මෝඝරාජ මහරහතන් වහන්සේ.
රළු සිවුරු දරන්නන් අතුරින්, මෝඝරාජ තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලෙබේත්. මේ තෙරුන්වහන්සේ සත්‍ථලූඛ සුත්තලූඛ රජනලූඛ යන තෙදැරුම් රළුබවින් යුත් පාංසුකූල සිවුරක් දැරූහ. එහෙයින් රළුසිවුරු දරන්නන් අතුරින් අග්‍රනම්වූහ.
පියුමුතුරා බුදුරජාණන්වහන්සේගේ කාලයෙහි හංසවතියෙහි කුලගෙයක පිළිසිඳගෙන මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසන්නේ එක් භික්‍ෂුවක රළු සිවුරු දරන්නන් අතුරෙන් අගතනතුරෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම දිවි ඇති තෙක් කුසල්කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ කාශ්‍යප බුදුරජාණන්වහන්සේ පහළවීමට පෙරාතුවම කට්ඨවාහන නුවරෙහි ඇමතිගෙයක පිළිසිඳ ගත්තේය. මෑතකලායෙහි වියපත් වූයේ කට්ඨවාහන රජුට උවටැන් කරන්නේ ඇමති තනතුරක් ලැබුවේය.
එසමයෙහි කාශ්‍යප භාග්‍යවතුන්වහන්සේ ලොව පහළවූ සේකැයි අසා ඔහු (ඇමති) කැඳවා ‘දරුව, බුදුරජාණන්වහන්සේ ලොව පහළවූසේක මේ පසල් නගරය එක්වරම අප දෙදෙනාගෙන් හිස්කිරීමට නොහැකිය. නුඹ මධ්‍යම දේශයට ගොස් බුදුරජාණන්වහන්සේ උපන්බව දැන උන්වහන්සේ මෙම නුවරට වැඩමවාගෙන එව’යි කීවේය. (මෙසේ කියා) මිනිසුන් දහසක් සමඟ යැවීය. හෙතෙම පිළිවෙළින් ශාස්තෘන්වහන්සේ සමීපයට ගොස් ධර්‍මකථා අසා ලැබූ සැදැහැඇත්තේ එහිම පැවිදිව විසිදහසක් අවුරුදු මහණදම් කළේය. ඔහු සමඟ ගියමිනිස්සු සියල්ලෝම ආපසු හැරී රජු වෙතට පැමිණියාහුය.
මේ තෙරණුවෝත් පිරිපුන් සිල් ඇත්තාහු කලුරියකොට එක් බුද්ධාන්තරයක් දෙවිමිනිසුන් අතර සැරිසරන්නාහු අපගේ බුදුරජාණන්වහන්සේ පහළවීමට පෙරාතුවම සැවතෙහි බමුණු ගෙයක පිළිසඳ ගත්හ. මොහුට මොඝරාජමානවයි නම් කළාහුය. කට්ටවාහන රජතෙමේද කාශ්‍යප භාග්‍යවතුන්වහන්සේ කෙරෙහි පින්දහම් කොට එක් බුද්ධාන්තරයක් පිරිවර සහිතව දෙවිමිනිසුන් අතුරෙහි හැසිර අපගේ දශබලයන්වහන්සේ ඉපදීමට පෙරාතුවම සැවතෙහි පෙරෙවිගෙහි පිළිසිඳ ගත්තේය. මොහුට බාවාරිමානවයයි නම් කළාහුය. හෙතෙම මෑතකාලයෙහි ත්‍රිවේදය උගෙන සොළොස් දහසක් මානවකයන්ට ශිල්ප උගන්වමින් හැසිරෙයි. ඉක්බිති මොහුට පසේනදී රජුගේ කාලයෙහි පියාගේ ඇවෑමෙන් පුරෝහිත තනතුර දුන්හ. එකල්හි මේ මොඝරාජ මානවක තෙමේත් බාවාරි මානවකයන් සමීපයෙහිම සිප්සතර හදාරයි.
