Ape Budu Hamuduruwo 396

අපේ බුදුහාමුදුරුවෝ 396 (සන්තිකේ නිදානය)

 

 කැමැත්තෝ තෙමන අකමැත්තෝ නොතෙමන පොකුරු වැස්ස

මෙලෙස බුදුන් වහන්සේ මහා ප්‍රාතිහාර්‍යන් සිදුකොට ඤාතීන් වන්දවා මෙතෙක් උන්වහන්සේ සමග දීර්ඝ වූ සසරේ බොහෝ දුක්ගැහැට විදිමින් බුද්ධත්වය සඳහා අනේකවිදි උදවුපකාර කරමින් පැමිණි ඤාතීන්ගේ මාන්නය බිඳ සංසාරික කුසලය මතුකොට නිවන් මග පිහිටුවා අහසින් බැස, පැන වූ අසුනෙහි වැඩ සිටිය. ඒ මොහොතේ අතිවිශාල ඤාති සමාගමයකින් මුළු උයනම වැසී පැවතියා. ඒ විතරක් නෙවෙයි ප්‍රාදේශීය රජවරු කුමාරවරු ඇමතියෝ සිටුවරු වගේම ප්‍රභුන්ගෙන් ඒ පරිසරයම පිරිලා. ඒ වගේම දුගී ජනයා. මෙලෙස විශාල පිරිසක් යම් භූමියකට රැස්වෙද්දී අහසට නැගෙන දුහුවිල්ල ගැන ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. ඒ මගින් සියල්ලෝම වෙහෙසට පත්වී ඉන්නට ඇත්තේ. පරිසරය එසේ පැවතියත් බුදුන් කෙරෙහි ඇතිවූ මහත් ශ්‍රද්ධාවෙන් ඒ සියල්ලෝ ම එකඟ සිතින් සිටිය. අපගේ මහා කරුනිකයාණන් වහන්සේ ඒ අවස්ථාවේදී තවත් මහා ප්‍රාතිහාර්යක් කිරීමට සැරසුණා.. ඒ තමයි පොකුරු වැස්සක් වැස්සවීම. මේ සම්බන්ධවත් මෙම ලිපි පෙලෙහිම මීට පෙරත් වෙස්සන්තර ජාතකය අවසන් කරන අවස්ථාවේ ලියා තිබෙනවා. (අපේ බුදුහාමුදුරුවෝ 106)

 එවේලෙහි මහවලාවක් අහසට පැමිණියේ බුදුරජුන්ගේ අධිෂ්ඨානයෙන් පසු වැඩිවෙලාවක් යන්නට පෙරයි. මහා වැස්සක ලකුණු. මුලු අහසම ඒ වැහි වළාකුලෙන් වැහිලා. එහෙත් හැමෝම සන්සුන්. පොකුරු වැස්සේ විශේෂ ලක්ෂණයක් තිබ්බා. ඒ කැමති අයට එයින් තෙමෙන්නටත් අකමැති අයට නොතෙමි ඉන්නටත් අවස්ථාව ලැබුණා. අකමැති අයගේ සිරුරට වැටි වැසි ජලය නෙලුම් පතට වැටි දියබිඳු ලෙස එහි නොරැඳී නොතමා ගිලිහී ගියා. ස්වල්ප මොහොතකින් එම ප්‍රදේශය පුරා වසා පැතුරුණු මහා පොකුරු වර්ෂාවක් පතිතවන්නට වැඩිවෙලාවක් ගතවුනේ නැහැ. තඹවන් ජලය පහතට නද දෙමින් ගලා බසින්නට වුණා. ඒ විතරක් නෙවෙයි තඹවන්දිය පහතින් හඬනගමින් ගමන්කරන්නට පටන්ගත්තා. . එහෙත් කිසිකෙනෙකුගේ සිරුරේ පහළ කොටසේ බිඳුවක් පමණවත් ඒ ජල බිංදු රැඳුනේ නැහැ කියලයි පවසන්නේ. හරිම අශ්චාර්යමත්.

මේ මහත් අසිරිමත් පෙර නො වූ සිද්ධිදාමය දැක බලා සිටි සියල්ලන්ටම පහන් සිත් ඇතිවුණා.. මේ තත්ත්වය පසුබිම් කොට බුදු පියාණන් වහන්සේ “මගේ ඤාති සමාගමයෙහි පොකුරු වැසි වැටුණේ දැන් පමණක් නො වෙයි. පෙරත් පොකුරු එවැසි වැටිණැ යි මහා වෙස්සන්තර ජාතකය දේශනා කරන්නට වුනා. ඇත්තෙන්ම උන්වහන්සේ ක්‍රම ක්‍රමයෙන් ඔවුන්ව මෙම දේශනාව දක්වා රැගෙන පැමිණියා කියයි මට හිතෙන්නේ. ධර්‍ම දේශනාව අසා සියල්ලෝ නැගිට වැඳ පැදකුණු කොට යන්නට ගියා. හරිම පුදුමයි,. එකද රජෙක් හෝ රජමහ ඇමතියෙක් හෝ ‘හෙට අපගේ භික්‍ෂාව සඳහා ප මාලිගය වෙත වැඩමකර මැනවැ’යි කියා අරධානා කොට ගිය අයෙක්නම් සිටියේ නැහැ. අඩුම වශයෙන් ශුද්ධෝදන රජතුමාටත් මතක් වුනේ නැහැ පසුවදා දානය සඳහා මාළිගයට ආරාධනය කරන්නට. හැමෝම ඉතාමත් සතුටෙන් විසිර ගියා.

උපකාර වූ මුලාශ්‍ර –

විනය අටුවාව රාහුලවත්ථුකථා මහවග අටුවාව මහාඛන්‍ධක වර්‍ණනාව

සන්තිකෙනිදානකථා කුදුගත් සඟිය බුද්ධවංශ අටුවාව- ගොතම බුද්ධවංස වර්ණනාව

සුද්ධෝදන රජුගේ කථා පුවත – කුදුගත් සඟිය අටුවාව – ධම්මපද අටුවාව – ලොක වර්ගය

 

Ape Budu Hamuduruwo 395

අපේ බුදුහාමුදුරුවෝ 395 (සන්තිකේ නිදානය)

 

පාවා නුවර ගෝධික, සුබාහු, වල්ලිය සහ උත්තිය යන මල්ල රජදරුවන්

භාග්‍යවතුන් වහන්සේ දැක්වූ පෙළහර දැක පැවිදිවීම.

