Ape Budu Hamuduruwo 55

අපේ බුදුහාමුදුරුවෝ 55


පදුමුත්තර (පියුමතරා) බුදුරජාණන් වහන්සේ 06

ඒ පදුමුත්තර (පියුමතරා) භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස සංෂිප්ත කොට සදහන් වෙනවා.

මහර්ෂීවූ පදුමුත්තර බුදුරදුන්ගේ උපන් නුවර “හංසවතී’’ නම්වී. පිය තෙම “ආනන්‍ද’’ නම් රජය. වැදූ මව “සුජාතා’’ නම් වූවාය.

ඒ බුදුරජතෙම අවුරුදු දසදහසක් ගිහිගෙයි විසී. “නාරිවාහනය, යශය, යසවතී’’ යයි උතුම් ප්‍රාසාද තුනක් වූහ.

මනාකොට සරසන ලද පිරිවර අඟනෝ සතළිස්තුන් දහසකි. බිරින්ද “වසුදත්තා’’ නම් වූවාය. පුත් තෙම “උත්තර’’ නම් වී.

පුරුෂොත්තම තෙම සතර පෙර නිමිති දැක පහයෙන් මහබිනික්මන් කෙළේය. සත් දවසක් මුලුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.

මහාවීරවූ පදුමුත්තර විනයැදුරු බුදුරද තෙම බඹහු විසින් අයදනා ලද්දේ, “මිථිලා’’ නම් උයනෙහිදී දම්සක් පැවැත්වූ සේක.

පදුමුත්තර නම් ශාස්තෲන් වහන්සේට “දෙවල’’ ද, ’’සුජාත’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම “සුමන’’ නම් විය.

“අමිතා’’ ද, “අසමා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ පදුමුත්තර භාග්‍යවත්හුගේ බෝරුක “සලල රුක’’ යයි කියනු ලැබේ.

“විතින්නා’’ ද, “තිස්ස’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. “හත්‍ථා’’ ද, “විචිත්තා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

රන් ඇගෑවක් පහන් ගසක් බඳු, දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් යුත් පදුමුත්තර මහමුනිඳු පණස් අට රියනක් උස්වූසේක.

ඒ බුදුරදුන්ට හාත්පස වටා දොළොස් යොදුනක් තැන කුඩා බිත්තිද, කවුලුද, මහබිත්තිද, ගස්ද, කඳු හා උස් පර්‍වතද ඇහිරීමක් නැත.

ඒ කාලයෙහි අවුරුදු ලක්‍ෂයක් ආයුෂ පවතී. ඒ තාක් කල් ඒ බුදුරජතෙම වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා සසරින් එතර කළ සේක.

බොහෝ ජනයා සසරින් එතෙරකොට සියලු සැක සිඳ, ගිනිකඳක් මෙන් දිලිහී, ශ්‍රාවකයන් සහිතවූ උන්වහන්සේ පිරිනිවි සේක.

සිව්සස් අවබෝධකළ පදුමුත්තර ජිනරාජයන් වහන්සේ නන්දාරාමයෙහි පිරිනිවි සේක. එහිම උන්වහන්සේගේ උතුම් සෑය දොලොස් යොදුනක් උස්ව බඳින ලදී.

 

Ape Budu Hamuduruwo 54

අපේ බුදුහාමුදුරුවෝ 54

 

පියුමතරා බුදුරජාණන් වහන්සේ 05
මෝනෙය්‍ය වත පූරණය කළ නාලක භික්‌ෂුන් වහන්සේ .

