Ape Budu Hamuduruwo 372

අපේ බුදුහාමුදුරුවෝ 372 (සන්තිකේ නිධානය)

 

ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත්

මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු. 08

ක්ෂයවන කුසලය යලි පුර්ණය කරදෙන පින්වත් බිරිදෑවරු.

ඉතින් මේ ආකාරයෙන් පූර්ව පිනෙහි මහිමයෙන් මේ යුවළ රාජකීය සත්කාර විදිමින් රාජ්‍ය පාලනය කරන්න වුනා. ඔහුගේ දිවිය රජකෙනෙකුට වඩා තපස් පවිද්දෙකුට සමාන වුනා. ඒ නිසාම ඔහුගේ ප්‍රියාදර බිරිඳ ඔහුව සමහර වෙලාවට ආමන්ත්‍රණය කලේ තපස්තුමිනි කියලා. ඇයත් ඔහු හා සමානව සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩී සිටියා. ඒ නිසාම ඇයට මෙය අතීත කුසල විපාකයක මල්පල ගැන්වීමක් එහෙත් එය දිනෙන් දිනම ක්ෂ්යවමින් පවතින්නක් බවද පෙනී ගියා. මෙසේ කාලය ගතවෙද්දී එක් දිනක් දේවිය රජුගේ මේ මහා සැප සම්පත් දැක, ‘අහෝ තවුස්තුමනි’යි ඉතාම කුළුණුබර බවක් දැක්වූවා. මෙය දුටු රජතුමා දේවිය, කිමෙක්දැ’යි ඇසුවේ විමතියෙන්. දේවයන්වහන්ස, අප විසින් විඳිනු ලබන සැපත් ඉමහත්. අතීතයෙහි බුදුවරුන් සඳහා අපි යහපත් දේ කරනු ලැබුවා. එහෙත් දැන් අනාගතයට හේතුවන්නාවූ කුසල් කිසිවක් අප අතින් සිදුවන්නේ නැහැ. එවිට රජතුමා “දේවීය අප කවරකුට දෙන්නෙම්ද? “දැන් එවැනි සිල්වත්හු නැතැයි” කීයා සිටියා. පින්වත් බිරිඳක් හැමදාම තම ස්වාමියාට යහමග පෙන්නුවා. සුගතිය කරා යන පාර කියා දුන්නා, අකුසලයෙන් වැලකුවා කුසලය වැඩුවා පමණක් නෙවෙයි පාරමී ගුණ දම් පුරන්නට මග දෙපස එලිය කරන මහා පහන්වැටක් වුනා. ඇය එවිට මෙලෙස උත්තර දුන්නා.

“දේවයන්වහන්ස, දඹදිව රහතුන්ගෙන් හිස් නැහැ. නුඹවහන්සෙ දානය පමණක් පිළියෙළ කළ මැනවි. මම රහතුන්වහන්සේලා ලබමැයි” කීයා සිටියා. ඒ කියූ සැණින්ම රජතුමා දෙවැනි දිනයෙහි පෑළදිග දෙරටුවෙහි දානය පිළියෙළ කරවනු ලැබුවා. දේවිය උදැසනින්ම පෙහෙවස් අංග සමාදන් වුණා. ඉන්පස්සේ මතු මහල්තලයෙහි පෙරදිගට මුහුණලා සමාධිමත් සිතෙන් දැඩි අදිෂ්ඨානයකට එළඹුනා. මෙම දිසාවෙහි යම් අයුරින් බුදු පසේබුදු මහරහතන්වහන්සේලා වැඩ සිටීද මාගේ ආරාධනය පිළිගෙන මෙම දානය සඳහා වැඩම කෙරේවා!” යනු ඒ ආරාධනාවයි. එහෙත් කිසිම සඥාවක් නැහැ. කිසිම කෙනෙකු ඒ දිශාවෙන් වැඩම නොකරන නිසා එම දිශාවෙහි රහතුන් නොසිටන බව දැක ” මේ දිශාවෙහි රහත්වරු නොවූහ. ඒ සත්කාරය දුගී වාචකයන්ට දෙන්නෙමි”. යනුවෙන් සිතුවා.

දෙවැනි දිනයෙදීත් දකුණු දොරටුවෙහි දානය පිළියෙළ කොට එසේම කරනු ලැබුවා. එහෙත් කිසිවෙකුත් වැඩියේ නැහැ. එදත් ඒ දානය දුගී මගී යාචකයන් උදෙසා පිළිගන්වනු ලැබුවා. තුන්වන දිනයෙහි පැසුළු දිග

දොරටුවෙහි සියල්ල පිළියල කරනු ලැබුවා. එදත් එලෙසමයි. දේවියගේ සිතට බියක් දැනෙන්නටත් ඇති. අවසානයේ උතුරු දොරටුවෙහි දානය පිළියෙළ කළ දිනයෙහි දේවිය එසේම ඇරයුම් කරනු ලැබුවා. එදින ඇයගේ අභිප්‍රාය ඉෂ්ඨ වුණා. හිමවතෙහි වසන්නාවූ පදුමවතියගේ පුතුන්වූ පන්සියයක් පසේබුදුවරුන් අතුරෙන් දෙටුවූ මහාපදුම පසේබුදුන්වහන්සේ දිවැසින් ඇයගේ අභිප්‍රාය ඇරයුම දුටුවා. උන්වහන්සේ එය දැන තම සොහොයුරන් ඇමතූවා. ‘ඇවැත්නි, නන්‍දරජතෙමේ නුඹවහන්සේලා ඇරයුම් කරයි. ඔහුගේ අරයුම පිළිගනුමැනවැයි කියා සිටියා.

 උන්වහන්සේලා එය පිළිගෙන අනෝතත් විලෙහි මුවසෝදා අහසින් අවුත් උතුරු දොරටුවෙහි ඉදිරියෙන් බිමට වැඩියා. මෙය දුටු මිනිස්සු වහා ගොස්, “දේවයනවහන්ස, පසේ බුදුවරු පන්සියයක් ආවාහුය’යි” රජුට සැළකොට සිටියා. රජතෙමේ දේවිය සමඟ ගොස් වැඳ පාත්‍රය ගෙන පසේබුදුවරුන් පහයට නංවා එහි උන්වහන්සේලාට දානයදී සියලු කටයුතු අවසන් වූ පසු රජතුමා සංඝස්ථවිරයන් වහන්සේගේ ද දේවිය සංඝනවකයන්වහන්සේගේද පාමුලෙහි සිට, කාරුණික ඉල්ලීමක් කරනු ලැබුවා. ‘ආර්‍ය්‍යයන්වහන්සේලා ප්‍රත්‍යයන්ගෙන් ක්ලාන්ත නොවන්නාහුය. අපි පිනෙන් නහමු. අපට දිවි ඇති තෙක් මෙහි විසීමට පිළිණ දෙනුමැනවැයි” ඒ ඇරයුමයි. ඒ පසේ බුදුපියාණන් වහන්සේලා ඒ ආරාධනය පිළිගත්තා. රජතුමා ඒ ආයාචනය පිළිගත් සැනින්ම උයනෙහි පනසල් පන්සියයක්ද, සක්මන්මළු පන්සසියක් දැයි වශයෙන් සියලු අයුරින් වාසය කිරීමට සුදුසු තැන් සපයා එහි වැස්වූවා.

