Ape Budu Hamuduruwo 276

අපේ බුදුහාමුදුරුවෝ 276 (සන්තිකේ නිධානය)

 

ප්‍රථම මාර්ගඵලලාභී කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු 01

ප්‍රථම සෝවාන් පුද්ගලයා

කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ එදින මුලින් ම මාර්ගඵල ප්‍රාප්ත ශ්‍රාවක යා යි. එම නිසා උන්වහන්සේ ට අඤ්ඤාකොණ්ඩඤ්ඤ, අඤ්ඤාසිකොණ්ඩඤ්ඤ යැ යි ද කියනු ලබනවා. ආඥාතකොණ්ඩිණ්‍ය යනු දඹදිව සියලූ සංස්කෘත පොත්හි එක සේ ම සඳහන්. එහි තේරුම “දැන ගත් කොණ්ඩඤ්ඤ” යනු යි.

බුදුරජාණන් වහන්සේ මෙලෙස අසීමිත වූ බුද්ධ ඤාණයෙන් කොණ්ඩඤ්ඤ භමුණා සත්‍යාවබෝධයට පැමිණි බව දැන දකුණත මෑත් කොට “මහණ, මෙහි එව, දුක් කෙළවර කරනු පිණිස මනා ව බ්‍රහ්මචර්යායෙහි යෙදෙව” යනුවෙන් ආමන්ත්‍රණය කරනු ලැබුවා. බුදුරජාණන් වහන්සේ නමක් මෙලෙස “මහණ, මෙහි එව, දුක් කෙළවර කරනු පිණිස මනා ව බ්‍රහ්මචර්යායෙහි යෙදෙව” යන වචනයෙන් යමකුට ආමන්ත්‍රණය කළ පමණින් හෙ තෙම සෘද්ධිමය අට පිරිකරින් සම්පූර්ණ වූ සැට අවුරුදු වයස් මහතෙර කෙනෙකුන් වැනි මනා ඉරියව්වෙන් යුක්ත වූ නිසි ප්‍රව්‍රජිත වේශය ඇත්තෙක් බවට පත්වන්නේ ඔහුගේ පෙර භාවයන් වූ කරනු ලැබූ මහත් වූ පුණ්‍ය බල මහිමයෙන්. ඔහු ගේ ප්‍රව්‍රජ්‍යාවත් උපසම්පදාවත් එලෙසම “ඒහි භික්ඛුපසම්පදා” යැ යි කියනු ලබනවා.

මේ ධර්මය ඇසීමෙන් කොණ්ඩඤ්ඤයන් වහන්සේ ට දහම් ඇස (ස්‍රෝත ආපත්ති මාර්ග නුවණ) පහළ වුනා.

“කිසිවකු විසින් අප්‍රතිවර්ත්‍ය වූ ධර්මචක්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් පවත්වන ලදැ” යි බුමාටු දේවතාවන් පටන් කොට බ්‍රහ්මකායික දෙවියන් තෙක් දෙව් බඹහු මහත් උද්ඝෝෂණ කලේ ලෝක ධාතු කම්පා කරමින්. කාලය ඉතිරි කර ගැනීමට ඒ ගැන ලියන්න යන්නේ නැහැ. ඔබට ධම්මචක්කපවත්වන සුත්‍ර දේශනාවේ අග කොටසෙහි ඒ සම්න්බන්දව කියවිය හැකියි. මෙලෙස එදින අප්‍රමාණ වූ උදාර දීප්තිමත් ය ආලෝකයෙක් සියලු දෙව් බඹුන්ගේ ආලෝක මැඩ ගෙන පවත්වාගෙන පැතිරෙන්නට පටන් ගත්තා. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “භවත්නි, කොණ්ඩඤ්ඤ තෙම සිවු සස් දැන ගත්තේ වේ යැයි ” දෙවරක් ප්‍රීති වාක්‍ය පහළ කළ සේක.

මේ තැන් පටන් කොට කොණ්ඩඤ්ඤයන් වහන්සේ අඤ්ඤාත කොණ්ඩඤ්ඤ නම් වුනා. මෙසේ සෝවාන් වූ කොණ්ඩඤ්ඤ තවුසාණෝ භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද හා උපසම්පදාව ඉල්ලා සිටියේ කල්ප ලක්ෂයක් පුරා පැමිණි ප්‍රර්ථනා සම්පුර්ණ කර ගැනීමට. එවිට “භික්ෂුව එව, ධර්මය ස්වාක්ඛ්‍යාතය, මනා කොට දුක් නසන පිණිස මඟ බඹසර පුරව”යි භාග්‍යවතුන් වහන්සේ වදාරනු ලැබුවා. එය ම කොණ්ඩඤ්ඤයන් වහන්සේගේ උපසම්පදාව ද වුන බව පවසනවා. ඉර බස්නට පෙරැ ම භාග්‍යවතුන් වහන්සේ ගේ දම් දෙසුම අවසන් වුනා. මෙ දින සිට වැසි සමය ඇරැඹුනා. එ බැවින් ඒ ඇසළ පුණු පෝදා සැන්දෑවෙහි “මේ වර්ෂා ඉර්තුවෙහි ඉසිපතන්හි ම වෙසෙමි” යි භාග්‍යවතුන් වහන්සේ සිතා ගත්තා.. මේ බුදුරජුන්ගේ පළමු වස් විසීම යි.

මම මෙම ලිපි පෙළ ලිවීමේදී බොහෝ සතුටක් ලැබුවේ බොහෝ දෙනා දන්නා පොදු කරුණු වලට වඩා නොදන්නා සැඟවුණු කරුණු අනාවරණය කිරීමෙන්. ඒ නිසාම එවැනි කරුණු වලට මුලිකත්වය ලබා දෙන්නට සිත ඇලුම් කළා. ධම්මචක්කපවත්වන සුත්‍ර දේශනාවෙන් පස්සේ අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ගැන තොරතුරක් මම අසා තිබුනේ නැහැ. ඒ නිසාම මම ගැන මේ මොහොතේ සොයන්නට පටන් ගත්තා. එය ඉතාම රසවත් කතවක් ඒ නිසාම ඒ කරුණු මේ අකාරයෙන් ඔබ වෙත ඉදිරිපත් කරනවා.

පදුමුත්තර බුදුරජාණන් වහන්සේ හමුවේ කල ප්‍රාර්ථනය.

උන්වහන්සේ පියුමතුරා (පදුමුත්තර) බුදුන්ගේ කාලයෙහි හංසවතී නගරයෙහි ගෘහපති මහාසාල කුලයෙහි ඉපිදලා හිටියේ. එක් දවසක් බුද්ධියෙන් මුහුකුරා ගිය බුදුන් සමීපයෙහි බණ අසන්නා වූ එක්තරා භික්ෂුවක් තමන්ගේ ශාසනයෙහි පළමුවෙන් ධර්මය අවබෝධ කර ගන්නවුන් අතරින් අග්‍රස්ථානයෙහි තබනු දැක තමා ද ඒ තනතුර ප්‍රාර්ථනා කරන්නට (සතසහශ්‍රයක්) ලක්ෂ්‍යයක් භික්ෂුන් පිරිවරාගත් භාග්‍යවතුන් වහන්සේට දවස් හතක් මහදන් පවත්වා ඒ උතුම් ප්‍රාර්ථනය උන්වහන්සේ හමුවේ එළිකලා . භාග්‍යවතුන් වහන්සේඥ ඔහුගේ වාසනා සම්පත්තිය බලා පැතූ සම්පත්තිය සඳහා විවරණ දුලබා දුන්නා. ඔහු දිවි ඇතිතෙක් පිංකොට ශාස්තෘන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි චෛත්‍යයන් පිහිටුවන්නේ ඇතුල් චෛත්‍යයෙහි රුවන් ගෙයක් කරවනු ලැබුවා. චෛත්‍ය පිරිවරා දහසක් රුවන් ඇබෑ කරවනු ලැබුවා.

