Ape Budu Hamuduruwo 192

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 192

 

සතානුසාරි විඤ්ඤාණය පහළවීම

මේ දුෂ්කර ක්‍රියාව බුද්ධත්වයට මඟ නො වේ ආනාපාන ධ්‍යානය නම් එයට මඟ ය” යි මෙ සේ වරක් දෙකක් උපන් සිහියට අනතුරුව උපන් සිත සතානුසාරිවිඤ්ඤාණ නොහොත් ස්මෘත්‍යනුසාරි විඥානය නම් වනවා. මෙසේ යලි ගත වූ කාලය විමසා බලන සේක්, තමන් කුඩා වියෙහි පියාණන්ගේ කෙත් බිමේ දී දඹ ගස යටැ හිඳ වැඩූ ආනාපාන ස්මෘතිය සිහි කොට, “මෙය බෝධියට මඟ වේ දෝ” යි සිතා එය වැඩීමට ඉටාගත්තා. “දුර්වල සිරුර ඇති ව ආනාපාන ස්මෘතිය පුරනු නො හැකි ය. එබැවින් ආහාර සේවනයෙන් කය සතපා, එයට පසු ව සමාධිය වඩන්නෙම් නම් යෙහෙකැ” යි සිතූ සේක.

කය සැතැප්වීම

ඉක්බිති බෝසතාණන් වහන්සේ පාත්‍රය තුබුණු තැනින් ගෙනැ උරුවෙල් දනව්වට පිඬු පිණිස වැඩියහ. මිනිස්සු උන්වහන්සේ දැකැ, “පෙර මෙ තුමා තමා ළඟට ගෙනවුත් දුන් ආහාරය වත් නො ගත්තේ ය. ඒකාන්තයෙන් මුන් වහන්සේ ගේ මනෝරථය මස්තක ප්‍රාප්ත වූයේ මය. එබැවින් තුමූ ම පිඬු පිණිස ආහයි සතුටු වැ ප්‍රණීත ප්‍රණීත ආහාර පිළිගන්වන්නට වුනා . බෝසතාණන් වහන්සේ සෑහෙන තරම් සුව පහසු ලැබෙන තෙක් ප්‍රණීත ආහාර වළඳමින් දෙසතියක් පමණ කාය විවේකයෙන් මෙලෙස කල් යවනු ලැබුවා.

විතර්ක විමැසීම

ප්‍රධන් වීර්ය වඩන බෝසතාණන් වහන්සේගේ සිත් සතන්හි නෛෂ්කාම්‍යසංකල්ප ආදී කුශල විතර්කයෝ මහ ගංවතුරක් සේ ඉතා අධික වැ පහළ වෙමින් පැවැතුනා. කලක් ම කෘශ වැ සිටි මුත් ආහාර සේවනයෙන් නැවතත් සිරුර ප්‍රකෘතිමත් වැ කලදී සේ ම මහා පුරුෂලක්ෂණයන් මතු වැ බ්‍රහ්මශරීරය ද ඉක්මැ ශෝභාසම්පන්න වූ නියාව දැක්මෙන් “මගේ ශරීරය සමෘද්ධියට පැමිණියේ යැ”යි කිසි විටෙක උන්වහන්සේට කල්පනා වුවත්, එහෙත් එය ද කාමවිතර්කයක් කොට සලකා නැවැත එවැන්නක් සිතේ පහළ නො වන ලෙසට සිත රැක ගන්න ඉටා ගත්තා.

කාමවිතර්ක මැඩලීම

 තව ද අසපුව ඉදිරියේ ඉන්නා බෝසතාණන් වහන්සේ මුව ගව ආදි සිවුපාවුන් ද වෙනෙහි රැව් පිළිරැව් දෙමින් රුකින් රුක සරණ මොනර වලිකුළු ආදී පක්ෂීන් ද, නෙලුම් ඕලු මහනෙල් කුමුදු ආදී ජලජ පුෂ්ප සංඡන්න හෙප් හා මඬවගුරු ද, නානා පුෂ්ප සමූහයෙන් ශෝභිත තරුවර ශතයෙන් ගහන වනරොද ද, මිණි කඳක් වන් පිරිසිදු ජල ධාරායෙන් ශෝභමාන නේරංජරා නදිය ද දකින සේක. ඒ දැක්මෙන්, “මේ සිවුපා රැල සිත්කළු ය. මේ පක්ෂීහු ප්‍රියංකර හ. මේ දිය හෙප් රම්‍ය ය, මේ රාජිහු ශෝභමාන හ. නේරංජරාව දර්ශනීය යැ”යි උන් වහන්සේට සිතෙයි. එවිට “අහෝ මට කාම විතර්කයෙක් වී යැ” යි ඒ ස්වල්පය පවා කාමවිතර්ක පක්ෂයෙහි ලා සලකා ඒ ද දුරු කිරීමට ඉටා ගත්තා.

ව්‍යාපාද විතර්ක මැඩලීම

දැඩි උණුසුම් දැඩි ශීත ආදියෙන් සිතෙහි මඳ පෙරැළීමක් වූ විටැ එය ව්‍යාපාද විතර්ක පක්ෂයෙහි ලා සලකා එබඳු විතර්ක ද දුරු කරන්නට වුනා  .

විහිංසා විතර්ක මැඩලීම

පන්සල් දොරැ ඉන්නා කිසි විටෙකැ උන් වහන්සේට ව්‍යාඝ්‍රාදීන් මුව හූරු ආදී දුබල සතුන් පෙළනු දක්නට ලැබේ. ගමට පිඬු පිණිස වැඩි කිසි විටෙක රාජකාර්යය හේතුයෙන් තමන් රැකියාවන් කැරැ ගන්නට නො ලැබැ උපද්‍රෑත වූවෝ ද දක්නට ලැබෙයි. මෙකී දර්ශන හේතුයෙන් උන්වහන්සේගේ සිතෙහි ශෝකය උපදින්නට වුනා . ඒ අනුනට හිරිහැර ඇති කරන්නන් ගේ අකාරුණික බව, ක්‍රෑරකම උන්වහන්සේට වැටහුණා. ඉන් සිත නොසංසුන් වන්නට වුනා . නො එකඟ වුනා . එවිටැ ඒ ස්වල්ප නොසන්සුන් බව පවා විහිංසා විතර්ක යැ යි ගෙන, එය ද දුරු කලයුතු යැයි සිතුවා.

නෛෂ්කාම්‍ය විතර්ක, අව්‍යාපාද විතර්ක, අවිහිංසා විතර්ක වැඩීම.

