Ape Budu Hamuduruwo 256

අපේ බුදුහාමුදුරුවෝ 256 (සන්තිකේ නිධානය)

සත්සතිය 01

අද සිට අපගේ සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් පසු ගතකල වස් හතලිස් පහක අති සුන්දර මෙන්ම අති ගාම්භීර ගමන් මග ලියන්නට පටන්ගන්නවා. මෙය සමහර විට මාගේ ඉතිරි ජීවිත කාලය පුරාවටම ලියන්නට වේවිද යන පිළිබඳව කිසිම අවබෝධයක් නැත්තේ වස් හතලිස් පහක් යන කෙටි කාලයක් තුල එතරම් දේශණා සිදුවීම් ත්‍රිපිටකය සහ අට්ඨ කතා තුල සංග්‍රහ වී තිබීමයි. එහෙත් බුද්ධත්වයේ සිට පරිනිර්වාණය දක්වා පැමිණි කාලය අනුපිළිවෙලින් දැනගැනීමට මාර්ගෝපදේශයක් සෙවීමේදී අද අප අතර නැති ගෞරවනීය බළන්ගොඩ ආනන්දමෛත්‍රි මහණායක හිමිපාණන් වහන්සේ විසින් රචිත “සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය” නම් ග්‍රන්ථය අහඹු ලෙස නෙත ගැටුනා. එම නිසා මහනායක හිමිනමක් මග පෙන්වන ලෙස සුත්‍ර දේශණා ද ඇසුරෙන් මෙම අති දීර්ඝ ලිපි පෙළ සාර්ථක කරගත හැකි බව හැඟී ගියා.

පළමු සතිය, පළමු දින සත.

භාග්‍යවතුන් වහන්සේ එදින බුද්ධත්වයට පැමිණ පළමුවෙන්ම නෙරංජරා ගඟ අද්දර බෝගස මුල තව දුරටත් වාසය කරමින් සත් දවසක් නිවන් රසය විඳිමින් වජිරාසනයේම වැඩ සිටියා. එය “පඨම බෝධි සුත්‍රයේ” මෙලෙස කියවෙනවා. “මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අභිසම්බෝධියට පැමිණ (බුදු වැ) පළමු කොට ම උරුවෙල්දනව්හි නිල්දලා ගං තෙර බෝරුක්මුලැ වසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ රහත්පල සමවත්සුව විඳුනා සේක්, සතියක් එක් පලගින් හුන් සේක් වෙති.

පළමු සතිය, සත්වෙනි රාත්‍රිය පළමුවැනි යාමය ප්‍ර‍තීත්‍යසමුත්පාදය අනුලෝම වශයෙන් මෙනෙහි කිරීම

භාග්‍යවතුන් වහන්සේ එදින බුද්ධත්වයට පැමිණ පළමුවෙන්ම නෙරංජරා ගඟ අද්දර බෝගස මුල වාසය තව දුරටත් වාසය කරමින් සත් දවසක් නිවන් රසය විඳිමින් වජිරාසනයේම වැඩ සිටියා. භාග්‍යවතුන් වහන්සේ ඒ සත් දවස ඇවෑමෙන් ඒ සිත එකඟ කිරීමෙන් නැගිට රාත්‍රියෙහි පළමුවැනි යාමයෙහි හේතු ප්‍රත්‍යය ධර්මය (ප්‍ර‍තීත්‍යසමුත්පාදය) අනුපිළිවෙළින් (අනුලෝම වශයෙන්) මෙසේ මෙනෙහි කරන්නට වුනා.

“මෙසේ මෙය ඇතිකල්හි මෙසේවේ. මෙය ඇතිවීමෙන් මෙය උපදී එනම්:- “අවිද්‍යාප්‍ර‍ත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍ර‍ත්‍යයයෙන් විඥානය වේ. විඥානප්‍ර‍ත්‍යයයෙන් නාමරූපය වේ. නාමරූපප්‍ර‍ත්‍යයයෙන් ෂඩායතන වේ. ෂඩායතනප්‍ර‍ත්‍යයයෙන් ස්පර්‍ශය වේ. ස්පර්‍ශප්‍ර‍ත්‍යයයෙන් වේදනාව වේ. වේදනාප්‍ර‍ත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍ර‍ත්‍යයයෙන් උපාදානය වේ. උපදානප්‍ර‍ත්‍යයයෙන් භවය වේ. භවප්‍ර‍ත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍ර‍ත්‍යයයෙන් ජරාමරණ ශෝක පරිදේව දුක් දොම්නස් උපායාස යන මොහු වෙත්. (පහළ වෙත්.) මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ ඉපැද්ම වේ” යනු යි. මෙසේ මේ සියළු දුක් රැස පහළවීම වේයයි” මෙනෙහි කරනු ලැබුවා.

ඉන්පසුව භාග්‍යවතුන් වහන්සේ සෑම අයුරින්ම මෙහි අර්ථය දැන ඒ අවස්ථාවෙහි ම මෙම ප්‍රීතිවාක්‍යය පහළ කරනු ලැබුවා.

‘‘යදා හවෙ පාතුභවන‍්ති ධම‍්මා,

ආතාපිනො ඣායතො බ්‍රාහ‍්මණස‍්ස

අථස‍්ස කඞ‍්ඛා වපයන‍්ති සබ‍්බා,

යතො පජානාති සහෙතුධම‍්ම’’න‍්ති.

