Ape Budu Hamuduruwo 36

අපේ බුදුහාමුදුරුවෝ 36

 

මහපොළවෙන් අහසට එසවූ තම මාළිගාවද සිව් රඟ සේනාවද, හැත්තෑදහසක් වූ නළගනන්ද සමග අහසින් අභිනිෂ්ක්‍රමණය කල

සෝභිත බුදුහාමුදුරුවෝ 01

එලෙස පසු කාලයේ රේවත බුදුරජාණන් වහන්සේගේ සසුනත් අතුරුදහන් වූවායින් පස්සේ සෝභිත නම් වූ බෝසතාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරා තුසිත පුරේ ඉපිද ආයු තාක් කල් එහි සිට දේවායාචනයෙන් එයින් චුතව සුධම්ම නුවර සුධම්ම රජුගේ සුධම්ම බිසවගේ කුසේ පිළිසිඳ ගත්තා.

උන්වහන් වහන්සේ දසමස් ඇවෑමෙන් පසු සුධම්ම උයනෙහි මේඝ පටලයක් තුලින් මතුවූ පුන්සඳ මෙන් බිහි වුණ. උන්වහන්සේගේ උපතේදීත් පෙර දීපංකර බුදු රජාණන් වහන්සේගේ උප්පත්තියේදී විස්තර කළ අයුරින් ම උතුම් වූ පෙළහර ඇති වුණා. දස දහසක් අවුරුදු ගිහි ගෙයි ගතකරමින් හැත්තෑ දහසක් නළඟනන් ට අධිපති වූ මඛිලා දේවිය අගමෙහෙසි කරගත්ත. ඇයගේ කුසෙහි සිහ නැමති කුමරු පිලිසිද ගත් පසු සතර පෙර නිමිති දැක උන්වහන්සේත් පෙර බෝසතාණන් වහන්සේලා මෙන් ම සංවේගයට පත් වුණා. හැබැයි අනෙකුත් බෝසතාණන් වහන්සේලාට වැඩිය උන්වහන්සේගේ වෙනසක් තිබුණා. උන් වහන්සේ සතර පෙර නිමිති දැක එක් වරම ගිහි ගෙයින් නික්මුණේ නැහැ. මාලිගාවේම පැවිදිව එහි ම ආනාපානසති සමාධිය වඩා සතර දැහැන් ලබා සතියක් එහෙම ප්‍රධාන වීර්‍ය්  වඩුණු ලැබුවා. ඉන්පසු තම ප්‍රියාදර බිරිඳ මිඛිලා දේවිය පිදූ පරම මිහිරි මී කිරි බත් වළඳා අභිනිෂ්ක්‍රමණයට සිත් ඉපද්දුවා.

ඒ අභිනිෂ්ක්‍රමණයත් මහ පුදුම එකක්. උන් වහන්සේගේ අධිෂ්ඨානය වුනේ ඒ සුවිසල් මාළිගාවත් සැත්තෑ දහසක් වූ නළ ගණනුත් හා එක් ව ඒ ගමන යාමට. ඒ විතරක් නෙවෙයි ඒ මාළිගාව සමග අහසින් යන නළගනන් ඒ මාලිගාව බුදු වීමට නියමිත බෝධි මූලයේ ස්ථාන ගත වූ පසු නිහඬවම විසිර යන ලෙසත් අධිෂ්ඨාන කරනු ලැබුවා.

ගතවූයේ නිමේෂයයි. පරිවාර සෙනග ද නලගනන් ද සිව් රඟ සෙනඟ ද සමගින් ම සුධම්ම රජ මාලිගාවම අහසට එසේවෙන්නට වුනා. කුසුමෙන් සරසන ලද ඒ මාලිගාව සරත් සමයෙහි සඳ මඬල මෙන් ගුවන බබලවමින් අහසින් යන්නට වුනා. මාළිගාව වටා එල්ලා තිබූ කිකිණි වැල් වලින් නික්මෙන මිහිරි නාදයයෙන් මුළු පරිසරය ම නින්නාද වූවා. දුර පටන් ඇසෙන මිහිරි සත්සරින් අවදි වූ මිනිසුන් ද වීථියන්හි අල්ලාප සල්ලාපයේ යෙදී සිටි මිනිසුන්ද එක් රැස් වන්නට වුනා. මහා කුසල බලයකින් මෙන් ඒ වීථි බැස මේ දෙස බලා සිටි සියලු මිනිසුන් අහසට ඇදී ගොස් ඒ සේනාවට  එකතු වුණා නාටිකාංගනාවෝ ද පසඟ තුරු මිහිරි නදින් ගීත ගායනා කරන්නට වුණා. එය අහස් කුස පුරා රැව් පිළිරැව් දුන්නා. ඒ මාලිගාව නා නා රත්න ධාරාවන්ගෙන් බබළන්නට වුණා. සිව් රඟ සේනාවද අලංකාර කායාභරණ කාන්තියෙන් හටගත් බැබැලීමෙන්ද නන් පැහැ සළු බරින් සෝභමාන උතුම් දිව්‍ය සේනාවක් මෙන් සොඳුරු දසුනින් පොළොවෙහි මෙන් ම ගුවනෙහිද ඒ මහා ප්‍රාසාදය පිරිවරා සිටියා. එලෙස ගුවනින් පැමිණි ප්‍රාසාදය අසූ අට රියන් උස සෘජු මහත් වට කඳමල් පඳු කැකුලින් සුසැදි නා රුක  මැදිකොට බිම බැස සිටියා. නළගනන්ද කිසිවෙකුට නොකියාම මාලිගාවෙන් බැස ගියා. අනේකගුණ සෝභිත සෝභිත මහා පුරුෂයාණෝ මහජනයා පිරිවරමින් රෑ තුන් යම ත්‍රිවිද්‍යා උපදවා ගත්තා. අවසානයේ උන්වහන්සේගේ බල සේනාව ද ධර්මතා අනුව පැමිණී පරිදිම විසිර ගියා. ප්‍රසාදය පමණක් එහිම රැඳී තිබුනා.