“මෙ සේ සිතන බෝසතාණන් වහන්සේ විතර්කයන් කුශලාකුශල වශයෙන් දෙ කොටසකට බෙදන සේක් “මේ කාම විතර්කය, මේ ව්‍යාපාද විතර්කය, මේ විහිංසා විතර්ක යැ”යි අකුශල පක්ෂය එක් කොටසක්ද “මේ නෛෂ්කාම්‍ය විතර්කය, මේ අව්‍යාපාද විතර්ක ය, මේ අවිහිංසා විතර්ක යැ” යි කුශල පක්ෂය එක් කොටසක් දැ’යි කුසල් අකුසල් විසින් විතර්කයන් දෙ කොටසක් කොට අකුශල විතර්ක වැනසීමෙහි ද කුශල විතර්ක වැඩීමෙහි ද යෙදෙන්නට වුනා . කාම විතර්කාදී අකුශල විතර්කයන් පහළ වූ විටැ එය තමනටත් අන්‍යයනටත් දෙපක්ෂයට ම අවැඩ පිණිස පවත්නා බව, ලොවුතුරු සුවයට බාධක බව, දුක් පැත්ත ගෙන සිටින බව, නිවන් පිණිස නො පවත්නා බව සැලැකූවා. මෙසේ සලකන බෝසතාණන් වහන්සේ තුළැ ඒ හටගත් දුර්වල විතර්ක විනෂ්ට විය. උන්වහන්සේ අකුශල ධර්මයන් ගේ දෝෂයත් ලමා බවත් කෙලෙසුමත් කුශල ධර්මයන්ගේ, නෛෂ්කාම්‍යයාගේ, අනුහසුත් විශුද්ධ පක්ෂයත් දුටුවා.

මෙ සේ අප්‍රමත්ත වැ කෙලෙස් තවන වීර්යය ඇති ව වසන සේක්, තමනට පහළ වූ නෛෂ්කාම්‍ය විතර්කාදී කුශල සංකල්පයන් තමනටත් අන්‍යයනටත් දෙපක්ෂයටමත් අවැඩ පිණිස නො පවත්නා බව ද, ලොවී ලොවුතුරා ප්‍රඥාව ගේ වැඩුමට හිත බව ද, දුඃඛ පක්ෂයෙහි නො වන බව ද, නිවන් පිණිස පවත්නා බව ද දුටුවා.

යටැකී පරිදි රෑ මුළුල්ල ද, දාවල් මුළුල්ල ද, රෑ දාවල් දෙක් හි ම ද විතර්කන විචාරණයන්හි යෙදුණු උන් වහන්සේගේ ශරීරය ක්ලාන්ත වන්නට වුනා. සිරුර ක්ලාන්ත වූ විට සිත නො සංසුන් වුනා . ඒ හේතුයෙන් සිත එකඟ බැවින් ඈත් වන්නටද වුනා . එවිට සමාපත්තියට සමවැද ඒ සියලු පීඩා ද නො සංසුන් බව ද සංහිඳුවා ගන්නටද දක්ෂ වුනා . අකුශල විතර්ක පක්ෂය නුවණින් බලමින් නිග්‍රහකොට කුශල විතර්ක පක්ෂය වඩමින් මෙ සේ ප්‍රධන් වීර්යය වඩන බෝධිසත්ත්ව රාජර්ෂීන් වහන්සේ ගේ ඒ තවුස් ජීවිතය සම්බන්ධ සවන වර්ෂයේ අවසාන භාගයටද පැමිණිය.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

බලංගොඩ ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධර්තගෞතම බුද්ධ චරිතය ග්‍රන්ථය.

Ape Budu Hamuduruwo 191

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 191

 

මරුහුගේ දයාව මරුට තර්ජනය කිරීම සහ දස මාර සේනාව.

මතක් කිරීමක් – ඔබට මතක ඇති අපේ බුදුහාමුදුරුවෝ 175 වෙනි ලිපිය (අභිනිෂ්ක්‍රමණය) අවසානයේ මෙලෙස සටහන් කළා.

ඒ අතර තුර මේ සියල්ලම අහසෙහි සිට බලා සිටි තව කෙනෙක් සිටියා. ඒ මාර දිව්‍ය පුත්‍රයා. එකෙණෙහිම මාර දෙව් පුත් අහසෙහි සිට බෝසතාණන් වහන්සේගේ ගමන වළක්වමින් සිතා “නිදුකාණනේ නොයනු මැනවි. මෙයින් සත්වෙනි දවසෙහි ඔබට සක්විති රාජ්‍ය පහළ වන්නේය. දෙදහසක් කොදෙව් පිරිවරකොට ඇති සතර මහා ද්වීපයන්ට සක්විති රජ වන්නෙහිය. නවතිනු මැන”.

ඔබ කවුද?

මම වසවර්ති මාරයා වෙමි. මාරය සක්විති රාජ්‍යය පහළ වන බව මම දනිමි. මට රාජ්‍යයෙන් වැඩක් නැත. දස දහසක් සක්වළ ඒකාලෝක කොට බුදු වන්නෙමි. හිංසා සහගත සිතිවිල්ලක් හෝ සිතුවේ නම් කළ යුතු දෙය දනිමියි සිදුරු සොයමින් මාර දිව්‍ය පුත්‍රයාණන් සෙවනැල්ල මෙන් ඉවත් නොවී බෝසතාණන් වහන්සේ ලුහු බඳින්නට වුනා .

“හිංසා සහගත සිතිවිල්ලක් හෝ සිතුවේ නම් කළ යුතු දෙය දනිමියි සිදුරු සොයමින් මාර දිව්‍ය පුත්‍රයාණන් සෙවනැල්ල මෙන් ඉවත් නොවී බෝසතාණන් වහන්සේ ලුහු බඳින්නට වුනා .”

එදින සිට ඒ කියූ පරිද්දෙන්ම යම් හිඩැසක් සොයමින් මාර දේව පුත්‍රයා බෝසතාණන් වහන්සේව ලුහු බඳින්නට වුනා . ඒ ඔහුට පැවරී ඇති රාජ කාරියයි.

එදින සිට ඒ කියූ පරිද්දෙන්ම යම් හිඩැසක් සොයමින් මාර දේව පුත්‍රයා බෝසතාණන් වහන්සේව ලුහු බඳින්නට වුනා . ඒ ඔහුට පැවරී ඇති රාජ කාරියයි. ඒ සම්බන්ධව ඉදිරියේදී විශේෂ සුත්‍ර දේශනාවක් ගෙනහැර පාමින් මාර උගුල් හට හසුනොවී අප මහා බෝසතාණන් වහන්සේ අකුසල විතර්ක සිඳලමින් බුද්ධත්වය කරා පැමිණි අයුරු දැනගත හැකියි.