විශේෂ හැකියාවන් විශේෂ ප්‍රාර්ථනාද පෙරදැරිව කල්ප කාලාන්තරයක් මහාණීය වූ පින්කම් කරමින් පැමිණි භික්ෂූන් වහන්සේලා ඒ ඒ බුද්ධ ශාසන වල අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා වශයෙන් අනෙකුත් භික්‌ෂුන් වහන්සේලා අතුරින් අග තනතුරු ලබයි. එහෙත් එම අසූ මහ ශ්‍රාවක ගණයට අයත් නොවන, එක්‌ බුද්ධ ශාසනයක්‌ තුළ එක්‌ භික්‌ෂුවකට පමණක්‌ පූරණය කළ හැකි විශේෂ ප්‍රතිපදාවක්‌ පූරණය කළ භික්‌ෂුවක්‌ ගැන අනෙකුත් බුද්ධ ශාසන වල මෙන්ම ගෞතම බුද්ධ ශාසනයේත් සඳහන්. ඒ මෝනෙය්‍ය වත පූරණය කළ නාලක භික්‌ෂුන් වහන්සේයි. උන්වහන්සේත් පියුමතුරා බුදුරදුන්ගේ ශ්‍රාවකයකු මෝනෙය්‍ය ප්‍රතිපදාව පුරනු දැක පැහැදී තමාට ද අනාගත බුදුකෙනෙකුගේ සසුනෙහි ඒ උත්තම වත පිරිය හැකිවේවා’යි පදුමුත්තර බුදුන් හමුවේ ප්‍රාර්ථනය කොට ආශීර්වාද ලබාගත් බව සඳහන්. උන්වහන්සේගේ අරහත්වය දක්වා පැමිණි ගමන අති සුන්දර වූ කතා පුවතක් වූවත් මෙහි සඳහන් කිරීමට කාල වෙලාවක් නොමැත. ඒ සඳහා නාලක සුත්‍රය කියවන්න. (ඛුද්දකනිකාය » සුත්තනිපාතපාළි » මහාවග්ගො » නාලකසුත්තං )

එපමනක් නොව අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන්, වප්ප තෙරුන්, නාලක තෙරුන්, උරුවෙල්කස්සප තෙරුන්, නදීකස්සප තෙරුන්, ගයාකස්සප තෙරුන්, මහාකස්සප තෙරුන්, මහාකච්චායන තෙරුන්, මහාකොට්ඨිත තෙරුන්, මහාකප්පින තෙරුන්, අනුරුද්ධ තෙරුන්, කංඛාරේවත තෙරුන්, ආනන්‍ද තෙරුන්, නන්‍දක තෙරුන්, භගු තෙරුන්, නන්‍ද තෙරුන්, කාළිගෝධාපුත්ත භද්දිය තෙරුන්, රාහුල තෙරුන්, සීවලි තෙරුන්, උපාලි තෙරුන්, දබ්බමල්ලපුත්ත තෙරුන්, උපසේන තෙරුන්, ඛදිරවනියරේවත තෙරුන්, පුණ්ණ මන්තාණිපුත්ත තෙරුන්, සෝණකූටිකණ්ණ තෙරුන්, සෝණකෝළිවිස තෙරුන්, රාධ තෙරුන්, සුභූති තෙරුන්, වක්කලී තෙරුන්, කාළුදායි තෙරුන්, පිලින්‍දවච්ඡ තෙරුන්, සෝභිත තෙරුන්, කුමාරකස්සප තෙරුන්, රට්ඨපාල තෙරුන්, වංගීස තෙරුන්, සේල තෙරුන්, උපවාන තෙරුන්, සාගත තෙරුන්, නාගිත තෙරුන්, ලකුණ්ඨකභද්දිය තෙරුන්, පිණ්ඩෝලභාරද්වාජ තෙරුන්, මහාපන්ථක තෙරුන්, චුල්ලපන්ථක තෙරුන්, බාහියදාරුචීරිය තෙරුන්, මෝඝරාජ තෙරුන්, නාගසමාල තෙරුන් ආදී තෙරවරුන් ද මහාපජාපතිගෝතමී තෙරණිය, ඛෙමා තෙරණිය, පටාචාරා තෙරණිය, කුණ්ඩලකේසා තෙරණිය, කිසාගෝතමී තෙරණිය, ධම්මදින්නා තෙරණිය, සකුලා තෙරණිය, නන්‍දා තෙරණිය, සෝණා තෙරණිය, භද්දකාපිලානී තෙරණිය, සිංගාලමාතා තෙරණිය, උබ්බිරි තෙරණිය, සුන්‍දරීනන්දා තෙරණිය, උප්පලවණ්ණා තෙරණිය ආදී තෙරණිවරුන් ද පෙර කරන ලද පින් ඇතිව මහර්ෂි වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඉපිද නොයෙක් පිංකම් කොට නොයෙක් තනතුරු ප්‍රාර්‍ථනා කළ බව සඳහන් වෙනවා.

පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ තවත් විශේෂත්වයක් තිබුණා. එනම් තීර්ථකයන් ගෙන් ශුන්‍ය වීමයි. එයට හේතුව අන්‍ය තීර්ථකයන් හට කිසිම කෙනෙක් සංග්‍රහ නොකිරීමයි. සික්ෂා නොදීමයි. සත්කාර නොකිරීමයි, ගරුකටයුතු නොකිරීමයි, අස්නෙන් නොනැගිටීම්යි, ඇඳිලි බැඳීම් නොකිරීමයි, නිවාස නොදීමයි, පිටමං කිරීමයි. මෙලෙස රටවැසි මිනිසුන් විසින් නෙරපන ලද බැහැර කරන ලද සියලූ අන්‍ය තීර්ථකයෝ රැස්ව පියුමතුරා දසබලයන් වහන්සේම සරණ ගියා. එම නිසා ගම් දනව් ජනපද සියලු රාජ්‍යයන් අන්‍ය තීර්ථකයන් ගෙන් ශූන්‍ය වූ ප්‍රදේශ බවට පත් වුනා.

පදුමුත්තර බුදුරජාණන් වහන්සේටත් මහා ශ්‍රාවක සන්නිපාත තුනක් වුනා 

එක් දිනක් ශාස්තෘන් වහන්සේ මිථිලා නුවර මිථිලා උයන්හි කෙළ ලක්ෂයක් භික්ෂූන් මැද නවම් පුන් පොහෝ දින පුන් සද වන් මුහුනින් පාමොක් දේශනා කරනු ලැබුවා. එය ප්‍රථම මහා සන්නිපාතයද වුනා.

තව දිනක් භාග්‍යවතුන් වහන්සේ විහාර කඳුමුදුනෙහි වස් වැස කන්ද බැලීමට හා මහජනයාට දහම් දෙසා අනූකෙළක් ඒහිභික්ෂුභාවයෙන් පැවිදි කරවා උන් වහන්සේලා පිරිවරා පාමොක් දේශනා කරනු ලැබුවා. එය දෙවැනි සන්නිපාතය ද වුනා.

නැවත භාග්‍යවතුන් වහන්සේ ගුණවත් ලෝකනාථයන් වහන්සේ මහජනයා සසර බැම්මෙන් මුදුවමින් ජනපද චාරිකාවේ හැසිරෙන කල අසූකෙළක් භික්ෂූන්ගෙ සමාගමයක් වුනා. ඒ තුන්වෙනි සන්නිපාතයයි.

ඒ කාලේ අප මහා බෝසතාණන් වහන්සේ නොයෙක් කෙළ ගණන් ධනය ඇති ජටික නම් මහරැටිව බුදු පාමොක් සඟනට සචීවර මහදන් පුදනු ලැබුවා. උන්වහන්සේ ද අප මහා බෝසතාණන් වහන්සේට මතු කල්ප ලක්ෂයකින් ගෞතම නම්න් බුදු වන්නේ යැයි නියත විවරණ දී වදාළා.

ඒ මොහොතේදීත් දෙතිස් පෙළහර ද දෙවියන්ගේ සාධු නද ද මීට පෙර කී බුද්ධවංශ කථාවල මෙන්ම සිදුවුනා. පෙර සේම නැවතත් නියත විවරණයන් ලැබූ අප මහා බෝසතාණෝ සම්මා සම්බුදු වරයෙක් හමුවීත් සසරෙන් එතර උනේ නැහැ. මතුභව වලදී අත්විඳිය යුතු කල්ප ගණනක දුක් දැක දැකත් අප වෙනුවෙන්ම මේ දුක්ඛිත සසර තුළම රැදී සිටියා.