විපස්සී බුදුරජාණන් වහන්සේ හමුවේ කරනු ලැබූ මහා දානමය පිංකම.

මෙසේ පිංකොට එයින් චුතව දෙවි මිනිසුන් අතර සැරිසරමින් විපස්සී බුදුන්ගේ කාලයෙහි ‘මහාකාල’ නම් වූ කෙළෙඹි

පුත්‍රයෙක් ව ඉපිද එක් ශස්‍ය වාරයකදී නවවරක් අග්‍රශස්‍යදානමය නම් වූ සුවිශේෂ දානමය පින්කම් මාලාවක් කරනු ලැබුවා.

අග්‍රශස්‍යදානය

  1. අට නැලියක් පමණ කුඹුරෙහි හැල්බඩ පලා ලබාගත් ඇල්සහලින් නොමුසු කිරිබතක් පිළියෙල කර එහි මී ගිතෙල් සකුරු ආදිය දමා බුදුන් ප්‍රමුඛ සංඝයාට දන් දෙනු ලැබුවා. ඔහුගේ පුණ්‍යමය බල මහිමය නිසා හැල්බඩ පලාගත් තැන නැවත නැවත් පිරුනා.
  2. ඉන්පසු ගොයම් මෝරණ විට පුථුකග්ග නම් අග්‍ර ශස්‍ය දානයක් දුන්නා.
  3. ගොයම් කපන කාලයේ ලායනගග නම් අග්‍ර ශස්‍යදානයක් දුන්නා.
  4. ගොයම් අකුලන වාරයේ වෙණිකරණ නම් අග්‍ර ශස්‍යදානයක් දුන්නා.
  5. මිටි බඳින දවසේ කලාපග්ග නම් අග්‍ර ශස්‍යදානය දුන්නා.
  6. වී පාහින දවසේ බටගග නම් අග්‍ර දානයක් දුන්නා.
  7. ගබඩා කරන දවසේ භාණඩගග නම් අග්‍ර ශස්‍ය දානයද
  8. මණින දවසේ මිනගග නම් අග්‍ර ශක්‍යදානයක්ද
  9. ගබඩාවල තැන්පත් කරන විට කොට්ඨගග නම් දානයක්ද දුන්නා.

මෙසේ එක ශස්‍ය වාරයකදී නවවරක් අග්‍රශස්‍යදානය දෙනු ලැබුවා. ඒ ශස්‍යය ද ප්‍රමාණයටත් වඩා වැඩි වුනා. මෙසේ දිවි ඇතිතෙක් පිංකොට එයින් චුතව දෙලොව ඉපිද දෙවියන් අතරද මිනිසුන් අතරද සැරිසරන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේට පළමුව කපිලවස්තු නගරයට නුදුරින් “ද්‍රෝණවත්ථු” නම් ගමෙහි බ්‍රාහ්මණ මහාසාර කුලයක උපන්නා. ඔහුට පරපුරෙන් කොණඩඤ්ඤ යන නම ගෝත්‍ර නාමය ලැබුනා.| ඔහු වැඩිවියට පත්ව ත්‍රිවේදය ඉගෙන අංග ලක්‍ෂණ මන්ත්‍රයන්හිද පරතෙරට ගියා. අපගේ බෝධිසත්වයන් වහන්සේ තුසිත පුරයෙන් චුතව කපිල පුරයෙහි සුද්ධෝදන මහරජුගේ නිවසේ ඉපිද නම් තබන දවසේ ආරාධිත එකසිය අටක් බමුණන් අතරින් අටදෙනෙක් අංග ලක්‍ෂණ විමසා බැලීම සඳහා ආරාධනා ලැබූවා. ඔවුනතරින් සියල්ලන්ටම වඩා නවකයෙක් වූ මේ බමුණා (කොණඩඤඤ) බෝසතුන්ගේ අංග ලක්ෂණ පරීක්ෂාකර ඒකාන්තයෙන් මොහු බුදුවන්නේ යැයි නිගමනය කර මහ බෝසතුන්ගේ අභිනිෂ්ක්‍රමණය බලාපොරොත්තුවෙන් හැසිරුනා.බෝසතාණන් වහන්සේද මහත් පිරිවර සහිතව වැඩෙන්නේ පිළිවෙළින් වයසින් මුහුකුරා ගියේ එකුන්තිස්වන වියෙහිදී මහාභිෂ්ක්‍රමණය කොට අනෝමා ගංතෙරදී පැවිදිවී පිළිවෙළින් උරුවේලාවට ගොස් ප්‍රධන් වීර්ය වැඩු බව ඔබ මීට ඉහත කියවූවා. ඒ කාලයේ කොණඩඤඤ මානවකයා බෝසතුන් පැවිදි වූ බව අසා ශරීර ලක්ෂණ බැලීමට ආ බමුණන්ගේ පුත්‍රයන් වූ වප්ප ආදී කුල පුත්‍රයන් සමග පැවිදිව පිළිවෙළින් බෝසතුන් සමීපයට පැමිණ වර්ෂ හයක් ඔහුට උපස්ථාන කොට අවසානයේ බුද්ධත්වයෙන් පසුව ඔහුගේ ප්‍රාර්ථනාව ඉටු කර ගත්තා. ඒ නිර්වාන මාර්ගය පළමුවෙන් සහ ඉක්මනින් අවබෝධ කොටගත් බුද්ධ ශ්‍රාවකයා හැටියටයි.

උපකාරක ග්‍රන්ථ

සංයුත්තනිකාය » සගාථාවග්ගපාළි » වඞ්ගීසසංයුත්තං » කොණ්ඩඤ්ඤ සූත්‍රය සහ අට්ඨ කතාව,

ඛුද්දකනිකාය » ථෙරගාථාපාළි » සොළසකනිපාතො » අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරගාථාව සහ අටුවාව

ඛුද්දකනිකාය » අපදානපාළි-1 » බුද්ධවග්ගො » අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරඅපදානය

අඞ්ගුත්තරනිකාය » එකකනිපාතපාළි » එතදග්ගවග්ගය » අඤ්ඤාකොණ්ඩඤ්ඤ එතදග්ග සූත්‍රය සහ එහි අටුවාව

Ape Budu Hamuduruwo 275

අපේ බුදුහාමුදුරුවෝ 275 (සන්තිකේ නිධානය)

 

මංගල ධර්ම දේශනයට

මිට ඉහත කී පරදී ලොව්තුරා බුදුපියාණන් වහන්සේ විසින් මුලුන්ම දේශනා කරනු ලැබුවේ අවවාදයක්. ඒ නිර්වාන මාර්ගය සඳහා පිවිසීමේදී අත්හළ යුතු අන්ත දෙක පිළිබඳවයි. ඉන් අනතුරුව නිර්වානය ශාක්ෂාත් කරගත හැකි මෙතෙක් වැළලී පවතී සත්‍යතා පිළිබඳවත් එම සත්‍යතා අවබෝධය තුලින් පියමැනිය යුතු මැදුම් පිළිවෙත පිළිබඳවත් කෙටි වූ ගාම්භීර වූ සියලුම බුද්ධ දේශනාවන්හි හරය කැටි වූ චතුරාර්‍ය සත්‍ය දේශනාව මේ අකාරයෙන් දේශනා කිරීමට පටන් ගත්තා. එය ඉතාමත් ප්‍රවේශමෙන් සුත්‍ර පිටකයේ ඇති අයුරින්ම දක්වන අතර ඔබහට තේරුම් ගැනීමට පහසුවන අයුරින් මෙලෙස බෙදා වෙනකොට සකසනු ලැබුවා.