උපකාර වූ මුලාශ්‍ර

මහාකාශ්‍යප තෙරණුවෝ අඞ්ගුත්තර නිකාය එතදග්ග පාළිය පළමුවෙනි වර්‍ගය

මහාකස්සප ස්ථවිරගාථා වර්ණනාව කුදුගත් සඟිය අටුවාවෙහි ථේරගාථා අටුවාව චත්තාලීසනිපාතය

Ape Budu Hamuduruwo 371

අපේ බුදුහාමුදුරුවෝ 371 (සන්තිකේ නිධානය)

 

ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත්

මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු. 07

ඒක සාටක බුමුණා වශයෙන් තමන්ට හිමි එකම සළුව දන්දීමෙහි කුසල විපාකයෙන් රාජ්‍යයකට දුහුල් සළු ලැබීම.

ඔවුන් දෙදෙනා එලෙස බොහෝ කලක් සැපවත්ව ජීවත්ව එයින් නික්ම ස්වර්‍ගයෙහි ඉපිද එයින් චුතව බරණැසින් යොදුනක් පමණවූ තැනක එක්තරා ඇමතිකුලයක උපන්නා. සිටු කන්‍යාවද දෙව්ලොවින් චුතවී රජකුලයෙහි දෙටු දියණියව උපන්නා. එකට සංසාරයේ යන අය එහෙමයි. එකිනෙකා පසුපසින් ම අත්වැල් බැඳගෙන යනවා.

ඔවුන් ක්‍රමක්‍රමයෙන් වියපත් වුණා. ඒ කාලයේම හදිසියේ රජතුමාද මියගියා. ඒ කාලයේ කුමරා වසන ගමෙහි නැකැත් කෙලියක් ප්‍රකාශවුණා. සමහරවිට අලුත් රජකෙනෙකුව තෝරාගන්න වෙන්නට ඇති. එයට හේතුව වුනේ රජතුමාට දුවෙකු මිස පුතෙකු නොසිටීමයි. නැකැත් කෙලි සදහා සහභාගී වූවන් තමන් සතු මිළෙන් අධික ඉහලම වටිනා සළුවක් පැළඳගෙන තමයි ඒ සඳහා සහභාගී වුනේ කියල මෙම ඉතිහාස කතා කියවනවිට දකින්නට ලැබෙන සුලභ දසුනක්. ඉතින් ඔහු මෑණියන්ට මෙහෙම කිවා, ‘මෑණියනි, මට සළුවක් දෙන්න. නැකත් කෙළියට යන්න. ඇය සේදූ පිරිසිදු වස්ත්‍රයක් ඔහුට ගෙනවුත් දුන්නා. ‘මෑණියනි, මෙය රළුය’යි පුතා කියා සිටියා. යා වෙනෙකක් ගෙනවුත් දුන්නා. ඔහු එයද ප්‍රතික්‍ෂ්ප කළා. අම්ම දුන්නේ ඒ තමන් සතුව තිබුන හොදම සළුව. එහෙත් ඔහු එයින් සතුටට පත්වුණේ නැහැ. ඉන්පස්සේ මව ඔහුට, ‘දරුව යම්බදු ගෙයක අපි උපන්නාහු වෙම්ද එහි මීට වඩා මුදුමොළොක්වූ වස්ත්‍රයක් ලැබීමට අපට පිණක් නැතැ’යි යනුවෙන් කියා සිටියා. ‘මෑණියන් එසේනම් මම ලබන තැනකට යන්නෙමි” ඔහුත් කියා සිටියා. දැන් ඔහු යන්නට සැරසෙනවා. අසරණ අම්මා ඔහුට හදපත්ලෙන්ම ආශීර්වාදයක් කළා. පුත මම අද ඔබට බරණැස් නුවරෙහි රාජ්‍යප්‍රතිලාභය කැමති වෙමි’. කොයි අම්මාද ආසා නැත්තේ තමන්ගේ පුතා රජවෙනවා බලන්නට. ඔහු මවට වැඳ ‘මෑණියනි, යමි’යි කියා සිටියා. ‘දරුව යව’යි ඇයද අවසර දුන්නා. එහෙත් ඇයට මෙහෙමත් සිතුනා. මෙයා කොහි යන්නද සළුවකුත් නැතිව., ගෙදර හෝ ඒ අවටට වෙලා ඉඳලා ඒවි. එහෙත් ඔහුගේ අතීත පින්කම්වල බලය මෙහෙයවීමෙන්ම ගෙයින් නික්මුණු ඔහු බරණැසට ගොස් එහි උයනෙහි මඟුල්ගල් තලාවෙහි හිසසිට පොරවා සැතපිලා සිටියේ සළුවක් නැතිව කළහැකි දෙයක් නොමැතිව. එදා හරියටම බරණැස රජුගේ කළුරිය කිරීමෙන් සත්වැනි දිනයයි. අම්මා සමහරවිට අර ඉහතින් කියූ ආශීර්වාදය කරන්නට ඇත්තෙත් ඒ නිසාම විය හැකියි.

ඇමැතිවරුත් ඉතාමත් ගෞරවාන්විතව රතුමාගේ අදාහන කටයුතු රාජකීය ගෞරව සහිතව අවසන් කළා. දැන් විශාල ප්‍රශ්නයක්. ‘රජුට එක් දියනියක් පමණක්නේ සිටියේ ඉතින් රජකම ගන්න රාජ්කුමාරයෙක් නැති අඩුව මතු වුණා. රජකුනැති රාජයය නොමනායි. කවරෙක් රජ වන්නේද ඔබ වේවා! ඔබ වේවායි සාකච්ඡා කළා. එහෙත් සුදුස්සෙක් සොයාගන්නට බැරි වුනා. බොහෝ කල් බලාසිටීමත් නොවටීයි. එය රජ්‍යයකට අනතුරු දායකයි. රජතුමෙකු සොයාගැනීමට අපි රාජරථය පිටත් කර හරින්නෙමු’යි පුරෝහිත තුමා පැවසුවා. ඔවුන් කුමුදු පැහැති අසුන් සිවු දෙනකු යොදවා පඤ්චවිධරාජකකුධභාණ්ඩද සේසතද රථයෙහිම තබා රථය පිටත් කොට පිටුපසින් තුර්‍ය්‍යභාණ්ඩ වාදනය කරමින් ගමන් කළා. රථය නැගෙනහිර දොරින් නික්ම උයනට අභිමුඛ වූණා. ‘යම් කෙනෙක් උයනට අභිමුඛව නිදනවා. නවත්වමු’යි ඇතමෙක් කීවා . පුරෝහිත තෙමේ ‘නොනවත්වමු’යි අණ කළා. එහෙත් රථය කුමරුවා පැදකුණු කොට නංවාගැනීමට සුදාණමින් සිටිය. සෙලවුනේ නැහැ. පුරෝහිත තුමාට ඒ නිසාම ඔහුව පරික්ෂා කිරීමට සිදු වුණා. කවුද මේ? පොරෝණයෙහි කොණ මෑත් කොට පාදතලයන් බලනවිට මේ දිවයින පමණක් නෙවෙයි මෙවැනි දෙදහසක් දිවයින් පිරිවර කොට ඇති සතර දිවයිනම ඒකරාජ්‍යය කිරීමට සුදුස්සෙක් මොහු කියා දේහලක්ෂණ වලින් පෙනී ගියා. හරිම සතුටුයි. පුරෝහිතයාගේ අනින් යළිදු තූර්‍ය්‍ය භාණ්ඩ වාදනය කෙරෙන්නට වුනා. තෙවරක් තූර්‍ය්‍යභාණ්ඩ මෙලෙස වාදනය කෙරුනේ අදහස සඵල වුනු බව අන් අයට දන්වන්නට වෙන්නට ඇති.

මේ සද්දෙට කුමරුවා මුහුණ විවෘත කොට බලා “දරුවනි කුමන කටයුත්තකින් පැමිණියහුදැයි අසා සිටියා. ‘දේවයන් වහන්ස, නුඹට රාජ්‍යය පැමිණෙයි’ ඔවුන් පැවසුවා. රජු කොහිද? ඔහු ඇසුවා. ‘දේවත්වයට ගියේයෙ’යි ඔවුන් පවසා සිටියා. ‘දින කීයක් ඉක්මුණේද?’ ‘අද සත්වැනි දිනයයි.’ ‘පුතෙක් හෝ දුවක් හෝ නැද්ද?’ ‘දේවයිනි, දියණියක් ඇත. පුතෙක් නැත.’ ‘රජ්‍යය කරමි’යි ඔහු කිවා. ඔවුන් එකෙණෙහිම අභිෂේක මණ්ඩපයක් කරවා රාජ දියණිය සියලු අලංකාරණයන්ගෙන් සරසවා උයනට පමුණුවා කුමරුවාට අභිෂේක කරනු ලැබුවා.

ඉන්පස්සේ රාජ පුරෝහිතයා විසින් අබිසෙස් කරනලද ඔහුට දහසක් වටිනා සිනිදු රාජකීය වස්ත්‍රයක් පිළිගැන්නුවා. ඒත් ඔහුටනම් එය රාජකියත්වයෙන් දැනුනේ නැහැ. කොටින්ම කියතොත් අම්මා දුන් සළුවයි එයයි අතර වෙනසක් නැතිවා වාගෙයි.

 ඔහු එවිට දරුවනි, මේ කිමෙක්දැයි අසා සිටියා. ‘දෙවයන් වහන්ස, හඳිනා වස්ත්‍රයකැ’යි ඔවුන් පිළිතුරු දුන්නා. ‘දරුවනි, රළු නොවේද? වෙනත් වඩා සියම් වූවක් නැද්ද’යි ඔහු ඇසුවා. මිනිසුන් පරිභෝගකරන වස්ත්‍ර අතුරෙහි මීට වඩා සියුම් වූවක් නැතැයි ඔවුන් පවසා සිටියා. ‘නුඹලාගේ රජතුමා මෙබඳුවූ වස්ත්‍රයක් හැන්දේද?’ ‘එසේය, දේවයිනි’, ‘නුඹලාගේ රජතුමා පින් ඇත්තෙකැයි නොහඟිමි’යි රන් කෙණ්ඩිය ගෙනෙවු, වස්ත්‍රයක් ලබමු’යි ඔහු කියා සිටියා.

ඔවුන් රන් කෙණ්ඩිය ගෙන ආවා. හෙතෙම නැඟිට අත් දොවා මුවසෝදා අතින් දිය ගෙන පෙරදිගෙහි විසිරවනු ලැබුවා. ක්ෂණයකින් ඝනපොළොව බිඳී කප්රුක් අටක් පැන නැංඟ. යළි දිය ගෙන දකුණය, අපරදිගය, උතුරය යනමෙසේ සතර දිගෙහි දිය විසිරවනු ලැබුවා. සියලු දිශාවන්හි අට අට බැගින් කප්රුක් තිස්දෙකක් පැන නැගී සිටියා. ඔබ දන්නවා කප්රුක කියන්නේ සිතු පැතූ සම්පත් ලබාදෙන දිව්‍යමය රුකක් බව. ඔහු පළමුව එයින් එක් දිව්‍යමය එක් දිව්‍ය වස්ත්‍රයක් හැඳ එකක් පොරවා මින් ඉදිරියට ‘නන්‍ද රජුගේ රාජ්‍යයෙහි නූල් කටින ස්ත්‍රීහු නූල් නොකටිත්වායි” මෙසේ බෙර හසුරුවයි කියා ඡත්‍රය ඔසවා අලංකාරයෙන් සරසන ලද ඇතුපිටට නැග නුවරට පිවිසියා.ඒක සාටක බුමුණා වශයෙන් තමන්ට හිමි එකම සළුව දන්දීමෙහි කුසල විපාකය නැවත නැවතත් සසරෙහි මෙලෙස ඵල ගැනුණා. රාජමාලිගයට සපැත්වුන ඔහු මහා සැප සම්පත් විදිමින් රජකම් කරනු ලැබුවා. අකුසල විපාක වගේම පුන්‍යවිපාකත් සසරේ පසුපස හඹා එමින් ඵල දෙන්නේ ඔන්න ඔහොමයි.

උපකාර වූ මුලාශ්‍ර

මහාකාශ්‍යප තෙරණුවෝ අඞ්ගුත්තර නිකාය එතදග්ග පාළිය පළමුවෙනි වර්‍ගය

මහාකස්සප ස්ථවිරගාථා වර්ණනාව කුදුගත් සඟිය අටුවාවෙහි ථේරගාථා අටුවාව චත්තාලීසනිපාතය

Ape Budu Hamuduruwo 370

අපේ බුදුහාමුදුරුවෝ 370 (සන්තිකේ නිධානය)

 

ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු. 06

ඉන් අනතුරුව ඒ අඹුසැමි යුවළද දිවි ඇතිතෙක් කුසල් කොට දෙව්ලොව ඉපිද නැවතත් ඉන් නික්මී මේ මහා භද්‍ර කල්පයේම කාශ්‍යප සම්මාසම්බුදුන් වහන්සේගේ කාලයෙහි බරණැස අසූකෙළක් ධනය ඇති සිටිවරයකුගේ පුතෙක් වී, ඇය එබඳුවූම වූ සිටුවරයකුගේ දියණියක් වීද උපන්නා. හරිම පුදුමයි ඒ දෙන්නගේ සංසාර බැඳීමත්. වැඩිවිටය පත් ඔහුට ඒ සිටු දුවම විවාහය සඳහා කැඳවාගෙන ආවා. එහෙත් තවමත් ඇයට පූර්ව භවයේ පසේබුදුරජාණන් වහන්සේට පාත්තරය පුරවා පල්වූ මඩවලකින් ගත් මඩ දුන් විපාකය විපාක දීමට අවස්ථාව යෙදී තිබුනේ නැහැ දෙවුලොවම සිටි නිසා. එහි විපාකය පටන් ගත්තේ මේ මොහොතේ. පෙර නොදුන් විපාක ඇති ඒ කර්‍මයාගේ ආනුභාවයෙන් පතිකුලයට පිවිසි කෙණෙහි එළිපත්ත තුළදීම ඇයගේ සියලු සිරුර තුලින් විවර කළ වැසිකිළියක් මෙන් දු ගඳ සතර දිග විසිර යන්නට වුනා. සිටු කුමරා මේ කාගේ ගඳක්දැයි විමසා සිටිනවිට කුමරියන්ගේයයි අසා ‘ගෙන ගොස් හැරලව’යි පැමිණි රියෙන් ම කුල ගෙයට නැවතත් හරවා යවනු ලැබුවා. ඇයව මෙලෙස පලවා හැරීමෙන් පසු සිටුවරයා තවත් විවිධ පුද්ගලයින්ට විවාහ කොට දුන්නා. අවසානයේ ඒ සත් තැනෙන් ම පෙර පරිදි ම ආපසු හරවා එවනු ලැබුවා ය.

ඒ කාලයේම කාශ්‍යප දශබලයන් වහන්සේ පිරිනිවන් පානු ලැබුවා. උන්වහන්සේට ඝන පාෂාණ සුණෙන් කළ බිමින් යුතුව රත්‍රන් ගඩොලින් යොදුනක් උස චෛත්‍යයක් ගොඩනැඟීමට අරඹුවා. ඒ චෛත්‍යය කරවන විට ඒ සිටුදුවට මෙහෙම සිතුනා. මම සත් තැනෙක්හි ආපසු හරවා එවනු ලැබූවා. ඉතින් මට ජීවිතයෙන් කවර වැඩක්ද, එලෙස සිතු ඇය තමාගේ ආභරණ භාණ්ඩ උණු කොට රියනක් දිග වියනක් පළල අඟල් සතරක් උස රන් ගඩොලක් කරවනු ලැබුවා. සමහර බුද්ධෝත්පාද කාල වල ආයුෂ අවුරුදු ලක්ෂයක් තරමටම දීර්ඝ මෙන්ම මිනිසුනුත් නිරෝගීයි කෙලෙස් අල්පයි, ඊට සාපේක්ෂව විශාලයි. ඉතින් ඒ චෛත්‍ය කෙරුනෙත් මහා විශාලට. එවැනි දීර්ඝායුෂ ඇති බුදුරජාණන් වහන්සේලා පිරිනිවීමෙන් පසු ධාතු විසිරෙන්නේ නැහැ. එකට ඝනව පිහිටනවා. ඉතින් ඒ නිසාම නිමවෙන්නේ එකම එක චෛත්‍යයක්. එයත් මහ විශාලයි. මිනිසුන් නිමකරන චෛත්‍ය වටකොට දෙවියන්ද බඹුන්ද චෛත්‍ය හදන නිසා එහි විශාලත්වය මෙතෙකැයි කියන්නට බැහැ. මේ ලිපි පෙලෙහිම මිට පෙර එවැනි චෛත්‍යයක් ගැන විස්තර කොට තියෙනවා. ගඩොලක් මෙතරම් විශාල වන්නට ඇත්තේ එවැනිම විශාල චෛත්‍යයක් නිසා වෙන්නට ඇති.

ඉතින් ඇය හිරියල් මනෝසිලා පිඬක් ගෙන උපුල් බඳුන් අටක් රැගෙන චෛත්‍යය කරන තැනට ගියා. ඒ වෙලාවේ එක් ගඩොල් පෙළක් පිරිකෙව් කොට එන්නා වූ සම්බන්‍ධක ගඩොලක අඩුවක් ව පැවතියේ හරියටම මේ රත්‍රන් ගඩොලට ඉඩ සලසා බලා සිටියා වගේ. සිටුදුව ‘මේ ගඩොල මෙහි තබව’යි වඩුවාට කීවා. ‘මෑණියනි, සොඳුරු වේලාවෙහි පැමිණියා වෙහි. තමාම තබන්නැ’යි වඩුවා කීයා සිටියා.ඇය හිරියල් මනෝසිලා තෙලෙන යොදා ඒ බදාමෙන් ගඩොල පිහිටුවා ඒ මත්තෙහි උපුල්බඳුන් අටින් පුදා වැඳ උපනුපන් තැන කයින් සඳුන්සුවඳ හැමේවා මුවින් උපුල් සුවඳ හැමේවායි ප්‍රාර්‍ත්‍ථනා කොට චෛත්‍යය වැඳ පැදකුණු කොට යන්නට ගියා.

ඒ එක්කම හරිම පුදුම සිදුවීමක් වුණා. ඇයව ප්‍රථමයෙන්ම සරණපාවා දුන් සිටු පුත්‍රයාට හදිසියේම ඇයව සිහිවුණා. ඒ මොහොතේ නගරයේද නැකත් කෙළියක් ප්‍රකාශවුනා. ඒ සඳහා රාජ රාජ අමාත්‍ය ආදී සියලු ප්‍රභූවරු සහභාගී වනවා. ඔහුද ඒ සඳහා පැමිණ සිටියා. දැන් ඔහුට යෝජනා කල සිටු දියනියත් මෙහි පැමිණිය යුතුයි. ඔහුගේ සිත කීවා. මෙහි කැඳවාගෙන එන ලද සිටුදුව කොහි ඇද්දැ’යි ඔහු උපස්ථායකයන්ගෙන් ඇසුවා. ‘ස්වාමීනි, කුලගෙහිය’යි ඔවුහු කියා සිටියා. ‘ඇය කැඳවාගෙන එන්න. ඇය හා සමග නැකත් කෙළි කෙළිමි’යි ඔහු පැවසුවා. උපස්ථායකයන් ඒ කියූ වහාම ඇය වෙත පැමිණියා. ඔවුන් පැමිණ ඇය අසල සිටිනවිට ‘දරුවනි, කුමක් නිසා පැමිණියහුදැයි’ඇය විසින් විමසා සිටියා. එවිට ඔවුන් නැකත් කෙළි සඳහා ඔබ තුමියව රැගෙන එන ලෙස සිටුතුමා ආරාධනය කල බව පවසා සිටියා. එහෙත් එවැනි උත්සව සභාවකට යන්න තරම් දැන් ඇය සතුව ස්වර්ණාභරණ නැහැ. ඒ සියල්ල පූජා කරලා. ‘දරුවනි, මවිසින් අබරණ බඩුවලින් චෛත්‍යය පුදනලදී. මට එවැනි උත්සවයකට යන්නට අබරණ නැතැ’යි කීකල්හි ඔවුන් ගොස් සිටුපුත්‍රයාට ඒ බව සැළ කොට සිටියා. ‘ඇය කැඳවාගෙන එවු, පළඳනා ලබාදෙන්නෙමු ’යි එවිට සිටුතුමා පවසා සිටියා. ඔවුන් ඇයව කැඳවාගෙන එනු ලැබුවා. ඇය පැමිණීමත් සමග පුදුම දෙයක් වුණා. ඇය ගෙට පිවිසීමත් සමඟම මුළු ගේ පුරාම සඳුන් සුවඳද නිලුපුල් සුවඳද හමා ගියා.