“කෙලෙස් තවන වීර්යය ඇති ධ්‍යාන කරණ යොගියාට යම් වේලාවක සත්තිස්බෝධිපාක්‍ෂික ධර්මයෝ පහළ වෙත්ද? එකෙණෙහි හේතු ප්‍රත්‍යයෙන් හටගත් දුක් රාශිය දනීද, එහෙයින් ඔහුගේ සියළු සැකයෝ දුරුවෙත්.”

පළමු සතිය, සත්වෙනි රාත්‍රිය, දෙවැනි යාමය ප්‍ර‍තීත්‍යසමුත්පාදය ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කිරීම.

ඉන් පසුව අප මහා බුදුපියාණන් වහන්සේ මධ්‍යම යාමයෙහි හේතු ප්‍රත්‍යය ධර්මය අග සිට මුලට මෙනෙහි කරන්නට වුනා.

ඒ “මෙසේ මෙය නැති කල්හි මෙය නොවේ. මෙය නිරුද්ධවීමෙන් මෙය නිරුද්ධවේ.” යනුවෙන්. ඒ මෙලෙසයි.,

“අවිද්‍යානිරොධයෙන් සංස්කාර නිරොධය වේ. සංස්කාරනිරොධයෙන් විඥාණ නිරොධය වේ. විඥාණ නිරොධයෙන් නාමරූපනිරොධය වේ. නාමරූප නිරොධයෙන් ෂඩායතන නිරොධය වේ. ෂඩායතනනිරොධයෙන් ස්පර්‍ශයනිරොධය වේ. ස්පර්‍ශනිරොධයෙන් වෙදනානිරොධය වේ. වේදනානිරොධයෙන් තෘෂ්ණානිරොධය වේ. තෘෂ්ණානිරොධයෙන් උපාදානය නිරොධය වේ. උපදානනිරොධයෙන් භවනිරොධය වේ. භවනිරොධයෙන් ජාතිනිරොධය වේ. ජාතිනිරොධයෙන් ජරාමරණ ශෝකපරිදේව දුක්දොම්නස් උපායාස යන මොහු නිරුද්ධ වෙත්. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ නිරොධය වේ” යනු යි.

ඉන්පසුව භාග්‍යවතුන් වහන්සේ සෑම අයුරින්ම මෙහි අර්ථය දැන ඒ අවස්ථාවෙහි පෙරසේම ප්‍රීතිවාක්‍යය පහළ කරනු ලැබුවා.

‘‘යදා හවෙ පාතුභවන්ති ධම්මා,

ආතාපිනො ඣායතො බ්‍රාහ්මණස්ස;

අථස්ස කඞ්ඛා වපයන්ති සබ්බා,

යතො ඛයං පච්චයානං අවෙදී’’ති. දුතියං;

“කෙලෙස් තවන වීර්යය ඇති ධ්‍යාන කරණ පව් දුරු කළ යොගීහට බොධිපාක්‍ෂික ධර්ම පහළ වන කල අවිද්‍යාදී හේතුන්ගෙන් ගෙවීමට කරුණුවූ නිවන ප්‍රත්‍යක්‍ෂ කරණ බැවින් ඔහුගේ සියලු සැකයෝ දුරුවෙත්.”

පළමු සතිය, සත්වෙනි රාත්‍රිය, තුන්වැනි යාමය, ප්‍ර‍තීත්‍යසමුත්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කිරීම.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සමාධියෙන් නැගි සිට, රෑ පැසිම් යම්හි, “මෙසේ මෙය ඇති කල්හි මෙය වේ. මෙය ඉපැද්මෙන් මෙය උපදනේ ය. මෙය නොමැති කල්හි මෙය නො වේ. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ යැ”යි. අනුලෝම ප්‍ර‍තිලෝම ප්‍ර‍තීත්‍යසමුත්පාදය මොනොවට මෙනෙහි කරනු ලැබුවා.

ඒ මෙලෙසයි: “අවිද්‍යාප්‍ර‍ත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍ර‍ත්‍යයයෙන් විඥානය වේ. විඥානප්‍ර‍ත්‍යයයෙන් නාමරූපය වේ. නාමරූපප්‍ර‍ත්‍යයයෙන් ෂඩායතන වේ. ෂඩායතනප්‍ර‍ත්‍යයයෙන් ස්පර්‍ශය වේ. ස්පර්‍ශප්‍ර‍ත්‍යයයෙන් වෙදනාව වේ. වෙදනාප්‍ර‍ත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍ර‍ත්‍යයයෙන් උපාදානය වේ. උපදානප්‍ර‍ත්‍යයයෙන් භවය වේ. භවප්‍ර‍ත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍ර‍ත්‍යයයෙන් ජරාමරණ ශොකපරිදේව දුක්දොම්නස් උපායාස යන මොහු වෙත් (උපදිත්.) මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ ඉපැද්ම වේ.

අවිද්‍යාවගේ නිරවශේෂ නිරොධයෙන් සංස්කාරයන්ගේ නිරොධය වේ. සංස්කාරයන්ගේ නිරොධයෙන් විඥානයාගේ නිරොධය වේ. විඥානනිරොධයෙන් නාමරූපනිරොධය වේ. නාමරූපනිරොධයෙන් ෂඩායතනනිරොධය වේ. ෂඩායතනනිරොධයෙන් ස්පර්‍ශනිරොධය වේ. ස්පර්‍ශනිරොධයෙන් වෙදනානිරොධය වේ. වෙදනානිරොධයෙන් තෘෂ්ණානිරොධය වේ. තෘෂ්ණානිරොධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරොධයෙන් භවනිරොධය වේ. භවනිරොධයෙන් ජාතිනිරොධය වේ. ජාතිනිරොධයෙන් ජරාමරණ ශොකපරිදේව දුක් දොම්නස් උපායාස යන මොහු නිරුද්ධ වෙත්. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ නිරොධය වේ.”