චතුරාර්ය සත්‍ය දේශණාව

“මහණෙනි, මේ වනාහි තථාගතයන් විසින් අවබෝධ කරන ලද ප්‍රඥා චක්ෂුස ඇති කරන්නාවූ ඤාණය ඇති කරන්නාවූ කෙළෙසුන්ගේ සංසිඳීම පිණිස චතුස්සත්‍යයාගේ දැනීම පිණිස චතුස්සත්‍ය අවබෝධය පිණිස නිවන් පිණිස පවතින්නාවූ මධ්‍යම ප්‍රතිපදාව වෙයි.

“මහණෙනි, මේ වනාහි දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි.

1.ඉපදීම දුකය, 2.ජරාවද දුකය, 3. රෝගයද දුකය, 4. මරණයද දුකය, 5. අප්‍රියයන් හා එක්වීම දුකය, 6. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකය, 7. කැමති යමක් නොලැබේද, එයද දුකය. 8. සැකෙවින් පඤ්ච උපාදානස්කන්ධයෝම දුක් වන්නාහුය.

“මහණෙනි, මේ වනාහි දුක්ඛ සමුදයාර්ථර්‍ය්‍ය සත්‍යයයි.

නැවත නැවත ඉපදීම ඇති කරන්නාවූ නන්දිරාගය හා එක්වූ ඒ ඒ ආත්මභාවයෙහි ඇලෙන්නාවූ යම් ඒ තණ්හා වක් වේද, ඒ කවරේද යත්. 1.කාම තණ්හා වය, 2.භවතණ්හා වය, 3.විභව තණ්හා වයි යන මොව්හුයි

“මහණෙනි, මේ වනාහි දුක්ඛ නිරෝධ ආර්‍ය්‍ය සත්‍යයවේ.

යම් ඒ තණ්හා වගේ ඉතිරි නොකොට නිරුද්ධ කිරීමක් වේද, දුරු කිරීමක් වේද, නැති කිරීමක් වේද, මිදීමක් වේද, ආලය අත්හැරීමක් වේද එයයි.

‘මහණෙනි, මේ වනාහි දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්‍ය්‍යසත්‍යය වේ. එනම් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගමැයි. හේ කවරේද යත්? සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මොහුයි.

ඉන්පසු අප මහා බුදුපියාණන් වහන්සේ එම චතුරාර්ය සත්‍ය දෙශ්නාව තව දුරටත් මෙලෙස දොළොස් ආකාරයට විස්තාරණය කරනු ලැබුවා

චතුරාර්ය සත්‍ය පිලිබද දොලොස් ආකාර අවබෝධය (ද්වාදසාකාර තිපිරිවට්ටය)

  1. සච්චං (සත්‍ය ඤාණය )

“මහණෙනි, පෙර නොඇසූවිරූ ධර්මයන්හි මට මේ දුක්ඛ ආර්‍ය්‍ය සත්‍යයයි නුවණැස පහළවිය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය.

  1. පරිඤ්ඤෙය්යං ( කෘත්‍ය ඤාණය)

“මහණෙනි, පෙර නොඇසූවිරූ ධර්මයන්හි මට ඒ මේ දුක්ඛාර්‍ය්‍ය සත්‍යය පිරිසිඳ දත යුතුයයිනුවණැස පහළවිය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය.

  1. පරිඤ්ඤාතං ( කෘත ඤාණය)

“මහණෙනි, පෙර නොඇසූ විරූ ධර්මයන්හි මට මේ දුක්ඛ ආර්‍ය්‍ය සත්‍යය පිරිසිඳ දැනගන්නාලදැයිනුවණැස පහළවිය, ඤාණය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය.

  1. සච්චං ( සත්‍ය ඤාණය)

“මහණෙනි, මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි මේ දුක්ඛ සමුදය ආර්‍ය්‍ය සත්‍යයයි නුවණැස පහළවිය, ඤාණය ය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.

  1. පහාතබ්බං ( කෘත්‍ය ඤාණය)

“මහණෙනි, මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි ඒ දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය පහකළ යුතුයයිනුවණැස පහළවිය, ඤාණය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.

  1. පහීනං ( කෘත ඤාණය)

“මහණෙනි, මට පෙර නොඇසූ විරූ ධර්ම ඒ මේ දුක්ඛ සමුදය ආර්‍ය්‍ය සත්‍යය ප්‍රහීන කරනලදැයි නුවණැස පහළවිය, ඤාණය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.

  1. සච්චං ( සත්‍ය ඤාණය)

“මහණෙනි, පෙර නොඇසූවිරූ ධර්මයෙහි මට මේ දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යයයිනුවණැස පහළවිය, ඤාණය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.

  1. සච්ඡිකාතබ්බං කෘත්‍ය ඤාණය ( කෘත්‍ය ඤාණය)

“මහණෙනි, මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි මේ දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය ප්‍රත්‍යක්ෂකළ යුතුයයිනුවණැස පහළවිය, ඤාණය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.

  1. සච්ඡිකතං ( කෘත ඤාණය)

“මහණෙනි, මට පෙර නොඇසූවිරූ ධර්මයෙහි මේ දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය ප්‍රත්‍යක්ෂ කරන ලදැයිමට නුවණැස පහළවිය, ඤාණය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.

  1. සච්චං ( සත්‍ය ඤාණය)

“මහණෙනි, පෙර නොඇසූවිරූ ධර්ම විෂයෙහි මට මේ දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදා ආර්‍ය්‍ය සත්‍යයයිනුවණැස පහළවිය, ඤාණය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.

  1. භාවේතබ්බං ( කෘත්‍ය ඤාණය)

“මහණෙනි, පෙර නොඇසූවිරූ ධර්මය විෂයෙහි මේ දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදා ආර්‍ය්‍ය සත්‍යය වැඩිය යුතු යයිනුවණැස පහළවිය, ඤාණය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.

  1. භාවිතං ( කෘත ඤාණය)

“මහණෙනි, පෙර නොඅසන ලද ධර්මයන්හි මට දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්‍ය්‍ය සත්‍යය වඩනලදැයි නුවණැස පහළවිය, ඤාණය පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.

“මහණෙනි, මට යම්තාක් කල් මෙසේ පරිවර්ත තුනකින් යුතු (තිපරිවට්ට), දොළොස් ආකාරයක් ඇති මේ චතුස්සත්‍යයන්හි යථාභූතඤාණ දර්ශනය මනාව පිරිසිඳ නොවීද, මහණෙනි, ඒතාක් කල් මම දෙවියන් සහිතවූ බඹුන් සහිතවූ සත්ත්වලෝකයෙහිද මහණ බඹුන් සහිතවූ දෙවි මිනිසුන් සහිත ප්‍රජාව අතරෙහිද අනුත්තරවූ සම්‍යක් සම්බොධිය අවබෝධ කෙළෙමියි ප්‍රතිඥා නොකෙළෙමි.

“මහණෙනි, මට වනාහි යම් අවස්ථාවක මෙසේ පරිවර්ත තුනකින් යුතු (තිපරිවට්ට), දොළොස් ආකාරයක් ඇති, මේ චතුරාර්‍ය්‍ය සත්‍යයන්හි යථාභූතඤාණ දර්ශනය මනාව පිරිසිඳ වූයේද, මහණෙනි, මම එකල්හි දෙවියන් සහිත බඹුන් සහිත ලෝකයෙහිද මහණ බමුණන් ඇතුළු දෙවි මිනිසුන් සහිතවූ ප්‍රජාවෙහිද අනුත්තරවූ සම්‍යක් අවබෝධිය අවබෝධ කෙළෙමියි, ප්‍රතිඥා කෙළෙමි.