 

Ape Budu Hamuduruwo 35

අපේ බුදුහාමුදුරුවෝ 35

 

අසූරියනක් උස දහවල් සහ රාත්‍රියේ යොදුනක් දුර ආලෝකය පැතිර වූ
රේවත බුදුරජාණන් වහන්සේ.

සුමන භාග්‍යවතුන් වහන්සේට පසු කාලයෙහි උන්වහන්සේගේ සසුනත් අතුරුදහන් වීමෙන් පසුව  අනුදහසක් ආයුෂ ඇති මිනිසුන් ක්‍රම ක්‍රමයෙන් පිරිහෙමින් පරමායුෂ අවුරුදු දහය දක්වා අඩුවෙන්නට වුනා. නැවතත් අන්තර් කල්ප පසුකරමින් මිනිස් ආයුෂ අසංඛ්‍යක් දක්වා පැමිණ අවුරුදු හැටදහසක්  දක්වා පිරිහුණු කාලයේ  රේවත නම් ශාස්තෘන් වහන්සේ ලොව පහලවුනා. උන්වහන්සේත් පෙරුම් පුරා නන් රුවනින් බබළන තුසිත භවනෙහි ඉපිද ඉන් චුතවී සකලධනධාන්‍යවත් සුඛඤ්ඤවතී නුවර සකලාලංකාර සමලංකෘත අපමණ පිවිතුරු පිරිවර පිරි සිරිසැපතින් නිරවුල් සකල සමෘද්ධියෙන් විසල් විපුල නම් රජකුල සියලු දනනුවන් බඹරකැල ගැවසී සුපිපි නෙතුපුලින් සශ්‍රීක සුසිනිඳු මුවකමලාකාර ශෝභා ඇති රුසිරු මනෝහර ගුණගණයෙන් සුවිසල් විපුලා නම් අගමෙහෙසි කුස පිළිසිඳ දසමස් ඇවෑමෙන් සිතුකළු පවුවෙන් බසිනා රණහස් රජෙකු මෙන් මවුකුසින් බිහිවුණා. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි දෙතිස් පෙළහර ඇතිවුනා.

කුමාරයාට නම් තබන දින පැමිණි කල නම් කරන්නාහු රේවත යැයි නම් තැබුවා. උන්වහන්සේ ක්‍රමයෙන් වැඩිවියපත් වෙත්ම සුදස්සන, රතනග්ඝි හා ආවේල නම් රමණීය ප්‍රසාද තුනක් හිමි වුනා.  එහි සුදස්සනා දේවිය ප්‍රමුඛ නැටුම් ගැයුම් වැයුම් හි දක්‍ෂ තිස් තුන්දහසක් පරිවාර ස්ත්‍රීන්ගේ ප්‍රත්‍යුපස්ථාන හැමදා පැවැත්වුනා. ඔවුන් විසින් පිරිවරණ ලද උන්වහන්සේ සුරයුවතින් පිරිවර කල දෙවුකුමරකු මෙන් අවුරුදු හයදහසක් විෂයරස විඳිමින් ගිහිගෙයි ගතකලා. අගමෙහෙසිය වූ සුදස්සනා දේවියට වරුණ කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක නන්පැහැ උතුම් සළු හැද මුතුහර මිණිකොඬොල් පැලඳ උතුම් කෙයුර මකුට කටක සුවඳ කුසුමින් සැරසී පරමරූසිරු රැස් සමූහයෙන් යුතු සරාකල සඳ මෙන් තරු පිරිවැරූ චන්‍ද්‍රයා මෙන් දෙව්ගණ පිරිවැරූ ශක්‍රයා මෙන් බඹගණ පිරිවැරූ මහබඹු මෙන් මහත් සිව්රඟ සේනා පිරිවරා ආජන්‍ය රථයකින් අභිනිෂ්ක්‍රමණය කොට දෙවියන් දුන් කසාවත් හැද පැවිදි වුනා. උන්වහන්සේ අනුව කෙළක් පුරුෂයෝ පැවිදි වුනා. ඔවුන් පිරිවැරූ උන්වහන්සේ සත්වසක් ප්‍රධන්  වීර්‍ය වඩා වෙසක් පොහෝදින සාධුදේවී නම් සිටුදූ දුන් පරම මධුර මී කිරිබත් වළඳා සාල වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි වරුණීන්ධර නම් ආජීවකයන් දුන් කුස තණ මිටි අට ගෙන නා රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී පනස්තුන් රියන් තණ ඇතිරි පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණුනා.

