Ape Budu Hamuduruwo 356

අපේ බුදුහාමුදුරුවෝ 356 (සන්තිකේ නිධානය)

 

සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා අගසවු තනතුරු පැතූ අතීත කතා පුවත බුද්ධ වචනයෙන් 05

එදා අනෝමදස්සි බුදුරජාණන් වහන්සේගේ කාලයේ සරද තාපස නමින් සිටි අපේ සාරිපුත්ත තෙරණුවන්ගේ එදත් හොඳම යහළුවා වුවේ අපේ බුදුන් කලද අඹ යහළුවා වූ මුගලන් තෙරුනුවන්මයි. උන්වහන්සේගේ නම එකල සිරිවඩ්ඪ නම් වුනා. බලන්න කල්‍යාණ මිත්‍රත්වයේ තරම. සරද තාපස තුමා අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ වෙතින් අගසවු තනතුර සඳහා ආශීර්වාද ලත් සැණින්ම මතක්වුනේ තමාගේ හොදම යහළුවා වූ සිරිවඩ්ඪ ගැනයි. උන්වහන්සේ තමාගේ අතවැසි තෙරුන් ළඟට ගොස් යහළුවූ සිරිවඩ්ඪ කෙළෙඹියාට පණිවුඩයක් ඒ මොහොතේම යැවුවා.

 ස්වාමීනි, මගේ යාළුවාට මෙසේ කියනු මැනවි, ඔබේ යාළුවූ සරද තවුසන් විසින් ගෞතම නම් බුදුන්ගේ සසුනෙහි අගසවු තනතුර ප්‍රාර්ථනා කරන ලදි. ඔබ දෙවෙනි ශ්‍රාවක තනතුර පතනු මැනවි.

මෙසේ කියා තෙරවරුන් පිටත්වීමට පෙරම වෙනත් මඟකින් ගොස් සිරිවඩ්ඪගේ ගෙදොර ඉදිරියෙන් සිටගත්තේ පසුව තමාම යා යුතුයි කියා හෝ ඔහු ප්‍රතික්ෂේප කරනු ඇතැයි සිතා සිතූ බැවින් වෙන්නට ඇති. සිරිවඩ්ඪ තෙමේත් වහාම මගේ ආර්යයන්වහන්සේ බොහෝ කලකින් පැමිණියේයයි අසුනක වඩාහිඳුවා තමන් මිටි අසුනක හිඳ, ස්වාමීනි, ඔබේ අතවැසි පිරිස දක්නට නැත්තේ ඇයිදැයි විමසනු ලැබුවේ විමතියෙන්.

යහළුව එසේය. අපේ අසපුවට අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ වැඩියා. අපි ශක්ති පමණින් උන්වහන්සේට සත්කාර කරනු ලැබුවා. ශාස්තෘන්වහන්සේ සියල්ලන්ටම දහම් දේශණා කළා. . දේශනා කෙළවර මා හැර සෙස්සෝ අර්හත්වයට පැමිණ පැවිදිවූනා. මම ශාස්තෘන්වහන්සේගේ අග්‍රශ්‍රාවක සහ නිසභතෙරුන් දැක අනාගතයෙහි උපදින ගෞතම නම් බුදුන්ගේ සසුනෙහි අගසවු තනතුර පැතුව. ඔබද ඒ බුදුන්ගේ ශාසනයෙහි දෙවෙනි ශ්‍රාවක තනතුර පතන්නැයි කියා ඉල්ලා සිටීමටයි මේ පැමිණියේ. එවිට ස්වාමීනි, බුදුවරුන් සමඟ කටයුතු කිරීමට මට පුරුදු නැතැයි සිරිවඩ්ඪ කියා සිටියා. බුදුවරුන් සමඟ කරන කථා මට භාරය. ඔබ හොඳට සත්කාර සම්මාන සූදානම් කරන්නැයි සරද තවුසා ඔහුගේ බිය පහකරමින් කියා සිටියා.

