Ape Budu Hamuduruwo 48

අපේ බුදුහාමුදුරුවෝ 48

 

අසුකෙළකට අසපුවක් මැවූ අප මහා බෝසතාණෝ
නාරද බුදුහාමුදුරුවෝ 03

නිරන්තරයෙන් යොදුනක් බුදුරැස් විහිදුන නාරද බුදුහාමුදුරුවෝ.

තවත් මුලදි කියන්න බැරි විශේෂ කරුණක් තිබුණා. ඒ තමයි නාරද බුදුරජාණන් වහන්සේගේ තාත්තා ගැන. නාරද බුදුරජාණන් වහන්සේ ගේ පියා සක්විති රජ කෙනෙක්. සක්විති රජ කෙනෙකුගේ පුතෙකුට තිබිච්ච ලෞකික සැප ගැන හිතන්න. නාරද බෝසතාණන් වහන්සේ එවැනි අනේක වූ සැප සම්පත්ද සක්විති රජකම ද හැර දමා තමයි බුද්ධත්වය සඳහා පැමිනුනේ. 

නාරද බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී දේහයනුත් බුද්ධ රශ්මි ධාරා යොදුනක් පමණ පැතිරුණා කියල තමයි අට්ඨකථාවේ කියන්නේ. ඒ නිසාම උන්වහන්සේ වැඩ සිටින තැන්වල ජනතාව පන්දම් පහන් දැල් වූයේ නැහැ . කාලය සෙමින් ගත වෙද්දි උන් වහන්සේට ද ශ්‍රාවක සන්නිපාත තුනක් වුණා .

ප්‍රථම සන්නිපාතය

පළවෙනි සන්නිපාතය ඇතිවුණේ ථුල්ලකොට්ඨිත නුවරයි. භද්දසාල විජිතමිත්ත කියන්නේ උන් වහන්සේගේ අගසව් දෙදෙනා. දිවි ජීවිතේ ඒ දෙන්නා හොඳම යාලුවෝ .ඔවුන් දෙදෙනා නිවන් මග සොයමින් එනකොට තමයි දැක්කෙ බුදුරජාණන් වහන්සේ මහා පිරිසක් මැද වැඩ සිටිනවා . ඒ අතිශයින් ප්‍රභාස්වර වූ නාරද බුදු පියාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ දැකීමෙන් මේ කෙලෙසුන් නැසූ සම්මා සම්බුදුවරයෙකු යයි නිෂ්ඨාවට පැමිණ භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් බණ අසා පැවිදි බව ලබා ගත්තා. ඒ පැමිණීම ඒ බුදු රජාණන් වහන්සේත් බලාපොරොත්තු වෙන්න ඇති. ඔවුන් පැවිදි ව රහත් වූ පසු භාග්‍යවතුන් වහන්සේ කෙළ ලක්ෂයක් භික්ෂූන් මැද පාමොක් දේශනා කළා. එයප්‍රථම සන්නිපාතයයි.

දෙවැනි සන්නිපාතය

යම් කාලෙක නාරද සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඥාති සමූහයා අරභයා විශේෂ ධර්ම දේශනයක් පැවැත්වූවා. ඒ තමයි උන්වහන්සේ ගේ පළමු බුද්ධත්ව ප්‍රාර්ථනය සිට බුද්ධත්වය දක්වා ආ මග මඟ පිළිබඳව සවිස්තර ව දේශනා කළ අති මිහිරි බුද්ධ වංශ කතාවයි . එදා අනූ කෙළ දහසක් භික්ෂූන්ගේ දෙවැනි සමාගමය වුණා.

 තෙවැනි සන්නිපාතය

ඒ වගේම මීට ඉහත සදහන් කළ දොණ නාගරජ දමනය දැකබලා පැහැදුණු වෙරෝචන නම් නාරජ ගංගා නදියෙහි තෙගවුවක් පමණ වූ සත් රුවන් මණ්ඩපයක් මවා සපිරිවරින් සිය දානයෙහි අග්‍ර බව දැක්වීම පිණිස ආරාධනය කොට නාග නළු නිළියන් ද විවිධ වේශලංකාරධර තාලාවචරයන්ද රැස් කොට මහා සත්කාරයෙන් සපිරිවර භාග්‍යවතුන් වහන්සේට මහ දන් පූජා කළා. ඒ මහජන මහා දානමය පිංකම අවසානයේදී භාග්‍යවතුන් වහන්සේ මහා පුණ්‍ය ගංගාවක් ගලන්නා විලසින් පුණ්‍යානුමෝදනාවක් කලා. ඒ පුණ්‍යානුමෝදනාව අසා පැහැද ඒහි භික්ෂු පැවිද්දෙන් පැවිදි වූ අසූ ලක්ෂයක් භික්ෂූන් මැද භාග්‍යවතුන් වහන්සේ පාමොක් දේශනා කළා . ඒ තෙවැනි මහා සන්නිපාතය වුණා