ඉක්බිති එක්දිනක් බාවාරි බමුණා රහසිගතවූයේ තමන්ගේ ශිල්පයෙහි හරය විමසන්නේ පාරලෞකික හරයක් නොදැක (කිසියම්) එක් පැවිද්දකින් පැවිදිව පාරලෞකික හරයක් සොයන්නෙමැයි කොසොල් රජු වෙත එළඹ තමන්ගේ පැවිද්ද අනුදන්වා ගත්තේය. හෙතෙම ඔහුවිසින් අනුදන්නාලද්දේ සොළොස් දහසක් මානවකයන් විසින් පිරිවරනලද්දේ පැවිදිවීම සඳහා නික්මුණේය. කොසොල්රජ තෙමේත් ‘යම් තනක ආචාර්‍ය්‍යවරයා පැවිදිවන්නේද එහි ඔහුට විසීමට තැනක් ගෙනදෙවවු’යි ඔහු සමඟම කහවණු ලක්‍ෂයක් යැවීය. බාවාරි බමුණු තෙමේ පහස් තැනක් බලන්නේ මධ්‍යම දේශයෙන් ඉවත්ව අස්සක රජුගේද චුළ්භක රජුගේද සීමා අතරෙහි ගොදාවරී නදී වංකයෙහි තමන්ට විසීමට තැනක් කරවීය.
ඉක්බිති එක් පුරුෂයෙක් ජටිලයන් දැකීමට ගියේ ඔවුන් අසළ භූමියක ඔවුන් විසින් අනුදන්නාලද්දේ තමන්ට විසීමට තැනක් කළේය. ඔහුවිසින් කරනලද ගෙය දැක වෙනත් කුල සියයක් ගෙවල්සියයක් කරවීය. ඒ සියල්ලෝම එක් රැස්ව ‘අපි ආර්‍ය්‍යයන්ට අයත් භූමිභාගයෙහි වසමු. නිකම් විසීමට නොයුතුය. මොවුනට සුවවාසයක් දෙන්නෙමු’යි එකිනෙකා එක් එක් කහවණුවක් බමුණා වසන තැනෙහි තැබීය. ගෙනෙන ලද සියලුම කහවණු දහසක් පමණ විය. බාවාරි බමුණා කුමක් සඳහා මේවා ගෙනඑනලද්දේදැයි ඇසීය. ‘ස්වාමීනි, ඔබට සුවවාසයක් දීම සඳහාය’යි කීහ. ‘ඉදින් මම රන්රුවන්වලින් වැඩක් ඇත්තෙම් නම් මහත් ධනරැසක් අත්හැර පැවිදි නොවන්නෙමි. නුඹලාගේ කහවණු ගෙන යවු’යි කීවේය. ‘අප විසින් ආර්‍ය්‍යයන්ට පරිත්‍යාග කරනලද දෙය යළි නොගනිමු. අවුරුදු පතා මේ අයුරින්ම ගෙනෙන්නෙමු. මේවා ගෙන ආර්‍ය්‍යයන්වහන්සේ දන්දෙනු මැනව’යි කීහ. බමුණුතෙමේ (ඒවා) ඉවසා දුගීමගී යාචකාදීන්ට දානමුඛයෙහි පවරා දුන්නේය. ඔහු වරින්වර දන් දෙන බව සියලු දඹදිව පළටවූයේය.
ඉක්බිති කළිඟු රටෙහි දුන්නිමිට්ඨ නම් ගමෙහි පූජක බමුණාගේ වංශයෙහි උපන් බැමිණියක් නැඟිට නැඟිට බමුණාට, බාවරි දන්දෙයි. ගොස් එතැනින් රන්රුවන් ගෙනවයි චෝදනා කරයි. හෙතෙම ඇය විසින් චෝදනා කරනලද්දේ ඉවසා සිටීමට නොහැක්කේ බාවාදර සමීපයට යමින් බාවාරී දන්දී පන්සලට පිවිස වැදහෙව දානය සිහිකරන විට ගියේය. ගොස්, ‘බමුණ මට දන්දෙව, බමුණ, මට දන්දෙව’යි කීවේය. ‘බමුණ නුම නොකල්හි පැමිණියේය. මවිසිනි පැමිණි යාචකයින්ට දෙනලදී. දැන් කහවණු නැත’යි කීවේය. ‘මට හුඟකින් වැඩක් නැත. මෙපමණ දන්නෙදන්නාවූ ඔබට කහවණු නැති වීමට නොහැක. මට කහවණු පන්සියයක් දෙව’යි කීවේය. ‘බමුණ, පන්සියයක්ද නැත යළි දන්දෙන කාලය පැමිණිවිට ලබන්නේය’යි බාවාරි කීවේය. ‘කිමෙක්ද මම නුඹගේ දානකාලයට පැමිණෙම්දැ’යි බාවාරි බමුණාගේ පන්සල දොරටුවෙහි වැළි සෑයක් කොට හාත්පසින් රත්පැහැතිමල් විසුරුවා මන්ත්‍රජප කරන්නෙකු මෙන් තොල් සොළවා ‘සත්කඩකට හිස පැලේවා! සත්කඩකට හිස පැලේවා’යි කියයි.