රේවත ශාස්තෘන් වහන්සේ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල් ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් තමන් සමඟ පැවිදි වූ කෝටියක් භික්‍ෂූන්ද  හේතු සම්පත් ඇති වෙනත් දෙවි මිනිසුන්ද දැක  අහසින් අවුත් වරුණාරාමයෙහි  බැස ඔවුන් පිරිවරා බොහෝ පෙළහර දක්වමින් ගැඹුරු නිපුණ අනෙකෙකු විසින් නොපැවැත්විය හැකි තිපිරිවට්ට අනුත්තර ධර්මචක්‍රය පවත්වා  කෙළක් භික්ෂූන් අර්හත්වයෙහි පිහිටවූවා. තුන් පලයෙහි පිහිටි පිහිටිය අයගේ ගණන මෙතෙක් යැයි කියන්න බැහැ කියලයි අටුවාවෙහි සඳහන් වෙන්නේ. මෙය උන්වහන්සේගේ පළවෙනි ශ්‍රාවක සන්නිපාතයයි. සනරාමර තිලොවග මුනිඳු රේවත බුදුන් හට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණැති රහතන් වහන්සේලාගේ ශ්‍රාවක සන්නිපාත  තුනක් වූවා.

ඊට පසුකාලෙක උතුම් නගරයක් වූ උත්තර නම් නුවර සකල සතුරන් දමනය කරවන අරින්දම නම් රජකෙනෙක් සිටියා. ඒ රජතුමාට දැනගන්නට ලැබුනා බුදුන්වහන්සේ තම රාජධානියට වඩිනබව. මහා බල පරාක්‍රමයෙන් යුතු ඒ රජතුමා තුන් කෝටියක මහා සෙනගක් සමගින් බුදුරජාණන් වහන්සේ අභියසට ගමන්කොට පසුදින දානයට ආරාධනය කොට ඒ කෙළකට වැඩි බුදු පාමොක් සඟ පිරිසට දින හතක් මුළුල්ලේ මහදන් පැවැත්වුවා. ඒ විතරක් නෙවෙයි තුන්ගව්වක් පුළුල් පහන්පුජාවක් කොට බුදුන් වෙත ගොස් වැඳ නමස්කාර කරමින් සිටියා. භාග්‍යවතුන් වහන්සේ ඔහුට සිතට අනුරූප විසිතුරු නය ඇති දහමක් දේශනා කළා. එය අසා තවත් කෙළ ලක්ෂයක් දෙවුමිනිසුන් හට ධර්මාවබෝධය වුනා. ඒ දෙවැනි අභිසමයයි.

රේවත භාග්‍යවතුන් වහන්සේගේ ධර්මචක්‍රානුවර්තක අග්‍රශ්‍රාවක මහා ප්‍රාඥයන් වහන්සේ ගිලන් වුනා. ගිලන්බව විමසීමට උන්වහන්සේ වෙතට පැමිණි මහජනයා හට තිලකුණු දක්වන දහම් දෙසා කෙළලක්ෂයක් පුද්ගලයන් එහිභික්ඛු පැවිද්දෙන් පැවිදිකොට අරහත්වයෙහි පිහිටුවා සිවුපිරිස් සන්නිපාතයෙහි පාමොක් දේශණා කරනු ලැබුවා. මෙය තෙවන සන්නිපාතයයි.

ඒ කාලයෙහි අප මහා බෝසතාණන් රමතී  නුවර අති දේව නම් බ්‍රහ්මණව බමුණු දහමෙහි පාරප්‍රාප්ත ව රේවත බුදුන් දැක බණ අසා සරණ පිහිටා සිලෝදහසකින් භාග්‍යවතුන් වහන්සේ පසසා දහසක් අගනා උතුරු සළුවෙන්  දසබලයන්  වහන්සේ වහන්සේට පුදන ලැබුවා. ඒ බුදු රජාණන් වහන්සේ ඔහු කප් ලක්ෂයක් මත්තෙහි ගෝතම නමින් බුදු වන බවට නියත විවරණ ලබා දුන්නා .

රේවත දසබලයන් වහන්සේ උසින් අසූ රියනක් වුනා. උස්ව සිටි ඉන්ද්‍රයාගේ ධ්වජය මෙන් සියලු දිසාවන් හොබවනු ලැබුවා. උන්වහන්සේගේ ශරීරයෙහි හටගත් උතුම්වූ රශ්මි මාලාව දහවල්ද, එමෙන්ම  රැයෙහිද, හාත්පස යොදුනක් තෙක් පැතිර ගියා. ඒ කාලයෙහි අවුරුදු සැටදහසක් දක්වා ආයුෂ පැවතුනා. ඒ රේවත බුදුරජාණන් වහන්සේ  ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා සසර සයුරෙන් එතෙර කරනු ලැබුවා.

බුද්‍ධ බලය දක්වා ලෝකයෙහි අමෘතය (නිවණ) ප්‍රකාශ කරමින් උපාදාන (දර) අවසන් වීමෙන් ගිණි යම්සේ නිවියාද එසේ පඤ්ච උපාදානයන්ගේ අභාවයෙන් පිරිනිවි ගියා.  රත්නයක් වැනිවූ ඒ රූපකාය ද, අසමවූ ඒ ධර්‍මයද, යන සියල්ල අතුරුදන් වුනා. සියලු සංස්කාරයෝ අනිත්‍ය බව නැවත නැවතත් පසක් කරනු ලැබුවා.

