ආනන්‍ද මහරහතන් වහන්සේ.

 

බහුශ්‍රැතවූ සතිමත්වූ ගතිමත්වූ ධිතිමත්වූ උපස්ථායකවූ අන්‍ය ස්ථවිරවරුද වෙති. මේ ආයුෂ්මතුන්වහන්සේ වනාහි බුදුවදන් උගන්නෝ බුද්ධශාසනයෙහි භාණ්ඩාගාරික පර්‍ය්‍යාප්තියෙහි සිට ගත්හ. එහෙයින් බහුශ්‍රැතයන් අතුරින් අග්‍රනම්වූහ. මේ තෙරුන්ගේ බුද්ධවචනය ගෙන ධාරණය කරගැනීමේ ස්මෘතිය අන්තෙරුනට වඩා බලවත්වූයේය. එහෙයින් සතිමන්තයන් අතුරින් අග්‍රනම්වූහ. මේ ආයුෂ්මතුන්වහන්සේම එක් පදයක සිට පද සැටදහසක් ගන්නාහු ශාස්තෘන්වහන්සේ විසින් කියනලද ක්‍රමයෙන්ම සියලු පදයන් දනිත්, එබැවින් ගතිමන්තයන් අතුරෙන් අග්‍රනම් වූහ. මේ ආයුෂ්මතුන් වහන්සේගේ බුද්ධවචනය උගෙනීමේ වීර්‍ය්‍යය, සජ්ක්‍ධායනය කිරීමේ වීර්‍ය්‍යය, ධාරණය කරගැනීමේ වීර්‍ය්‍යය හා ශාස්තෘන්වහන්සේට උපස්ථාන කිරීමේ වීර්‍ය්‍යයද අන්‍යයන් හා අසමානවූයේ එහෙයින් ධිතිමන්තයන් අතුරෙන් අග්‍රනම්වූහ. තථාගතයන්වහන්සේට උපස්ථාන කරන මුන්වහන්සේ අනෙක් උපස්ථායක භික්‍ෂූන් උවටැනි කරන ආකාරයෙන් උවටැන් නොකළහ. තථාගතයන්වහ්නසේට උපස්ථාන කරන අන්‍යයෝ බොහෝ කලක් උපස්ථාන නොකළාහුය. බුදුන්වහන්සේගේ සිත්ගෙන උපස්ථාන නොකළාහුය. තෙරණුවෝ වනාහි උපස්ථායක තනතුරලද දිනයෙහි පටන් ඇරඹූ වීර්‍ය්‍ය ඇත්තෝම තථාගතයන්වහන්සේගේ සිත්ගෙන උපස්ථාන කළහ. එබැවින් උපස්ථායකයන් අතුරෙන් අග්‍රනම්වූහ.

මෙයින් කල්ප ලක්‍ෂයකට මත්තෙහි පදුමුත්තර නම් ශාස්තෘන්වහන්සේ ලොව පහළවූසේක. උන්වහන්සේට හංසවතී නම් නුවරක් වූයේය. නන්ද නම් රජතෙමේ පියා වූයේය. සුමෙධා නම් දේවිය මව වූවාය. බෝසත් තෙමේ උත්තරකුමාර නම් වූයේය. හෙතෙම පුතෙකු උපන් දිනයෙහි මහබිනික්මන්කොට පැවිදිව කෙළෙස් තැවීමෙහි යෙදුණේ ක්‍රමයෙන් සර්‍වඥතාඥානයට පත්ව අනෙකජාතිසංසාරං’යි උදන් අනා සත්දිනක් බෝමැඩ ගෙවා පොළොවෙහි තබන්නෙමැයි පය එළවීය. ඉක්බිති පොළොව බිඳී යට කියනලද ප්‍රමාණ ඇති පියුමක් නැඟී සිටියේය. එය හේතකොටගෙන භාග්‍යවතුන්වහන්සේ පදුමුත්තර යනුවෙන් ප්‍රකටවූසේක. උන්වහන්සේට දේවාලය සුමෙධයයි අගසව් දෙනමක් වූහ. අමිතා අසමා යනුවෙන් අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක්වූහ. උපස්ථායක තෙමේ සුමන නම්වූයේයි. පදුමුත්තර භාග්‍යවතුන්වහන්සේ පිතෘසංග්‍රහය කරමින් භික්‍ෂූන් ලක්‍ෂයක් පිරිවර කොට ඇත්තාහු හංසවතී රාජධානියෙහි වසනසේක.