එදා තවත් සුවිශේෂී සිදුවීමක් සිදුවුනා. එනම් මෙයින් කල්ප අනූ හතරකට පෙර සිට එකටම පැමිණි යාළුවො සතර දෙනෙක් එදින කපිලවස්තු පුරයෙහි ශාක්‍යයන් හමුවේ කල ප්‍රාතිහාර්ය දැක පැහැදී සසුන්ගත්විමයි. එයත් අප සැමට කල්‍යාන මිත්‍රත්වයක අගය කියාදෙන ආදර්ශමත් කතාවක්. ඒ නිසා ඔවුන්ගේ නිදාන කතාවද මෙලස දක්වනවා.

ගෝධික, සුබාහු, වල්ලිය හා උත්තිය යන මේ සතර රජදරුවන් පූර්‍ව බුදුවරු හමුවෙහි දී කළ ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයන්හි දී අපමණ පුණ්‍යසම්පත්තීන් රැස්කරගෙන, මෙයින් කල්ප අනූ හතරකට පෙර සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි සිටුගෙවල්වල උපත ලැබුවා. වියපත් ඒ සතර දෙනා ඔවුනොවුන් යහළු මිත්‍රව එය නොබිඳා නිරන්තරයෙන්ම එකට හැසිරුණ. ඔවුන් සියලූම දේ කලේ එක්ව. දැනටත් එවැනිම උතුම් යහළුවෝ කණ්ඩායම් වශයෙන් නොයෙකුත් පින්කම්වලදී අපිට මුණගැසෙනවා. පුරාණ සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ පිඬුසිගා වඩින එක් දිනයක ඔවුන් සතර දෙනාත් මොනයම් හෝ කාරණයකට එක්ව රැස්වෙලයි හිටියේ. රන්වන් වූ ශරීර ඇති උතුම් ආජානීයයකු වැනි ශ්‍රේෂ්ඨ වූ, ත්‍රිමද ගලිත මාතංග නම් ඇත් කුලයේ උපන් ශ්‍රේෂ්ඨ ඇත් රජෙකු බඳු වූ, මහර්ෂී වූ පුන්සඳ මෙන් සියලු දිශා බබුළුවන ලෝක ජ්‍යෙෂ්ඨ වූ වීථියට පිළිපන්නා වූ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ එදා පිඬුපිණිස වීථි සංචාරය කරමින් සිටිය.

ඉතින් ඔවුන්ගෙන් එක් අයෙක් එනම් මෙදා “ගෝධික” නැමැත්තා සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ පිඬුපිණිස හැසිරෙනු දැක උන්වහන්සේ හට සැන්දක් පමණ භික්‍ෂාව පිළිගැන්වුවා. එහි විපාක වශයෙන් එදා සිට මේ දක්වා කල්ප අනුහතරක කාලයක් දුගතියෙහි උපන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම ඒ භික්‍ෂාදානයේ විපාකයක් වශයෙන් මෙයින් කල්ප අසූ හතකට පෙර සත්රුවනින් හෙබි මහාරේණු නම් සක්විති රජවරු සත් දෙනෙක්ව උප්පත්තිය ලැබුවා කියනවා.

දෙවැන්නා එනම් මෙකල “සුබාහු” නැමැත්තා පහන් සිතින් උන්වහන්සේට පසඟ පිහිටුවා වැන්දා. වැඳ ඇඳිලිබැඳගෙනම සිටියා. වෙන ඔහුට කළහැකි කිසිවක් තිබුණේ නැහැ. ඔහු එම පිනෙන්ම මෙයින් කල්ප සැත්තෑ තුනකට පෙර සත් රුවනින් හෙබී, මහත් බල ඇති නරශ්‍රේෂ්ඨ සක්විති රජවරු දාසය දෙනෙක් ව උපන්නා කියා කියනවා.

තෙවැන්නා එනම් මෙකල “වල්ලිය” නැමැත්තා ඒ කාලයේ තිවරා නම් වූ නුවර විසූ මල් කරුවෙක්. ඔහු පහන් වූ සිතින් මහත් වූ ශ්‍රද්ධාවෙන් උපුල් මල් මිටකින් භාග්‍යවතුන් වහන්සේ පිදුව. ඒ කුසල විපාකයේ අනුහසින් ඔහු එතැන් සිට කිසිදා දුගතියක ඉපදුනේ නැහැ කියනවා.ඒ එක්කම කල්ප අනූ හතරකට පෙර සිට ම මේ දක්වාම , නජ්ජූපසම නමින්ම සත්සීයක් රජවරු ලෙස උප්පත්තිය ලබා තිබෙනවා. .

 සිවුවැන්නා මෙකල “උත්තිය” වශයෙන් හැඳින්වූ කුමරා එදා සමන් මලින් බුදුරදුන්ව පිදුව. ඒ එක්කම උන්වහන්සේගේ ශ්‍රී පාදයෙහි මල් සතක් සතුටින් විසුරුවන ලබනවා. ඒ පින්කමේ බලයෙන් ඔහු දෙව් මිනිසුන් අතර අතිශයින් බැබලුවා කියා කියනවා. ඒ එක්කම මෙයින් කල්ප පහකට කලින් සමන්තභද්‍ර නාමයෙන් සිවුමහ දිවයින්ට හා සිවුසාගර සහිත පෘථිවියට ම ප්‍රධාන වූ සක්විති රජවරු දහතුන් දෙනෙක්ව උපත ලැබූ බවද සඳහන්.

 මෙසේ ඒ සිවු දෙනම ශාස්තෲන් වහන්සේ කෙරෙහි සිත පහදවා රැස් කරගත් ඒ පුණ්‍යරාශියේ විපාක වශයෙන් දෙව් ලොව උපන්නා. පසුව ඒ ඒ භවයන්හි දී තව තවත් පින්දහම් රැස් කරගත් ඔවුන් දෙව් මිනිසුන් අතර සැරි සරමින් පැමිණ නැවතත් කාශ්‍යප බුදුරදුන්ගේ කාලයෙහි සිටු කුලයකම උප්පතිය ලැබුවා. පිනක සහ කල්‍යාණ මිත්‍රත්වයක මහිම. එසේ ඉපිද, එක්වම ගොස් පැවිදිව මහණදම් පුරන්නට වුණා. තව කොතරම් ආත්මභාවයන් වල එලෙස එන්නට ඇතිද?

ඉන්පස්සේ අපගේ බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි සිටුවරුන්ගේ පුතුන්ලෙස නෙවෙයි මල්ල රජවරු සිවුදෙනෙකුගේ පුතුන් ලෙස නැවතත් ඔවුන් උප්පත්තිය ලැබුවා. ඒ ඔවුන්ගේ අවසාන ආත්මභාවය නිසා සියලුම ඉතිරිව ඇති පින් එකවරම ඵලදෙන්නට හෝ සසරෙහි තවතවත් රඳවාගැනීමට උපක්‍රමයක් ලෙසත් කියලා මට හිතෙනවා. එහෙත් සසරෙහි බොහෝකල් පාරමිදම් පිරූ පිරිස් එවැනි මාර උපක්‍රම වලට අසුවන්නේ නැහැ.