“මට වනාහි ඤාණ දර්ශනය පහළවිය. මාගේ අර්හත් ඵල විමුක්තිය වෙනස් කළ නොහැකිය. මේ අන්තිම ජාතිය වන්නීය. දැන් මට නැවත ඉපදීමක් නැත” භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

සතුටු සිත් ඇති පස්වග භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ. මේ සූත්‍රය දේශනා කරනු ලැබීමෙහිදී ආයුෂ්මත් අඤ්ඤා කොණ්ඩඤ්ඤ භික්ෂුවට කෙලෙස් රජස් නැති පහවූ කෙළෙස් මල ඇති ධර්මචක්ෂුස හෙවත් ශ්‍රොතාපත්ති මාර්ග ඤාණය පහළවූයේය (කෙසේද?) ‘යම් කිසිවක් ඇතිවීම ස්වභාවකොට ඇත්තේද, ඒ සියල්ල නැතිවීමද ස්වභාවය කොට ඇත්තේය’ කියායි,

“භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මචක්‍රය පැවැත්වූ කල්හි වනාහි භූමිය ඇසුරුකොට වසන දෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදාය නම්වූ ඉසිපතනාරාමයේදී ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ ලෝකයේ අන් කිසිවෙකු විසින් හෝ නොපැවැත්විය හැකි මේ අනුත්තරවූ ධර්මචක්‍රය පවත්වන ලදැයි” සාධුනාද පවත්වන්නට වුනා. මෙසේ ඒ ක්ෂණයකින් ඒ මොහොතින් අකනිට්ඨක බඹලොව දක්වා එම සාධුකාර ශබ්දය පැතිර ගියා. මේ දසසහශ්‍ර ලෝක ධාතුවම කම්පාවුනා. අතිශයින් කම්පාවුනා. මහත්සේ වෙව්ලා ගියා, දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා අප්‍රමාණවූ පහන්වූ ආලෝකයක් ලොවෙහි පහළවූවුනා.

උපකාරක ග්‍රන්ථ

සංයුත්තනිකාය » මහාවග්ගපාළි » සච්චසංයුත්තය » ධම්මචක්කප්පවත්තන වග්ගය » ධම්මචක්කප්පවත්තන සූත්‍රය , සංයුත්තනිකායට්ඨකතා

Ape Budu Hamuduruwo 274

අපේ බුදුහාමුදුරුවෝ 274 (සන්තිකේ නිධානය)

 

මංගල ධර්ම දේශනයට ප්‍රථම කරනු ලැබූ ප්‍රථම අවවාදය

දීපංකර සර්වඥ පාද මූලයෙහිදී කරන ලද ප්‍රාර්ථනාවෙහි පටන් පාරමිතා පුරමින් අනුපිළිවෙළින් පැමිණ අවසාන භවයෙහිදී සක්විති කිරුළ, ප්‍රියාදර බිරිඳ, කුළුදුල් දරුවා ආදී ලෞකික ජීවිතයක ලැබිය හැකි උතුම්ම වස්තූන් හැර දා අබිනික්මන් කොට අනු පිළිවෙළින් බෝ මැඩ වෙත පැමිණ එහි අපරාජිත පරියංකය මත හිඳිමන් මාර බල බිඳ ප්‍රථම යාමයෙහි පෙර විසූ කඳ පිළිවෙළ සිහිකොට, මධ්‍යම යාමයෙහි දිවැස් පිරිසිදු කොට, පශ්චිම යාමයේ අවසානයෙහි දස දහසක් ලෝක ධාතුව මහත් සේ නාද කරවමින් සර්වඥභාවයට පැමිණ, සති සතක් බෝ මැඩ අසල කල් යවා දහම් දෙසීම සඳහා මහා බ්‍රහ්මයා විසින් ආරාධනා කරන ලද පසුව බුදු ඇසින් ලොව බලා ලෝකයට අනුග්‍රහ කිරීමේ අදහසින් බරණැසට ගොස් පස්වග තවුසන් දැනුවත් කරවා දම්සක් පවත්වනු කැමැත්තාහු ඒ තවුසන් හට මෙලෙස ආමන්ත්‍රණය කරන ලදී.

දෙවමෙ භික්ඛවෙ අන්තා, මෙලෙස සම්මා සම්බුදුවරයෙකු විසින් ප්‍රථම වරට ලෝකයා හමුවේ තැබූ මංගල උපදෙස වා තලය හා මුසුවී විශ්වය පුරා පැතිර ගියා. එනම් “මහණෙනි, මෙම ලාමක වූ අන්ත දෙකක් පවතී” මේ කියමන ප්‍රකාශ කිරීම සමග ම එම ප්‍රකාශයේ මහ හඩ යටින් අවීචියෙහි පටන් උඩින් භවාග්‍රය දක්වා විහිදී දස දහසක් ලෝක ධාතුවෙහි පැතිරී සිටියේය. එවිටම අටළොස් කෙළක් බ්‍රහ්මයෝ පැමිණිය.එකල්හි භාග්‍යවතුන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රය මෙලෙස අරඹනු ලැබුවා.

නිවන කරා ගමන් කරන පුද්ගලයෙකු විසින් අත්හළ යුතු අන්ත දෙක

“මහණෙනි, පැවිද්දා විසින් සේවනය නොකළ යුතු අත්හළ යුතු මේ අන්ත දෙකෙළවරකි. එනම් ලාමකවූ ගැමියන්ට අයත්වූ පෘථග්ජනයන්ට අයත්වූ උතුම් නොවූ අනර්ථය පිණිස පවතින්නාවූ වස්තු කාමයන්හි ක්ලෙශ කාමය කරණකොට යම් ඇලී වාසය කිරීමක් වේද, දුක්වූ ලාමකවූ අනර්ථය පිණිස පවත්නාවූ යම් ඒ කයට දුක් ගෙන දෙන පිළිවෙතක යෙදීමක් වේද යන මේ අන්ත දෙකය.

“මහණෙනි, ඒ මේ දෙකෙළවරට නොපැමිණ තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ප්‍රඥාචක්ෂුව ඇති කරන්නාවූ, ඥානය ඇති කරන්නාවූ මධ්‍යම ප්‍රතිපදාව, කෙලෙසුන්ගේ සංසිඳීම පිණිස, චතුස්සත්‍යය දැනීම පිණිස, චතුස්සත්‍යය අවබෝධය පිණිස, නිවන් පිණිස පවතිත්.

“මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දාවූ ප්‍රඥා චක්ෂුව ඇති කරන්නාවූ ඥානය ඇති කරන්නාවූ කෙළෙසුන්ගේ සංසිඳීම පිණිස චතුස්සත්‍යයාගේ දැනීම පිණිස චතුස්සත්‍යය අවබෝධය පිණිස නිවන් පිණිස පවතින්නාවූ ඒ මධ්‍යම ප්‍රතිපදාව කවරීද?

“එය වනාහී මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ කවරේදයත්?

1.සම්‍යක් දෘෂ්ටිය, 2.සම්‍යක් සංකල්පනාවය, 3.සම්‍යක් වචනය, 4.සම්‍යක් කර්මාන්තය, 5.සම්‍යක් ආජීවය, 6.සම්‍යක් ව්‍යායාමය, 7.සම්‍යක් ස්මෘතිය, 8.සම්‍යක් සමාධිය යන මොහුයි.

