Ape Budu Hamuduruwo 376

අපේ බුදුහාමුදුරුවෝ 376 (සන්තිකේ නිධානය)

 

ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත්

මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු. 12

ඔහු සතුව තිබූ වස්තුවෙන් මදක් එලෙස විස්තරවුනා. එක්දිනක් ඔහු අලංකාරව සැරසූ අසකු පිට නැගී, ජනයා පිරිවරාගෙන කෘෂිකර්මාන්ත කරන්නා වූ වගා බිමකට ගොස්, කුඹුරු කෙළවර සිටගත්තා. මිනිසුන් සුපුරුදු පරිදී කෘෂිකර්මාන්තයේ යෙදී සිටියා. එදා නුගුලෙන් පස් පෙරලනවා. නගුලෙන් සිඳින ලද භූමියෙන් නැගුණා වූ ගැඩිවිල් ආදී නොයෙකුත් පණුවන් කපුටාන් ආදී කුරුල්ලන් විසින් කන හැටි එතුමා බලා සිටියා. ඔහු ඔවුන්ගෙන් මෙසේ ප්‍රශ්ණ කොට සිටියා. “දරුවනි! මේ කුරුල්ලෝ කුමක් කත්ද?”, “ස්වාමීනි! ගැඩවිල්ලෝය.”මොවුන් කරන පාපය කාහට අයත් වේද?” “ස්වාමීනි! නුඹවහන්සේටම අයිති වේ.” එවිට තරුණයා මෙලෙස සිතුවා. “ඉදින් මොවුහු කරන ලද පවු මා හටම වේනම් අසූහත් කෙළක් වූ ධනයෙන් මට කවර ප්‍රයෝජනයක්ද? දොළොස් යොදුන් කර්මාන්තයෙන් කවර වැඩක්ද? යන්ත්‍ර බැඳි තඩාග සැටෙන් කවර වැඩක්ද? දාසගම්වලින් කවර ප්‍රයෝජනයක්ද? මේ සියලු සම්පත් කපිලානියට ම පවරා මම පැවිදි වන්නෙමි. ගිහිගෙන් නික්මෙමි”යි යනුවෙන්.

හරිම පුදුමයි, කාපිලානිය ද මේ මොහොතෙහි නිවසේ මැද මිදුලෙහි තල කළ තුනක් අතුරා – කිරිමවුවරු පිරිවරාගෙන එය ඔවුන් වේලනා අයුරු බලා සිටියා. ඒ මොහොතේ තලවල සිටින පණුවන් කන කපුටන් දැක “මෑණියනි! මොවුහු කුමක් කත්ද?”, “ස්වාමි දුවණියනි! පණුවන්ය.” “මොවුන් කරන්නා වූ මේ පාපය කාහට අයත් වේද?” “ස්වාමි දුවණියනි! නුඹටම අයත්වේ” යැයි පැවසූ වදන් අසා “මට රියන් හතරක වස්ත්‍රයක් ද නැළියක් පමණ බත් ද ලැබීම සුදුසුය. මෙපමණ ජනයා විසින් කරන අකුසල් මාහට වේනම් ආත්ම භාව දාහකින්වත් සසර පැවැත්ම නිමකර, හිස එසවීමට මට නොහැකි වේ. මේ සියලුම සම්පත් ආර්ය පුත්‍රයාටම පවරා දී ගිහිගෙන් නික්ම පැවිදි වන්නෙමි. දෙදෙනාටම අවසානයේ සිතට පැමිණියේ එකම සිතිවිල්ල. ඒ සියලු සැප සම්පත් අතහැර විමුක්තිය සොයා ගිහි ගෙයින් නික්මීමට. ”

මෙවැනිම සිතකින් නිවසට පැමිණි තරුණයා දියනා උතුම් පහයට නැග, මහත් අනර්ඝ පළඟක මත සිටියා. එදා ඔහුට යෝග්‍ය වූ භෝජනයක් (සක්විති රජකුට සුදුසු වූ) පිළිගැන්වුණා. අඹුසැමි යුවලම ආහාර කිස නිමවා අවසානයේ මාළිගයේ රහසිගත තැනකට පැමිණියේ සුවිශේසී සාකච්චාවකට.