Ape Budu Hamuduruwo 53

අපේ බුදුහාමුදුරුවෝ 53

 

අප මහා බුදුපියාණන් වහන්සේ විසින් දේශිත සත්ධර්මය අද දින දක්වා පිරිසිදුව අඛන්ඩව පැවත ඒමට මේ ආකාරයට පිළිවෙළට වර්ගීකරණය කොට සංරක්ෂණය කිරීමට පෙරමුණගත් මහ රහතන් වහන්සේ කෙනෙකු වැඩ සිටියා. ඒ ප්‍රථම සංගායනාව පවත්වා විසිරී තිබූ ධර්මය විනය ඒකරාශී කොට වෙනස්කම් වලට භාජනය නොවීමට ඉඩ සැලසූ ඔබ අප කවුරුත් හොඳින් දන්නා මහාකාශ්‍යප මහරහතන් වහන්සේයි. පදුමුත්තර බුද්ධවංශ කතාවේ තව විශේෂ සිදුවීමක් තියනවා. ඒ මහා ශ්‍රාවකයන් වහන්සේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වෙතින් ගෞතම සසුනේ තෘතීය ශ්‍රාවක ලෙස මෙන්ම ධූතාංගදාරී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය (අල්පේච්ඡ දිවියක් ගත කරන භික්ෂූන් අතර අග්‍රස්ථානය ) සඳහා විවරණ ලැබීම. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පමණක් පිහිටන දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ වලින් හතක් උන්වහන්සේටද පිහිටා තිබුනා වගේම උන්වහන්සේ රූපයෙන් ගෞතම බුදුරජාණන් වහන්සේට බෝහෝ සෙයින් සමාන වුනා. එබැවින් සමහර අවස්ථාවන්හි දී ජනයා බුදුරජාණන් වහන්සේ යැයි වරදවා වටහාගෙන උන්වහන්සේට දන් පිළිගැන්වූ අවස්ථා ඒමට තිබුණා. ඒ නිසාම මෙම අතිවිශේෂ මහා ශ්‍රාවකයන් වහන්සේගේ ප්‍රථම විවිරණය ගැනද මෙම ලිපි පෙලේ සඳහන් කිරීම අද දක්වා සත්ධර්මය පාරිශුද්ධව තබා ගැනීමට කල මග පෙන්වීමට කෘතගුණ දැක්වීමක් ලෙසද සිතුවා. මෙම කතාව ලිවීමට තවත් පහසුවක් වුනේ රේරුකානේ චන්දවිමල මහනායක හාමුදුරුවන්ගේ “සුවිසි මහ ගුණය” පොතේ පිටු අංක පනහේ මෙලෙස සංග්‍රහ වෙනවා. මෙය යතුරුලියනය කල ජනකට ද www.pitaka.lk කාර්ය මණ්ඩලයට ද පුණ්‍යානුමෝදනා කරනවා.

පදුමුත්තර බුදුන්ගෙන් ආශීර්වාද ලබාගත් මහා කාශ්‍යප මහා ස්ථවිරයන් වහන්සේ.

මෙයින් කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී හංසවතී නම් නගරය උපනිඃශ්‍රය කොට වැඩ වෙසෙන කල්හි ඒ නගරයෙහි අසුකෝටියක් ධනය ඇති වේදේහ නම් කෙළඹියෙක් වාසය කළේ ය.

දිනක් හෙ තෙමේ සිල් සමාදන් වී සුවඳ මල් ආදිය ගෙන විහාරයට ගොස් බුදුරදුන් වැඳ පුදා එකත් පසෙක වාඩි විය.

එකෙනෙහි තථාගතයන් වහන්සේ ‘ එතදග්ගං හික්ඛවෙ මම සාවකානං භික්ඛුනං ධුතවාදනං යදිදං නිසභො’ යි ඒ බුදුසස්නෙහි තෘතීය ශ්‍රාවක මහානිසභ තෙරුන් වහන්සේ ධුතවාදීන් අතරින් අග්‍ර ස්ථානයෙහි තබා වදාළ සේක.