අසුකෙළකට අසපුවක් මැවූ අප මහා බෝසතාණෝ

ඒ කාලයේ අප මහා බෝසතාණන් වහන්සේ පැවිදි තවුසෙක් ව හිමවත්හි අසපුවක් තනා පංචාභිඥා ද අෂ්ටසමාපත්ති ලාභීව ද වැඩ වාසය කළා. ඒ කාලේ ඒ මහා බෝසතාණන් වහන්සේට මහත් වූ අනුකම්පාවෙන් නාරද බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා අසූකෙළක් ද දසදහසක් අනාගාමී ඵලයට පත් උපාසකයන් ද පිරිවරා ඒ අසපුවට වැඩිය. අප මහ බෝසතාණන් වහන්සේත් මහත් සෘද්ධි බල සම්පන්න තවුසෙක් . නැතිනම් එකවර අනපේක්ෂිත ලෙස පැමිණි මේසා විශාල බුද්ධ ශ්‍රාවකයන් පිරිසකට ඇප උපස්ථාන කරන්නේ කෙලෙස ද. බුදුරජාණන් වහන්සේ ඔහුගේ අසපුවට වඩින විට හවස් වෙලා. අදුර වැටෙන්නට ආසන්නයි. බෝසතාණන් වහන්සේ ප්‍රථමයෙන් ම කළේ ඒ අසූ කෙළක් පමණ වූ පිරිසට රාත්‍රියේ වැඩ වාසය කිරීමට විශාල අසපුවක් මැවීමයි. ඉර්ධියෙන් මවන අසපු දෙව්ලොව මාලිගා තරම් ලස්සනයි . ගස් වැල් මල් පලවැල විතරක් නෙමෙයි රාත්‍රී කාලේ එළිය දෙන මල් වලිනුත් මුළු පරිසරයම පිරිලා. එහි පිහිටවූ විශේෂ මණ්ඩපයක බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්නට වුණා .

දින හතක්ම බුදුගුණ ඇසූ අප මහා බෝසතාණෝ

අප බෝසතාණන් වහන්සේ අහන්නට කැමති වුනේ බුදු ගුණ. ඒ ඔහුත් මතු බුදුවරයෙක් නිසා. ඒ නිසා නාරද බුදුහාමුදුරුවෝ මුළු සර්ව රාත්‍රිය පුරාම දේශනා කළේ ඒ අනන්ත වූ බුදුගුණමයි. අප මහා බෝසතාණෝ පසුදින උදෑසනම උතුරුකුරු දිවයිනට ගොස් දන් ගෙනවිත් බුදුරජාණන් වහන්සේ ඇතුළු ඒ පිරිවරට පූජා කළා. ඒ ඉර්ධි බලය ආශ්චර්යයි . තමාගේ පාත්‍රයන්ට කොතරම් දම් බෙදුවත් ඒ ඒ ආහාරය ඉවර වුණේ නැහැ. උන්වහන්සේ පෙර මා ඇසූ අනන්ත වූ බුදු ගුණ දේශනාව ට කොතරම් වසඟ වුනාද කියතොත් දින හතක් පුරා ම නාරද බුදුරජාණන් වහන්සේ ඇතුළු පිරිවර රඳවාගෙන බුදුගුණම ඇසුවා. අවසානයේ සත්වෙනි දින මහත්වූ ප්‍රීතිය ට පැමිණි අප මහා බෝසතාණෝ වතින් අනගි රත්සදුන් ගෙනවිත් එයින් බුදුන් පුදනු ලැබුවා.

නියත විවරණ ලැබීම.

භාග්‍යවතුන් වහන්සේ දෙවිමිනිසුන් පිරවරා පුණ්‍යානුමෝදනා කොට උන්වහන්සේට මතු ගෞතම නමින් බුදු වන්නේ යැයි විවරණ දෙනු ලැබුවා. දෙවිවරුන්ගේ සාධුකාර නදත් අත්පොළසන් නදත් දසදහසක් සක්වල පුරාම පැතිරුණා. මදාරා මල් දසත විසිරී ගියා. අප බුදුහාමුදුරුවන්ගේ අපම වෙනුවෙන් පැතූ තවත් නියත විවරණයක් එලෙස සනිටුහන් වුනා.

 

Ape Budu Hamuduruwo 47

අපේ බුදුහාමුදුරුවෝ 47

 

දඹදිව වැසියන් ට පරිභෝගයට ප්‍රමාණවත්වන පරිදි අලංකාර ආභරණ වර්ෂාවක් සමග මෙලොව එලිය දුටු
නාරද බුදුහාමුදුරුවෝ 02