ඉන්පසු තරුණයා “භද්‍රාවෙනි, භද්‍රාවෙනි ! නුඹ මේ ගෙදරට එනවිට කොපමණ ධනයක් රැගෙන ආවේද?”යි ඇසුවා. “ආර්ය පුත්‍රය! පනස් පන්දාහක් කරත්තවලින් ධනය රැගෙන ආවෙමි.” “භද්‍රාවෙනි. එම සියලුම ධනයත්, මේ ගෙදර ඇති අසූකෙළක් ධනයත්, යන්ත්‍ර බැඳි සැටක් තඩාගාදී සියලුම සම්පත් නුඹට ම පවරා දෙමි.” තරුණයා කියා සිටියා. “ආර්ය පුත්‍රය! නුඹ ඉන්පසු කුමක් කරන්නේද?” “මම පැවිදි වන්නෙමි”, “ආර්ය පුත්‍රය! මමද නුඹගේ පැමිණීම බලමින් ම මෙහි සිටියෙමි. මමද පැවිදි වන්නෙමි.” මෙසේ ඔවුනොවුන්ට ගිනිගත් කොළසෙවිලි කළා වූ ශාලාවක් මෙන් ත්‍රිවිධ භවයෝ වැටහුන. ඒ දෙදෙන වෙළඳසැළකින් කහපැහැති වස්ත්‍ර ද මැටි පාත්‍රා ද ගෙන්වාගෙන, ඔවුනොවුන්ගේ කෙස් බැහැර කරවාගෙන, “ලොව යම් රහත් කෙනෙක් වේනම් ඔවුන් උදෙසා අපගේ පැවිද්ද වේවා!” යි පවසා පැවිදි දිවියට පිවිසිය. හොරරහසේම පසුම්බිවල පාත්‍රා දමාගෙන උරයේ එල්ලාගෙන ප්‍රාසාදයෙන් බැස ගියා. ගෙදර දැසිකම්කරුවෝ ඇතුළු කිසිවෙක් ඔවුන්ව හඳුනාගත්තේ නැහැ. .

ඔවුන් ඒ බමුණු ගමින් නික්ම දාසගම් දොරින් යනවිට පැවැත්ම, විලාශය, ගමන, ප්‍රභාස්වර භාවය අකාරාදියෙන් දාසගම් වැසියෝ ඒ දෙදෙනාව හඳුනාගත්තා. ඔවුන් ඒ දෙදෙන පාමුල හඩාවැටෙමින් “ආර්යයෙනි! කිම අපි අනාථ කරවුද?”යි අසා සිටියා. එවිට කුමරු ඔවුන්ව මෙලෙස සැනසුවා. “අපි ත්‍රිවිධ භවයම ගිනිගත් කොළසෙවිලි කළ ශාලාවක් මෙන් වැටහී පැවිදි වූයෙමු. ඉදින් නුඹලාගෙන් එක් එක් පුද්ගලයා දාස බවින් මුදවත් නම්, ඒ සඳහා වර්ෂ සීයකුත් ප්‍රමාණවත් නොවේ. නුඹලා ම නුඹලාගේ හිස් සෝදාගෙන දාසකමින් නිදහස් වී ජීවත් වෙවු”යි කියා ඔවුහු හඬද්දී ම පිටත්ව ඉදිරියටම පියමැන්නා.

උපකාර වූ මුලාශ්‍ර

චීවර සූත්‍ර වර්ණනාව

Ape Budu Hamuduruwo 375

අපේ බුදුහාමුදුරුවෝ 375 (සන්තිකේ නිධානය)

 

ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත්

මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු. 11

දෛවය සහ සංසාර බැඳීම් කියන්නේ හරිම පුදුම දේවල්. පිප්ඵලි කුමාරයා රනින් ස්ත්‍රියකගේ මනරම් පිළිරුවක් නෙලා ඒ හා සමාන කන්‍යාවක් සොයා දුන්නොත් විවාහ වන බවට පොරොන්දු වුනේ එය කිසිදා කල නොහැක්කක් බව දන්නා නිසා ඒ මගින් විවාහ නොවී කාලය ගතකොට දෙමාපියන්ගේ මරණයෙන් පසු මහණ දිවියට ඇතුළු වීමට. එහෙත් ඒ සඳහා පිටත්කොට යවනු ලැබූ බමුණන් රනින් නිමවූ පිළිරුවක් වන එවැනි ස්ත්‍රියක් දැන් සොයාගෙන.

ඔවුන් කපිල බමුණාට, “දැරියක් ලද්දෙමු. කළයුත්තක් කරන්න”යි හසුනක් යවනු ලැබුවා. ඔහු හසුන කියවා බලා ඉතාමත් සතුටුව පිප්ඵලි මානවකයාට ඒ බව දන්වනු ලැබුවා. මානවකයා, “මම නොලැබේ යැයි සිතුවෙමි. මොවුහු දැරියක් ලැබුණු බව කියති. ඇයට මා පැතීමේ අනර්ථ බව දන්වා ඉක්මනින්ම ලිපියක් යවන්නට ඕනේ ”යි රහසිගතව ලිපියක් ලියන්නට වුනා.

