Ape Budu Hamuduruwo 206

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)206

 

ඥාන දර්ශන විශුද්ධිය සහ බුදුවීම (පච්ඡිම යාමය)

සච්චානුලෝමික ඤාණය

මිට පෙර ලිපිය නිම වුනේ සච්චානුලොමික ඤාණය පහලවුනා යනුවෙන්. සච්චානුලොමික ඤාණය හෙවත් අනුලෝම ඤාන යනුවෙන් හඳුන්වන්නේ අනිත්‍යාදි තිලකුණු විවිධාකාරයෙන් දැකීම් වශයෙන් පහළ වූ විදර්ශන ඤාන අටටත් ඉන් මත්තෙහි මාර්ග චිත්තක්ෂණයෙහි ලැබිය යුතු බෝධි පාක්ෂික ධර්මයනටත් යන දෙ පක්ෂයට ම ගැළපෙන පරිදි ගෝත්‍රභූඥානයට මුලින් ඇති වන පරිකර්ම උපචාර අනුලෝම යන තුන් කාමාවචර මහා කුසල සිත්හි පහළ වන නුවණයි. මෙම නුවණ සානුලොම විපස්සනා, සිඛාප්පත්ත විපස්සනා, සංඛාරුපෙක්ඛා විපස්සනා, උට්ඨානගාමිනි විපස්සනා යනුවෙන්ද හඳුන්වනවා. දුඃඛානුදර්ශනය පටන්, කොට සත්‍යානුලෝම ඤානය තෙක් ඇත්තාවූ මේ නවය නව විදර්ශනඤාන නම්වනවා. මොහු පටිපදාඤාණ දස්සන විසුද්ධියේ අවයවයෝයි.

ගෝත්‍රභූ ඥාන ලාභය

මෙතැන් සිට ඔබ හට අසන්නට ලැබෙන්නේ ඔබ බොහෝවිට අසා ඇති ගෝත්‍රභූ ඥානය පිළිබඳව. ගෝත්‍රභු ඤාණය යනුවෙන් හඳුන්වන්නේ පෘථග්ජන ගෝත්‍රය ඉක්මෙමින් ආර්යය ගෝත්‍රයට පැමිණෙන සන්ධියෙහි (අනුලෝම ඤානයටත් සෝවාන් මාර්ග ඤානයටත් අතර) නිවන මුලින් ම දකිමින් පහළ වන ඤානයයි. මෙය අන්‍ය මාර්ගවලට මුලින් ද පහළ වෙතත් සෝවාන් මඟ හැර අන් සකෘදාගාමී ආදී මාර්ගවලට මුලින් පහළ වීමේ දී “චෝදන” නමින් හඳුනනු ලබනවා. අප මහා බෝසතාණන් වහන්සේ මහා විර්යයකින් පෘථග්ජන ගෝත්‍රය (ලෞකික බව) මඬිමින්, ඉක්මෙමින්, නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරමින් ගෝත්‍රභූ ඥානය පහළ කරගනු ලැබුව.

ඥාන දර්ශන විශුද්ධිය බුදුවීම

ගෝත්‍රභූ ඥානය පහළ වී නිරුද්ධ වීමෙන් අනතුරුව එයින් දෙන ලද සංඥා ඇත්තක්හු සේ දුක දකිමින්, සමුදය දුරු කරමින්, (දුකට හේතු වූ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් නසමින් ) නිරෝධ සත්‍යය (නිවන) අරමුණු කරමින්, මාර්ග සත්‍යය (අරිඅටැඟි මඟ) වඩමින් ප්‍රථම ඥාන දර්ශනය (සෝතාපත්තිමග්ග ඤාණය) පහළ වුනා.

පච්චවෙක්ඛණ ඤාණයෝ

එයට අනතුරු ව සොතාපත්ති ඵලය ද, ඉන් පසු තමන් ආ මාර්ගය බලන මහා පච්චවෙක්ඛණ ඤාණය ද,ලත් මාර්ගයේ අනුසස් බලන ඵල පච්චවෙක්ඛණ ඤාණය ද, බිඳ හල කෙලෙසුන් විමසා බලන පහීණ කිලෙස පච්චවෙක්ඛණ ඤාණය ද, ඉක්බිති ඉතිරි වූ කෙලෙසුන් සොයා බලන වජ්ඣකිලෙස පච්චවෙක්ඛණ ඤාණය ද යන ඤාණයෝ පහළ වුනා.

යලිදු උදයව්‍යය ඤාණයේ සිට සංස්කාරයන් තිලකුණට නඟා බලන බෝසතාණන් වහන්සේට සංඛාරුපෙක්ඛාව කෙළවරැ අනුලෝම ඤාණ වෝදාන ඤාණයෝ ද තදනන්තර වැ දුක් පිරිසිඳිමින් රාගදෙවෂමෝහයන් තුනී කෙරෙමින් නිවන සාක්ෂාත් කෙරෙමින් අරිඅටැඟි මඟ වඩමින් දෙවෙනි ඥාන දර්ශනය (හෙවත් සකදාගාමිමග්ග ඤාණය) පහළ වුනා. එයට අනන්තර වැ එහි ඵලය ද එයට පසු මාර්ගයත් ඵලයත් ප්‍රහීණ ක්ලේශත් ප්‍රහීණ නො කළ ක්ලේශත් පිරික්සන ප්‍රත්‍යවේක්ෂාඥානයෝ පිළිවෙළින් පහළ වූවා.

නැවැත ද මහා පුරුෂයාණන් වහන්සේ උදයව්‍යය ඥානයේ සිට සංස්කාරයන්ගේ ලක්ෂණ බලන්නට පටන් ගන්නට වුනා. උන්වහන්සේට පළමු සේ ම සංස්කාරෝපේක්ෂාව අවසනැ අනුලෝමවෝදාන ඤාණයෝද, තදනන්තරව දුක් පිරිසිඳිමින්, සමුදය (කාමරාග ව්‍යාපාදයන්) ප්‍රහාණ කරමින්, නිවන් පසක් කරමින් අරි අටැඟි මග වඩමින් තෙවෙනි ඥාන දර්ශනය ද (අනාගාමි මාර්ගය) පහළ වුනා.