උන්වහන්සේගේ කනිටු සොහොයුරා සුමන කුමාර නම්විය. ඔහුට රජතෙමේ හංසවතී නගරයෙන් යොදුන් දෙදහසෙක්හි භොගග්‍රාමයක් දුන්නේය. හෙතෙම යම් යම් විට පැමිණ පියාද බුදුන්වහන්සේද දකියි. එක්දිනක් ප්‍රත්‍යන්තය කිපියේයි. සුමන කුමර තෙමේ රජුට (දන්වා) යැවීය. රජ තෙමේ ‘මා විසින් නුඹ එහි කුමක් සඳහා තබලද්දේහිදැ’යි යළි ඔහුට දන්වා යැවීය. හෙතෙම සොරුන් සංසිදුවා ‘දෙවයන්වහන්ස, ජනපදය සංසිඳියේයයි රජුට දන්වා යැවීය. රජතෙමේ සතුටුවූයේ ඉක්මණින් මාගේ පුත්‍රයා පැමිණේවා’යි පැවසීය. ඔහුට දහසක් පමණ අමාතයයෝ වෙති. හෙතෙම ඔවුන් සමඟ අතරමගදී ‘මගේ පියා සතුටුවූයේ වෙයි. ඉදින් මට වරයක් දෙන්නේ නම් කුමක් ගන්නේම්දැ’යි සාකච්ඡා කළේය. ඉක්බිති ඔහුට ඇතැම්හු ඇතෙකු ගනුමැනව, අසකු ගනුමැනව, දනව්වක් ගනු මැනව. සත්රුවන් ගනු මැනවැ’යි කීහ. අන්‍යයෝ, නුඹවහන්සේ පෘථිවීශ්වර (රජු) ගේ පුත්‍රයාය. නුඹවහන්සේට ධනය දුර්‍ලභ නොවේ. මේ සියල්ල ලැබුවත් අතහැර යායුතුය. පිනිම පමණක් රැගෙන යාතුයුය. එබැවින් රජු වර දෙනකල්හි තෙමසක් පියුමුතුරා බුදුරජාණන්වහන්සේට උවටැන් කිරීමට වරයක් ගනු මැනවයි කීවාහුය. හෙතෙම, ‘නුඹලා මගේ කල්‍යාණමිත්‍රයෝයි. මේ සිත මට නැත නුඹලාවිසින්ම උපදවනලදී. එසේ කරමැ’යි ගොස් පියා වැඳ පියාවිසින් වැළඳ ‘පුත, ඔබට වරයක් දෙමි’යි කීකල්හි, ‘මහරජතුමනි. භාගයවතුන්වහන්සේ තෙමසක් සිවුපසයෙන් උවටැන් කරමින් ජීවිතය නොසිස්වූවක් කිරීමට කැමැත්තෙමි. මේ වරය මට දෙනු මැනවැ’යි කීවේය. ‘දරුව නොහැකිය. අනෙකක් ඉල්වව’ ‘දේවයන් වහන්ස, ක්‍ෂත්‍රියයන්ට කථා දෙකක්නම් නැත. මෙයම දෙන්න. මට අනෙකකින් වැඩක් නැත.’ ‘දරුව, බුදුවරුන්ගේ නම් සිත දැනීම දුෂ්කරය. ඉදින් භාග්‍යවතුවහන්සේ නොකැමති වනසේක්නම් මාදුන්කල්හිද කිමෙක් වන්නේද?’ ‘මැනවි, දේවයිනි, මම භාග්‍යවතුන්වහන්සේගේ සිත දන්නෙමැ’යි විහාරයට ගියේය.