ඉන්පසුව භාග්‍යවතුන් වහන්සේ සෑම අයුරින්ම මෙහි අර්ථය දැන ඒ අවස්ථාවෙහි ම මෙම ප්‍රීතිවාක්‍යය පහළ කරනු ලැබුවා.

‘‘යදා හවෙ පාතුභවන‍්ති ධම‍්මා,

ආතාපිනො ඣායතො බ්‍රාහ‍්මණස‍්ස;

විධූපයං තිට‍්ඨති මාරසෙනං,

සූරියොව [සුරියොව (සී. ස්‍යා. කං. පී.)] ඔභාසයමන‍්තලික‍්ඛ’’න‍්ති.

“කෙළෙස් තවන වීර්යය ඇති පවු පිටමංකළ යොගී තෙමේ තමහට බොධිපාක්‍ෂීය ධර්ම පහළ වන කෙනෙහිම අඳුර දුර ගසා අහස බබුලුවන හිරුමෙන් සියලු මර සෙනඟ බිඳහරිමින් සිටී.”

උපකාරක ග්‍රන්ථ

ඛුද්දකනිකාය » උදානපාළි » බොධිවග්ගො » පඨම බොධි සූත්‍රය.

විනය පිටකය » මහාවග්‌ගපාළිය » මහාඛන්‌ධකය සහ එහි අට්ඨ කථාවවන සමන්තපාසාදිකා විනය අට්ඨ කථාව.

Ape Budu Hamuduruwo 255

අපේ බුදුහාමුදුරුවෝ 255

 

සන්තිකේ නිධානය

හැඳින්වීම

අපේ බුදුහාමුදුරුවෝ ලිපි පෙළ ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් යුක්තයි. එය දුරේ නිධානය, අවි දුරේ නිධානය, සහ සන්තිකේ නිධානය නම් වනවා. දුරේ නිධානය කියන්නේ අපගේ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ ප්‍රථම විවරණයේ සිට පිළිවලින් සුවිසිවිරණ ලැබීමෙන් පසු බුදු වීමට පෙර අවසන් වශයෙන් මනු ලොව ඉපදුන (වෙස්සන්තර ජාතකය) ආත්මභාවය දක්වා වූ කතා වෘතන්තයයි. ඉන් අනතුරුව උන්වහන්සේ තුසිත දෙවුලොව ඉපෙදෙනවා. ඒ කොටස ත්‍රිපිටක අට්ඨ කථාවෙහි දුරේ නිධානය නොහොත් දුර නිදානය වශයෙන් හඳුන්වනවා. එය කොටස් 141 කින් ලියා අවසන් කළා.

අවිදුරෙ නිධානය කියන්නේ දුරේ නිධානයෙන් පසු තුසිත දෙව්ලොවෙන් පිට වී බුද්ධත්වය දක්වා පැමිණි ගමන් මගටයි. එය අවිදූරේ නිධානය නොහොත් දුර නැති නිධානය වශයෙන් ද හඳුන්වනවා. එය කොටස් 142 සිට දෙසිය පනස් හතර තෙක් කොටස් 112 කින් ලිය අවසන් කළා.

දැන් ඇත්තේ සන්තිකේ නිධානයි. එනම් ළඟ නිධානය නොහොත් බුද්ධත්වයෙන් පසු පරිනිර්වාණය දක්වා පැමිණි ඒ වස් හතළිස් පහක් වූ කාලයෙහි විස්තර කතාවයි. දැන් අද දින සිට ඔබ වෙත දිග හැරෙන්නේ ඒ අති රමණීය බුදු පිය සටහන් පෙළයි .

බෝ මැඬ දී උදාන වාක්‍ය පහළ කොට වැඩ සිටි බුදුන් වහන්සේට මෙබඳු අදහසක් පහළ වුණා. මම මේ බෝමැඩ පළඟ සඳහා සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් සසර ගමන් කළෙමි. ඒ කාලය තුළ මම මේ පළඟ සඳහා අලංකාර කළ හිස බොටුවෙන් සිඳ දුනිමි. අදුනෙන් සැරසූ ඇස් සහ හෘදය මාංශ උපුටා දුනිමි. ජාලිය කුමරු වැනි පුතුන් ක්‍රිෂ්ණජිනා කුමරිය වැනි දියණියන් මද්රි දේවි වැනි බිරියන් අනුන්ගේ බැලමෙහෙ සඳහා දුනිමි. මේ පළඟ මගේ නොපැරදුණු පළඟයි. බුදු බව ලබා ගත් උතුම් පළඟයි. මෙහි වැඩ හුන් මගේ සියලු ප්‍රාර්ථනා සඵල විය. තවදුරටත් මෙයින් නොනැගිටිමි. යනුවෙන් සිතමින් නොයෙක් කෙළ සිය ගණන් සමවත් වලට සම වදිමින් සත් දිනක් එහිම වැඩ සිටියා.

උපකාරක ග්‍රන්ථ

ජාතකට්ඨකථාව 01.