නාග දමනය

ඒ නාරද බුදුරජාණන් වහන්සේ ගේ කාලේ මහාදොණ කියලා නුවරක් තිබුණා. සමහරවිට ඒ නුවරට මහාදොණ කියලා නම් කරන්න ඇත්තේ දොණ කියලා මහා නාගරාජයෙක් ඒ නුවර හිටපු නිසා වෙන්න ඇති. ඒ නාග රාජයා මහත් ඍධි ඇති මහානුභාව සම්පන්න නාගරාජයෙක්. ඔහු හිටියේ ඒ ගමෙහි තිබුණු මහා විලක් අසලයි. ඒ නාගරාජයාට මේ ගම්දනවු වැසියන් මහත් භීතියෙන් බිලිපූජා පවත්වමින් ඇප උපස්ථාන කරමින් සිටියා. යම් හෙයකින් ඔහුට පවත්වනු ලබන බිලි පූජාවන්හි යම් අඩුපාඩුවක් වුවහොත් ඔහු තදින් කිපුණා. කිපි නිහඬව සිටියේත් නෑ. ඒ මුළු දේශයේම මහා නියඟයකින් හෝ මහවැස්සකින් හෝ බොරලු වරුසාවකින් විනාශ කරලා දැම්මා. ඒ නිසා මිනිස්සු හිටියේ හැමදාමත් භීතියෙන්. ඒ වගේම නිරන්තරයෙන්ම ඔහුට මිනිසුන්ව බිලිදීමත් සිදු වුණා. ඒ ජනපදවාසීන් විඳින්නා වූ ඒ මහත් චිත්ත පීඩාව භීතිය ඒ මහා කාරුණිකයාණන් වහන්සේ දිවසින් දැක්කා. ඒ වගේම ඔහු දමනයෙන් ඒ නගරවාසීන්ට ලැබෙන්නා වූ මහත් වූ සැනසීම ද ඒ සඳහා ඔවුනට හේතු සම්පත් ද ඇති බව දැක මහත් වූ බික්සඟන පිරිවරා ඒ ස්ථානයට වැඩම කරනු ලැබුවා.

ඒ නාග භවනට වැඩම කරන බුදු රජාණන් වහන්සේ දුටු මිනිසුන් උන් වහන්සේව නවතා ගැනීමට බොහෝ උත්සහ දරමින් මෙසේ කියන්නට වුනා.

“භාග්‍යවතුන් වහන්ස මෙහි ඝෝර විසැති උග්‍ර තේජස් ඇති මහා ඉර්ධි මහානුභාව ඇති නාරජෙක් වාසය කරනවා. ඔහු මිනිස්සුන්ව පෙළනවා. ඔබවහන්සේ එහි නොයා යුතුයි.”

 භාග්‍යවතුන් වහන්සේ එය නොඇසුනාක් මෙන් ඉදිරියටම වඩින්නට වුණා. වැඩම කොට ඒ නා රජු හට සත්කාර සඳහා සකසන ලද අතිසුවඳැති මල් ඇතිරිල්ලේ වැඩවුන්නා. එවිට සියලු ම ගම්වැසියන් බුදුරජාණන් වහන්සේගේත් නා රජුගේත් යුද්ධය බලන්නෙමු යැයි කියා ඒ අවට රැස් වූනා. එවිට ඒ සර්ප නාගයා එසේ වැඩහුන් බුදුරජාණන් වහන්සේ දැක මකුබව නො ඉවසමින් දෘශ්‍යමාන කයින් පෙනීසිටිමින් දුම් දමන්නට වුණා. ඔහුට ඒ විසඳුමෙන් ගම්මානයක් වුවත් වනසා දැමිය හැකියි. බුදුරජාණන් වහන්සේත් එලෙස ඔහු වෙත දුමාරයක් නිකුත් කළා. ඒ ඔහු විනාශ කිරීමට නොවේ. දමනය කිරීමට. ඒ දුම් දහරාවෙන් නාගරාජයාගේ මුළුමහත් ශරීරයේම ඉමහත් වූ දාහයක් හටගෙන දැවී ගියා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය දැල් වී ගියත් කිසිම අනතුරක් වුණේ නැහැ. ඔහු නැවත නැවතත් බුදුරජාණන් වහන්සේ වෙත විෂ දුමාරය එල්ල කරන්නට වුණා. බුදුරජාණන් වහන්සේත් ඔහු වෙත දුම් ජාලාවන් එල්ල කළා. දසබලයන් වහන්සේගේ ශරීරයෙන් එල්ල වූ දුම් දහරාවෙන් බොහෝ පීඩාවට පත් හෙතෙම තව දුරටත් සිරුරෙන් දුක් ඉවසිය නොහැකිව ඔහු මරන්නෙමි යයි සිතා විෂ ධාරාවන් බුදුරජාණන් වහන්සේ වෙතට එල්ල කරනු ලැබුවා. ඒ වේගයෙන් විඳින විසෙන් මුළු දඹදිවම වුනත් වැනසිය හැකියි. එහෙත් එබඳු විසකට වත් භාග්‍යවතුන් වහන්සේගේ රෝමයක් හෝ සොලවන්නට නොහැකි වුණා. බොහෝ වෙහෙසට පත් නාගරාජයා අවසානයේ ඇත්තෙන්ම මේ කවුරුන් දැයි විමසන්නට වුණා. දහවලදී සරා හිරුමෙන් ද රාත්‍රියේදී සඳු මෙන් ද පිරිපුන්ව නිරන්තරයෙන්ම බඹයක් පමණ සවණක් රසින් බබළන පහන් වදනින් යුත් ඒ භාග්‍යවතුන් වහන්සේ දැක පුදුමයි මේ මහා ශ්‍රමණයන් මහාර්ධිමත්‍ ය. මම ඔහුගේ බල නොදැන වරදවා ගත්තෙමි. දැන් ඇති එකම විසදුම ඔහු සරණ යාමයි කියා භාග්‍යවතුන් වහන්සේගේ සරණ සෙවිය. එවිට නාරද මුනිරාජාණෝ ඒ නා රජු දමනය කොට එහි රැස්වූ රැස්වූ මහජනයාගේ සිත් පැහැද වීම සදහා යමක ප්‍රාතිහාර්ය කළ සේක. එදින නව කෙළක් ප්‍රාණීහු අරහත්වයේ පිහිටියා. එය දෙවන මහා ධර්මාවබෝධය ද වුණා.