එවේලෙහි භාග්‍යවතුන්වහන්සේගේ බත්කිස නිමවා ගඳකිළියට පිවිසිසේක්වෙති. හෙතෙම මණ්ඩලමාලයෙහි වැඩ හුන්නාවූ භික්‍ෂූන්වහන්සේලා සමීපයට ගියේය. උන්වහන්සේලා, ‘රාජපුත්‍රය, කුමක් හෙයින් පැමිණියෙහිදැ’යි ඔහුගෙන් විමසූහ. ‘භාග්‍යවතුන් දැකීම සඳහාය. මට භාග්‍යවතුන්වහන්සේ දක්වනු මැනව’යි කීවේය. ‘රාජපුත්‍රය, අපි කැමති කැමතිවිට ශාස්තෘන්වහන්සේ දැකීමට නොලබමු! ස්වාමීනි, කවරෙක් ලබයිද? රාජපුත්‍රය, සුමන නම් තෙරුන් වහන්සේ. හෙතෙම, ස්වාමීනි, තෙරුන්වහන්සේ කොහිදැ’යි තෙරුන් හුන්තැන අසා ගොස් වැඳ, ‘ස්වාමීනි, මම භාග්‍යවතුන්වහන්සේ දැකීමට කැමැත්තෙමි. මට දක්වනු මැනව’යි කීවේය. තෙරුන්වහන්සේ රජකුමරු බලාසිටියදීම ආපෝකසිණයට සමවැද මහපොළොවෙහි ජලය අධිෂ්ඨාන කොට පොළොව කිමිඳ ශාස්තෘන්වහන්සේගේ ගඳකිළියෙහිම පහළවූහ. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ ඔහුගෙන් ‘සුමන, කුමක් නිසා පැමිණියෙහිදැයි ඇසූසේක. ‘ස්වාමීනි, රාජපුත්‍රතෙමේ භාග්‍යවතුන්වහන්සේ දැක්මට ආයේය’යි කීහ. එසේ වීනම් මහණ, අසුනක් පනවව’යි පැවසූසේක. යළි තෙරුන්වහන්සේ රජකුමරු බලා සිටියදීම බුද්ධාසනය ගෙන ඇතුල් ගඳකිළියෙහි කිමිදී පිටත පිරිවෙණෙහි පහළවී පිරිවෙණෙහි අසුන පැනවූහ. රජ කුමර තෙමේ මේ අසිරිමත් කරුණු දෙක දැක, ‘මේ භික්‍ෂුව ඒකාන්තයෙන්ම බලවතෙකැ’යි සිතුවේය.

භාග්‍යවතුන්වහන්සේද ගඳකිළියෙන් නික්ම පනවනලද අසුනෙහි හුන්සේක. රජපුත් තෙමේ භාග්‍යවතුන් වැද පිළිසඳර පැවැත්වීය. ‘රාජ පුත්‍රය, කොයි විටෙක පැමිණියෙහිදැ’යි (භාග්‍යවතුන්වහන්සේ ඇසූසේක.) ‘ස්වාමීනි, නුඹවහන්සේ ගඳකිළියට පිවිසිකල්හි අවුත් බික්සඟනට සැළ කෙලෙමි. භික්‍ෂූහු වනාහි අපි කැමති කැමති විට භාග්‍යවතුන් දක්නට නොලබමුයි (පවසා) මා තෙරුන් වහන්සේ සමීපයට යැවූහ. තෙරුන්වහන්සේ වනාහි එක් වචනයෙන්ම දැක්වූහ ස්වාමීනි, තෙරුන්වහන්සේ නුඹවහන්සේගේ සසුනෙහි වල්ලභයෙකැයි හැඟෙයි’යි පැවසීය. ‘එසේය, රාජකුමාරය, මේ භික්‍ෂුව මගේ සසුනෙහි වල්ලභයෙකි.’ ‘ස්වාමීනි, බුදුවරුන්ගේ සසුනෙහි කුමක් කොට වල්ලභයෝ වෙත්ද?’ ‘දන්දී සිල් සමාදන්ව පෙහෙවස්කම් කොටය, කුමරුව.’ ‘භාග්‍යවතුන්වහන්ස, මම තෙරුන් මෙන් බුදුසසුනෙහි වල්ලභයෙක් වනු කැමැත්තෙමි. හෙට මගේ භික්‍ෂාව ඉවසනු මැනවැ’යි කුමරා පැවසීය. භාග්‍යවතුන්වහන්සේ නිහඬ බවින් ඉවසූසේක. රජකුමරුවා තමන් වසන තැනට ගොස් සියලු රැය මහත් සත්කාර පිලියෙළ කොට සත්දිනක් කඳවුරු බත නම් වූවක් දුන්නේය.