Ape Budu Hamuduruwo 254

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)254

 

අසිරිමත් බුදුගුණ වරුණ 48

අනන්ත වූ බුදුගුණ සහ බුද්ධ ඥාන ගැන කියවෙන කාලකාරාම සූත්‍රය 

සච්චක සහ කාළබුද්ධරක්ඛිත රහතන් වහන්සේ 02

අනන්ත වූ බුදුගුණ වැයුම

මිහින්තලේ රාජගිරි නමින් හැඳින්වුණු පෙදෙසෙහි කලු බුද්ධ රක්ඛිත නම් වූ කලු වර්ණයෙන් යුතු වූ තෙරුන් වහන්සේ, කලු ගල්ලෙනක, කලුවර අමාවක පොහොය දිනක, මිහින්තලේ කලු දිය පොකුණ අසල, කලුතිඹිරි ගසක් මුල කලු ගල් ආසනයක වැඩ හිදිමින් කාලකාරාම සූත්‍රය දේශනා කරන්නට පටන් ගත්තා. මෙය අනන්ත වූ බුදුගුණ වලින් අල්පයක් ගැන වැදැරු දේශනාවක් බව මීට පෙර සඳහන් කළා.

මෙදින ද අමාවක පොහොය දිනය වූයෙන් උපෝසථ සීලය සමාදන් වු සද්ධාතිස්ස රජු සුමධුර ධර්ම දේශනාවකට සවන් දීමේ ආශාවෙන් සිටියා. මිහින්තලේ පැවැත්වෙන සුවිශේෂ ධර්ම දේශනය පිළිබඳ රජුට අසන්නට ලැබුනා. මිට පෙර කියූ පරිදි උපස්ථායකයන් වහන්සේ විසින් කල පුර්ව දැනුම් දීමෙන් රජුද අතවැසියන් සමග බණ ඇසීමට එහි ගියා. රජු එහි යන විට අඳුර වැටී තිබූ අතර බොහෝ දෙනා ධර්ම දේශනා භූමියේ අතුරු සිදුරු නැතිව පිරී සිටියා. තමා පැමිණි බව තෙරුන් වහන්සේට දැන්වීම හෝ සෙනග පීරා ගෙන ඉදිරියට යෑම හෝ නොමනා යැයි රජු සිතු නිසා ඉඩ ලද තැනක සිටි වනම හිටිපිය නොසලා, මුළු රැය පහන් වනතුරුම ධර්ම ශ්‍රවණය කළා. පසු දින පහන් වත්ම හමාර බණ දෙසූ හිමියෝ ධර්ම දේශනය නිමා කළා.

තමන් පැමිණි බව තෙරුන්ට ඇඟවීමට සුදුසු කල යැයි සිතූ රජු උන් වහන්සේගේ දර්ශන පථයට සමීප වුනා. බුද්ධ රක්ඛිත හිමියෝ රජු හැඳින ගත්තා.

රජු තෙරුන් සමීපයට ගොස් දොහොත් මුදුන් දී වැද තමා මුළු රැයම ධර්ම ශ්‍රවණය කළ බවත් එයින් තමා ගැඹූරු ආශ්වාදයක් විඳි බවත් රජු පැවසුවා. රජකු වශයෙන් කිසි සුවයක් නොලැබ මුළු රැය පුරා හිටිවනම ධර්මය ශ්‍රවණය කිරීම ගැන තෙරුන් වහන්සේ පුදුමය පළ කළහ. ඊට පිළිතුරු දුන් රජු ‘ ඔබ වහන්සේගේ මිහිරි ධර්ම දේශනා විලාසය අතිශයින්ම ප්‍රසාදජනක යැයි ද එක් රැයක් නොව දිවි ඇතිතුරා වුවද ඔබ වහන්සේගේ දේශනාව අසා සිටිය හැකි යැයි ද පැවසුවා.

මෙතරම් අරුත්බර මිහිරි ධර්ම දේශනයක් මෙතෙක් තමාගේ ජීවිත කාලය පුරා අසා නැති බවත් පැවසු රජු ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ගුණ සමුදාය එක සූත්‍ර දේශනාවකින්ම පැවසුවේ නොවේදැ’යි විමසා සිටියා.

බුද්ධ රක්ඛිත තෙරුන් – නැත මහරජ ඒ අනන්ත ගුණ සමුදාය මා හට වචනයට ගොනු කල නොහැකියි. දේශණා කලේ ඒ අනත වූ බුදුගුණ සාගරයෙන් අල්පවූ වක්මයි. උපමාවක් නැති තරම්.

සද්ධාතිස්ස රජු – ස්වාමීන් වහන්ස මට එසේ කීවාට නොවැටහේ. උපමාවක් කියන්න.

බුද්ධ රක්ඛිත තෙරුන් – සතර මහා දේශයට වැටෙන මුරුගසන් වරුසාවක ගෙයක පියස්සක් මතට වැටි වතුර පොද හා සමානයි මාගේ දේශනාව. මුලු සතර දේශයට ම වැටි මහා ජලකඳ හා සමානයි ඒ මහා අනන්ත ගුණ සමුදාය.

සද්ධාතිස්ස රජු – ස්වාමීන් වහන්ස මට එසේ කීවාට නොවැටහේ. තවත් උපමාවක් කියන්න.