සම්‍යක්සම්බුද්ධ පදවියට පැමිණීම.

එයට අනන්තර වැ තදනුරූප ඵලය ද මාර්ග ඵල ප්‍රහීණ ක්ලේශ, ඉතිරි කෙලෙස් යන මොවුන් පරීක්ෂා කරන ඥානයෝ ද පහළ වුනා. තවත් වධ්‍ය ක්ලේශයන් ඇති බව දුටු උන්වහන්සේ පළමු පරිදි ම උදය ව්‍යයාදි නව මහා විදර්ශන ඥානයෙන් සංස්කාරයන් ලක්ෂණත්‍රයට නඟා ක්‍රමයෙන් විමසා බලන යෝගීන්ද්‍ර වූ මහා පුරුෂයාණන් වහන්සේ ට සංඛාරුපෙක්ඛා ඥානය ද, ඉන් පසු අනුලෝම චෝදාන ඥානයෝ ද පහළ වූවා. තව දුරටත් සියලු දුක් පිරිසිඳ දකිමින්, සමුදය (ඉතිරිවැ සිටි සියලු කෙලෙසුන් ) වාසනා දෝෂ ද සමග විහත විධ්වස්ත කරමින්, නිවන් සාක්ෂාත් කරමින් මාර්ගය භාවිත කරමින්, සිවු වන ඥාන දර්ශන ය (අරහත්ත්වමාර්ග ඥානය) පහළ කරගනු ලැබුවා. මෙසේ සෝවාන් ආදී සතර මාර්ගයන් ලැබීම උන්වහන්සේ ගේ ඤාණදස්සන විසුද්ධි සම්පාදන යයි පවසනවා.

අර්හත්ත්වමාර්ග ඥානයට අනතුරුව අරිහත්ත්ව ඵලය ද ඉක්බිති මාර්ගත් ඵලත් ප්‍රහීණ ක්ලේෂත් නිර්වාණයත් යන මොවුන් පිළිබඳ වූ ප්‍රත්‍යවේක්ෂණ ඥානයෝද පහළ වූවා.

මහාපුරුෂයාණන් වහන්සේට අර්හත්ත්වමාර්ග ඥානය සමග ම සිවුපිළිසිඹියා ද ෂඩ් අසාධාරණ ඥාන ද තුදුස් බුද්ධඥාන ද අටළොස් ආවෙණික ධර්ම ද දශබල චතුර්වෛශාරද්‍යාදි අපරිමිත බුද්ධ ගුණයෝ ද සමෘද්ධ වූවා.

මෙසේ බෝසතාණන් වහන්සේ හිරු බැසයාමට පෙරම මාර බලය පරාජය කොට රන් පබළු දැලකින් පුදන්නා ක් මෙන් සිවුර මත බෝ අංකුර වැටෙද්දී පළමු යාමයෙහි පෙර විසූ කඳ පිළිවෙළ දන්නා නුවණ ද, දෙවෙනි යාමයේදී දිවැස් ඤාණයද ලබා පච්ඡිම යාමයෙහි පටිච්ච සමුප්පාදය හේතු ‍ප්‍රත්‍යය ඥානය ද ලබා ගත්තා. මෙහිදී උන්වහන්සේ අවිජ්ජා ආදී පද දොළසකින් යුත් පටිච්චසමුප්පාදය පැවැත්ම නොපැවැත්ම වශයෙන් ද මුල සිට අගට ද අග සිට මුලට ද යන අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ද විමර්ශනය කර ඉහත කී ආකාරයට බුද්ධත්වයට පැමිණෙන විට ජලය කෙළවර කොට ඇති දශ දහසක් ලෝක ධාතුව දොළොස් වරක් ම කම්පා වුනා. මෙසේ එදා රෑ ගෙවී අරුණු නගින කල්හි ම මහා පුරුෂයාණන් වහන්සේ ලෝදා එකලූ කෙරෙමින්, සුබ නිමිති පළ කෙරෙමින් සවාසන සකල ක්ලේශ විද්ධවංසනයෙන් නිරුත්තර සම්‍යක්සම්බුද්ධ පදවියට පැමිණ වදාරනු ලැබුවා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

ඛුද්දකනිකාය » පටිසම්භිදාමග්ගපාළි » මහාවග්ගො » ඤාණකථා , ජාතක අට්ඨකතා 01,

බලංගොඩ ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත” සිද්ර්තධාර්ත ගෞතම බුද්ධ චරිතය” ග්‍රන්ථය.

Ape Budu Hamuduruwo 205

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)205

 

ආසවක්ඛය ඤාණය පහළවීම සහ පටිපදාඤාණ දස්සණ විසුද්ධිය (පච්ඡිම යාමය)

තථාගතයන් වහන්සේ විසින් බොහෝ සූත්‍රවල ත්‍රිවිද්‍යාවක් දක්වා වදාරා තිබෙනවා. අම්බට්ඨ සූත්‍රයෙහි පමණක් අෂ්ට විද්‍යාවක් දේශනය කර තිබෙනවා. මේ ත්‍රිවිද්‍යාවන් බුද්ධත්වය කරා යන ගමනේ ප්‍රථම යාමයේ මජ්ජිම යාමයේ සහ පච්ඡිම යාමයේ යන යාමයන්හි පහල වන්නේ අනුපිළිවෙලින්.

ත්‍රිවිද්‍යාව නම්

  1. තමන්ගේ ද සෙස්සන්ගේ ද පෙර ඉපද සිටි ජාති පිළිවෙළ නාමගෝත්‍රාදි වශයෙන් දක්නා වූ පූර්වේනිවාසානුස්මෘති ඥානය,
  2. ඒ ඒ සුගති දුර්ගති භවවලින් ච්‍යූතව කර්‍මානුරූපව නැවත ඒ ඒ භව වල උපදනා සත්ත්වයන් දක්නා දිව්‍යංචක්ෂූරභිඥානය,
  3. දුඃඛ සමුදය නිරෝධ මාර්ග යන චතුරාර්‍ය්‍ය සත්‍යයන් තත් වූ පරිදි දැන කාමාදි ආශ්‍රවයන් ක්‍ෂය කර නිවන් රසය මතු කර දෙන අර්හන්මාර්ගඥානය, නොහොත් ආසවක්ඛය ඤාණය.