කෙසේ වෙතත් ඔවුන් ගෝධික, සුබාහු, වල්ලිය හා උත්තිය නාමයෙන් ප්‍රසිද්ධියට පත්වුණා. සංසාරයේ පැමිණි පුරුද්දටම වගේ ඔවුනොවුන් දැඩිසේ මිත්‍රව වාසයකලේ. එක් දිනක් ඔවුන් සතර දෙනා කිසියම් කටයුත්තකට කපිලවස්තුවට පැමිණියා. . එදින තමයි අපගේ ශාස්තෲන් වහන්සේ කපිලවස්තුවට වැඩමවා නිග්‍රෝධාරාමයේ වැඩ වසමින්, යමක මහා ප්‍රාතිහාර්ය දක්වා සුදොවුන් ප්‍රමුඛ ශාක්‍ය රාජ කුල රජදරුවෝ දමනය කළ දිනය. එ දින ඒ මල්ල රජදරුවෝ සතර දෙනත් ඔවුන්ගේ පිනටම එම ස්ථානයට අහඹුලෙස පැමිණ සිටියා. එදා එම ප්‍රාතිහාර්ය දැකීමෙන් ලැබූ ශ්‍රද්ධාවෙන් සසුනේ පැවිදි ව විදසුන් කර්මස්ථාන වඩමින් නොබෝ කලකින් ම සිවුපිළිසිඹියාපත් මහරහත් භාවය ලබාගත්තා.

උපකාර වූ මුලාශ්‍ර –

ගෝධික ස්ථවිරගාථා වර්ණනාව කුදුගත් සඟිය අටුවාව ථේරගාථා අටුවාව – ඒකකනිපාතය – ෂෂ්ඨ වර්‍ගය

නිදාන කථා කුදුගත් සඟිය අටුවාව චරියාපිටක අටුවාව ග්‍රන්ථාරම්භ කථා – සූත්‍ර අටුවාව

 

Ape Budu Hamuduruwo 394

අපේ බුදුහාමුදුරුවෝ 394 (සන්තිකේ නිදානය)

 

සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් බුදුගුණ පැවසෙන

බුද්ධවංශ දේශනාව සඳහා භාග්‍යවතුන් වහන්සේට ආයාචනා කිරීම. 03

 බුදුගුණ අනන්ත බවත් බුදුවරයනට පවා සිතා නිමකළ නොහැකි බවත් යනුවෙන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කල ප්‍රථම අවස්ථාව. 02

බුදුරජාණන් වහන්සේගේ ගුණ නෙවෙයි. සාරිපුත්ත මහරහතන් වහන්සේහට උන්වහන්සේගේ ගුණ පවා සිතා නිමකළ නොහැකි බව බුදුරජාණන් වහන්සේට මේ අවස්ථාවේ පෙනී ගියා. . ඒ සියල්ල සලකා බලා උන්වහන්සේ මෙහෙම අති ගාම්බීර ප්‍රකාශයක් කරනවා. එනම්,

“සාරිපුත්ත, බුදුරජාණන් වහන්සේ ද කල්පයක් මුලුල්ලේ ඉදින් වෙනත් යමක් නොදෙසමින් බුදු කෙනෙකුගේ ගුණයන් පමණක්ම දේශනා කරන්නේද, එහෙත් දීර්‍ඝ කාලයකින් පසු කල්පය ගෙවී අවසන් වනවා. එහෙත් තථාගතයන් වහන්සේගේ ගුණ වර්‍ණනාව අවසන් නොවන්නේය” යනුවෙන්.

ඒ වගේම අකීර්ති චරියා වර්ණනාවේ මෙලෙස සඳහන් වන පාඨයත් මෙහිදී සිහිපත් කරගැනීම වටිනවා යැයි මට සිතෙනවා. එනම්;

“මෙසේ භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත තෙරුන් වහන්සේට හා දෙවි මිනිසුන් සහිත පිරිසට තමන් වහන්සේගේ පෙර චරිතය ඇසීමෙහි උත්සාහ උපදවා දැන් ඒ භවාන්තරයෙන් වැසුණු පෙර චරිතය අත්ලෙහි ඇති නෙල්ලි ගෙඩියක් මෙන් ප්‍රත්‍යක්‍ෂ කරමින් ‘යදාඅහං බ්‍රහාරඤ්ඤෙ’ යනාදිය වදාළහ” යනුවෙන්. ඒ කියනා ආකාරයට එනම් මෙයත් බුදුරජාණන් වහන්සේගේම දුරදක්නා නුවනින් භවාන්තරයෙන් වැසීගිය ඒ අතීත කතා වෘතාන්තය දෙවියන් සහ අප වෙනුවෙන්ම ඇසීමට සැලස්විමටම සාරිපුත්ත මහරහතන් වහන්සේව තව තවත් උත්සවන්ත කල බවයි.

මෙසේ බුදුවරුන්ගේ ගුණමහත්‍වය නිසා උපන් බලවත් ප්‍රීති සොම්නස් ඇතිවූ සාරිපුත්ත මහරහතන් වහන්සේ නැවතත් මෙලෙස සිතන්නට වුනා.

“මෙබඳු වූ බුදු ගුණයන්ට හේතු වූ බුද්ධකාරක ධර්‍මයයි කියන ලද පාරමිතාවෝ අහෝ: මහත් ආනුභාව සහිතය. කවර නම් ජාතිවලදී පාරමිතාවෝ මුහුකුරුවන ලද්දාහු ද? නැතහොත් කෙසේ මේරීමට ගියාහු ද? එබැවින් මම මේ කාරණය විමසමින් මෙසේද ආරම්භයේ සිට බුද්ධානුභාවය මේ දෙවියන් සහිත ලෝකයාට අතිශයින් ප්‍රකට කරන්නෙම් නම් මැනවැයි” යනුවෙන් සැරියුත් තෙරුන් වහන්සේ මෙසේ සිතා භාග්‍යවතුන් වහන්සේගෙන් යළිත් මෙලෙස විමසනු ලැබුවා. “ස්වාමීනි කවර නම් ජාතීන්හි මේ බුද්ධකාරක ධර්‍මයෝ මුහුකුරුවන ලද්දාහු ද? කෙසේ මේරීමට ගියාහුද?

 භාග්‍යවතුන් වහන්සේ එම රුවන් සක්මනෙහිම පලක් බැඳ වැඩ සිටිමින් ඒ යුගන්‍ධර පර්‍වතයෙහි ළහිරු මඬලක් මෙන් බබලමින් මෙලෙස උන්වහන්සේව ඇමතුවා;

 “සාරිපුත්තය, මගේ බුද්ධකාරක ධර්‍මයෝ සමාදන් වීමේ පටන් නිරතුරුව සකස් කොට කළ බැවින්ද වීර්‍ය්‍යය උපස්ථම්භ (උපකාර) වූ බැවින් ද සියලු කල්පවල භවයෙන් භවය ජාතියෙන් ජාතිය සම්පූර්‍ණත්‍වයට පත් වූහ. මේ භද්‍රකල්පයෙහි මේ (කියන) ජාතිවලදී ඒවා මේරීමට ගියහ”යි දක්වමින් “කප්පෙ ච සතසහස්සෙ” ආදී වශයෙන් “බුද්ධාපදාන” යයි දෙවන නමකද ඇති චරියා පිටක නම් වූ ධර්‍ම පර්‍ය්‍යාය සම්පුර්ණයෙන්ම දේශනා කරනු .ලැබුවා. ඇතැම් ආචාර්‍ය්‍ය කෙනෙක් මෙන්න මෙලෙසද කියූ බව පෙළෙහි සඳහන් වනවා. එනම්

“දේවාතිදේව වූ බුදුරජාණන් වහන්සේ රුවන් සක්මනෙහි සක්මන් කර අනතුරුව දේවබ්‍රහ්මාදීන්ගේ වන්දනාමාන ලබමින් නිග්‍රෝධාරාමයට බැස විසි දහසක් රහතන් වහන්සේලා විසින් පිරිවරමින් පණවන ලද උතුම් බුද්ධාසනයෙහි වැඩ සිටිමින් මුලින් කියන ලද ක්‍රමයෙන්ම ආයුෂ්මත් සැරියුත් තෙරුන් විසින් විමසන ලැබුවට පසුව චරියා පිටකය දේශනා කළ සේකැයි යනුවෙන්. එදා උන්වහන්සේ විසින් දේශණා කරන ලද ඒ අති ගාම්භීර වූත් ලෝක සත්වයා නිවන් මගට පැමිණිවීමට අවශ්‍ය මූලික පදනම වන ත්‍රිවිධ රත්නය කෙරෙහි ඇතිවන අචල ශ්‍රද්ධාව ද ආකාරවතී ශ්‍රද්ධාවද, තවත් බුද්ධ අංකුරයක් ඇතිවීමට පාදක වියහැකි වීර්ය ඇතුළු දස පාරමී පිරීමට අනුබලයක්වන් බුද්ධවංශ කතාවේ දූරේ නිදානය සහ අවිදුරේ නිදානය මෙලෙස ලෝකයා හමුවේ එළිදක්වනු ලැබුවා. මෙම ලිපි පෙළ ඔබ මුලසිට කියවා තිබෙනවානම් ඔබද දැන් එම දේශනාව “දූරේ නිදානය සහ අවිදුරේ නිදානය” වශයෙන් අකුරක් අකුරක් පාසා කියවා අවසන්.

උපකාර වූ මුලාශ්‍ර –

රතනචඞ‍්කමනකණ‍්ඩො ඛුද‍්දකනිකායොබුද‍්ධවංසපාළි

නිදාන කථා කුදුගත් සඟිය අටුවාව චරියාපිටක අටුවාව ග්‍රන්ථාරම්භ කථා – සූත්‍ර අටුවාව

 

Ape Budu Hamuduruwo 393

අපේ බුදුහාමුදුරුවෝ 393 (සන්තිකේ නිදානය)

 

සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් බුදුගුණ පැවසෙන

බුද්ධවංශ දේශනාව සඳහා භාග්‍යවතුන් වහන්සේට ආයාචනා කිරීම. 02

 බුදුගුණ අනන්ත බවත් බුදුවරයනට පවා සිතා නිමකළ නොහැකි බවත් යනුවෙන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කල ප්‍රථම අවස්ථාව.

මේ අවස්ථාවේ මහා නුවණැති, සමාධියෙහි හා ධ්‍යානයෙහි දක්‍ෂ වූ, ශ්‍රාවක පාරමී ඤාණයෙහි පරතෙරට පත්, සැරියුත් තෙරුන් වහන්සේ ලොවට නායක වූ බුදුරජාණන් වහන්සේගෙන් මෙලෙස විමසන්නට වුණා.

“මහාවීරයන් වහන්ස, නරශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබ වහන්සේගේ අභිනීහාරය (ප්‍රථම විවිරණය) කෙබඳු ද? ධීරයන් වහන්ස ඔබ වහන්සේ විසින් කවර කාලයක උතුම් බෝධිය ප්‍රාර්ථනා කරන ලද්දේ ද?

ඔබවහන්සේගේ දානය, ශීලය, නෛෂ්ක්‍රම්‍යය, ප්‍රඥාව, වීර්යය, කෙබඳු ද? ක්‍ෂාන්තිය, සත්‍යය, අධිෂ්ඨානය මෛත්‍රිය, උපේක්‍ෂාව කෙබඳුද?

ධීර වූ ලෝකනායකයන් වහන්ස, ඔබ වහන්සේ විසින් කෙබඳු දස පාරමිතා පුරන ලද ද? කෙසේ දස උපපාරමී පුරන ලද ද? දස පරමත්‍ථ පාරමී කෙසේ පුරන ලද ද?

එවිට ඔබ සිත් තුලට මෙවැනි ප්‍රශ්ණයක් පැමිණිය හැකියි. සොළොස් ප්‍රඥාවෙන් හෙබි, දර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ කුමන හේතුවක් නිසා මෙවැනි ප්‍රශ්නයක් ඇසු වේද යන්න. එය තමන්ගේ , එසේත් නැතිනම් තමනට එය දැකිය නොහැකි නිසාද යනදී වශයෙන්.

එයට හේතුවශයෙන් පවසන අට්ටකතා ආචාරීන් වහන්සේලා පවසන්නේ සත්‍යවශයෙන්ම එය සැකය පදනම් කොටගෙන ඇසූ ප්‍රශ්ණයක් නොවන බවයි. එයට හේතුව දර්ශනයෙන් (එනම් සෝතාපන්න මාර්ග ඥානයෙන්) පහකළ යුතු දිට්ඨිගත සම්පයුත්ත චිත්තොත්පාද සතර, විචිකිච්ඡා සහගත චිත්තොත්පාදය සහ අපායගාමිනී ලෝභ, දෝස, මෝහ, මාන සහ ඒ හා බැඳුණ කෙලෙස් යන ඒ සියල්ලම උන්වහන්සේ ඒ වනවිටත් දුරුකොට තිබීමත්, එමෙන්ම එය සම්මා සම්බුදුවරුන්ට පමණක් විෂය වන පසේබුදුවරුන්ට හෝ ශ්‍රාවකයන්ට විෂය නොවෙන විෂය පථයක් වීමත් යන කරුණුයි. ඒ නිසාම මෙය ශ්‍රාවකයන් අතර මහා ප්‍රඥාවෙන් අගතැන්පත් උන්වහන්සේටත් විෂය නොවූ නිසාම අප වෙනුවෙන්ම විමසන ලද්දක් ද වනවා. එය එදා එලෙස උන්වහන්සේ ඇසුවේ නැතිනම් අද මෙම ලිපි පෙළත් මෙලෙස ඔබ හමුවේ ලිවීමට මාහට අවස්ථාව ලැබෙන්නේත් නැහැ.

එලෙස සැරියුත් නම් අපගේ ධර්ම සේනාධිපති වහන්සේ විසින් කරනු ලැබූ ආරාධනය පිළිගනිමින් කොවුලකුට බඳු මිහිරි හඬක් ඇති බුදුරජාණන් වහන්සේ රැස් වී සිටි දෙවු මිනිස් බඹුන්ගේ හදවත් නිවමින් දෙවියන් සහිත ලෝකයා සතුටු කරමින් දේශනා කළා යනුවෙන් බුද්ධවංස පාළි රතනචඞ්කමණ කාණ්ඩයේ සඳහන් වනවා.

මෙසේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආරාධනයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් බුද්ධවංසය දේශනාව දේශනා කල පසු ආයුෂ්මත් දම්සෙනෙවි සැරියුත් තෙරුන් වහන්සේ “බුදුවරුන්ගේ හේතු සම්පදාව පුදුමයකි. සමුදාගම (ආරම්භක) සම්පත්තිය පුදුමයකි. මහත් වූ ප්‍රාර්ථනාව (මහාභිනීහාරය) මුදුන්පත් කර ගැනීම පුදුමයකි. මෙපමණ කලක් මෙසේ පාරමිතා පුරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ විසින් ඒකාන්තයෙන් දුෂ්කර කාර්‍ය්‍යයක් කරන ලදී. යම් මේ සර්‍වඥතා බලයෙහි වශීභාවයක් වේද, මෙබඳු වූ මහත් සෘද්ධි ඇති බවක් වේද මෙබඳු වූ මහත් ආනුභාව ඇති බවක් වේද එම ඵලය වනාහි මෙබඳු වූ බෝධි සම්භාර ධර්‍මයන් රැස් කිරීමකට සුදුසු වූවකම වන්නේ යයි බුද්ධ ගුණය අරමුණු කරගත් ඥානය මෙලෙස මෙහෙයවන්නට වුණා.

උන්වහන්සේ අන්‍යයන්ට සාධාරණ නොවූ භාග්‍යවතුන් වහන්සේගේ ශීලය, සමාධිය, ප්‍රඥාවය, විමුක්තිය, විමුක්ති ඥාන දර්‍ශනය, හිරි ඔතප් දෙකය, ශ්‍රද්ධා වීර්‍ය්‍ය දෙකය, සමථ විදර්‍ශනා දෙකය, කුශල මුල් තුනය, සුචරිත තුනය, සම්‍යක් විර්‍තක තුනය, අනවද්‍ය සංඥා තුනය, ධාතු තුනය, සතිපට්ඨාන හතරය, සම්‍යක් ප්‍රධාන හතරය, සෘද්ධිපාද හතරය, ආර්‍ය්‍යමාර්‍ග හතරය, ආර්‍ය්‍යවංශ හතරය, සිවුපිළිසිඹියාය, යෝනි පරිච්ජේදක ඥාන හතරය, ආර්‍ය්‍යවංශ හතරය, වෛශාරද්‍ය ඥාන හතරය, ප්‍රධානියඞ්ග පහය, සම්‍යක් සමාධි අඞ්ග පහය, ඉන්‍ද්‍රිය පහය, බල පහය, නිස්සරණීය ධාතු පහය, විමුක්තායතන ඥාන පහය, විමුක්ති පරිපාචනීය ධර්‍ම පහය, සාරාණිය ධර්‍ම හයය, සතත විහාර හයය, අනුත්තරිය ධර්‍ම හයය, නිර්වේද භාගිය ප්‍රඥා හයය, අභිඥා හයය, අසාධාරණ ඥාන හයය, අපරිහානිය ධර්‍ම හතය, ආර්‍ය්‍ය ධන හතය, බොජ්ඣඞ්ග හතය, සත්පුරුෂ ධර්‍ම හතය, නිර්ජර වස්තු හතය, සංඥා හතය, දක්‍ෂිණාර්‍හ පුද්ගල දේශනා හතය, ක්‍ෂීණාශ්‍රව බල දේශනා හතය, ප්‍රඥාප්‍රතිලාභ හේතු දේශනා අටය, සම්මත්ත අටය, ලෝකධර්‍මාතික්‍රම අටය, ආරම්භ වස්තු අටය, අක්‍ෂණ දේශනා අටය, මහා පුරුෂ විර්‍තක අටය, අභිභායතන දේශනා අටය, විමෝක්‍ෂ අටය, යෝනිසෝමනසිකාර මූලික ධර්‍ම නමයය, පාරිසුද්ධිපධානියඞ්ග නමයය, සත්වාවාස දේශනා නමයය, ආඝාත පටිවිනය නමයය, සංඥා නමයය, නානත්‍වදේශනා නමයය, අනුපූර්‍වවිහාර නමයය නාථ කරණ ධර්‍ම දසයය, කසිනායතන දසයය, කුශලකර්‍මපථ දසයය, සම්මත්ත දසයය, ආර්‍ය්‍යාවාස දසයය, අශෛක්‍ෂ ධර්‍ම දසයය, රත්න දසයය, තථාගත බල දසයය, මෛත්‍රී ආනිසංස එකොළහය, ධර්‍ම චක්‍රාකාර දොළසය, ධුතඞ්ගුණ දහතුනය, බුද්ධඥාන දාහතරය, විමුක්ති පරිපාචනීය ධර්‍ම පහළොවය, ආනාපාන සති දාසය, අපරන්තපනීය ධර්‍ම දාසයය, බුද්ධධර්‍ම දහඅටය, ප්‍රත්‍යවේක්‍ෂා ඥාන දහනමයය ඥානවර වස්තු හතළිස් හතරය, උදයව්‍ය ඥාන පණහය, පණහකට අධික කුශල ධර්‍මය, ඥාන වස්තු හැත්තෑහතය, සුවිසි කෙළ ලක්‍ෂයක් සමාපත්ති සඤ්චාරිත මහා වජ්‍රඥානය, අනන්තනය සමන්තපට්ඨාන පවිචය පච්චවෙක්‍ඛණ දේශනා ඥානය, එසේම අප්‍රමාණ ලෝක ධාතුන්හි අප්‍රමාණ සත්ත්‍වයන්ගේ ආසයානුසයාදිය දැන ගන්නා ඥානය යන මේ ආදී වූ සිතින් සිතිය නොහැකි ආනුභාව සහිත බුද්ධ ගුණයන් ධර්‍ම පරම්පරා වශයෙන් අනුව යමින් සිහිකරමින් සිහිකරමින් යනවිට එහි කෙළවරක් හෝ ප්‍රමාණයක් නොදැක්කා. හරියටම ඉමක් කොනක් නොපෙණෙන මහා සාගරයක අතරමං වූනා වගේ.

සාරිපුත්ත තෙරුන් වහන්සේ එලෙස සිහි කරන්නා වූ තමන්ගේ ගුණයන්ගේ කෙළවරක් හෝ ප්‍රමාණයක් තමන්වහ්න්සේද නොදකින බව උන්වහන්සේටත් පෙනී ගියා. එසේනම් උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණයන්ගේ ප්‍රමාණය කෙසේ නම් දකින්නටද? යම් යම් කෙනෙකුගේ ප්‍රඥාව මහත් වේද නුවණ තියුණු වේද ඒ ඒ තැනැත්තා බුද්ධ ගුණයත් ඊට සාපේක්ෂව මහත් වශයෙන් දකියි, අදහයි. එහෙත් මෙසේ “ශ්‍රාවක පාරමී ඥානයෙහි සිටි මා වැන්නෙකුට පවා බුදු ගුණයන් නුවණින් පිරිසිඳින්නට නොහැකියි. සෙස්සන් පිළිබඳව කියනුම කිම. සර්‍වඥ ගුණයෝ ආශ්චර්‍ය්‍යයයි. සිතින් සිතිය නොහැකියි. අප්‍රමාණ ප්‍රභේද සහිතයි. මහත් ආනුභාව සහිතයි. මේ බුද්ධ ගුණයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ට පවා විස්තර වශයෙන් දේශනා කිරීමට නොහැක්කක් යනුවෙන් අවසානයේ නිගමනයට පත්වුණා.

උපකාර වූ මුලාශ්‍ර –

රතනචඞ‍්කමනකණ‍්ඩො ඛුද‍්දකනිකායොබුද‍්ධවංසපාළි

 

Ape Budu Hamuduruwo 392

අපේ බුදුහාමුදුරුවෝ 392 (සන්තිකේ නිදානය)

 

සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් බුදුගුණ පැවසෙන

බුද්ධවංශ දේශනාව සඳහා භාග්‍යවතුන් වහන්සේට ආයාචනා කිරීම. 01

අපේ ශාස්තෘවරයාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගන්නා අවස්ථාවේත්, අභිනිෂ්ක්‍රමණයෙහිදීත්, බුද්ධත්වයේදීත්, දම්සක් පැවතුම් දේශනාව කරන අවස්ථාවේත්, යමා මහ පෙළහර, දේවාරොහන, ආයුසංස්කාර හරණ, යන අවස්ථාවන්හිත් පිරිනිවන් පානා කල්හිත් දසදහසක් ලෝකධාතුව කම්පාවූවා කියා පෙළෙහි සඳහන්. (අච්ඡරාසඞ්ඝාත වර්ගය අඞ්ගුත්තර නිකාය) ඉතින් එදිනත් ඉහත කියූ පරිදී එම ලෝක දර්මතාවය අනුව ලෝකධාතුන් කම්පා වෙන්නට ඇති.

“දසසහස්සී ලෝකධාතු ඡප්පකාරං එකම්පථ” යනුවෙන් දසදහසක් සක්වළ මහපොළව ෂඩාකාරයකින් කම්පාවීම යන අර්ථය ” බුද්ධවංශ අටුවාවේ රතනචංකමන කාණ්ඩයේ ” දී මෙලෙස විස්තර කෙරෙනවා. “සැලිණ. කෙසේද? නැගෙනහිරින් එසවෙයි. බටහිරින් පහත් වෙයි. බටහිරින් උස්වෙයි. නැගෙනහිරින් පහත් වෙයි. උතුරෙන් උස්වෙයි. දකුණින් පහත්වෙයි. දකුණින් උස්වෙයි. උතුරෙන් පහත්වෙයි. මැදින් උස්වෙයි. කෙළවරින් පහත් වෙයි. කෙළවරින් උස්වෙයි. මැදින් පහත් වෙයි. මෙසේ සයාකාරයකින් අනිල බලයෙන් සැලුණ ජලරල බිඳීමෙන් ගැටුණ නැවක් මෙන් යොදුන් ලක්‍ෂයක් බොල් පොළොව දරා සිටි ජල කෙළවර කොට සිටි සිත් නැත්තා වූ මේ මහපොළොව සිත් ඇත්තාක් මෙන් ප්‍රීතියෙන් නටන්නාක් මෙන් කම්පා විය” යන්න එහි අර්ථයයි,

මෙලෙස දසදහසක් ලෝකධාතු වසා සිටි ඒ රුවන් සක්මනෙහි සක්මන් කරමින්ම ශාස්තෘන් වහන්සේ මනොසීලාතලයක සිංහනාද කරන සිංහයකු මෙන්, ගර්ජනා කරමින් වසන මේඝයක් මෙන්, අහස්ගඟ ගලා බසින්නාක් මෙන්, අටඟින් යුත් ස්වකීය කමණීය බඹගොසින් තන්නය විසිතුරු සිවුසත් මුසු තිලකුණු ගෙන දෙන මිහිරි බණක් දේශනා කරනු ලැබුවා. මෙහි ශාස්තෘන් වහන්සේ විසින් මවන ලද සක්මනෙහි එක් කෙළවරක් නැගෙනහිර සක්වළ මුවවිටෙහිත්, එකක් බටහිර සක්වළ මුවවිටෙත්, යාවුණා. මෙසේ පිහිටි රුවන් සක්මනෙහි සක්මන් කරන බුදුපියාණන් වහන්සේ වරෙක එහි දෙකෙළවර පැමිණ හැරුණා. හරියටම සතර රියන් සක්මනක සක්මන් කරමින් මග කෙළවරට පැමිණ හැරෙන අතර මග නොනවතින යන අර්ථයෙන්. මෙහිදී අපට ප්‍රශ්ණයක් එනවා භාග්‍යවතුන් වහන්සේ දසදහසක් දික් වූ මෙම සක්මන කෙටි කරනු ලැබුවාද යන අර්ථයෙන්. එසේත් නැත්නම් නරඹන්නන් හට මෙම විශාල දර්ශණ පථය දැකීම සඳහා මහත් ආත්මභාවයක් මැවූවා ද අර්ථයෙන්.. නැහැ බුදුවරු එසේ මායාවල් කරන්නේ නැහැ. ඒ නිසාම කියනවා බුදුවරුන්ගේ බුද්ධානුභාවය අචින්තනීයයි කියලා. උන්වහන්සේලා හට අකනිටා භවනය පටන් අවීචිය තෙක් එකම මිදුලක් වුනා. සරසින්ද දසදහසක් සක්වළ එකාංගණ වුණා. එමනිසාම සියලු දෙව් මිනිසුනට සක්මන් කරන බුදුපියාණන් වහන්සේ ව දර්ශනය වුනා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ සක්මන් කරමින් භාග්‍යවතුන් වහන්සේ සක්මන් කරමින් ඉතාමත් සුමිහිරි දහමක් දේශනා කරනු ලැබුවා. ඒ සියල්ලම සියලු දෙනාට ශ්‍රවණය වුණා පමණක් නෙවෙයි සමහර අයගේ දිවි ගමනද වෙනස් වුණා. ඒ පිළිබඳව ඔබට පසුවට කියවන්නට ලැබේවි. ඒ විතරක් නෙවෙයි, උන්වහන්සේ ඒ අතර සමවතටත් සමවැදුනා.

මේ අවස්ථාවේ ගෞතම බුද්ධ රාජ්‍යයේ මහා දම්සෙනෙවි සැරියුත් තෙරණුවෝ නිල්මේකුළු සමූහයෙන් සිපගන්නා ලද නන් සුවඳ කුසුම්තුරු සුවඳින් සුවඳවත් වූ පරම සුන්දර ගිජුකුළු පව්වෙහි තවත් තමන්ගේ පිරිවර වූ පන්සීයයක් සංඝ පිරිවර සමග වැඩ සිටිය. අපරිමිත කාලයක් රැස් කරන ලද කුසල බලයෙන් හටගත් දෙතිසක් උතුම් ලක්ෂණයන්ගෙන් ශෝභමාන වූ අසූවක් අනු ලකුණින් විරාජිත වූ, උතුම් දේහය සරාකල්හි පුන්සඳ මෙන්, මුළුමනින් සපිරි සියයක් යොදුන් උසැති පරසතු රුක මෙන්, අටළොස් රියන් උස ව්‍යාමප්‍රභා පරික්‍ෂෙපයෙන් සශ්‍රීක ජංගම රන්ගිරක් මෙන්, අනූපම බුද්ධ ලීලායෙන් සක්මන් කරන ලද දසසහස්‍රී දෙව්ගණ පිරිවැරූ භාග්‍යවතුන් වහන්සේ දැක “මේ දසසහස්‍රී සකල ලෝකයා රැස් වූහ. මෙහි මහාධර්ම දේශනාවක් විය යුතුය. බුද්ධවංස දේශනාව වනාහි බහූපකාරය. භාග්‍යවතුන් වහන්සේ විෂයෙහි ප්‍රසාදය එළවන සුලුය. මම දසබලයන් වහන්සේගේ අභිනීහාරයෙහි පටන් බුද්ධ වංසය විමසන්නෙම් නම් මැනවැයි” සිතා සිවුර එකාංග කොට භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ ජලජ නිමල අවිකල කමල කැකුළක් බඳු ඇඳිලි හිස තබා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරමින් මෙසේ සම්මා සම්බුදුවරයෙකුගේ නිමක් නැති මහා ගුණ සාගරය වර්ණනා කරන්නට වුණා.

උපකාර වූ මුලාශ්‍ර –

රතනචංකමන කාණ්ඩ වර්ණනාව කුදුගත් සඟිය අටුවාවබුද්ධවංශ අටුවාව

අච්ඡරාසඞ්ඝාත වර්ගය අඞ්ගුත්තර නිකාය අටුවාව ඒකක නිපාත අටුවාව එකධම්ම පාළිය

 

Ape Budu Hamuduruwo 391

අපේ බුදුහාමුදුරුවෝ 391 (සන්තිකේ නිදානය)

 

ශාක්‍ය වංශිකයින් දමනය කිරීම 06

රුවන් සක්මන සහ නිර්මිත බුදුරුවක් මැවීම. 02

 මෙලෙස මිණිමුතුවැල්ලෙන් ගැවැසුණු මවනලද රුවන්මය සක්මන උදාහිරු මෙන් සියලු දිශා බබළවන්නට වුණා. ධීර වූ දෙතිස්මහපුරිස්ලකුණින් යුත් පස්මරුන් දිනූ සම්බුදුරජාණන් වහන්සේ ඒ සක්මන්හි බබළමින් සක්මන් කළා.

ඉන් අනතුරුව අපගේ බුදුපියාණන් වහන්සේ “නිර්මිත බුදුරුවක් මවන්නෙමි’යි අභිඥාපාදක ධ්‍යානයට සමවැදී ඉන් නැගී සිට, ‘පාසිවුරු ගැනීම, ඉදිරි බැලීම්, පසුපස බැලීම්, අත්පා හැකිලීම, දිගහැරීම සමානවම සිදුකරන බුදුවරයෙක් වේවායි කාමාවචර සිත්වලින් පරිකර්මකොට, පෙරදිග යුගන්ධර පරික්‍ෂේපයෙන් මතුවන සඳමඬල පලාගෙන නික්මෙන්නා මෙන් ඒවායි, රූපාවචර සිතින් අධිෂ්ඨාන කරනු ලැබුවා. මේ දර්ශනයෙන් මිනිසුන් පමණක් නෙවෙයි දිව්‍ය ප්‍රජාවද අමානන්දයට පත්වුණා .

දේව සමූහයා එය දැක අන්න තවත් සඳක් උදාවූයේදැයි කියන්නට වුණා. ඉන්පසු ඒ නිර්මිත බුදුරුවගෙන් පැමණි ආලෝකය මඳක් ළංවූ විට ‘සඳක් නොවේ ඒ සූර්යයෙක් උදාවූයේය’යිද, තවත් ආසන්න වූ විට, දෙව් පුත්‍රයෙක් යනුවෙන්ද, පසුව ‘දෙව් පුත්‍රයෙක් නොවේ. එක් මහා බ්‍රහ්මයෙක් යැ’යි ද තවත් ආසන්න වූ විට ‘මහා බ්‍රහ්මයකු නොවේ. වෙනත් බුදුවරයෙක් පැමිණේ’ යැයි ද, විවිධ අදහස් පළකරන්නට වුණේ විපිළිසරව.

