බුද්ධත්වයට පැමිණි මුල් කාලයෙහිම කීර්තියෙන් හා ලාභයෙන් අග පැමිණි ශාස්තෲන් වහන්සේ දැක තීර්ථකයෝ මෙසේ සිතූහ. “ශ්‍රමණ ගෞතම තෙමේ ලාභයෙන් ද කීර්තියෙන්ද අගතැන් පත්විය. මේ වනාහී අන් කිසි සීලයක් හෝ සමාධියක් හෝ නිසා සිදු වූ ලාභයෙන් අග්‍රප්‍රාප්ත වීමක් නොවේ. උස් බිම් කඩක් වූ ඒ ස්ථානය නිසා සිදුවූවකි. ඉදින් අපි ද දෙව්රම සමීපයෙහි ආරාමයක් කිරීමට හැකි වන්නෙමු නම් ලාභයෙන් කීර්තියෙන් අගතැන් පත් වන්නෝ වෙමු” යනුයි. ඔව්හු තම තමන්ගේ උපස්ථායකයන්හට පවරා කහවණු ලක්ෂයක් පමණ ලබා ගෙන ඒවා රැගෙන රජු සමීපයට ගියහ. රජතෙමේ මේ කිම්දැයි ඇසීය. අපි දෙව්රම සමීපයෙහි තීර්ථකාරාමයක් කරවමු, ඉදින් ශ්‍රමණ ගෞතමයෝ හෝ ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ හෝ පැමිණ වළක්වන්නාහු නම් වැළැක්වීමට ඉඩ නො දෙන්නැයි කියා අත්ලස් දුන්හ. රජ තෙමේ අල්ලස ගෙන “යන්න, එය කරවන්න” යයි කීය.
ඔව්හු ගොස් තම උපස්ථායකයන් ලවා ද්‍රව්‍ය සම්භාරයන් ගෙන්වා ගෙන කණු නැංවීම් ආදිය කරවන්නාහු උස්හඬ මහහඬ සහිත එකම කලබලයක් කළහ. ශාස්තෲන් වහන්සේ ගඳ කිළියෙන් නික්ම ඉදිරියෙහි සිට ආනන්දයෙනි, එම උස් හා මහ හඬ කවරේද? මසුන් මරණ කෙවූලන් යයි සිතමි. එය එසේ දැයි විමසූහ. “ස්වාමීනි. ජේතවනය සමීපයෙහි තිර්ථකයෝ තීර්ථකාරාමයක් කරවති”යි කීය. “ආනන්දය, මේ සස්නෙහි විරුද්ධවාදීහු භික්ෂු සංඝයාගේ විහරණයට අපහසු දෙයක් කරන්නෝය. රජුට දන්වා ඉවත් කරවන්න” යයි කීහ.
ස්ථවිර තෙමේ භික්ෂ සංඝයා සමග ගොස් රජ මැදුරේ දොරටුවෙහි සිටියේය. “දේවයන්වහන්ස. තෙරුන් වහන්සේ වැඩියහ”යි (රාජ පුරුෂයෝ) රජුට දැන්වූහ. රජතෙමේ තමා අල්ලස් ගත් බැවින් පිටතට නො පැමිණියේය. තෙරුන් වහන්සේ ගොස් ශාස්තෲන් වහන්සේට දැන්වූහ. ශාස්තෲන් වහන්සේ සැරියුත් මුගලන් තෙරවරුන් යැවුහ. රජ තෙමේ උන්වහන්සේලාට (තමා) දැකීමට (තමා) දැකීමට (අවසරයක් ද) නොදුන්නේය. උන්වහන්සේලා පැමිණ ශාස්තෲන් වහන්සේට “ස්වාමීනි, රජ තෙමේ පිටතට නික්මුණේ නැතැයි” දැන්වූහ. ශාස්තෲන් වහන්සේ එකෙණෙහිම “තමාගේ රාජ්‍යයෙහි සිට කලුරිය කිරීමට (රජුට) නො ලැබෙන්නේ යයි” වදාළහ.