උන්වහන්සේ “ආසවක්ඛය ඤාණය” ලබාගත් සැටි “භයබෙරව” සූත්‍රයේ වැඩිදුරටත් මෙලෙස බුද්ධ ශ්‍රී මුඛ දේශනාවෙන්ම සඳහන් වනවා.

“ඒ මම මෙසේ සිත එකඟවූ කල්හි ආශ්‍රව ක්ෂයකර ඥානය (කෙලෙස් නැති කරන නුවණ) පිණිස සිත නැමුයෙමි. ඒ මම මෙය දුකයයි තතුසේ දත්තෙමි. මේ දුක් ඉපදීමට හේතුවයැයි සතුසේ දත්තෙමි. මේ දුක් නැති කිරීමයැයි තතුසේ දත්තෙමි. මේ දුක නැතිකිරීමේ මාර්ගයයැයි තතුසේ දත්තෙමි. මොහු ආශ්‍රවයෝ (කාම ආදී කෙලෙස්) යයි තතුසේ දැන ගතිමි. මේ ආශ්‍රවයන්ගේ හටගැන්මයයි තතුසේ දැනගතිමි. මේ ආශ්‍රවයන්ගේ නැතිකිරීමයයි තතුසේ දැනගත්තෙමි. මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ ඒ මාගේ සිත කාමාශ්‍රවයෙන්ද මිදුනේය. භවාශ්‍රවයෙන්ද මිදුනේය. අවිද්‍යාශ්‍රවයෙන්ද මිදුනේය. මිදුන කල්හි මිදුනේයයි දැනීම පහළවිය. උත්පත්තිය කෙළවර විය.

“මාර්ග බ්‍රහ්මචර්යාව වැස නිමවනලදී. කළයුත්ත කරන ලදී. මේ අර්හත්වය පිණිස කළයුතු අනිකක් නැත්තේයයි දත්තෙමි.

“බ්‍රාහ්මණය, රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි මේ තුන්වෙනි විද්‍යාව (ආශ්‍රව ක්ෂයකර ඥාන නම්වූ අර්හත් මාර්ගය) මා විසින් ලබන ලදී. එය වසන අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මෝහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය”

පටිපදාඤාණ දස්සණ විසුද්ධිය

මෙලෙස විදර්ශනා මාර්ගයට පිළිපන් මහාසත්ත්වයන් වහන්සේ ස්කන්ධ පංචකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් පරීක්ෂා කරන අතර පංචස්කන්ධයේ පහළ වීමත් විනාශයත් දුටු දකිනු ලැබුවා. (උදයව්‍යය ඥාන) ස්කන්ධයන්ගේ පහළවීමත් විනාශයත් වඩ වඩා බලත්ම වඩ වඩා ස්කන්ධ භංගය ම ප්‍රකට වැ පෙනෙන්නට වුනා. තමන් ඉදිරියෙහි සිටින ව්‍යාඝ්‍රයකුගේ අයා ගත් මුඛයම පෙනෙන්නා සේ ඉතා බලවත් වී මරණය ම පෙනෙන්නට විය. සියලු ස්කන්ධ පංචකය හුදු මරණය නම් දැයෙකින් ම සැදුණාක් මෙන් වැටහිණ. (භංගානුපස්සනඤාණය පහළ වුනා.)

මේ අනුව තව දුරටත් භංගය අනුව බලන සේක් භවත්‍රය ගත සියලු සංස්කාරයන් ව්‍යාඝ්‍ර සර්පාදීන් මෙන් භයක් කොට, භයට කාරණ කොට දුටුවා. (භයතොපට්ඨාන ඤාණය ලැබූ සේක.) මෙසේ සංස්කාරයන් භය වශයෙන්, භය උපදවන්නන් වශයෙන් බලත් බලත් ම භවත්‍රය මුළුල්ල ගිනිගත් කිහිරඟුරු වලක් සේ ජාති ජරාදී එකළොස් ගින්න ඇවිල පවත්නා ප්‍රතිෂ්ඨා රහිත තැනක් සේ පෙනුණා. “භවය මෙ නම් ජාති ජරාදි දුකින් යුක්ත ය” යි භවත්‍රයයේ ම දෝෂ දුටුවා. (ආදීනව ඤාණය ලැබූ සේක.)

ආදීනව ඤාණයෙන් සංස්කාරයන්ගේ දෝෂ බලන කල්හි තමන් සර්ප මුඛයට අසුවූ මැඩියකු සේ ද, දැලෙක අසු වූ මසකු සේ ද, හැඟී යෑමෙන් තුන් භූමියට අයත් සියලු ධර්මයන්ගෙන් මිදෙනු කැමැති නුවණ ඇති වුනා . (මුච්චිතුකම්‍යතා ඤාණය පහළ විය.)

එයින් මිදෙන උපාය සොයන සේක්, චණ්ඩ මෘගයන් ඇති වනයකට වන්නකු ඉන් පැන යෑමට ඒ මේ අත මඟක් සොයා ඇවිදින්නාක් මෙන්, යළිත් සංස්කාරයන් අනිත්‍යාදී ත්‍රිලක්ෂණයට නඟා සම්මර්ශනය කරනු ලැබුවා. (පටිසංඛානුපස්සනා ඤාණය)

මෙසේ විදසුන් වඩන කල්හි දුරාචාර දෝෂයෙන් කලකිරී හරනා ලද භාර්යාවක සැඩොලුන් ගේ සමාගමයෙකැ සිටිනු දැක ද, ආලයක් හෝ අමනාපයක් නැති වැ උදාසීන වන්නාක් මෙන්, දොස් දැක්මෙන් කලකිරුණු, ඇල්ම හැර දැමූ, සංස්කාරයන් මධ්‍යස්ථ වැ බලනා නුවණ (සංඛාරුපෙක්ඛා ඤාණය) පහළ වුනා.