“භද්‍රාවනි! ඔබ තුමියට දෑකුලගොත් ( ජාතිය,කුලය,ගෝත්‍රය) සමාන වූ තරුණයකු ලබත්වා! මම ගිහිගෙන් නික්ම පැවිදිවෙමි. ඒ නිසා පසුව විපිළිසර නොවනු මැනවි”යි යනුවෙන් ලිපියක් ලියා ඇය වෙත යවනු ලැබුවා. ඇයත් සිටියේ ඒ මතයේමයි. හේතුව මේ දෙදෙනාම බඹලොව සිට මෙහි පැමිණි අයවීමයි. භද්‍රාවද මෙම මංගල යෝජනාව දැනගෙන රහසිගත ලිපියක් ලියන්නට වුනා. “ආර්ය පුත්‍රය! තමාට දෑකුලගොත් සමාන වූ සුදුසු තරුණියක් ලබත්වා! මම ගිහිගෙන් නික්ම පැවිදි වන්නෙමි. පසුව විපිළිසර නොවනු මැනවි”යි ලියා පිප්ඵලි තරුණයාට යවනු ලැබුවා. ඒ කාලේ ලියුම් අරගෙන ගියේ විශේෂ රාජකීය පණිවිඩ කරුවන් වෙන්නට ඇති. දෙමාපියන්ගේ දැනුවත්වීම මත වෙන්නට ඕනේ ඒ අය මගදී හමුවී ලිපිදෙක රසිගතවම කියවා බැලුවා. බලා “දරුවන්ගේ වැඩ බලවු!”යි කියා එම ලිපි දෙක ඉරා විසිකර, වෙනත් ලිපි දෙකක් ලියා දෙතැනට යැවූවා. අවසානයේ මෙලෙස ඔවුන්ගේ නොකැමැත්තෙන්ම එක්වීම සිදුවුණා.

දෙමාපියන්ගේ බලපෑමෙන්වි මෙලෙස මේ දෙදෙනා විවාහ දිවියට ඇතුලත් වුනත් සිත ඒ වනවිටත් මහණ වී අවසන්. ඒ නිසා විවාහ ජිවිතයට ඇතුළත්වූ දිනම පිප්ඵලිද කාපිලානියද සුවිශේෂී මල්දම් දෙකක් ගොතනු ලැබුවා. ඉන්පස්සේ කලේ ඒවා ඔවුන් දෙදෙනා සැතපෙන සයනයේ හරි මැදින් තැබීමයි. රාත්‍රී අහරගෙන, දෙදෙනම “ඇඳට යන්නෙමු”යි පැමිණ තරුණයා දකුණුපසින්ද භදාව වම්පසින් ද ඇඳට ගොඩවුණා. ඒ යම් පොරොන්දුවකට එකඟ වීමෙන්. එනම් “යමෙකුගේ පැත්තෙහි මල්දම මැල වූයේ ද එම සංඥාවෙන් ඔහුට හෝ ඇයට ‘රාග සිතක් පහලවියැ’යි දැනගන්නෙමු. එබැවින් මේ මල්දම නො අල්වමු”යි කියා සිටියා. ඔවුන් “තම ශරීර ඔවුනොවුන් හා ගැටෙති’යි බියෙන් රාත්‍රියෙහි නොනිදාම පහන් කරනු ලැබුවා. එලෙසම දහවලටද ඔවුන් එසේ සිටීමට වගබලා ගත්තා. මේ දෙදෙනම ලෞකික ආමිෂයන්හි නොඇලී මෙසේ මවුපියවරු ජීවත්ව සිටින තාක් ‘පවුල’ පිළිබඳව නොවිමසා සිට ඔවුහු මියගිය පසුව තම සම්පත් පිළිබඳව සොයා බැලූව, විමසුවා. කුමරුගේ සම්පත් මෙතෙකැයි කියන්නට බැහැ. එක්දිනක් ශරීරයේ අලේපකොට අත්හැර දමන රන් චූර්ණයම මගධ නැළියෙන් දොළොස් ගුණයක් පමණ වනබව කියනවා. යන්ත්‍ර බැඳි වැව් පොකුණු ආදිය හැටක්,. කෘෂිකර්මාන්තයෝ දොළොස් යොදුනක් පුරා පැතිර තිබුනා. අනුරපුරය හා සමාන වූ දාසගම් දාහතරක්, යුධ ඇත්තු දාහතරක්. යුධ අශ්වයෝ දාහතරක්. යුධ රථ දාහතරක් වැනි මහා ධනයකට බලයකට හිමිකම් කීවා.

උපකාර වූ මුලාශ්‍ර

චීවර සූත්‍ර වර්ණනාව

Ape Budu Hamuduruwo 374

අපේ බුදුහාමුදුරුවෝ 374 (සන්තිකේ නිධානය)

 

ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත්

මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු. 10

සාම ජාතකයෙහි බෝසතාණන් වහන්සේගේ මව වූ භද්දකාපිලානි කුමරිය මෙකල මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ ගිහි බිරිඳ ලෙස අභිසේක ලැබීම.