බාවාරි බමුණා සිතීය. ‘මෙතෙම මහත් තපස් ඇත්තෙකි. තපහාරය රැගෙන හැසිරෙන බමුණෙකි. දිනසතකින් මත්තෙතහි මගේ හිස සත්කඩකට පලමි’යි කියයි. මට මොහුට දියයුතු කහවනු පන්සියයක්ද නැත. මෙතෙම ඒකාන්තයෙන්ම මා මරන්නේය.’ මෙසේ ඔහුතුළ සෝතැවුල ඇතිවූ කල්හි රාත්‍රිභාගයට අනතුරුව, අනතුරු ආත්මභාවයෙහි බාවාරිගේ මව දෙවතාවකවී උපන්නී පුත්‍රයාගේ සෝතැවුලින් සපිරුණු බව දැක අවුත් මෙසේ කීවාය: ‘දරුව, මෙතෙම හිසක් හෝ හිසපැලීමක් හෝ නොදනියි. නුඹ බුදු රජාණන්වහන්සේ ලොව පහළවූබව නොදන්නෙහිය ඉදින් ඔබට සැකයක් ඇත්නම් ශාස්තෘන්වහන්සේ වෙත එළඹ අසව. හෙතෙම ඔබට මෙකරුණ කියනසේක.’ බමුණා දෙවතාවාගේ කථාව ඇසූකල පටන් අස්වැසිල්ලක් ලබා දෙවැනි දිනයෙහි අරුණ නැඟුණු කල්හි සියලු අතවැසියන් කැඳවා ‘දරුවනි, බුදුන්වහන්සේ ලොව උපන්සේක. නුඹලා ඉක්මණින් ගොස් බුදුකෙනෙක්ද නැද්දැයි දැන අවුත් මට සැළකරවු. මම ශාස්තෘන්වහන්සේ වෙතට යන්නෙමි. එසේදවුවත් මහළුබවින් මගේ ජීවිතන්තරාය නොදත හැක. නුඹලා උන්වහන්සේ වෙතට එළඹ මේ මේ අයුරින් ප්‍රශ්න අසව’යි මුද්ධඵාළන නම් වූ ප්‍රශ්නයක සකසා දුන්නේය.
ඉක්බිති මෙසේ සිතීය: ‘මේ සියලුම මානවකයෝ පණ්ඩිතයහ. ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසා තමන්ගේ වැඩ මුදුන්පත්වූ කල්හි නවැත මා සමීපයට එන්නාහු හෝ නොඑන්නාහු හෝ වෙත්. ඉක්බිති ඔහුගේ බෑණණුවන්වූ අජිත නම් මනවකයාට නුඹ වනාහි ඒකාන්තයෙන්ම මා වෙතට ඒමට යුතුවන්නෙහිය. නුඹවිසින් ලද ගුණය අවුත් මට කියව’යි සංඥාවක් දුන්නේය. ඉක්බිති ඒ සොළොස් දහසක් ජටිලයෝ අජිත මානවකයා ජ්‍යෙෂ්ඨ කොට ගෙන සොළසක්වූ දෙටු අතවැසියන් සමඟ පැන පුළුවුස්නෙමුයි චාරිකාවෙහි හැසිරෙන්නාහු ගියගිය තැන්හි ‘ආර්‍ය්‍යවරු කොහි යන්නහුද? කොහි යන්නහුදැ’යි විමසනලද්දාහු ‘බුදුන්වහන්සේ වෙතට පැන පිළිවිසීමට යන්නෙමු’යි මුල පටන් පිරිස එක්කරගනිමින් නොයෙක් යොදුන් සියගණනක් මග ගියාහුය. ශාස්තෘන්වහන්සේ ඔවුන් පැමිණෙන දිනයෙහි අනෙකෙකුට අවකාශයක් නොවන්නේය. මෙය මේ පිරිසට සුදුසු තැනකැයි ගොස් ගල් සෑයෙහි සමතලා ගල්තලාවක වැඩහුන්සේක. ඒ පිරිසද ඒ ගල්තලාවට නැඟ ශාස්තෘන්වහන්සේගේ ශරීරසම්පත්තිය දැක ‘මේ පුරුෂතෙමේ මේ ලෝකයෙහි දුරුකළ මෝහාදිය ඇති බුදුරජාණනවහන්සේ වනසේකැයි තමන්ගේ ආචාර්‍ය්‍යවරයා විසින් එවනුලැබූ ප්‍රශ්න මනසින් විමසමින්ම ගියාහුය.