ඔහුගේ වචන ඇසූ සිරිවඩ්ඪ තම නිවේසද්වාරයෙහි ප්‍රමාණයෙන් අටකිරියක්වූ (අමුණු සතරක බිම් ප්‍රමාණය) බිම් පෙදෙස සමතලාකොට වැලි අතුරුවා ලදපස්මල් ඉස නිල්මානෙල් වියනක් ඇති මණ්ඩපයක් කරවා බුද්ධාසනයක්ද සකස් කොට සෙසු භික්ෂූන්ටද ආසන පිළියෙළ කරවා මහත් වූ සත්කාර සම්මාන සූදානම්කොට බුදුන්ට ආරාධනා කිරීම සඳහා සරද තවුසාට සංඥාව ලබා දුන්නා.

ඉන්පස්සේ සරද, බුදුන් ප්‍රමුඛ සංඝයා කැඳවාගෙන ඔහුගේ නිවසට පැමිණියා. සිරිවඩ්ඪද පෙර ගමන් කොට තථාගතයන් වහන්සේගේ අතින් පාත්‍රය ගෙන මණ්ඩපයට ප්‍රවේශ කරවනු ලැබුවා. ඉන් පස්සේ පැනවූ අසුන්හි වැඩහුන් බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට පැන් පිළිගන්වා ප්‍රණීත බොජුන් වළඳවා බක්කිස අවසානයෙහි බුදුන් ප්‍රමුඛ සංඝයාට පිරිකර වශයෙන් රෙදිපිළි පිළිගන්වා, ස්වාමීනි, මේ ආරම්භය ස්වල්ප මාත්‍ර වූ තැනක් ගැනීම සඳහා නොවෙයි, මේ ලෙසින් ම සත් දිනක් මාගේ ආරාධනය අනුකම්පාවෙන් ඉවසනු මැනවැයි ඉල්ලා සිටිය. ශාස්තෘන්වහන්සේ ද එය ඉවසා වදාරනු ලැබුවා. ඉන් පසුව ඔහු ඒ ආකාරයෙන් ම සත් දිනක් මහ දන් පවත්වා භාග්‍යවතුන්වහන්සේට වැඳ ඇඳිලි බැඳ ගෙන සිට මෙසේ කියා සිටියා. .

“ස්වාමීනි, මාගේ යාළුවූ සරද යම් ශාස්තෘන්වහන්සේ නමකට අග්‍රශ්‍රාවක වීම සඳහා පැතුවේද, මම උන්වහන්සේගේ ද්විතීය ශ්‍රාවක බව පතන්නෙමි.”

ශාස්තෘන්වහන්සේ ද අනාගතය බලා ඔහුගේ ප්‍රාර්ථනාව සමෘද්ධ වන බව දැක, මෙසේ ප්‍රකාශ කරනු ලැබුවා.

 ‘ඔබ මෙයින් අසංඛ්‍ය කල්පලක්ෂයක් ගෙවුණු තැන ගෞතම නම් බුදුන්ගේ ද්විතීය ශ්‍රාවක භාවයට පත්වන්නේය’. බුදුන්ගේ ප්‍රකාශය ඇසූ සිරිවඩ්ඪ අතිශයින් ප්‍රීතියට පත්වුණා. ශාස්තෘන්වහන්සේ භුක්තානුමෝදනා කොට විහාරයට ම වැඩමකලා.

‘මහණෙනි, මේ මගේ පුතුන් විසින් එදා කළ ප්‍රාර්ථනාවයි. ඔවුහු ප්‍රාර්ථනා තැබූ ලෙස ම තනතුරු ලැබුවා. මම මුහුණු බලා තනතුරු නොදෙන්නෙමි’යි වදාරනු ලැබුවා. ඔවුන්ගේ සැකයද, චෝදනාවද එයින් ම සිඳී ගියා. දැන් ඔබට තේරුම් යන්න ඕනේ ඔබ විසින් කරනු ලබන අධිෂ්ඨානය කොතරම් වැදගත් ද යන්න.