මේ දීර්ඝ විස්තරයක් ලෙස ඔබ හමුවේ තබන්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සහ ඔහුගේ ගිහිකල බිරිඳ බුදුරජාණන් වහන්සේ හමුවීමට සංසාරය පුරා කුසල් වඩමින් පැමිණි ආකාරයයි. ඒ විතරක් නොව අප සැම කුඩාකල දහම්පාසලේ ඉගෙනගත් සාම ජාතකයෙහි සාමකුමරුගේ පියාණන් වුයේ ද මහා කස්සප තෙරණුවෝයි. මව භද්දකාපිලානි තෙරණියයි. එවන් පින්වත් ආදරණීය යුවලකගේ මේ අවසාන ආත්මභාවයයි.

නන්ද රජතුමා සහ ඔහුගේ බිරිඳ අපේ බුදුහාමුදුරුවෝ ලොව පහළවනතෙක් මෙසේ දීර්ඝකාලයක් බඹලොව වැඩ වාසය කරනු ලැබුවා. අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහල වී උතුම්දම්සක් දේශනා පවත්වා පිළිවෙලින් රජගහනුවරට වැඩම කොට වේළුවනාරාමයෙහි වැඩවෙසෙන කාලයෙහි; “පිප්ඵලී” නමින් මගධරට මහාතිත්ථ බමුණුගම කපිල බමුණාගේ භාර්යාවගේ කුස ද “භද්දකාපිලානි” නමින් මදුරට සාගල නම් නුවර කෝසියගොත්ත බමුණුගේ භාර්යා කුස පිළිසිඳගෙන වැඩිවියට පත්වසිටියා. පිප්ඵලී කුමරුට විසි හවුරුද්දක් හා කාපිලානියට දාසය හවුරුද්දක් වූ කාලයෙහි, පිප්ඵලි කුමරුගේ දෙමාපියෝ “පුත! නුඹ නිසි වයසට පත්වූයෙහිය. කුලවංසය පිහිටුවීමට කටයුතු කරව!”යි කියා සිටියා පමණක් නෙවෙයි අතිශයින් කරදර කළා. තරුණයා, “මගේ කණට ඇසෙන සේ මෙබඳු අමිහිරි කථා නො පවසන්න. නුඹ දෙදෙනා ජීවත්වන තෙක් මම මනාව සළකන්නෙමි. ඉන්පසු ගිහිගේ හැර පැවිදි වෙමි”යි ඒ කී සෑම වතාවකම පිළිතුරු දුන්නා. එහෙත් දෙමාපියෝ දින කිහිපයකට පසුව නැවත නැවතත් ඇවිටිලි කරනු ලැබුවා. ඔහුද පෙරසේම එය ප්‍රතිකේෂ්ප කළා. නැවත නැවත කියූවත් යලි යලිත් ප්‍රතිකේෂ්ප වුණා. ඉන්පසු මව නිතරම ඒ පිළිබඳව ගතු කීමට පටන් ගත්ත.

මෑණියන්ගේ පැරත්තය ඉවසීමට බරිතැනම ඔහු මෙය මගහැරීමට උපායක් කල්පනා කෙරුවා. තරුණයා, “මගේ මවුට මෙය අවබෝධ කරවමි”යි, කියා රන්කරුවෙකුට රන් ආලේපිත කහවනු දහසක් දී රනින් අති සුන්දර ස්ත්‍රී රූපයක් නිමැවීමට අනකරනු ලැබුවා. එහි සියලු කටයුතු නිමවූ පසු රතු වස්ත්‍රයක් හන්දවා වර්ණවත් මලින් ද නානාවිධ වූ අලංකාරයගෙන්ද සරසවා, මවු කැඳවා “මෑණියනි! මෙබඳු කාන්තාවක් ලැබේ නම් ඇය හා විවාහ වී ගෙයි වසමි. නොලැබේ නම් පැවිදි වෙමි” යි කියා සිටියා.

ඒ වෙලාවේ නුවණැති බැමිණිය ඒ පිළිබඳව සිතුවේ පුතා බලාපොරොත්තු නොවුණු විදිහට. ඇය මෙහෙම සිතුවා. “මගේ පුතා පින්වතෙක්. දුන් දානවලිනුත්, කරන ලද ප්‍රාර්ථනා වලිනුත් පින්දහම් කරන ලද්දේ තනිවම වෙන්නට ව්දිහක් නැහැ. ඒකාන්තයෙන් මොහු සමග පින්කළ තවත් තැනැත්තියක් සිටිය යුතු වනවා වගේම ඒ තැනැත්තිය රන්රුවක් හා සමාන විය යුතුමය.” ඇය වහාම බමුණන් අටදෙනෙකු කැඳවා ඔවුන් රිසිසේ සන්තෝෂ කරවා, රන්රුව රථයකට නංවා, “යමු! දරුවනි! යම්තැනක අපට ජාති ගෝත්‍රාදියෙන් සමාන පවුලක මෙබඳු දැරියක් ඇතිනම් සොයමු. එසේ සොයාගතහොත් මේ රන් රුවම නුඹලාට ත්‍යාගයක් කොට දෙමි”යි කියා ඔවුන්ව කුමරියක් සෙවීමෙහි යෙදවූවාය.