සිටුපුත්‍රයාට හරිම පුදුමයි. ඔහු ඇයගෙන් මෙලෙස විමසා සිටියා., “පළමුව නුඹේ සිරුරෙන් දුගඳ හැමීය. දැන් නුඹගේ සිරුරෙක් සඳුන් සුවඳ හමයි. මුවින් උපුල්සුවඳ හමයි. මේ කිමෙක්දැ’ . ඕතොමෝ මුල පටන් තමා විසින් කළ කී දෑ ඔහුට විස්තර කරන්නට වුණා. එවිට සිටු පුත්‍රයා ‘බුදුසසුන ඒකාන්තයෙන්ම සැපතට පමුණුවනසුලුය’යි ඒ රන්සෑය යොදුනක් පමණ උසවුණා. ඔහු එය ඒ හා සමාන උසවූ කම්බිලි සැට්ටයකින් වසා ඒ ඒ ස්ථානයන් රියසක් පමණවූ රන්පියුමින් අලංකාර කළා.. ඒ රන්පියුම් දොළොස් රියනක් පුරා විහිද ගියා. කොතරම් ලස්සනට තිබෙන්නට ඇතිද?. ඒ වෙන කවුරුත් නෙවෙයි. අපේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පූර්ව එක ජන්ම භවයක්. ඔවුන් දෙපළ එහි ආයුෂ ඇති තෙක් සිට ස්වර්‍ගයෙහි යලිත් උප්පත්තිය ලැබුවා.

උපකාර වූ මූලාශ්‍ර

මහාකාශ්‍යප තෙරණුවෝ අඞ්ගුත්තර නිකාය එතදග්ග පාළිය පළමුවෙනි වර්‍ගය

මහාකස්සප ස්ථවිරගාථා වර්ණනාව කුදුගත් සඟිය අටුවාවෙහි ථේරගාථා අටුවාව චත්තාලීසනිපාතය

Ape Budu Hamuduruwo 369

අපේ බුදුහාමුදුරුවෝ 369 (සන්තිකේ නිධානය)

 

ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබදව ඔබ නොදත් කරුණු. 05

පසේ බුදුවරයකුගේ පාත්‍රයට මඩ පුරවාදුන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පූර්ව ආත්මභාවයේ බිරිඳ

මෙම සංසාරය කොතරම් දිර්ඝද? අනතුරුදායකද? කියල මේ කතාව කියවනවිට හිතෙනවා. මෙතරම් දීර්ඝ අතීත කතාපුවතක් මම මීටපෙර කියවලා නැහැ. මේ තවමත් ලියන්නේ අපේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ අතීත කතා පුවත්. ඒත් මෙය වෙනස් කතා පුවතක්.

උන්වහන්සේ නැවතත් පෙර පරිදිම කල්ප ගණනක් දෙව්ලොව වල සැරි සරලා මේ මහා භද්‍ර කල්පයේ කොණාගමන භාග්‍යවතුන් වහන්සේගේ ද කාශ්‍යප දශබලයන් වහන්සේගේ ද යන බුදුවරුන් දෙනොගේ අතර කාලයෙහි බරණැස කෙළෙඹි ගෙයක උපන්නා. මේ සිද්ධිය වෙන කාලයේ ඔහු වැඩිවියට පැමිණ ගිහිගෙයි වාසයකරමින් සිටියේ. එක් දිනයක ඔහු යම් හේතුවක් මත කැලයේ සැරිසරන්නට වුනා. ඒ කාලයේ ඒ වනාන්තරය මැදින් ගලාගිය නදීතෙර ඇසුරු කරමින් පසේබුදුවරු වැඩවාසය කළා. සමහරක් අයට වාසනාව කොයි මොහොතේ හෝ මතුවන්නේ ඔවුන්ගේ පෙර කුසලයටම වෙන්න ඇති. ඔවුන් එය ඉක්මනින්ම හිමිකරගන්නටත් පසුබට වෙන්නේ නැහැ. එත් සමහර අවාසනාවන්තයින් අන්ධයිනට මුණගැසුන මැණික් වගේ අතටම ලැබුනත් ඒ වාසනාව අහිමි කර ගන්නවා. එදා ඔහු ඒ නදීතෙරෙ සැරිසරද්දී එක් පසේබුදුවරයන් වහන්සේ නමක් දිරාගිය චීවරයක් පිළිසකර කරමින් සිටියේ. ඒත් එය නිමාකරගන්න තව රෙදිකඩක් අවශ්‍යයි. එහෙත් උන්වහන්සේ සන්තකයේ වෙන කිසිම දෙයක් තිබුනේ නැති නිසා එය හකුළා තබන්නට සිද්ධවුණා. ඒ මොහොතේ තමයි ඒ පින්වත් පුරුෂයා එතැන අසලින් යන්නට වුනේ. එහෙත් ඔහු එය දැක්කා. ඔහු මෙසේ ප්‍රශ්න කොට සිටියා. ‘ස්වාමීනි කුමක් නිසා ඔබගේ චීවරය හකුළා තබන්නහුද’? . නුවා පටිය නොපොහෝනේයයි උන්වහන්සේ සැළකොට සිටියා. ඔහු ක්ෂණිකව ම “ස්වාමීනි මෙයින් කරන්නැ’යි තමන්ගේ සළුව දී මෙහෙම ප්‍රාර්ථනයක් කරනු ලැබුවා.”උපනුපන්තන්හි මට කිසිදු පරිහානියක් නොවේවා” යනු ඒ ප්‍රාර්‍ත්‍ථනයයි.

ඒ කතාව එතැනින් නිම වන්නේ නැහැ. ඒ වනවිට ඔහු විවාහ ජිවිතයට ඇතුළු වෙලා සිටියේ. පතාගෙන පැමිණි බිරිඳ නැවතත් හමුවෙලා. මොනයම් හෝ හේතුවකට ඔහුගේ ගෙදරම ඔවුන් සමග ඔහුගේ සහෝදරියත් ජිවත් වුණා . ඔහුගේ බිරිඳ සහ නෑනා අතර ලොකු සමගියක් තිබුනේ නැහැ. ඒ නිසා නිතරම නෑනලා දෙදෙනා කෝළාහල හටගත්තා. එක් දවසක් එවැනිම කෝලාහලයක්. ඔහුගේ ගෙදර සහෝදරිය සමග තම භාර්යාව කෝලාහල කරන වෙලාවක පසේබුදුවරයෙක් පිණ්ඩපාතයේ වැඩිය.

සහෝදරියත් ත්‍රිවිධ රත්නයට ඉතාමත් භක්තිමත් කාන්තාවක්. ඇය බහින්බස්වීම පසෙකලා ලහි ලහියේ පසේබුදුහිමියන්ට පිණ්ඩපාතය පිළිගන්න වුණා. අවසානයේ තම නෑනා වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පූර්ව ආත්මභාවයේ භාර්යාව කෙරෙහි ගැන සිතා “මෙබඳු බාලයකු යොදුන් සියයකින් අත්හල යුතුයි” කියා ප්‍රාර්ථනා කළාය. ඇයත් හිටියේ ඒ ආසන්නයේ නිසා ගෙමිදුලේ සිට මෙය අසා ‘මැය දුන් දානය වළඳන්න එපා’ කියා පාත්‍රය ගෙන පිණ්ඩපාතය ඉවත දමා එහි මඩ පුරවා දුන්නා. බලන්න අධික කෝපය මිනිසුන්ව විකෘති කරන හැටි. අනිත් තැනැත්තිය එය බලා සිට බාල තැනැත්තිය, “නුඹ මට පමණක් බනින්න. පහරදෙන්න. මෙබඳු වූ අසංඛ්‍යයක් පාරමිතා පුරා ආ උතුමන්ගේ බත් ඉවතදමා එහි මඩ දැමීම යෝග්‍ය නොවේ” යැයි කියා සිටියා. එවිට තමයි ඇයට සිහි එළඹුණේ. ඇයට මහත් වූ සිත්වේදනාවක් ඇතිවුනා තමා අතින් වෙච්ච වැරැද්ද ගැන හිතලා. . ඇය ඉක්මනින් ස්වාමීනි! නතරවන්න, ස්වාමීනි! නතරවන්න ආයාචනා කරමින් පසේ බුදුරජාණන් වහන්සේ පසුපස හඹා ගියා. ඉක්මනින් නැවත පාත්‍රය ඉල්ලා ගත ඇය මඩ ඉවත දමා පාත්‍රය සෝදා සුවඳ කුඩුවලින් උලා ප්‍රණීත බත් චතුමධුර පුරවා මතුපිට ඉසින ලද නෙලුම්මලක ගැබෙහි වර්ණයට සමාන ගිතෙල්වලින් බබලන පාත්‍රය පසේබුදුන්ගේ අතෙහි තබා ‘යම්සේ මේ පිණ්ඩපාත දානය ආලෝකමත් වීද, එපරිද්දෙන් මගේ ශරීරයද අලංකාර වේවා’යි ප්‍රාර්ථනා කළාය. පසේබුදුන් වහන්සේ අනුමෝදකොට අහසට පැන නැගී නොපෙනී ගියා. ඒ යුවලද දිවි ඇතිතෙක් පින්කොට නැවතත් ස්වර්ගයෙහි උපත ලැබුවා.

උපකාර වූ මූලාශ්‍ර

මහාකාශ්‍යප තෙරණුවෝ අඞ්ගුත්තර නිකාය එතදග්ග පාළිය පළමුවෙනි වර්‍ගය

Ape Budu Hamuduruwo 368

අපේ බුදුහාමුදුරුවෝ 368  (සන්තිකේ නිධානය)

 

ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබදව ඔබ නොදත් කරුණු. 04

එකසාටක බමුණා 02 (සබ්බට්ඨක දානය)

ඉන්පස්සේ  බමුණා බැමිණිය ගෙහි තබා වස්ත්‍රය පොරවා විහාරයට ගියා. ඒ වෙලාවේ ශාස්තෘන්වහන්සේ පිරිස මැඳ සරසනලද ධර්මාසනයෙහි වැඩ සිටිමින්  විසිතුරු අවන්පත ගෙන අහස් ගඟට බසින්නාක් මෙන්,  මහමෙර මථනදණ්ඩකොට සයුර කළඹන්නාක් මෙන් ධර්මය දේශනා කරමින් සිටියා. පසු වී පැමිණි නිසාම ඔහු හිටියේ පිරිසේ කෙලවර.  පිරිස් කෙළවර හිඳිමින් ධර්මය අසන්නාවූ බමුණාගේ සියලු සිරුර පුරවමින් පළමු යාමෙහිදීම පස්වණක් ප්‍රීතිය උපන්න. ඒ ඇති වූ චිත්ත ප්‍රීතිය නිසාම ඔහුට භාග්‍යවතුන් වහන්සේට පුජා කිරීමට යමක් ඕනේ කියා සිත කියනවා. එහෙත් සන්තකයේ කිසිවක් නැහැ. වටිනාකමකට තිබුණේ තමා පෙරවා සිටි එකම එක සළුව. ඔහු පෙරවූ වස්ත්‍රය හකුළා බුදුන් වහන්සේට දෙන්නෙමැයි සිතුවා. ඒ එක්කම  ඔහුගේ සිතේ ආදීනව දහසක් දක්වන්නාවූ මසුරුබවක්  උපන්න. “බැමිණියටද මටද එකම වස්ත්‍රයකි. අන් කිසි පොරෝණයක් නැත. නොපොරොවා නම් පිටත හැසිරීමට නොහැකියයි සර්‍වප්‍රකාරයෙන්ම නොදෙනු යනුවෙන් සිත කීවා. ඔහු අදහස අත්හැරිය. ඉන් පස්සේ  ඔහුට පළමු යාමය ඉක්මුණු පස්සේ මැදුම් යමෙහිද එසේම ප්‍රීතිය උපන්න. හෙතෙම “එතෙරවීම හෝ මරණයවේවා පසුව දනිමියි” වස්ත්‍රය හකුළා ශාස්තෘන්වහන්සේගේ පාමුලෙහි තැබුවා. ඉක්බිති වම් අත හකුළා දකුණු අතින් තෙවරක් අපොළා මවිසින් දිනනලදී. මවිසින් දිනන ලදියි හඬතුනක් නැගුවේ යුද්ධයක් දිනලා ජයගත් මහා සෙන්පතියෙක් වගේ.

ඒ මොහොතේ ඒ ප්‍රදේශයේ රජකම් කල බන්‍ධුමා රජතුමාත්  ධර්මාසනයට පිටු පසින් පිහිටි තිරය තුළ හිඳිමින්  ධර්‍මය ශ්‍රවණය කරමින් සිටියේ. රජවරුන්ට  නම් ‘මවිසින් දිනනලද’යි යන ශබ්දය ප්‍රිය වන්නේ නැහැ. බිය ගෙන දෙනවා.ඊට හේතුව යමෙක් රාජ්‍යය අල්ලා ගත්තාද කියෙන බිය නිසා. ඒ නිසාම තමයි කියන්නේ “ඔටුනක් පැළඳි හිස නොදනී හොඳ නින්දක් කියලා.”   ඔහු කලබල වුණා. ඔහු , “යව කුමක් කියන්නෙහිදැයි මේ පුරුෂයා විමසුවයි” රාජ පුරුෂයෙකු පිටත් කරනු ලැබුවා. රාජපුරුෂයා බමුණා ලගට ගොස් මොනවද ඔබ දිනුවේ විමසා සිටියා.  එවිට ඔහු මෙසේ උත්තර දුන්නා.

 ‘සෙස්සෝ ඇත්යහන් ආදියට නැඟ කඩු සම් ආදිය ගෙන සතුරු සෙන් දිනති. එය අසිරියක් නොවේ. මම වනාහි පිටුපසින් එන්නාවූ කුළුගෝණාගේ හිස මුගුරෙන් බිඳ ඔහු පළවා හරින්නාක් මෙන් මසුරුසිත මැඩ පෙරවූ වස්ත්‍රයි දසබලයන්වහන්සේට දුනිමි. මවිසින් ඒ මසුරුබව දිනන ලදී’.