උපකාර වූ මූලාශ්‍ර – සාරිපුත‍්තත්‍ථෙරවත්‍ථු

Ape Budu Hamuduruwo 355

අපේ බුදුහාමුදුරුවෝ 355 (සන්තිකේ නිධානය)

 

සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා 

අගසවු තනතුරු පැතූ අතීත කතා පුවත බුද්ධ වචනයෙන් 04

තමන්ගේ ගෝල පිරිස අරහත් භාවයට පත් වෙද්දීත් සරද තවුසා අර්හත්භාවයට පත්නොවූයේ නැහැ. ඊට හේතුව වන්නේ විපිළිසර සිතක් ඇතිවූ හින්දා. ඔහු බුදුන් ළඟ දෙවෙනි අසුනේ හිඳිමින් ශ්‍රාවකපාරමීඥානයෙහිම පිහිටා දහම් දෙසන අග්‍රශ්‍රාවකයන්ගේ ධර්ම දේශනාව අසන්නට පටන් ගත්තා. ඔහුට ඒ වෙලාවේ මේ ශ්‍රාවකයන් ලැබූ ධුරය මටත් යම් දිනක ලබාගත හොත් මැනවි යන සිතක් පහළවුණා. ඔහු ඒ කල්පනාවෙන් ම යුක්තව බණ ඇසූ නිසා මාර්ගඵලාවබෝධයක් ලබාගත නො හැකි වුනා. අවසානයේ ඔහු බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමින් මෙහෙම ඇසුවා. ස්වාමීනි, ඔබ වහන්සේ ළඟමවූ ආසනයේ සිටි භික්ෂුව ඔබ සසුනේ කවර තනතුරක් දරන්නෙහි ද?

එවිට ඒ අනෝමදස්සි බුදු පියාණන් වහන්සේ මෙලෙස උත්තර දුන්නා. ඒ “ම විසින් පවත්වනු ලබන ධර්ම චක්‍රය නැවත පවත්වන්නා වූ හෙතෙම ද ශ්‍රාවකපාරමීඥානයෙහි කෙළවරට පැමිණ සොළොස්ඥානය පිළිසිඳ දැන සිටින මගේ සසුනෙහි අග්‍රශ්‍රාවක නම් වේයයි” යනුවෙන්.

 මෙය අසා සිටි සරද තාපස තුමා තම හිත යට සැඟවී සිටි පාරමිතාව මෙලෙස හෙළි කළා. “ස්වාමීනි, මම සතියක් මල් කුඩයක් දරමින් බුදුන්ට උපහාර පුජා කළෙමි. එසේ කළ මම මේ පුණ්‍ය ඵලයෙන් ශ්‍රාවක භාවයක් හෝ බ්‍රහ්ම භාවයක් හෝ නො පතමි. අනාගතයේ දී මේ නිසඟ තෙරුන්මෙන් එක් බුදුවරයන්වහන්සේ නමක ගේ අගසවු වෙම්වා යි පතන්නෙමි යි” කීවා. ශාස්තෘන්වහන්සේ මේ පුරුෂයාගේ ප්‍රාර්ථනාව ඉටු වන්නේ දැයි අනාගත ඥානය විහිදුවා බලා, මෙයින් වර්ෂ ඒකාසංඛ්‍යාකල්ප ලක්ෂයක් ගිය තැන මෙම ප්‍රාර්ථනාව ඉටුවන බව දුටුවා. එසේ දැක සරද තවුසා අමතා මෙසේ ප්‍රකාශ කරනු ලැබුවා.

ඔබේ මේ ප්‍රාර්ථනාව හිස් නොවන්නේය. වර්ෂ එකාසංඛ්‍යාකල්ප-ලක්ෂයක් ගිය තැන ගෞතම නම් බුදුවරයෙක් ලොව පහළ වන්නේ ය. උන්වහන්සේගේ මව මහා මායා දේවියයි. පියා ශුද්ධෝදන නම් රජු ය. පුතා රාහුලය. උපස්ථායක ආනන්ද නම් තෙරණුවෝය. ද්විතීය ශ්‍රාවක නම් මුගලන් තෙරණුවෝය. නුඹ වනාහි ඒ බුදුරදුන්ගේ අග්‍රශ්‍රාවක ධර්ම සේනාපති වන්නේ යයි වදාරනු ලැබුවා. මෙසේ තවුසාට විවරණ දී දැහැමි කතා කොට අවසානයේ භික්ෂු සංඝයා පිරිවරා අහසට පැන නැංගා.