ඔවුන් “අප දැන් කොතැනක යමුද?” යනුවෙන් සාකච්ඡා කරනවිට , “මදුරට නම් ස්ත්‍රීන්ට ආකරයකි. එහි යමු”යි මදුරට සාගල නුවර වෙත පියමැන්නා. එහි ගොස් එක් නානතොටක රන්රුව තබා ඔවුන් සැගවී සිටියා. . එවිට කාපිලානියගේ කිරිමව, ඇය නහවා සරසා ශ්‍රී යහන් ගබඩාවේ නිදිකරවා, තමා දිය නෑමට එන අතරේ මේ රුව දුටුවා. ඇය ඒ රුවට රැවටී “ආර්යදුව, මා පසුපස මෙහි නැවත පැමිණියා විය යුතුයැ”යි යන සිතෙන්, ඒ පිළිරුවට තර්ජනය කරන්නට වුණා “අකීකරු තැනැත්තිය! නුඹ මෙහි කුමට ආවෙහිද?”යි ගැසීමට අත ඔසවා “වහා ගෙදර යව!”යි වැරෙන් කම්මුලට පාරක් ගැසුවා. ඇගේ අත ගලක ගැසුවාක් මෙන් කම්පා වුනා. පුදුම වූ ඈ මදක් විමසිල්ලෙන් බලනවිට මහත් වූ ගෙල දැක “මෙය ආර්ය දුවයැ”යි මට සිතුණු නමුත් මෙහි මගේ ආර්ය දුවගේ යැයි පැවසීමට තරම් සුදුසු වස්ත්‍රයක් වත් නැතැයි කියා සිටියා.

අවට සැඟවී සිටි බමුණෝ රැස්වී ඇය පිරිවරාගෙන “මේ රුව නුඹගේ ස්වාමිදුව වැනිද?”යි අසා සිටියා. . එවිට කිරිමව, “මේ කිමිද? මීට වඩා සියදහස් ගුණයකින් මගේ ආර්ය දුව ශෝභාමත් වන්නීය. රූප සම්පන්නය. දොළොස්රියන් ගැබෙක හුන්නී පහන් නොදල්වාම සිය සිරුරේ ශෝභාවෙන් අඳුර දුරු කරන්නීය”යි කියා සිටියා. . “එසේනම් ඒ නිවසට යමු” යි පුදපූජා ගෙන රන්රුව ද රථයට නංවාගෙන, කෝසිය ගොන්තගේ ගෙදරට ගොස් ද්වාරයේ සිට පැමිණි බව දන්වා සිටියා.

බමුණා පිළිසඳර කථාකර, “කොහි සිට ආවෙහිද?” ඇසුව. “මගධරට මහාතිත්ථ ගමෙහි කපිල බමුණාගේ ගෙදර සිටයැ”යි ඔවුන් පිළිතුරු දුන්නා. . “කුමක් නිසා මෙහි ආවෙහිද?” “මෙනම් කරුණක් නිසායැ”යි කාරණය පැමිණි කාරණය පැහැදිළි කරනු ලැබුවා. “දරුවනි! යහපති. සම වූ ජාති ගෝත්‍ර සම්පත් ඇති අපි බමුණෝ වෙමු. දැරිය දෙන්නෙමි”යි ඔවුන් ත්‍යාගය පිළිගත්තා. .

උපකාර වූ මුලාශ්‍ර

චීවර සූත්‍ර වර්ණනාව

සංයුත්ත නිකාය අටුවාව නිදාන වර්ගය – අටුවාව 4. කස්සප සංයුක්තය1. කස්සප වර්ගය

සාම ජාතකය

Ape Budu Hamuduruwo 373

අපේ බුදුහාමුදුරුවෝ 373 (සන්තිකේ නිධානය)

 

ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත්

මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු. 09

පසේ බුදුවරු පන්සියයක් එකවර පිරිනිවීම.