උපාසක තෙමේ එය අසා ඉතා ප්‍රසන්නව ධර්‍මදේශනාවසානයේ ජනයා නැගිට ගිය කල්හි පියුමතුරා බුදුරජාණන් වහන්සේ වැඳ හිමියනි, හෙට දින මාගේ භික්ෂාව ඉවසා වදාරන සේක්වා’ යි සැළ කළේ ය.

‘උපාසකය, භික්ඛුසංඝයා බොහෝ වෙති’ යි තථාගතයන් වහන්සේ වදාළහ. ‘ස්වාමිනි, භික්ෂුන් වහන්සේලා කොපමණ වන්නාහූ ද? ‘උපාසකය, සැටඅටදහසක් ය’ යි වදාළසේක. ‘ස්වාමිනි, එක් සාමණේර නමකුදු විහාරයෙහි ඉතිරි නොකොට සැමදෙනා වහන්සේ සමඟ මාගේ භික්ෂාව පිළිගන්වා සේක්වා’ යි උපාසක කීය. ශාස්තෘන් වහන්සේ ඉවසා වදාළ සේක. වේදේහ උපාසක තෙමේ තමාගේ ආරාධනාව තථාගතයන් වහන්සේ පිළිගත් බව දැන ගෙට ගොස් මහා දානයක් පිළියෙල කොට දෙවන දිනයෙහි තථාගතයන් වහන්සේට කාලය සැලකර යැවූයේ ය.

තථාගතයන් වහන්සේ මහත්වූ බික්සඟන හා ඔහුගේ නිවසට වැඩම කොට පනවන ලද අස්නෙහි වැඩ සිටි සේක. බික්සඟන ද වැඩ සිටි සේක. උපාසක ද බුදුරදුන් සමිපයෙහි හුන්නේ ය.

ඒ අතර මහානිසභ තෙරුන් වහන්සේ පිඬු පිණිස හැසිරෙන්නාහු ඒ විදියට පැමිණිය හ. උපාසක තෙමේ උන්වහන්සේ දැක නැගිට ගොස් තෙරුන් වහන්සේ වැඳ ‘ස්වාමිනි, ශාස්තෲන් වහන්සේ මෙහි වැඩ සිටිති. නුඹ වහන්සේ ද මේ ගෙට වඩිනු මැනව’ යි කීය. ‘උපාසක, නොවටනේ ය’ යි තෙරුන් වහන්සේ කීහ. එකල්හි උපාසක තෙමේ තෙරුන්වහන්සේගේ පාත්‍රය පිණ්ඩපාතයෙන් පුරවා ගෙන ගොස් පිළිගැන්වී ය. ඉක්බිති උපාසකතුමා ගෙට පිවිස බුදුරදුන් සමිපයෙහි හිඳ ‘ස්වාමිනි, මහානිසභ තෙරුන් වහන්සේ ශාස්තෲන් වහන්සේ මෙහි වැඩ සිටිතියි කිව ද මේ ගෙට පිවිසෙන්නට නො කැමති වූහ. ස්වාමිනි, කිමෙක් ද? ඒ තෙරුන් වහන්සේ නුඹ වහන්සේට ද වැඩි ගුණ ඇත්තෝ දැ’ යි විචාළේ ය.

බුදුවරුන්ට ගුණමසුරුබවක් නැත. උන්වහන්සේ ගුණැතියන්ගේ ගුණ නො අඩු කොට පවසන්නාහ. එකල්හි බුදුන් වහන්සේ වදාරන සේක්, ‘එසේය උපාසක, අපි වනාහි භික්ෂාව බලාපොරොත්තුවෙන් අනුන්ගේ ගෙවල හිඳින්නෙමු. ඒ භික්ෂුව එසේ නො හිඳින්නේ ය. අපි ග්‍රාමාන්ත සේනාසනයන්හි වෙසෙමුය, ඒ මහණ ආරණ්‍යයෙහි ම වෙසෙන්නේය, අපි පියැසි යට වෙසෙන්නමුය, ඒ මහණ අවකාශයෙහි ම වෙසෙන්නේය’ යි උන්වහන්සේ ගේ ගුණ නො අඩු කොට වදාල සේක.