 

Ape Budu Hamuduruwo 34

අපේ බුදුහාමුදුරුවෝ 34

 

සුමන බුදුහාමුදුරුවෝ.

මෙසේ එක්වරම දසසහශ්‍රී ලෝකධාතුව ඒකාන්ධකාර කොට ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවීමෙන් පසු කාලයේ අනුදහසක් ආයුෂ ඇති මිනිසුන් ක්‍රම ක්‍රමයෙන් පිරිහෙමින් පරමායුෂ අවුරුදු දහය දක්වා අඩුවෙන්නට වුනා. නැවතත් අන්තර් කල්ප පසුකරමින් මිනිස් ආයුෂ අසංඛ්‍යක් දක්වා පැමිණ අවුරුදු අනුදහසක් දක්වා පිරිහුණු කල්හි  සුමන බෝසතුන් තුසිත දෙවුලොවින් චුතව මේඛල නුවර සුදත්ත නම් රජකුලයේ සිරිමා නම් මෙහෙසියගේ කුසේ පිළිසිඳ ගත්තා. බෝසත් වරයෙකුගේ උපතේදී හටගන්නා පෙළහර මින් පෙර කී පරිදිම ඇති වුනා. මහත් වූ කම් සැප මැද උන්වහන්සේත් කෙමෙන්කෙමන් වැඩිවියට පැමිණුනා. චන්‍ද්‍රය, සුචන්‍ද්‍රය, වටංස  නමැති තුන්ප්‍රාසාදයන් හි හැටතුන්දහසක නළගණන් ගේ උපහාර ලබමින් සුරයුවතින් පිරිවරණ ලද සුරකුමරෙකු මෙන් දහස්වසක් විෂයරස විඳිමින් කල්ගත කොට වටංසිකා නම් දේවිය හා විවාහ වුනා. ඒ දේවිය අනූපම නම් වැදූ කල සතර පෙර නිමිති දැක ඇත් යානයෙන් ගොස් පැවදි වුනා. ඒ තනියෙන් නෙවෙයි. තිස් කෙළක් පිරිවර සමග. ඒ අයත් පැවිදි වුනා. උන්වහන්සේ ඔවුන් පිරිවරා දසමසක් ප්‍රධාන විර්යය කොට වෙසක් පොහෝදින අනෝම නියම්ගමෙහි අනූපම සිටුදූ අනුපමා විසින් පිදූ දිව්‍යඕජා බහාලු කිරිබත් වළදා සල්වනෙහි දිවාකාලය ගතකොට අනුපම ආජීවකය දුන් අට තණමිට ගෙන නාගබෝධිය වෙත පැමිණ පැදකුණු කොට අට තණමිට තිස්රියන් කොට අතුරා එහි පලක් බැඳ වැඩ සිටියා. ඉන් අනතුරුව මාර බල නසා බුද්ධත්වයට පැමිණ ” අනේක ජාති සංසාරං ” යන උදාන ගාථාව පවසමින්  උදන් ඇනුවා.

උන්වහන්සේටත් ශ්‍රාවක සන්නිපාත තුනක් වුනා. පළමු වැන්න තමන් හා ගිහිගෙයින් නික්මුණු කෙළලක්ෂයක් පිරිස හට ප්‍රථම ධර්ම දේශනය පවත්වා ඔවුන්  සියල්ල ධර්මාවබෝධයට පැමිණි පසු ඒහි භික්ෂු භාවයෙන් පැවිදි කිරීමයි. මෙය පළමු සන්නිපාතයයි.ඉන්පසු කාලයෙහි සංඛස්ස පුරයට නුදුරුව අරින්දම රජුගේ පින් බලෙන් පහළ වූ යොදුනක් පමණ උස රන් පර්වතයක වැඩහිඳ අරින්දම රජු පිරිවරා පැමිණි අනුකෙළ දහසක් පුරුෂයන් දමනය කොට ඒ සියල්ලන්ම ඒහි භික්ෂු භාවයෙන් පැවිදි කොට එදිනම රහත් වුවන් පිරිවරා පාමොක් දේශණා කරනු ලැබුවා. ඒ දෙවැනි සන්නිපාතයයි.

ඒ කාලයේම  සක්දෙවූ රජ බුදුන් දැකීම පිණිස ආවා. සුමන භාග්‍යවතුන් වහන්සේ එදිනම රහතුන් අසූකෙළ දහසක් පිරිවරා පාමොක් දේශණා කළා. මේ තුන්වැනි සන්නිපාතයයි.

ඒ කාලේ අපේ බෝසතාණන් වහන්සේ මහත් සෘද්ධි ආනුභාව ඇති අතුල නම් නා රජෙක්ව උපන්නා. ඔහු බුදුරජුන් ලොව උපත ලැබුවා යැයි අසා තම පිරිවර සමග නාග භවනෙන් නික්ම කෙළ ලක්ෂයක් භික්ෂූන් පිරිවරණ ලද බුදුරජුන්ට දිව්‍යමය තුර්යය වාදනයෙන් උපහාර කොට මහා දානයන්ද පිරිකරද දී තිසරණයෙහි පිහිටියා. ඒ බුදුරජාණන් වහන්සේද  මොහු අනාගතයෙහි බුදුවන බව ප්‍රකාශ කරමින් නියත විවරණ ලබා දුන්නා.

