන්පටන් ආහාරගැනීමේ වේලාව හැර සෙසු කල්හි යම් තැනක සිටියහු විසින් බුදුන්වහ්සේ දැකීමට හැකිවේද එහි සිටියේ නුවණින් මෙනෙහි කිරීම අත්හැර බුදුන්වහන්සේ දෙස බලමින්ම වාසය කරයි. ශාස්තෘන්වහන්සේ ඔහුගේ නුවණ මුහුකුරා යාම බලාපොරොත්තු වනසේක් දිගුකලක්ම ඔහු රූප දැකීම්වශයෙන්ම සැරිසරද්දී කිසිවක් නොකියා දැන් මොහුගේ ඥානය මුහුකුරා ගියේය. මෙතෙම අවබෝධකරවීමට හැකිවන්නේයයි දැන මෙසේ පැවසූසේක. ‘වක්කලී දකිනු ලැබූ මේ කුණු කයින් කවර වැඩක්ද? වක්කලී යමෙක් ධර්‍මය දකීද? හෙතෙම මා දකියි. වක්කලී, ධර්‍මය දකින්නාම මාදකියි. මා දකින්නා ධර්‍මය දකී.’
ශාස්තෘන්වහන්සේ මෙසේ ඔවදන් දෙනකල්හිද තෙරුන්වහන්සේ බුදුන්වහන්සේගේ දර්‍ශනය අතහැර අන්තැනකට යාමට නොහැක්කේවෙයි. ඉක්බිති ශාස්තෘන්වහන්සේ, ‘මේ භික්‍ෂුව සංවේගය නොලැබ අවබෝධ නොකරන්නේය’යි වස් එළඹීම ළංවූකල්හි රජගහනුවරට ගොස් වස් එළඹෙන දිනයෙහි ‘වක්කලී, ඉවත්වන්නැ’යි තෙරුන් ඉවතට යැවූසේක. බුදුවරුනම් පිලිගතයුතු වචන ඇත්තෝ වෙති. එහෙයින් තෙරණුවෝ බුදුන්වහන්සේට විරුද්ධව සිටීමට නොහැකි වන්නාහු තෙමසක් බුදුන්වහන්සේ හමුවට නොයා සිටීම නොයිවසමින්, දැන් කිරීමට හැකි කුමක්ද? තථාගතයන්වහන්සේ විසින් මම නෙරපා දමනුලද්දෙමි. හමුවීම නොලබමි. මගේ ජීවිතයෙන් කවර වැඩක්දැයි සිතා ගිජුකුළු පව්වෙහි ප්‍රපාතස්ථානයකට නැංගාහ. ශාස්තෘන්වහන්සේ ඔහු ක්ලාන්ත වනබව දැන, ‘මේ භික්‍ෂුව, මා සමීපයෙන් අස්වැසිල්ලක් නොලබන්නේ උතුම්ඵලයන්ට ඇති උපනිශ්‍රය නසාගන්නේයයි (සිතා) තමන්වහන්සේ දැක්වීමට ආලෝකයක් විහිදවූසේක. එකල්හි දිගුලක පටන්ම පැවති ඔහුගේ මහත්වූ කණස්සල්ල පහවිය. ශාස්තෘන්වහන්සේ වියළි තලයක වැසි හෙළන්නාක් මෙන් වක්කලී තෙරුන්ට බලවත් ප්‍රීතිය ඉපදවීමට ධර්‍මපදයෙහි මේ ගාථාව දෙසූසේක:
‘බුදුසසුනෙහි පහත් වූ ප්‍රමුදිතබව බහුල භික්‍ෂුව සංස්කාරයන් සංසිඳුවන්නාවූ සුඛසහගත ශාන්ත පදය අවබෝධ කරන්නේය.’
වක්කලී තෙරුන්ටද එව වක්කලීයි අතදිගු කළසේක. තෙරණුවෝ මවිසින් දශබලයන්වහන්සේ දක්නා ලදහ. ‘එව’යි කැඳවීමද ලබනලදැයි බලවත් සතුට උපදවා කොතනින් යම්දැයි තමා වැටෙන බව නොදැනම බුදුන්වහන්සේ හමුවෙහි අහසට පැන පළමු පයින් පව්වෙහි සිටියේම බුදුන්වහන්සේ විසින් දෙසූ ගාථාව සිහිකරමින් අහසෙහිදීම ප්‍රීතිය යටපත් කොට පිළිසිඹියා සමඟ රහත්බවට පැමිණ තථාගතයන් වඳිමින්ම බටහ. මෑත කාලයෙහි ශාස්තෘන්වහන්සේ ආර්‍ය්‍යගණයා මධ්‍යයෙහි වැඩහුන්සේක් තෙරුන් අධිකශ්‍රද්ධා ඇත්තවුන් අතුරින් අගතැන්හි තැබූසේක.