 පසේබුදුවරයන් පන්සීයයක් තම රාජකීය උද්‍යානයේ වැඩමකොට තබාගෙන දිනපතාම උන්වහන්සේලාට ඇප උපස්ථාන කරමින් සියලු කටයුතු සොයා බලමින් මෙසේ සෙමින් සෙමින් කාලය ගතකලා. කොතරම් පිංකම් කරත් මේ සංසාර සාගරය තුල අනේකවිදි කරදර කම්කටොලු නොසිතූ ප්‍රශ්ණ වලට මහුණ දෙන්න වෙනවා. මෙසේ කාලය ගෙවෙන විට රජුගේ පසල් දනව්වක හදිසියේ කැරැල්ලක් ඇතිවුණා. ඔහු ‘මම පසල් දනව්ව සංසිඳවීමට යමි. නුඹ පසේබුදුන්වහන්සේලා කෙරෙහි නොපමාවූව’යි දේවියට අවවාද කොට ඒ කැරැල්ල සංසිදවීම සඳහා පිටව ගියා. කාලය ගෙවී ගියා. ඒ කාලය ගෙවීයන අතරතුරම පසේබුදුන් වහන්සේලාගේ ආයුසංස්කාරයත් ගෙවිගියා. උන්වහන්සේලා මෙලොවින් සමුගතයුතු දිනයත් පැමිණියා. මහාපදුම පසේබුදුන්වහන්සේ තුන්යම් රැය ධ්‍යානක්‍රීඩා කොට අරුණැඟීමෙහිදී අරමුණු පුවරුව අරමුණු කොට සිටිසේක්ම අනුපාදිශේෂ පරිනිර්‍වාණ ධාතුවෙන්ම පිරිනිවන්පෑව. මේ ක්‍රමයෙන්ම අනෙකුත් සියලුම පසේබුදුරජාණන් වහන්සේලා පිරිනිවන්පෑව.

දෙවැනි දිනයෙහි දේවිය පසේබුදුන්වහන්සේලා වැඩ සිටින තැන බිම පිරිසුදු කරවා මල් විසුරුවා දුම් අල්ලා උන්වහන්සේලාගේ වැඩමවීම බලාපොරොත්තු වෙමින් සුපුරුදු පරිදි රැඳී සිටියා. එහෙත් කිසිම බුදුවරයන් වහන්සේ නමක් තවමත් නැහැ. ඇයට හිතේ යම් බියක් ඇතිවෙන්නත් ඇති. රජතුමා විශාල වගකීමක් ඇයට පවරලා ඇය කෙරෙහි විශාල විශ්වාෂයකින් තමයි ඒ ගමන ගියේ. ‘යව දරුව, කිම ආර්‍ය්‍යයන්වහන්සේලාට කිසි අපහසුවක් දැයි දනුව’යි ඇය ඉක්මනින්ම පුරුෂයකු උන්වහන්සේලා වැඩ සිටි අසපුව වෙත යවනු ලැබුවා. ඔහු ගොස් මහාපදුම පසේබුදුන්වහන්සේගේ පන්සලෙහි සෙමින් විවර කළා. එහෙත් උන්වහන්සේ එහි වැඩ සිටියේ නැහැ. ඔහු ඉන් පස්සේ ගියේ සක්මන් මළුව වෙත. උන්වහන්සේ සක්මන්මළුවේ අරමුණු පුවරුව ඇසුරු කොට සිටි උන්වන්සේ දැක වැඳ ‘ස්වාමීනි සුදුසු කාලය’යි සැළකකොට සිටියත් උන්වහන්සේ නිහඬයි. පිරිනිවන් පෑ සිරුරක් කුමක් කියන්නද? ඔහුට හිතුන උනවහන්සේ සැතපිලා වෙන්න ඇති කියලා. කොතරම් කතා කලත් උන්වහන්සේ නිහඬයි. ඔහු කලේ සෙමින් පිටිපතුල අතින් පිරිමැඳීමයි. ඒ අවස්ථාවේ පැවති පාවල සිසිල් බවින්ද තද බවින්ද උන්වහන්සේ පිරිනිවන් පෑ බව දැන දෙවැන්නා වෙතට ගියා. මෙසේ තැන්වැන්නා වෙත යනුවෙන් සියල්ලන්ම වෙත ගොස් ඒ සියලු දෙනා පිරිනිවන් පෑබව දැන රජගෙට ගියේ ඉතාම ඉක්මනින්. දේවිය ඒවනවිටත් පෙරමගට වී බලා සිටිය. ‘දරුව පසේබුදුවරු කොහිදැ’යි ඇය විමසුවේ නොවසිල්ලෙන්. ‘දේවිය, උන්වහන්සේලා පිරිනිවන් පාලා. දේවිය හඬන්නටත් වැලපෙන්නටත් පටන්ගත්තා. අවසානයේ ඒ නුවර වැසියන් සමඟ එහි ගොස් ආගමික උත්සව පවත්වා පසේබුදුවරුන් ආදාහනය කොට ධාතුන් ගෙන චෛත්‍යයක් පිහිටවනු ලැබුවා