සත්වැනි දිනයෙහි ශාස්තෘන්වහන්සේ වැඳ, ‘ස්වාමීනි, මාවිසින් පියා සමීපයෙන් තෙමසක් ඇතුළ්වස නුඹවහන්සේ පිළිදැගුම් කිරීමේ වරය ලබනලදී. තෙමසක් මගේ වස් ආරාධනය ඉවසන සේක්වා’යි කීය. භාග්‍යවතුන්වහන්සේ යාමෙන් වැඩක් ඇත්දැයි බලා ඇතැයි දැක, රජකුමරුට, තථාගතවරු ශුන්‍යාගාරයෙහි කැමති වෙතැයි පැවසූසේක. කුමර තෙමේ, ‘භාග්‍යවතුන්වහන්ස, වැටහිණි. සුගතයන්වහන්ස, වැටහිණි’යි පවසා ස්වාමීනි, මම මුලින්ම ගොස් විහාරයක් කරමි. මා දන්වා එවූ විට භික්‍ෂූන් ලක්‍ෂයක් සමඟ වඩිනු මැනව’යි භාග්‍යවතුන්වහන්සේ පිළිණ කරවා ගෙන පියා වෙතට ගොස් ‘දේවයන්වහන්ස, මට භාග්‍යවතුන්වහන්සේ විසින් පිළිණ දෙන ලදී. මා දන්වා එවූ විට භාග්‍යවතුන්වහන්සේ පිටත් කොට එවනු මැනව’යි කියා පියා වැඳ නික්ම යොදුනෙහි යොදුනෙහි වෙහෙරක් කරන්නේ යොදන් දෙදහසක් දුර ගියේය, ගොස් තමන්ගේ නුවරෙහි වෙහෙරට තැනක් සොයන්නේ සොහන නම් කෙළෙමියාගේ උයන දැක ලක්‍ෂයකින් මිළදී ගෙන ලක්‍ෂවත් වියදම් කොට විහාරයක් කරවීය. එහි භාග්‍යවතුන් වහන්සේට ගඳකිළියක්ද සෙසු භික්‍ෂූන්ට රාත්‍රිස්ථාන දිවාස්ථාන සඳහා කුටි ලෙන් මණ්ඩපයන් කරවා පවුරු පිරිකෙව් දොර කොටුද නිමවා පියා වෙත ‘මගේ කිස නිමියේය. ශාස්තෘන්වහන්සේ පිටත් කොට එවනු මැනව’යි දන්වා යැවීය.

රජතෙමේ භාග්‍යවතුන්වහන්සේ වළඳවා ‘භාගයවතුන්වහන්ස, සුමනගේ කටයුතු නිමියේය. නුඹවහන්සේගේ වැඩීම බලාපොරොත්තු වන්නෙයයි පැවසීය. භාග්‍යවතුන්වහන්සේ ලක්‍ෂයක් භික්‍ෂූන් පිරිවරණලදසේක් යොදුනෙක් යොදුනෙක්හිවූ විහාරයන්හි වසමින් වැඩිසේක. කුමර තෙමේ ශාස්තෘන්වහන්සේ වඩිනසේකැයි අසා යොදුනක් පෙරගමන් කොට ගඳමල් ආදියෙන් පුදමින් විහාරයට වැඩම කරවා,

‘මාවිසින් ලක්‍ෂයකින් මිළදී ගන්නාලද ලක්‍ෂයකින් නිමවූ ශොභන නම්වූ උයන මහාමුනිවරය, පිළිගනුමැනව’යි (පවසා)

විහාරය පවරා දුන්නේය. හෙතෙම වස් එළඹෙන දිනයෙහි දන්දී තමන්ගේ අඹුදරුවන්ද අමාත්‍යයන්ද කැඳවා, ‘ශාස්තෘන්වහන්සේ අප සමීපයට දුර සිටම වැඩිසේක. බුදුවරයෝ නම් ධර්‍මයට ගරුකරන්නෝය. ආමිෂය දෙස හෙළුෑ ඇස් ඇත්තෝ නොවෙත්, එබැවින් මම මෙම තෙමසෙහි සළු දෙකක් හැඳ දසසිල් සමාදන්ව මෙහිම වසන්නෙමි. නුඹලා රහතන්වහන්සේලා ලක්‍ෂයට මේ අයුරින්ම තෙමස දන් දෙන්නෙහුය’යි කීවේය.