එදවස එතැන්හි පැවිණි පිරිස දොළොස්යොදුනකට සෑහෙන්නක් විය. මේ සොළොස් අතවැසියන් අතුරෙහි මොඝරාජ මානවක තෙමේ ‘මම සියල්ලන්ට වඩා පඬිතයෙමැ’යි මානයෙන් දැඩිවූවෙකි. ඔහුට මෙසේ අදහස් විය. මේ අජිත මානවක තෙමේ සියල්ලවුන්ට දෙටුය. ඔහුට කලින් මම ප්‍රශ්න ඇසීම නොසුදුසුයයි ඔහුට ලජ්ජාකරමින් පළමුව ප්‍රශ්න නොවිමසා ඔහු විසින් ඇසූ කල්හි දෙවැන්නාවී ශාස්තෘන්වහන්සේගෙන් ප්‍රශ්න ඇසීය. ශාස්තෘන්වහන්සේ, මොඝරාජතෙමේ මානයෙන් දැඩිය. යම්තාක් මොහුගේ නුවණ මුහුකුරායයිද ඒතාක් මොහුගේ මානය දුරුකිරීමට වටීයයි සිතා මොඝරාජ, නුඹ සිටුව, අන් අය ප්‍රශ්‍න අසත්වායි වදාළසේක. හෙතෙම ශාස්තෘන් සමීපයෙන් නින්දා ලැබ, ‘මම මෙතෙක් කල් මට වඩා පණ්ඩිතයෙක් නැතැයි හැසිරෙමි. බුදුවරුනම් නොදැන නොකියති. ශාස්තෘන්වහන්සේ විසින් මගේ විමසීමෙහි දෝෂයක් දක්නාලද්දේ වන්නේයයි නිහඬවූයේය. හෙතෙම අටදෙනකු විසින් පිළිවෙළින් ප්‍රශ්න අසූ කල්හි ඉවසීමට නොහැක්කේ නව වැන්නාවී යළි නැඟී සිටියේය. ශාස්තෘන්වහන්සේ යළිඳු ඔහු නින්දාවට පත් කළසේක.
හෙතෙම යළිඳු නිහඬවී දැන් සංඝනවකයෙක් වීමට නොහැක්කෙමියි පසළොස් වැන්නාවී ප්‍රශ්න ඇසීය. ඉක්බිති ශාස්තාන් වහන්සේ මොහුගේ නුවණ මුහුකුරා ගිය බව දැන ප්‍රශ්නයට පිළිතුරු දුන්සේක. හෙතෙම දෙසුම අවසන්හි තමන්ගේ පිරිවර ජටිලදහස සමඟ රහත්බවට පැමිණියේය. මේ අයුරින්ම ඉතිරි ජටිල පසළොස් දහසද රහත් බවට පැමිණියාහුය. සියල්ලෝ සෘද්ධිමය පාසිවුරු දැරුවාහු ඒහි භික්‍ෂූහු වූහ. සෙසු ජනයන් ගැන නොකියැවෙයි. මේ මොඝරාජ තෙරණුවෝ එතැන්සිට ත්‍රිවිධ රූක්‍ෂයන්ගෙන් සමන්විතවූ සිවුරු දරති. මෙසේ පාරායණ වර්‍ගයෙහි කථාව පැන නැගුනේයි. ශාස්තෘන්වහන්සේ වනාහි පසුකාලයෙහි ජේතවනයෙහි වැඩහුන්සේක් තෙරවරුන් පිළිවෙළින් තනතුරුවල තබමින් මොඝරාජ තෙරුන් මේ සසුනෙහි රූක්‍ෂචීවර දරන්නවුන් අතුරෙන් අගතනතුරෙහි තැබීමට ‘මහණෙනි, යම් මේ මොඝරාජ තෙරණුවෝ රූක්‍ෂචීවර දරන්නාවූ මගේ ශ්‍රාවකභික්‍ෂූන් අතරෙන් අග්‍රයහයි වදාළසේක.