උපකාර වූ මූලාශ්‍ර – සාරිපුත‍්තත්‍ථෙරවත්‍ථු

Ape Budu Hamuduruwo 354

අපේ බුදුහාමුදුරුවෝ 354 (සන්තිකේ නිධානය)

 

සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා 

අගසවු තනතුරු පැතූ අතීත කතා පුවත බුද්ධ වචනයෙන් 03

අනෝමදස්සි බුදු හාමුදුරුවන්ගේ කාලයේ වාසයකළ මිනිසුන්ගේ ශරීරය ඉතා විශාලයි. ඒ බුදුරජාණන් වහන්සේගේ රූපකායත් ඊටත් වඩා විශාල වෙන්න ඇති. උන්වහන්සේ වැඩ සිටි ආසනය කුඩා බව සරද තවුසාට පෙනී ගියේ පසුව. ඉන් පස්සේ සරද තාපස තුමා අන්තේවාසික සාධුවරුන් අමතනු ලැබුවා. දරුවනි, බුදුන්ට වැඩ සිටීමට ඇති අසුන මිටියි. අනෙකුත් ශ්‍රමණයන් ලක්ෂයකට පමණ ආසනත් නැහැ. ඔබ හැම අද උදාර බුද්ධ සත්කාරයක් කරනු ලැබුවා. දැන් හැකි ඉක්මනින් ගොස් පර්වත ප්‍රාන්තයෙන් වර්ණ ගන්‍ධ සම්පන්න මල් රැස් කරන්න. මෙය කීමට ගත වූ කාලය වැඩියි කියලා අටුවා ආචාරීන් වහන්සේලා කියන්න. ඊට හේතුව ඒ වාක්‍ය කියන්නට ගත්තා කාලයටත් වඩා ඉක්මනින් මල් රැස්වීමයි. සෘද්ධිමතුන්ගේ සෘද්ධි විෂය අචින්ත්‍යයි කියලා බුදුවරුන් කියන්නේ. ඒ කියන්නේ සිතා ගන්නට බැහැ.

 නිමේෂයකින් ඒ තාපසවරු වර්ණ ගන්‍ධ සම්පන්න මල් රැගෙනවුත් යොදුනක් පමණ උස මල් අසුනක් පැනවූවා. අගසවු දෙනමට තුන්ගවූ පමණ අසුන්ය. සෙසු භික්ෂූන්ට අඩ යොදුන් ප්‍රමාණාදි භේද ඇති අසුන්ය. නවක භික්ෂූන්ට එක්සිය සතළිස් රියන් උස අසුන්ය. එක් ආශ්‍රමයක මෙපමණ මහත් අසුන් කෙසේ නම් පැනවිය හැකි දැයි නො සිතිය යුතු ය කියලා අටුවාවේ කියන්නේ. ඊට හේතුව මෙය එහෙම පිටින් ම ඍද්ධිවිෂයක ක්‍රියාවක් නිසයි. මෙසේ අසුන් පනවා අවසානයේ සරද තාපස තුමා තථාගතයන් වහන්සේ ඉදිරියෙහි දෙඅත් ඇඳිලි බැඳ සිට, ස්වාමීනි, මට බොහෝ කලක් හිතසුව පිණිස මේ මල් ආසනයෙහි වැඩහිදිනු මැනවියි කියා සිටියා.