දෙවන දිනයෙහි (ශාස්තෲන් වහන්සේ) තමාම භික්ෂු සංඝයා පිරිවරා ගෙන ගොස් (රජ මැදුරේ) දොරටුවෙහි වැඩ සිටි සේක. රජතෙමේ ශාස්තෲන් වහන්සේ වැඩි සේකැයි අසා නික්ම, (උන්වහන්සේලා) මැදුරට වැඩමවා පර්යංකයෙහි වඩා හිඳුවා කැඳ සහිත ආහාර පිළිගැන්වීය. ශාස්තෲන් වහන්සේ කැඳ සහිත ආහාර වැළඳූසේක්, අහරවළදා නිමවන තුරු ශාස්තෲන් සමීපයෙහි හිඳින්නෙමියි පැමිණ හිඳගත් රජුට, මහරජ, ඔබ විසින් මෙබඳු දෙයක් කරන ලද්දේ යයි නො වදාරා කරුණකින්ම එය හඟවන්නෙමියි සිතා මෙම අතීත කරුණ ගෙන හැර දැක්වූහ. මහරජ, පැවිද්දන් ඔවුනොවුන් ගැටුම්හි යෙදවීම නොසුදුසුය. අතීතයෙහි ද ඍෂීන් අතර ඔවුනොවුන්ගේ ගැටුම් ඇති කරවා රජ කෙනෙක් රට ද සමග මුහුදට බිලි වීයයි වදාළහ. භාග්‍යවතුන් වහන්ස, කවර කලෙකදැයි රජතෙමේ ඇසීය.
මහරජ අතීතයෙහි “භරු” නම් රටෙහි “භරූ” නම් රජකු රජය කරවන කල්හි පන්සියයක් බැගින් වූ සෘෂිවරු කණ්ඩායම් දෙකක් පර්වත පාදයෙන් නික්ම ලුණු ඇඹුල් සේවනය සඳහා “භරු” නගරයට ගොස් පළමුව පැමිණි සෘෂි පිරිස නගරයට නොදුරෙහි වූ රුක් දෙකකින් එක් රුක් මුලක හිඳ ගත්හ. පසුව පැමිණි පිරිස ද එක් රුක් මුලෙක හිඳ ගත්හ. ඔව්හු සිත් වූ පරිදි කල් ගෙවා පර්වතයට ම ගියහ. නැවත පැමිණෙන්නාවූ ද ඔව්හු තමාගේ රුක් මුලෙහි ම හිඳ ගනිති. කලක් ගිය පසු එක් රුකක් වියලී ගියේය. එය වියලුණ කල්හි පැමිණි තවුසෝ “මේ රුක විශාලය, අපට ද ඔවුන්හට ද සෑහේ යයි (කියා) අන් පිරිසගේ රුක්මුල එක් පසෙක හිඳ ගත්හ. අන් පිරිස පසුව පැමිණ රුක් මුලට නො පිවිස බැහැරින් සිටම ඔබලා කුමක් හෙයින් මෙහි හිඳිනෙහුදැ”යි ඇසූහ. “ඇදුරෙනි, අපගේ රුක වියලී ගොසින්ය, මේ රුක විශාලය, ඔබ ද පැමිණෙන්න ඔබට ද (මෙහි ඉඩ) සෑහේ” යයි කීහ. ඔව්හු “අපි නොඑන්නෙමු. ඔබ පිට වී යනු”යි කීහ. (විවාද) කථාව වැඩි වී ඔබ තම කැමැත්තෙන් නික්ම නොයන්නහු දැයි කියා (එහි හුන් පිරිස) අත් ආදියෙන් ගෙන බැහැරට පළවා හැරියහ.
ඔව්හු “එසේ වේවා, ඔවුන්හට උගන්වන්නෙමු”ය (කියා) ඍද්ධියෙන් ස්වර්ණමය චක්‍රයන් දෙකක් ද, රජතමය වූ අක්ෂ දණ්ඩක් (හරස් අලවංගුවක්) ද මවා එය පදවමින් රජ මැදුරු දොරටුවට ගියහ. “තවුසන් දෙදෙනකු මෙබඳු ත්‍යාගයක් ගෙන පැමිණ සිටිත්” යයි රජුට දැන්වූහ. රජ තෙමේ සතුටු වී ඔවුන් කැඳවන්නයයි කීය. කැඳවා, ඔබ විසින් අගනා කාර්යයක් කරන ලද්දේ වෙයි. ඔබට මා විසින් කළයුතු යමක් වේදැයි ඇසීය. එසේය මහරජ, අප හිඳිනා තැන එක් රුක් මුලක් ඇත. එය වෙනත් සෘෂීන් විසින් ගන්නා ලදී. අපට එය ලබා දෙනු මැනවයි කීහ. රජතෙමේ මිනිසුන් යවා තවුසන් බැහැර කරවීය.