“මහණෙනි, මේ වනාහි තථාගතයන් විසින් අවබෝධ කරන ලද ප්‍රඥා චක්ෂුස ඇති කරන්නාවූ ඥානය ඇති කරන්නාවූ කෙළෙසුන්ගේ සංසිඳීම පිණිස චතුස්සත්‍යයාගේ දැනීම පිණිස චතුස්සත්‍ය අවබෝධය පිණිස නිවන් පිණිස පවතින්නාවූ මධ්‍යම ප්‍රතිපදාව වෙයි.

“දෙව මෙ භික්ඛවෙ අන්තා” මහණෙනි, මේ අන්ත දෙකක් පවතී ” ගිහි සංයෝජන බිඳ (පබ්බජිතෙන) පැවිදි බිමට පැමිණි තැනැත්තා විසින් භාවිත නො කළ යුතු (සෙවිතබ්බා) යෝචායං කාමෙසු කාම සුඛල්ලිකානු යොගො = වස්තු කාමයහි ලේශ කාමයෙන් යුතුව කාමසුඛයෙහි යෙදීම නම් වූ මෙය හීනෝ = ලාමක වූ ගම්මා = ගම් වැසියන් හට අයත් පොථුජ්ජනිකො = මෝඩ, නුවණ අඩු මිනිසුන් විසින් පුරුදු කරන ලද්දාවූ අනරියො = පිරිසිදු නොවූ, උතුම් නොවූ. උතුමන් හට අයත් නොවු අනත්ථ සංහිතො = යහපත සඳහා නොයෙදුණා වූ යන අරුත

උපකාරක ග්‍රන්ථ

සංයුත්තනිකාය » මහාවග්ගපාළි » සච්චසංයුත්තය » ධම්මචක්කප්පවත්තන වග්ගය » ධම්මචක්කප්පවත්තන සූත්‍රය , සංයුත්තනිකායට්ඨකතා

Ape Budu Hamuduruwo 273

අපේ බුදුහාමුදුරුවෝ 273 (සන්තිකේ නිධානය)

 

ප්‍රථම මහා සමාගම සහ මංගල ධර්ම දේශණය ආරම්භය

දස දහසක් සක්වළ ගිගුම්දුන් දම්සක්පැවතුම් දේශනාවේ ප්‍රථම හඬ

මෙලෙස අප මහා බුදුපියාණන් වහන්සේ බරණැස්නුවර සමීපයෙහි වූ මිගදාය නම් වූ ඉසිපතනාරාමයට වැඩම කරනු ලැබුවා. ඒ සරාසන්ඛේයිය කල්පලක්ෂයක් පෙරුම් පුරා අප තථාගත භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ලෝක සත්වයා සතර දුකින් මුදවාලීමට ඉතා දුක්ගැහැට විඳ රැගෙන පැමිණි නිර්වාන මාර්ගය ප්‍රථම වතාවට දේශණා කිරීමට. එම දේශණාව ධම්මචක්කප්පවත්තන සූත්‍රය නමින් හැඳින්වෙනවා. මෙහි ධම්ම නමින් හැඳින්වෙන්නේ තථාගත ධර්මයට. චක්ක නමින් හැඳින්වෙන්නේ චක්‍රයට, රෝදයට. පවත්තන නමින් හැඳින්වෙන්නේ ප්‍රවර්තනය කියන එක. ප්‍රවර්ථනය කියන්නේ ඉදිරියට කරකවන යන අර්ථය ගෙන දෙන්නක්. ආවර්ථනය කියන්නේ එහි විරුද්ධාර්ථය පසුපසට පෙරලීම යන්නයි. තථාගතයන් වහන්සේ සම්‍යක් සම්බෝධියට පත්වුණේ යම් දවසකද එදින සිට මහා පරිනිර්වාණය දක්වා ගතකල කාලය තුල යම් වචනයක් දේශණා කලේද එය අතීත, වර්තමාන අනාගත යන කාල යාත්‍රාවේ කිසිවෙකුට හෝ ආපස්සට කැර

කිය හැරවිය නොහැකි, වෙනස් කල නොහැකි, බොරු කල නොහැකි, ලෙස ඉදිරියට ම ප්‍රවර්තනය වන බැවින් පවත්තන නම් වනවා. ඒ නිසාම අප මහා බුදුපියාණන් වහන්සේ තථාගත නමින්ද හඳුන්වනවා. ජනතාව වෙත පෙරලා හල එමෙන්ම ප්‍රථම වතාවට සම්ප්‍රේෂණය කල සූත්‍රය බැවින් මෙය ධම්මචක්කප්පවත්තන සූත්‍රය නම් වනවා.

බරණැස් නුවර නම සැදුනු සැටි

මෙම සුත්‍ර දේශණාව පවත්වනු ලැබුවේ බරණැස් නුවර ඉසිපතනා රාමයේ මිගදායේ. පුරාණ ඉන්දියාවේ ගංගා දෙකක් තිබුණා. ඒ ගංගා දෙකෙහි නම “වරුණ” සහ “අසී”. මෙම ගංගා දෙක මැදිකොට මිනිසුන් විසින් නගරයක් තනනු ලැබුවා. මෙම නගරය මිනිස්සු හැඳුන්වුයේ “වාරාණසී” කියලා. එයට පාලියෙන් කියන්නේ බාරාණසී කියල. සිංහලෙන් කියන්නේ බරණැස් නුවර කියලා. බරණැස් නුවර තුබුණා ඉසිපතනය කියලා තැනක්. ඉසිපතනය කියන්නට හේතු දෙකක් තිබුණා . එකක් තමයි පුරාණයේ වැඩසිටි. පුරාණයේ වැඩ සිටි පසේ බුදුරජාණන් වහන්සේලා ස්කන්ධ පරිනිර්වාණය ට පැමිණෙන විට උන් වහන්සේලා අහසට පැන නැගිලා පිරිනිවන් පානවා, එතකොට ඒ එක්කම උන්වහන්සේලාගේ ශාරීරික කොටස් සතර මහා ධාතූන් සමග එකතු වී එතනම අතුරුදහන් වෙනවා, හැබැයි උන් වහන්සේලාගේ සිවුරු බිමට වැටෙනවා, එම පසේබුදුවරුන්ගේ සිවුර බිමට වැටෙන තැන ඉසිපතන ලෙස හැඳින්වූවා, ඉස්සර පසේ බුදුරජාණන් වහන්සේලා හඳුන්වලා තියෙන්නේ ඉසි කියන නාමයෙන්.

ඉසිපතන නම සැදුනු සැටි

තවත් හේතුවක් තමයි ඉස්සර හිමාල කැලේ වැඩ සිටියා හිත දියුණු කරගත් අභිඥාලාභී සෘෂිවරු. උන්වහන්සේලාගේ ආහාර රටාව වෙනස් ගස් වල ගෙඩි කොළ පොතු ජාති කොළ මුල් තම්බලා වැළඳුවා. එකම රසකාරක යයි දැම්මෙ ඒ ලුණු, කැලේ ලුණු නැති නිසා ලුණු ඉවර වුණාම මේ සෘෂිවරුන් වහන්සේලා මොකද කරන්නේ අහසින් ඇවිත් බිමට බහිනවා අන්න ඒ බිමට බසින තැන ඍෂිවරු පතනය වන තැන ඉසිපතනය කියලා කිව්වා.