මෙහි කී උදයව්‍යය ඤාණය පටන් කොට සංඛාරුපෙක්ඛාඤාණය තෙක් වූ අෂ්ට ඥානයෝ මහබෝසතාණන් වහන්සේ විසින් පෙරැ බුදුවරයන් වෙත පැවිදි ව ධර්මය ඉගෙන විදර්ශනා වැඩීමෙන් ලත් නිසා අළු යට ගිනි පුපුරු මෙන්, කුටියක් තුළැ ඇවිලෙන පහන් මෙන් සිටි නිසා වහාම අවදිව පැන නැග්ගා.

ඒ අයුරින් පරිදි වූ සංඛාරුපෙක්ඛාඤාණය පුරුදු කරන මහසතාණන් වහන්සේ ගේ ශ්‍රද්ධාව තව තවත් බලවත් වුනා, වීර්යය මනාව වැඩුණා, සිහිය මොනවට එළැඹ සිටිය. සිත සුසමාහිත වුනා. සංස්කාරෝපේක්ෂාව (සංස්කාරයන් මධ්‍යස්ථ ව බැලීම) ඉතා තියුණු වුනා.

සංඛාරුපෙක්ඛාව (සංස්කාරෝපේක්ෂාව) සංස්කාරයන් අනිත්‍ය දුඃඛ අනාත්ම වශයෙන් සම්මර්ශනය කරමින් නැවැතැ භවාංගයට බැස ගත්තා. ඉන්පසු, භවාංගයට අනතුරු වැ සංඛාරුපෙක්ඛා ඤාණයෙහි ආ පරිදි ම අනිත්‍යතාදි ත්‍රිලක්ෂණ අරමුණු කරමින් මනොද්වාරාවර්ජන සිත පහළ වුනා. ඒ සමගම යටැ පහළ වූ උදයව්‍යය ඥානාදි අෂ්ට ඥානයන් ගේ කෘත්‍ය සංසිද්ධියටත් මතු පහළ විය යුතු වූ බෝධිපාක්ෂික ධර්මයනටත් අනුකූල වැ, චතුස් සත්‍යයන් මුවහ කරන අවිද්‍යාව බිඳ හරිමින්, අනිත්‍යාදි තිලකුණු සර්වප්‍රකාරයෙන් ප්‍රකට කෙරෙමින්, සියලු ලෞකික විදර්ශනාවන් ගේ මුදුන් පැමිණ මහා කුශල ජවන ගත ඥානත්‍රයය පිළිවෙළින් බලවත් වැ පහළ වුනා. (සච්චානුලොමික ඤාණය පහළ වුනා.)

Ape Budu Hamuduruwo 204

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)204

 

ද්විතීය විද්‍යාව ලැබීම හා කංඛාවිතරණ විසුද්ධි සම්පාදනය (මධ්‍යම යාමය)

ච්‍යුත්‍යුපපත්තී ඥානය නොහොත් දිව්‍ය චක්‍ෂු ඥානය පහළවීම.

නැවැත මහබෝසතාණන් වහන්සේ මධ්‍යම යාමයෙහි ද පළමු පරිදි ම ආනාපාන චතුර්ථධ්‍යානයට සම වැද ඉන් නැගී සිට, සත්ත්වයන්ගේ ච්‍යුත්‍යුපපත්තීන් බැලීමට සිත යොමු කිරීමේදී ච්‍යුත්‍යුපපත්තී ඥානය නොහොත් දිව්‍ය චක්‍ෂුරභිඥානය පහලවුනා. මරණයට ඉතා ළං වූ ද, එ කෙණෙහි පිළිසිඳ ගත්තා වූ දැ යි කළකම් පරිදි සුගති දුගති දෙක්හි මැරෙන උපදින නන් වැදෑරුම් සත්ත්වයන් පෙනෙන්නට පටන්ගත්තා. උන්වහන්සේ මෙය බෝධිරාජ කුමාර සූත්‍රයේ මෙලෙස සඳහන් කරනවා.

“ඒ මම මෙසේ හිත සමාධියෙන් එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, අංගණ (රාගාදි කෙලෙස්) රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි සත්ත්වයන්ගේ චුති උත්පත්ති දෙක දැකීම පිණිස සිත නැමීමි. ඒ මම පිරිසිදුවූ, මිනිස් බව ඉක්මවා සිටි දිව ඇසින්, චුත වන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කර්මය පරිදි මිය ගියාවූ සත්ත්වයන් දකින්නට වුනෙමි.

කංඛාවිතරණ විසුද්ධි සම්පාදනය

මෙසේ සත්ත්වයන්ගේ ච්‍යුති උපපත්ති දැක්මෙන් තත් ප්‍රතිච්ඡාදක මෝහය දුරු විය. “මම අතීතයෙහි වීම් ද , නොවීම ද යන ආදි වශයෙන් සොළොස් පරිද්දෙකින් වන සියලු සැකය ද ප්‍රහීණ වුනා. මේ වනාහි මහසතාණන් වහන්සේ ගේ කංඛාවිතරණ විසුද්ධි සම්පාදනය යි පවසනවා.

බුද්ධත්වයට පෙර ස්වකීය ඤාණයෙන් පටිච්ච සමුප්පාදය අවබෝධකොටගත් අප මහා බෝසතාණෝ.

අපේ බුදුහාමුදුරුවෝ ගෞතම සූත්‍රයේ කියනවා ” මහණෙනි මම පටිච්ච සමුප්පාදය අවබෝධ කලේ බුද්ධත්වයට පෙර බෝසත් අවදියේදී කියලා. උන්වහන්සේ ඒ තරම්ම ප්‍රඥාවන්තයි. මේ කියවෙන්නේ ඒ ගැන වුනත් ගෞතම සූත්‍රයේ තරම්ම සරළව විස්තරාත්මකව නෙවෙයි. ලිපිය දීර්ඝ නොකිරීම සඳහා පටිච්ච සමුප්පාද විස්තරය බුද්ධත්වයෙන් පසු මහා නිධාන සුත්‍රය ලියනතෙක් පසෙකට තැබුවා.