මෙසේ බුදු දුන් ඒ ආසනයෙහි වැඩ සිටින විට අගසවු දෙනමත් සෙසු භික්ෂුන්වහන්සේත් තම තමන්ට හිමි අසුන්වල වැඩ සිටියා. සරද තාපස තුමා මහත් වූ මල් කුඩයක් ගෙන, තථාගතයන් වහන්සේගේ හිසට උඩින් අල්වාගෙන සිටිය. ශාස්තෘන්වහන්සේ ජටිලයන්ගේ මේ මහත් වූ සත්කාරය මහත්ඵල වේවායි අධිෂ්ඨාන කරමින් නිරෝධ සමාපත්තියට සමවැදුණ. බුදුන් සමවතට සමවැදුණු බව දුටු අගසවු දෙනමක් සෙසු භික්ෂූන් වහන්සේලාත් සමවතට සමවැදුණා . ඔබ හොඳින් දන්නවා නිරෝධ සමාපත්තියට සමවැදුණ පසු එම සමාපත්තියේ දින සතක පමණ කාලයක් නො නැගිට සිටින බව. එලෙස ම තථාගතයන් වහන්සේත් සත් දිනක් නිරෝධ සමාපත්තියට සමවැදී සිටියා. ඒ අතර අත වැස්සෝ පිඬු පිණිස හැසිරෙන වේලාවෙහි වනමුල් ඵලාඵල අනුභව කරවා ඉතිරි කාලය තුළ බුදුරදුන්ට ඇඳිලි බැඳ වැඳ ගෙන සිටියා. සරද තාපස තුමා භික්ෂාචාරයටත් නො ගොස් මල් කූඩය ඔසවාගෙනම සත් දිනක් ප්‍රීති සුවයෙන් ම කාලය ගත කලා.

මෙලෙස ඉතාමත් ලස්සන දින හතක් ගතවුනේ කාටවත් නොදැනුවම. සත් දිනක් අවසානයේ ශාස්තෘන්වහන්සේ නිරෝධයෙන් නැගිට දකුණු පසින් සිටි අගසවු නිසඟ තෙරුන් අමතා, නිසඟ, සත්කාර කරන්නාවු තාපසයන්ට මලසුන් පිදීමේ අනුහස් කියා දෙන්නැයි වදාරනු ලැබුවා. තෙරුන්වහන්සේ සක්විති රජකුගෙන් මහා ලාභයක් ලත් මහා යෝධයකු මෙන් සතුටු සිතින් පාරමීඥානයෙහි සිට පුෂ්පාසනානුමෝදනාව පටන්ගතතා. තෙරුන්ගේ දේශනාවසානයෙහි තථාගතයන් වහන්සේ ද්විතීය ශ්‍රාවකයන් වහන්සේ අමතා, ඔබත් අනුමෝදනාවක් කරන්නැයි වදාරනු ලැබුවා. අනෝම ස්ථවිරයන් වහන්සේ ත්‍රිපිටක බුද්ධ ධර්මය මෙනෙහි කරමින් දහම් දේශනාවක් දෙශනු ලැබුවා. එහෙත් ශ්‍රාවක දෙනමගේම ධර්මදේශනවලින් එහි සිටි එක් කෙනෙකුට වත් ධර්මාවබෝධයක් නොලැබිණ.

ඉන් පසු ශාස්තෘන්වහන්සේ අප්‍රමාණ වූ බුද්ධවිෂයෙහි පිහිටා ධර්ම දේශනාව පටන් ගත්තා. දේශනා කෙළවර සරද තාපසයන් හැර හතළිස් හත්දහසක් පමණ වූ සෙසු ජටිලයෝ රහත්බවට පත්වූණා. ශාස්තෘන්වහන්සේ ඔවුන්ට, මහණෙනි, මෙහි එව්යයි අත දිගු කරණු ලැබුවා . එකෙනෙහිම ඔවුන්ගේ කෙස් රැවුල් අතුරුදහන් වුනා. සිරුරු අට පිරිකරින් සැදුම්ලද්දා.

උපකාර වූ මුලාශ්‍ර – සාරිපුත‍්තත්‍ථෙරවත්‍ථු

Ape Budu Hamuduruwo 353

අපේ බුදුහාමුදුරුවෝ 353 (සන්තිකේ නිධානය)

 

සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා අගසවු තනතුරු පැතූ අතීත කතා පුවත බුද්ධ වචනයෙන් 02