රජතුමාද ප්‍රත්‍යන්තයෙහි කැරැල්ල මැඩපවත්වා නැවතත් නුවරට පැමිණිය. දේවියත් ඒ වනවිට රජතුමාව පිළිගැනීමට පරිවාර පිරිසත් සමග පෙරගමන් පැමිණලයි සිටියේ. රජතුමාගේ ප්‍රථම විමසීම වුනේද පසේබුදුවරයන් පිළිබඳවයි. ‘සොඳුර, කිම පසේබුදුරුන් කෙරෙහි මම පමා නොවූවාද? ආර්‍ය්‍යවරු සුවයෙන්දැ’යි ඔහු ඇසුවා. ‘දේවයිනි, ඔවුන් සියලු දෙනාම පිරිනවන් පෑව. ඇය කියා සිටියා. මෙබඳුවූ පඬිවරුනටත් මරණය එළඹෙයි. අපට කොයින් නිදහසෙක්දැයි රජතුමා සිතුවා. සංසාර පුරුද්දට ඔවුනට දුකට වඩා සිතට ප්‍රකට වන්නේ අනිත්‍ය ස්වභාවයයි. සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරිමමයි. හෙතෙම නගරයට ගොස් උයනටම පිවිස දෙටුපුතු කැඳවා ඔහුට රාජ්‍යය පවරා ඔහු ශ්‍රමණප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිවුණා. දේවියද, ‘මොහු පැවිදිවූ කල්හි මම කුමක් කරන්නෙම්දැ’යි සිතා ඒ උයනෙහිම පැවිදි වූවනා. දෙදෙනාම ධ්‍යාන වඩා මරණින් පසු බඹලොව උපන්නා.

උපකාර වූ මුලාශ්‍ර

මහාකාශ්‍යප තෙරණුවෝ අඞ්ගුත්තර නිකාය එතදග්ග පාළිය පළමුවෙනි වර්‍ගය

මහාකස්සප ස්ථවිරගාථා වර්ණනාව කුදුගත් සඟිය අටුවාවෙහි ථේරගාථා අටුවාව චත්තාලීසනිපාතය

Ape Budu Hamuduruwo 372

අපේ බුදුහාමුදුරුවෝ 372 (සන්තිකේ නිධානය)

 

ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත්

මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු. 08

ක්ෂයවන කුසලය යලි පුර්ණය කරදෙන පින්වත් බිරිදෑවරු.

ඉතින් මේ ආකාරයෙන් පූර්ව පිනෙහි මහිමයෙන් මේ යුවළ රාජකීය සත්කාර විදිමින් රාජ්‍ය පාලනය කරන්න වුනා. ඔහුගේ දිවිය රජකෙනෙකුට වඩා තපස් පවිද්දෙකුට සමාන වුනා. ඒ නිසාම ඔහුගේ ප්‍රියාදර බිරිඳ ඔහුව සමහර වෙලාවට ආමන්ත්‍රණය කලේ තපස්තුමිනි කියලා. ඇයත් ඔහු හා සමානව සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩී සිටියා. ඒ නිසාම ඇයට මෙය අතීත කුසල විපාකයක මල්පල ගැන්වීමක් එහෙත් එය දිනෙන් දිනම ක්ෂ්යවමින් පවතින්නක් බවද පෙනී ගියා. මෙසේ කාලය ගතවෙද්දී එක් දිනක් දේවිය රජුගේ මේ මහා සැප සම්පත් දැක, ‘අහෝ තවුස්තුමනි’යි ඉතාම කුළුණුබර බවක් දැක්වූවා. මෙය දුටු රජතුමා දේවිය, කිමෙක්දැ’යි ඇසුවේ විමතියෙන්. දේවයන්වහන්ස, අප විසින් විඳිනු ලබන සැපත් ඉමහත්. අතීතයෙහි බුදුවරුන් සඳහා අපි යහපත් දේ කරනු ලැබුවා. එහෙත් දැන් අනාගතයට හේතුවන්නාවූ කුසල් කිසිවක් අප අතින් සිදුවන්නේ නැහැ. එවිට රජතුමා “දේවීය අප කවරකුට දෙන්නෙම්ද? “දැන් එවැනි සිල්වත්හු නැතැයි” කීයා සිටියා. පින්වත් බිරිඳක් හැමදාම තම ස්වාමියාට යහමග පෙන්නුවා. සුගතිය කරා යන පාර කියා දුන්නා, අකුසලයෙන් වැලකුවා කුසලය වැඩුවා පමණක් නෙවෙයි පාරමී ගුණ දම් පුරන්නට මග දෙපස එලිය කරන මහා පහන්වැටක් වුනා. ඇය එවිට මෙලෙස උත්තර දුන්නා.