Ape Budu Hamuduruwo 33

අපේ බුදුහාමුදුරුවෝ 33

 

දස දහසක් සක්වළ වසර අනුදහසක් ආලෝකය පැතිර වූ

මංගල බුදුරජාණන් වහන්සේ 06

ඉතාමත් ශාන්ත වූ ඉන්ද්‍රියන් ඇති දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් අග තැන්පත් දිවා රාත්‍රී දෙකෙහිම සුර්යයා මෙන් ශරීර ආලෝකය විහදවූ මංගල බුදුරජුන් ඇතුළු කෙළ ලක්ෂයකට වැඩි භික්ෂු පිරස ඉතාමත් ශාන්ත වූ ගමනින් ඒ මහා මණ්ඩපය මතට වැඩම කොට තමනට සුදුසු අසුන්වල අසුන් ගන්නට වුනා. මුහුදෙහි රළ ගණින්ට යම්සේ නොහැකි වෙත්ද, එසේම උන්වහන්සේගේ ඒ ශ්‍රාවකයෝ ගණින්ට නොහැකි වුනා. කොතරම් භික්ෂුන් වහන්සේලා වැඩියේද යත් ඒ දොළොස්කෙලක් භූමියද සක් දෙවිඳු සෑදු මණ්ඩපද ඒ භික්ෂූන් වහන්සේලා හට ප්‍රමාණවත් වුනේ නැහැ. ඒ වුනත්  ඒ මහා සෘධි සම්පන්න රහතන් වහන්සේලාට එය ප්‍රශ්නයක් වුනේම නැහැ. බොහෝ රහතන් වහන්සේලා සෘද්ධියෙන් අහසේ අසුන් ගත්තා.

අප මහා බෝසතාණන් ඇතුළු මහා පිරිස බුදුන් ඇතුළු සංඝ පිරිසට ගවපාන දානය පුජා කරන්නට වුනා. මෙයට චතුමධුර භෝජනය කියලත් කියනවා.  ඒ කෝටිගණනක් වූ සංඝ සමුදුරට මිනිසුන්ට දානය බෙදා ඉවර කරන්න බැරි වුනා. ඒ නිසා දානය පුජා කිරීමට මිනිසුන් අතරට දෙවියනුත් එක් වුනා. මෙලෙස දින හතක්ම දෙවියන් මිනිසුන් එකතුව දන් පිළිගන්වා ඒ කටයුතු නිමා කරනු ලැබුවා. අවසාන දිනයේ සියලු භික්ෂූන් වහන්සේලාගේ පාත්‍ර සෝදවා බෙහෙත් පිණිස ගිතෙල් වෙඬරු මීපැණි ආදිය පුරවා තුන් සිවුරුද සමග පුජා කළා. එහිදී හැමටම වඩා බාලම භික්ෂුව ලබන ලද සිවුරුපිළිය පමණක් ලක්ෂයක් වටිනාකමින් යුක්ත වුනා. බුදුන් ඇතුළු අන් අය ගැන කුමන කතාද?

සියලු දාන කටයුතු නිමවුවායින් පසුව පුණ්‍යානුමෝදනාව සඳහා මංගල බුදුරජාණන් වහන්සේ මෙවැනි මහේශාක්‍ය දානයක් දීමට තරම් මොහු කවර පුද්ගලයෙක්ද එයින් ලැබෙන කුසල විපාක මොනවාද යැයි  දිවැසින් බලන්නට වුනා. මතු දෙයාසංඛ්‍ය කල්පලක්ෂයකින් ගෞතම නම් බුදුවරයායයි දැක බෝසතුන් අමතා ඔබ මෙතෙක් කල් ගෙවා ගෞතම නමින් බුදුවන්නේ යනුවෙන් තුන්වන නියත විවරණය දෙනු ලැබුවා !!! දෙවියන් මිනිසුන් සාදු කාර දෙනු ලැබුවා. එය දිව්‍ය තලයෙන් දිව්‍ය තලයට පැතිරුනා. මගඵල නොලත් දෙවු මිනිසුන් යම් විදිහකින් අපහට මේ සාසනයේ ධර්මය අවබෝද කිරීමට නොහැකි වුණහොත් දැන් ගෞතම සාසනයේ එය කරගත හැකි වෙතයි සැනසුම් සුසුම් හෙලමින් අධිෂ්ඨාන කරනු ලැබුවා. දෙතිස් මහා පෙරනිමිති ලොවෙහි නැවතත් පහල වුනා. නා නා විදි මල්වර්ග දෙවියන් විසින් විසිරන්නට වුනා.  එය අසා අප බෝසතුන් වහන්සේ මහත් වූ චිත්තප්‍රීතියෙන් මම බුදුවන්නෙමි. මට ගිහිගෙයි විසීමෙන් කම් නැත. පැවිදි වෙමියි සිතා ඒසා සම්පත් කෙළ පිඬක් සේ හැරදමා බුදුන් වෙත පැවිදිව බුදු වදන් ඉගෙන අභිඥා ද අටසමවත් ද උපදවා නොපිරිහුණු දැහැනින් ආයු තාක් සිට බඹලොව උපන්නා. 

