Skip to content

කුසල් වැඩීමට අයෝග්‍ය ස්ථාන අතර දෙවැන්න තිරිසන් භවයයි. මෙය අපට පෙනෙන භවයකි. අපා, දෙපා, සිව්පා, බහුපා වශයෙන් උපදින පියාඹින, පිහිනන, ඇවිදින, බඩගා යන, ජලයෙහි, පොළොව මතුපිට, පොළොව ඇතුළත ආදී වශයෙන් වෙසෙන තිරිසන්නු විවිධාකාරවත් ව සිටිති. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික යන ආකාර සතරින් තිරිසන්නු උපදිති.

අණ්ඩජ යනු බිත්තර වලින් උපදින පක්‍ෂීන්, සර්පයන් වැනි සතුන් ය.

ජලාබුජ යනු මව්කුසින් උපදින ගව,එළු, බලු ආදී සතුන්ය.

සංසේදජ යනු තෙත් ගති ඇති, පල්වූ ජලය ඇති තැන්වල උපදින සතුන්ය.

ඕපපාතික යනු ඉහත ආකාර තුනින් තොරව ඉබේම ඉන්ද්‍රිය පහළ වීම් වශයෙන් උපදින සතුන්ය.

නිරයෙහි තරම් දැඩි දුක් තිරිසන් සත්තු නොවිඳිති. එහෙත් තිරිසන්ව ජිවත් වන සමයෙහි ජිවිතය පවත්වා ගැනීමේදී යළි යළිත් අකුසල් ම සිදු කරන නිසාත් කුසල් කිරීමට අවකාශ මද නිසාත් තිරිසන්ව උපන් සතෙකු ඉන් ගැලවීම අතිශය දීර්ඝ කාලයින් සිදු වන්නකි. දුසිල් බව නිසා තිරිසන්ව උපන්න ද දානයෙහි ආනිසංස වශයෙන් සැප විඳින ඇතැන් තිරිසනුන් සිටිය ද දහමින් ප්‍රයෝජන ගැනීමට තරම් ශක්තියක් ඔවුන්ට නොමැත. දළදා මාලිගාවේ ඇතා වැනි ඇතැම් තිරිසනුන් යම් යම් පුණ්‍ය කර්මයන්ට සහභාගී වුව ද බුදුවරයකුගේ දහමින් ලද හැකි උත්කෘෂ්ට ඵල ලැබීමට තිරිසනුන්ට අවකාශ නොමැත.

මිනිසුන් අතර නිතර ගැවසෙන සත්ත්ව කොට්ඨාසයක් හෙයින් තිරිසන් භවය පිළිබඳවත් තිරිසන්දුක පිළිබඳවත් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් මිනිසුන්ට පවතී. තිරිසන් සතුන් වෙත කාම, ගෝචර, මරණ යන සංඥා තුන නිතර පවතී. එනම් නිතර කම්සැප සෙවීමට ඇති කැමැත්ත, ආහාර සෙවීමට නිතර නියුතු වීම හා මරණය පිළිබඳව නිතර පවත්නා බිය යන කරුණු තුනයි. මෙබඳු තත්ත්වයක් මත කුසලයක් වෙත නැඹුරු වීමට අවකාශයක් හෝ ඊට සරිලන මානසික දියුණුවක් හෝ තිරිසනුත් තුළ නොමැත.




පව් කොට තිරිසන් ජාතියේ උපන්නොත් අවසන් නොවී හැමවිට ම නැවත නැවත බිය පවතින්නේ ය. සෑම විට ම තිරිසන් සතුන්ගේ සිත් හි මද සන්සුන් කමකුත් නැත. ඒ නිසා තිරිසන් ජාතියෙහි පිනකට සිත යොමු කරන්නේ කෙසේ ද?

යම් සත්වයෙක් හරහට (තිරස්ව) ගමන් කරයි ද, හරහට නිදයි ද ධර්මයට පටහැනි වූ සිත් ඇත්තේ ද ඔවුහු තිරච්ඡාන (තිරිසන්) යනුවෙන් හඳුන්වති. මෝහාධික ව යම් කෙනෙක් අකුසල කර්ම රැස්කරත් ද ඔවුහු මරණින් මතු තිරිසන් යෝනියෙහි උපත ලබත්. කාම, ගෝචර, මරණ යන සංඥා තුන තිරිසන් ව උපන් සත්වයන් කෙරෙහි දක්නට ලැබේ. මරණ බයෙන් යුක්තව කාම සේවනය කරන්නෝත්, ගොදුරු සොයන්නෝත් තිරිසන් සත්තු වශයෙන් හැඳින්වේ.

සතර අපාය අතුරෙන් නිරන්තරයෙන් අපට පැහැදිලිව දක්නට ලැබෙන්නේ තිරිසන් ආත්ම භාවය යි. බුදුබව පතා පෙරුම්දම් පුරන බෝසත්වරු පවා බොහෝ අවස්ථාවල තිරිසන් ආත්ම ලබා සිටිහ. බුදුරදුන්ගේ අතීත ආත්මභාව ප්‍රකාශිත ග්‍රන්ථයකි, ජාතක පොත. එහි දක්නට ලැබෙන කතා වස්තු පන්සිය හතළිස් හතෙන් මනුෂ්‍ය ආත්ම භාව ලබා ඇත්තේ තුන්සිය පණස් හතර වාරයක් පමණි. සිංහරාජ ව දස වාරයක් ද, හස්ති රාජව හත් වරක් ද, අස්ව රාජව සතර වරක් ද මහිෂ රාජව එක් වරක් ද උපත ලබා ඇති බව ජාතක පොත පෙන්වා දෙයි. විශේෂයෙන් විවිධ සිව්පා සතුන් ව පණස් අට වරක් ද, උරග වශයෙන් හත් වරක් ද පක්ෂීන් වශයෙන් පණස් පස් වරක් ද මත්ස්‍යව තුන් වරක් ද උපත ලැබූ බව සඳහන් වේ.

පව් කම්කොට තිරිසන් යෝනියෙහි උපත ලැබුවත් බොහෝ දුරට අන් සතුන්ට වඩා ඥානයෙන් උසස් ව ක්‍රියා කළ අවස්ථා ඇති බව පැහැදිලි ය.




තිරිසන් ආත්ම ලැබුවත් සමහර සත්වයෝ තම සිත දමනය කර ගැනීමෙන් දෙව්ලොව උපත ලැබීමට වාසනාව ලබා ගත්හ.


  1. චම්පා නුවර ගග්ගරා නම් පොකුණෙහි විසූ මැඩියෙකු කිසිම තේරුමක් නොදැන දහම් දෙසන හඬ පමණක් අසා මරණින් මතු දෙව්ලාව උපන් බව විමාන වත්ථු ප්‍රකරණයෙහි සඳහන් වෙයි.
  2. ලක්දිව කුඹල්තිස් පව්වෙහි විසූ පන්සියයක් පමණ කිරි වවුලන් තේරුම් දැන නොගත්තත් සතුටු සිතින් ධර්මය දේශනා කරන හඬ අසා පැහැද මරණින් පසු මිනිස්ලොව උපන් බව සඳහන් වෙයි.
  3. තලගුරු වෙහෙර ධම්මදින්න හිමියන් දෙසූ බණ සතුටින් අසා සිටි ගැරඬියෙකු ඒ පිනෙන් මිනිස් ලොව ඇමති කුලයක උපන් බව සඳහන් වෙයි.
  4. මෙසේ සිතූ ඇත්රජ රැළෙන් වෙන්වී, පාරිලෙය්‍යක වනයේ රක්ෂිතවනසණ්ඩ නම් ලැහැබ භද්‍රශාලමූලයෙහි වැඩ සිටි බුදුරදුන් වෙත පැමිණියේය. එහි පැමිණ බුදුන් වැඳ වටපිට බලන්නේ අන් කිසිවෙකු නොදැන භද්‍රශාලමූලය පයින් පහරා සැස සොඬින් අත්තක් ගෙන අතුගා පිසදැමීය. එතැන් පටන් සොඬෙන් කළය ගෙන පියයුතු පරිභෝග කළයුතු පැන් එළවා තැබීය. උණුවතුරෙන් ප්‍රයෝජනයක් ඇතිවිට උණුදිය පිළියෙළ කළේය. කෙසේද? සොඬෙන් අරටුවක් ගෙන තවත් අරටුවක තදින් පිරිමැද ගිනි දල්වයි. එහි දර ගොඩගසා ගිනි අඟුරු මැදට ගල්කැට දමා රත්වූ පසු තවත් දරකඩකින් පෙරළා ගෙනවුත් පිරිසිදු කුඩා ගල්වලක දමයි. ඉන්පසු සොඬ පොවා ජලය රත්වූ බව දැන බුදුන් ළඟට ගොස් වඳියි. බුදුහු පාරිලෙය්‍යකය, ඔබ ජලය රත්කෙළෙහිදැයි කියා එහි ගොස් නානසේක. ඇතා උන්වහන්සේට නන් වැදෑරුම් පලතුරුද ගෙනවුත් දෙයි. යම් විටෙක බුදුහු පිඬුසිඟා ගමට පිවිසෙත්ද, එකල බුදුන්ගේ පාසිවුරු ගෙන කුම්භස්තලයෙහි තබාගෙන බුදුන් සමඟම පසුපසින් යයි. බුදුහු ගම් සීමාවට පැමිණ, ‘පාරිලෙය්‍යකය, මෙතැන් පටන් ඔබට යානොහැක. මගේ පාසිවුරු දෙන්නැ’යි ගෙන්වාගෙන ගමට පිවිසෙති. බුදුන් නික්ම ගියකල ඇතු එහිම නැවතී බුදුන් නැවත වඩිනු බලා පෙරගමන් කොට පෙර පරිද්දෙන්ම පාසිවුරු රැගෙන වසන තැන තබා අත්තක් ගෙනවුත් පවන් සලා වත් දක්වයි. රාත්‍රියෙහි ව්‍යාලමෘගයන්ගෙන් වන උවදුරු වළක්වනු පිණිස ලොකු දණ්ඩක් ගෙන බුදුන් රකින්නෙමියි සිතා අරුණෝදය දක්වා වන ලැහැබ ඒ මේ අත ඇවිදියි. එතැන් පටන් ඒ වන ලැහැබට රක්ෂිත වනසණ්ඩ යන නම ලැබිණි. අරුණු නැගුණු පසු මුව දෝනා පැන් පිළියෙළ කිරීම ඇතුළු සියල්ල පෙර කී පරිදිම ඉටුකරයි.

    දිනක් එක් වඳුරෙක්, ඇතා විසින් දක්වනු ලබන ආභිසමාචාරික වතාවත් (ලොකු කුඩා උවටැන්) ඈත සිට නැගිට නැගිට බලාහිඳ, මමත් කිසිවක් කරන්නෙමියි ඒ මේ අත බලන්නේ මැස්සන් නැති දඬුවෙල්බෑ මීයක් දැක දණ්ඩ පිටින්ම කඩා දණ්ඩත් සහිත මීවදය බුදුන් හමුවට ගෙනවුත් කෙසෙල් කොළයක් කඩා ඒ මත තබා බුදුන්ට පිදීය. බුදුහු එය පිළිගත්හ. බුදුහු මෙය පරිභෝග කෙරෙත්ද නොකෙරෙත්දැයි බලා සිටි වඳුරා එය රැගෙන හුන් බුදුන් දැක ඒ ඇයිදැයි සිතමින් දඬු කෙළවරින් එය රැගෙන හරව හරවා බැලීය. එහි මැසිබිජු ඇති බව දැක ඒවා සෙමින් ඉවත් කොට නැවත පිදීය. බුදුරදහු එය වැළඳුහ. ඒ දැක සතුටු සිත් ඇති වඳුරා අත්තෙන් අත්තට පනිමින් නටමින් සිටියේය. ඒ අතරතුර අල්ලාගත් අත්තත් පය ගැසූ අත්තත් කැඩී යට තිබූ කණුවක් මත වැටී, ශරීරය සිදුරුවී ගොස් සොම්නස් සිතින්ම කළුරිය කෙළේය. පසුව තව්තිසාහවනයෙහි තිස්යොදුන් පමණ රන් විමනෙක උපන්නේය. අප්සරාවන් දහසක් ඔහුට පිරිවර විය.

    මේ අන්දමට දෙව් මිනිස් සම්පත් පමණක් නොව නිවන් අවබෝධ කර ගැනීමට ද සමහර තිරිසන් සතුන්ට වාසනාව ලැබුණි.