හෙතෙම සුමන තෙරුන් වසන තැනට අනුරූපවූ තැනක වසන්නේ තෙරුන්වහන්සේ භාග්‍යවතුන්වහන්සේට යම් වතක් කරත්ද ඒ සියල්ල දැක ‘මේ තෙරුන් වහන්සේ ඒකාන්තයෙන්ම වල්ලභවූයේ ස්ථානයෙහිය. (කරුණු සහිතවය) මවිසින් මුන්වහන්සේගේම තනතුර පැතීමට වටීයයි සිතා පවාරණය ළංවූ විට ගමට පිවිස සත්දිනක් මහදන්දී සත්වන දිනයෙහි ලක්‍ෂයක්වූ භික්‍ෂූන්ගේ පාමුල තුන්සිවුරු තබා භාග්‍යවතුන්වහන්සේ වැඳ ‘ස්වාමීනි, මවිසින් සත්දිනක් කඳවුරු දානයේ පටන් යම් යම් පිනක් කරනලද්දේද ශක්‍ර සම්පත්තිය හෝ මාරසම්පත්තිය හෝ පතමින් නොකරනලදී. බුදුන්වහන්සේගේ උපස්ථායක භාවය පතමින් කරනලදී. එබැවින් භාග්‍යවතුන්වහන්ස, මමද අනාගතයෙහි සුමන තෙරුන් මෙන් එක් බුදු කෙනෙකුන්ට උපස්ථායක වෙමි’යි පසඟ පිහිටුවා වැන්දේය. ශාස්තෘන්වහන්සේ අනතුරක් නොදැක ඔහුට විවරණදී වැඩිසේක. කුමරුවා එය අසා බුදුවරුනම් සැකසහිත කථා ඇත්තෝ නොවෙතියි දෙවැනි දිනයෙහි ගෞතම බුදුන්වහන්සේගේ පාසිවුරු ගෙන පිටුපසින් පිටුපසින් යන්නහු මෙන්විය.

හෙතෙම ඒ බුද්ධොත්පාද කාලයෙහි අවුරුදු ලක්‍ෂයක් දන්දී ස්වර්‍ගයෙහි ඉපිද කාශ්‍යප බුද්ධකාලයෙහි පිඬු හැසිරෙන තෙර කෙනෙකුන්ට පාත්‍රය ගැනීම සඳහා උතුරු සළුවදී පූජා කළේය. නැවත දෙව්ලොව ඉපිද බරණැස් රජව මතුමහල් තලයෙහිවූයේ ගන්‍ධමාදනයේ සිට අහසින් වඩින්නාවූ පසේ බුදුවරුන් අට නමක් දැක කැඳවා වළඳවා තම මඟුල් උයනෙහි උන්වහන්සේලාට පන්සල් අටක් කරවා උන්වහන්සේලාට හිඳීම සඳහා තම නිවෙසෙහි සියල්ල රුවන්මයවූ පුටු අටක්ද මැණික් ආධාරකයන්ද පිළියෙළ කරවා දසදහසක් අවුරුදු උවටැන් කළේය. මේ ප්‍රකට තැන්ය.

කල්ප ලක්‍ෂයක් දන් දෙමින්ම අපගේ බෝසතුන් සමඟ තුසී පුරෙහි ඉපිද එයින් චුතවූයේ අමිතොදන ශාක්‍යයාගේ ගෙහි උපන්නේය. ඉක්බිති මොහුට සියලු ඥතීන්ම සතුටුවූවන් ප්‍රමුදිත වූවන් කරමින් උපන්නේයයි ආනන්‍දයයි නම් කළාහුය. හෙතෙම, භාග්‍යවතුන්වහන්සේ පිළිවෙළින් කරනලද අබිනික්මන් ඇතිව සම්මාසම්බෝධියට පත්ව පළමු ගමනින් කිඹුල්වතට අවුත් එයින් නික්මෙනකල්හි භාග්‍යවතුන්වහන්සේට පිරිවර සඳහා රජකුමරුවරුන් පැවිදිවනකල්හි භද්දියාදීන් සමඟ නික්ම භාග්‍යවතුන් සමීපයෙහි පැවිදිවී නොබෝ කලකින්ම ආයුෂ්මත් පුණ්ණ මන්තානි පුත්ත තෙරුන් සමීපයෙහි දහම් අසා සෝවාන් පෙලෙහි පිහිටියේය.