මංගල බුදුහාමුදුරුවන්ගේ නගරය උත්තර නම් වුනා. උන්වහන්සේගේ පියා උත්තර නම් ක්‍ෂත්‍රිය රජෙක්.මවගේ නමත් උත්තරා. සුදේව ධම්මසේන දෙනම අගසවුවන්. උපස්ථායක පාලිත නම් වුනා. සීවලා අශෝකා දෙනම අග්‍රශ්‍රාවිකාවෝයි. නරුක බෝධියයි. ශරීරය අටඅසූ රියනක් වුනා. ආයුෂ අවුරුදු අනූදහසක්. යසවතී භාර්යාව වුනා. සීලව නම් පුත්‍රයායි. අස් යානයෙන් නික්මුණා. උත්තරාරාමයෙහි වාසය කළා. සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යය බව සනාථ කරමින් උන්වහන්සේත්ව වසර අනුදහසක් ආයුෂ වළඳා පිරිනිවන් පානු ලැබුවා. හරිම පුදුමයි. දසදහසක් සක්වළ එක්වරම අන්ධකාර වුනා. වසර අනුදහසක් රෑ දහවල් නොමැති ලෝකවල නැවතත් දිවා රැය විද්‍යාමාන වුනා. කෙලෙස් සහිතයන්ගේ මරණයට සංකිලෙස මරණය කියලා කියනවා. එහෙත් ඒ කාලේ බුද්ධශ්‍රාවකයන් අතර සංකිලෙස මරණ තිබුනෙම නැහැ. බෝසතාණන් වහන්සේ හැරෙන්නට සියලුම ශ්‍රාවකයෝ පිරිණිවන් පෑවේ රහත් වෙලා. ඒ මංගල භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවීම සකළ සක්වළ මිනිසුන්ගේ මහත් ඇඩිම් වැළපීම් වලට හේතුවුනා. තවත් බුදුවරයෙකුගේ සමුගැනීම එලෙස සිදුවුනා.

Ape Budu Hamuduruwo 32

අපේ බුදුහාමුදුරුවෝ 32

 

දස දහසක් සක්වළ වසර අනුදහසක් ආලෝකය පැතිර වූ

මංගල බුදුරජාණන් වහන්සේ 05

දානයට ආරාධනා කොට බමුණා ගෙදර යන්නට පිටත් වුනත් මහා වගකීමක බරක් හිස මත. බුදුරජාණන් වහන්සේ ඇතුළු කෙළ ලක්ෂයක් වූ සංඝ පිරිසකට දානය පිළියල කිරීම. ඔහුට මෙහෙම හිතුනා. මට මේ සියලු භික්ෂුන් වහන්සේලාට කැඳ, බත්, වස්ත්‍ර ආදිය  දීමට නම් පුළුවන්. එහෙත්  කෝටියකට ආසන පනවන්නේ කොහොමද? ඔහු මෙසේ සිතමින් පියමණින්නට විය. ඔහුගේ ඒ සිතිවිල්ල යොදුන් අසුහාර දහසක් උඩ තවුතිසාවෙහි සිටි සක් දෙවිඳුගේ පඬුපුල් අස්න උණුසුම් කරවන්නට සමත් විය.  සක් දෙවිඳු එය කවුරුන් නිසා වූවක්ද යැයි බලන කල බෝසතුන් වහන්සේ බුදුන් ප්‍රමුඛ සංඝයා හට දානයට ආරාධනා කොට වැඩ සිටිනා තැනක් සිතමින් යන බව දැක මාද ඒ මහා පින්කමට සහභාගී වී  පින් කරගතයුතු බව සිතා වඩුවෙකුගේ වෙස් ගෙන වෑපොරෝ ගත් අත් ඇතිව බෝසතාණන් වහන්සේ ඉදිරියේ  පෙනී සිටියා.

වඩුවෙකුගේ වෙස්ගත් සක් දෙවිඳු –  කිසිවෙකුට බැලයෙකුගේ ප්‍රයෝජනයක් ඇත්ද?

බෝසතාණන් වහන්සේ – ඔබ කවර නම් වැඩ දන්නේද?

වඩුවෙකුගේ වෙස්ගත් සක් දෙවිඳු – මා නොදන්නා ශිල්පයක් නැත.  ගෙයක් හෝ මණ්ඩපයක් හෝ යමක් අවශ්‍ය නම් ඒ කිරීමට මම දනිමි.

බෝසතාණන් වහන්සේ –  දරුව, එසේනම් මට අවශ්‍යය කාර්‍යයක් ඇත.

වඩුවෙකුගේ වෙස්ගත් සක් දෙවිඳු – උතුමාණෙනි, ඒ කුමක්ද?

බෝසතාණන් වහන්සේ –  හෙට උදයේ දානය සඳහා මම කෙල ලක්ෂයක් භික්ෂුන්හට ආරාධනය කළා. ඔබට උන් වහන්සේලාට වැඩ සිටීමට මණ්ඩපයක් තනාදිය හැකිද? 

වඩුවෙකුගේ වෙස්ගත් සක් දෙවිඳු –  එසේයි, මට වේතනය දිය හැකිනම් කරදිය හැකයි.