මහානිසභ තෙරුන් වහන්සේගේ ගුණයෙහි පැහැදී සිටි උපාසකතුමා තථාගතයන් වහන්සේගේ වචනය අසා වඩාත් පැහැදී ‘මට අන් සැපතක් කුමටද? මමද අනාගතයෙහි එක් බුදුසස්නක ධුතවාදීන්ගෙන් අග්‍රවෙමි’ යි සිතා නැවතත් බුදුන් වහන්සේට ආරාධනා කොට සත් දිනක්ම මහදන් දී සත්වන දිනයෙහි බුදුපාමොක් මහසඟනට තුන්සිවුරු ද පුදා ශෘස්තෘන් වහන්සේගේ පාමුල වැදහෙව ‘ස්වාමිනි, සත්දිනක් දන්දුන් මම ඒ පිනෙන් අන් දිව්‍යසම්පත්තියක් හෝ ශක්‍ර – බ්‍රහ්ම සම්පත්තියක් හෝ නො පතමි. මගේ මේ පුණ්‍යකර්මය අනාගතයේ එක් බුදු කෙනෙකුන් ගේ ශාසනයෙහි මහානිසභ ස්ථවිරයන් වහන්සේ විසින් පත් තැනට පැමිණීමට හේතු වෙවා’ යි පැතී ය.

එකල්හි තථාගතයන් වහන්සේ ‘මේ උපාසක මහත් තනතුරක් පතයි, ඔහුගේ ඒ පැතුම මුදුන් පත් වන්නේ දෝ’ යි අනාගතය බලා වදාරනසේක් සිද්ධ වන බව දැක, උපාසක ඔබ අගනා තනතුරක් පැතුයෙහි ය. අනාගතයෙහි කල්ප අසංඛයකින් ගෞතම නමි බුදු කෙනෙක් පහළ වන්නේ ය. ඔබ මහාකාශ්‍යප යන නමින් ඒ බුදුරදුන්ගේ තෘතීය ශ්‍රාවකයා වන්නේ ය’ යි වඳාල සේක. එය අසා උපාසකතෙමේ බුදුරදුන්ගේ ප්‍රකාශනයක් නොවරදින බැවින් කල්පලක්ෂයකින් ලැබෙන තනතුර ගැන සෙට ලැබෙන දෙයක් ගැන සේ ප්‍රිතියට පැමිණියේ ය. හෙතෙම ඉන් පසුව ද දානාදී බොහෝ පින්කම්කොට මරණින් පසු දෙව්ලොව උපන.

Ape Budu Hamuduruwo 52

අපේ බුදුහාමුදුරුවෝ 52

 

තබන තබන පියවරක් පාසා පියුම් නැගවිත් ශ්‍රී පාදය පිළිගත් 

පියුමතරා බුදුරජාණන් වහන්සේ 03

පදුමුත්තර බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පැමිණි දින විශේෂ සිදුවීමක් වුනා කියලා මිට ඉහත සඳහන් කළා. ඒ දස දහසක් සක්වළ මත පියුම් වරුෂා පතිතවිමයි. ඒ දෙවැනි වරටයි. මිට පෙරත් උන්වහන්සේට නම් තබන දිනයේත් එවැනිම පියුම් වරුසාවකින් දඹදිව තලයම වැසි ගියා. ඊට පසුව තවත් විශේෂ සිදුවීමක් උනා. මේ කියන්නට යන්නේ ඒ ගැනයි.

තබන තබන පියවරක් පාසා පියුම් නැගවිත් ශ්‍රී පාදය පිළිගැනීම.