ඔහු එසේ පවසන්නට වුණා. රාජපුරුෂයාටත් සියල්ල අවබෝධ වෙන්නට වැඩි වෙලා ගියේ නැහැ.  ඒ රාජපුරුෂයා අවුත් රජුට එපුවත සැළකොට සිටියා.  එවිට රජතුමා මෙසේ කීවා.

 පින්වත්ති, ‘අපි දසබලයන්වහන්සේට සුදුසු දෙය නොදනුම්හ. බමුණා දුන්නේය,.’ මෙසේ කියා ඔහුට වස්ත්‍ර යුගලයක් යැවුවා. ඒ වටිනා වස්ත්‍රලත් බමුණට මෙහෙම හිතුණා.  “මෙතෙම නිහඬව සිටි මට පළමුව කිසිවක් නොදී ශාස්තෘන්වහන්සේගේ ගුණ කියනවිට දුන්නේය. ශාස්තෘන් වහන්සේගේ ගුණයන් නිසා උපන් දෙයින් මට කවර වැඩෙක්දැයි” ඒ වස්ත්‍රයුගලයද දසබලයන් වහන්සේටෙම පුජා කරනවා කියා උන්වහ්න්සේටම පුජා කරනු ලැබුවා. රජතුමාත්  බමුණාවිසින් කුමක් කරන ලද්දැයි විමසා ඔහු විසින් ඒ වස්ත්‍රයුගලයත් තථාගතයන් වහන්සේටම දෙන ලදැයි අසා වෙනත් වස්ත්‍ර යුගල දෙකක් නැවතත් යවනු ලැබුවා.  ඔහු  ඒවාද නැවතත් දන් දුන්නා. රජතුමා එම ප්‍රමාණය දෙගුණ කරමින්  වෙනත් වස්ත්‍ර සතරක්, අටක් දහසයක් වශයෙන්  මෙසේ වස්ත්‍ර යුගල තිස්දෙකක්ම යවනු ලැබුවා. බමුණා මෙහෙම සිතන්නට වුනා. “දැන් මෙය ඉවරයක් වෙන්නෙත් නැහැ. අනිත් අතට මෙය ලාභ ප්‍රයෝජන ලබමින්  වඩා ගැනීමක් මෙන් වේයයි සිතා තමා සඳහා එකක්ද බැමිණිය සඳහා එකක්දැයි වස්ත්‍රයුගල දෙකක් තබාගෙන

යුගලතිහක් තථාගතයන් වහන්සේටම පුජා කරනු ලැබුවා. එතැන් පටන් ඔහුට ශාස්තෘන්වහන්සේ විශ්වාස ඇත්තෙක් වුණා

දැන් ශීත කාලයත් එළඹිලා. බමුණා නිතරම දැන් බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට යනවා. එදත් ඔහු සුපුරුදු පරිදි භාග්‍යවතුන් වහන්සේ මුණගැසීමට ගියා. හැබැයි ඔහුට ශීත කාලයට පොරවන පොරෝනාවක් නොතිබෙන්නට ඇති.

 රජතුමාත් නිතර බුදු පියාණන් වහන්සේ බැහැදැකීමට එනවා.  එදින රජතුමා ශාස්තෘන්වහන්සේ සමීපයෙහි ධර්‍මය අසන්නාවූ ඔහු දැක ලක්‍ෂයක් වටිනා තමාගේ පෙරවූ රත් කම්බිලිය දී ‘මෙතැන්පටන් මෙය පොරවා ධර්‍මය අසව’යි පවසා සිටියා. හෙතෙම ‘මේ කුණු කයෙහි එළවූ මේ රාජකීය කම්බිලියෙන් මට කවර වැඩෙක්දැයි සිතා ඇතුල් ගඳකිළියෙහි එය තථාගතයන්වහන්සේගේ ඇඳ මත්තෙහි වියනක් කොට පුජා කරමින් යන්නට ගියා. ඉතින් එක් දිනක රජතුමා උදෑසනම විහාරයට ගොස් ඇතුල් ගඳ කිළියෙහි ශාස්තෘන්වහන්සේ සමීපයෙහි හුන්න. ඒ වේලාවෙහි විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහෙයෙන් විහිදුනු  සවණක් බුදුරැස් බමුණා විසින් වියනක් කොට පූජා කරනු ලැබූ කම්බිලියෙහි මත පතිත වී පරාවර්තනය වෙමින් ඒ කුටියට මහත් ආලෝකයක් වගේම අලංකාරයක් ගෙනේ දුන්නා. කම්බිලිය බෙහෙවින්ම බබළනවා. රජතුමා මෙය දැක්කා.දැක   හැඳින, ස්වාමීනි, අපගේ මේ කම්බිලිය අපිවිසින් එකසාටක බමුණාට දෙන ලදියි කියා සිටියේ මහත් සතුටින්. එවිට විපස්සි බුදුහාමුදුරුවෝ  ‘මහරජ, ඔබ විසින් බමුණා පුදන ලදී. බමුණා විසින් අපි පුදනු ලදුම්හ’යි පවසා සිටියා.එවිට රජතුමා  ‘බමුණා සුදුස්සන් දත්තේය. අපි නොදත්තෙමු’යි පැහැද මිනිසුන්ට උපකාරවන යමක් වේද ඒ සියල්ල අට අට කොට “සබ්බට්ඨක” නම්වූ දානයක් දුන්න. ඉන්පස්සේ ඔහුව පුරෝහිත තනතුරෙහි තැබුවා. ඔහුද  අටක් අටක් නම් සිවුසැටක් වේයයි සිවුසැටක් ලහබත් පිහිටුවා දිවි ඇතිතෙක් දන්දී සිල්රැක ඉන්පසුව නැවතත් දෙව් ලොවම  උපන්න.

උපකාර වූ මූලාශ්‍ර

මහාකාශ්‍යප තෙරණුවෝ අඞ්ගුත්තර නිකාය එතදග්ග පාළිය පළමුවෙනි වර්‍ගය

Ape Budu Hamuduruwo 367

අපේ බුදුහාමුදුරුවෝ 367 (සන්තිකේ නිධානය)

 

ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබදව ඔබ නොදත් කරුණු. 03

එකසාටක බමුණා 01

ඔබට මේ වනවිට මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ විසින් ප්‍රාර්ථනය කරන ලද එම තනතුරෙහි ඇති වගකීම ගාම්බීරභාවය වැටහෙන්නට ඕනේ. පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ සාසනයේ එලෙස විවරණ ලබාගත් උන්වහන්සේ මේ අනන්ත වූ සසරෙහි යලිත් සැරිසරන්නට වුණා. බොහෝ කලක් දෙවුලොද මිනිස් ලොවද සැරිසරමින් ඉන්නා අතරතුර මෙයින් අනූඑක් කල්පයකට පෙර විපස්සී සම්මා සම්බුදුන්වහන්සේ බන්‍ධුමතී නගරය ඇසුරුකොට ඛෙම නම්වූ මිගාදායෙහි වාසයකරන කාලයේ දෙව්ලොවින් චුතවී එක්තරා පිරිහීගිය බමුණු කුලයෙක උපන්න. පියුමතුරා බුදුන්ගේ කාලයේ සිටුවරයෙකු ව හැටදහසක් පමණ වූ මහා සංඝරත්නයට දින හතක පුරාවට දන්පැන් දීමට හැකියාවක් ලැබූ ඔහු මෙම අත්මභාවයේ කුලයෙන් උසස් උනත් ඉතාමත් දුගී පවුලකයි උපත ලැබුවේ. සංසාරයේ හැටි එහෙම තමයි. එදා සිටුවරයා අද දුගියා. කරනු ලැබූ ඒ විශාල පුණ්‍යමය ක්‍රියා නිසා ලද පුණ්‍යමය දායාද පවා ක්‍රම ක්‍රමයෙන් හීන වී යන බවත් යලි එය උරුම කරගන්නා අයුරුත් ඔබට මෙම කතාව තුලින් ඔබට දැනගන්නට පුළුවන්.

 දීර්ඝායුෂ එනම් මිනිසුන් වර්ෂ හැට දහසක් ලක්ෂයක් පමණ මිනිස් ආයුෂ ගෙවන කාලවල පහළවන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා නිතර ධර්මය දේශනා කරන්නේ නැහැ. බොහෝවිට පොහොය දිනක හෝ සුවිශේෂී අවස්ථාවක තමයි ධර්මය දේශනා කරනවා කියන්නේ. උන්වහන්සේලා දීර්ඝ වශයෙන් ධර්මය දේශනා කරන්නෙත් නැහැ. හේතුව එවැනි කාලයක ඉපදෙන මිනිසුන්ගේ කෙලෙස් බොහෝ අඩුකමයි. ඒ නිසාම ඔවුන් කෙටි දර්ම දේශනාවක් තුලින් මගඵල නිවන් අවබෝධ කර ගැනීමට පවා මහා පින්වත්. ඒ නිසාම එවැනි ධර්ම දේශනයකට පෙර මිනිසුන් දෙවියන් බබුන් අතර මහත් වූ කොළාහලයක් කැළඹීමක් හටගන්නවා. ඒ කාලයේ විස්සකි භාගයවතුන්වහන්සේත් අවුරුදු හයක් පසුවෙනතෙක්ම ධර්මය දේශනාකොට තිබුනේ නැහැ. මේ වනවිට සත් වෙනි අවුරුද්දෙහි ධර්මය දේශනා කිරීමට සැරසෙන බවට මහත් කෝලාහලයක් (කැලඹීමක්) ඇතිවුනා. මිනිසුන් විතරක් නෙවෙයි දෙවියන් බමුන් පවා ඒ අවස්ථාව උදාවෙන තෙක් දින ගනිමින් සිටියේ. ඔවුන් අතරටත් ඒ කැළඹීම පැතිරිලා. දෙවිවරැ ‘ශාස්තෘන්වහන්සේ ධර්මය දෙසනසේකැයි’ සියලු දඹදිව පුරා ප්‍රචාරය කරමින් ගියා. ඇයි ඉතින් ඒ කාලයේ වෙන සන්නිවේදන මාර්ග තිබුණෙත් නැහැනේ. ඉතින් අපේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් පූර්ව ආත්මභාවයේ ඉහත කි පරිදී ඉපිද ඒ පුවත ඇසුවා. ඔහු කොතරම් දුප්පත්ද කීවොතින් ඔහුට සහ බිරිඳට තිබුනේ එකම එක හඳනාසළුවක් විතරයි. ඒ කාලයේ තිබුන වත්පිළිවෙත් හැටියට උතුරු සළුවක් ගැහැණු පිරිමි දෙකොටසම භාවිතා කරනු ලැබුවා එලිපහලියට යනවිට. එහෙම නැතිව එළපහලියට බහින්නේත් නැහැ. විශේෂයෙන්ම මෙවැනි සුවිශේෂී අවස්ථාවක. එත් මේ දෙදෙනාට තිබුනේ එකම එක සළුවක් විතරයි. ඒ නිසාම දෙදෙනාටම නිතරම එකට එලියට යන්න බැරි වුනා. එක්කෙනෙක් එලියට යනවිට අනෙකා ගෙදර හිටියා. නැත්නම් අනිකාට ගෙදර ඉන්න සිදුවුණා. මේ නිසාම මුළු නුවර පුරාම ඔහුට “එකසාටක බමුණා” යයි නමක්ද පට බැඳුනා..

ඉතින් එදිනත් ඒ ප්‍රශ්නය මතුවුනා. එදා දිවා කාලයේත් රාත්‍රී කාලයේත් පුරාවටම ඒ දර්ම දේශනය පැවැත්වීමට නියමිතව තිබුනා.ඒ නිසා බමුණා බැමිණිය ගෙන් මෙසේ ඇසුවා., ‘පින්වතිය, කවුද රාත්‍රී කාලයේ ධර්ම දේශනාවට සහභාගී වෙන්නේ කවුද දහවල් කාලයේ ධර්ම දේශනාවට සහභාගී වෙන්නේ. ඔහුටත් හිටියේ සංසාරය පුරාවට පතාගෙන පැමිණි පින්වත් භාර්යාවක්. ඇය මෙලෙස කිවා. ‘ස්ත්‍රීජාතිකවූ අපිට රෑ දහම් ඇසීමට නොහැකියි. ඒ නිසා ඔබ රාත්‍රියට යන්න මම දහවල් දර්ම දේශනාවට සහභාගී වෙන්නම්. ඉන්පස්සේ බැමිණිය බමුණා නිවසෙහි රැඳී සිටිද්දී තම සන්තකයේ තිබූ එකම සළුව පොරවා උවැසියන් සමඟ දහවල් භාග්‍යවතුන් වහන්සේ හමුවට ගියා. එහි පැමිණ ශාස්තෘන් වැඳ එකත්පසෙකට වී සිට දහම් අසන්නට වුණා. දැන් කළුවර වැටෙන්නට ආසන්නයි. එහෙත් බුදුවරයෙකුගේ සුමදුර දේශනාවක් අත්හැර කාටද යාහැක්කේ. ඒත ඒ පින්වත් බිරිඳට ඒ කැපකිරීම කිරීමට හැකිවුනා. ඇය කළුවර වැටෙන්නට පෙරම උවැසියන් සමඟ පිටවී ගියේ තම ආදරණිය ස්වාමියාට ඉක්මනින් බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට පැමිණීම සදහා මග සැලසීමට. එහෙමයි ඒ අය එකිනෙකා හට උදවු කරමින් මේ සංසාර සාගරය තරණය කරනු ලැබුවේ.

උපකාර වූ මූලාශ්‍ර

මහාකාශ්‍යප තෙරණුවෝ අඞ්ගුත්තර නිකාය එතදග්ග පාළිය පළමුවෙනි වර්‍ගය