 

Ape Budu Hamuduruwo 46

අපේ බුදුහාමුදුරුවෝ 46

 

දඹදිව වැසියන් ට පරිභෝගයට ප්‍රමාණවත් වන පරිදි අලංකාර ආභරණ වර්ෂාවක් සමග මෙලොව එලිය දුටු
නාරද බුදුහාමුදුරුවෝ
01

නාරද බෝසතාණන් වහන්සේ ලොව පහල වීම.

පදුම සර්වඥයන් වහන්සේ පිරිනිවි කල උන් වහන්සේගේ සසුනද අතුරුදහන් වී ලක්ෂයක ආයුෂ ඇති මිනිසුන් අනුක්‍රමයෙන් අවුරුදු දහය දක්වා පිරිහෙන්නට වුණා. නැවත ආයුෂ ක්‍රමයෙන් ක්‍රමය වැඩීමෙන් ආයුෂ අසංඛය දක්වා පැමිණ නැවතත් අවුරුදු අනූ දහසක් දක්වා පිරිහුණා. එකල දසබලධාරී ත්‍රිවිද්‍යා ඇති චතුර්වෛශාරද්‍යය විශාරද විමුක්ති සාර දෙන්නා වූ නාරද නම් නරසත්වෝත්තම ශාස්තෘන් වහන්සේ ලොව පහළ වුණා. උන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා තුසිත භවනෙහි ඉපිද එතනින් චුත ව ධඤ්ඤවතී නුවර ස්වකීය වීර්යයෙන් දිනන ලද වාසුදේවයන් බඳු සුදේව නම් රාජ කුලයෙහි අග මෙහෙසිය වූ නිරූපම අනෝම දේවියගේ කුසේ පිළිසිද ගත්තා.

නම් තැබීම සහ අලංකාර ආභරණ අහසින් පතිතවීම

උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහිදීද දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදිම දෙතිස් පෙළහර ඇතිවුනා. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් ධනඤ්ජය උයනෙහි මව් කුසින් බිහි වුණා . උත්පත්තියෙන් දින කිහිපයකට පසු නම් තබන දිනයද පැමිණුනා. එදා විශේෂ සිදුවීමක් වුණා. එදා දඹදිව වැසියන් ට පරිභෝගයට ප්‍රමාණවත් වන පරිදි ඉතා අලංකාර ආභරණ අහසින් සහ කල්පරුක්ශාදියෙන් පතිත වන්නට වුණා . එනිසාම උන්වහන්සේට මිනිසුන්ට සුදුසු ආභරණ දුන්නේ යයි කියා නාරද යනුවෙන් නම් තැබුවා. උන්වහන්සේ නව දහසක් අවුරුදු ගිහිගෙයි වාසය කළා. විජිත විජිතාවි විජිතාභිරාම නම් ඉමහත් වූ කම්සැපයෙන් අගතැන්පත් තුන් සෘතුවට යෝග්‍ය මහා ප්‍රසාද තුනක් වුණා . නාරද කුමාරයාහට කුල සීල ආචාර රූප සම්පන්න මනෝකූල වූ විජිත සේනා නම් අතිශයින් රූමත් පින්වත් කැත් කුමරිය අගමෙහෙසිය වුණා .ඒ කුමරිය ප්‍රධාන විසිදහසකට අධික ස්ත්‍රීන් උන් වහන්සේ වෙනුවෙන් සේවයේ යොදවා සිටයේ ඔහුව ගිහිගෙයිම රඳවා ගැනීමට.

විවිධ වර්ණයෙන් සැරසී ලක්ෂසංඛ්‍යාත පිරිවර සමග පාගමනින්ම ගිහිගෙයින් නික්මීම.