මිගදාය නම සැදුනු සැටි

මේ ඉසිපතනෙ තිබුණා මුවන්ට අභය දානය දුන්න තැනක්, ස්වර්ණ මිග ජාතකයෙහි සඳහන් වන කතාවකටත් අනුව බරණැස් නුවර කියන්නේ බොහෝම පැරැණි නගරයක්. ඒ නගරයේ තිබූ ඉසිපතනයේ කොටසක් වෙන්කර තිබුණා මුවන් සඳහා අභය දානය සඳහා. එම ප්‍රදේශය හඳුන්වනු ලැබුවේ ඉසිපතන මිගදාය නමින්. මුවන් කියන්නේ ඉතාම අහිංසක සතුන් ජාතියක්. ඉතින් එහෙම අහිංසක සතුන්ට අභයදානය දුන් ඉසිපතන මිගදායේ සුන්දර වන ලැහැබක තමයි පස් වග මහනුන් වැඩසිටියේ. මේ පස්වග මහණුන් සොයා බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයට වැඩම කොට ලෝක සත්වයන් සසර දුකින් එතෙර කිරීමේ ඒ මහා කර්තවයට මෙලෙස මුල පිරුවා.

ප්‍රථම මහා සමාගම

“භික්ඛූ ආමන්තෙසි, ද්වෙමෙ, භික්ඛවෙ, අන්තා” “මහණෙනි, මෙම ලාමක වූ කොටස් දෙකක් පවතී” මේ කියමන ප්‍රකාශ කිරීම සමග ම එම ප්‍රකාශයේ මහ හඩ යටින් අවීචියෙහි පටන් උඩින් භවාග්‍රය දක්වා විහිදී දස දහසක් ලෝක ධාතුවෙහි පැතිරී සිටියා. එවිටම අටළොස් කෙළක් බ්‍රහ්මයෝ පැමිණියා. අවර දිගින් හිරු බැස යන අතර පෙර දිගින් ආසාහ නැකතින් යුතුව පුන්සඳ නැග එයි. මල් සුවඳින් උපන් මදයෙන් මුදිත ව හඩ නඟන බමර කැල ගෙන් ද, අතු අගැ රඟ දෙන මයුර පංක්තීන්ගෙන් ද සෙසු සියලු පක්ෂි නාදයනට නිගා දී හඩ නඟන කෝකිල සමූහයා ගෙන් දැ යි අනේක පක්ෂි කුලයන්ගෙන් හා මෙය නිරුපද්‍රිත යැ”යි දැනැ පෙම් කෙළිමින් සිය දරුවන් කැටි ව දිව පැන ඇවිදුනා මුවන්ගෙන් ද මෙසේ අනේක විධ මෘග පක්ෂි ගණයා ගෙන් සවස් කාලයෙහි ඍෂිපතනය රඟ බිමෙක ශ්‍රී ඉසිලුවා. කොන්ඩඤ්ඤ භද්දිය වප්ප මහානාම අජ්සජී යන තවුසෝ පස් දෙන එක් එළිමහන් පෙදෙසක රැස් වී සිටියා. ඔවුනට මුහුණ ලා භාග්‍යවතුන් වහන්සේ අනුපමේය බුද්ධශ්‍රීන් බබළමින් අස්නෙකැ වැඩසිටියා. එ කෙණෙහි බොහෝ දිව්‍ය බ්‍රහ්ම යක්ෂ සමූහයෝ ගලා එන මහ වතුරක් සේ සියුම් වෙස්ගෙන එහි රැස් වන්නට වුණා.

භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී මුඛය විවෘත කොට බ්‍රහ්ම ස්වර විහිදුවා දම් දෙසන්නට ආරම්භ කරනු ලැබුවා. පරිසරය පුරා ඒතාක් පැවැති සියලු ශබ්ද නැවතී දැඩි නිශ්ශබ්දතාවෙක් ඇති වුනා සියලු මෘග පක්ෂීහු ද නිහඬ ව හුන් තැන ම හිඳ උන් වහන්සේ ගේ මධුර කට හඬට කන් යොමු කළා. .

සද්ධර්මවර චක්‍රවර්ති වූ ද්විපදෝත්තම ශාක්‍යසිංහ සාමිදරුවන් වහන්සේ පස්වග තවුසන් අමතා මෙසේ වදාරනු ලැබුවා.

“භික්ඛූ ආමන්තෙසි, ද්වෙමෙ, භික්ඛවෙ, අන්තා” “මහණෙනි, මෙම ලාමක වූ කොටස් දෙකක් පවතී”

උපකාරක ග්‍රන්ථ

මජ්ඣිමනිකාය » සංයුත්තනිකාය » මහාවග්ගපාළි » සච්චසංයුත්තං » ධම්මචක්කප්පවත්තනවග්ගො » ධම්මචක්කප්පවත්ත සූත්‍රය,

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය, සංයුත්තනිකායට්ඨකථා

Ape Budu Hamuduruwo 272

අපේ බුදුහාමුදුරුවෝ 272 (සන්තිකේ නිධානය)

 

“රහත් බවට පත් මා වැන්නෝ ඒකාන්තයෙන් ජින නම් වෙති. උපකය, සියලු පාපයෝ මා විසින් දිනන ලදහ. එ හෙයින් මම ජින වෙමි” යි යනුවෙන් වදාරනු ලැබුවා. එය ඇසූ උපක ආජීවකයා “එසේත් විය හැකි යි, ඇවැත්නි” යි කියා හිස සලා භාග්‍යවතුන් වහන්සේට වඩිනට මඟ හැරැ (පාරෙන් අයින් වැ) දකුණු දෙසට, යන්නට ගියා. භාග්‍යවතුන් වහන්සේ ද උතුරු දෙස බලා වඩිමින් ගයා පෙදෙස ඉක්මැ රෝහිතවාස්තු, උරුවිල්වාකල්ප, අරුණාලය, සාරථිපුර ආදී ග්‍රාමනිගමයන් පසු කොට ගංගා නදියෙන් එ තෙරැ වී බරණැස් නුවරට වැඩම කරනු ලැබුවා. මේ වනාහි ඇසළ පුණු පොහෝ දිනයද වුණා.

ඉසිපතන වැඩීම

සවස් කාලය වනවිට භාග්‍යවතුන් වහන්සේ නගරයට නොදුරු වූ ඉසිපතනයට සමීප වෙමින් සිටියා. හදිසියේම පස්වග තවුසන්ගේ ඇස ඈත වඩිනා භාග්‍යවතුන් වහන්සේ ශාන්ත දර්ශණය වෙත යොමුවුනා. එහෙත් ඔවුනට ඇතිවුණේ වැරදි හැඟීමක්. එතැන් සිට බුද්ධ වචනයෙන්ම අරියපරියෙසන සුත්‍රයේ සඳහන් වන අයුරින් ම මෙලෙස ලියන්නම්.

“මහණෙනි, ඉක්බිති මම පිළිවෙලින් ගමන් කරනුයේ බරණැස් නුවර ඉසිපතනයෙහි මිගදාය නම් ස්ථානය යම් තැනෙක්හිද පස්වග මහණහු යම් තැනෙක්හිද, එතැනට පැමිණියෙමි. මහණෙනි, පස්වග භික්ෂූහු එන්නාවූ මා දුරදීම දුටුවාහුය, දැක එකිනෙකා මෙසේ කථා කරගත්හ. ඇවැත්නි, මේ ශ්‍රමණ ගෞතමතෙම චීවරාදී ප්‍රත්‍ය බහුලකොට ඇති බවට පැමිණ වීර්ය කිරීමෙන් පිරිහී චීවරාදි ප්‍රත්‍ය බහුලභාවයට පෙරළී සිට එන්නේය. ඔහු නොවැඳිය යුතුය. ඔහුට පෙර ගමන් නොකළ යුතුය, ඔහුගේ පාත්‍ර සිවුරු නොපිළිගත යුතුය. එහෙත් අස්නක් පැනවිය යුතුය. කැමතිනම් වාඩිවන්නේය.