මරහුගේ දයාවක්

ක්ලේශ මාර, අභිසංස්කාර මාර, ස්කන්ධ මාර, මච්චු මාර, දේවපුත්‍ර මාර යනුවෙන් මාරයන් බෙදෙන පඤ්චවිධ මාරයන් ගැන ඔබ කොතෙකුත් අසා ඇති. මේ කියවෙන්නේ එහි දේවපුත්‍ර මාර වශයෙන් සළකන නිවනට බාධා කරනු ලබන ඉහලම දිව්‍ය තලයේ සිට මෙම කාම ලෝකයට අධිගෘහත වූ මාර දේවපුත්‍රයා ගැනයි. ඔහු මෙසේ සිතන්නට වුනා.

නිවන් සුව අපේක්ෂා කෙරෙමින් අප්‍රාණකධ්‍යානය දැඩි සේ වඩන බෝසතාණන් දුටු වසවත් දෙව්පුත් “සිද්ධාර්ථ කුමාරයන්ගේ වෑයම ඉතා මහත් ය. කිසි දවසක බුදුවනු සැක නැත. දැන් ම ඔහු රවටා දුෂ්කර ක්‍රියාව නවතාලුවොත් යහපතැ” යි සිතන්නට වුනා. දවසක් හේ බෝසතාණන් වෙත ගොස් හිත විලාසයක් පා, “යහලුව, ඔබ කෙට්ටු ය, දුර්වර්ණ ය, මැරෙන්නට ළඟ ය. මරණය අතට ම බරවූ අප්‍රාණකධ්‍යානාදී දෑ දහස් ගණනෙකි. එයට ඔබේ ජීවිතය එක් කොටසක් වා පමණෙකි. පින්වතාණෙනි, මේ තරම් දුක් නො විඳින්න, ජීවත් වෙන්න. ජීවත් වීම මරණයට වඩා උතුම්. හොඳට ආහාර පාන ගනිමින් ජීවත් වෙමින් දානමානාදී පින් කරන්න. ඒ අතර ඉඩ ලැබෙන පරිදි බඹසර ද පුරන්න. හෝම පූජා කරන්න. එයින් බොහෝ පින් රැස් වේ. ජීවත් වේදෝ යි සැක සිතෙන තරමට කටුක ලෙස මේ දුෂ්කර ව්‍රත පිරීමෙන් සිදු වන යහපත කිමෙක්ද ? යහලුව, පෙර බුද්ධාංකුරයන් ගිය ප්‍රධාන වීර්ය මාර්ගය අද සිටින අයට දුර්ගම එකෙක, දුෂ්ප්‍රාප්‍ය එකෙකැ” යි ව්‍යාජ දයාවක් පෙන්වා කියන්නට වුනා .

මරුට තර්ජනය කිරීම

අප මහා බෝසතාණන් වහන්සේ ඒ සැණින්ම මේ මාර දිව්‍ය පුත්‍රයා බව දැනගත්තා. ඔහු බස් පිළිකුල් කොට පිළිකෙවු කරන සේක් “පමා වූවන් බැඳ ගන්නා පවිට, මගේ ප්‍රධාන ව්‍යායාමයට හානි කිරීමට, තගේ වාසිය තකා ම තෝ මෙහි ආයෙහි. ඒ තා වණන පින් බිඳෙකිනුත් මට වැඩෙක් නැත. යම් කෙනෙක්නට එබඳු පිනින් වැඩෙක් ඇද්ද ඔවුනට නම් තගේ කථාව හොබී.

“ශ්‍රද්ධා, වීර්යය, ප්‍රඥා, ස්මෘති, සමාධි යන පඤ්ච ඉන්ද්‍රියෝ මා තුළැ ඇතියහ. මෙ කී අංගයන් ගෙන් සමන්විත ව ප්‍රධාන ව්‍යායාමයෙහි යැවූ සිතැති, නිවන් සඳහා පරිත්‍යක්ත ආත්මභාවය ඇති මගෙන් (ප්‍රධානයෙන් ජීවිතයට කවර වැඩෙක්දැයි”) ජීවනය ගැන ප්‍රශ්න කෙරෙහිද?

“මා අප්‍රාණික ධ්‍යානයෙන් ඉපැදැ වූ වායු තෙම ගංගා ශ්‍රෝතසුනුදු වියලන්නට සමත් ය. එබැවින් මේ වායු තෙම කාය ජීවිත දෙක්හි නිරපේක්ෂක වූ දැඩි වීර්යය ඇති මගේ නැලියක් පමණ වූ ස්වල්ප ලෙය කිමෙක නො වියලන්නේ ද? ලෙය වියැලෙන කල්හි පිතත් සෙමත් වියැලේ. මෙසේ පිළිවෙළින් මසුත් ක්ෂීණ වන කල්හි ද සිත වඩාත් පහදී. සිහිය ද ප්‍රඥාව ද සමාධිය ද ස්ථිර ව පිහිටති. තෝ මෙ බඳුවූ මගේ ධෛර්යයවත් සිත නො දැන “කය පමණක් බලා, “කෘශ ය” යන ආදීන් කියයි ද ?

“දෘඪාධිෂ්ඨාන ඇති ව මෙසේ කර්මස්ථානානුයෝගී වැ වසන මගේ උතුම් විඳීම බලව, මෙ තරම් දුර්වල වුවත් මෙය හැර ආපසු රාජ සම්පත් ආදිය බලා යමි’යි මසිත කිසිදු කාම වස්තුවක් අපේක්ෂා නො කරයි. බලව, සත්ත්වයකුගේ ශුද්ධියෙක හැටි !”

දස මරසෙන්

“තවද පවිට මම දනිමි, කාමයෝ තගේ පළමු සේනාවයැ. ගුණධර්මයෙහි උකටලී බව දෙවෙනි සේනාව ය. බඩගිනි හා පවස තෙවෙනි සේනාව ය. ආහාරාදිය සෙවීමෙහි ආශාව සිවු වන සේනාව ය. චිත්ත චෛතසිකයන්ගේ මිලාන බව පස් වන සේනාව ය. බියසුලු බව සවන සේනාව ය. මේ මඟ වේ ද නැද්දැයි පිළිවෙත්හි සැකය සත් වන සේනාව ය. මකු බව හා සිත අවවාදයට නො නැමෙන දැඩි බව අට වන සේනාව ය. ලාභ කීර්ති සත්කාර හා නො නිසි මගින් ලත් යස ඉසුරු යන මෙයින් නැංග තෘෂ්ණා මානයෝ නව වන සේනාව ය. තමා උසස් තැනැ තැබීම හා මෙරමාට අවමන් කිරීම දස වන සේනාව ය.