බෝසතාණන් වහන්සේ – දරුව, මට වේතනය දීමට හැකයි. ඉක්මණින් නිමකරන්න යනුවෙන් පවසමින් ඔහුගේ මන්දිරයට ඇතුළු වුයේ අනෙකුත් දේ ලක ලෑස්ති කිරීමටය.

සක්දෙවිඳුට සිනහ පහළ විය. ඒ මහා පින්කමට සහභාගිවීමට ඔහුටද වරම් ලද හෙයිනි. සක්දෙවිඳු එක් මුඩු ප්‍රදේශයක් දෙස බලන්නට වුනා. එසැණින්ම දොළොස් යොදුන් කෙළක් ප්‍රමාණ වූ භුමිය පඨවි කසිණ මණ්ඩලයක් සේ සමතලා වුනා. අනතුරුව සක්දෙවිඳු මෙතෙක් භුමි ප්‍රමාණයක සත්රුවනින් සැදුණු මණ්ඩපයක් පැන නගීවා යයි සිතා ඒ දෙස බැලුවා. එකෙණෙහිම පොළොව දෙබෑකරමින් මණ්ඩපයක් පැන නගින්නට වුනා.  එහි රන් ටැඹ වල රිදියෙන් කල වැටවල් වුනා. රීදී ටැඹවල රන් කල වුනා. මැණික් ටැඹවල මැණික් කළ ද, නන්රුවන් ටැඹවල සත්රුවන් කළද වුවා. ඉන්පසු මණ්ඩප අතර තුර කිකිණි දැල් එල්වේවා  යයි ඒ දෙස බලන්නට වුනා. එකෙනෙහිම කිකිණි දැල් එල්ලී මාරුතයෙන් සෙලෙවෙන කිකිණි දැල් වලින් පංච තුර්යය නාදය නිකුත්වන්නට වුනා. හරියටම දිව්‍යය සංගීතයක් පවතින කාලයක් මෙන් වුනා. ඒ එක්කම සුවඳ මල් දම් එල්වෙවායයි සිතන්නට වුනා. ඒ සමගම දසත මල්දම් එල්ලෙන්නට වුනා. අනතුරුව කෙළ ලක්ෂයක් භික්ෂුන් වහන්සේලාට අසුන් හා පාත්‍රාධාර පොළොව බිඳගෙන පැන නගීවා යයි සිතීය. ඒ සියල්ලම ඒ ආකාරයෙන්ම පැන නැගුණි. තැන් තැන් වල දිය සුළි පැන නැගුණි. සක් දෙවිඳු මෙතෙක් දේ මවා බමුණා වෙත ගොස් උතුමාණෙනි, ඔබගේ මණ්ඩපය බලා මගේ වේතනය දෙනු මැනවයි කිවා.

බෝසතාණන් වහන්සේ මණ්ඩපය දකිත්ම පස්වණක් ප්‍රීතියෙන් පිනා ගියා. ඒ එක්කම මෙහෙම සිතුවා. මේ මණ්ඩපය මෙතරම් ඉක්මණට මෙලෙස මනුෂ්‍යයකුට නම් කල නොහැකියි. ඒකාන්තයෙන්ම මගේ දාන චේතනාව නිසා සක් දෙවිඳුගේ භවන උණුසුම් වුවා විය යුතුයි. ඒ නිසා මෙය ඔහු විසින් කල මණ්ඩපයක් විය යුතුයි. මෙවැනි මණ්ඩපයක එක් දවසක් දන් දීම තරම් නොවේ. ඒ නිසා සත් දවසක්ම  දන් දෙමියි සිතුවා. බෝසත්වරුන්ට කෙත්වතු ආදී බාහිර දාන කොතෙකුත් දුන්නද තමන්ගේම ශරීර අවයවයක් හෝ ජීවිතය දන් දෙන තරමටම ඔවුනගේ සිත් තුල තෘප්තියක් ඇති නොවේ. ඒ අනුව බෝසතාණෝ කෙළ ලක්ෂයක් භික්ෂුන් වහන්සේ හට දන් දිය යුතු යයි සිතා ඒ මණ්ඩපයෙහි වඩා සිටවා ගවපාන නම් දානය පිළියෙළ කරන්නට වුනා. ඒ කියන්නේ ගවපාන නම් මහත් හැලි වල කිරි පුරවා ලිප තබා ඝනව පිසුණු කල්හි පිසින ලද මි සකුරුසුණු ගිතෙලෙන් අනන ලද භෝජනයට. 

පසුදා ඒ සියල්ල විශ්වකර්ම දෙවියන්ගේ අනුහසින් මෙන් සැකසී නිමවිය. ඒ එදින උදෑසන කෙළ ලක්ෂයක් භික්ෂුන් පිරිවරා මංගල සම්මා සම්බුදුරජාණන් වහන්සේ දසදහසක් සක්වළ ආලෝකය විහිදවමින් වඩින්නට විය. මහත් වූ සාදු කාරය මිනිසුන් අතර පමණක් නොව දෙවියන් අතරද පැතුරුනි. දිව්‍යමය මල් මාලා වල සුවඳත් කිකිණි හඬට එක්වූ සාදු කාරයත් මංගල බුදුරජුන්ගේ මහත් වූ ශරීර ආලෝකයත් භෝජන වල සුවඳත් ඇත්තෙන්ම ඒ භුමිය තවත් තුසිතයක් කරවිය.