පුරුෂෝත්තම පියුමතුරා භාග්‍යවතුන් වහන්සේ සතියක් බෝ පළඟෙහි හින්දා ‘පොළොවෙහි පා තබමි’යි දකුණු පය දිගු කරනු ලැබුවා. එවිට පොළොව පලාගෙන නිකැළැල් නිර්‍මල කොමළ කේශර කර්ණිකා ඇති ජලජ නිර්‍මල අවිකල විපුල පත් ඇති අජලජ වූ ජලජ පියුම් නැගී සිටගත්තා. ඒවායෙහි ප්‍රධාන පෙති අනූ රියන් දිග වුනා. කෙසරු තිස්රියන් පමණ වුනා. කර්ණිකා ව දස රියන් පමණ විශාලයි. එකිනෙකෙහි නව කළයක් පමණ රේණු වලින් ගහන වුනා.

ශාස්තෲන් වහන්සේ උසින් පනස් අට රියන් පමණ වුනා. උන්වහන්සේගේ දෙනේත්‍ර අතර පරතරය අටළොස්රියන් පමණ වුනා. නළල පස්රියනක් උස වුවා. අත්පා එකළොස් රියනක් දිගින් යුක්තයි. උන්වහන්සේගේ එකොළොස් රියන් පාදයෙන් දස රියන් කෙමිය ස්පර්ශ වන විට නව කෙළක් පමණ රේණු ඉහළට නැගී අටපනස් රියන් ශරීර ප්‍රදේශය උඩට නැගී මනෝසිල සුණු මෙන් විසිරී ගියා. ඒ හේතුවෙන් ශාස්තෘන් වහන්සේ ‘පදුමුත්තර නමින් ප්‍රකට වූහ.’යයි ද සංයුක්ත භාණකයෝ කියනු ලබනවා.

ප්‍රථම ධර්මාවබෝධය

ඉන් අනතුරුව පියුමතරා බුදුරජාණන් වහන්සේ මහා බ්‍රහ්මයාගේ ආරාධනය පිළිගෙන මංගල ධර්ම දේශනය සඳහා සුදුසු පුණ්‍යමහිමය ඇති සංසාරය පුරා පතාගෙන පැමිණි පිරිස් ගැන පිරික්සන්න වුනා. ඒ වෙලාවේ මිථිලා නුවර දේවල , සුජාත නම් හේතුසම්පන්න රජකුමරුවන් දෙදෙන දැක ඔවුන් වෙතට යාමට විලෙන් නික්මුණු හංස රාජයෙක් මෙන් අහස් තලයට නගිනු ලැබුවා. ඒ මොහොතේ රජ කුමරුවරු සිටියේ මිථිලා රජ උයනේ. උන්වහන්සේ රජ උයනේ කුමාර වරු අසළින් අහසින් බැස්සේ නැහැ. අහසින් පැමිණියත් රජ උයනේ ප්‍රධාන දොරටුව අසළින් බිමට බැස උයන්පල්ලන් කැඳවා දෙකුමරුන් කැඳවා එන ලෙස පණිවිඩ යවනු ලැබුවා. ඔවුන්ද අපගේ නැන්දණියගේ පුත් පදුමුත්තර කුමරා පැවිදිව සම්බෝධියට පැමිණ අපගේ නුවරට පැමිණ ඇත. එතුමන් වෙත යමු යනුවෙන් පවසා ලහි ලහියේ බුදුහිමියන් වෙත පිරිවර සමග පැමිණ උන්වහන්සේව පිරිවරා සිටියා.

ඔවුන් පිරිවැරූ දසබලයන් වහන්සේ තරුගණ පිරිවැරූ සඳ මෙන් බබළමින් එහිම දම්සක් පැවැත්වුවා. එදා කෙළ ලක්‍ෂයක් ප්‍රාණීන්ට ධර්මාවබෝධ වුනා. එය ප්‍රථම ධර්මාවබෝධයයි.

දෙවැනි ධර්මාවබෝධය

දෙවැන්න සරදතාපස සමාගමයේ මහජනයා නිරය සන්තාපයෙන් තවා ධර්මදේශනා කොට සතිස් ලක්ෂයක් ජනයාහට ධර්මාවබෝධය කරවනු ලැබුවා. ඒ දෙවැනි ධර්මාවබෝධයයි.