ඒ දීර්ඝ රාත්‍රියේ තුන් වැනි යාමය ද පැමිණියා. මහ බෝසතාණන් වහන්සේ පළමු සේ ම ආනාපාන චතුර්ථ ධ්‍යානයට සමවැද එයින් නැඟී සිට ස්කන්ධ පස අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්නට වුනා. ඉන්පසු පටිච්ච සමුප්පාද අංග ආරෝහණ අවරෝහණ වශයෙන් මෙනෙහි කරන්නට වුනා. ඒ මගින් මෙතෙක් අවුලක් වූ නූල්බෝලයක හැඩය ගත් භව චක්‍රය සෙමින් සෙමින් ලෙහෙන්නට වුනා. කලාප සම්මර්ශනයේ සිට එක් එක් පටිච්චසමුප්පාද අංගය සත්තානුපස්සනාවීථියට බහාලමින් විමසන්නට වුනා. මෙසේ විවසුන් වඩමින් අනිච්චානුපස්සනායෙන් නිත්‍යසංඥාව ද, දුක්ඛානුපස්සනායෙන් සුඛ සංඥාව ද, අනත්තානුපස්සනායෙන් ආත්මසංඥාව ද, විරාගානුපස්සනායෙන් රාගය ද, නිබ්බිදානුපස්සනායෙන් නන්දිය ද, නිරොධානුපස්සනායෙන් සමුදයය ද, පටිනිස්සග්ගානුපස්සනායෙන් (පටිනිස්සග්ග = අත්හැරීම දුරුකිරීම) ආදානය ද (ආදාන =අල්ලා ගැනීම, ග්‍රහණය, පිළිසිද ගැනීම ) දුරු කරනු ලැබුවා.

මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධි සම්පාදනය

නැවැත සියලු සංස්කාරයන් නාම රූප වශයෙන් දෙකට බෙදා උදය ව්‍යය වශයෙන් බලන උන් වහන්සේට ආලෝක පීති පස්සද්ධි ඤාණ සද්ධා සති සුඛ උපෙක්ඛා විරිය නිකන්ති යන විදර්ශනා උපක්ලේශ දහය පහළ වුනා. ඉන්පසු ඒ ආලෝක ප්‍රීති ආදි ධර්මයන් නුවණින් බලන සේක්, “තෘෂ්ණා දෘෂ්ටි මානයට අරමුණු බැවින්” මොහු මාර්ගය නො වෙත්, තරුණ විදර්ශකයාට ධර්මතා වශයෙන් පහළ වන විදර්ශනෝපක්ලේශයෝ ම බව වැටහුණා.

මොවුන්ගෙන් මිදුණු විදර්ශනා විථියට පිළිපන් නුවණ ම මාර්ගය වේ යැ” යි මෙසේ මාර්ගාමාර්ග පිරික්සා දැන ඒ ආලෝකාදීන් කෙරෙහි නො ඇලී සිත විදර්ශනා භාවනාවට ම යොමු කරනු ලැබුවා. මෙහි උන්වහන්සේට පහළ වූ මගනොමග පරීක්ෂා කැර තීරණ කොට ගන්නා තියුණු විදර්ශනා ප්‍රඥාව මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධි සම්පාදනයයි පවසනවා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

ජාතක අට්ඨකතා 01,බෝධිරාජකුමාර සූත්‍රය ( ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මජ්ඣිම පන්නාසකය » 4. රාජ වර්ගය) ,

බලංගොඩ ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත” සිද්ධර්ත ගෞතම බුද්ධ චරිතය” ග්‍රන්ථය.

Ape Budu Hamuduruwo 203

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)203

 

ප්‍රථම විද්‍යාව ලැබීම හා දෘෂ්ටි විශුද්ධිසම්පාදනය 02

පූර්‍වෙනිවාසානුස්මෘතිඥානය ලැබූ අන්‍යන්ට වඩා සම්මා සම්බුදුවරයෙකුගේ පූර්‍වෙනිවාසානුස්මෘතිඥානයේ සුවිශේෂතා

‘පූර්‍වෙ නිවාසය සිහි කෙරෙන හෝ පෙර විසූ කඳ පිළිවෙළ දක්නා සිහිකරනා ඤාණය පුබේබෙනිවාසානුස්මෘති ඤාණය නම් වනවා. සම්මා සම්බුද්ධත්වය සමග ලබන්නා වූ ඤාණ සාගරයේ ප්‍රථමයෙන්ම අවබෝධ කොට ගන්නා ඤාණය පූර්‍වෙනිවාසානුස්මෘතිඥානය නම් වනවා. එහෙත් මෙම ඤාණය සම්මා සම්බුදුවරයෙකුට පමණක් සාධාරණ වන ෂට් අසාධාරණ ඤාණ සයට අයත් වන්නේ නැහැ. එයට හේතුව පච්චේක බුදු, අග්‍රශ්‍රාවක, අසූ මහා ශ්‍රාවක ඇතුළු ශ්‍රාවකයන්ටත් බුද්ධ ශාසනයෙන් එපිට සමාධි ලභිනටත් මෙම ඤාණ සාධාරණ වීමයි. එහෙත් සම්මා සම්බුදුවරයෙකුගේ පූර්‍වෙනිවාසානුස්මෘති ඤාණයේ එවැනි ඤාණ ලද අන් අයට අසාධාරණ සුවිශේෂතා ඔබ හට පැවසීම ඒ තුලින් සම්මා සම්බුදුවරයෙකුගේ සුවිශේෂී ගුණ ඉස්මතු කොට ඔබගේ ශ්‍රද්ධාව නොසැලෙන නොබිඳෙන අචල ශ්‍රද්ධාවක් බවට පත්කිරීම මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථයයි.