“නමුචිය, මේ අකුශල රාශිය තගේ දස වැදෑරුම් සේනාව යි. මහණ බමුණන් පෙළන පාපී වූ තගේ ආයුධ රැස යි. ශූර නො වූයෙක් තගේ එ දස මරසෙන් නො දිනයි. ශූර තෙමේ ම උන් හැම බිඳ ජය ගනී. දිනීමෙන් වනාහි ඒකාන්ත සුවය ලබයි.

“ජය ගෙන මිස පෙරළා නො ඊමේ ලකූණක් වශයෙන් මුදු තණ ගසක් දරන යෝධයකු සේ කොට මා සලකා ගනුව. මේ ක්ලේශ යුද්ධයෙන් පැරදුණොත්. ඒ මගේ ජීවිතයට නින්දා වේවා! පැරැදී ජීවත් වීමට වඩා රණබිමැ වැටී මිය යෑම උතුමි.

“ඇතැම් මහණ බමුණෝ මේ ක්ලේශ සේනා මධ්‍යයෙහි වන්නෝ නො පැනෙත්. මනා පැවතුම් ඇතියන් නිවනට යන ප්‍රතිපත්ති මාර්ගය ද නො දනිත් යැ” යි වදාරනු ලැබුවා.

මෙ බස් ඇසූ වසවත් මරු කිසිත් නො බැණම පලා ගියා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

බලංගොඩ ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධර්තගෞතම බුද්ධ චරිතය ග්‍රන්ථය.

Ape Budu Hamuduruwo 190

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 190

 

යශෝධරාවන්ගේ ව්‍රතසමාදානය

අප මහා බෝසතාණන් වහන්සේ මෙලෙස අනේක වූ දුක්කම්කටුලු විදිමින් බුද්ධත්වය කරා දිනෙන් දින ලගා වෙද්දී බෝසතාණන්වහන්සේගේ ආහාර අඩුකිරීම් ආදීන් පුරන දුෂ්කර තපෝව්‍රත පිළිබඳ තොරතුරු කිඹුල්වතින් යැවෙන රාජ දූතයන් මගින් ශුද්ධෝදන රජ්ජුරුවෝ හැම දා ම දැනගත්තා. එහෙත් එ තුමෝ අසිතර්ෂි ආදීන් කී අනාවැකි සියල්ල ඒ තාක් අකුරට ම හරි ගිය බැවින් ඉතිරි ටිකත් එසේ ම හරියතැයි ද “මා පුතාණෝ බුදු වන්නාහු ම යැ” යි දැඩි විශ්වාසයෙන් දිනෙන් දින ලැබෙන අසුභ ආරංචිවලින් නො කැලැඹුණා. කොතරම් දුෂ්කර ව්‍රත පිරුවත් විපතක් නොවෙති යි තරයේ ම විශ්වාස කරනු ලැබුවා. එහෙත් බෝසතාණන් වහන්සේ ආහාර අඩු කිරීම් ආදී වශයෙන් කරන කය තැවීම් පිළිබඳ කිසි ම පුවතක් යශෝධරාවනට ආරංචි වෙන්නට ඉඩ තිබ්බේ නැහැ. ඒ වගක් ඇයට නොකියන ලෙසට ඒ රාජ පුරුෂයනට ද අණ කිරීමට අමතක කලේ නැහැ.

යශෝධරාවන් සිතා සිටියේ බෝසතාණන් වහන්සේ සාමාන්‍ය තවුසකු සේ ජීවත් වන බව පමණ යි. එහෙත් පසුකාලයේදී ඕ තමාට හිතවත් රාජපුරුෂයන් ගෙන් බෝසතාණන් බිම සැතපෙති යි අසා ඇයත් ඇඳ පුටු පරිහරණය අත්හරියා. කසට පෙවූ සිවුරු හඳිතැයි පොරොවතැ යි අසා තොමෝත් ආභරණ සුවඳ විලෙවුන් පාවිච්චිය හැර දමා කසට පෙවූ වස්ත්‍රයක් හැඳ කසට පෙවූ වතක් ම පෙරෙව ගත්තී ය. බෝසතාණන් කෙස් වැටිය සිඳ දැමූ පවත් අසා තොමෝ කෙස් වැටිය සිඳ දැමුවා. බෝසතාණන් වහන්සේ වළඳනුයේ එක් වේලක් පමණයැ යි තොමෝත් එක් වේලක් ම අහර ගත්තා. මෙසේ රජගෙහි හිඳම තපස්විනියක සේ කල් යැවුවත් හැම සැප පහසුවක්ම දෙමින් මැනැවින් රහල් කුමරු පෝෂිත කළා. ඔබට මතක ඇති වෙස්සන්තර ජාතකය. ඒ අවසන් ආත්මභාවය තෙක් ඇය අවසන් මොහොත වෙනතෙක්ම ලගින්ම සිටියා. මේ මොහොතේත් උපස්ථාන කරන්නට ඇත්නම් කියා සිය දහස්වාරයක් හිතෙන්නට ඇති. එහෙත් අද ඔවුන් දෙදෙනා දෙතැනක. තව ටික කලෙකින් මගේ ස්වාමිදරුවන් බුදු වී අවුත් අපට දුකින් මිදෙන මාර්ගය පෙන්වතියි, අපට විමුක්ති සැපය ලබවතියි උදාර අපේක්ෂා ඇත්තී අනාගත භාග්‍යය පතමින් කල් යැව්වා පමණක් නොවෙයි හැමදාම පෙරමග බලා සිටියා. සංසාරය පුරා කොතරම් එලෙස බලා ඉන්නට ඇතිද?

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

බලංගොඩ ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධර්තගෞතම බුද්ධ චරිතය ග්‍රන්ථය.

Ape Budu Hamuduruwo 189

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 189

 

බුද්ධත්වය සඳහා සිදුකල අති මහත් දුෂ්කරක් ක්‍රියාව බුද්ධ වචනයෙන් 04

රාජකුමාරය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. මෙ තරම් දුර්වලවූ ශරීරයකින් යුක්තව ඒ (ප්‍රථමධ්‍යාන) සැපය ලබන්නට බැරිය. යම්හෙයකින් මම බත් හා කොමුපිඩු ආදී ඖදාරික ආහාරයක් ගන්නෙම් නම් හොඳය කියාය.

මේ අතර පස්වග තවුසන් වර්ෂ හයක පමණ කාලයක් අතිමහත් දුෂ්කරක්‍රියා කරන බෝසතාණන් වහන්සේ දැන් බුදු වන්නේය දැන් බුදු වන්නේය යයි සිතමින් පිරිවෙන් මලු ඇමදීම ආදියද කාය පිළිවෙත්වලින් ද උපස්ථාන කරමින්ද රැඳී සිටියා. ඔවුනට මහත් වූ විශ්වාසයක් වුයේ දුෂ්කරක්‍රියා මගින් ශරීරයට දුක්දීමෙන් මෙම බුද්ධත්වය කරා ලඟා විය හැකි බවයි.

දෙවිවරුන්ටත් වැරදීම.

බෝසතාණන් වහන්සේගේ රන්වන් වූ ශරීරය කාලවර්ණ වුනා . දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ද වැසී ගියා. ආශ්වාස ප්‍රාශ්වාස නැති කොට ධ්‍යාන වැඩිම නිසා මහත් වේදනා මැඩ පවත්වමින් විසංඥා වී සක්මන් කෙළවර වැටුනා. එවිට ඇතැම් දෙවිදේවතාවෝ ශ්‍රමණ ගෞතමයෝ කලුරිය කළේ යැයි පවසන්නට වුනා. ඒ අතර එක් දෙවි කෙනෙක් බෝසතුන් කලුරිය කලේ යැයි සිතා ක්ෂණයකින් ගොස් සුද්ධෝදන රජුට ඔබ පුත් මළ යැයි දන්වා සිටියා. ශුද්ධෝදන රජතුමා එකවර කලබල වුයේ නැහැ. සුද්ධෝදන රජු “මාගේ පුතා බුදුවී කළුරිය කළේ ද නැතහොත් නොමැතිවද” ඇසුවා. “බුදු වීමට නොහැකි විය. සක්මන් මලුවේම වැටී කලුරිය කළේය” යනුවෙන් ඒ දේවතාවන් විසින් පවසා සිටියත් ඒ වචන අසා රජතුමා මම එය නො පිළිගනිමි ගේ පුතා බෝධියට පැන් නො පැමිණ කලුරිය කිරීමට නොහැකියැයි ප්‍රතික්ෂේප කරනු ලැබුවේ පුතා ස්ථිර වශයෙන්ම බුදුවන බව අසිත තවුසා සහ කොණ්ඩඤ්ඤ බමුණා විසින් ප්‍රකාශ කල වදන් ද කාලදේවල වැඳීම් දවසේ කළ පෙළහරින් දඹ රුක මුල දී කරන ලද ප්‍රාතිහාර්යයන් දක්නා ලද බැවින්.

යළි බෝසතාණන් වහන්සේ සිහි ලැබ නැගිටී කල්හි ඒ දේවතාවෝම මහරජතුමනි ඔබගේ පුතා නිරෝගී ව සිටිති” යැයි දැනුම් දී සිටියා. රජතුමා ද “දනිමි මම පුතාගේ අමරණීය භාවය” යයි කිවේ සිනහමුසු මුහුණින්.

පස්වග තවුසන් බෝසතාණන් වහන්සේ අතහැර යාම.

අනතුරුව මිට පෙර කියූ ආකාරයට දුෂ්කර ක්‍රියාව නම් අවබෝධයට මාර්ගය නොවේ යැයි තීරණය කොට ඕලාරික ආහාර ගැනීමට තීරණය කරනු ලැබුවා. යලිත් ගම් නියම් ගම් වල පිඩු පිණිස හැසිර ආහාර රැගෙන පැමිණියා. එවිට උන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ප්‍රකෘතිමත් වුනා. ශරීරය ස්වර්ණ වර්ණ වුනා . එහෙත් මෙම තත්වය තව දුරටත් පසවග මහණුන්ගේ සිත් ගත්තේ නැහැ. ඔවුන් මෙසේ සිතන්නට වුනා . “මුන් වහන්සේ සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන්නේ නමුත් සර්වඥතා ප්‍රතිවේධය ලැබීමට නොහැකි විය. දැන් ගම්වල පිඬු පිණිස හැසිර ලාමක ආහාර රැගෙන එමින් කුමක් කළ හැකි වන්නේ ද? පධන් වීරිය ට මෙය බාධාවක්. මොහු වීර්යයෙන් පිරිහුණා. අප මොහු විශේෂ අධිගමයක් ලබා වී යැයි සිතීම හිස පටන් නහනු කැමති කෙනෙක් පිණි බිඳුවකි න් නෑමක් වැනිය. මොහුගෙන් අපට ප්‍රයෝජනයක් නැතැයි බෝසතාණන් වහන්සේ අතහැර තම තමන්ගේ පාත්රා සිවුරු රැගෙන යොදුන් දහ අටක් මඟ ගෙවා ඉසිපතනයට පිවිසුණා. අප මහා බෝසතාණන් වහන්සේ නැවතත් මාර සේනාව අභියස තනිවුනා . එත් විර්යය දශමයකින්වත් හීන වුයේ නැහැ.

ඒ සම්බන්ධව බෝධිරාජ කුමාර සුත්‍රයේ මෙලෙස බුදු වදනින්ම පවසනවා.

“රාජකුමාරය, ඒ මම බත්, කොමපිඩුයැයි කියන ඔලාරික ආහාරයක් ගත්තෙමි. රාජකුමාරය, ඒ කාලයෙහි ‘ශ්‍රමණ ගෞතමතෙම යම් ලොවුතුරා දහමක් ලැබුයේ නම් එය අපට කියන්නේය’ යන අදහසින් භික්ෂූන් පස්දෙනෙක් මට උපස්ථාන කරමින් සිටියහ. රාජකුමාරය, මේ කලක පටන් මම බත් හා කොමුපිඩු ආහාර ගන්නට වූයෙම්ද, එකල්හි ඒ භික්ෂුහු ශ්‍රමණ ගෞතමතෙම ප්‍රත්‍යය බහුලකොට ඇත්තේය. රසයෙහි ගිජුව ප්‍රණීත පිණ්ඩපාතාදිය වැළඳීමට හැරුණේය. වීර්යය කිරීමෙන් පිරිහුණෙයැ’යි කියා කලකිරී බැහැර ගියාහුය.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

බෝධිරාජකුමාර සූත්‍රය – ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මජ්ඣිම පන්නාසකය » 4. රාජ වර්ගය

Ape Budu Hamuduruwo 188

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 188

 

බුද්ධත්වය සඳහා සිදුකල අති මහත් දුෂ්කරක් ක්‍රියාව බුද්ධ වචනයෙන් 03

දිනෙන් දින කාලය මෙලෙස ගතවුනා. පස්වග තවුසන්ද උන්වහන්සේට හැකි උපරිම අයුරින් උපස්ථාන කරමින් බුද්ධත්වය ලබන දින තෙක් නොවසිල්ලෙන් ඇඟිලි ගනිමින් උන්වහන්සේගේ අසලම රැඳී සිටියා. කල්ප ලක්ෂයක් පෙරුම් පුරමින් පැමිණි ඔවුන්හට මේ සුළු දිනගණන ඉවසා සිටීමට තරම් ඉවසිල්ලක් නැති බව පෙනෙන්නට තිබුණා. ඒ තමයි සසරේ ස්වභාවය. සසර පුරාවට එකිනෙකට බැඳී පැමිණි අත්වැල් සුළු මොහොතකින් ගිලිහී යන අවස්ථාවන්ද තිබෙනවා දිනුම් කනුව පෙනි පෙනී.

අප්‍රාණික සමාධියෙන් වෙන්වීම.

අප මහා බෝසතාණන් වහන්සේ මෙලෙස ආශ්වාස ප්‍රශ්වාස යෙන් වැලකි සිටීමෙන් සෙවූ චිත්ත සමාධිය අප්‍රාණික ධ්‍යාන වශයෙන් හඳුන්වනවා. එයින් පලක් නොවන බව වැටහී දැන් උන්වහන්සේ මේ උත්සාහ කරන්නේ කයට දුක්දීම තුලින් දුක කෙළෙවර කිරීමේ යම් මාර්ගයක් ඇත්ද එය අත්හදා බැලීමටයි. ඒ පිළිබඳව බුදුපියාණන් වහන්සේගෙන්ම අසා දැනගනීමට නැවතත් සුත්‍ර දේශනාවට යොමුවෙමු.

ලොම සිදුරුවලින් දෙවියන් විසින් දිව්‍ය ඕජස් ශරීරගත කිරීම ප්‍රතික්ෂේප කිරීම.

“රාජකුමාරය, ඒ මට මෙසේ කල්පනාවිය. යම් හෙයකින් මම මුළුමනින් ආහාර නොවැළඳීම පිණිස පිළිපදින්නෙම් නම් ඉතා යෙහෙක’ කියායි. රාජකුමාරය, එවිට දේවතාවෝ මාවෙත පැමිණ මෙසේ කීහ. ‘නිදුකාණෙනි, ඔබ මුළුමනින් ආහාර නොගෙන සිටින්නට නොසිතුව මැනවි, යම් හෙයකින් ඔබ මුළුමනින් ආහාර නොගෙන සිටිය හොත් අපි ඔබගේ ලෝම සිදුරුවලින් දිව්‍ය ඕජස් ශරීරගත කරන්නෙමු ඔබ එයින් යැපෙන්නෙහිය.’ රාජකුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. මම වනාහි මුළුමනින් නිරාහාරව සිටීමට සිතින් එකඟ වුනෙමි. එහෙත් මේ දේවතාවෝ මාගේ ලොම සිදුරුවලින් දිව්‍ය ඕජස ගිල්වන්නාහු නම් එයින් මම යැපෙන්නෙමි. එය මාගේ මුසාවක් වන්නේය. රාජකුමාරය, ඒ මම ඒ දෙවියන් වැළැක්වූයෙමි. වුවමනා නැතැයි කීයෙමි.

නිරාහාරයෙන් සිහිමුර්ජාවිම.

“රාජකුමාරය, ඒ මට මේ සිත පහළ විය. ‘යම් හෙයකින් මම පතක්, පතක් පමණවූ මුංතැම්බු දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉතා ස්වල්පවූ ආහාරයක් වළඳන්නෙම් නම් යෙහෙකි, කියායි.

“රාජකුමාරය, ඒ මම පතක්, පතක් පමණවූ, මුංතැම්බූ දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉතා ස්වල්ප වශයෙන් ආහාරය වැළඳුවෙමි. රාජකුමාරය, ඒ මම පතක් පතක් පමණවූ මුං තැම්බූ දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉත් ස්වල්ප වශයෙන් ආහාර ගන්නාවූ ඒ මාගේ ශරීරය ඉතා කෙට්ටු බවට පැමිණියේ වෙයි, අසූ වසක් ගිය වැලක පුරුක් හෝ කලුවැල් නම් වැලක පුරුක් හෝ යම්සේද මාගේ ඇඟපසඟ ඒ නිරාහාරභාවය නිසාම එබඳුවිය. ඔටුපියවර යම්සේ මැද ගැඹුරුවේද, එපරිද්දෙන්ම ඒ නිරාහාර භාවයෙන් මාගේ නිසීදනමාංසය (තට්ටම) මැදින් ගැඹුරු විය. රැහැණක ඇවුණු දැව වැටිය යම්සේ අතරතුර උස්මිටි වේද, එපරිද්දෙන් ඒ නිරාහාර භාවයෙන් මාගේ කොඳු ඇටය උස් මිටිවෙයි. යම්සේ දිරූ ශාලාවක පරාල උඩු යටි වශයෙන් නැමුනාහු වෙද්ද, එපරිද්දෙන් මාගේ ඉළඇට උඩුයටි වශයෙන් නැමුනාහු වෙත් ගැඹුරුවූ ළිඳෙක දියයට පෙණෙන තරු ගැඹුරට ගියාහු, යට බැස්සාහු දක්නා ලැබෙත්ද, එපරිද්දෙන්ම ඒ ස්වල්ප ආහාරය නිසා මාගේ ඇස්වල නෙත්තරු වල ගැඹුරට ගියාහු යට බැස්සාහු දක්නා ලැබෙත්. යම්සේ නම් තිත්ත ලබු ගෙඩියක් අමුවෙන් කපන ලද්දේ අව්සුළඟින් හැකුලුණේද මැලවුනේද එපරිද්දෙන්ම ඒ ස්වල්ප ආහාරය නිසා මගේ හිසේ සම හැකුලුණේ මැලවුනේ වෙයි.

බඩ අතගානාවිට පිට කටුව ස්පර්ශවීම.

“රාජකුමාරය, ඒ මම බඬේ සම අතගාන්නෙමියි පිට කටුවම අතගාන්නෙමි. පිට කටුව අල්වමියි බඬේ සම අල්ලමි. රාජකුමාරය, ඒ ස්වල්ප ආහාරය නිසා එපමණට මාගේ බඬේ සම කොඳු ඇටයෙහි ඇලුනේ වෙයි. ඒ මම වර්චස් හෝ මුත්‍ර හෝ කරන්නෙමියි හුන්නේ ඒ ස්වල්ප ආහාරය නිසාම එහිම යටිකුරුව වැටෙමි. මම මේ ශරීරය අස්වසමියි අතින් ශරීරාවයව පිරිමදිමි. රාජකුමාරය, එසේ ශරීරයේ අවයව අතගානවිට, ඒ ස්වල්ප ආහාරය නිසාම මුල්කුණුවූ ලොම් ශරීරයෙන් වැටෙත්.

“රාජ කුමාරය, සමහර මිනිස්සු මා දැක මෙසේ කීවාහුය. ශ්‍රමණ ගෞතමතෙම කලුය.’ ඇතැම් මිනිස්සු මෙසේ කීවාහුය, ශ්‍රමණ ගෞතමතෙම කලු නොවෙයි පලාවන් පාටය’ ඇතැම් මනුෂ්‍යයෝ මෙසේ කීවාහුය. ‘ශ්‍රමණ ගෞතමතෙම කලුත් නොවෙයි, පලාවන් පාටත් නොවෙයි, ශ්‍රමණ ගෞතමතෙම රන්වන් සිවි ඇත්තේයි.’ රාජකුමාරය, මෙසේ කීමට තරමටම මාගේ පිරිසිදුවූ හාත්පසින් බබලන්නාවූ ශරීරවර්ණය ඒ නිරාහාර භාවය නිසාම නැසුනේ වෙයි.

හීන ග්‍රාම්‍ය පෘථග්ජන, අනාර්ථ, අනර්ථ සංහිත කාමසුකල්ලිකානු යෝගයත්, දුක්ඛ, අනාර්ය අනර්ථ සංහිත නිසා අත්තකිල මථානුයෝගයත් නො සෙවිය යුතු අන්ත දෙකක් ලෙසින් බැහැරලීම.

“රාජකුමාරය, ඒ මට මෙසේ සිතුනේය. අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනා වින්දාහු නම් ඒ මේ තරම්ම වෙයි. මට වඩා වැඩි නොවෙයි අනාගත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනා විඳින්නාහු නම් ඒ මේ තරම්ම වෙයි. මීට වඩා වැඩි නොවෙයි. මේ වර්තමාන කාලයෙහි යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ දුක්වූ, තියුණුවූ වේදනාවන් විඳිත් නම් ඒ මේ තරම්ම වෙයි. මීට වඩා වැඩි නොවෙයි. මම වනාහි මේ කටුකවූ දුෂ්කරක්‍රියාවෙන් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්ය භාවය ඇති කිරීමට සමර්ථවූ ඥානදර්ශන විශේෂයක් නොලබමි. මාර්ගාවබොධය පිණිස අන්‍ය මාර්ගයෙක් ඇත්තේදැයි කල්පනා විය.

“රාජකුමාරය, ඒ මට මේ අදහස විය. මම, පියවූ ශුද්ධොදන ශාක්‍ය රාජයාගේ වප්මඟුල් දිනයෙහි සිහිල්වූ දඹරුක් සෙවනෙහි හුන්නේ කාමයන් ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කළ බව දනිමි. ඒ මාර්ගය මාර්ගඥාන අවබෝධය පිණිස වන්නේයි අදහස් විය. රාජකුමාරය, ඒ මට අවබෝධය පිණිස මේ මාර්ගයමයැයි සිහිය අනුව පැවති විඤ්ඤාණය පහළවිය, රාජකුමාරය, ඒ මට මේ අදහස විය. කාමයන්ගෙන් වෙන්වූ, අකුශල ධර්මයන්ගෙන් වෙන්වූ, යම් ඒ සැපයක්වේද, මම ඒ සැපයට භය වෙමිද කියාය. රාජකුමාරය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. කාමයන්ගෙන් වෙන්වූ අකුසල ධර්මයන්ගෙන් වෙන්වූ යම් ඒ සැපයක්වේද, මම ඒ සැපයට භය නොවෙමියි කියාය. රාජකුමාරය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. මෙ තරම් දුර්වලවූ ශරීරයකින් යුක්තව ඒ ප්‍රථමධ්‍යාන සැපය ලබන්නට බැරිය. යම්හෙයකින් මම බත් හා කොමුපිඩු ආදී ඖදාරික ආහාරයක් ගන්නෙම් නම් හොඳය කියාය.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

බෝධිරාජකුමාර සූත්‍රය – ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මජ්ඣිම පන්නාසකය » 4. රාජ වර්ගය

Ape Budu Hamuduruwo 187

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 187

 

බුද්ධත්වය සඳහා සිදුකල අති මහත් දුෂ්කරක් ක්‍රියාව බුද්ධ වචනයෙන් 02

මේ අවස්ථාව වනවිටත් පස්වග මහණුන් බෝසතාණන් වහන්සේ හමුවී උපස්ථාන කරමින් සිටියා. බුදුපියාණන් වහන්සේ තව දුරටත් තම දුෂ්කරක්‍රියාව පිළිබඳව බෝධිරාජ කුමාරයා හට දේශණා කරන්නට වුනේ සමහරවිට අපිටත් දැනගන්නට වෙන්නට ඇති.

අධික ශබ්ද නගමින් දෙකනින් පිට වූ ආශ්වාස වාතය

“රාජ කුමාරය, එදින මට මේ සිත පහළ විය. ‘යම් හෙයකින් මම ආශ්වාස කිරීම රහිත ධ්‍යානය වඩන්නෙම් නම් යෙහෙක’ කියාය රාජකුමාරය, ඒ මම කටින්ද නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. රාජකුමාරය, කටින්ද, නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වැළක්වූ කල්හි කන් සිදුරුවලින් පිටවන වාතයෙහි අධික ශබ්දය ඇතිවෙයි. මයින හමක් පිඹින කල්හි යම්සේ අධික ශබ්දයක් ඇතිවේද, එපරිද්දෙන්ම රාජකුමාරය, මාගේ මුඛයෙන්ද නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වැළක්වූ කල්හි කන් සිදුරුවලින් පිටවන වාතයෙහි අධික ශබ්දය ඇතිවෙයි.