තෙවැනි ධර්මාවබෝධය

තවත් දිනක ආනන්ද මහරජ විසිදහසක් පුරුෂයන් සහ විස්සක් ඇමතියන්ද සමග විත් මිථිලා නුවරදී පියුමතුරා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පෙනී සිටියා. පියුමතුරා බුදුන් ඔවුන්ව එහිභික්ඛු පැවිද්දෙන් පැවිදිකරවා උන්වහන්සේලා පිරිවරා පියාණන් හට සංග්‍රහ කරනු සඳහා හංසවතී නුවර වාසය කරන්නට වුනා. එහිදී උන්වහන්සේ අපගේ බුදුරජාණන් වහන්සේ කපිලවස්තු පුරයේ ප්‍රාතිහාර්ය පෑ පරිදී අහසෙහි සක්මන් කරමින් බුද්ධවංශය දේශණා කරන්නට වුනා. එකල පන්ලක්ෂයක් දෙනාට ධර්මාවබෝධ වුනා.එය තෙවැනි ධර්මාවබෝධයයි.

Ape Budu Hamuduruwo 51

අපේ බුදුහාමුදුරුවෝ 51

මාළිගය යානාවක් කොට බුදුබව පතා නික්මුණු 

පදුමුත්තර බුදුහාමුදුරුවෝ 02.

ඒ පදුමුත්තර බෝධිසත්ත්වයන් වහන්සේටත් තුන් ඍතුවට ම යෝග්‍ය වූ මහා ප්‍රාසාද තුනක් ලැබුණා. වසුදත්තා දේවිය ප්‍රමුඛ එක්ලක්ෂ විසි දාහක් ස්ත්‍රීහු උන්වහන්සේට උවැටන් කරනු ලැබුවා. වසුදත්තා දේවියට සියලු ගුණයෙන් උතුම් උත්තර කුමරු උපන් කල කළ සතර නිමිති දැක සසර කලකිරී මහබිනික්මන් කරමි යයි උන්වහන්සේට අදහස් පළ වුනා. හරිම පුදුමයි ක්ෂණයක් ගත වුනා පමණයි . ඒ මහා ප්‍රාසාදය කුඹල් සකක් මෙන් අහසට නැග දෙව් විමනක් මෙන්ද පුන්සඳ මෙන් ද අහසින් ගොස් බෝරුක මැදිකොට සෝභිත බුද්ධ වර්ණනාවේ ආ ප්‍රාසාදය මෙන්ම බිමට බැස්සා. ඒ මහා පුරිස්හු ඒ පහයෙන් බැස වෙසක් පුන් පොහෝ දින උදේනි නිගමයෙහි රුචිනන්දා සිටුදියණිය දුන් මී කිරිබත් වළඳා සල්උයනෙහි දිවාවිහාර කොට සවස් කාලයේ සුමිත්තාජීවකයන් දුන් අටතනමිට ගෙන සලල බෝධිය වෙත ගොස් පැදකුණුකොට අටතිස් රියන් පුළුලැති තනඇති අතුරා පලක් බැඳ චතුරංග විර්යාධිෂ්ඨානයෙන් මරුසහිත මරබල නසා පෙරයම පෙර විසීම් සිහිකොට දෙවන යාමයෙහි දිවැස පිරිසිදුකොට තෙවන යාමයෙහි ප්‍රත්‍යාකාරය මෙනෙහි කොට ආනාපානසති චතුරාර්යධ්‍යානයෙන් නැගී පස්කඳෙහි වැද උදයවය වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් ලකුණු දැක ගෝත්‍රභූ ඥානය තෙක් වඩා ආර්යමාර්ගයෙන් සියලු බුදු ගුණ ප්‍රතිවේද කොට සියලු බුදුවරුන්ට ආවේණික “අනේක ජාති සංසාරං” යන උදාන වාක්‍ය පවසමින් බුද්ධත්වයට පැමිණ උදන් ඇනුවා. ඒ මොහොතේ දසදහසක් සක්වළ අලංකාර කිරීමට මෙන් පියුම් වැසි සක්වළ පුරාම වසිනු ලැබුවා.