පූර්‍වෙනිවාසානුස්මෘති ඥාන ඇත්තන් ලොව සය දෙනෙක් සිටිනවා. ඒ පහත ආකාරයට

  1. තීර්‍ථකය
  2. ප්‍ර‍කෘති ශ්‍රාවකය
  3. අසූ මහා ශ්‍රාවකය
  4. අග්‍ර‍ශ්‍රාවකය
  5. ප්‍රත්‍යෙක බුද්ධ ය.
  6. සම්‍යක් සම්බුද්ධ යයි, යනුවෙන්.
 
  • තීර්ථකයන්

ඔවුන් මේ ශාසනයෙන් පිටත කර්‍මවාදී-ක්‍රියාවාදී-තාපසාදීන්ය. ඔවුන් හට ඉකුත් සතලිස් කපක් කල් සිහි කිරීමේ හැකියාව පවතිනවා. එයද ස්කන්ධ පටිපාටිය වසයෙන් ම ය. අන්‍ධයකු ගේ ගමන මෙනි. (සැරයටිය නැතිවැ අන්‍ධයාට ගිය නො හැක්කාක් මෙනි.) එයට හේතු වන්නේ නාම-රූප පරිච්ඡේද ගත විදර්‍ශනා ඥානය නැති හෙයින් දුර්‍වල ප්‍ර‍ඥා ඇත්තන් බැවිනි.

  • ප්‍ර‍කෘති ශ්‍රාවකයන්

ඔවුනට කල්ප සියයක් දහසක් සිහි කිරීමේ හැකියාව පවතිනවා. ඒ ස්කන්ධ පිළිවෙළින් හෝ, චුති පටිසන්ධි පිළිවෙළිනි.

  • අසූ මහා ශ්‍රාවකයෝ

කල්ප ලක්‍ෂයක් චුති පටිසන්ධි ක්‍ර‍මය අනුවැ සිහි කිරීමේ හැකියාව පවතිනවා.

දැගසවුවන් හට ඒකාසඞ්ඛ්‍ය කල්ප ලක්‍ෂයක් චුති-පටිසන්‍ධි පිළිවෙළින් සිහි කිරීමේ හැකියාව තියෙනව. එනම් එක සත්ත්‍වයකු ගේ මේ අත්බව්හි පටිසන්‍ධිය බලා, දෙ වන අත්බව්හි චුතිය ද, එහි ප්‍ර‍තිසන්‍ධිය දැ යි මෙසේ පිළිවෙළිනි.

  • පසේ බුදුවරයෝ

ඉහත ආකාරයටම දෙයාසඞ්ඛ්‍ය කල්ප ලක්‍ෂයක් චුති පටිසන්‍ධි වශයෙන් සිහි කිරීමේ හැකියාව පවතිනවා. එයට හේතුව වන්නේ මහා ශ්‍රාවක ද, අග්‍ර‍ ශ්‍රාවක ද, ප්‍රත්‍යෙක බුද්ධ ද, අභිනීහාරය හා බෝධිසම්භාරය පුරණ කාලය එපමණ හෙයින්.

  • බුදුවරුන්ට වූ කලී ස්කන්ධ පටිපාටියක් හෝ, චුති පටිසන්‍ධි පටිපාටියක් හෝ, කාල නියමයක් හෝ නැත. එසේ මැ නොයෙක් කෝටි ගණන් කල්ප අතහැර යම් යම් තැනක් රිසි වූයේ නම් ඒ ඒ තැන ප්‍ර‍කට වීමේ හැකියාව පවතිනවා. පෙය්‍යාල මුඛයෙන් දෙසන පාළියක් සේයි. එලෙසම සිංහ ගතික වැ වාලවේධයෙහි සමර්‍ථ සරභඞ්ගාදි ධනුර්‍ධරයින් විදී හීය, ගස්-වැල් ආදියෙකැ නො ගැටී, ඉලක්කය ම, විදපියන්නා සේ අතරතුර ජාතීන්හි නො ගැටී අභිමත ජාතියෙහි නුවණෙහිම හැපී සිටිනවා. එයද කාල වශයෙන් ද සීමාවක් නැහැ කියලයි විශුද්ධමාර්ගයේ පවසන්නේ.

එය තව දුරටත් විස්තර කරමින් තීර්ථකයන්  ගේ පූර්‍වෙනිවාසානුස්මරණය කණාමැදිරි එළියෙන් බැලීමක් මෙන් ද, ප්‍ර‍කෘති ශ්‍රාවකයන් ගේ පහන් එළියක් මෙන් ද, මහා ශ්‍රාවකයන් ගේ ගිනි සුලක් මෙන් ද, අග්‍ර‍ ශ්‍රාවකයන් ගේ ඔසධී තාරක මෙන් ද, පසේ බුදුවරයන් ගේ සඳ එළිය මෙන් ද, සම්‍යක් සම්බුදුවරයන් ගේ මධ්‍යාහ්න සූර්‍ය්‍යයා මෙන් ද යනුවෙන් පවසනවා.

තවද තීර්ථකයන් ගේ පූර්‍වෙනිවාසානුස්මෘති ඥානය අන්‍ධයාගේ සැරයටි කොණ ගෙන යාම මෙන් ද, ප්‍ර‍කෘති ශ්‍රාවකයන් ගේ තනි ඒදණ්ඩෙහි යාමක් මෙන් ද,

මහා ශ්‍රාවකයන් ගේ පුවරු හෙයකින් යන්නාක් මෙන් ද, අග්‍ර‍ ශ්‍රාවකයන් ගේ ගැළක් යා හැකි හෙයක යන්නාක් මෙන් ද, පසේ බුදුවරයන් ගේ පා මඟෙක යන්නාක් මෙන් ද, බුදුවරයින් ගේ මහා ශකට මාර්‍ගයෙකැ යන්නාක් මෙන් ද යනුවෙන් විස්තර කරනු ලබනවා.