 “මහණෙනි, මා ළංවන්නට ළංවන්නට පස්වග මහණහු ස්වකීය කතිකාවෙහි සිටීමට අසමර්ථ වූහ. ඇතැම් කෙනෙක් මට පෙරගමන් කොට පාත්‍ර සිවුරු පිළිගත්තාහුය. ඇතැම් කෙනෙක් අසුන් පැනවූහ. ඇතැම් කෙනෙක් පා සෝදන දිය තැබූහ. එතකුදු වුවත් මට ‘ගෞතම’ යන නමින්ද ‘ඇවැත්නියයි’ ද කථාකරති. මහණෙනි, එසේ කී කල්හි මම පස්වග මහණුන්හට මෙසේ කීයෙමි.

මහණෙනි, තථාගතයන් හට නම කියමිනුත් ‘ඇවැත්නි, කියමිනුත් කථා නොකරව්. “මහණෙනි, තථාගත තෙම රහත්ය. සම්‍යක් සම්බුද්ධය. ධර්ම ශ්‍රවණයට කන් නමව්. නිර්වාණය අවබෝධ කරන ලදී. මම අනුශාසනා කරමි. මම ධර්මය දේශනා කරමි. අනුශාසනය පරිදි පිළිපදින්නාවූ කුලපුත්‍රයෝ යම් නිර්වාණයක් පිණිස මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද මාර්ග බ්‍රහ්මචර්යාව අවසාන කොට ඇති නිරුත්තරවූ ඒ නිර්වාණය මේ ආත්මයෙහිම තුමූ නුවණින් දැන, ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරව්යයි’ කීයෙමි.

“මහණෙනි, මෙසේ කී කල්හි පස්වග භික්ෂූහු මට මෙසේ කීවාහුය. ඇවැත්නි ගෞතමයෙනි, ඔබ ඒ දුෂ්කර ඉරියව් පැවැත්වීමෙනුත් ඒ දුෂ්කර පිළිවෙත් පිරීමෙනුත් ඒ දුෂ්කර ක්‍රියාවෙනුත් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්ය භාවය ඇති කිරීමට සමර්ථ නුවණක් නොලැබුයෙහිය. දැන් බොහෝ සිවුරු පිරිකර ඇතිව වීර්ය කිරීමෙන් පිරිහී සිවුරු ආදිය බහුල කොට ඇති බවට හැරී සිටිමින් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්ය භාවය ඇති කිරීමට සමර්ථ නුවණක් ලබන්නෙහි දැයි, කීහ.

“මහණෙනි, මෙසේ කී කල්හි මම පස්වග මහණුන්හට මෙසේ කීයෙමි. ‘මහණෙනි, තථාගත තෙම චීවරාදිය බහුල කොට වීර්ය කිරීමෙන් පිරිහුනේ නොවේ, බාහුලික බවට වැටුනේ නොවේ. මහණෙනි, තථාගත තෙම රහත්ය. සම්‍යක් සම්බුද්ධය. ධර්ම ශ්‍රවණයට කන් නමව්. නිර්වාණය අවබෝධ කරන ලදී. මම අනුශාසනා කරමි. මම ධර්මය දේශනාකරමි. අනුශාසනය පරිදි පිළිපදිමින් කුලපුත්‍රයෝ යම් නිර්වාණයක් පිණිස මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති නිරුත්තරවූ ඒ නිර්වාණය මේ ආත්මයෙහි තුමූ නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරව්යයි’ කීයෙමි.

මෙලෙසම දෙවනුවත් තෙවනුවත් පසවග බමුණන් බුදුරජාණන් වහන්සේට පවසන්නට වුනා. ඒ සියල්ලටම ඉහත සඳහන් ආකාරයටම පිළිතුරුදුන් අප බුදුපියාණන් වහන්සේ තුන්වැනි වරත් එසේ පවසන විට ඔවුන්වෙත පෙරළා මෙලෙස ප්‍රශ්ණයක් යොමුකරනු ලැබුවා.

“මහණෙනි, මා විසින් මීට පෙර මෙබන්දක් කියන ලදැයි දන්නහුද?

 නැත ස්වාමීනි,

‘මහණෙනි, තථාගත තෙම චීවරාදිය බහුල කොට ඇත්තෙක් නොවේ. වීර්ය කිරීමෙන් පිරිහුනේ නොවේ. බාහුලික බවට වැටුනේ නොවේ. මහණෙනි, තථාගතතෙම රහත්ය, සම්‍යක් සම්බුද්ධය, ධර්ම ශ්‍රවණයට කන් නමව්, නිර්වාණය අවබෝධ කරන ලදී. මම අනුශාසනා කරමි. මම ධර්මය දේශනාකරමි. අනුශාසනය පරිදි පිළිපදිමින් කුල පුත්‍රයෝ යම් නිර්වාණයක් පිණිස ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවෙත්ද මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති නිරුත්තරවූ ඒ නිර්වාණය මේ ආත්මයෙහිම තුමූ නුවණින් දැන, ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරව්යයි’ කීයෙමි.

“මහණෙනි, මා බුදුවූ බව පස්වග මහණුන්හට අඟවන්නට මම සමර්ථ වීමි. යනුවෙන් දෙශනා කරනු ලැබුවා.

පස්වග තවුසෝ භාග්‍යවතුන් වහන්සේ බුදුබව ලත් බැවින් ම මෙසේ වදාරන සේකැ” යි පිළිගනු ලැබුවා. පිළිගෙන ඒ අසිරිමත් ධර්ම ශ්‍රවණයට සැරසෙන්නට වුණා.

උපකාරක ග්‍රන්ථ

මජ්ඣිමනිකාය » මූලපණ්ණාසපාළි » ඔපම්මවග්ගය » අරියපරියෙසන සූත්‍රය,

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය

Ape Budu Hamuduruwo 271

අපේ බුදුහාමුදුරුවෝ 271 (සන්තිකේ නිධානය)

 

මංගල ධර්ම දේශණය සඳහා සුදුස්සන් සෙවීම

මෙලෙස ලෝක ධර්මතාවයනට අනුව බුදුරජාණන් වහන්සේට ආරාධනය කරනු ලැබූ සහම්පතී මහා බ්‍රහ්මරාජෝත්තමයන් වහන්සේ නික්ම ගිය පසු අප තථාගත බුදුපියාණන් වහන්සේ විසින් මහත් වූ කරුණාවෙන් යුක්තව මෙලෙස ලොව දෙස බලන්නට විය. එය තවදුරටත් සුත්‍ර දේශනාවේ උන්වහන්සේගේ වචනයෙන්ම මෙලෙස විස්තර වෙනවා.

“මහණෙනි, ඒ මට මෙසේ සිත්විය. කවරෙකුට මම මේ ධර්මය පළමුවෙන් දේශනා කරන්නෙම්ද? කවරෙක් මේ ධර්මය වහා අවබෝධ කරගන්නේද? මහණෙනි, ඒ මට මේ ආළාරකාලාම තෙම පණ්ඩිතය, නුවණැත්තේය. බොහෝ කලක් මුළුල්ලෙහි ස්වල්පවූ රාගාදී කෙලෙස් ඇත්තෙක. යම් හෙයකින් මම ආළාරකාලාමහට පළමුකොට ධර්මය දෙසන්නෙම් නම් හෙතෙම මේ ධර්මය වහාම අවබෝධ කර ගන්නේයයි, සිත් විය. මහණෙනි, එකල්හි දෙවතාවෙක් මා කරා එළඹ ස්වාමීනි, ආළාරකාලාමතෙම මින් සත්දවසකට පෙර කාලක්‍රියා කළේයයි’ කීය. මටද ආළාරකාලාම තෙම සත්දවසකට පෙර කාලක්‍රියා කෙළේය යන ඥානය පහළවිය.

“මහණෙනි, ඒ ආළාරකාලාමහට වූයේ මහත් පිරිහීමකි. ඉදින් හෙතෙම මේ ධර්මය ඇසූයේ නම් වහාම අවබෝධකරගන්නේයයි සිත් විය.