“රාජ කුමාරය, මා විසින් නොහැකුළුණු වීර්ය පටන්ගන්නා ලදී. සිහිය එළඹ සිටියාය. එහෙයින්ම මුළා නොවීය. ප්‍රධාන වීර්යයෙන් වීර්යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිත වෙයි. නොසන්සිඳුනේ වෙයි. රාජකුමාරය, නමුත් මට උපන්නාවූද, මෙබඳුවූද, දුක්වේදනාව කුසල් සිත විනාශ නොකරන ලදි.

හිස් මුදුන පලන්නාක් මෙන් වූ ආශ්වාස වාතය.

“රාජ කුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. ‘යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානයම වඩන්නෙම් නම් යෙහෙක’ කියායි රාජකුමාරය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. රාජ කුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළක්වූ කල්හි අධික වාතය හිස්මුදුන පලන්නාක් මෙන් වෙයි. රාජකුමාරය, යම්සේ බලවත් පුරුෂයෙක් තියුණු කටුවකින් හිස්මුදුන විදින්නේද එපරිද්දෙන්ම රාජකුමාරය, මගේ මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ, කල්හි අධික වාතය හිස්මුදුන පලන්නාසේ වෙයි.

“රාජ කුමාරය, මා විසින් නොහැකුළුණු වීර්යය පටන්ගන්නා ලද්දේමය. සිහිය එළඹ සිටියාය. එහෙයින්ම මුළාව නොවීය. ප්‍රධාන වීර්යයෙන් වීර්යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිතවිය. නොසංසිඳුනේ වෙයි. රාජකුමාරය, එහෙත් මට උපන්නාවූ මෙබඳුවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකළේය.

බලවත් පුරුෂයෙක් දැඩි වරපට බැම්මකින් හිස වෙළනා කලෙක මෙන් හිසෙහි ඇති වූ දැරිය නොහැකි වේදනාව.

“රාජ කුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. ‘යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානයම වඩන්නේ නම් යෙහෙක’ කියාය. රාජකුමාරය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. රාජ කුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි හිසෙහි අධික වේදනාව ඇතිවෙයි. රාජ කුමාරය, යම්සේ බලවත් පුරුෂයෙක් දැඩි වරපට බැම්මකින් හිස වෙළයිද, එපරිද්දෙන්ම රාජකුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි මගේ හිසෙහි වේදනාව ඇති වෙයි.

“රාජ කුමාරය, මා විසින් නොහැකුළුණු වීර්යය පටන්ගන්නා ලද්දේමය, සිහිය එළඹ සිටියාය. එහෙයින්ම මුළාව නොවීය. ප්‍රධාන වීර්යයෙන් වීර්යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිත විය. නොසංසිඳුනේ වෙයි. රාජකුමාරය, එහෙත් මට උපන්නාවූ මෙබඳුවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකළේය.

කුස සිදින්නාක් මෙන් වූ ආශ්වාස වාතය

“රාජ කුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. ‘යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානයම වඩන්නේ නම් යෙහෙක’ කියාය. රාජකුමාරය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. රාජකුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධිකවූ වාතයෝ කුස සිඳිත්.

“රාජකුමාරය, දක්ෂවූ ගවයන් මරන්නෙක් හෝ ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ ගෙරින් කපන තියුණු ආයුධයකින් බඩ කපන්නේ යම්සේද, එපරිද්දෙන්ම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධික වාතය උදරය කපන්නාසේ වෙයි.

“රාජකුමාරය, මා විසින් නොහැකුළුණු වීර්යය පටන් ගන්නා ලද්දේමය, සිහිය එළඹ සිටියාය. එහෙයින්ම මුළාව නොවීය. ප්‍රධාන වීර්යයෙන් වීර්යය කරන්නාවූ මාගේ ශරීරය දාහ සහිත විය. නොසංසිඳුනේ වෙයි. රාජකුමාරය, එහෙත් මට උපන්නාවූ මෙබඳුවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකළේය.

අඟුරු වළකට අල්ලා තවන්නා මෙන් ඇති වූ ශරීරයේ දාහය.

“රාජකුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. ‘ආශ්වාස රහිත ධ්‍යානය වඩන්නේ නම් යෙහෙක’ කියාය. රාජකුමාරය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක් වූයෙමි. රාජකුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි ශරීරයෙහි අධික දැවිල්ලක් වෙයි. රාජකුමාරය, යම්සේ බලවත් පුරුෂයෝ දෙදෙනෙක් දුර්වල පුරුෂයෙකු අත් දෙකෙන් අල්ලා ගෙන අඟුරු වළකට අල්ලා තවන්නාහුද, අතිශයින් තවන්නාහුද, රාජකුමාරය, එපරිද්දෙන්ම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි මගේ ශරීරයේ අධික දැවිල්ලක් වෙයි.

“රාජකුමාරය, මා විසින් වීර්යය පටන්ගන්නා ලද්දේමය සිහිය එළඹ සිටියාය. එහෙයින් මුළාව නොවීය. ප්‍රධාන වීර්යයෙන් වීර්ය කරන්නාවූ මාගේ ශරීරය දාහ සහිත වීර්යයෙන්ම විඩා සහිත වෙයි. නොසංසිඳුනේ වෙයි. රාජ කුමාරය, එහෙත් මට උපන්නාවූ මෙබඳුවූද දුක් වේදනාව කුසල් සිත විනාශ නොකළේය.

බෝසතාණන් වහන්සේ කලුරිය කළා යැයි සිතු දෙවිවරු.

“එකල්හි දේවතාවෝ මා දැක මෙසේ කීහ. ‘ශ්‍රමණ ගෞතම තෙම කළුරිය කළේය’. ඇතැම් දේවතා කෙනෙක් මෙසේ කීහ. ‘ශ්‍රමණ ගෞතමතෙම කළුරිය නොකෙළේය. එහෙත් කළුරිය කරන්නේය’ ඇතැම් දෙවතා කෙනෙක් ‘ශ්‍රමණ ගෞතම තෙම කලුරිය කළේත් නොවේ. කලුරිය කරන්නේත් නොවෙයි. ශ්‍රමණ ගෞතම තෙම රහත්ය. රහතුන්ගේ වාසය කිරීමකැ’යි කීහ.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

බෝධිරාජකුමාර සූත්‍රය – ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මජ්ඣිම පන්නාසකය » 4. රාජ වර්ගය