එහි සිටි පුහුදුන් දෙවිවරු මෙසේ සිතූවා. ‘එක් බුදුවරයෙකු සඳහා මෙපමණ දේව සන්නිපාතයක් වුණා. බුදුවරු දෙදෙනෙක් වූ විට කෙතරම් මහත් දේව සන්නිපාතයක් වේද?’ ආර්ය දෙවිවරු මෙසේ සිතූවා. ‘එක ලෝකධාතුවක බුදුවරු දෙනමක් නම් නැත. ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ තමන්වහන්සේ හා සමාන බුදුරුවක් මවන්නට ඇති’ යනුවෙන්.

නිර්මිත බුදුරුවේ සිරුරින් නික්මුණු ෂඩ්වර්ණ රැස් දහරා නිර්මාපක භාග්‍යවතුන් වහන්සේගේ සිරුර මත පතිත වුනා.. නිර්මාපක භාග්‍යවතුන් වහන්සේගෙන් නික්මෙන රැස්දහරා නිර්මිත බුදුරුවේ සිරුර පුරා විසිරෙන්නට වුණා. ඒ දෙ බුදුවරුන්ගේ ශරීරයන්ගෙන් නික්මුණු රාශි ජාලා උඩට නැගී භවාග්‍රයේ ගැටී, ඉන් නැවත හැරී අවුත් දෙවියන්ගේ මස්තක පර්යන්තයෙන් බැස සක්වල මුවවිටෙහි පිහිටිය. මුලු මහත් සක්වල ගැබම රන්මය වක් වූ ගොනැසි සහිත චේතිය ඝරයක් මෙන් බැබලුණ. දස දහසක් සක්වල දෙවියෝ එක් සක්වලකට රැස්වී බුදුවරුන් දෙදෙනා වහන්සේගේ රශ්මි ජාලා ගර්භයට පිවිස සිටිය.

එහි රැස් වූ සියලු දෙවියෝ දෙව්ලොවැ හටගත් මදාරාමල් ද පියුම් ද පරසතුමල් ද සක්මනෙහි විසුරුවන්නට වුණා. දසදහසක් සක්වළ දේවසමූහයෝ සතුටු සිත් ඇතිව උන් වහන්සේලා හට වන්දනාමාන කරමින් සතුටු වෙමින්, තුටුපහටු වෙමින්, වඳිමින් රැස් වෙමින් සිටියා. තව්තිසාවෙහි දෙවියෝ ද යාමයෙහි දෙවියෝ ද තවත් තුසිතයෙහි දෙවියෝ ද නිර්‍මාණරතියෙහි දෙවියෝ ද පරනිර්මිතවසවරතී දෙවියෝ ද ඔදවැඩිසිත් ඇතිව සතුටු වෙමින් ලෝකනායකයන් දෙස බලා සිටියා. දෙවි ගඳඹ මිනිස් යක් යන මොවුන් සහිත නා ගුරුළු යන මොහු ද තවත් රකුසෝ ද සත්ලොවට හිතානුකම්පා ඇති උන් වහන්සේ අහස්හි උදා වූ සඳ සෙයින් දකිනු ලැබුවා, ඒ එක්කම ආභස්සර බඹුහු ද, සුභකිණ්ණ බඹහු ද, වෙහප්ඵල බඹහු ද,අකනිටා බඹහු ද, ඉතා පිරිසිදු සුදුවත් හැද පෙරෙවියාහු මුදුනෙහි ඇඳිලි බැඳ සිටියා.

ඒ අවස්ථාවෙහි තවත් ආශ්චර්‍ය්‍යයක් වුණා, ජිනරාජයන් වහන්සේ සත්ලොවට හිතානුකම්පා ඇතිසේකැ’යි ඒ පෙළහර දක්වන විට සඳුන්සුණු මුසු පස් පෑ දිස්නා මදාරාමල් ද විසිරෙන්නට වුණා. අහස්හි දිවසළු ද බබලන්නට වුණා.

ඔබ වහන්සේ ලොසත්නට ශාස්තෲ වූහ,. කෙහෙලි වැන්නහ. ධ්වජයක් වැන්නහ. යාගස්තම්භයක් වැන්නහ. පිළිසරණයහ. ප්‍රතිෂ්ඨා වූවහ. ප්‍රදීපයක් වැන්නහ. දෙපා ඇතියනට උතුම් වූවහ’යි. දසදහස්ලෝධාභි මහත් ඍද්ධි ඇති දෙවියෝ තුටුපහටු වෙමින්, ප්‍රමුදිත වෙමින්, පිරිවරා සිට නමස්කාර කරනු ලැබුවා.

දෙවියෝ ද දෙවඟනෝ ද ප්‍රසන්න වූ සතුටුසිත් ඇතිව පස්වනන් මලින් නරශ්‍රේෂ්ඨ වූ බුදුන් පුදන්නට වුණා. දිව්‍යසමූහයෝ ප්‍රසන්න සිතින් සතුටුසිත් ඇතිව ඒ නරශ්‍රේෂ්ඨ වූ බුදුන් වන්දනා කරමින් පස්වනක් මලින් පූජා කරනු ලැබුවා. මෙලෙස ගථා සැත්තෑ තුනකින් වර්ණනා කරමින් බොහෝ විස්තර බුද්ධවංශ පාළියෙහි රත්නචඞ්ක්‍රමණ කාණ්ඩයෙහි සඳහන්ව තිබෙනවා.

බෝසතුන් මෙලොව ජන්ම වූ දිනයේ අග්ගෝ හමස්මි ලෝකස්ස , ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස, සෙට්ඨෝ හමස්මි ලෝකස්ස

අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්බවෝ යනුවෙන් මම ලොවට අග වෙමි මම මුළු ලොවට දෙටු වෙමි මම ලොවට උතුම් වෙමි

මෙය අවසන් උපත වෙයි. මෙයින් මතු උපතක් නැත. යනුවෙන් කියූ ප්‍රීති වාක්‍යයේ සත්‍යතාව මෙහදී තම නෑයන්ගේ නෙත් ඉදිරියේ තහවුරු කරනු ලැබුවා.

උපකාර වූ මුලාශ්‍ර –

රතනචංකමන කාණ්ඩ වර්ණනාව කුදුගත් සඟිය අටුවාව බුද්ධවංශ අටුවාව

රතනචඞ‍්කමනකණ‍්ඩො ඛුද‍්දකනිකායො බුද‍්ධවංසපාළි

පුරාභෙදසූත්‍ර නිර්දේශ වර්ණනාව කුදුගත් සඟිය අටුවාව මහානිද්දෙස අටුවාව

යමකප්‍රාතිහාර්‍ය්‍යඥානය කුදුගත් සඟියපටිසම්භිදාමාර්‍ගය. මහා වර්‍ගය ඥාන කතා

මහා සමය සූත්‍රය දික් සඟිය අටුවාව මහා වර්ගය අටුවාව

කුදුගත් සඟිය මහානිර්දේශය තුවට්‌ටක සූත්‍ර නිර්දේශය