එය තව දුරටත් විස්තර කරමින් තීර්ථකයන්  ගේ පූර්‍වෙනිවාසානුස්මරණය කණාමැදිරි එළියෙන් බැලීමක් මෙන් ද, ප්‍ර‍කෘති ශ්‍රාවකයන් ගේ පහන් එළියක් මෙන් ද, මහා ශ්‍රාවකයන් ගේ ගිනි සුලක් මෙන් ද, අග්‍ර‍ ශ්‍රාවකයන් ගේ ඔසධී තාරක මෙන් ද, පසේ බුදුවරයන් ගේ සඳ එළිය මෙන් ද, සම්‍යක් සම්බුදුවරයන් ගේ මධ්‍යාහ්න සූර්‍ය්‍යයා මෙන් ද යනුවෙන් පවසනවා.

තවද තීර්ථකයන්  ගේ පූර්‍වෙනිවාසානුස්මෘති ඥානය අන්‍ධයාගේ සැරයටි කොණ ගෙන යාම මෙන් ද, ප්‍ර‍කෘති ශ්‍රාවකයන් ගේ තනි ඒදණ්ඩෙහි යාමක් මෙන් ද,

මහා ශ්‍රාවකයන් ගේ පුවරු හෙයකින් යන්නාක් මෙන් ද, අග්‍ර‍ ශ්‍රාවකයන් ගේ ගැළක් යා හැකි හෙයක යන්නාක් මෙන් ද, පසේ බුදුවරයන් ගේ පා මඟෙක යන්නාක් මෙන් ද, බුදුවරයින් ගේ මහා ශකට මාර්‍ගයෙකැ යන්නාක් මෙන් ද යනුවෙන් විස්තර කරනු ලබනවා.

දැන් ඔබහට අප මහා බුදුපියාණන් වහන්සේගේ පූර්‍වෙනිවාසානුස්මෘතිඥාන විෂයපථය පිලිබඳ අල්ප වූ වැටහීමක් තියෙන්නට ඕනේ. ඔබ දොහොත්මුදුන් තබා වන්දේ එවැනි බුදුවරයෙකුටයි.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – විශුද්ධි මාර්ගය. (අභිඥා නිර්දේශය)

Ape Budu Hamuduruwo 202

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)202

 

ප්‍රථම විද්‍යාව ලැබීම හා දෘෂ්ටි විශුද්ධිසම්පාදනය

පංච මාර

1.ස්කන්ධමාර (ඛන්ධ මාර – පංච උපාදානස්කන්ධය) 2.අභිසංස්කාර මාර, (අභිසංඛාර මාර, පිං පවු, කුසල් අකුසල්, පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනෙඤ්ජාභි සංඛාර) 3. මෘත්‍යු මාර, (මච්චු මාර – මරණය) 4. ක්ලේශ මාර (කිලේස මාර – 1500 ක් වූ කෙලෙස්) 5.දේව පුත්‍ර මාර (දේවපුත්ත මාර නොහොත් “මාරයා” යනුවෙන් අපි හඳුන්වන කාම ලෝකයට අධිපති දේවපුත්‍රයා) යනුවෙන් මාරයන් පස් ආකාරයට වර්ගීකරණය කිරීමක් ගැන ඔබ මිට පෙරත් අසා ඇති. බුදුරජාණන් වහන්සේ මේ පරාජය කලේ දේව පුත්‍ර මාර නමැති ඒ දිව්‍ය පුත්‍රයා සහ ඔහුගේ සේනාවයි. එහෙත් ඔහු පරාජය කල සැණින් බුද්ධත්වයට පැමිණෙන්නට නොහැක. ඒ සඳහා ඉහත කී අනෙකුත් මාරයන්ද පරාජය කල යුතුය. එය නිවන් දක්නා කා හටත් ඇති අභියෝගයකි. එහෙත් බුදුවරයෙකුට එහි ඇති මහා අභියෝගය වන්නේ අපට මෙන් නොව කිසිවෙකුගේ මගපෙන්වීමක් උපකාරයක් නොමැතිව තනිව ඒ කාර්යය කල යුතු වීමයි. මෙතැන් සිට මා හට ඇති අල්ප කාලවේලාව අනුව සොයාගත් මුලාශ්‍ර පරිශීලනය කරමින් ලියවෙන්නේ මා වැනි පුද්ගලයෙකුට වචනයෙන් ලියා කොහෙත්ම විස්තර කල නොහැකි ඒ අසීරු කාර්යයේ සංශික්ප්ත බාල සටහනයි.

 ලෝක මහා සංග්‍රාමයක් අවසානයෙන් පසු පෘථිවි ප්‍රජාවට දැනෙන සතුට කෙලෙසේ ද? එලෙස ඒ හා සම කල නොහැකි මේ කාමලෝකයට අධිපති වූ මහා බල පරාක්‍රමයෙන් යුත් මාර සේනාව පරදා ලද ජයෙහි සතුට මෙතකැයි කිව නොහැකි බව ඔබට දැන් අවබෝධ වේවි. ඒ ජය මෙන්ම සතුටද බුද්ධත්වය කරා යාමට අප මහා වීරයාණන් වහන්සේට මහත් උපකාරයක් වෙන්නට ඇති කියලයි මට සිතෙන්නේ. සහශ්‍ර රශ්මීන් ශෝභිත වූ සූර්යය මණ්ඩලය නිම් වලල්ල ගෙන දියෙහි ගිල්වනු ලබන රන් සකක් සේ අවර දිගින් බැස ගියා. මීට මොහොතකට පෙර මහා යුධ පිටියක් වූ මෙම මනස්කාන්ත පරිසරයට කිසියම් හෝ හානියක් වූ බව පෙනෙන්නට නැහැ. ඒ සියල්ල එලෙසම පවතිනවා. කල්ප ගණනකට පසු පායන වෙසක් සඳ එදා නැගී රිදී සෞම්‍ය සඳ කිරණ තවත් කල්ප ගණනාවකට අපට දකින්නට ලැබෙන්නේ නැහැ. මුළු වා තලයම දෙවියන්ගෙන් භමුන්ගෙන් පිරිලා එත් හැමෝම නිහඬව බලා සිටිනවා. ඒ ප්‍රකෝටි සංඛ්‍යාවක් සසර දුකින් නිමා කරන බුද්ධ හෝරාව එළඹෙන තෙක්. අප මහා බෝසතාණන් වහන්සේ ඒ අවශේෂ මාර සටනට නෙත් පියාගත්තා. ඒ ටික බුද්ධ වචනයෙන් ම විස්තර කලොත් හොඳයි කියා මට හිතුනා. ඒ නිසා මිට පෙර විස්තර කල බෝධිරාජ කුමාර සූත්‍රයේ අවසාන කොටසට මෙලෙස අවතීරණය වෙනවා.

