බුදු සසුනේ බහුශ්‍රැත තෙමේ යනු

නිස්සයමුච්චනකය, පරිසුපට්ඨාකය, භික්‍ඛුනොවාදකයයි තෙවැදෑරුම් වේ.

 

එහි නිස්සයමුච්චනක වූ උපසම්පත්තියෙන් පස්වස් ඇතියහු විසින් යටත් පිරිසයින් භික්‍ෂු භික්‍ෂුණී මාතිකා දෙක ප්‍රගුණ කළ යුතුය. වාචොද්ගත කළයුතුය. පක්‍ෂ දිනයන්හි දහම් ඇස්වීම පිණිස සූත්‍ර පිටකයෙන් බණවර සතරක්ද, පැමිණියවුන්ට පරිකථනය පිණිස අන්‍ධකවින්‍ද මහාරාහුලොවාද අම්බට්ඨසූත්‍ර සමානවූ එක් කථාමාර්‍ගයක්ද. සඟබත් මගුල් අවමගුල්හි අනුමොදනා පිණිස සඟබත් ආදියෙහි දානානිසංස ප්‍රතිසංයුක්තවූ නිධිකණ්ඩ සූත්‍රාදි අනුමොදනා, ගෘහප්‍රවෙශ මඞ්ගලාදියෙහි මඞ්ගලසූත්‍රාදි අනුමොදනා, මතකභත්ත ආදි අවමඞ්ගලාදියෙහි තිරොකුඩ්ඩසූත්‍රාදි අනුමොදනා යන ත්‍රිවිධ අනුමොදනාද, උපොසථ පවාරණාදිය දැනගනු පිණිස කර්‍මාකර්‍ම විනිශ්චයද, මහණදහම් කරනු පිණිස සමාධි වශයෙන් හෝ විදර්‍ශනා වශයෙන් හෝ රහත්බව කෙළවර කොට ඇති එක් කර්‍මස්ථානයක්ද යන මෙපමණෙක් උගත යුතුය. මෙපමණකින්ම මෙතෙමේ බහුශ්‍රැත වේ. සිවු දිසාවෙහි නොපැකිළෙන ගමන් ඇති බැවින් සිවුදිසා ඇත්තේ වේ. තමන්ගේ ඓශ්චර්‍ය්‍යයෙන් යම්කිසි තැනක වසන්නට ලබාද,

 
පරිසුපට්ඨාපකවූ උපසම්පත්තියෙන් දසවස් ඇත්තහු විසින් යටත් පිරිසයින් පිරිස සියලු විනය පිටකයෙහි හික්මවන්නට භික්‍ෂු භික්‍ෂුණී විභඞ්ග දෙක ප්‍රගුණ කටයුතුය. වාචොද්ගත කටයුතුය. නොහැක්කහු විසින් තුන් දෙනකුන් සමග හැදෑරීමට සුදුසු වූවාහු කටයුත්තාහ. කර්‍මකර්‍ම විනිශ්චයද උගත යුතුය. කඳුවත්ද උගත යුතුය. පිරිස නාමරූප පරිච්ඡෙදයෙහි හික්මවනු පිණිස ඉදින් මද්ධ්‍යම භාණකයෙක් වේ නම්, මූලපණ්ණසකය උගත යුතුය. දීඝභාණකයා විසින් මහාවග්ගය උගතයුතුය. සංයුක්තභාණකයා විසින් මහාවග්ගයෙන් යට හෝ සගාථකවග්ග නිදානවග්ග ඛන්‍ධකවග්ග යන තෙවග හෝ උගත යුතුය. අඞ්ගුත්තර භාණකයා විසින් යට හෝ මතුවෙහි හෝ අද්ධ නිකායයක් උගත යුතුය. නොහැක්කහු විසින් තිකනිපාතය පටන් යට එකකනිපාත දුකනිපාත උගෙනීම වටියි. මහාපච්චරියෙහි වනාහි එක් නිපාතයක් උගත්නහු විසින් චතුක්කනිපාතය හෝ පංචකනිපාතය හෝ උගතයුතුයයි කියනලදී. ජාතකභාණකයා විසින් අර්‍ත්‍ථකථා සහිත වූ ජාතකය උගත යුතුය. ඉන් මෙපිට උගෙණීම නොවටියි. ධම්මපදයද වස්තූන් සහිතව උගතයුතුයයි මහාපච්චරියෙහි කියන ලදී. ඒ ඒ තැනින් එක් රැස් කොට මූලපණ්ණාසකය තරම් වටීද, නොවටීද, යත්: නොවටීයයි කුරුන්‍දි අර්‍ත්‍ථකථාවෙහි ප්‍රතික්‍ෂෙප කරන ලදී. අන් තන්හි විචාරීමෙක්ම නැත්තේය. අභිධර්‍මයෙහි කිසිවක් ගතයුතු යයි නොකියන ලදී. යමක්හට වනාහි අර්‍ත්‍ථ කථා සහිත වූම විනයපිටකයද අභිධර්‍මපිටකයද ප්‍රගුණවේද සූත්‍රාන්තයෙහිද කියූ අයුරු ඇති ග්‍රන්‍ථයෙක් ප්‍රගුණ වූයේ නොවේද, හෙතෙමේ පිරිස ලවා උවැටන් කරවන්නට නොලබයි. යම් මහණකු විසින් සූත්‍රාන්තයෙන් හා විනයයෙන්ද කියූ පමණැති ග්‍රන්‍ථයෙක් උගන්නා ලද්දේ ද මෙතෙමේ පරිසුපට්ඨාපක බහුස්සත නම්වේ. දිසාපාමොක්‍ඛ වේ. යම්කිසි දිසාවෙක කැමැති සේ පවත්නේ වේ. පිරිස ලවා උවැටන් කරවා ගන්නට ලබන්නේය.
 
 
භික්‍ෂුණීන්ට අවවාද කරන මහණහු විසින් අර්‍ත්‍ථකථා සහිතවූ ත්‍රිපිටකය උගතයුතුය. නොහැකිවන්නහු විසින් සිවු නිකායයන් අතුරෙහි එක් නිකායයක අර්‍ත්‍ථකථාව ප්‍රගුණ කටයුතුය. එක් නිකායයක් ඉගෙණීමෙන් සෙසු නිකායයන්හිද, ප්‍රශ්න විසදන්නට හැකිවන්නේය. සප්තප්‍රකරණයන් අතුරෙහි ප්‍රකරණසතරක අර්‍ත්‍ථකථාව ප්‍රගුණ කටයුතුය. එහි ලද නයින් සෙසු ප්‍රකරණයන්හිද ප්‍රශ්න විසදන්නට හැකිවන්නේය. විනයපිටකය වනාහි නොයෙක් අර්‍ත්‍ථ ඇත්තේය. නොයෙක් කරුණු ඇත්තේය. එහෙයින් එය අර්‍ත්‍ථකථාව සමග ප්‍රගුණ කටයුතුමය. මෙපමණකින් භික්‍ඛුණොවාදක බහුස්සුත වේ.
 
 

අසම්පජාන කර්‍මය යනු

සඤ්චෙතනා සූත්‍ර වර්ණනාව

එහි අසම්පජාන කර්‍මය මෙසේ දතයුතුය: කුඩාදරුවෝ මාපියන් කළ දෙය කරමැයි චෛත්‍ය වඳිත්, මල් පුදත්, භික්ෂු සංඝයා වඳිත්, කුසලයයි නොදන්නාවූ ද ඔවුනට එය කුසලයක්ම වෙයි, එසේම මෘගපක්‍ෂි ආදී තිරිසන්නු ධර්‍මය අසති, සංඝයා වඳිති, සෑ වඳිති, දන්නාවුව ද නොදන්නාවුව ද ඔවුනට එය කුසලයක්ම වෙයි, කුඩා දරුවෝ මාපියන්ට අත්පාවලින් පහරදෙත්, භික්ෂූන්ට තර්ජනය කරත්, ගල් විසිකරත්, බැණවදිත්, දෙන්නු භික්ෂු සංඝයා ලුහුබඳිත්, බල්ලෝ ලුහුබඳිත්, සපාකත්, සිංහව්‍යාඝ්‍රාදීහු ලුහුබඳිත්, දිවිතොර කරත්, දන්නාවුව ද නොදන්නාවුව ද ඔවුනට අකුසල කර්‍මයක් වේයයි දතයුතුය.

සෝවාන් මාර්ගඵල පිළිබද

ශාරීපුත්‍රය, මේ සෝපාදිශේෂ පුද්ගලයෝ නවදෙනෙක් කලුරිය කරන්නාහු නිරයෙන් මිදුණාහු වෙති. තිරිසන් යෝනින් මිදුණාහු වෙති. ප්‍රේතවිෂයෙන් මිදුණාහු වෙති. අපාය දුර්‍ගතිවිනිපාතයෙන් මිදුණාහු වෙත්. ශාරීපුත්‍රය, මේ ධර්‍ම පරියායය භික්‍ෂූන්ට, භික්‍ෂුණීන්ට, උපාසකයන්ට, උපාසිකාවන්ට මේතාක් නො වැටහිණි. (මම නො කීයෙමි) ඒ කවර හෙයින යත්: මේ ධර්‍මපර්‍ය්‍යාය අසා (මතුරහත් බව පිණිස වැර නොකරන ඔහු) ප්‍රමාදයට නොපැමිණෙත්වා යි. වැලිත් ශාරීපුත්‍රය ප්‍රශ්නාධිප්‍රායයෙන් (තොප ඇසූ ප්‍රශ්නයට සභාග වශයෙන්) මා විසින් මේ ධර්‍මපර්‍ය්‍යාය දෙසනලදි යි.

සෝපාදිසේස සූත්‍රය:-  අඞ්ගුත්තර සඟිය/9. නවක නිපාතය/1. ප්‍රථම පණ්ණාසකය/2. සීහනාද වර්‍ගය

බෝසතුන් උපන් ඇසිල්ලෙහි පහළවු දෙතිසක් පෙරනිමිති

එතුමාගේ උපන් ඇසිල්ලෙහි පිළිසිඳ ගැනීමේ අවස්ථාවෙහිදී මෙන් දෙතිසක් පෙරනිමිති පහළ වීය.

  1. මේ දස දහසක් ලෝකධාතුව කම්පා විය. මොනවට ප්‍රකම්පා විය. වෙව්ලීය.
  2. දස දහසක් සක්වල අපමණ ආලෝකයක් පැතිරුනි.
  3. ඔහුගේ එම ඓශ්වර්යය දකිනු කැමැත්තාහු මෙන් අන්ධයෝ ඇස් ලැබූහ.
  4. බීරෝ ශබ්ද ඇසූහ. ගොලුවෝ මනාව කථා කළහ. කුදු ඇත්තෝ සෘජු ශරීර ඇත්තෝ වූහ. කොරු පයින් ගමනය ලදහ.
  5. බැමිගත වූ සියළු සත්ත්වයෝ දම්වැල් බැමි ආදියෙන් මිදුනාහුය.
  6. සියළු නිරයන්හි ගිනි නිවුනි.
  7. ප්‍රේත ලෝකයන්හි සා-පවස් සන්සිඳුනි.
  8. තිරිසනුන්ට බියක් නොවීය.
  9. සියලු සත්ත්වයන්ගේ රාගය සන්සිඳුනි.
  10. සියළු සත්ත්වයෝ ප්‍රිය තෙපුල් ඇත්තෝ වූහ.
  11. මිහිරි ලෙස අශ්වයෝ හේසාරව කළහ. ඇත්තු ගර්ජනා කළහ.
  12. සියළු තූර්ය භාණ්ඩ සිය නාදයන් විදීය. නොගැටුනා වූම අත් ආදීන්ගේ පැළඳි නොගැටුනා වූම ආභරණයෝ මිහිරි ලෙස නාද කළහ.
  13. සියළු දිසාවෝ ඉතා ප්‍රසන්න වූහ.
  14. සත්ත්වයන්ට සැප එළවමින් මෘදු සීතල වායුව හැමීය.
  15. අකාල වර්ෂාවක් වැස්සේය.
  16. පොළොවෙන් ද ජලය මතු වී විසිරී ගලා ගියේය.
  17. පක්‍ෂීහු අහස් ගටන අත්හළහ.
  18. නදීහු නොගලා යමින් සිටියහ.
  19. මහ මුහුදෙහි ජලය මිහිරි විය.
  20. කිළිටින් මිදුන සූර්යයා පෙනෙන කල්හිම අහස්ගත සියළු තාරකාවෝ බැබලුනාහ.
  21. අරූපාවචර දෙවියන් හැර සියළු දෙවියෝ ද සියළු නිරිසත්තුද දක්නා ලබන රූප ඇත්තෝ වූහ.
  22. ගස් පර්වත කවුළු ගල් ආදීහු ආවරණ රහිත වූවාහුය.
  23. සත්ත්වයන්ගේ චුති උත්පත්ති නොවීය.
  24. සියළු අප්‍රසන්න ගන්ධය අභිබවා දිව්‍යමය සුවඳ හැමීය.
  25. ඵල දරන්නා වූ සියළු වෘක්‍ෂයෝ ඵල දරන්නෝ වූහ.
  26. මහමුහුද සියළු තැන පැතුරුන පස් පැහැයෙන් යුත් පියුමින් වැසුන තලාවක් විය.
  27. ජලයේ හටගන්නා වූද පොළොවේ හටගන්නා වූද සියළු මල් පිපිණි. වෘක්‍ෂයන්හි කඳමල්ද හාඛාවන්හි අතුමල්ද වැල්වල වැල්මල්ද පිපුණි.
  28. පොළොවෙහි ගල්තලාවන් බිඳ මතුමත්තෙහි සතක් සතක් වී දඬු පියුම් නම් පියුම් නික්මුණි.
  29. අහසෙහි එල්බෙන පියුම් උපනි.
  30. හාත්පස මල් වැස්සක් වැස්සේය.
  31. අහසෙහි දිව්‍යමය තූර්යයෝ වාදනය වූහ.
  32. සියළු දසදහසක් සක්වල කැටිකර විසුරුවා හළ මල් ගුලාවක් මෙන් කැටිකොට බඳනා ලද මල්කළඹක් මෙන් අලංකාරකොට සරසනලද මලසුනක් මෙන්ද එකට බැඳුන මල්මාලා ඇත්තී සැලෙන වල්විදුනාවක් වැනි වූවා මල් සුවඳින් හා සුවඳදුම් සුවඳින් සුවඳ කවන ලද්දී සෞභාග්‍යයෙන් අතිශයින් අගතැන් පැමිණියා වූවාය.ඒ පූර්වනිමිති මත්තෙහි අවබෝධ කටයුතු බොහෝ විශේෂ අධිගමයන්ට පෙරනිමිති වූයේම විය. මෙසේ නොයෙක් ආශ්චර්යයන් පහළවීමෙන් හොබනා වූ මේ උතුම් උපතක් වීද යමක් පිණිස මෙතුමා විසින් සම්බුද්ධත්වය පතන ලද ද ඒ සම්බුද්ධත්වයේ ඒකාන්ත සිදුවීම එසේම විය. වෙනස් නොවීය. අන් අයුරකින් නොවීය.

පා වැදිය යුතු ආකාරය.

නවකතරෙන භන‍්තෙ භික‍්ඛුනා බුඩ‍්ඪතරස‍්ස භික‍්ඛුනො පාදෙ වන්‍දන‍්තෙන කති ධම‍්මෙ අජ‍්ඣත‍්තං උපට‍්ඨාපෙත්‍වා පාදා වන්‍දිතබ‍්බාති?

වහන්ස, වෘද්ධතර මහණක්හුගේ පා වඳනා නවකතර මහණහු විසින් කෙතෙක් දහම් ස්වකීය සන්තානයෙහි එළවා පා වැන්දයුතු ද?

නවකතරෙනුපාලි, භික‍්ඛුනා බුඩ‍්ඪතරස‍්ස භික‍්ඛුනො පාදෙ වන්‍දන‍්තෙන පඤ‍්ච ධම‍්මෙ අජ‍්ඣත‍්තං උපට‍්ඨාපෙත්‍වා පාදා වන්‍දිතබ‍්බා. කතමෙ පඤ‍්ච : නවකතරෙනුපාලි, භික‍්ඛුනා බුඩ‍්ඪතරස‍්ස භික‍්ඛුනො පාදෙ වන්‍දන‍්තෙන එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා අඤ‍්ජලිම‍්පග‍්ගහෙත්‍වා උභොහි පාණිතලෙහි පාදානි පරිසම‍්බාහන‍්තෙන පෙමඤ‍්ච ගාරවඤ‍්ච උපට‍්ඨාපෙත්‍වා පාදා වන්‍දිතබ‍්බා. නවකතරෙනුපාලි භික‍්ඛුනා බුඩ‍්ඪතරස‍්ස භික‍්ඛුනො පාදෙ වන්‍දන‍්තෙන ඉමෙ පඤ‍්ච ධම‍්මෙ අජ‍්ඣත‍්තං උපට‍්ඨාපෙත්‍වා පාදා වන්‍දිතබ‍්බාති.

උපාලි, වෘද්ධතර මහණක්හුගේ පා වඳනා නවකතර මහණහු විසින් දහම් පසක් සිත්සතන්හි එළවා පා වැන්දයුතු යැ. කවර පසෙක යත්: උපාලි, වෘද්ධතර මහණක්හුගේ පා වඳනා නවකතර මහණහු විසින් උතුරුසඟ එකස් කොට ඇඳිලි බැඳගෙණ දෙඅත්ලෙන් දෙපත්ල පිරිමදිමින් ප්‍රේමයත් ආදරයත් එළවා පා වැන්දයුතු, උපාලි, වෘද්ධතර මහණක්හුගේ පා වඳනා නවකතර මහණහු විසින් මෙ පස්දහම් සිත්සතන්හි උපයා පා වැන්දයුතු.

තුදුස්වන කඨිනත්‍ථාර වර්‍ගය. – 265

 

පාද අල්ලා වැදීමට අවසර දීම.

තෙන ඛො පන සමයෙන භික‍්ඛුනියො පුරිසෙහි අභිවාදනං කෙසච‍්ඡෙදනං නඛච‍්ඡෙදනං වණපටිකම‍්මං කුක‍්කුච‍්චායන‍්තා න සාදියන‍්ති. භගවතො එතමත්‍ථංආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ සාදිතුන‍්ති.

එසමයෙහි භික්‍ෂුණීහු කුකුස් කරන්නාහු පුරුෂයන්ගෙන් වැඳීම, කෙස් සිඳීම, නිය සිඳීම, වණ පිළියම් නො ඉවසත්, භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණසැලකළහ. “මහණෙනි, ඉවසන්නට අනුදනිමි” යි (වදාළහ.)

භික‍්ඛුනීක‍්ඛන්‍ධකං – 535

අභිවාදනන‍්තිආදීසු පුරිසා පාදෙ සම‍්බාහන‍්තා වන්‍දන‍්ති, කෙසෙ ඡින්‍දන‍්ති, නඛෙ ඡින්‍දන‍්ති, වණපටිකම‍්මං කරොන‍්ති, තං සබ‍්බං කුක‍්කුච‍්චායන‍්තා න සාදියන‍්තීති අත්‍ථො. තත්‍රෙකෙ ආචරියා “සචෙ එකතො වා උභතො වා අවස‍්සුතා හොන‍්ති සාරත‍්තා, යථාවත්‍ථුකමෙව”. එකෙ ආචරියා “නත්‍ථි එත්‍ථ ආපත‍්තී”ති වදන‍්ති. එවං ආචරියවාදං දස‍්සෙත්‍වා ඉදං ඔදිස‍්ස අනුඤ‍්ඤාතං වට‍්ටතීති අට‍්ඨකථාසු වුත‍්තං. තං පමාණං. “අනුජානාමි භික‍්ඛවෙ සාදිතු”න‍්ති හි වචනෙනෙව තං කප‍්පියං.

“අභිවාදනං” යනාදි තන්හි පුරුෂයෝ පාදසම්බාහනය කරමින් වඳිත්. කෙස් සිඳිත්. නියසිඳිත්. වණපිළියම් කෙරෙත්. කුකුස් කරන්නාවු ඒ සියල්ල නොඉවසත් යන අර්‍ත්‍ථයි. එහි සමහර ආචාර්‍ය්‍යයෝ එක් පක්‍ෂයකින් හෝ දෙපක්‍ෂයෙන් හෝ රාගයෙන් තෙත් වූවාහු ඇලුම් සහිත වූවාහු වෙත්ද, යථාවස්තුකමය. ඇතැම් ආචාර්‍ය්‍යයෝ මෙහි ඇවැත් නැතැ’යි කියන්නාහුයි මෙසේ ආචාර්‍ය්‍යවාදය දක්වා මෙය උදෙසා අනුදනාලද්දේ වටීයයි අර්‍ත්‍ථ කථාවන්හි කියන ලද්දේය. එය ප්‍රමාණ වේ. “අනුජානාමි භික්‍ඛවෙ සාදිතුං” යන වචනයෙන්ම එය කැපවේ.

භික්ඛුනීඋපසම්පදානුජානනකථා


 

භික්ෂුණීන් වහන්සේලාට විනය නීති තද වැඩියි. එහෙත් පුරුෂයන් පාද අල්ලා සම්බාහනය කර ගැනීම ක් ඉවසිය යුතු බව භාග්‍යවතුන් වහන්සේ විනය පිටකයේ සඳහන් කර තිබෙනවා.

පුරුශයන් විසින් කරන

  • අභිවාදනය
  • නියපොතු කැපීම
  • හිසකෙස් බෑම
  • තුවාල වලට බෙහෙත් දැමීම

ඉවසිය යුතු බව භාග්‍යවතුන් වහන්සේ විනය පිටකය සඳහන් කරනවා

භික්ෂුණීන් වහන්සේලාට කැප නම් භික්ෂූන් වහන්සේලාට කොහොමත් කැප බව සැලකිය යුතුයි