මෙලෙස අනෝමදස්සි බුදුහාමුදුරුවෝ තමා ඉදිරියෙන් අහසින් පැමිණ පොලව මත ශ්‍රී පාදය තබන දර්ශනය දෙස සරද තාපස තුමා බලාගෙන සිටියේ විස්මයෙන්. ඒ විතරක් නෙවෙයි, මේ වනවිටත් මහා ඉර්ධි සම්පන්න වූ තාපස තුමා සියලු ශාස්ත්‍ර වලත් දේහ ලක්ෂණ වලත් කෙල පැමිණ සිටියේ. උන්වහන්සේගේ බුද්ධානුභාවයත්, සිරුරේ පිහිටීමත් දැක ලක්ෂණ මන්ත්‍ර සිහිකොට මෙබදු ලකුණුවලින් යුත් තැනැත්තෙක් නම් ගිහිගෙයි සිටියොත් සක්විතිරජ වෙයි. පැවිදි වුවහොත් ලොව සියලු කෙලෙසුන් නැසූ සර්වඥකෙනෙක් වෙයි. මේ මහා පුරුෂයා නිසැකවම බුදු කෙනෙකුන් වියයුතුයයි දැන පෙර ගමන් කොට පසඟ පිහිටුවා වැඳ අසුන් පනවා ඉහලින්ම පිළිගනු ලැබුවා. බුදුරජාණන් වහන්සේ පැනවූ අසුනෙහි වැඩහුන්නා. සරද තාපස තුමා ද තමන්ට ගැළපෙන අසුනක එකත්පසෙක හිඳ ගත්තා.

ඒ වේලාවේ හැත්තෑහතර දහසක් පමණ වූ තාපස තුමාගේ අනුගාමී ජටිලයෝ ප්‍රණීත වූ ඕජායසම්පන්න වූ ඵලාඵල රැගෙන ගුරුවරයා ළඟට පැමිණ බුදුනුත් ඇදුරුතුමාත් වැඩහුන් අසුන් දෙස බලා විස්මයට පත්වුණා. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි. තමා ගුරුවරයා අභිබවා යන කෙනෙකු මෙලොව තවත් ඇතියි ඔවුන් නොසිතූ නිසා. දැන් තම ඇදුරුතුමා මිටි අසුනකත් අමුත්තා එසේත් නැතහොත් අනෝමදස්සි බුදුහාමුදුරුවෝ තම ගුරුවරයාගේ අසුනෙහි අසුන්ගෙන සිටීමත් නිසා. ඔවුන් මෙලෙස ඇසුවා.

 “ඇඳුරුතුමනි, අපි මෙලොව ඔබට වඩා උසස් කෙනෙක් නැතැයි කියමින් සිටියෙමු. මේ සිටින පුරුෂයා ඔබට වඩා උසස් කෙනෙකියි දැන් සිතන්නෙමු.

දරුවනි, කුමක් කියව්ද? අබඇටයක් සමඟ යොදුන් අටසැටලක්ෂයක් උස මහ මෙරට මා උපමා කරන්නහුද? දරුවනි, සර්වඥ වූ බුදුන් සමඟ මා සම නොකරව්.

ඉන් පස්සේ ඒ තවුසෝ, ඉදින් මේ මහා පුරුෂයා උත්තරීතර පුද්ගලයකු නොවන්නේ නම් අපේ ඇදුරුතුමා මෙබඳු උපමාවක් නොකරන්නේය. ඒකාන්තයෙන් ම මේ මහාපුරුෂයකුම වියයුතුයයි සියල්ලෝ ම බුදුන් පාමුල වැටී ශීර්ෂ ප්‍රණාමයෙන් වන්දනා කරන්නට වුනා.

ඉන් පසු ආචාර්යවරයා ඔවුන් අමතා, දරුවනි. අපේ බුදුන්ට දිය යුතු සුදුසු යමක් අප සතුව නැත. ශාස්තෘන්වහන්සේත් පිඬු සිඟා වඩින වේලාවෙහි මෙහි වැඩමවූහ. අපට පුළුවන් පමණින් දානය දෙමු. නුඹලා ළඟ ඇති ප්‍රණීත ඵලාඵල ගෙනඑව් යයි කියා ඒවා ගෙන්වාගෙන අත් සෝදා තමන් ම බුදුන්ගේ පාත්‍රයෙහි ඵලාඵල තැබුවා. බුදුන් ඵලාඵල පිළිගත් වහාම දෙවියෝ එහි දිව්‍යඕජස් බහාලුවා. ඒ තවුස් තෙම තමන් ම ජලයද පෙරා පිළිගැන්වූවා.

