සුභූති මහරහතන් වහන්සේ.

 

පදුමුත්තර භාග්‍යවතුන්වහන්සේ පහළවීමට පෙර හංසවතී නගරයෙහි බ්‍රාහ්මණ මහාසාල කුලයෙක්හි උපන්නේය. ඔහුට නන්‍දමානවකයයි නම් කළහ. හෙතම වියපත්ව ත්‍රිවේදයන උගනෙ එහි රහයක් නොදක්නේ තමන්ගේ පිරිවරවූ සිවු සතළිස්දහසක් මානවකයන් සමඟ පර්‍වතපාදයෙක්හි සෘෂි පැවිද්දට පත්ව පංචාභිඥා අෂ්ටසමාපත්ති ඉපදවීය. අතවැස්සන්ද ධ්‍යාන ලභීන් කළේය.

එසමයෙහි පියුමුතුරා බුදුන්වහන්සේ ලොව ඉපිද හංසවතී නගරය ඇසුරුකොට වැඩවසනසේක් ඒක දිනෙක උදෑසන ලොව බලනසේක් නන්‍දතවුසාගේ අතවැසි ජටිලයන්ගේ රහත්බවට උපනිශ්‍රයද නන්‍දතවුසාගේ අංගදෙකකින් සමන්විතවූ ශ්‍රාවක තනතුරක් පැතීමද දැක උදෑසනම සිරුරු පිළිදැඟුම් කොට පෙරවරුයෙහි පාසිවුරු ගෙන සැරියුත් තෙරුන්ගේ කථාවස්තුවෙහි කියනලද ක්‍රමයෙන්ම නන්‍ද තවුසාගේ අසපුවට වැඩිසේක. එහි පලවැල දන්දීමද මලසුන් පැනවීමද නිරොධසමාපත්තියට සමවැදීමද කියනලද ක්‍රමයෙන්ම දතයුතුය.

ශාස්තෘන්වහන්සේ වනාහි නිරෝධ සමාපත්තියෙන් නැඟීසිටිසේක් අරණවිහාරීය අංගයෙන්ද දක්‍ඛිණෙය්‍ය අංගයෙන්ද යන අංග දෙකින් සමන්විතවූ එක් ශ්‍රාවකයෙකුට සෘෂිසමූහයා සඳහා පුෂ්පාසන අනුමෝදනාව කරන්නැයි ඇණවූ සේක. හෙතෙම තමන්ගේ විෂයෙහි සිට ත්‍රිපිටකය සම්මර්‍ශණය කරමින් අනුමෝදනාව කළේය. ඔහුගේ දෙසුම අවසන්හි භාග්‍යවතුන්වහන්සේ තමන්වහන්සේම දම් දෙසූසේක. දෙසුම අවසන්හි සියලු සිවු සාළිස් දහසක් තවුසෝද රහත්බවට පැමිණියාහුය. නන්‍දතාපස තෙමේ අනුමෝදක භික්‍ෂුවගේ නිමිත්ත ගෙන ශාස්තෘන්වහන්සේගේ දෙසුම අනුසාරයෙන් ඥානය මෙහෙයවීමට නොහැකිවිය. ශාස්තෘන්වහන්සේ ‘එවූ මහණ’යැයි සෙසු භික්‍ෂූන්ට අත දිගු කළසේක. සියල්ලෝ අතුරුදහන්වූ කෙස්රැවුල් ඇත්තෝ සෘද්ධිමය පිරිකර ඇතිව වස්සියයක් ඇති තෙරුන් මෙන්වූහ.

නන්‍දතාපස තෙමේ තථාගතයන් වහන්සේ වැඳ ඉදිරියෙහි සිටියේ මෙසේ කීය. ‘ස්වාමීනි, යම් භික්‍ෂුවක විසින් තවුස් ගණයාට මලසුන් අනුමෙවෙනි බණ දෙසන ලද්දේද එතෙම නුමවහන්සේගේ සසුනෙහි කවරනම් ඇත්තේද?’ ‘හෙතෙම අරණවිහාරාංගයෙහිද දක්‍ඛිණෙය්‍යංගයෙහිද එතදග්‍රස්ථානයට පැමිණියේයි. වදාළසේක. ‘ස්වාමීනි මමද මේ දිනසතක් කරනලද අධිකාර කර්‍මයෙන් අන් සැපතක් නොපතමි. අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ සසුනෙහි මේ තෙරුන් මෙන් අංග දෙකකින් සමන්විතවූයේ වන්නෙමැ’යි ප්‍රාත්‍ථර්‍නා කළේය. ශාස්තෘන්වහන්සේ අනතුරක් නොදැක විවරණදී වැඩිසේක. නන්‍දතවුස් තෙමේද කලින් කලට බුදුන් සමීපයෙහි දහම් අසා නොපිරිහුණු ධ්‍යාන ඇත්තේ බඹලොව උපන්නේය. මෙය ඔහුගේ පුණ්‍යකර්‍මයයි. අතුරුකර්‍මයක් නොකියනුලැබේ.

හෙතෙම කල්ප ලක්‍ෂයක් ඉක්මවා සැවතෙහි සුමනසිටුගේ ගෙහි උපන්නේය. ඔහුට සුභූතියයි නම් කළාහුය. මෑතකාලයෙහි අපගේ ශාස්තාන්වහන්සේ ලොව පහළවූ සේක් රජගහනුවර ඇසුරු කොට වැඩවසනසේක. එකල්හි අනේපිඬු සිටුතෙමේ සැවතෙහි නිපදවූ බඩු රැගෙන තමන්ගේ යහලු රජගහ සිටුගේ ගෙට ගියේය ශාස්තෘන්වහන්සේ පහළවූ බව දැන සීතවනයෙහි වෙසෙන ශාස්තෘන්වෙත එළඹ පළමු දැකීමෙන්ම සෝවාන් පෙලෙහි පිහිටා ශාස්තෘන්වහන්සේට සැවැත්නුවරට වඩින ලෙස අයැද පස්සාළිස් යොදුන් මගෙහි යොදුනෙන් යොදුනට ලක්‍ෂයක් වියදමින් විහාරයක් කරවා සැවතෙහි රජමිනුමින් අටකිරියක් පමණවූ ජෙතරාජ කුමරුන්ගේ උයන් බිම කෙළගණන් ඇතුරූ මිලෙන් මිලදීගෙන එහි භාග්‍යවතුන්වහන්සේට විහාරයක් කරවා පිළිගැන්වූයේය. විහාරපූජාදිනයෙහි මේ සුභූති කෙළෙඹි තෙමේ අනේපිඬු සිටු සමඟ ගොස් දහම් අසන්නෙ සැදැහැලැබ පැවිදිවූයේය. හෙතෙම උපසපන්වූයේ මාතෘකා දෙකක් ප්‍රගුණකොට කමටහන් කියවා අරණෙහි මහණදම් කරන්නේ විදසුන් වඩා මෛත්‍රීධ්‍යානය පාදකකොට රහත්බවට පැමිණියේය. දහම් දෙසන්නේ කියනලද ක්‍රමයෙන්ම දහම් දෙසීය. පිඬු හැසිරෙන්නේ කියන ලද ක්‍රමයෙන්ම මෛත්‍රී ධ්‍යානයෙන් නැගිට හික්‍ෂාව පිළිගනියි. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ මේ කරුණු දෙක ඇසුරුකොට මුන්වහන්සේ අරණවිහාරීවූද දක්‍ඛිණෙය්‍යවූද භික්‍ෂූන්ගේ අග්‍රස්ථානයෙහි තැබූසේක.