ප්‍රථම ධ්‍යානයට පැමිණීම

“රාජකුමාරය, ඒ මම ඕලාරික ආහාරගෙන ශරීර ශක්තිය ලැබ, කාමයන්ගෙන් වෙන්වම, අකුසල ධර්මයන්ගෙන් වෙන්වම, විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීති සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූද සැප වේදනාව මගේ කුසල් සිත විනාශ නොකරයි.

ද්විතීය ධ්‍යානයට පැමිණීම

“විතර්කවිචාර සංසිඳීමෙන් අභ්‍යන්තර පැහැදීම ඇති හිතේ එකඟ බව ඇති, විතර්ක රහිතවූ, විචාර රහිතව, සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති, ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූද සැප වේදනාවද මගේ කුසල් සිත විනාශ නොකරයි,

තෘතීය ධ්‍යානයට පැමිණීම

ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කෙළෙමි. සිහියෙන් හා මනා නුවණින් යුක්තවූයේ කයින්ද සැපය වින්දෙමි. යමක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්තවූයේ, සැප විහරණ ඇත්තේ යැයි ආර්යයෝ කියත්ද එ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි.

සතරවෙනි ධ්‍යානයට පැමිණීම

සැපය නැති කිරීමෙන්, දුක නැති කිරීමෙන්, කල් ඇතිවීම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන්, දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බව ඇති සතර වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි.

පූර්වෙනිවාසය (පෙර උපන් ජාති,) ඥාණය පහළවීම.

“ඒ මම මෙසේ හිත සමාධියෙන් එකඟවූ කල්හි, පිරිසිදුවූකල්හි දීප්තිමත්වූ කල්හි අංගන (රාගාදී කෙළෙස්) රහිතවූ කල්හි, පහවූ උවදුරු ඇති කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි සිත ස්ථිරවූ කල්හි, පෙර ජාති දැනීමේ ඤාණය පිණිස සිත නැමූයෙමි. ඒ මම නොයෙක් ආකාරවූ පූර්වෙනිවාසය (පෙර උපන් ජාති,) සිහිකරමි. එනම් එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශ වන.) කල්පයන්ද, නොයෙක් විවර්තී (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්තී විවර්තී කල්පයන්ද, අසුවල් තැන උපන්නෙමි, එහිදී මේ නම් ඇත්තෙවීමි, මෙබඳු ගෝත්‍ර ඇත්තේ වීමි. මෙබඳු වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසුවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේ වීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු සැප දුක් වින්දේ වීමි. මෙබඳු ආයුෂ ඇත්තේ වීමි. ඒ මම එතැනින් චුතව මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතවූ, දැක්වීම් සහිතවූ, නොයෙක් ආකාරවූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරමි.

“රාජකුමාරය, මා විසින් රාත්‍රියේ පළමුවෙනි යාමයෙහි මේ පළමුවන විද්‍යාව (පෙර විසූ තැන් දන්නා නුවණ) ලබන ලදී. අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මෝහය) නසන ලද්දේය. අලෝකය උපන්නේය. අප්‍රමාදව කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි.

ප්‍රථම විද්‍යාව ලැබීම හා දෘෂ්ටි විශුද්ධිසම්පාදනය

මහ බෝසතාණන් වහන්සේ මෙලෙස පළමුකොට ආනාපාන ස්මෘති කර්මස්ථානය වඩා පළමු වන දෙවෙනි ලැබීම හා තෙවෙනි සිවුවන රූපාවචර ධ්‍යානයන් වෙත පැමිණුනා. නැවැත චතුර්ථධ්‍යානයෙන් නැඟී සිට (සිත ඒ ධ්‍යානාලම්බනයෙන් ඉවත් කොට) පෙර විසූ කඳ පිළිවෙළ අතට එල්ල කොට යැවූ සේකයවනු ලැබුවා. මෙසේ අතීත ජාතීන් සිහි කරන සේක්, අනේක කෙළ දහස් ගණන් ජාතීන් තත්වාකාරයෙන් දුටුහ. උක්ත පරිදි එදා පූර්ව යාමයෙහි ම පෙර වුසූ කඳ පිළිවෙල වසා ලන මෝහය බිඳී යෑමෙන් මහසතාණන් වහන්සේට පූර්වෙනිවාසානුස්මෘතිඥාන ප්‍රතිලාභය වුනා.

පූර්වෙනිවාසානුස්මෘති ඥානයෙන් පෙර වුසූ කඳ පිළිවෙළ බලන බෝසතාණන් වහන්සේ,

“නාමරූපයෝ තත්තද්භවයෙහි පරම්පරා වශයෙන් පහළ වෙමින් බිඳෙමින් පවතින බව පෙනුණා. ඒ නාම රූප පරම්පරාව ගේ ම චක්ෂුරාදි ද්වාරයන්හි රූප දැකීම් ආදි වශයෙන් නානා විඥානයෝ හට ගැනෙමින් බිඳෙමින් පවතින බව දුටුවා. එහෙත් හුදු තනි සත්වයෙක් හෝ ජීවයෙක් හෝ පුද්ගලයෙක් නො වූ බව දුටුවා. එය මවන දෙවියෙක් හෝ මරෙක් හෝ බඹෙක් හෝ නො වී යැ” යි දක්නා සේක් විංශද්වස්තුක සත්කාය දෘෂ්ටිය සිඳ බිඳ දැම්මා. මේ වනාහි බෝසතාණන් වහන්සේ ගේ දිට්ඨිවිසුද්ධි සම්පාදනයයි පවසනවා.