Ape Budu Hamuduruwo 31

අපේ බුදුහාමුදුරුවෝ 31

 

දස දහසක් සක්වළ වසර අනුදහසක් ආලෝකය පැතිර වූ
මංගල බුදුරජාණන් වහන්සේ
04

සුමංගල බුදුහාමුදුරුවන්ගේ දෑගසව්වුන්.

හරිම පුදුමයි පසුගිය බුදුවරුන් හමුවට පැමිණි පිරිස් ගැන හිතනකොට. උන්වහන්සේලාට සම්මුඛ වන්නේ අඩුම වශයෙන් දස දහසක පමණ පිරිසක් විතරක් නෙවෙයි එකවර මාර්ගඵල ලබන්නේත් එලෙසම විශාල පිරිස්.  ඒ මොහොතේ මංගල බුදුහාමුදුරුවෝ වැඩසිටියේ මේඛලා නුවර. එදා මැදින් පුර පොහෝ දිනය.  සුදේවද ධම්මසේනද දස දහසක් තරුණයන් පිරිවරාගෙන මංගල බුදුහාමුදුරුවෝ වෙතට ඇවිත් ඒහි භික්ෂු පැවිද්දෙන් පැවිදි වුනා. ඒ තමයි මංගල බුදුහාමුදුරුවන්ගේ දෑගසව්වන්. බොහෝ අග්‍රශ්‍රාවකයෝ   සංසාරය පුරාවටම එන්නේ අඹ යහළුවන් වශයෙන්. ඒ මැදින් පුන් පොහෝ දින පිරිවර සහිත දෑගසව්වුන් රහත් වූ කල භාග්‍යවතුන් වහන්සේ කෙළ ලක්ෂයක් භික්ෂූන්ට පාමොක් දේශණා කලා. මේ දෙවන සන්නිපාතයයි.  සුනන්ද සක්විති සමාගමයෙහි අනුකෝටිලක්ෂයක් භික්ෂුන් මැද නැවතත්  පාමොක් දේශණා කරනු ලැබුවා. ඒ තෙවැනි සන්නිපාතයයි.

සුරුචි බ්‍රාහ්මණය

ඒ කාලේ අපේ බෝධිසත්වයන් වහන්සේ මහා පඬිවරයෙක්. උන්වහන්සේ ජීවත්වුණේ සුරුචි බමුණුගම සුරුචි නම් බමුනේක්වයි. උන්වහන්සේ නිඝණ්ඩු කේටූභ සහිත ත්‍රිවේද පාරගත ඉතිහාසය පස්වනු කොට ඇති අක්ෂරභේද සහිත පද දත් වියරණ දත් ලෝකායත මහාපුරුෂ ලක්ෂණයන්හි අද්විතීය වූ මහා පඬිවරයෙක්. උන්වහන්සේ බුදුන් කරා  එළඹ බණ අසා පැහැද සරණ පිහිටා හෙට මගේ ගෙදරට දානය සඳහා වඩිනා මෙන් සංඝයා සහිත භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළා.  එවිට භාග්‍යවතුන් වහන්සේ “බමුණ කොතෙක් භික්ෂූන් දැයි” විමසා සිටියා. එවිට බ්‍රාහ්මණය ” ස්වාමිනි ශ්‍රාවක පිරිස කොතෙක්දැයි ” නැවතත් පැනයකින් ප්‍රතිඋත්තර දුන්නා. මෙහිදී ඔබ මතක තියාගත යුතු කරුණක් වනවා. ඔබ සාංඝික දානයක් දීමට අදහස් කරන අවස්ථාවේ ඒ සඳහා ආරාධනය කරනවිට මෙපමණක් භික්ෂුන් වහන්සේලා යයි සීමාවක් හෝ ගණනක් පැනවීම එය පෞද්ගලික දානයක් වී බලාපොරොත්තු වූ ඵල නොලැබීමට හේතුවක් විය හැකයි.  ඒ වනවිට ප්‍රථම ශ්‍රාවක සන්නිපාතය සිදු වී අවසන්. ඒ නිසා පිරිස කෙළ ලක්ෂයක් හැටියට බුදුහාමුදුරුවෝ වදාළා. එසේනම් බුදුරජාණන් වහන්සේ සියලු භික්ෂුන් සමග හෙට දිනයේ මගේ දානය පිළිගන්න යැයි ගෞරවයෙන් ආරාධනා කොට සිටියා. ශාස්තෘන් වහන්සේ එය නිහඬව පිළිගත්තා. හිතාගන්නත් බැහැ ඒ කාලයේ මිනිසුන්ගේ ශ්‍රද්ධාව සහ හැකියාව. පැය විසිහතරක් ඇතුළත කෝටිගනනකට දිවාභෝජනය පිළියල කිරීමට තරම් හැකියාව.  දානයට ආරාධනා කොට බමුණා ගෙදර යන්නට පිටත් වුනත් මහා වගකීමක් බරක් හිස මත. බුදුරජාණන් වහන්සේ ඇතුළු කෝටියක් වූ සංඝ පිරිසකට දනය පිළියල කිරීම. ඔහුට මෙහෙම හිතුනා. මට මේ සියලු භික්ෂුන් වහන්සේලාට කැඳබත් දීමට නම් පුළුවන්. එත් දෙවියනේ!  කෝටියකට ආසන පනවන්නේ කොහොමද?