එකල්හි භාග්‍යවතුන්වහන්සේට ප්‍රථම බෝධියෙහි විසිවස නිබඳ නොවූ උපස්ථායකවරු වූහ. එක්දිනෙක නාගසමාල තෙරහු පාසිවුරු ගෙන හැසිරෙති. එක්දිනෙක නාගිත තෙරුන්වහන්සේය. ඇතැම් දිනක උපවාණ තෙරුන්වහන්සේය. ඇතැම් දිනෙක සුනක්‍ඛත්ත තෙරණුවෝය. සමහර දිනෙක චුන්‍දසමණුද්දේසයෝය. ඇතැම් දිනෙක සාගත තෙරණුවෝය. තවත් දිනෙක රාධ තෙරණුවෝය. ඇතැම් කලෙක මෙඝිය තෙරුන්වහන්සේය. එහිදී එක් දිනක් භාග්‍යවතුන්වහන්සේ නාගසමාල තෙරුන් සමඟ දුරුමගට පිළිපන්සේක් දෙමං සන්‍ධියකට පැමිණිසේක. තෙරණුවෝ මගින් ඉවත්ව, භාග්‍යවතුන්වහන්ස, මම මේ මගින් යමි’යි කීහ. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ, ‘එව මහණ මේ මගින් යමු’යි පැවසූසේක. හෙතෙම, ‘එසේනම් භාග්‍යවතුන්වහන්ස, නුඹවහන්සේගේ පාසිවුරු ගනුමැනව. මා මේ මගින් යමියි කියා පාසිවුරු බිම තැබීමට සැරසුනේය. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ, ‘ගෙනෙව මහණැ’යි පවසා පාසිවුරු ගෙන වැඩිසේක. අනෙක් මගින් යන්නාවූ ඒ භික්‍ෂුවගේ පාසිවුරුද සොරු පැහැර ගත්තාහුය. හිසද බින්දාහුය. හෙතෙම දැන් මට භාග්‍යවතුන්වහන්සේ පමණක්ම පිහිටය. අනෙකෙක් නොවේයයි සිතා ගලන ලෙයින් යුතුව භාග්‍යවතුන් සමීපයට ගියේය. මහණ, මේ කිමෙක්දැයි ඇසූ කල්හි එපුවත සැළ කළේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුට ‘මහණ, නොසිතව. මේ කරුණින්ම ඔබව වැළැක්වීමි’යි වදාරා අස්වැසුසේක.

එක්දිනෙක භාග්‍යවතුන්වහන්සේ මෙඝිය තෙරුන් සමඟ ප්‍රාචීනවංසමිගාදායෙහි ජන්තුගමට වැඩිසේක. එහිදීද මේඝිය තෙමේ ජන්තුගමෙහි පිඬුපිණිස හැසිර නදී තෙරෙහි පාසාදික අඹනයට දැක ‘භාග්‍යවතුන්වහන්ස, නුඹවහන්සේ පාසිවුරු ගනු මැනව. මම ඒ අඹවනයෙහි මහණදම් කරමියි කියා භාග්‍යවතුන් වහන්සේ විසින් තෙවරක් වළක්වනු ලබන්නේද ගොස් අකුසල විතර්‍කයන්ගෙන් ගැලී ආපසු ඇවිත් එපුවත සැළකෙළේය. භාග්‍යවතුන්වහන්සේ ඔහුටද මේ කාරණයම සලකා ඔබ වැළැක්වීමියි පවසා පිළිවෙළින් සැවතට වැඩිසේක. එහි ගඳකිළි පිරිවෙණෙහි පනවන ලද උතුම් බුද්ධාසනයෙහි හුන්සේක් බික්සඟන විසින් පිරිවරන ලද්දාහු භික්‍ෂූන් ඇමතූසේක. ‘මහණෙනි, දැන් (මම) මහල්ලෙක් වෙමි. ඇතැම් භික්‍ෂුහු මේ මගින් යමුයි කී කල්හි අන් මගකින් යති. ඇතැම්හු මාගේ පාසිවුරු බිම හෙළත් මට නිබඳ උපස්ථායකවූ එක් භික්‍ෂුවක් දැනුව’යි පැවසූසේක. භික්‍ෂූන්ට ධර්‍මසංවේගය උපන්නේය. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ නැඟිට භාග්‍යවතුන් වැඳ ‘මම ස්වාමීනි, නුඹවහන්සේවම පතමින් කල්පලක්‍ෂයක් අධික කොට ඇති අසංඛ්‍යක් පාරමී පිරුවෙමි. මා වැනි මහපැණවතෙක් උපස්ථායක වීම නම් නොවටීද? මම උපස්ථාන කරන්නෙමැයි පැවසූහ. භාග්‍යවතුන්වහන්සේ ඔහුට, සාරිපුත්තය, යම් දෙස ඔබ හැසිරෙහිද? එදසෙ නොසිස්ය. ඔබගේ අවවාදය බුදුවරුන්ගේ අවවාදයට සමානය. එබැවින් මට ඔබ විසින් උපස්ථාන කෘත්‍යයක් නැතැයි ප්‍රතික්‍ෂෙප කළසේක. මේ ක්‍රමයෙන්ම මහමුගලන් ආදිකොට අසූමහ සව්වෝ නැඟී සිටියාහුය. භාග්‍යවතුන්වහන්සේ ඒ සියල්ලන් ප්‍රතික්‍ෂෙප කළසේක.