ඒ විජිතසේනා දේවියට සකල ලෝකනන්දකර නන්‍දුත්තර කුමරු උපන් කල්හි සතර පෙර නිමිති දැක සිවුරඟසෙන් පිරිවරා නන්පැහැ වතින් සැරසූ සිරුරු ඇතිව පැලඳගත් මුතුහර මිණිකොඬොල් ඇතිව උතුම් කේයූර මකුට කටකධාරී ව පරම සුගන්ධවත් ගඳමලින් සැරසී පා ගමනින් ම උයනට අභිනික්මන් කොට උයනට පිවිසියා. එහි ගොස් සියලු අබරණ මුදා භාණ්ඩාගාරික අතට දී තමන් ම නිල් මානෙල් පතක් හා සමාන අසිපතින් මෞලිය සහිත කෙස් කපා අහසට දැමූ කල්හි සක්දෙව් රජ එය රන් කරඬුවෙන් පිළිගෙන තව්තිසා භවනට ගෙන ගොස් සිනේරුව මුදුනෙහි තුන් යොදුන් උස සත්රුවන්මුවා සෑයක් කරනු ලැබුවා. මහපුරිස්‍හු දෙවියන් දුන් කසාවත් හැද පැවිදි වූනා. උන්වහන්සේ අනුව දහස්ගණන් දෙනා පැවිදි වූනා. දින හතක් ප්‍රධන් වීර්‍යය කොට නිමවුණා. එදා තවත් එක් වෙසක් පොහෝදිනක්. උන්වහන්සේගේ ආදරණිය බිරිඳ විජිතසේනා කුමරිය සංසාරේ පැතූ තවත් පාරමිතාවක වගේ බුදුවෙන්නට පෙර තමාගේ දෑතින්ම තැනු මිහිරි මි කිරිබත් රැගෙන ඒ උයන වෙත උදෑසනම පැමිණියා. උන්වහන්සේ අගමෙහෙසිය දුන් පරම මධුර මී කිරිබත් වළඳා එම උයන්හි ම දිවා විහරණය කොට සවස් කාලයෙහි සුදස්සන නම් උයන්පල්ලා දුන් අටතණමිට ගෙන තොටිල (මහාසෝණ) රුකමුල වෙත පිය මැන්නා. ඒ රුක්‍ෂය පිළිබන්දවත් ලස්සන වර්ණනාවක් බුද්ධවංශ අට්ඨකතාවේ තියනවා. ඒ මෙලෙසයි.

රත්තසොණ නම වෘක්ෂය

රත්තසොණ නම් ඒ වෘක්ෂය අනු රියනක් උසයි. එක සමාන වටයකින් යුතු කදකින් යුක්තය. නොයෙක් ශාකයන් පිරිවරා ගෙන සිටියේ. නිල්වන් පත්‍රයන්ගෙන් පිරිලා. ඒ නිසාම ඒ ගහ යට ඝන සෙවනකින් යුක්තයි. දේවතාධිගෘහිතයි. විහඟ ඝන සේවනයෙන් තොරයි. පොලෝ තලයට තිලකයක් බඳු යි. තැන් රාශියක් කරගන්නාක් මෙන් පරම රමණීය දැකුම්කලුයි. මුතු කුසුමින් සමලංකෘත සකල ශාකයෙන් මිනිසුන් මෙන් ම දෙවියන්ගෙන් නෙත් පැහැර ගත්තා. හරියටම දෙව්ලොව ඇති පරසතු මල් ගස වගේ.

බුද්ධත්වයට පැමිණීම.

උන්වහන්සේ ඒ උතුම් බෝධියට තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී පනස්හත් රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යා උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල් ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් තමන්වහන්සේ සමඟ පැවිදි වූ ලක්‍ෂයක් දෙනා දැක ධනඤ්ජය උයනෙහි දම්සක් දෙසූමදේශණා කරනු ලැබුවා. එහිදී කෙළ ලක්‍ෂයකට ධාර්මාවබෝධය වුනා.

 

Ape Budu Hamuduruwo 45

අපේ බුදුහාමුදුරුවෝ 45

සිංහ රාජයෙකු වී නියත විවරණ ලබාගත් අපේ බෝසතාණෝ 

පදුම බුදුහාමුදුරුවෝ. 03 

ඒ පදුම බුදුන්වහන්සේගේ ශීලය අසමය. සමාධියේත් කෙළවරක් නැත. උතුම් සර්‍වඥතාඥානය නොහොත් ෂට් අසාධාරණ ඥානයද අසංඛ්‍යය. නොගිණිය හැක. විමුක්තියද උපමා රහිතය. ඒ පදුම භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙහෙම සංෂිප්ත කොට සදහන් වෙනවා.

මහර්ෂීවූ පදුම බුදුරදුන්ගේ උපන් නුවර ’’චම්පක’’ නම් වී.

පියතෙම ’’අසම’’ නම් රජය. වැදූ මව්තොමෝ ’’අසමා’’ නම් වූවාය.

ඒ බුදුවරතෙම අවුරුදු දසදහසක් බුදුවීමට පෙර ගිහිගෙයි විසීය.

’’නන්දා’’ ය, ’’සූඝසා’’ ය, ’’උත්තරා’’ ය යන උතුම් තුන් පහයක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ තිස්තුන් ලක්ෂයකි. ප්‍රසිද්‍ධවූ ඒ බිරින්ද ’’උත්තරා’’ නම් වූවාය. පුත් තෙම ’’රම්ම’’ නම් වී.

පදුම ජිනරාජතෙම සතර පෙර නිමිති දැක, රිය යානයෙන් මහබිනික්මන් කෙළේය. නොඅඩු අට මසක් මුළුල්ලේ බුදුවීම පිණිස ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.

මහාවීරවූ පදුම නම් ලොනාහිමි තෙමේ බඹහු විසින් අයදනා ලද්දේ, ’’ධනඤ්ජය’’ නම් උතුම් උයනෙහිදී දම්සක් පැවැත්වී.

මහර්ෂීවූ පදුම බුදුරදුන්ට සාලද, උපසාලද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙමේ වරුණා නම් වීය.

’’රාධා’’ ද, ’’සුරාධා’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝධිය ’’තොටිල’’ ගසයයි කියනු ලැබේ.

’’භිය්‍ය’’ ද, ’’අසම’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’රුචි’’ ද, ’’නන්‍දරාමා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

පදුම මහාමුනිඳුතෙම පණස්අට රියනක් උස්වී. උන්වහන්සේගේ අසමවූ ශරීර කාන්තිය සැම ලෙසින්ම දිසාවන්හි නිතර පැතිරෙයි.

සඳරැස, හිරුරැස, රුවන්රැස, ගිනිරැස, මිණිරැස යන ඒ සියලු කාන්තීහු පදුම ජිනරාජයන්ගේ ශරීර කාන්තිය උතුම්කොට පැමිණ නැසුනාහු වෙත්.

ඒ කලෙයෙහි අවුරුදු ලක්‍ෂයක් ආයුෂ පවතී. ඒ (පදුම) බුදුරජහු ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා සසර සයුරෙන් එතර කළ සේක.

මේරූ ශ්‍රද්‍ධාදී ඉන්‍ද්‍රියයන් ඇති, විනෙය හික්මවිය හැකි ජනයන්ට ඉතුරු නොකොට සිවුසස් අවබෝධ කරවා සෙසු සත්ත්‍වයන්ට අනුශාසනාකොට ශ්‍රාවකයන් සහිතවූ ඒ (පදුම) බුදුරජතෙමේ පිරිනිවි සේක.

නාගතෙමේ දිරාගිය සැවය ඉවත් කරන්නාක් මෙන්ද, ගස පරණලා ඉවත දමන්නාක් මෙන්ද, සියලු සංස්කාරයන් හැරපියා, ගින්න යම්සේ නිවියයිද, එසේ උන්වහන්සේ පිරිනිවි සේක.

ශාස්තෘවූ පදුම ජිනවරතෙම ධර්‍මාරාමයේදී පිරිනිවි සේක. ඒ ඒ පෙදෙස්වල ධාතු පැතිරවීම වී.

 

Ape Budu Hamuduruwo 44

අපේ බුදුහාමුදුරුවෝ 44

 

සිංහ රාජයෙකු වී නියත විවරණ ලබාගත් අපේ බෝසතාණෝ
පදුම බුදුහාමුදුරුවෝ
02 

ප්‍රථම සන්නිපාතය

උන්වහන්සේගේ සාසනයේත් ශ්‍රාවක සන්නිපාත තුනක් ඇති වුණා. යම් දාක මනාව වැඩු ජීවිත ඇති භාවිතාන රජ බුදුපියුම් මුහුණැති පදුම බුදුන් වෙත කෙළ ලක්ෂයක් දෙනා පිරිවරා පැමිණ බණ අසා ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වූයේද ඒ සමාගමෙහි භාග්‍යවතුන් වහන්සේ පාමොක් දේශනා කළා. ඒ ප්‍රථම සන්නිපාත යයි.

දෙවැනි සන්නිපාතය

පසු කලෙක මහා පදුම මුනිවරයානෝ උසභපාගමනින් උසභවතී නුවර සමීපයේ වස් වැසූවා. නුවර වැසියන් බුදුන් දකිනු රිසි ව බුදුන් වෙත මහා ජන ගංගාවක් මෙන් පැමිණෙන්නට පටන් ගත්තා. එහිදී ඒ මහා කාරුණිකයාණෝ ඒ මිනිසුන් හට ධර්මය දේශනා කරනු ලැබුවා. එහිදී බොහෝ පහන් සිත් ඇති මිනිසුන් පැවිදි භූමියට ඇතුළත් වුණා. ඒ දසබලයාණෝ ඔවුන් ද වෙනත් තුන්ලක්ෂයක් භික්ෂූන් සමඟ විසුද්ධි පවාරණයෙන් පවාරණය කළා. ඒ දෙවැනි සන්නිපාතයයි.

ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වූ ඒ භික්ෂුන්වහන්සේලා කඨිනානිසංස අසා පෑලවියේ පස් මසක් පස් ආනිසංසයක් දෙන කඨින සිවුරක් පූජා කළා. ඉන්පසුව පසුව ඒ භික්ෂූන් වහන්සේලා ඒ කඨින සිවුර ඇතිරීම සඳහා මහා ප්‍රාඥ ධර්ම සේනාධිපති අග්‍රශ්‍රාවක සාරතෙරුන්ට ආයාචනය කොට කඨින සිවුර උන් වහන්සේ වෙතට දුන්නා. ඒ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ කඨින සිවුර පිළියෙළ කරද්දී මැසීම සඳහා භික්ෂුන් වහන්සේලා සහය වුණා. ඒ මහා අනතිමාණී ගුණයෙන් යුතු පදුම බුදුරජාණන් වහන්සේ ඉඳිකටු මලේ නූල් අමුණා දෙමින් ඒ සංඝ පිරිසට සහය වුණා. සිවුර නිමවීමෙන් පසු බුදුරජාණන් වහන්සේ තුන් ලක්ෂයක් භික්ෂූන් සමග චාරිකාවේ වැඩියා. උන් වහන්සේ ඒ මහා සංඝ සාගරයත් සමඟ වස් වැසුවේ මහ වනයක. ඒ වනය ගැන වර්ණනාවක් මෙලෙස බුද්ධවංශ අට්ඨකථාවේ තියෙනවා.

පසු කලෙක සිංහවික්‍රාන්ත ගමන් ඇති පුරුෂ සිංහයකු මෙන් බුද්ධ සිංහයන් වහන්සේ ගොසිංග සල්වනය බඳු පරමසුවඳ කුසුමින් ඵලයෙන් බරව නැමීගත් සාවෙළප ඇති නිමල නෙළුම් මානෙල් ආදියෙන් සමලංකෘත සිහිල් මීබිඳු වෑහෙන පිරුණු දියවිලින් යුත් මුවසෙමර සිංහ ව්‍යාඝ්‍ර අහස් ඇත් අස් ගව මී ආදි විවිධ මිගගණ හැසිරෙන සුවඳමල් ගඳින් බැදි හදින් බඹර මීමැසි යුවතියන්ගේ සංවරණයෙන් හාත්පස ගුමුගුමු නද ගැන්වූ පලරසින් මත් හදින් අවියත් මිහිරි හඬින් යුත් කොවුලගගනන්ගේ ගායනා ඇති පරමරමණීය යෝගානුකුල ජනයාගෙන් තොර මහා වනයෙහි වස් එළැඹි සේක යනුවෙනි.

තෙවැනි සන්නිපාතය

එහි පැමිණි ජනයා පිරිවර සමඟ වැඩ වාසය කරන දසබලයාණන් වහන්සේ දැක බණ සහ ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වුණා. ඒ කාලයේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා දෙලක්ෂයක් පිරිවරා වස් පවාරණය කරනු ලැබුවා. එය උන්වහන්සේගේ තෙවැනි සන්නිපාතය වුණා.

 සිංහ රාජයෙකු වී නියත විවරණ ලබාගත් අපේ බෝසතාණෝ

වස් පවාරණයෙන් අනතුරුව ඒ පදුම බුදුරජාණන් වහන්සේ ඒ වනයෙහි ම සතියක් නිරෝධ සමාපත්තියෙන් වැඩ විසුවා. ඒ කාලය අප මහ බෝසතාණන් වහන්සේ සිංහ රාජයකු ඉපිද ඒ වනයේ ම වාසය කළා. එක් දිනයක් වනයේ ගොදුරු සොයමින් ඇවිදමින් සිටි අප මහා බෝසතානෝ පදුම බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටින ස්ථානයට පැමිණියා. උන් වහන්සේ දුටු විගසම ඒ සිංහ රාජයා හට සංසාර පුරුදු මතු වී මහා බුද්ධාලම්භන ප්‍රීතියක් ඇති වුණා . ඔහුගේ බුද්ධාලම්බන ප්‍රීතිය අත් නොහැරම සතුටු සිතින් ගොදුරු සෙවීම නතර කොට තෙවරක් සිංහනාද කොට දින හතක්ම දිවි පූජා කොට ඒ ශාස්තෘන් වහන්සේ දිහා බලමින් ඒ අසලම රැදී සිටියා. ඒ භාග්‍යවතුන් වහන්සේ සතියක් ඇවෑමෙන් නිරෝධ සමාපත්තියෙන් නැගී සිටියා . එවිට තමන් කෙරෙහි පැහැදීමෙන් එහි රැඳී සිටින සිංහයකු වූ අප මහා බෝසතාණන් වහන්සේව දැක ගන්නට ලැබුණා. උන්වහන්සේට වැඩි වෙලාවක් නොයන්නට ඇති මේ බෝසත්වරයෙක් බව දැනගැනීමට. ඒ භාග්‍යවතුන් වහන්සේ සිංහයා දෙස බලා සිටිමින් ඔහු හට සංඝයා වහන්සේලා කෙරෙහිද ප්‍රසාදය ඇති කිරීම සඳහා සංඝයා වහන්සේලා ද මෙතැනට පැමිනෙත්වා යයි සිතෙන් සිතන්නට වුනා. එවිට ඒ ලක්ෂ ගණනක් වූ ඒ රහතන් වහන්සේලා ද එතැනට වැඩම කරනු ලැබුවා. සිංහයා ද ඒ සංඝරත්නය දෙස බලා ද සිත පහදවා ගනු ලැබුවා. ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ සිත බලා මේ සිංහ තෙමේ අනාගතේ ගෝතම බුදු නමින් බුදු වන්නේ ඇයි නියත විවරණ ලබා දුන්නා.

මතු බුදු බුදුවන බුදුවරයකු ද බුද්ධත්වය ආසන්නේ දීත් එලෙස තිරිසන් කුලයක ඉපදුණා. මේ බියකරු සංසාරේ අපේ ගැන කුමන කතාද.

Ape Budu Hamuduruwo 43

අපේ බුදුහාමුදුරුවෝ 43

මුළු දඹදිව තලය පුරා ද ඒ අවට මහා සාගරය ද පුරා ද මහා පියුම් වැස්සක් වස්සමින් ලොව පහල වූ
පදුම බුදුහාමුදුරුවෝ
01

අනෝමදස්සි භාග්‍යවතුන් වහන්සේට පසු කාලයේ අවුරුදු ලක්ෂයක් ආයු ඇති මිනිස්සු පිළිවෙලින් දස වස් ආයුෂ දක්වා කෙමෙන් අඩු වී නැවත අසංඛ්‍යයක් දක්වා ආයුෂ වැඩි වන්නට වුණා. ඉන් පසු නැවතත් කාලය ඇවෑමෙන් මිනිසුන්ගේ ආයුෂ අසංඛයේ සිට ලක්ෂය දක්වා පිරිහෙන්නට වුණා. ඒ කාලයේ පදුම නම් බුදු හාමුදුරුවෝ මෙලොව පහළ වුණා. අපි මුලින් කීවා බුදුවරු තුන් නමක් ලෝකයාට ධර්මය දේශනය කරන කල්පයට කියන්නේ වර කල්පය කියලා. මේ එවැනි වර කල්පයක දෙවැනි බුදු රජාණන් වහන්සේ. උන් වහන්සේත් පාරමී පුරා අවසානයේ තුසිත දිව්‍ය ලොව ඉපිද එතනින් චුත ව චම්පා නුවර අසම නම් රජකුල රූපාදියෙන් අසම අසමා නම් අගමෙහෙසියගේ කුස පිළිසිඳ ගත්තා. උන්වහන්සේ දසමස් ඇවෑමෙන් පස්සේ මවු කුසින් නික්ම චම්පක උයනෙහි දී මෙලොව එළිය දුටුවා. උන්වහන්සේ මෙලොව පහළ වූ මොහොතේත් විශේෂ සිදුවීමක් සිදුවුනා. එනම් මුළු දඹදිව තලය පුරා ද ඒ අවට මහා සාගරය ද පුරා ද මහා පියුම් වැස්සක් වසිනු ලැබුවා. ඒ නිසාම උන් වහන්සේට නම් තබන දිනයේ නම් තබන්නෝ ද නෑයෝ ද මහා පදුම කුමාර කියා නම් තැබුවා.

උන්වහන්සේ අවුරුදු දස දහසක් දස දහසක් ගිහිගෙයි වාසය කළා. උත්තර, වසුත්තර, යසුත්තර නමින් ඒ ඒ සෘතුවෙහි වාසය කිරීමට මහා ප්‍රසාද තුනක් උන්වහන්සේටත් තිබුණ. උත්තරා දේවිය ප්‍රමුඛ දෙතිස් දාහක ස්ත්‍රීන් දිවා රාත්‍රියෙහි උන් වහන්සේට ඇප උපස්ථාන කළා. කාලයක් ඇවෑමෙන් ඒ උත්තර දේවිය රම්ම නම් පුතෙකු මෙලොවට බිහි කළා . එදිනම ඒ බෝසතාණන් වහන්සේ සතර පෙර නිමිති දැක ගිහිගෙයි කළකිරි අජෙඤ්‍ඤ රථයෙන් මහබිනික්මන් කළා. පැවිදි වූ උන් වහන්සේ සමඟ කෙලක් පුරුෂයන්ද පැවිදි භූමියට ඇතුළත් වුනා. ඒ බෝසතාණන් වහන්සේ ඔවුන් පිරිවරා අටමසක් දුෂ්කර ක්‍රියා කොට ධඤ්‍ඤවතී නුවර සුඛඤ්‍ඤ සිටුහු ගේ ධඤ්‍ඤවතී නම් දියණිය පිදු මී කිරිබත් වළඳා මී අඹ උයනෙහි දිවවිහාර කොට සවස තීර්ථක ආජීවක දුන් අටතණමිට ගෙන කොටිල බෝධිය වෙත පැමිණ අටතිස් වියන් පළල ඇති තන ඇතිරිලි අතුරා පැලක් බැඳ චතුරංග වීර්යාධිෂ්ඨාන කොට මරබල නසා තුන් යම්හි ත්‍රිවිද්‍යා පසක් කොට අනේක ජාති ආදීන් උදන් අනා බෝධි සමීපයෙහිම සත් සති ගෙවා බඹ ඇරයුම පිළිගෙන ධර්ම දේශනයට බඳුන් වන පුද්ගලයන් විමසන සේක් තමන් සමඟ පැවිදි වූ කෝටියක් පමණ භික්ෂුන් දැක එකෙණෙහි ම අහසින් ධඤ්‍ඤවතී නුවර අසල ධනඤ්‍ඤයි උයන්හි බැස ඔවුන් පිරිවරා ඔවුන් මැද දහම්සක පැවැත්වූවා. එකල සියක් කෝටියකට ධර්මාවබෝධය වුණා.

පසු කලෙක පදුම භාග්‍යවතුන් වහන්සේ සිය බාල සොහොයුරු සාල කුමරුද උපසාල කුමරුද සපිරිවර ඥාතිසමාගමයෙහි පැවිදි කරවා ඔවුන්ට ධර්ම දේශනා කරද්දී අනූ කෙල කට දහම් අමා වැසි පොවනු ලැබුවා. යම් දිනෙකරම්ම තෙරුන්ට දහම් දෙසූ සේක් ද එකල අසූ කෝටියක් හට තෙවැනි වර ධර්මාවබෝධ වුණා.