“දේවයන්වහන්ස, දඹදිව රහතුන්ගෙන් හිස් නැහැ. නුඹවහන්සෙ දානය පමණක් පිළියෙළ කළ මැනවි. මම රහතුන්වහන්සේලා ලබමැයි” කීයා සිටියා. ඒ කියූ සැණින්ම රජතුමා දෙවැනි දිනයෙහි පෑළදිග දෙරටුවෙහි දානය පිළියෙළ කරවනු ලැබුවා. දේවිය උදැසනින්ම පෙහෙවස් අංග සමාදන් වුණා. ඉන්පස්සේ මතු මහල්තලයෙහි පෙරදිගට මුහුණලා සමාධිමත් සිතෙන් දැඩි අදිෂ්ඨානයකට එළඹුනා. මෙම දිසාවෙහි යම් අයුරින් බුදු පසේබුදු මහරහතන්වහන්සේලා වැඩ සිටීද මාගේ ආරාධනය පිළිගෙන මෙම දානය සඳහා වැඩම කෙරේවා!” යනු ඒ ආරාධනාවයි. එහෙත් කිසිම සඥාවක් නැහැ. කිසිම කෙනෙකු ඒ දිශාවෙන් වැඩම නොකරන නිසා එම දිශාවෙහි රහතුන් නොසිටන බව දැක ” මේ දිශාවෙහි රහත්වරු නොවූහ. ඒ සත්කාරය දුගී වාචකයන්ට දෙන්නෙමි”. යනුවෙන් සිතුවා.

දෙවැනි දිනයෙදීත් දකුණු දොරටුවෙහි දානය පිළියෙළ කොට එසේම කරනු ලැබුවා. එහෙත් කිසිවෙකුත් වැඩියේ නැහැ. එදත් ඒ දානය දුගී මගී යාචකයන් උදෙසා පිළිගන්වනු ලැබුවා. තුන්වන දිනයෙහි පැසුළු දිග

දොරටුවෙහි සියල්ල පිළියල කරනු ලැබුවා. එදත් එලෙසමයි. දේවියගේ සිතට බියක් දැනෙන්නටත් ඇති. අවසානයේ උතුරු දොරටුවෙහි දානය පිළියෙළ කළ දිනයෙහි දේවිය එසේම ඇරයුම් කරනු ලැබුවා. එදින ඇයගේ අභිප්‍රාය ඉෂ්ඨ වුණා. හිමවතෙහි වසන්නාවූ පදුමවතියගේ පුතුන්වූ පන්සියයක් පසේබුදුවරුන් අතුරෙන් දෙටුවූ මහාපදුම පසේබුදුන්වහන්සේ දිවැසින් ඇයගේ අභිප්‍රාය ඇරයුම දුටුවා. උන්වහන්සේ එය දැන තම සොහොයුරන් ඇමතූවා. ‘ඇවැත්නි, නන්‍දරජතෙමේ නුඹවහන්සේලා ඇරයුම් කරයි. ඔහුගේ අරයුම පිළිගනුමැනවැයි කියා සිටියා.

 උන්වහන්සේලා එය පිළිගෙන අනෝතත් විලෙහි මුවසෝදා අහසින් අවුත් උතුරු දොරටුවෙහි ඉදිරියෙන් බිමට වැඩියා. මෙය දුටු මිනිස්සු වහා ගොස්, “දේවයනවහන්ස, පසේ බුදුවරු පන්සියයක් ආවාහුය’යි” රජුට සැළකොට සිටියා. රජතෙමේ දේවිය සමඟ ගොස් වැඳ පාත්‍රය ගෙන පසේබුදුවරුන් පහයට නංවා එහි උන්වහන්සේලාට දානයදී සියලු කටයුතු අවසන් වූ පසු රජතුමා සංඝස්ථවිරයන් වහන්සේගේ ද දේවිය සංඝනවකයන්වහන්සේගේද පාමුලෙහි සිට, කාරුණික ඉල්ලීමක් කරනු ලැබුවා. ‘ආර්‍ය්‍යයන්වහන්සේලා ප්‍රත්‍යයන්ගෙන් ක්ලාන්ත නොවන්නාහුය. අපි පිනෙන් නහමු. අපට දිවි ඇති තෙක් මෙහි විසීමට පිළිණ දෙනුමැනවැයි” ඒ ඇරයුමයි. ඒ පසේ බුදුපියාණන් වහන්සේලා ඒ ආරාධනය පිළිගත්තා. රජතුමා ඒ ආයාචනය පිළිගත් සැනින්ම උයනෙහි පනසල් පන්සියයක්ද, සක්මන්මළු පන්සසියක් දැයි වශයෙන් සියලු අයුරින් වාසය කිරීමට සුදුසු තැන් සපයා එහි වැස්වූවා.

උපකාර වූ මුලාශ්‍ර

මහාකාශ්‍යප තෙරණුවෝ අඞ්ගුත්තර නිකාය එතදග්ග පාළිය පළමුවෙනි වර්‍ගය

මහාකස්සප ස්ථවිරගාථා වර්ණනාව කුදුගත් සඟිය අටුවාවෙහි ථේරගාථා අටුවාව චත්තාලීසනිපාතය