අනඳ තෙරුන්වහන්සේ වනාහි නිහඬවම හුන්හ. ඉක්බිති භික්‍ෂූහු ඔහුට ‘ඇවැත්නි, භික්‍ෂුසංඝයා උපස්ථායක තනතුර ඉල්ලයි. නුඹද ඉල්වව’ කීහ. ‘ඇවැත්නි, ඉල්ලා ලත් තැන නම් කෙබඳු වේද? කිම? ශාස්තෘන්වහන්සේ මා නොදකිනසේකද? ඉදින් මට කැමතිවනසේක්නම් ආනන්‍ද මට උවටැන් කරවයි කියන සේකැ’යි තෙරුන්වහන්සේ පැවසූහ. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ, මහණෙනි, ආනන්ද අන්‍යයන් විසින් උත්සාහවත් නොකළ යුත්තෙකි. තෙමේම දැන මට උපස්ථාන කරන්නේය’යි පැවසූසේක. ඉක්බිති භික්‍ෂූහු ‘ඇවැත්නි නැගිටින්න. ආනන්‍දය නැගිටින්න. ආනන්‍ද දශබලයන්වහන්සේගෙන් උපට්ඨායක තනතුර ඉල්වන්නැයි කීවාහුය. තෙණුවෝ නැඟිට ප්‍රතික්‍ෂේප සතරක්ද ආයාචනා සතරක්දැයි වර අටක් ඉල්ලූහ.

ප්‍රතික්‍ෂේප සතරනම්: ස්වාමීනි, ඉදින් භාගයවතුන්වහන්සේ තමන් විසින් ලබනලද ප්‍රණීත චීවර නොදෙන සේක්ද, පිණ්ඩපාතය නොදෙන සේකද? එක ගඳකිළියෙහි විසීමට නොදෙන සේක්ද, නිමන්ත්‍රණය ගෙන නොවඩිනසේක්ද එසේ නම් මම භාග්‍යවතුන්වහන්සේ උපස්ථාන කරමැයි පවසා ‘ආනන්‍දය, මෙහි කවරනම් ආදීනව දැක්කෙහිදැයි ඇසූකල්හි, ‘ස්වාමීනි, ඉදින් මම මේ වස්තූන් ලබන්නෙම් නම්, ආනන්‍දතෙර තථාගතයන් විසින් ලබන ලද ප්‍රණීත සිවුරු පරිභෝග කරයි, පිණ්ඩපාතය වළඳයි. එක ගඳකිළියෙහි වසයි. එක අරයුමට යයි. මේ ලාභ ලබමින් තථාගතයන්ට උවටැන් කරයි. මෙසේ උවටැන් කිරීමෙහි කවර බරෙක්දැයි කියන්නෝ වන්නාහ! මෙසේ මේ ප්‍රතික්‍ෂෙප සතර ඉල්ලූහ.