අහාර අනුභව කොට නිම වූ පසු ඔවුන් සියලු දෙනා ම අතවැස්සන් කැඳවා ශාස්තෘන්වහන්සේ ළඟ සතුටු සාමීචි කථා කරමින් සිටියා. බුදුරජාණන් වහන්සේ මෙහි වැඩම කරනු ලැබුවේ සුවිශේෂී කාරණයකට. ඒ සරද සහ ඔහුගේ කල්‍යාණ මිතුරාට අගසවු තනතුර ප්‍රාර්ථනය කිරීමට හැකි පින දැක ඒ සඳහා යොමු කිරීමටයි. ඒ සඳහා අවශ්‍ය පරිසරය සැකසීමට තම අගසවු දෙනමට භික්ෂු සංඝයා සමඟ මෙහි පැමිණෙත්වා යි යැයි බුදුරජාණන් වහන්සේ අදිටන් කරනු ලැබුවා. අගසවු දෙනම බුදුරදුන්ගේ සිත් හසර දැන ලක්ෂයක් භික්ෂූන් ද සමඟින් එහි වැඩමවා බුදුන්ට වැඳ එකත්පසෙක සිටියා.

උපකාර වූ මූලාශ්‍ර – සාරිපුත‍්තත්‍ථෙරවත්‍ථු

Ape Budu Hamuduruwo 352

අපේ බුදුහාමුදුරුවෝ 352 (සන්තිකේ නිධානය)

 

සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා අගසවු තනතුරු පැතූ අතීත කතා පුවත බුද්ධ වචනයෙන් 01

ඉන් පස්සේ උන්වහන්සේලා ඇසුවේ ස්වාමීනි, උරුවේල කාශ්‍යපාදීහු කුමක් කළාහුද? යනුවෙන්. මෙය ටිකක් දීර්ඝ විස්තරයක්. මීට සති කිහිපයකට පෙර මෙය උරුවෙල් කාශ්‍යප යටතේ ලියා තිබෙන නිසා ලියන්නේ නැහැ. කරුණාකර ඔවුන්ගේ අතීත කතා ප්‍රවුර්තියත් කියවන්න. ඉන්පස්සේ විමසා සිටියේ අගසවු දෙනාම ගැන. ස්වාමීනි, අගසවු දෙනම කිනම් පිනක් කළාහු ද? ඒක හරිම ලස්සන දීර්ඝ කතාවක් මෙතැන් සිට බුදුන් වහන්සේ වදාළ අයුරින් එය විස්තර කරනවා.

මීට කල්ප ලක්ෂයකටත් අසංඛ්‍ය කල්ප ගණනකටත් පෙර ශාරිපුත්‍ර තෙම, බමුණු මහසල් කුලයක උපන්න. ඔහු නමින් සරදමානව නම් වුණා. මොග්ගල්ලාන තෙම, ගෘහපති මහසල් කුලයක ඉපිද සිරිවඩ්ඪනකුටුම්බික නමින් පතළ වුණා. ඒ දෙදෙනා වැලිකෙළියෙහි පටන්ම අඹ යහළුවෝ. ඔවුන් අතර සරද මාණවක සිය පියාගේ ඇවෑමෙන් පස්සේ කුලසන්තක මහා ධනයට හිමිකරු වී සිටින අතර දිනක් හුදෙකලාව මෙසේ සිතන්නට වුණා. “මම මෙලොව මේ ආත්මභාවය ගැන පමණක් දනිමි. පරලොව ගැන කිසිවක් නොදනිමි. උපන් සත්වයන්ට මරණය ඒකාන්තයි. එක් පැවිද්දකින් පැවිදි වී මෝක්ෂධර්මය සොයා යායුතුය.” මෙසේ සිතු ඔහු තම යහළුවා වෙත ගොස් මෙසේ කියා සිටියා. ” ප්‍රිය මිතුරු සිරිවඩ්ඪන, මම පැවිදි වී මොක්ෂ ධර්මය සොයන්නෙමි. ඔබටත් මා සමඟ පැවිදි විය හැකිද? නොහැකිද?” එවිට සිරිවඩ්ඪන මෙසේ පිළිතුරු දුන්නා. මිත්‍රය, මට පැවිදිවන්ට බැහැ. ඔබ පැවිදිවන්න. එහෙත් ප්‍රඥාවන්ත සරද මෙසේ සිතුවා. පරලොව යන කල යහළුවන් හෝ නෑ මිතුරන් හෝ කැටුව ගිය කෙනෙක් නම් නැත. තමන් කළ දේ පමණක් තමන් කැටුව යයි. පිහිටවෙයි. බුදුවරු වගේම ඔවුන්ගේ ශ්‍රාවකයන්ගේත් අත්හැරීම හරිම පුදුමයි. හරියටම බෝසත් දරුවන් වගේ. ඔහු රුවන් කොටුගුළු විවෘත කරවා, කපණද්ධික වණිබිබ්බක යාචකාදීන්ට මහදන්දී පර්වතප්‍රාන්තයකට ගොස් සෘෂිවර පැවිද්දෙන් පැවිදි වුණා. ඔහු ළඟ එකෙක් දෙන්නෙක් තිදෙනෙක් ආදී වශයෙන් අනුක්‍රමයෙන් පැවිදි වූ අය අවසාන වනවිට තිස්හතර දහසක් පමණ ජටිල ගෝල පිරිසක් ඇතිවුණා ඒ විතරක් නෙවෙයි. ඔහු වැඩිකලක් යන්නට මත්තෙන් ² පංචාභිඥා අෂ්ට සමාපත්ති උපදවා ගෙන සෙසු ජටිලයන්ටත් කිසුණු පිරියම් (කසිණ භාවනාක්‍රම) කියා දුන්න. සෙසු සියල්ලෝද ඔහු වගේම පංචාභිඥා අෂ්ටසමාපත්තිලාභීන් බවට පත්වුණා.