ඔව්හු පිට වී සිට කුමක් නම් දී (රුක්මුල) ලබා ගත්තාහු දැයි බලන්නාහු මෙනම් දෙයක් යයි දැක අපිත් අනෙක් අල්ලසක් දී නැවත ගන්නෙමු යයි සෘද්ධියෙන් රුවන් මුවා රිය මැදිරියක් මවාගෙන ගියහ. රජ තෙමේ දැක සතුටුවූයේ ස්වාමීනි, (මා විසින්) කුමක් කළයුතු දැයි විමසීය. මහරජ අපගේ රුක්මුලෙහි අන්‍ය වූ සෘෂීහු පිරිසක් හිඳිති. අපට ඒ රුක්මුල ලබා දෙන්න යයි කීහ.
රජතෙමේ මිනිසුන් යවා ඔවුන් බැහැර කරවීය. තවූසෝ එකිනෙකා කළහ කොට අප විසින් නුසුදුසු දෙයක් කරන ලද්දේයයි පසුතැවිල්ලට පත් වී පර්වත පාදයටම ගියහ. ඉක්බිති දෙව්වරු මේ රජු කණ්ඩායම් දෙකෙන්ම අල්ලස් ගෙන ඔවුනොවුන් කලහ කරවී යයි කෝපයට පත් වී මහ සයුර උඩට මතු කරවා ඒ රජුගේ රාජ්‍යය යොදුන් දහසක පමණ තැන් සමුද්‍රය බවට පත් කළහ.
භරු නම් ඒ රජ තෙමේ ඍෂීන් හට අනතුරු කොට රටද සමග විනාශයට පත්වූයේ යයි මා විසින් අසන ලදී.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම අතීත සිද්ධිය දක්වනු ලැබූ කල්හි යම් හෙයකින් බුදුන් වහන්සේලාගේ කථා විශ්වාස කළයුතු වන්නේ වේද, එබැවින් රජ තෙමේ තමාගේ ක්‍රියාව සලකාබලා මා විසින් පරීක්ෂා නොකොට නො කළ යුතු දෙයක් කරන ලදී. යවු, සගයෙනි, තීර්ථකයන් ඉවත් කරවනු යයි කියා ඉවත් කරවා “මා විසින් කරවන ලද විහාරයක් නම් නැත්තේ යයි සිතා ඒ ස්ථානයෙහි ම විහාරයක් කරවන්නෙමියි ඔවුන්හට උපකරණ රැසක් ද දී විහාරයක් කරවීය. ඒ සඳහා මෙය කියන ලදී.
ශාස්තෲන් වහන්සේ ශාක්‍යයන්ගේ උලුම්ප නම් වූ නියම්ගම ඇසුරුකොට වාසය කරති. රජ එහි ගොස් ආරාමය නුදුරෙහි කඳවුරු බැඳ මහත් වූ පිරිවර සමග ශාස්තෲන් වහන්සේ වඳින්නෙමියි විහාරයට ගොස් රාජ්‍යත්වයේ උපකරණ පස දීඝකාරානයට දී තනිවම ගඳකිළියට පිවිසියේය. ඔහු ගඳකිළියට පිවිසි කල්හි කාරායණ සෙනවියා ඒ රාජ උපකරණ ගෙන විඩූඩභ කුමාරයා රජු බවට පත්කොට රජුට එක් අශ්වයෙකුද එක් උපස්ථායිකා ස්ත්‍රියකද නවතා සැවැත්නුවරට ගියේය. රජු ශාස්තෲන් වහන්සේ සමග ප්‍රියකථා කථාකර නික්මුනේ සේනාව නො දැක ඒ ස්ත්‍රිය විමසා ඒ පුවත අසා බෑණනුවන් ගෙන අවුත් විඩූඩභ ගන්නෙමියි නගරයට යන්නේ නොකල්හි දොරටු වැසූ කල්හි නගරයට පැමිණ එක් ශාලාවක වැද හොවා වාතයෙන් හා අවුවෙන් ක්ලාන්ත වූයේ රාත්‍රියෙහි දී එහිම කළුරිය කෙළේය. රැය පහන් වූ කල්හි දේවයන් වහන්ස, කොසොල් රජු අනාථ වූයේ යයි හඬන්නා වූ ඒ ස්ත්‍රියගේ ශබ්දය අසා රජුට දැන්වූවාහු ය. හෙතෙම මියගිය රජුගේ ශරීරකෘත්‍යය මහත් වූ සත්කාර සහිතව කරවීය.