Ape Budu Hamuduruwo 60

අපේ බුදුහාමුදුරුවෝ 60

 

සුජාත බුදුහාමුදුරුවෝ 02

 ඒ සුජාත භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව 

බුද්ධවංසපාළියේ මෙලෙස සංශිප්ත කොට සදහන් වෙනවා.

මහර්ෂීවූ (සුජාත) බුදුරදුන්ගේ උපන් නුවර ’’සුමඞ්ගල’’ නම් වී. (පියතෙම) ’’උග්ගහ’’ නම් රජය. මව් තොමෝ ’’ප්‍රභාවතී’’ නම් වූවාය.

ඒ (සුජාත) බුදුරජතෙම (බුදුවන්ට පෙර) අවුරුදු නව දහසක් ගිහිගෙයි විසිීය. ’’සිරී’’ය, ’’උපසිරී’’ ය, ’’නන්දා’’ ය යන උතුම් ප්‍රාසාද තුනක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ විසිතුන් දහසකි. බිරින්ද ’’සිරිනන්දා’’ නම් වූවාය. පුත් තෙම ’’උපසේන’’ නම් වී.

(සුජාත) ජිනවර තෙම සතර පෙර නිමිති දැක අස් යානයෙන් මහබිනික්මන් කෙළේය. නොඅඩු නව මසක් මුලුල්ලේ බුදුබව පිණිස උත්සාහ කෙළේය.

මහාවීරවූ (සුජාත) නම් ලෝනාහිමිඳු බඹහු විසින් අයදනා ලද්දේ, ’’සුමඞ්ගල’’ නම් උතුම් උයනෙහිදී දම්සක් පැවැත්වී.

මහර්ෂීවූ සුමෙධ බුදුරදුන්ට ’’සුදස්සන’’ ද, ’’සුදෙව්’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම ’’නාරද’’ නම් වී.

’’නාගා’’ ද, ’’නාගසමාලා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක මහ හුණගස’’ යයි කියනු ලැබේ.

ඒ හුණගස හටගත් ශොභා ඇත්තේද, මද සිදුරු ඇත්තේද, බොහෝ පත්‍ර ඇත්තේද වෙයි. කෙලින් වැඩුනු හුණගස, අවට පැතුරුණේද, දැකුම්කලු වූයේද, සිත් ඇලවූයේද වෙයි.

එක කඳක්ව වැඩී, එතැනින් අතු (පසකට) බෙදී ගියේය. හොඳින් බඳනා ලද මොනර පිල් කළඹක් යම්සේද, එසේ ඒ හුණ ගස බබලයි.

ඒ හුණගසේ කටු නොවූහ. සිදුරද ලොකු නොවී. පැතුරුණු අතු ඇති, ඝන අතු ඇති, ඝන සෙවන ඇති (ඒ ගස) සිත් අලවයි.

’’සුදත්ත’’ ද, ’’චිත්ත’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’සුභද්දා’’ ද, ’’පදුමා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

සියලු ආකාරයෙන්ම උතුම්බවට පැමිණි, ඒ (සුජාත) ජිනවරතෙම උසින් පණස් රියනක් ඇත්තේ වී.

ඒ බුදුරදුන්ගේ අසම සමවූ ශරීර කාන්තිය හාත්පස නිතර දුවයි. පමණ නොකළ හැකිය. සමාන නොකළ හැකිය. උපමාවන්ගෙන් උපමා කිරීම ඉක්ම පැවැත්තේය.

ඒ කාලයෙහි අනූ දහසක් අවුරුදු ආයුෂ පවතී. ඒ (සුජාත) බුදුරජතෙම ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා සසර සයුරෙන් එතර කළ සේක.

මුහුදෙහි රළ යම්සේ (අලංකාර වෙත්)ද, අහසෙහි තරු යම්සේ (බබලත්)ද, එසේ ඒ කාලයෙහි බුදුසස්න රහතුන්ගෙන් විසිතුරු කරණ ලදී.

ඒ සුජාත බුදුරජතෙම අසම සමය. ඒ බුදු ගුණයෝ පමණ කළ නොහැක්කාහ. සියල්ල අතුරුදන්වී, සියලු සංස්කාරයෝ හිස්වූවාහු නොවෙත්ද,

සිව්සස් අවබෝධ කළ (ඒ) සුජාත ජිනවර තෙම ’’සීල’’ නම් ආරාමයේදී පිරිනිවි සේක. එහිම ඒ බුදුරජුන්ගේ සෑය (දාගැබ) තුන් ගව්වක් උස් වී.

 

Ape Budu Hamuduruwo 59

අපේ බුදුහාමුදුරුවෝ 59

 

සුජාත බුදුහාමුදුරුවෝ 01

සුමේධ බුදුරජාණන්වහන්සේ පිරිනිවන්පෑවායින් පසුව නැවතත් බුද්ධ ශූන්‍ය කාලයක් ඇති වුනා. ආයුෂ අවුරුදු දහය දක්වා පිරිහී ගොස් නැවතත් අසංඛ්‍ය දක්වා දක්වා වැඩි වුනා. අප්‍රමාණ ආයු ඇති සත්වයන් අනුක්‍රමයෙන් පිරිහී පිරිහී ගොස් අනූ දහසක් අවුරුදු ආයුශ මේ දක්වා පැමිණි කල කළ මනා රූපකායෙන් හෙබි පිරිසිදු වූ සුජාත නම් ශාස්තෘන් වහන්සේ ලොව පහළ වුනා. උන්වහන්සේත් මේ සසරෙහි පෙරුම් පුරමින් පැමිණ තුසිත පුරේ ඉපද ඉන් චුතවී සුමංගල නුවර උග්ගත නම් රජුගේ ප්‍රභාවතී නම් මෙහෙසිය කුස පිළිසිද දසමස් ඇවෑමෙන් මව්කුසින් මෙලොවට බිහි වුනා. උන් වහන්සේ මෙලොව ඉපදීමෙන් පසුව මුළු දඹදිව පුරවරයට ම මහත් සැප සම්පත් භවභෝග ලැබුණේ හෙයින් නම් තබන දිනයේ ඔහුට සුජාත කියා නම් තබනු ලැබුවා . උන්වහන්සේටත් අනෙකුත් බෝධිසත්ත්වයන් වහන්සේලාට වගේම සිරි උපසිරි නන්ද යනුවෙන් ප්‍රාසාද තුනක් හිමි වුනා. සිරිනන්දා දේවිය ප්‍රමුඛ විසි තුන් දහසක් ස්ත්‍රීහු දිවා රාත්‍රියේ උවටැන් කරනු ලැබුවා. උන්වහන්සේ අවුරුදු නවදහසක් ඒ අනේක වූ සැප සම්පත් විඳිමින් ගිහිගෙයි වාසය කළා.

උන්වහන්සේ ඒ වන විටත් සතර පෙර නිමිති දැක සසර කළකිරීමට පත්වෙලයි සිටියේ. ඒ අතරතුර තමයි සිරි නන්දා දේවි උපසේන නම් පුතු මෙලොවට බිහි කළේ. එදිනම උන්වහන්සේ ගිහි ගෙයින් නික්ම සදා විමුක්තිය සොයා යන්නට තීරණය කළා. උන්වහන්සේ ගිහිගෙයින් නික්මුනේ ඉතා අලංකාර වූ අශ්ව රථයකින් හා කෝටියක් පමණ තම පිරිවර සමගින්. උන්වහන්සේ සමඟ ඒ කෝටියක් පිරිවර ද පැවිදි දිවියට ඇතුළත් වුනා. ඉන් අනතුරුව උන් වහන්සේ ඔවුන් පිරිවරා මාස තුනක්ම ප්‍රධාන වීර්යය වැඩුවා. අවසානයේ කල්ප ගණනක් පිරූ පාරමිතා මල්ඵල ගැන්වෙන දිනයද උදා වුනා. ඒ උන්වහන්සේට විතරක් නෙමේ. මුළු ලෝක සත්ත්වයාටම. එදත් වෙසක් පුන් පොහෝ දිනයක්. ඒ මහා ප්‍රාතිහාර්යය සිදු වුනේ සිරි නන්දන නුවර . සිරි නන්දන නුවර සිරිනන්දන සිටු දියණියත් මේ දිනය සඳහා කල්ප ලක්ෂයක් පෙරුම් පුරමින් පැමිණ තිබුණේ . ඇයි විසින් සාදනු ලැබූ පරම මධුර මී කිරිබත් වළඳා සල් වනයෙහි දිවා විහාර කොට සවස සුනන්දා ජීවක දුන් අට තන මිට ගෙන උණ බෝධිය කරා පැමිණ එහි තිස්රියන් පළලැති තන අතුරා හිරු තිබියදීම මරු සහිත මර බල බිඳ සම්මා සම්බෝධිය අවබෝධ කොට සියලු බුදුන්ට ආවේණික ප්‍රීති උදාන වාක්‍යය වදාරමින් උදම් ඇනුවා. පෙර පරිදිම දෙතිස් පෙළහර ලොව විද්‍යාමාන වුනා. සිත් පිත් නැති මහා පොළවද කම්පා වුනා.

ඉන් අනතුරුව බෝමැඩ සමීපයෙහි ම සත් සතිය ගෙවා මහා බ්‍රහ්මයා විසින් කළ ආරාධනය පිළිගෙන තම බාල සොහොයුරු සුදසුන් කුමරු සහ පුරෝහිත කුමරු ද සිව්සස් අවබෝධ කිරීමට සමත් බව දැන අහසින් වැඩම කරවා සුමංගල නුවර අසළ වූ සුමංගල උයන්හි බැස උයන් පාලක ලවා සිය සොහොයුරු සමඟ පුරෝහිත පුතුද කැඳවා සපිරිවර ඔවුන් මැද වැඩහිඳ දම්සක් දේශනා කරනු ලැබුවා

එහිදී අසූ කෝටියක ධර්මාවබෝධය වුනා වුනා මේ ප්‍රථම ධර්මාභිසමය යි. යම්දාක භාග්‍යවතුන් වහන්සේ සුදසුන් උයන් දොර මහාසාල මූලයෙහි යමක ප්‍රාතිහාර්ය කොට තව්තිසා දෙව්ලොව වස් විසූ සේක් ද එකල තිස්හත්දහසකට ධර්මවබෝධය වුනා. මේ දෙවැනි ධර්මාභිසමයයි. යම් කලක සුජාත දසබලයන් වහන්සේ පියාණන් වෙත වැඩි සේක් ද එකල සැටලක්ෂයකට ධර්මාවබෝධය වුනා මේ තෙවැනි ධර්මාභිසමය යි .

එම මණ්ඩ කල්පයෙහි සිංහයෙකුගේ හනුවකට බඳු හනු ඇති, දෙටු ගවයකුගේ කඳට බඳු සමට වටවූ කඳ ඇති, අපමණ තෙද ඇති, කිසිම සතුරෙකුට ළංවිය නොහැකි, සඳ මෙන් නිමල වූ , හිරු මෙන් ප්‍රභාශ්වර වූ බුදු සිරින් හැම කල දිලිසෙන උන්වහන්සේ මුළු මහත් දඹදිවූ තලය පුරාම ප්‍රචලිත වන්නට වුනා.

අපේ බෝධිසත්වයන් වහන්සේ එකල මහා සක්විති රජ කෙනෙක්. සුජාත බුදුන්ගේ ලොව පහළවීම අහසින් ලොව සිසාරා යමින් සිටි උන්වහන්සේගේ කනවැටිමටත් වැඩිකල කරමින් නැහැ. ඒ ඇසූ සැණින්ම උන්වහන්සේ සුජාත බුදුරජාණන් වහන්සේ වෙතට පැමිනියේ සසර පුරුද්දටමයි. ඇවිත් බණ අහන්නට වුනා.ඉන් අනතුරුව ඒ කෝටි ගණනක් වූ භික්ෂු සංඝයා හට සත් රත්න සමග දන් දෙන්නට වුනා. ලොව ඉහළම තනතුරු වූ සක්විති රජකම හැර දා උන්වහන්සේත් සුජාත බුදුරජාණන් වහන්සේ අබියස මහණ දිවියට ඇතුළත් වුනා.

ඒ රාජධානිය රජෙකුගෙන් තොර වූවත් සියලු මහජනතාව රජයට හිමි අය බදු රැස් කරමින් බුදුන් ප්‍රමුඛ සංඝයා සිටිනතාක් කල් දන් දෙමින් පුද සත්කාර කරනු ලැබුවා .

මේ සියල්ල අවසානයේ සුජාත බුදුරජාණන් වහන්සේ පුණ්‍යානුමෝදනා කරන්නට වුනා. එවිට අප මහා බෝධිසත්වයන් වහන්සේ මතු ගෞතම නමින් බුදුසසුණ බබළවන සම්මා සම්බුදුවරයෙකු වන බව දැන “ඔබ මතු බුදුවන බව” දේශණා කරමින් නියත විවරණ දී වදාරනු ලැබුවා.

 අප බෝසතාණන් වහන්සේ නියත විවරණ ලැබීමෙන් අනතුරුව පාරමී ධර්ම, දස පාරමී, දස උප පාරමී, දස පරමත්ථ පාරමී වශයෙන් ගිතෙල්, මීතෙල්, ආදී දෙතෙලක් එක් රස කොට අනන්නාක් මෙන් ද මහා මේරු පර්වතය මහා සමුදර කළඹන්නාක් මෙන් ද විමර්ෂණය කරන්නට වුනා. මෙසේ දහම් තෙදින් යොදුන් දෙලක්ෂ ගණනක් ගණ වූ මේ මහා පොළව ඇතෙකු විසින් මඩනා ලද බට දඬු මිටියක් මෙන් මහා ශබ්ද නගමින් කම්පා වුනා. කුඹුල් සකක් මෙන්ද, තෙල් යන්ත්‍රයක් මෙන්ද උක් දඬු යන්ත්‍රයක් මෙන්ද සෙලවුනා, රැවුදුන්නා, තෙල් යන්ත්‍රයෙහි සක මෙන් භ්‍රමණය වන්නට වුනා. දස දහසක් සක්වලම කම්පාවන්නට වුනා.

කෝටි සංඛ්‍යාත ගිහි පැවිදි පිරිසගේ සාදු කාර නදට දෙවියන් හා බ්‍රහ්මයන්ගේ සාදු නදද එකතු වුනා. ඒ නාදය සක්වලින් සක්වලට පතුරුණා. නැවතත් මදාරා මල් දසත විහිදුනා. වර්තමානයේ ඔබ අප වෙනුවෙන් මෙලෙස බුද්ධාන්කුරයක් තව දුරටත් දළුලමින් පැවතිය.

 

Ape Budu Hamuduruwo 58

අපේ බුදුහාමුදුරුවෝ 58

 

සුමේධ බුදුහාමුදුරුවෝ 03

ශ්‍රාවක සන්නිපාත

සුමේධ භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවක සන්නිපාත තුනක් වුනා. යම් කලෙක ජිනරාජයන් වහන්සේ ’’සුදස්සන’’ නම් උතුම් නුවරට වැඩි සේක්ද, ඒ කාලයෙහි ආශ්‍රවයන් ක්‍ෂය කළ (රහත්වූ) භික්‍ෂූහු සියක් කෝටියක් රැස්වූනා. ඒ පළමු සන්නිපාතය වුනා.

ඒ කාලයෙහි නැවත “දේව කූට” නම් භික්‍ෂූන්ට කඨින සිවුර ඇතිරීමේදී අනූ කෝටියක් රහත් භික්‍ෂූන්ගේ දෙවැනි සන්නිපාතය වුනා.

ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ චාරිකා කරන සමයේ තෙවන සමාගම අසූ කෝටියක් වුනා.

නියත විවරණ

ඒ කාලේ අපගේ බෝසතාණන් වහන්සේ සියලු දෙනාටම උතුම් උත්තර නම් මානවකයෙක්ව සිටියා. ඔහුගේ නිවසෙහි නිදන් කිරීම සඳහා අසූ කෝටියක් ධනය රැස්කොට තිබුණා. අප මහා බෝසතාණෝ ඒ සියලු ධනස්කන්ධය වියදම් කොට බුදුපාමොක් බික්සඟන ට මහ දන් පිරිකර පුදා උන්වහන්සේගේ බණ අසා සරණෙහි පිහිටා ගිහිගෙයින් නික්ම පැවිදි වුනා. ඒ දානය අවසානයේ දී ශාස්තෘන් වහන්සේ පුණ්‍යානුමෝදනා කරමින් ඔබ මින් මතු කල්ප තිස්දහසක් ගිය කල ගෞතම නමින් බුදු වන්නේ යැ යි නියත විවරණ දී වදාරනු ලැබුවා. දෙවියන් බඹුන් ගේ සාධුකාර නාදය ද ද දෙතිස් පෙළහර ද එකවර ඇති වුනා. ඒ විවරණය පිළිබඳව බොහෝ කරුණු අන්තර්ගත වී නැතත් කල්ප කාලාන්තරයක් තිස්සේ පැමිණ තවත් අධිෂ්ඨානයක් තවත් සම්මා සම්බුදුවරයෙකු හමුවේ මෙලෙස මල්ඵල ගැන් වුනා. අප මහා බෝසතාණෝ නොපමාව වෙහෙසෙමින් සතර බ්‍රහ්ම විහාර භාවනා වඩා පඤ්චාභිඥාවන්ගේ පරතෙරට ගොස් මෙලොවින් සමුගෙන තවත් කල්ප ගණනකට බඹලොව ඉපදුණා.

 ඒ සුමේධ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස සංශිප්ත කොට සදහන් වෙනවා.

මහර්ෂීවූ ඒ සුමේධ බුදුරදුන්ගේ (උපන්) නුවර ’’සුදස්සන’’ නම්. පියතෙම ’’සුදත්ත’’ නම් රජය. වැදූ මව ’’සුදත්තා’’ නම් වූවාය.

අවුරුදු නව දහසක් ඒ (සුමේධ) බුදුරජතෙම (බුදුවන්ට පෙර) ගිහිගෙයි විසිී. ’’සුචන්‍ද’’ය, ’’කඤ්චන’’ ය, ’’සිරිවඩ්ඪ’’ ය යන උතුම් ප්‍රාසාද රත්න තුනක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ සතළිස් අට දහසෙකි. ඒ (ප්‍රසිද්‍ධවූ) බිරින්ද ’’සුමනා’’ නම් වූවාය. පුත් තෙම ’’සුමිත්ත’’ නම් වී.

(සුමෙධ) ජිනරාජ තෙම සතර පෙර නිමිති දැක ඇත් යානයෙන් මහබිනික්මන් කෙළේය. නොඅඩු අට මසක් ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.

මහාවීරවූ සුමෙධ නම් ලෝනාහිමි තෙම බඹහු විසින් අයදනා ලද්දේ, ’’සුදස්සන’’ නම් උයනෙහිදී දම්සක් පැවැත්වී.

මහර්ෂීවූ සුමෙධ බුදුරදුන්ට ’’සරණ’’ ද, ’’සබ්බකාමී’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම ’’සාගර’’ නම් වී.

’’රාමා’’ ද, ’’සුරාමා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක මිදෙල්ල (හෝ නොහොත් කොළොම්) ගස යයි කියනු ලැබේ.

’’උරුවෙල’’ ද, ’’යසව්’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’යසොධරා’’ ද, ’’සිරිමා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

(සුමෙධ) මහමුනිඳු තෙම අසූ අට රියනක් උස්වී. තරු අතරෙහි සඳ මෙන් සියලු දිගුන් හෙබවී.

සක්විති රජුගේ මැණික යම්සේ යොදුනක් තැන් බබලවාද, එසේම ඒ (සුමෙධ) බුදුරදුන්ගේ ශරීර රත්නයේ කාන්තිය හාත්පස යොදුනක් තැන් පැතිරෙයි.

ඒ කාලයෙහි අවුරුදු අනූ දහසක් ආයුෂ පවතී. උන්වහන්සේ ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා (බව සයුරෙන්) එතර කළ සේක.

ත්‍රිවිද්‍යාවෙන් හා ෂට් අභිඥාවන්ගෙන් බලයට පැමිණි, තාදී ගුණයෙන් යුත් යහපත් රහතුන්ගෙන් මේ ශාසනය ගැවසී ගත්තේ වී.

ඒ සියල්ලෝද අපමණ පිරිවර ඇත්තෝය. කෙලෙසුන්ගෙන් මිදුනෝය. උපධි රහිතයෝය. මහා යසස් ඇති උන්වහන්සේලා ඤාණාලෝකය දක්වා පිරිනිවියහ.

සිව්සස් අවබෝධ කළ සුමෙධ ජිනවර තෙම ’’මෙධ’’ නම් ආරාමයේදී පිරිනිවි සේක. ඒ ඒ පෙදෙස්වල ධාතු පැතිරීම වී.

 

Ape Budu Hamuduruwo 57

අපේ බුදුහාමුදුරුවෝ 57

 

සුමේධ බුදුහාමුදුරුවෝ 02

කුම්භකර්ණ යක්ෂ දමනය

සුමේධ බුදුරජාණන් වහන්සේ අසූ අට රියනක් උස දේහධාරී දෙව්ලොව තැනූ රන් තොරණක් මෙන් බබළන විශේෂිත වූ මනුෂ්‍ය රත්නයක් බව මින් ඉහත ලිපියේ දී පැවසුවා. එවන් ප්‍රභාෂ්වර පුද්ගලයෙක් හමුවේ ඕනෑම පුද්ගලයෙකු දමනයවිම රහසක් නොවේ. එහෙත් ඒ මනුෂ්‍යත්වයට උත්තරීතර බුද්ධත්වයත් එකතු වූ කල ඇති වන අසීමිත බලය ශක්තිය හමු වේ මුළු විශ්වයම හිස නමනවා. එහෙත් එවන් උත්තරීතර මනුෂ්‍යත්වයකටත් හිස නොනමනා බිහිසුණු යක්ෂ සේනාධිපතියන් ඒ කාලෙත් හිටියා. මේ කියන්න යන්නේ එවැනි බිහිසුණු යක්ෂයෙක් ගැන. හරියට ම ඔබ අසා ඇති සුරංගනා කතාවක් වගේ. බුදු කෙනෙකුගේ දේශනාවක් නොවේ නම් ඇත්තෙන්ම මෙය සුරංගනා කතාවක් ලෙසයි අපට හැඟෙන්නේ.

මේ අති භයංකාර යක්ෂයා ගේ නම කුම්බකරණ. ඔහු මහානුභාව සම්පන්නයි. ඔහු ජීවත්වුණේ මිනිසුන් ආහාරයට ගනිමින්. ඒ ඒ ජනපදවල රාජ්‍යය පාලනය කරනු ලැබූ රජවරුන් කළේ ඔහුට ආහාරය සඳහා අවශ්‍ය මිනිසුන් සහ අනිකුත් ද්‍රව්‍ය විටින් විට සැපයීමයි. එදින ද පෙර මෙන් ම මහා යාගයක් පවත්වන දවසක්. රාජ කුමාරයෙකු ඇතුළු ගැල් පිරූ බත්ද අනෙකුත් භෝජනද ඒ වන විට සැකසෙමින් තිබුණා. සුමේධ බුදුරජාණන් වහන්සේ එදින පාන්දර යාමයේ මහා කරුණා සමාපත්තියට සමවැදී ඉන් නැගී ලොව බලන විට අද දිනයේදී මේ සිදුවන්නට යන මහා යාගය දුටුවා. උන් වහන්සේ ඒ මොහොතේම මහත් වූ කරුණාවෙන් ඒ යක්ෂ භවනට වැඩම කොට යක්ෂයා ගේ සිරි යහනේ සමාධිමත් හිතෙන් වැඩසිටින්නට වුනා.

දණ්ඩෙන් ගැසූ ඝෝර විෂ සහිත සර්පයකු මෙන් කිපුණු ඒ යක්ෂයා ද දසබලයන් වහන්සේ ට හිංසා කරනු කැමැතිව තම ආත්මභාවය ඝෝරතර කොට හිස පර්වතයක් මෙන් කොට ඇස් හිරු මඬල මෙන් කොට නඟුලිස් බදු දික්මහත් තියුණු දළ මවා එල්බෙන කළු මහත් උසම උදරයක් ඇතිව තල්කඳක් මෙන් සා බාහු ඇති විරූප වූ වක් නාසා ඇති පර්වත කුහරයක් බඳු මහා රතු කටක් ඇති මහත් පිඟුවන් රළු පරුෂ කෙහෙ ඇති අතිබිහිසුණු දැකුම් ඇතිව සුමේධ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට දුවවිත් දිළියෙමින් පාෂාණ පර්වත අග්නි ජාලා මඩ අලු ආයුධ අඟුරු වැලි බඳු නව ආකාර මහා වැසි වස්වන්නට වුනා. එහෙත් ඒ සියල්ලගෙන්ම භාග්‍යවතුන් වහන්සේගේ රෝමාග්‍රයක් හෝ සෙලවිය නොහැකිව මහ හඬින් ගිගුම් දෙන්නට වුනා. අවසානයේ යක්ෂයාට තේරුම් ගියා එවැනි දෙයින් භාග්‍යවතුන් වහන්සේට කෙසේවත් හානියක් කල නොහැකි බව.

ඔහුගේ ඊළඟ පියවර වුණේ ආලවක යක්ෂයා වගේ ප්‍රශ්න ඇසීමෙන් පසු මරණයට පත් කිරීමයි. ඔහු ඇසූ සියලු ප්‍රශ්න වලට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දුන්නා. ඒ පිළිතුරු වලින්ම ඒ මහා භයානක යක්ෂයාව කෙමෙන් කෙමෙන් හික්මවන්නට වුනා. අවසානයේ තවදුරටත් කළ දෙයක් නොහැකිව ඒ මහා යක්ෂ සේනාධිපතියා භාග්‍යවතුන් වහන්සේට වැඳ නමස්කාර කරමින් උන්වහන්සේ ඉදිරියේ දමනය වුනා. පසු දින උදෑසන මහජනතාව ගැල් පිරූ බත්ද, රාජ කුමාරයා ද සමග සමග ගෙනවිත් යක්ෂයා හට පුද කලා. එවිට ඒ යක්ෂයා රාජ කුමාරයා ව බුදුරජාණන් වහන්සේට පූජ කරනු ලැබුවා. මේ වන විටත් මේ යුද්ධය බලන්න භික්ෂූන් වහන්සේලා ඇතුළු අනූ කෙලක් ප්‍රානීන්ගෙන් ඒ මුළු වනයම පිරි පැවතුනා. ඒ භාග්‍යවතුන් වහන්සේ යක්ෂ සමාගමේ සිටිමින්ම යක්ෂයාගේ මනසට වැටහෙන පරිදි ධර්මය දේශනා කරනු ලැබුවා. ඒ බුද්ධානුභාවයෙන් යක්ෂයාට පමණක් නෙවෙයි අනූකෙළක් වූ මහජනතාවටද ඒ ධර්මය එකවර ශ්‍රවණය කරන්නට හැකි වුනා. එයින් ඒ රැස්ව සිටි සියලු ජනී ජනයා හට දහම් ඇස පහළ වුනා. එය උන්වහන්සේගේ දෙවැනි ධර්මාභිසමය ද වුනා.

 

Ape Budu Hamuduruwo 56

අපේ බුදුහාමුදුරුවෝ 56

 

සුමේධ බුදුහාමුදුරුවෝ 01

පදුමුත්තර බුද්ධ වංශ කතාව අවසාන කරනකොට ඒ අටුවාචාරීන් වහන්සේලා මෙහෙම කතාවක් කියනවා.

“මෙතැන් පටන් පාරමී පිරිමාදියෙහි නැවත නැවත ආ අරුත් හකුළුවා විශේෂ අර්ථ පමණක් දක්වමින් යමි. ඉදින් කී දේ ම පුන පුනා කියන්නම් ද එවිට කවදානම් මේ අර්ථ වර්ණනය නිම වන්නේ ද ?”

ඉන් අදහස් වෙන්නේ මින් පෙර කරනු ලැබූ අර්ථ වර්ණනා නැවත නැවතත් නොකරන බවයි. ඊට හේතුව බුදුවරුන්ගේ අර්ථ වරුණ නම් කියා නිම කළ නොහැකි බවමයි.

පියුමතුරා බුදුන් පිරිනිවී උන්වහන්සේගේ සසුනද අතුරුදහන් වූ පසු සැත්තෑකප් ලක්ෂයක් බුදුවරු ලොව පහල උනේ නැහැ . මෙතැන් පටන් තිස්කප් ලක්ෂයකින් මතු එක් කපෙක සුමේධ සුජාත නම් බුදුවරු දෙනමක් ලොව පහළ වුනා. එහි ප්‍රඥාධික සුමේධ නම් බෝසතාණෝ පෙරුම් පුරා තුසී පුර ඉපිද එයින් චුතව සුදස්සන නුවර සුදත්ත නම් රජුගේ අගමෙහෙසිය සුදත්තා නම් දේවියගේ කුස පිළිසිඳ දස මස් ගෙවීමෙන් සුදුසුන් නුවර වලා විවර ගත තරුණ හිරු මෙන් මවුකුසින් මෙලොවට බිහි වුනා. උන්වහන්සේ අවුරුදු නව දහසක් ගිහිගෙයි ගත කළා . උන්වහන්සේට සුචන්‍දක, කොඤච හා සිරිවඩ්ඪ නම් රමණීය ප්‍රසාද තුනක් වුනා. සුමනා දේවිය ප්‍රමුඛ හතලිස් අට දහසක් ස්ත්‍රින් උන් වහන්සේට නිරන්තරයෙන්ම ඇප උපස්ථාන කරනු ලැබුවා .

උන්වහන්සේගේ මහා තේජසින් පිරි රූප රූපශ්‍රීය පිළිබඳ ව ගාථා කිහිපයකින් විශේෂ වර්ණනාවක් කර තිබෙනවා. අට්ඨකථා ආචාර්යවරු ඒ ගාථා මෙලෙස අරුත් ගන්වනවා.

උන්වහන්සේ මහත් තේජස් සම්පන්න යි . උන්වහන්සේගේ දෙනෙත් සෝදා ඔප දමා තිබූ මිණි ගුලියක් වැනි නුවන් යුගලක් කියලයි කියන්නේ . ඒ නේත්‍රා මුදු සිනිදු නිල් පැහැති සියුම් පිහාටුවෙන් වට වී අතිශයින් දීප්තිමත්ව බැබළුණා. පිරිපුන් සරා සඳ වන් මුහුණක් ඇති අසූ අටරියන් පමණ උස වූ පිරිපුන් සිරුර අන් අයට නැති දේහධාරී ස්වභාවයකින් යුක්ත වූ බව කියනවා . බ්‍රහ්මර්ජුගාත්‍ර ඇති සෘජුව උස් වූ ශරීරයක් ඇති දෙව්නුවරක තැනූ රන්තොරණක් වැනි ප්‍රභාෂ්වර වූ දේහය නිරන්තරයෙන්ම බැබළුණ බවත් ඒ ගාථා වලින් කියනවා. ඒ වර්ණනාව එතැනින් නිමයි.

සුමනා දේවියට පුනබ්බසුමිත්ත නම් කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක ඇත් යානයකින් අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වුනා. උන්වහන්සේ අනුව යමින් සිය කෝටියක් මිනිස්සු පැවිදි වූනා. උන්වහන්සේ ඔවුන් පිරිවරා අටමසක් ප්‍රධන් වඩා වෙසක් පොහෝදින නකුල නිගමෙහි නකුල සිටු දියණිය දුන් පරම මධුර මීකිරිබත් වළඳා සල්උයන්හි දිවා විහරණය කොට සවස් කාලයෙහි සිරිවඩ්ඪ නම් ආජීවකයන් දුන් කුස තණ මිටි අට ගෙන මිදෙල්ල (කොළොම්) බෝමුල තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී විසි රියන් පුළුලැති තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල නසා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල් ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි භව්‍ය පුද්ගලයන් බලන සේක් තම බාල සොහොයුරු සරණ කුමරු ද සච්චකාල කුමරු ද ඇතුළු තමන් සමග පැවිදි වූ කෙළ සියයක් වූ පිරිස ද සිවුසස් අවබෝධයට සමත් බව දැක අහසින් වැඩ සුදස්සන නුවර අසල සුදසුන් උයනෙහි බැස දම්සක් දේශනා කරනු ලැබුවා . එහිදී කෙළ ලක්‍ෂයක සත්ත්වයන්ට ධර්මාවබෝධය වුනා. එය සුමේධ බුදු රජාණන් වහන්සේගේ ප්‍රථම ධර්‍මාභිසමය ලෙස ඉතිහාසයට එක් වුනා.

 

Ape Budu Hamuduruwo 55

අපේ බුදුහාමුදුරුවෝ 55


පදුමුත්තර (පියුමතරා) බුදුරජාණන් වහන්සේ 06

ඒ පදුමුත්තර (පියුමතරා) භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස සංෂිප්ත කොට සදහන් වෙනවා.

මහර්ෂීවූ පදුමුත්තර බුදුරදුන්ගේ උපන් නුවර “හංසවතී’’ නම්වී. පිය තෙම “ආනන්‍ද’’ නම් රජය. වැදූ මව “සුජාතා’’ නම් වූවාය.

ඒ බුදුරජතෙම අවුරුදු දසදහසක් ගිහිගෙයි විසී. “නාරිවාහනය, යශය, යසවතී’’ යයි උතුම් ප්‍රාසාද තුනක් වූහ.

මනාකොට සරසන ලද පිරිවර අඟනෝ සතළිස්තුන් දහසකි. බිරින්ද “වසුදත්තා’’ නම් වූවාය. පුත් තෙම “උත්තර’’ නම් වී.

පුරුෂොත්තම තෙම සතර පෙර නිමිති දැක පහයෙන් මහබිනික්මන් කෙළේය. සත් දවසක් මුලුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.

මහාවීරවූ පදුමුත්තර විනයැදුරු බුදුරද තෙම බඹහු විසින් අයදනා ලද්දේ, “මිථිලා’’ නම් උයනෙහිදී දම්සක් පැවැත්වූ සේක.

පදුමුත්තර නම් ශාස්තෲන් වහන්සේට “දෙවල’’ ද, ’’සුජාත’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම “සුමන’’ නම් විය.

“අමිතා’’ ද, “අසමා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ පදුමුත්තර භාග්‍යවත්හුගේ බෝරුක “සලල රුක’’ යයි කියනු ලැබේ.

“විතින්නා’’ ද, “තිස්ස’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. “හත්‍ථා’’ ද, “විචිත්තා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

රන් ඇගෑවක් පහන් ගසක් බඳු, දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් යුත් පදුමුත්තර මහමුනිඳු පණස් අට රියනක් උස්වූසේක.

ඒ බුදුරදුන්ට හාත්පස වටා දොළොස් යොදුනක් තැන කුඩා බිත්තිද, කවුලුද, මහබිත්තිද, ගස්ද, කඳු හා උස් පර්‍වතද ඇහිරීමක් නැත.

ඒ කාලයෙහි අවුරුදු ලක්‍ෂයක් ආයුෂ පවතී. ඒ තාක් කල් ඒ බුදුරජතෙම වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා සසරින් එතර කළ සේක.

බොහෝ ජනයා සසරින් එතෙරකොට සියලු සැක සිඳ, ගිනිකඳක් මෙන් දිලිහී, ශ්‍රාවකයන් සහිතවූ උන්වහන්සේ පිරිනිවි සේක.

සිව්සස් අවබෝධකළ පදුමුත්තර ජිනරාජයන් වහන්සේ නන්දාරාමයෙහි පිරිනිවි සේක. එහිම උන්වහන්සේගේ උතුම් සෑය දොලොස් යොදුනක් උස්ව බඳින ලදී.