බුද්ධ රක්ඛිත තෙරුන් – අප්‍රමාණ ධාන්‍ය රැසකින් සැදි හාල් කෙතකින් ගිරෙවෙක් හොටෙන් ගත් එක් වී කරලක් හා සමානයි මා කල දේශණාව. ඒ මහත් කෙතහි ඇල් හාල් හා සමානයි මා නොකී ගුණ සමුදාය.

සද්ධාතිස්ස රජු – ස්වාමීන් වහන්ස මට එසේ කීවාට නොවැටහේ. තවත් උපමාවක් කියන්න.

බුද්ධ රක්ඛිත තෙරුන් – මහරජ දෙගොඩතලා යන වතුරකට දැමු ඉඳිකටු තුඩක සිදුරෙන් යන වතුර ස්වල්පය හා සමානයි මා කල දේශණාව. අර මහා දියකඳ හා සමානයි නොකී බුදුගුණ සමුදාය.

සද්ධාතිස්ස රජු – ස්වාමීන් වහන්ස මට තවත් උපමාවක් කියන්න.

බුද්ධ රක්ඛිත තෙරුන් – මහරජ මහා සයුරෙන් දියබිදක් නියපිටට ගත්තා හා සමානයි මා විසින් දේශණා කරන්නට යෙදුනු බුදුගුණ. මහා සයුර මෙන් අනන්තයි දේශනා නොකළ බුදුගුණ.

සද්ධාතිස්ස රජු – ස්වාමීන් වහන්ස මට තවත් උපමාවක් කියන්න.

බුද්ධ රක්ඛිත තෙරුන් – කුහුබියෙකු උගේ කුඩා තුඩින් මහා අත්රාජයකුගේ සිරුරෙන් ගත් මස් ස්වල්පයක් හා සමානයි මා දේශනාකල බුදුගුණ. ඒ අත්රාජයගේ මස් ප්‍රමාණය හා සමාණයි දේශනා නොකළ බුදුගුණ.

සද්ධාතිස්ස රජු – ස්වාමීන් වහන්ස මට තවත් උපමාවක් කියන්න.

බුද්ධ රක්ඛිත තෙරුන් – මහරජ ආකාසයේ පියාසරණ පක්ෂියකුගේ තටු දෙකට ආවරණය වූ ආකාසය හා සමානයි මා දෙසු බුදු ගුණ. ඒ මහත් වූ අකාසයම හා සමානයි මා විසින් දේශනා නොකළ බුදුගුණ.

සාදු සාදු ස්වාමින්වහන්ස මට හොදින් වැටහුණි!

රජ තුමාගේ ශ්‍රද්ධා භක්තිය වැඩිණි. තෙරුන් වහන්සේ කෙරෙහිද ප්‍රසාදය ද වැඩිණි. රජු කොතරම් ප්‍රසාදයට පත් වීද යත් තමා සක් දෙවි නම් මුලු දිව්‍ය පුරයම පූජා කරමියි ද ස්වාමිනි මම ඔබ වහන්සේට මුලු ලංකාද්වීපයම පූජා කරමියි ද වැඳ වැටී කියා සිටියා.

මෙලෙස කියා නිමකළ නොහැකි බුදුගුණ සමුදායක් සමගින් අවිදුරේ නිධානය නිමාවට පත්වෙනවා. මින් ඉදිරියට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ සිට පිරිනිවන්පෑ දින තෙක් ගතකල වස් හතලිස් පහ සහ එහි සුවිශේසී සිද්ධි, ධර්ම කරුණු මෙන්ම මෙතෙක් නොඇසූ හද සසල කරවන අප්‍රකට කරුණුද කියවන්නට ලැබේවි. එය සංතිකේ නිධානය නම් වනවා.

Ape Budu Hamuduruwo 253

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)253

 

අසිරිමත් බුදුගුණ වරුණ 47

අනන්ත වූ බුදුගුණ සහ බුද්ධ ඥාණ ගැන කියවෙන කාලකාරාම සූත්‍රය 

සච්චක සහ කාළබුද්ධරක්ඛිත රහතන් වහන්සේ 01

සච්චක.

තථාගතයන් වහන්සේ වැඩ විසු කාලයේ වෛශාලිපුරයෙහි සච්චක නම් නිගණ්ඨපුත්‍රයෙක් වාසය කළා. ඔහුගේ මාපිය දෙදෙන වාද පන්සියය බැගින් දැන සිටි උගතුන්. සච්චක ඒ දෙදෙනා දත් සියල්ල ද නොයෙක් ශිල්පශාස්ත්‍ර හා භාහිරසමයයන් ද උගෙන කීර්තිමත් පඬිවරයෙක් වුණා. ඒ විතරක් නෙවෙයි. ඔහු වෛශාලියෙහි ඔබ අසා ඇති ලිච්ඡවි කුමාරයන්ට උගැන්වූ ගුරුවරයා ද වුණා. “තමා තරම් දත්, තමා හා වාදකථා කිරිමට සමත් අනිකකු ලෝකයේ නැතය” කියා සිතා ඔහු පණ්ඩිත මානයෙන් මත්ව සිටියේ ය.

ඔහු වෛශාලියෙහි ජනයා මැද සිට මා වාද කළ හොත් වෙවුලා නො යන, කිසිලිවලින් ඩහදිය නො වැගිරෙන පණ්ඩිතයෙක් ගණාචාර්‍ය්‍යයෙක් නැත. සම්‍යක් සම්බුද්ධය යි කියා ගෙන සිටින්නකු වුව ද මා වාද කළ හොත් වෙවුලා යන්නේ ය. ඔහුගේ කිසිලිවලින් ඩහදිය ගලන්නේ ය”යි පුරසාරම් බස් දොඩන්නට වුණා.

දිනක් සච්චක වේසාලියෙහි පාගමනින් ඇවිදිනුයේ එහි පිඬු පිණිස පිවිසි අස්සජි මහරහතන් වහන්සේ හමුවී උන්වහන්සේ හා පිළිසඳර කථා කොට “පින්වත් අස්සජියනි, කෙසේ ශ්‍රමණ ගෞතමයෝ ශ්‍රාවකයන් හික්මවත් ද? ශ්‍රමණ ගෞතමයන් බෙහෙවින් ශ්‍රාවකයන්ට අනුශාසනා කරන්නේ කෙසේදැ”යි විචාරන්නට වුණා.

“රූපං හික්ඛවෙ අනිච්චං, වේදනා අනිච්චං, සඤ්ඤා අනිච්චා, සංඛාරා අනිච්චා, විඤ්ඤාණං අනිච්චං, රූපං භික්ඛවෙ අනත්තා, වෙදනා අනත්තා, සඤ්ඤා අනත්තා, සංඛාරා අනත්තා, විඤ්ඤාණං අනත්තා, සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ ධම්මා අනත්තා,”

“අග්ගිවෙස්සන, භග්‍යවතුන් වහන්සේ මෙසේ ශ්‍රාවකයන් හික්මවන්නාහ, මෙසේ ශ්‍රාවකයන්ට බෙහෙවින් අනුශාසනා කරන්නාහ”යි අස්සජි තෙරුන් වහන්සේ වදාරනු ලැබුවා.

එකල්හි සච්චක “පින්වත් අස්සජියනි, නො ඇසිය යුත්තක් ඇසීමි, යම් කිසි විටෙක, ඒ භවත් ගෞතමයන් මුණ ගැසී කථා කරන්නට වුව හොත් ඔහු මේ පාප දෘෂ්ටියෙන් මිදවිය හැකි වන්නේ ය’යි කිවා. මෙසේ කියූ ඔහු තනියෙන් නොව ලොවටම දනවන්නට වජ්ජින් පන්සියයක්ද සමග බුදුරජුන් හා සමග වාදයට ගියා. එදා ඔහු අන්ත පරාජයක් ලැබ බුදුරජුන් ඉදිරියේම වජ්ජින් අතරද අවඥාවට ලක්වුණා. එහෙත් මෙම ලිපියේ එම කථාවසම්පුර්ණයෙන් ම නොලියන්නේ අද දිනෙන් මෙම ලිපිය අවසන් කලයුතු බව හැඟුණු නිසා. එහෙත් බුදුරජාණන් වහන්සේ ඔහුට බණ කියන්නට ගියේ නැත්තේ ඒ වනවිටත් මානයෙන් ඉදිමි තිබුණු ඔහුගේ හිස ධර්මාවබෝධය තරමටම ප්‍රඥාව මෝරා නැති බව අනන්ත වූ බුද්ධ ඥානයට වැටහී ගිය නිසයි.

ඔහු එතැනින් නතර වුනෙත් නැහැ. තවත් දිනක පිරිසක් නැතිව රහසේම පැමිණියා බුදුරජාණන් වහන්සේව වාද කොට පරද්දන්නට. ඊට හේතුව යලිත් පැරදුනොත් අන් අය අතර අවමානයට ලක් නොවන්නට.

මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ ඔහුට දහම් දෙසීමට ආනාගතයේ විය හැකි යහපත දැන වදාරා කරුණා පෙරදැරිව සච්චකයා පිළිගෙන ඔහුගේ ප්‍රශ්න විසඳමින් මහාසච්චක සූත්‍ර ධර්මය වදාරනු ලැබුවත් සච්චකගේ නුවණ මෝරා නො තුබුණෙන් සූත්‍ර දෙකක් ම අසා ද ඔහුට ධර්මාවබෝධය නොවුණා. යටත් පිරිසයින් අත් ඔසවා වැඳිම් මාත්‍රයකුදු නො කරන මේ නිගණ්ඨයාට තථාගතයන් වහන්සේ බොහෝ වෙහෙස ගෙන ධර්මදේශනා කරන ලැබුවේ වෙන් කිසිවක් නිසා නොවේ, අනාගතයේ ඔහුට ලක්දිව ඉපිද පැවිදිව රහත් ව නිවන් දැකිය හැකි වන බව දුටු නිසයි.

තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාරනු ලැබුවා. සච්චක මිනිස් ලොවින් චුතව දෙව්ලොව උපන්න. සිරිලක් දෙරණේ බුදුසසුන පිහිටි පසු සච්චක දෙව්ලොවින් චුතව දක්ෂිණගිරි විහාරස්ථානයෙහි ඇමති පවුලක ඉපිද පැවිදි වීමට සුදුසු වයසට පැමිණි කල්හි ගිහිගෙන් නික්ම පැවිදි වුණා. පසුව ඔහු කාළබුද්ධරක්ඛිත නම් වුණා. ඒ භික්ෂු තෙමේ ත්‍රිපිටක ධර්මය මැනවින් උගෙන ආචාර්‍යය වරයෙක් වී දිනක් බොහෝ භික්ෂුන් සමග උපාධ්‍යායන් දක්නට ගියා. උපාධ්‍යායන් වහන්සේ තමන්ගේ සඬිවිහාරිකයා හික්මවන්නට සිතා ත්‍රිපිටකය උගෙන මහා පිරිසකුත් සමඟ පැමිණි කාළබුද්ධරක්ඛිතට මුහුණ නුදුන්නා. අන් සැලකිල්ලක් තබා පිළිසඳර කථා මාත්‍රයකුදු නො කළ. සමහර විට මට හිතෙනවා ඒ බුදුරජුන්ට කරන්නට සැරසුණු අවමානය නිසාද කියලා. පසු දින උදෑසන බුද්ධරක්ඛිත භික්ෂු තෙමේ උපාධ්‍යායන් වෙත ගොස් වැඳ “ස්වාමිනි, මම ත්‍රිපිටික ධර්මය උගෙනීම නිම කොට නුඹ වහන්සේ දක්නට පැමිණියෙමි. නුඹ වහන්සේ මට මුහුණ දී කථාවකුදු නො කරන සේක. මා අතින් සිදුවී ඇති වරද කිමදැ’යි අසා සිටියා. එකල්හි තෙරණුවෝ “ඇවැත්නි, බුද්ධරක්ඛිත ඔබ ත්‍රිපිටකය උගත් පමණින් පැවිදි කිස නිම වී යයි සිතන්නෙහිදැ යි ඇසුවා. ස්වාමිනි, කුමක් කරන්නෙම්දැයි බුද්ධරක්ඛිත භික්ෂුනම කීය. පිරිස හැර පළිබෝධ සිඳ, කසිතපබ්බත විහාරයට ගොස් මහණ දම් කරවා’යි තෙරුන් වහන්සේ කීවා. බුද්ධරක්ඛිත භික්ෂු තෙමේ උපාධ්‍යායන්ගේ අවවාදයෙහි පිහිටා මහණදම් පුරා සිවුපිළිසිඹියාවන් සහිතව අර්හත්වයට පැමිණ බොහෝ භික්ෂුන් පිරිවර කොට ඇති රාජ පූජිත තෙරනමක් වී චේතියපබ්බත විහාරයෙහි වාසය කළා. ඒ කාලයේ තිස්ස රජ සිල් සමාදන්ව සෑගිරියේ රජලෙනෙහි වාසය කරයි. රජතුමා “කාළබුද්ධරක්ඛිත තෙරුන් වහන්සේ දහම් දෙසන, ප්‍රශ්න විසඳන අවස්ථාවක් වේ නම් මට දන්වනු මැනවයි” තෙරුන් වහන්සේගේ උපස්ථායක භික්ෂුවකට කියා තැබුවා. එක් දිනක් කාලබුද්ධරක්ඛිත තෙරණුවෝ භික්ෂුසංඝයා සමඟ කණ්ඨක චෛත්‍යය වැඳ එය සමිපයෙහි ඇති කළු තිඹිරිගසක් මුල වැඩ සිටියා. එකල්හි එක් පිණ්ඩපාතික තෙරනමක් උන්වහන්සේගෙන් කාළකාරාම සුත්‍රයෙන් ප්‍රශ්නයක් ඇසුවා. එය පොහෝ දිනයෙකි. තෙරුන් වහන්සේ “අද දහම් අසන දිනය නො වේදැ’යි භික්ෂුන්ගෙන් ඇසූහ. භික්ෂුහු “එසේය’යි පිළිතුරු දුන්හ. එසේ නම් “පුටුවක් ගෙනව, අද මෙහි ම දහම් දෙසමි’යි වදාළහ. තෙරුවන් වහන්සේ එහි වැඩ හිඳ රාත්‍රීය මුළුල්ලෙහි කාළකාරාම සූත්‍රයෙන් දහම් දේශණා කළා.

කාළකාරාමසූත්‍රය, සුත්‍රදේශනා අතුරෙන් ඉතා උසස් සුත්‍රධර්මයෙකි. එය දේශනය කිරිමේ දී පස් වරක් පොළොව කම්පිත වුණා. එය ඇසිමෙන් පන්සියයක් භික්ෂුහු සව්කෙලෙසුන්නසා රහත් වූණා. සුවාසූ දහසක් සත්වයනට ධර්මාභිසමය වූණා. එය බුදුගුණ දැක්වෙන සූත්‍රයක්. මේ බුදුගුණ කථනස්ථානයේ දී එය දැක්වීමට යෝග්‍ය සූත්‍රධර්මයක් වුව ද ඉතා ගැඹුරු වූ ඒ සුත්‍රයේ ධර්ම රසය සැමටම ලැබිය නොහෙන බැවින් මෙහිදී ලියවෙන්නේ නැහැ. එය අඬිගුත්තරනිකායේ චතුෂ්කනිපාතයේ පඨමපණ්ණාසකයේ උරුවේලවග්ගයේ සතරවන සූත්‍රයයි.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

අඞ්ගුත්තරනිකාය » චතුක්කනිපාතපාළි » උරුවෙලවග්ගො » කාළකාරාම සූත්‍රය

Ape Budu Hamuduruwo 252

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)252

 

අසිරිමත් බුදුගුණ වරුණ 46

චතු විශාරද ඥාණ

අවිදුරේ නිධානය අවසාන කරන්නට සිතුවේ සම්මා සම්බුදුවරයෙකුගේ බුදුගුණ සහ බෝධිමුලයේදී අවබෝධ කරගත් බුද්ධ ඥාන ගැන ස්වල්ප වශයෙන් සටහනක් තබමින්. ඒ අයුරින් පසුගිය ලිපි පෙළ සකසුනා. අවසාන වශයෙන් චතු විශාරද ඥාන සම්බන්ධව කෙටි සටහනක් තබමින් මෙම බුද්ධ ඥාන සම්බන්ධව ලියු ලිපි පෙලද අවිදුරේ නිධානයද අවසාන කරන්නට සිතුවා. ඒ අනුව අඞ්ගුත්තරනිකාය චතුක්කනිපාතපාළියෙහි භණ්ඩගාමවග්ගයේ ඇති වෙසාරජ්ජ සූත්‍රය මේ අයුරින් ඔබ වෙත ගෙන එනවා.

වෙසාරජ්ජ සූත්‍රය

“මහණෙනි, යම් විශාරද බවකින් යුක්ත තථාගතයන් වහන්සේ උත්තම ස්ථානය ප්‍රතිඥා කෙරෙත්ද, පිරිසෙහි සිංහනාද කරයිද, ධර්ම චක්‍රය පවත්වයිද, තථාගතයන් වහන්සේගේ මේ විශාරද බැව් සතරක් වෙති. කවර සතරක්ද යත්?

  1. “සම්‍යක් සම්බුද්‍ධභාවය ප්‍රතිඥා කරන්නාවූ මට, ‘නුඹ වහන්සේ විසින් මේ ධර්මයෝ අවබෝධ නොකරණ ලදැ’ යි ඒකාන්තයෙන් ඒ කරුණෙහිලා ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් කරුණු සහිතව පෙරලා චෝදනා කරන්නේද, මහණෙනි, එබඳු පුද්ගලයෙකු නොදකිමි. මහණෙනි, එබඳු කෙනෙකු නොදක්නාවූ මම, ක්‍ෂෙම බවට පැමිණ, නිර්භය බවට පැමිණ, විශාරද බවට පැමිණ වෙසෙමි.
  1. “තොපට ක්‍ෂීණාශ්‍රව බව ප්‍රතිඥා කරන්නාවූ මට, ‘මේ ආශ්‍රවයෝ ක්‍ෂය නොවූහ’ ඒකාන්තයෙන් ඒ කරුණෙහිලා ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් කරුණු සහිතව චෝදනා කරන්නේද, මහණෙනි, එබඳු පුද්ගලයෙකු නොදකිමි. මහණෙනි, එබඳු කෙනෙකු නොදක්නාවූ මම, ක්‍ෂෙම බවට පැමිණ, නිර්භය බවට පැමිණ, විශාරද බවට පැමිණ වෙසෙමි.
  1. “තොපට මාර්‍ග ඵලයන්ට අන්තරායක වූ ධර්ම කෙනෙක් වදාරණ ලද්දාහුද, ‘ඔවුන් සේවනය කරන්නාහට අන්තරායකර නොවේය’ යි මට ඒකාන්තයෙන් ඒ කරුණෙහිලා ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් කරුණු සහිතව පෙරලා චෝදනා කරන්නේද, මහණෙනි, එබන්දෙකු නොදකිමි. මහණෙනි, එබන්දෙකු නොදක්නාවූ මම, ක්‍ෂෙම බවට පැමිණ, නිර්භය බවට පැමිණ, විශාරද බවට පැමිණ වෙසෙමි.
  2. “තොපට තොපට යමක් උදෙසා ධර්මය දේශනා කරණ ලද්දේද, ‘ඒ ධර්මය ඒ අනුව වැඩ කරන්නහුට මනාකොට දුක් කෙළවර කිරීම පිණිස නොපවතීයයි මේ කරුණෙහිලා මට ඒකාන්තයෙන් ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් කරුණු සහිතව චෝදනා කරන්නේද, මහණෙනි, එබන්දකු නොදකිමි. මහණෙනි, එබන්දකු නොදක්නාවූ මම, ක්‍ෂෙම බවට පැමිණ, නිර්භය බවට පැමිණ, විශාරද බවට පැමිණ වෙසෙමි.

“මහණෙනි, යම් විශාරද බවකින් යුක්ත තථාගත තෙම උත්තම ස්ථානය ප්‍රතිඥා කෙරෙයිද, පිරිසෙහි සිංහනාද කරයිද, ධර්මචක්‍රය පවත්වයිද, මේ ඒ සතර විශාරද භාවයෝ වෙත්.

“සකස් කරණ ලද යම්කිසි බොහෝ වාද පථයෝ වෙත්ද, යම් ඒ වාද පථ ඇසුරුකළ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත්ද, ඔවුහු විශාරදවූ, වාදපථ ඉක්මවූ, තථාගතයන් වහන්සේ කරා පැමිණ නැතිවෙත්. යමෙක් ඒ සියලු වාද පථයන් මැඩ සියලුදෙනාට හිත කැමැත්තෙන් ධර්ම චක්‍රය පැවැත්වූයේද, සත්ත්‍වයෝ භවයාගේ පරතෙරට ගිය, දිව්‍ය මනුෂ්‍යයන්ට ශ්‍රේෂ්ඨවූ, එබඳුවූ බුදුරජානන් වහන්සේට නමස්කාර කරත්.”

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

අඞ්ගුත්තරනිකාය » චතුක්කනිපාතපාළි » භණ්ඩගාමවග්ගො » වෙසාරජ්ජ සූත්‍රය