සතර ආයාචනා නම්: ‘ස්වාමීනි, ඉඳින් මා විසින් පිළිගන්නාලද නිමන්ත්‍රණයට භාග්‍යවතුන්වහන්සේ වඩිනසේක්ද, ඉදින් මම රටට පිටින් ජනපදයට පිටතින් භාග්‍යවතුන්වහන්සේ දැකීමට ආපිරිස පැමිණි කෙණෙහිම භාග්‍යවතුන්වහන්සේ දැක්වීමට ලබන්නේම්ද යම්විටෙක මට සැකයක් උපදීද එකෙණෙහිම භාග්‍යවතුන්වහන්සේ වෙත එළඹීමට ලබන්නෙම්ද භාග්‍යවතුන්වහන්සේ මා නොහමුවෙහි යම් දහමක් දෙසයි නම් එය අවුත් මට පවසන්නේද එසේ නම් මම භාග්‍යවතුන්වහන්සේට උපස්ථාන කරමියි කියා ‘ආනන්‍දය, මෙහි කවර ආනිසංශයක් දකිහිදැයි විමසූවිට මෙසේ කීහ: මෙහි ස්වාමීනි, සැදැහැති කුලපුත්තු භාග්‍යවතුන්වහන්සේගෙන් අවකාශයක් නොලබන්නාහු මට මෙසේ කියත්: ‘ස්වාමීනි ආනන්‍දය, හෙට භාග්‍යවතුන්වහන්සේ සමඟ අපගේ ගෙහි භික්‍ෂාව ගනුමැනව.’ ඉදින් භාග්‍යවතුන්වහන්සේ එහි නොයන සේක්නම් කැමැතිකැමති අවස්ථාවෙහි පිරිස දැක්වීමටද සැක දුරලීමටද අවකාශද නොලබමි. කිමේකද? ආනන්‍ද තෙරණුවෝ බුදුන්වහන්සේට උවටැන් කරති. මෙපමණවත් අනුග්‍රහයක් ඔහුට නොකරතිදැයි කියන්නෝද වන්නාහ. ‘ඇවැත්නි ආනන්‍දය, මේ ගාථාව, මේ සූත්‍රය මේ ජාතකය කොහිදී දෙසන ලද්දැයි භාග්‍යවතුන්වහන්සේගේ අසම්මුඛයෙහි මගෙන් අසන්නාහ. ඉදින් මම ඔවුනට එය නොසපයන්නෙම් නම් ‘ඇවැත්නි, මෙපමණක්වත් නොදන්නෙහිද? කුමක් නිසා නුඹ සෙවනැල්ලක් මෙන් භාග්‍යවතුන් අතනොහරිමින් දිගුකලක් හැසිරෙහිදැ’යි කියන්නෝ වන්නාහ. එහෙයින් මම (මා) නොහමුවෙහි දෙසනලද ධර්‍මය නැවත කීමද බලාපොරොත්තු වෙමි’යි මේ ආයාචනා සතර ඉල්ලූහ. භාග්‍යවතුන්වහන්සේද ඒවා උන්වහන්සේට දුන් සේක.

මෙසේ මේ අටවරය ගෙන නිබඳඋවටැන් කරන්නා වූහ. ඒ තනතුර සඳහාම කල්පලක්‍ෂයක් පුරනලද පාරමීන්ගේ ප්‍රතිඵලය පැමිණිණි. හෙතෙම උපස්ථායක තනතුරලද දිනයෙහි සිට දශබලයන්වහන්සේ දෙයාකාර ජලයෙන් තුන්ආකාර දැහැටුවෙන් පාද පරිකර්‍මයෙන් පිට්ඨිපරිකර්‍මයෙන් ගඳකිළි පිරිවෙණ හැමදීමෙන්ද යන මේ ආදී කටයුතුවලින් උවටැන් කරන්නේ මෙනම් වේලාවෙහි ශාස්තෘන්වහන්සේට මෙනම් දෙය ලැබීමට වටී. මෙනම් දෙය කිරීමට වටීයයි රාත්‍රිභාගය අතරතුර පන්දම් එළියක් රැගෙන එක් රැයකට ගඳකිළිපිරිවෙණ නව වරෙක වටේට යයි. උන්වහන්සේට මෙබඳු අදහසක් විය: ‘ඉදින් මට ථිනමිද්ධය ඇති වන්නේ නම් භාග්‍යවතුන්වහන්සේ කැඳවන විට පිළිවදන් දීමට නොහැකි වන්නේය’ යනුවෙනි. එබැවින් සියලු රාත්‍රියෙහි පන්දම් පහන අතින් නොමුදති. මේ කථාවස්තුව මෙපමණෙකි. මෑත කාලයෙහි ශාස්තෘන්වහන්සේ දෙව්රම වැඩ වසනසේක් නොයෙක් ආකාරයෙන් ධර්‍මභාණ්ඩාගාරික ආනන්‍ද ස්ථවිරයන් වර්‍ණනා කොට තෙරුන් මෙම සසුනෙහි බොහෝ ඇසූපිරූතැන් ඇත්තන් අතුරින්, සිහි ඇත්තවුන් අතුරින්, ගතිමන්තයන් අතුරින් ධිතිමන්තයන් අතුරින් හා උපස්ථායක භික්‍ෂූන් අතුරින්ද අගතනතුරෙහි තැබූසේක.