“මහණෙනි, ඒ මට මම කවරෙකුට පළමුව ධර්ම දේශනා කරන්නෙම්ද? කවරෙක් මේ ධර්මය වහා අවබෝධ කරන්නේදැයි සිත් විය. මහණෙනි, ඉක්බිති මට මේ උද්දක රාමපුත්තතෙම පණ්ඩිතය, නුවණැත්තේය. බොහෝ කලක් මුළුල්ලෙහි ස්වල්පවූ රාගාදී කෙලෙස් ඇත්තෙක යම් හෙයකින් මම උද්දකරාම පුත්තහට පළමුකොට ධර්මය දෙසන්නෙම් නම් හෙතෙම මේ ධර්මය වහාම දැනගන්නේ යයි අදහස් විය. මහණෙනි, එකල්හි දෙවතාවෙක් මා කරා එළඹ ස්වාමීනි, උද්දකරාම පුත්ත තෙම ඊයේ රාත්‍රි කාලක්‍රියා කෙළේයයි කීය. උද්දකරාම පුත්ත ඊයේ රාත්‍රි කාලක්‍රියා කෙළේය යන ඥානය මටද පහළ විය. ඒ මට කවරෙකුට මම පළමුව ධර්මදේශනා කරන්නෙම්ද? කවරෙක් මේ ධර්මය වහා අවබෝධ කර ගන්නේදැයි අදහස් විය. මහණෙනි, ඒ මට මේ කල්පනාව ඇතිවිය. යම් කෙනෙක් මට ප්‍රධාන වීර්ය කරන කාලයෙහි උපස්ථාන කළාහුද ඒ පස්වග භික්ෂූහු මට බොහෝ උපකාරී වූහ. මම පළමුකොට පස්වග මහණුන්හට ධර්මදේශනා කරන්නෙම් නම් යෙහෙකි. මහණෙනි, ඒ මට දැන් පස්වග මහණහු කොතැන්හි වෙසෙත් දැයි අදහස් විය. මහණෙනි, මම පිරිසිදුවූ මිනිස් ඇස ඉක්ම පැවැත්තාවූ දිවැසින් බරණැස් නුවර ඉසිපතනයෙහි මිගදාය නම් ස්ථානයෙහි වාසය කරන්නාවූ පස්වග භික්ෂූන් දුටුවෙමි.

“මහණෙනි, ඉක්බිති මම උරුවෙල් දනව්වෙහි කැමතිතාක් කල් වාසයකොට බරණැස යම් තැනෙක්හිද එතනට යන්නට පිටත් වුනෙමි.

උරුවේලායෙන් පිටත් වීම සහ උපක අජිවකයන් හමු වීම

 භාග්‍යවතුන් වහන්සේ කිහිප දිනක් මෙලස බෝ මැඩ අසලැ වාසය කොට, ඉන්පසු, බරණැස් නුවර බලා අටළොස් යොදුන් මහ මඟට පිළිපනු ලැබුවා. මෙසේ වඩනා උන්වහන්සේට බෝ මැඬටත් ගයාවටත් අතරෙහි දී උපක නම් ආජීවකයෙක් හමු වුණා. ඔහු බුදුරජාණන් වහන්සේ දැක පැහැදී, “ආයුෂ්මතාණෙනි, ඔබ ගේ ඇස් ආදී ඉන්ද්‍රියයෝ ඉතාම ප්‍රසන්නයි. ශරීර වර්ණය පිරිසිඳුය. ඔබ කිනම් ශාස්තෘවරයක්හු උදෙසා පැවිදි වූ ද නොහොත් ඔබ ගේ ශාස්තෘන් වහන්සේ කවරෙක් ද? කාගේ ධර්මයෙක් ඔබට රිසියෙයි දැ?” යි අසනු ලැබුවා.

එ විට ඔහුට පිළිතුරු දෙන භාග්‍යවතුන් වහන්සේ,

“සියලු ත්‍රෛභූමක ධර්මයන් මැඩ පැවැත්වූ සියලු චාතුර් භූමක ධර්මයන් දැනගත්තාවූ, සියලු ත්‍රෛභූමික ධර්මයන්හි නොඇලුණාවූ, සියලු ත්‍රෛභූමික ධර්මයන් පහකළාවූ, නිවන් අරමුණු කිරීමෙන් භවයෙන් මිදුණාවූ, මම තෙමේම චතුස්සත්‍යය අවබෝධකොටගත හෙයින් අනික් කවරෙකු ගුරුවරයා යයි දක්වන්නෙම්ද?

“මට ගුරුවරයෙක් නැත. මට සමාන වූවෙක්ද නැත. දෙවියන් සහිතවූ ලෝකයෙහි මට සමාන පුද්ගලයෙක් නැත. ලෝකයෙහි මම රහත් පුද්ගලයෙක් වෙමි. මම නිරුත්තරවූ ශාස්තෘ වෙමි. කෙලෙස් ගිනි නිවීමෙන් සිසිල්වූ එහෙයින්ම නිවුණාවූ අසහායවූ සම්මාසම්බුද්ධ වෙමි.

“අවිද්‍යාවෙන් අන්ධවූ ලෝකයෙහි අමෘත බෙරය ගසමින් ධර්මචක්‍රය පැවැත් වීම සඳහා කසීරට බරණැස් නුවර බලා යමි,

එවිට උපක ආජීවකය මෙලෙස පවසනු ලැබුවා.

“ඇවැත්නි, ඔබ යම්සේ ප්‍රකාශ කෙරෙහිද එසේ නම් ඔබවහන්සේ අනන්තජින නම් වන්නට සුදුසුය.”

 බුදුපියාණන් වහන්සේ උන්වහන්සේව හඳුන්වා දුන් සැටි

“උපකය, යම් කෙනෙක් අන් අයෙකුගේ උපකාරයකින් තොරව, තමා විසින්ම නිවණට පැමිණියාහුද ඒකාන්තයෙන් එබඳු මා වැන්නෝ ජිනනම් වෙත්. මා විසින් පාපධර්මයෝ දිනන ලදහ. එහෙයින් මම ජින නම් වෙමි’යි දේශණා කරනු ලැබුවා.

එහෙත් ඔහු හට ඒ මොහොත වනවිටත් ධර්මාබෝධයට පින මෝරා තිබුනේ නැහැ. ඒ නිසාම බුදුරජුන් එසේ කි කල උපක නම් ආජීවකතෙම ‘ඇවැත්නි, එසේත් විය හැකියයි’ කියා හිස වනා අන් මඟකින් තමා පැමිණි අරමුණු කරා යන්නට ගියා.

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය පොතෙහි උපග්‍රන්තයන්හි තවදුරටත් මෙලෙස සඳහන් වෙනවා.

බෝ මැඩටත් ගයාවටත් අතර තුන් ගව්වක් ඇතුළත දී හමු වූ බව පපංචසුදනී පාසරාසි සූත්‍ර අටුවායෙන් පෙනේ. උපක ආජීවකයා වංගහාර ජනපදයට ගොස් එහි වැදි ගමෙක, තමා අර්ධපාල නම් රහත් කෙනෙකැයි හඟවා කලක් වැස ඉක්බිති ඔවුන් කෙරේ කලකිරී බුදුරජාණන් වහන්සේ ජේතවනයෙහි වසන කල එහි ගොස් පැවිදිව විදසුන් වඩා අනාගාමි විය.

උපකාරක ග්‍රන්ථ

මජ්ඣිමනිකාය » මූලපණ්ණාසපාළි » ඔපම්මවග්ගය » අරියපරියෙසන සූත්‍රය,

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය