දාරුචීරිය මහරහතන් වහන්සේ.

දාරුචීරිය මහරහතන් වහන්සේ.

 

පියුමුතුරා බුදුන්වහන්සේගේ කාලයෙහි හංසවතී නගරයෙහි කුලගෙයක උපන්නේ බුදුන්වහන්සේගේ දම් දෙසුම අසන්නේ එක් භික්‍ෂුවක කුලගෙයක උපන්නේ බුදුන්වහන්සේගේ දම් දෙසුම අසන්නේ එක් භික්‍ෂුවක වහා ලැබූ අභිඥා ඇත්තවුන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තබන්නාවූ භාග්‍යවතුන්වහන්සේ දැක පින්කම් කොට ඒ තනතුර පතා දිවි ඇති තෙක් කුසල් කොට පිරිපුන් සිල් ඇත්තේ මියගොස් දෙව්ලොව උපන්නේය.

හෙතෙම එක් බුද්ධාන්තරයක් දෙව්ලොව වැස මේ බුද්ධෝත්පාදයෙහි බාහිය රටෙහි කුලගෙයක උපන්නේ වියට පැමිණ ගිහිගෙහි වසන්නේ වෙළදාම කරන්නෙමියි ස්වර්‍ණභූමියට යායුතු නැවට නැංගේය. නැව බලාපොරොත්තු දෙසට නොපැමිණම මුහුද මැදදී බිඳීගියේය. මහජනයා මාළු කැසුබු ආදීන්ට බත්විය. මෙතෙම වනාහි එක් දැව කඩක් ගෙන සත්වැනි දිනයෙහි සුප්පාරක පටුනෙහි ගොඩබැස්සේ මිනිස්වාසයක් බව දැන නිරුවත් බවින් මිනිසුන් දැකීම නුසුදුසුයයි නුදුරුතන්හිවූ මහ විලෙක සෙවල ගෙන සිරුරවෙළා එක් තැනක වැටුණු කබලක් රැගෙන අහර සිඟමනෙහි ගියේය.

මිනිස්සු ඔහු දැක සිතූහ: ‘ඉදින් ලෝකෙහි රහත්හු ඇත්නම් මෙබඳු වූවන් වියයුතුය. කිමෙක්ද ආර්‍ය්‍යතෙමේ උත්කෘෂ්ට භාවයෙන් වස්ත්‍ර නොගනීද? නැතහොත් දෙනු ලබන්න ගන්නේදැ’යි විමසන්නාහු නොයෙක් දෙසින් වස්ත්‍ර ගෙනාවාහුය. හෙතෙම සිතීය: ‘ඉදින් මම මේ ක්‍රමයෙන් නොආවෙමි නම් මොවුහු මා කෙරෙහි නොපහදින්නාහුය. යම් කිසිවක් කොට මොවුන් රවටා ජීවනොපාය කිරීමට වටනේය’යි (මෙසේ සිතා) වස්ත්‍ර නොපිළිගත්තේය. මිනිස්සු බොහෝ සෙයින් පැහැදුනාහු මහත් සත්කාර කළාහුය. හෙතෙමේත් බත්කිස කොට නුදුරු තැන්හිවූ දෙවොලකට ගියේය. මහජනයා ඔහු සමඟම ගොස් දෙවොල පිළිදැගුම් කොට දුන්නේය. මොවුහු මට සෙවල හැඳීම් මාත්‍රයෙන් පැහැද මෙබඳු සත්කාර කරත්, මොවුන්ට මම උත්කෘෂ්ට බවින්ම පැවැතීමට වටීයයි හෙතෙම සිතීය. (එසේ සිතා) සැහැල්ලු රුක් ගෙඩි ගෙන තලා වැහැරි අවුණා පට්ට්යක් කොට හැඳ ජීවිකාව කරමින් වාසය කළේය.

කාශ්‍යප බුද්ධකාලයෙහි සත්දෙනෙකු මහණදම් කරත්දී (ඔවුනතුරින්) එක් පුද්ගලයෙක් සුද්ධාවාස බ්‍රහ්මලෝකයෙහි උපන්නේද හෙතෙම ඉපදීමට අනතුරුවම තමන්ගේ බ්‍රහ්ම සම්පත්තිය බලා පැමිණි තැන සිහි කරන්නේ සත් දෙනා පව්වට නැඟ මහණදම් කරනතැන දැක සෙසු සයදෙනාගේ උපන් තැන සිහිකරන්නේ එකෙකු පිරිනිවන් පෑබවද සෙසු පස්දෙනා කාමාවචර දිවය ලෝකයෙහි උපන් බවද දැන කලින් කලට ඒ පස්දෙනා සිහි කරයි. මෙකල්හි කොහිදැයි සිහි කරන්නේ දාරුචීරක පුද්ගලයා සුප්පාරක පටුන ඇසුරුකොට වංචනික ක්‍රියාවෙන් දිවි ගෙවනු දැක, ‘මේ බාලයා නටුයේවන. පෙර මහණදම් කරන්නේ අති උත්කෘෂ්ටභාවයෙන් රහත්වහන්සේ විසිනුදු ගෙනඑනලද පිණ්ඩපාතය නොවළඳා දැන් උදරාත්‍ථර්‍ය සඳහා රහතෙක් නොවීම රහත්බව හඟවා ලොව රවටමින් හැසිරෙයි. බුදුන්වහන්සේ උපන්බවද නොදනියි. යමි. ඔහු සංවේග කරවා ද​සබලයන්වහන්සේ පහළවූබව හඟවන්නෙමි’යි ක්‍ෂණයකින්ම බඹලොවින් නික්ම සුප්පාරක පටුනෙහි රාත්‍රි භාගයට අනතුරුව දාරුචීරකගේ ඉදිරියෙහි පහළවූයේය.

හෙතෙම තමන් වසන තැන ආලෝකයක් දැක පිටතට නික්ම සිටියේ මහබඹුදැක ඇදිලි බැඳ නුඹවහන්සේ කවරහුදැයි ඇසුවේය. මම නුඹේ පැරණි යහළුවා වූයේ අනාගාමි ඵලයට පැමිණ බඹලොව උපන්නෙමි. අපගේ සියල්ලන්ට දෙටුවූ තැනැත්තා රහත් බවට පැමිණ පිරිනිවියේයි. නුඹලා පස්දෙනා දෙව්ලොව උපන්නාහුය. ඒ මම නුඹ මෙතැන්හි වංචනික ක්‍රියාවෙන් ජීවත්වනු දැක දමනය කරන්නට පැමිණියෙමි’යි කියා මේ කරුණ පැවසීය. ‘බාහිය, නුඹ රහතෙක් නොවෙහි. රහත් මගට පිළිපන්නෙහිද නොවේ. යම් පිළිවෙතකින් ඔබ රහතෙක් වන්නෙහිද රහත් මගට හෝ පිළිපන්නෙහිද ඒ පිළිවෙත ඔබට නැත.’ ඉක්බිති ඔහුට ශාස්තෘන්වහන්සේ පහළවූබවද සැවතෙහි වෙසෙනබද දන්වා ශාස්තෘන් සමීපයට යවයි ඔහු උනන්දු කරවා බඹලොවටම ගියේය.

දාරුචීරිය තෙමේද මහබඹු විසින් සංවේග දනවන ලද්දේ මොක්මග සොයන්නෙමැයි යොදුන් දෙදෙහසක් මග එක් රැයක් ගෙවීමෙන් ගොස් පිඬුවිස බුදුරජාණන්වහන්සේ ඇතළු ගෙට වැඩමවා උන්වහන්සේගේ පාමුල හෙව ‘ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේ මට ධර්‍මදේශනා කරත්වා! සුගතයන්වහන්සේ මට දහම්‍ දෙසත්වා’යි තෙවෙනිවර දක්වා ඉල්ලා සිටියේය. ශාස්තෘන්වහන්සේ මෙපමණකින් බාහියගේ නුවන මිහිකිරීමටට ගියේයයි දැන. ‘එසේ නම් බාහිය, දුටු දෙයෙහි දුටුදෙය පමණක් වන්නේ යම්සේද එසේ ඔබ හික්මිය යුතුය’යි මේ අවවාදයෙන් ඔවදන් දුන්සේක. දෙසුම කෙළවර අතුරුවීථියෙහි සිටියේම දෙසුම අනුව නුවණ යොමා සිවුපිළිසිඹියා සමඟ රහත්බවට පැමිණියේය.

හෙතෙම තමන්ගේ කිස මුදුන්පත්වූබව දැන භාග්‍යවතුන්වහන්සේ වෙතින් පැවිද්ද ඉල්වා නොපිරිපුන් පාසිවුරු ඇති බැවින් පාසිවුරු සොයන්නේ කසළගොඩකින් රෙදි කැබලි අදියි. ඉක්බිති ඔහුව පෙර සතුරුවූ අමනුෂ්‍යයෙක් කුඩා පැටවකු ඇති දෙනකගේ සිරුරෙහි පිවිස ජීවිතක්‍ෂට පත් කළේය. ශාස්තෘන්වහන්සේ සැවතින් නික්මෙන සේක් අතුරුවීථියෙහි කසළගොඩ අසල වැටුණු බාහිය දැක ‘මහණෙනි, බාහිය දාරුචීරියගේ සිරුර ගනුව’යි ගෙන්වාගෙන ශරීරකෘත්‍යය කොට සිවුමංසලක චෛත්‍යයක් කරවූසේක. ඉක්බිති සඟ මැද කථාවක් ඇතිවිය. තථාගතයන්වහන්සේ බික්සඟන ලවා බාහියගේ සිරුර දැවීමේ කටයුතු කරවූසේක. ධාතූන් ගෙන චෛත්‍යයක් කරවූසේක. ඔහු විසින් කවරනම් මාර්‍ගයක් පසක් කරන ලද්දේද? හෙතෙම සාමණේරයෙක්ද භික්‍ෂුවක්දැයි අදහසක් ඉපදෙව්වාහුය. ශාස්තෘන්වහන්සේ එය අථෙර්‍ ත්පත්ති කොට මහණෙනි, බාහිය පණ්ඩිතයෙකියි මත්තෙහි දම් දෙසුම වඩා ඔහු පිරිනිවන් පෑබව ප්‍රකාශකළසේක. යළි සඟමැද, ‘ශාස්තෘන්වහන්සේ විසින් බාහියට බොහෝ දහම් නොදෙස ලදී. රහත්බවට පත්වූවේයයිද කියනුලැබේ. මේ කුමක් නම් වේදැ’යි කථාවක් උපන්නේය. ශාස්තෘන්වහන්සේ, ‘ධර්‍මය ටිකය බොහෝය යනු කරුණක් නොවේ. මෙය විෂ බීවෙකුට බෙහෙතක් මෙනැයි පවසා ධර්‍මපදයෙහි ගාථාවක් දෙසූසේක:

“සහස‍්සමපි චෙ ගාථා, අනත්‍ථපදසංහිතා;
එකං ගාථාපදං සෙය්‍යො, යං සුත්‍වා උපසම‍්මතී”ති. (ධ· ප· 100);

‘අනත්‍ථර්‍පදයන්ගෙන් යුක්තවූ ගාථා දහසකටද වඩා යමක් අසා සංසිදේද එබඳුවූ එක්ගාථා පදයක් උතුමි.

දෙසුම අවසන්හි අසූසාර දහසක් ප්‍රාණීහු අමාපැන් බීවාහුය. බාහිය තෙරුන්ගේ මේ කථාවස්තුවද සූත්‍රයෙහි ආබැවින් විස්තර වශයෙන් නොකියනලදී. මෑතභාගයෙහි ශාස්තෘන්වහන්සේ සඟමැද වැඩහුන් සේක් බාහිය තෙරුන් වහාලැබූ අභිඥා ඇත්තවුන් අතුරෙන් අගතන්හි තැබූසේක.

 

පිළින්දිවච්ඡ මහරහතන් වහන්සේ.

පිළින්‍දිවච්ඡ මහරහතන් වහන්සේ.

 

පියුමුතුරා බුදුන්වහන්සේගේ කාලයෙහි හංසවතී නගරයෙහි මහ ධනවත් කුලයක උපන්නේ පෙර කියනලද අයුරින්ම ශාස්තෘන්වහන්සේගේ ධර්‍ම දේශනය අසන්නේ එක් භික්‍ෂුවක දෙවියන්ට ප්‍රියමනාපස්ථානයෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක ඒ තනතුර පතා දිවි ඇති තෙක් කුසල් කොට දෙව්මිනිසුන් අතරෙහි සැරිසරන්නේ මේ බුද්ධෝත්පාදයෙහි සැවතෙහි බමුණු ගෙයක උපන්නේය. මොහුට පිළින්‍දිවච්ඡයයි නම් කළාහුය. හෙතෙම මෑතභාගයෙහි බුදුන්වහන්සේගේ ධර්‍මදේශනය අසා ලද ශ්‍රද්ධා ඇත්තේ පැවිදිව උපසපන්වූයේ විදසුන් වඩා රහ්බවට පැමිණියේය. හෙතෙම ගිහියන් සමගද භික්‍ෂූන් සමඟද කථා කරන්නේ එව වසලය, යව වසලය, දෙව වසලය, ගනුව වසලයයි වසලවාදයෙන්ම ප්‍රකාශකරයි. ඒ කථාව ගෙනහැර තථාගතයන් වහන්සේගෙන් ‘භාග්‍යවතුන්වහන්ස, ආර්‍ය්‍යයෝ නම් පරුෂවචන ඇත්තෝ නොවෙති’යි විමසූහ. ‘මහණෙනි, ආර්‍ය්‍යවරුන්ගේ අනුන් පහත්කිරීම් වශයෙන් පරුසවචනයක් නම් නැත. එසේවුවත් භවාන්තරයෙහි පුරුදු කිරීම් වශයෙන් වන්නේය.’ ‘ස්වාමීනි, පිළින්‍දිවච්ඡතෙරහු නැඟිට නැඟිට ගිහියන් සමඟද භික්‍ෂූන් සමඟද කථාකරන්නාහු වසලය වසලයයි කියති. ස්වාමීනි, මෙහි කරුණ කිමේක්ද? මහණෙනි. මගේ පුතුගේ මෙය දැන් පමණක්ම පුරුදු කරනලද්දක් නොවේ. අතීතයෙහි මෙතෙම ජාති පන්සියයක් වසලවාදී බ්‍රාහ්මණ කුලයෙහි උපන්නේය. මෙසේ මෙතෙම භවපුරුද්දෙන්ම කියයි. ඵරුෂවශයෙන් නොවේ. ආර්‍ය්‍යයන්ගේ ව්‍යවහාරය ඵරුෂ සමානවුවද චෙතනාව කරණකොටගෙන අපරුෂ භාවයෙන් පිරිසුදු වූයේම වෙයි. මෙහි සුළුවුද පාපයක් හටනොගනීය’යි පවසා ධර්‍මපදයෙහි මේ ගාථාව දෙසූසේක.

“අකක‍්කසං විඤ‍්ඤාපනිං, ගිරං සච‍්චමුදීරයෙ;
යාය නාභිසජෙ කඤ‍්චි, තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණ”න‍්ති.

‘(යමෙක්) යම් වචනයකින් කිසිවකු කෝප නොකරන්නේද රළු නොවන අදහස් හඟවන සත්‍ය වචන ප්‍රකාශ කරන්නේද හෙතෙම බ්‍රාහ්මණයෙකැයි මම පවසමි.’

ඉක්බිති එක්දිනක් තෙරුන්වහන්සේ රජගහනුවරෙහි පිඬු පිණිස හැසිරෙන්නාහු තිප්පිලි භාජනයක පුරවා රැගෙන ඇතුළු නුවරට පිවිසෙන එක් පුරුෂයකු දැක ‘වසලය, නුඹේ භාජනයෙහි කිමෙක්දැයි ඇසූහ. හෙතෙම සිතීය: මේ ශ්‍රමණයා මා සමඟ උදෑසනම ඵරුෂ වචන කියයි. මොහුට සුදුසු දෙයක්ම කීමට වටී.’ එසේ සිතා, ‘ස්වාමීනි මගේ භාජනයෙහි මීබෙටිය’යි කීවේය. ‘වසලය, එසේ වන්නේය.’ ඒ තෙරුන් නොපෙනී යනවිට සියල්ල මීබෙටිම වූයේය. හෙතෙම සිතීය: මේ තිප්පිලි මීබෙටි සමානව පෙනේ. මේ ස්වභාවයද නැද්දැයි විමසනුයේ අතින් තද කළේය. ඉක්බිති ඔහුට මීබෙටි බව දැන බලවත් දොම්නසක් උපන්නේය. හෙතෙම මේවා පමණක් මෙබඳුවීද නැත්හොත් ගැලෙහිද එසේවීදැයි ගොස් බලන්නේ සියලුම තිප්පිලි එබඳුම වී ඇතිබව දැන අතින් පපුව දරාගෙන, ‘මෙය අනිකෙකුගේ වැඩක් නොවේ. මා උදෙන්ම දුටු භික්‍ෂුවගේ වැඩකි. ඒකානත්යෙන්ම (හෙතෙම) මායාවක් දන්නේය. ඔහුගිය තැන සොයා දැන ගෙන මෙකරුණ දනිමි’යිි තෙරුන් ගියමග අසා (ඒ අනුව) ගියේය.

ඉක්බිති එක් පුරුෂයෙක් ඉතා ඉක්මන් ගමන් ඇතිව යන ඔහු දැක ‘පින්වත් පුරුෂය, එබ ඉතා ඉක්මන් ගමන් ඇතිව යයි. කවර වැඩකට යන්නෙහිදැයි ඇසීය. හෙතෙම ඔහුට එපුවත සැළ කළේය. හෙතෙම ඔහුගේ කථාව අසා මෙසේ කීය: ‘පින්වත, නොසිතව, මගේ ආර්‍ය්‍යවූ පිළින්‍දිවච්ඡ තෙරණුවෝ වන්නාහ. නුඹ මේ භාජනයම පුරවා රැගෙන වුත් තෙරුන් ඉදිරියෙහි, සිටුව. මේ කිමෙක්ද වසලයයි කී කල්හි, ‘ස්වාමීනි, තිප්පිලිය’යි කියව. තෙරණුවෝ වසලය එසේ වන්නේයයි කියති. යළි සියල්ල තිප්පිලි වන්නේය.’ හෙතෙම එසේ කළේය. සියලු තිප්පිලි යළි මුලින් තිබූ ලෙසින්ම විය. මේ කථාවස්තුව මෙපමණෙකි. අපරභාගයෙහි ශාස්තෘන්වහන්සේ දෙවියන්ට ප්‍රියමනාපබවම වස්තුකොට තෙරුන් දෙවියන්ට ප්‍රි​යමනාපවූවන් අතුරෙන් අග තනතුරහි තැබූසේක.

 

දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ.

දබ්බමල්ල පුත්තමහරහතන් වහන්සේ.

 

පියුමුතුරා බුදුන් කාලයෙහි හංසවතී නගරයෙහි කුලගෙයක ඉපිද වියපත්වූයේ කීඅයුරින්ම විහාරයට ගොස් දහම් අසන්නේ එක් භික්‍ෂුවක සෙනසුන් පනවන්නාවූ භික්‍ෂූන් අතුරින් අග්‍රස්ථානයෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්කම්කොට ඒ තනතුර පතා ශාස්තෘන් විසින් විවරණ දෙනලද්දේ දිවි ඇතිතෙක් කුසල්කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරා කාශ්‍යප බුදුන්වහන්සේගේ සසුනෙහි පිරිහෙනකල්හි පැවිදිවූයේය. එකල්හි ඔහු සමඟ වෙනත් සයදෙනෙකිසි සත්දෙනා එක්සිත් ඇත්තෝව සසුනට අගෞරව කරන අනයයන් දැක ‘මෙහි කුමක් කරමුද? එක් පෙදෙසක මහණදම්කොට දුක් කෙළවර කරන්නෙමු’යි හිණිමගක් බැඳ උස් පව්මුදුනකට නැඟ තමන්ගේ සිතේබලය දන්නාහු හිණිමග හෙලත්වා ජීවිතයෙහි ආශා ඇත්තෝ බසිත්වා පසුව තැවෙන්නෝ නොවෙත්වායි කියා සියල්ලෝ එක්සිත්වී හිණිමඟ හෙලා ‘ඇවැත්නි, අප්‍රමාදවවු’ යයි ඔවුනොවුන්ට ඔවාදී සිත්ඇලවූ තැන්හි හිඳ මහණදම් කිරීමට අරඹූහ.

ඉක්බිති එක් තෙර කෙනෙක් පස්වෙනි දිනයෙහි රහත්බවට පැමිණ මගේ කිස නිමියේයි. මම මෙතැන්හි කුමක් කරම්දැ’යි සෘද්ධියෙන් උතුරුකුරු දිවයිනෙන් පිණ්ඩපාතය ගෙනවුත් ‘ඇවැත්නි, මේ පිණ්ඩපාතය පරිභොග කරන්න. පිඬුසඳහා යාම මගේ වැඩක් වේවා! නුඹලා තමන්ගේ වැඩකරවු’යි කීවේය. ‘කිමෙක්ද ඇවැත්නි, අපි හිණිමග හෙලන්නාහු, ‘යමෙක් පළමුව දහම් පසක් කරන්නේද හෙතෙම භික්‍ෂාව ගෙනේවා! ඔහු ගෙනෙනලද්ද සෙස්සෝ පරිභොගකොට මහණදම් කරන්නාහු’යි මෙසේ කීවෙමුදැයි (අනෙක් අය ඇසූහ.)’ නැත, ඇවැත්නි,’ ‘නුඹවහන්සේ තමන්ගේ පූර්‍වහේතුවෙන් ලැබූහ. අපිද හැකිවන්නමෝ සසර කෙළවර කරන්නෙමු. නුමවහන්සේ යනු මැනව.’ තෙරණුවෝ ඔවුනට හඟවන්නට නොහැකි වන්නෝ පහසු තැනක පිණ්ඩපාතය වළඳා වැඩියහ. වෙනත් තෙරකෙනෙක් සත්වෙනි දිනයෙහි අනගැමි පෙලට පත්ව එයින් චුතවූයේ සුද්දාවාස බ්‍රහ්මලෝකයෙහි උපන්නේය.

සෙසු තෙරවරු එයින් චුත වූවාහු එක් බුද්ධාන්තරයක් දෙවිමිනිසුන් අතරෙහි සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි ඒ ඒ කුලයන්හි උපන්නාහුය. එක්කෙනෙක් ගන්‍ධාර රට තක්සිලා නුවර රජගෙයක උපන්නේය. එක්කෙනෙක් පබ්බතිය රටෙහි පිරිවැජියකගේ කුසෙහි උපන්නේය. එක්කෙනෙක් බාහිය රටෙහි කෙළෙඹි ගෙයක උපන්නේය. එක් කෙනෙක් රජගහනුවර කෙළෙඹි ගෙයක උපන්නේය. මේ දබ්බතෙරණුවෝ මල්ල රට අනුපිය නුවර එක් මල්ල රජෙකුගේ ගෙහි පිළිසිඳ ගත්හ. ඔහුගේ මව ප්‍රසුතියට ළංවූ කල්හි කළුරිය කළාය. මළසිරුර සොහොනට ගෙනවුත් දරසෑයට නංවා ගිනි දැල්වූහ. අග්නිවේගයෙන් තැවුණු ඇයගේ උදරය දෙකඩ වූයේය. දරුවා තමන්ගේ පින්බලයෙන් උඩට විසි වී එක් දැව කණුවක වැටුනේය. ඒ දරුවා ගෙන මිත්තනියට දුන්හ. ඈ ඔහුට නම් දෙන්නී දැන කණුවෙහි වැටී ලදදිවි ඇති බැවින් දබ්බයයි ඔහුට නම් කළාය.

ඔහුට සත් අවුරුදු කල්හි ශාස්තෘන්වහන්සේ බික්සඟන පිරිවරා මල්ලරටෙහි චාරිකාවෙහි හැසිරෙනසේක් අනුපිය නියම්ගමට පැමිණ අනුපිය අඹවනයෙහි වාසය කරනසේක. දබ්බකුමාරයා ශාස්තෘන්වහන්සේ දැක දැකීමෙන්ම පැහැද පැවිදිවනු කැමැත්තෙවී බුදුරදුන් සමීපයෙහි පැවිදි වන්නෙමැයි මිත්තනියගෙන් ඇසීය. ඕ මැනවි දරුවයි දබ්බකුමරු රැගෙන බුදුරදුන් සමීපයට ගොස් ‘ස්වාමීනි, මේ කුමරුන්, පැවිදිකරවනු මැනවැ’යි කීවාය. බුදුරජාණන්වහන්සේ එක්තරා භික්‍ෂුවකට ‘භක්‍ෂුව, මේ දරුවා පැවිදි කරවන්නැ’යි සංඥාවක් දුන්සේක. ඒ තෙරණුවෝ ශාස්තාවචනය අසා දබ්බ කුමරුවා පැවිදි කරන්නේ තචපංචක කමටහන පැවසූහ. පෙර හේතු සම්පත් ඇති, කළ පැතුම් ඇති සත්ව තෙමේ පළමු කෙස්වැටිය බහන කෙණෙහි සෝවාන් පෙලෙහි පිහිටියේය. දෙවැනි කෙස්වැටිය බහන විට සකෘදාගාමි ඵලයෙහිද තෙවැන්න බහනවිට අනාගාමි ඵලයෙහිද සියලු කෙස් බැහීමද රහත්ඵලය පසක් කිරීමද නොපසුව නොපෙරටුව සිදුවිය.

ශාස්තෘන්වහන්සේ මල්ල රටෙහි කැමැති පරිද්දෙන් වැස රජගහ නුවරට සැපත්ව වෙළුවනයෙහි විසුසේක. එහි ආයුෂ්මත් දබ්බමල්ල පුත්ත තෙරණුවෝ රහසිගත වූවාහු තමන්ගේ කටයුතු නිමාවීම බලමින් සංඝයාට වතාවත් කිරීමෙහි කය යොදනු කැමැත්තෝ, ඉදින් ‘මම සංඝයාට සෙනසුන් පනවන්නෙම්ද බත් උදෙසන්නෙම්ද නම් යෙහෙකැයි සිතූහ. හෙතෙම ශාස්තෘන් සමීපයට ගොස් තමන්ගේ අදහස දැන්වූයේය. ශාස්තෘන්වහන්සේ ඔහුට සාධුකාරදී ඔහුගේ සෙනාසන පඤ්ඤාපක බවද භත්තුද්දෙසක බවද පිළිගත් සේක. ඉක්බිති ඔහුට ‘මේ දබ්බතෙමේ දහරයෙක් (කුඩා කෙනෙක්) වූයේ මහත් තැනක සිටියේය’යි සත් අවුරුදු කල්හිම උපසපන් කරවූයේය. තෙරණුවෝ උපසපන් කාලයෙහි සිට රජගහනුවර ඇසුරුකොට වසන්නාවූ සියලු භික්‍ෂූන්ට සෙනසුන්ද පනවති. භික්‍ෂාවද පිළිගෙන උදෙසති. ඔහුගේ සේනාසන පඤ්ඤාපක භාවය සියලු දිශාවන්හි ප්‍රකට විය. ‘දබ්බමල්ල පුත්ත තෙරණුවෝ වනාහි සභාගී සභාගී භික්‍ෂූන්ට එක් එක් තැන්හි සෙනසුන් පනවති. දුරෙහිද සෙනසුන් පනවන්නේමය. යාමට නොහැකි වන්නවුන් සෘද්ධියෙන් පමුණුවන්නෝය’ යනුවෙනි.

ඉක්බිති භිකෂූහු ඔහුට, කල්හිද නොකල්හිද ඇවැත්නි අපට ජීවකම්බ වනයෙහි සෙනසුන පනවන්න. අපට මද්දකුච්ඡියෙහි, මිගදායෙහි’යි මෙසේ සෙසුන උදෙසවානෙ ඔහුගේ සෘද්ධිය දක්නාහු යති. හෙතෙමේද සෘද්ධියෙන් මනෝමය කායයන් මවා එකිනෙක් තෙරුන්ට තමන් සමානවූ එකිනෙක් භික්‍ෂුවදී ඇගිල්ල දිලෙත්දී ඉදිරියෙන් ඉදිරියෙන් ගොස් මේ ඇඳය, මේ පුටුවය ආදිය කියා සෙනසුන පනවා යළි තමන් වසන තැනටම එයි. මේ මෙහි සංක්‍ෂෙපයයි. විස්තර වශයෙන් මේ කථාව පෙළෙහි ආයේමය. මෙකරුණම අර්‍ත්‍ථොත්පත්ති කොට මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේ ආර්‍ය්‍ය සමූහයා මැද වැඩසිටිසේක් තෙරුන් සෙනසුන් පනවන්නාවූ භික්‍ෂූන් අතුරෙන් අගතන්හි තැබූසේක.

උපසේන මහරහතන් වහන්සේ.

උපසේන මහරහතන් වහන්සේ.

 

පියුමුතුරා බුදුන්කල්හි හංසවතී නුවර කුලගෙයක උපන්නේ විය පත්ව පෙර පරිද්දෙන්ම ශාස්තෘන් සමීපයට ගොස් ධර්‍මය අසන්නේ එක් භික්‍ෂුවක සියල්ලන් පහදවන්නවුන් අතුරින් අග්‍රස්ථානයෙහි තබන ශාස්තෘන් දැක ශාස්තෘන් කෙරෙහි පින්කම් කොට ඒ තනතුර පතා දිවි ඇති තෙක් කුසල් කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ මේ බුද්ධෝත්පාදයෙහි නාලක බමුණු ගමෙහි සාරිබැමිණියගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ඔහුට උපසෙන දරුවායි නම් කළහ.

හෙතෙම වියපත්ව ත්‍රිවේදයන් උගෙන බුදුන්වහන්සේ සමීපයෙහි දහම් අසා ලැබූ ශ්‍රද්ධා ඇත්තේ පැවිදි වූයේය. හෙතෙම උපසම්පදාවෙන් එක්වස් ඇත්තේ වී ආර්‍ය්‍යගර්‍භය (ආර්‍ය්‍ය පිරිස) වඩමියි එක් කුලපුතකු තමා සමීපයෙහි පැවිදිකොට උපසපන් කළේය. හෙතෙම පවරා සද්ධිවිහාරිකයාට එක් වස් කල්හි තමා දෙවස්වූයේ බුදුන්වහන්සේ මාදැක සතුටු වන සේකැ’යි සද්ධිවිහාරිකයා රැගෙන බුදුන්වහන්සේ දැකීමට පැමිණියේය. ශාස්තෘන්වහන්සේ වැද එකත්පසෙක හුන්නාවූ ඔහුගෙන් මහණ, ඔබ කෙතෙක් වස් ඇත්තෙහිදැයි ඇසූසේක. ‘භාග්‍යවතුන් වහන්ස, මම දෙවස් ඇත්තෙමි.’ ‘මේභික්‍ෂුව කෙතෙක් වස් ඇත්තේද?’ ‘භාග්‍යවතුන් වහන්ස, එක්වස් ඇත්තෙකි.’ ‘මේ භික්‍ෂුව ඔබේ කවරෙක් වේද’? ‘භාගයවතුන් වහන්ස, මගේ සද්ධිවිහාරිකයාය.’ ඉක්බිති ශාස්තෘන් වහන්සේ ඔහුට, ‘මොඝපුරිසය, ඔබ ඉතා ලාමකය. අධිකබවට පැමිණියෙහි’යයි කියා නොයෙක් අයුරින් නින්දා කළසේක. තෙරණුවෝ ශාස්තෘන් සමීපයෙන් නින්දා ලැබ භාගවතුන් වැඳ ‘මේ පුන්සඳක සොභා ඇති මුවින්ම ශාස්තෘන්වහන්සේ ලවා පිරිස නිසාම සාධුකාර දෙවන්නෙමැ’යි එදිනම එක් තැනකට ගොස් විදර්‍ශනාවට කටයුතු කොට නොබෝදිනකින්ම රහත් බවට පැමිණියහ.

ඉක්බිති, තෙරුන්වහන්සේ යම්හෙයකින් මහාකුලයකින් නික්ම පැවිදිවූයේ පොළොව හඬ නැංවූ ධර්‍ම කථිකයෙක් වූයේද එහෙයින් ඔහුගේ ධර්‍මකථාවෙන්ද පැහැද මිත්‍රාමාත්‍යඥතිකුලයන්ගෙන්ද නික්ම බොහෝ කුලදරුවෝ තෙරුන් සමීපයෙහි පැවිදිවෙත්. ‘මම ආරණ්‍යකයෙක්මි. නුඹලාද ආරණ්‍යකයන් වීමට හැකි වන්නාහු පැවිදි වවුයයි තෙරණුවෝ කීහ. ඔවුන් තෙළෙස් ධුතංගයන් විමසා ‘ස්වාමීනි, හැක්කෙමුයි’ කියන කල්හි පැවිදි කරවති. ඔවුහු තමන්ගේ බලයෙන් ඒ ඒ ධුතාංගය අධිෂ්ඨාන කරත්, තෙරණුවෝ තමන්ට දසවස් කල්හි විනය ප්‍රගුන කොට සියල්ලන්ම උපසපන් කරවූහ. මෙසේ ඔහුට උපසපන්වූම පන්සියයක් පමණවු භික්‍ෂු පිරිසක් විය.

එසමයෙහි ශාස්තාන්වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වසනසේක් ‘මහණෙනි, මම අඩමසක් විවේකීව සිටීමට කැමැත්තෙමි’යි බික්සඟනට සැළකොට හුදෙකලා වූසේක. භික්‍ෂු සංඝයාද යමෙක් භාග්‍යවතුන් දැක්මට එළඹෙයිද හෙතෙම පචිති ඇවැත් දෙසිය යුත්තෙයයි කතිකාවක් කළේය. එකල්හි උපසේන තෙරණුවෝ ‘භාග්‍යවතුන් දකින්නෙමි’යයි තමන්ගේ පිරිස සමඟ දෙව්රමට ගොස් ශාස්තෘන් වෙත එළඹ වැඳ එකත්පසෙක සිටියහ. ශාස්තෘන්වහන්සේ කථාව නංවනු සඳහා තෙරුන්ගේ එක් සද්ධිවිහාරිකයෙකු ඇමතූසේක. ‘භික්‍ෂුව ඔබට පංසුකූල සිවුරු මනාපද?’ ‘ස්වාමීනි, පංසුකූලසිවුරුවලට මා කැමති නැතැ’යි කියා උපාධ්‍යායයන් කෙරෙහි ගෞරවයෙන් පාංශුකූලිකබව සැළකළේය. මෙතැන්හි ශාස්තෘන්වහන්සේ ‘සාධු සාධු උපසේනය’යි පවසා තෙරුන්ට සාධුකාරදී නොයෙක් අයුරින් ගුණකථාව කළසේක. මේ මෙහි සංක්‍ෂපයයි. විස්තර වශයෙන් මෙය පෙළෙහි ආයේමය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ ආර්‍ය්‍යගණ මධ්‍යයෙහි හුන්සේක් තෙරුන් මේ සසුනෙහි සියල්ලන් පහදවන්නවුන් අතුරින් අගතැන්හි තැබූසේක.

රාහුල මහරහතන් වහන්සේ සහ රට්ඨපාල මහරහතන් වහන්සේ.

රාහුල මහරහතන් වහන්සේ – රට්ඨපාල මහරහතන් වහන්සේ.

 

අතීතයෙහි පියුමුතුරා බුදුරජාණන්වහන්සේගේ කාලයෙහි ගෘහපති මහාසාර කුලයෙහි උපන්හ. ඔවුන්ගේ කුඩාකාලයෙහි නම හෝ ගෝත්‍රය නොකියනුලැබේ. වියපත්වූවාහු ගිහිගෙහි පිහිටා තම තමන්ගේ පියවරුන්ගේ ඇවෑමෙන් දෙදෙනාම තමතමන්ගේ රුවන් ගබඩාකරුවන් කැඳවා අපමණ ධනය දැක මෙපමණක්වූ මෙම ධනසමූහය මුතුන්මිත්තාදීහු තමන් සමඟ රැගෙන යාමට නොහැකි වූවාහුය. අප දැන් යම්කිසි උපායකින් මේ ධනය ගෙනයාමට වටනේයයි සිතා දෙදෙනාම සිවු වරෙක දුගීමගී යාචකාදීන්ට මහදන්දීමට පටන් ගත්හ. එක් කෙනෙක් තමන්ගේ දානාග්‍රයෙහි ආ ආ ජනයන් විමසා කැඳ කැවිලි ආදිය අතුරෙන් යමක් යමෙකුට කැමතියයි සිතේද ඔහුට එය දුන්නේය. ඔහුට ඒ කරුණින්ම ‘ආගතයාචකො’යනුවෙන් නමක්ද විය. අනෙකා නොවිමසාම ගත්ගත් බඳුන් පුරව පුරවා දෙයි. ඔහුටද එකරුණින්ම අනග්ගපාකයයි නමක්විය. අප්‍රමාණවූ පාක ඇත්තේ යන අත්‍ථර්‍ය

ඒ දෙදෙනාම එක්දිනක් උදෑසනම මුවදෙවීම සඳහා පිටගමට ගියහ. එසමයෙහි හිමවතින් මහත් සෘද්ධි ඇති තාපසවරු දෙදෙනෙක් පිඬුහැසිරීම සඳහා අහසින් අවුත් ඒ යහළුවන්ගේ නුදුරෙහි බැස මොවුහු අප නොකිත්වායි එකත් පසෙක සිටියාහුය. ඒ දෙදෙනාද ඔවුන්ගේ ලබුබඳුන් ආදී පිරිකර සංවිධානය කොට ඇතුළුගම සඳහා යවනලද්දාවුන්ගේ සමීපයට අවුත් වැන්දාහුය. ඉක්බිති ඒ තාපසයෝ ‘මහපිණැත්තනි, කවර වේලාවක ආවාහුදැයි ඇසූහ. ඔවුහු ස්වාමීනි, දැන්ම’යය කියා ඔවුන්ගේ අතින් ලබුබඳුන් ගෙන තම තමන්ගේ ගෙවලට පමුණුවා බත්කිස අවසන්හි නිබඳව භික්‍ෂාව ගැනීම සඳහා පිළිණ ගත්තාහුය.

ඔවුනතුරින් එක් තවුසෙක් දැවිලිසහිත ශරීර ස්වභාවය ඇත්තේ විය. හෙතෙම තමාගේ ආනුභාවයෙන් මහමුහුදේ දිය දෙකඩ කොට පඨවින්ධරනාගරාජයාගේ භවනයට ගොස් දිවා විහරණයෙහි හිඳියි. හෙතෙම සෘතු සප්පාය ගෙන පෙරළා අවුත් තමන්ගේ උපස්ථායකයාගේ නිවසෙහි භූත්තානුමෝදනාව කරන්නේ පඨවින්‍ධර නාගරාජ භවනය මෙන් වේවා! පඨවින්‍ධරනාගභවනය මෙන් වේවායි කියයි. ඉක්බිති එක්දිනක උපස්ථායක තෙමේ ඔහුගෙන් ‘ස්වාමීනි, නුඹවහන්සේ අනුමෝදනය කරමින් පඨවින්‍ධර නාගභවනය මෙන් වේවායි කියහු. අපි එහි අදහස නොදනිමු. ස්වාමීනි. මෙය කුමක් කියනලද්දේ වේදැයි ඇසුවේය ‘එසේය, කෙළඹිය, මම ඔබගේ සැපත පඨවින්‍ධර නාගරාජයාගේ සැපත මෙන් වේවායි කියමි’යි තවුසා පැවසීය. එතැන්පටන් කෙළෙඹිතෙමේ පඨවින්‍ධරනාගභවනයට සිත ඇලවීය.

අනෙක් තවුසා තවුතිසාභවනයට ගොස් හිසුවූ මහරිවන විමානයක දිවාවිහරණය කරයි. හෙතෙම යමින් එමින් සක්දෙව්රජුගේ සැපත් දැක තමන්ගේ උපස්ථායකයාට අනුමෝදනා කරන්නේ සක්විමනමෙන් වේවායි කියයි. ඉක්බිත් ඒ කෙළෙඹියාද, අනෙක් යහළුවා ඒ තාපසයාගෙන් ඇසුවාක් මෙන් ඔහුගෙන් විමසීය. හෙතෙම ඔහුගේ කීම අසා ශක්‍රභවනයෙහි සිත ඇලවීය. ඒ දෙදෙනාම පැතූ තැන්හිම උපන්නාහුය.

පඨවින්‍ධර නාගභවනයෙහි උපන්නේ පඨවින්‍ධර නාගරාජයා නම්විය. හෙතෙම උපන් කෙණෙහි තමන්ගේ ආත්මභාවය දැක කුලුපග තවුසා සිත් නොඅලවන තැනක් මට වර්‍ණනා කළේය. මෙය ඒකානත්යෙන්ම උරයෙන් බඩගා හැසිරෙන තැනකි. හෙතෙම අන්තැනක් නොදන්නේදැයි විපිළිසර වූයේය. ඉක්බිති ඔහුට එකෙණෙහිම මනාව පිළියෙළ කරනලද නාට්‍යාත්මක තූර්‍ය්‍යභාණ්ඩයෝ සියලු දිශාවන්හි හඬ නැංවූහ. හෙතෙම එකෙණෙහිම ඒ අත්බැව අතහැර මානවක රුවක් ඇත්තේවිය. සතරවරම් මහරජවරු අඩමසකට වරක් සක්දෙවියන්ට උපස්ථානයට යති. එබැවින් හෙතෙමේද විරූපක්‍ඛ නාරජු සමඟ සක්දෙවියන්ගේ උවටැනට ගියේය. සක්දෙව් තෙමේ දුරදීම එන්නාවූ ඔහු දැක හැඳින ගත්තේය. ඉක්බිති ළඟ ට අවුත් සිටිකල්හි ඔහුගෙන් ‘යහළුව, කොහි උපන්නෙහිදැයි ඇසීය. ‘මහරජ, නොකියනු මැනවි, උරයෙන් බඩගා යන තැනක උපන්නෙමි. නුඹවහන්සේ නම් කල්‍යාණමිත්‍රයකු ලැබුයේ වන.’ ‘යහළුව, නුඹ නුසුදුසු තැනක උපන්නෙමියි සැක නොකරන්න. පියුමතුරා බුදුරජාණන් වහන‍්සේ ලොව පහළවූ සේක. උන්වහන්සේට පින්කම් කොට මෙතැනම ප්‍රාත්‍ථර්‍නා කරව. අපි දෙදෙනාම සුවසේ වසන්නෙමු’යි කීවේය. හෙතෙම ‘ස්වාමීනි, එසේ කරන්නෙමැ’යි ගොස් පදුමුත්තර තථාගතයන්වහන්සේට නිමන්ත්‍රණය කොට තම නාගභවනයෙහි නාපිරිස සමඟ සියලු රෑ සත්කාර සම්මාන පිළියෙළ කළේය.

ශාස්තෘන් වහන්සේ දෙවන දිනයෙහි අරුණු, නැඟී කල්හි තමන්ගේ උපස්ථායකවූ සුමනතෙරුන්ට, ‘සුමන, අද තථාගයන් වහන්සේ දුර භික්‍ෂාචාරයකට යන්නාහ. පෘථග්ජන භික්‍ෂුහු නොඑත්වා! ත්‍රිපිටකධර පිළිසිඹියාපත් ඡළභිඤ්ඤාලාභී භික්‍ෂූහුම එත්වා!යි පැවසූසේක. තෙරණුවෝ ශාස්තෘන්වහන්සේගේ වචනය අසා සියල්ලන්ට සැළකළහ. ශාස්තෘන්වහන්සේ සමඟ ලක්‍ෂයක් භික්‍ෂූහු අහසට පිවිසියාහුය පඨවින්‍ධර තෙමේ නා පිරිස සමඟින් දශබලයන්වහන්සේට පෙර ගමන් පැමිණියේ ශාස්තෘන්වහන්සේ පිරිවරා මුහුදමතින් මිණිවන් රැළ මඬිමින් වඩින භික්‍ෂුසංඝයා බලා මුලින් ශාස්තෘන්වහන්සේද කෙළවරෙහි සංඝනවකවූ තථාගතපුත්‍ර උපරෙවතනම් සාමණේරයන්වහන්සේද බලමින් ‘සෙසු සව්වන්ගේ මෙබඳුවූ සෘද්ධ්‍යනුභාවයක් ආශ්චර්‍ය්‍යමත් නොවේ. මේ තරුණ ලලිත බවින්යුත් දරුවාගේ මෙබඳුවූ සෘද්ධ්‍යනුභාවයක් අතිශයින්ම ආශ්චර්‍ය්‍යය’යි ඉමහත් ප්‍රීතියක් ඉපිදවීය.

ඉක්බිති, ඔහුගේ භවනයෙහි තථාගතයන්වහන්සේ වැඩහුන් කල්හි සෙසුභික්‍ෂූන් කෙළවරෙහි සිට වැඩහිඳිත්දී හාස්තෘන්වහන්සේ ඉදිරියෙහිම උපරෙවත සාමණේරයන්ට අසුනක් පැනවීය. නාරජු කැඳ දෙමින්ද කැවිලි දෙමින්ද වරක් බුදුරදුන් දෙස බලයි. වරක් උපරේවත සාමණේරයන් දෙස බලයි ඔහුගේ සිරුරෙහි තථාගතයන්ගේ සිරුරෙහි මෙන් දෙතිස් මහා පුරුෂලක්‍ෂණ පැනෙයි. ඉක්බිති නාරජ තෙමේ, ‘මේ සාමණේර නම බුදුවරුන්ට සමානව පෙනෙයි. මේ කිමෙක් වේදැයි නුදුරෙහි හුන් එක්තරා භික්‍ෂුවකගෙන් ‘ස්වාමීනි. මේ සාමණේර තෙමේ දශබලයන්වහන්සේට කවරෙක් වේදැයි ඇසීය ‘මහරජ, පුතුය.’ හෙතෙම, ‘පුදුමයෙකි, මේ භික්‍ෂුව මෙසේ රූපයෙන් හා යසසින් අගතැන්පත් තථාගතයන්වහන්සේගේ පුත්‍රභාවය ලැබීය. මොහුගේ ශරීරයද ඒකදේශයකින් බුදුන්ගේ ශරීරයට සමානව පෙනෙයි. මාද අනාගතයෙහි මෙබන්දකු වීම වටනේයයි සිතුවේය. හෙතෙම සත්දිනක් මහදන්දී ‘ස්වාමීනි, මම මේ පුණ්‍යකර්‍මයාගේ ආනුභාවයෙන් මේ උපරේවත මෙන් අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ පුතෙක් වන්නෙම්වායි ප්‍රාත්‍ථර්‍නා කළේය. ශාස්තෘන්වහන්සේ අනතුරක් නොදැක අනාගතයෙහි ගෞතම බුදුන්ගේ පුත්‍රයා වන්නෙහියයි විවරණදී වැඩිසේක.

පටවින්‍ධර තෙමේ යළි අඩමස පැමිණිවිට විරූපාක්‍ෂ සමඟ සක් දෙවියන්ගේ උටවැනට ගියේය. ඉක්බිති සමීපයෙහි සිටි ඔහුගෙන් සක්දෙව් තෙමේ, ‘යහළුව, මේ දෙව් ලොව පතන ලද්දේදැ’යි ඇසීය. ‘ස්වාමීනි, නොපතන ලදී.’ ‘කවර දොසක් දැක්වේහිද?’ ‘මහරජ, දොසක් නැත. මම දශබලපුතුවූ උපරෙවත සාමණේරයන් දුටුවෙමි. ඔහුදුටු කල්හි සිට මගේ සිත අන්තැනක නොනැමුනේය. ඒ මම අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ මෙබඳුවූ පුතෙක් වන්නෙම්වා’යි ප්‍රාත්‍ථර්‍නා කෙළෙමි. ඔබද මහරජ, එක් පැතුමක් කරව. (එනම්): ‘ඒ අපි උපදින තැන නොවෙන් වන්නෙමු’යි කියාය. සක්දෙව් තෙමේ ඔහුගේ වචනය පිළිගෙන එක් මහානුභාව ඇති භික්‍ෂුවක දැක ‘මේ කුලපුත් තෙමේ කවර කුලයකින් නික්ම පැවිදි වූයේයදැ’යි සිහි කරන්නේ මෙතෙම බිඳුණු රටක් එක් කිරීමට හැකි කුලයක පුත්‍රයෙක්වී තුදුස් බත්සිඳීමක් කොට පැවිද්දට මව්පියන් අනුදන්වා ගෙන පැවිදි වූයේයයි දැන ගත්තේය. දැනද නොදන්නකුමෙන් තථාගයන්වහන්සේගෙන් අසි සත්දිනක් මහාසත්කාර කොට ‘ස්වාමීනි, මම මේ පුණ්‍යකර්‍මයාගේ විපාකයෙන් නුඹවහන්සේගේ සසුනෙහි මේ කුලපුත්‍රයා මෙන් අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ සසුනෙහි ශ්‍රද්ධාවෙන් පැවිදිවූවන් අතුරෙන් අග්‍ර වන්නෙම්යයි ප්‍රාත්‍ථර්‍නා කළේය. ශාස්තෘන්වහන්සේ අනතුරක් නොදැක ‘මහරජ, නුඹ අනාගතයෙහි ගෞතම නම් බුදුන්ගේ සසුනෙහි ශ්‍රද්ධාවෙන් පැවිදිවූවන් අතරින් අග්‍ර වන්නෙහිය’යි විවරණදී වැඩිසේක. සක්දෙව්තෙමේද තමන්ගේ දෙවිපුරයටම ගියේය.

ඒ දෙදෙනාම උපන්තැනින් සැට දෙවිමිනිසුන් අතුරෙහි සැරසරමින් නොයෙක් කල්ප ගණන් ඉක්මවූහ. මෙයින් කල්ප අනූදෙකකට මත්තෙහි ඵුස්ස නම් බුදුරජානන්වහන්සේ ලොව පහළවූ සේක. ඔහුගේ පියා මභින්‍ද නම් රජ වූයේය. අන් මවුන්ගෙන් උපන් කනිටු සහෝදරයෝ තිදෙනෙක් වූහ. රජතෙමේ දිනපතා බුදු රජාණන්වහන්සේ මගේමය, මගේමයයි සංඝයා මගේමයයි මමායනය කරමින් තෙමේම දශබලයන්වහන්සේ නිබඳ වළඳවයි.

ඉක්බිති එක් දිනක් ඔහුගේ පසල් දනව්ව කිපියේය. නුඹලා හෝ මා හෝ යායුතුය. ඉදින් මම යන්නෙම් නම් නුඹලා විසින් මේ ක්‍රමයෙන් දශබලයන්වහන්සේට සේවය කළයුතුය.’ ඒ තිදෙනාම එක විටම පියාණෙනි, නුඹට ගමන්කිසක් නැත. අපි සොරුන් විනාශ කරන්නෙමුයි. කීවාහුය. පියා වැඳ ප්‍රත්‍යන්තයට ගොස් සොරුන් විනාශ කොට සටන ජයගෙන ආපසු පැමිණියාහුය. ඔවුහු අතරමගදී සේවකයන් සමඟ, ‘දරුවනි, අපගිය කොණෙහිම පියා වර දන්නේය. කවරවරයක් ගන්නේමුදැයි සාකච්ඡා කළාහුය. ස’වාමිවරුනි, නුඹවහන්සේලාට පියාගේ ඇවෑමෙන් දුර්‍ලභවූ කිසිවක් නම්නැත. නුඹවහන්සේලාගේ දෙටු බෑයන් වන ඵුස්ස බුදුන්වහන්සේ පිළිදැගුම් කිරීමේ වරය ගනු මැනවැ’යි කීවාහුය. ඔවුහු ‘නුඹලා විසින් යහපතක් කියනලදැ’යි සියල්ලෝම එක්සිත්ව ගොස් පියා දුටුවාහුය. එකල පියා ඔවුන්ට පැහැද වරයක් දුන්නේය. ඔවුහු ‘තෙමසක් තථාගතයන් පිළිදැඟුම් කරන්නෙමුය’යි වරය ඉල්ලූහ. රජතෙමේ ‘ මෙය දිය නොහැකිය. අන් වරයක් ගණුව’යි කීවේය. ‘පියාණෙනි, අපට අන්වරයකින් වැඩක් නැත. ඉදින් නුඹවහන්සේ දෙනු කැමැත්තෝ නම් අපට එම වරයම දෙනු මැනවැ’යි කීහ. රජතෙරෙම් ඔවුන් නැවත නැවතත් කියද්දී තමා පිළිණදුන් බැවින් නොදීමට නොහැකැයි සිතා, ‘දරුවනි, මම නුඹලාට වරයදෙමි. එතකුදු වුවත් බුදුවරු නම් ළංවීමට අපහසු අයවෙති. සිංහයන් මෙන් එකළාව හැසිරෙන්නෝය. බුදුන්වහන්සේ පිළිදැගුම් කරන නුඹලා අප්‍රමාද වන්නැ’යි පැවසීය.

තථාගතයන්වහන්සේ පිළිදැගුම් කරන අප විසින් සුදුසු දෙයක්කොට පිළිදැඟුම් කිරීමට වටනේයයි ඔවුහු සිතූහ. සියල්ලෝම එක්කැමැත්තෝව දසසිල් සමාදන්ව පිළීගඳනැත්තෝවී ශාස්තෘන්වහන්සේට දන්දෙන තැන පාලනය කරන පුරුෂයන් තිදෙනෙකු තැබූහ. ඔවුනතුරින් එකෙක් ධනධාන්‍ය උපදවන්නෙක් වූයේය. එකෙක් මිනුම් කරුවෙක් වුයේය. එකෙක් දානසංවිධායකයෙක් වුයේය. ඔවුන්ගේ (ධනධාන්‍ය) උපදවන්නා අනාගතයෙහි බිම්බිසාර මහරජ වූයේය. මිනුම්කරුවා විශාඛ උපාසක වූයේය. දානසංවිධායක තෙමේ රට්ඨපාල වූයේය. හෙතෙම එහි දිවි ඇතිතෙක් කුසල් කොට දෙව්ලොව උපන්නේය. මේ රාහුල තෙරණුවෝ නම් කාශ්‍යප බුදුරදුන්ගේ කාලයෙහි කිකි රජුගේ දෙටුපුතාවී උපන්නේය. ඔහුට පඨවින්‍ධර කුමාරයායයි නමක් කළාහුය. ඔහුට සොහොයුරියෝ සත් දෙනෙක් වූහ. ඔවුහු බුදුන්වහන්සේට පිරිවෙන් සතක් කරවූහ. පඨවින්‍ධර තෙමේ යුවරජකම ලැබීය. හෙතෙම ඒ සොහොයුරියන්ට, ‘නුඹලා විසින් කරවනලද පිරිවෙන් අතුරින් මටද එකක් දෙන්නැයි කීවේය. ‘සොහොයුර, නුඹ යුවරජතනතුරෙහි සිටියෙහිය. නුඹවිසින් නම් අපට දියයුතුය. නුඹ අපට අන් පිරිවෙණක් කරව’යි කීවාහුය. හෙතෙම ඔවුන්ගේ කීම අසා විහාර පන්සියයක් කරවූයේය. පිරිවෙන් පන්සියයක්දයි කියත්, හෙතෙම එහි දිවි ඇතිතෙක් කුසල් කොට දෙවිපුරයෙහි උපන්නේය. මේ බුද්ධෝත්පාද කාලයෙහි පඨවින්‍ධර කුමාර තෙමේ අපගේ බෝසතුන්ගේ අගමෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ඔහුගේ යහළුවා කරුරට ථුල්ලකොටඨිත නියම්ගමෙහි රට්ඨපාල සිටුගෙහි උපන්නේය.

ඉක්බිති අපගේ භාග්‍යවතුන්වහන්සේ අභිසම්බෝධයට පත්ව පවත්වන ලද උතුම් දම්සක් ඇත්තෝ අනුක්‍රමයෙන් කිඹුල්වතට වැඩ රාහුල කුමරු පැවිදි කරවනසේක. ඔහුගේ ප්‍රව්‍රජ්‍යා විධානය පෙළෙහි අයේමය. මෙසේ පැවිදිවූ රහල් තෙරුන්ට නිතර අවවාද වශයෙන් ශාස්තෘන්වහන්සේ රාහුලොවාද සූත්‍රය දෙසූසේක. රහල් තෙරණුවෝද උදයෙන්ම අවදිව අතින් වැළි ඔසවා බුදුන්වහන්සේගෙන් මෙන්ම ආචායර්‍ය උපාධ්‍යායයන්ගේද සමීපයෙන් අද මෙපමණ අවවාද ලබම්වායි කියති. බික්සඟන මැද ‘රාහුල හෙරණ තෙමේ අවවාදක්‍ෂමය. පියාට සුදුසු පුතෙකි’යි කථාවක් හටගත්තේය. ශාස්තෘන්වහන්සේ භික්‍ෂූන්ගේ සිත්හසර දැන ‘මා ගියකල්හි එක් ධර්‍මදේශනයක්ද වැඩෙයි. රාහුලගේ ගුණයද ප්‍රකට වන්නේය’යි වැඩමවා ධර්‍ම සභාවෙහි බුද්ධාසනයෙහි වැඩහුන්සේක් ‘මහණෙනි, කවරනම් කථාවකින් යුක්තව හුන්නහුදැ’යි භික්‍ෂූන් ඇමතූසේක. ‘භාග්‍යවතුන්වහන්ස, රාහුල තෙරණුන්ගේ අවවාදක්‍ෂම භාවය කීමු’යි භික්‍ෂූන්වහන්සේ පැවසූහ. ශාස්තෘන්වහන්සේ මේ කරුණ අරභයා රහල් තෙරණුන්ගේ ගුණය ප්‍රකට කරනු සඳහා මිගජාතකය ගෙනහැර දක්වා වදාළසේක.

ත්‍රිවිධශයනයක් ඇත්තාවූ නොයෙක් මායා දන්නාවූ, කුර අටක් ඇති අඩ රැයෙහි දිය බොන්නාවූ මුවාට (මුවමායං හොදින් ඉගැන්වීමි) (කෙසේදයත්) එක් නාස්තුඩුවකින් පොළොවට සුසුම් හරිමින් බෑනණුතෙමේ සවැදෑරුම් මෘගමායා කලාවෙන් (වැද්දා) ඉක්මවා සිටියි.

ඉක්බිති උන්වහන්සේට සත් අවුරුදු සාමණේ කාලයෙහි ‘රාහුල, ළදරු බවින් කෙළිපිණිසවත් දැන දැන බොරු නොකීය’යි අම්බලට්ඨිය රාහුලොවාද සූත්‍රය දෙසූසේක. අටළොස්වියැති සාමණේර කාලයෙහි බුදුන්වහන්සේ පිටුපසින් පිඬුපිණිස හැසිරෙමින් ශාස්තෘන්වහන්සේගේ මෙන්ම තමාගේද රූපසම්පත්තිය දැක ගෙහසිත විතර්‍කයෙන් විතර්‍කනය කරන්නහුට ‘යං කිඤ්චි රාහුල රූපං’ යනාදි නයින් මහාරාහුලොවාද සූත්‍රාන්තය දෙසූසේක. සංයුත්ත නිකායෙහි රාහුලොවාදයද අංගුත්තර නිකායෙහි රාහුලොවාදයද තෙරුන්වහන්සේගේ විදර්‍ශනාචාරයමයි. ඉක්බිති බුදුරජාණන්වහන්සේ ඔහුගේ ඥානපරිපාකය දැන උපසම්පදාවෙන් වර්‍ෂයක් නොපිරුණු භික්‍ෂුකාලයෙහි අන්‍ධවනයෙහි හුන්සේක් චූලරාහුලොවාදය දෙසූසේක. දෙසුම් කෙළවර රහල් තෙරණුවෝ කෙළදහසක් දෙවියන් සමඟ රහත් බවට පැමිණියහ. සෝවාන් සකෘදාගාමී අනාගාමී බවට පත් දෙවිවරුන්ගේ ගණනක් නැත. ඉක්බිති ශාස්තෘන්වහන්සේ මෑතකාලයෙහි සඟමැද වැඩහුන්සේක් තෙරණුවන් මේ සසුනෙහි ශික්‍ෂාකාමීන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තැබූසේක.

ශාස්තෘන්වහන්සේ කුරුරටෙහි චාරිකාව සඳහා නික්ම ථුල්ලකොට්ඨිතයට නොපත් කල්හි රට්ඨපාල කුලපුත් තෙමේ ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනය අසා ලබනලද ශ්‍රද්ධා ඇත්තේ මවුපියන් අනුදන්වාගෙන ශාස්තෘන්වහන්සේ වෙත එළඹ ශාස්තෘන්වහන්සේගේ ඇණවීමෙන් එක්තරා තෙර කෙනකුන් සමීපයෙහි පැවිදිවූයේය. ඔහු පැවිදිවූ දිනයෙහි පටන් සිටුගෘහපති තෙමේ තම නිවස දොරටුවෙන් යන භික්‍ෂූන් දැක නුඹවහන්සේලාට මේ ගෙහි කවර වැඩක්ද? මේ ගෙහි එක් පුතෙක් විය ඔහුගෙ ගිහය. දැන් කුමක් කරන්නහුදැයි බණියි. නින්දා කරයි. ශාස්තෘන්වහන්සේ අඩමසක් ථුල්ලකොට්ඨිතයෙහි වැස නැවත සැවතටම වැඩිසේක. එහිදී ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ යෝනිසෝ මනසිකාරයෙහි කටයුතු කොට විදසුන් වඩා රහත්බවට පැමිණියහ. හෙතෙම ශාස්තෘන් අනුදන්වාගෙන මාපියන් දැකීමට ථුල්ලකොට්ඨිතයට ගොස් එහි ගෙපිළිවෙළින් පිඬු හැසිරෙන්නේ පිය නිවසෙහි පෙරදිග සවසට අයත් (පිළුණුවූ) කුම්මාසය ලැබ එය අමාව මෙන් වළඳන්නේ පියා විසින් ඇරයුම් කරනලද්දේ ඉවසා දෙවෙනි දිනයෙහි පියනිවසෙහි පිණ්ඩපාතය වළදා අලංකාර ලෙස සැරසුණු ස්ත්‍රීජනයන් කෙරෙහි අසුභසංඥාව උපදවා සිටියේම දහම් දෙසා දුනුදියෙන් මිදුණු හීයක් මෙන් අහසට පැන නැඟී කොරව්‍ය රජුගේ මිගාචිරයට ගොස් මගුල්ගල්තලාවෙහි හුන්නේ (තමන්) දැක්මට පැමින රජුට සතර විනාශයන් පිළිබඳ ධර්‍මයක් දෙසා පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙන්නේ යළි ශාස්තෘන්වහන්සේ සමීපයටම පැමිණියේය. මෙසේ මේ වස්තුව නැඟීසිටියේය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ මෑතකාලයෙහි ආර්‍ය්‍යසමූහයා මැද හුන්සේක් තෙරුන් මේ සසුනෙහි ශ්‍රද්ධාවෙන් පැවිදිවූ කුලපුතුන් අතුරින් අගතැන්හි තැබූසේක.