ඒ කාලයේ තමයි අනෝමදස්සි නම් බුදුහාමුදුරුවෝ ලොව පහළ වුණේ. ඒ නගරය බන්ධුමතී නම් වුණා. පියා යසවන්ත නම් ක්ෂත්‍රියයෙක්. මව නමින් යසෝදරා. කරඳ ගසක් බෝධිය වුණා. නිසභ අනෝම යන දෙනම අගසවුවෝ වුණා. වරුණ නම් උපස්ථායකයෙක් ද, සුන්දරා සුමනා යන දෙදෙන අග්‍රශ්‍රාවිකාවෝද වුණා. ආයු කාලය වර්ෂ ලක්ෂයක් . බුදු සිරුර අටපනස් රියනක් උස්යි. දොළොස් යොදුනක් ශරීරාලෝකය පැතිරුණ. භික්ෂූන් ලක්ෂයක් පිරිවර වුනා.

ඒ අනෝමදස්සි බුදුරජාණන්වහන්සේ එක් දිනක් උදෑසන මහාකරුණා සමාපත්තියෙන් නැගිට ලොව බලන විට සරද තවුසා දැක්කා. දැක්කා පමණක් නෙවෙයි, “අද මා සරද තවුසා වෙත යෑමෙන් දහම් දෙසීමෙන් මහත් යහපතක් වෙයි. ඔහු අගසවු තනතුරුද පතන්නේය. ඔහුගේ යහළු සිරිවඩ්ඪන සිටුකෙළෙඹියාත් දෙවෙනි ශ්‍රාවක භාවයද පතන්නේය.දේශනාවගේ කෙළවර හැත්තෑහතරදහසක් පමණ වූ ඔහුගේ පිරිවර ජටිලයෝ රහත් වන්නාහුය. එහෙයින් මා එහියායුතුම යයි” තමන්වහන්සේගේ පාසිවුරු රැගෙන වෙනත් කිසිවෙකුට කථා නොකර එකලාව හැසිරෙන සිංහරාජයකු මෙන් සරද තවුසාගේ අතවැස්සන් ඵලාඵල නෙලීමට ගිය අතරතුරේ මගේ බුදු බව ඔහුට දැනේවායි අදිටන් කොට සරද තවුසා බලා සිටිද්දීම අහසින් බැස පොළොවෙහි වැඩ සිටියා.

උපකාර වූ මුලාශ්‍ර – සාරිපුත‍්තත්‍ථෙරවත්‍ථු