අපේ බුදුහාමුදුරුවෝ 87
දස දහසක් සක්වළ රුක්ෂලතාවන් මලින් ඵලින් බරකල සිඛී බුදුහාමුදුරුවෝ 03
සිඛී භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස සංක්‍ෂිප්ත කොට සදහන් වෙනවා.
විපස්සී බුදුරජුන්ට පසු කාලයෙහි සම්බුදුවූ, දෙපා ඇති සතුන්ට උතුම්වූ, අසමවූ, සමාන පුද්ගලයෙකු නැති’’සිඛී’’ නම් ජිනරාජතෙම විය.
මහර්ෂීවූ බුදුරජුගේ නුවර’’අරුණවතී’’ නම්. පිය තෙම’’අරුණවන්තු’’ රජය. වැදූ මව්’’පභාවතී’’ නම් වූවාය.
ඒ බුදුරජතෙම අවුරුදු සත් දහසක් ගිහිගෙයි වාසය කෙළේය. ’’සුවන්‍ද’’ ය,’’ගිරි’’ ය,’’වහන’’ ය යන උතුම් තුන් ප්‍රාසාද තුණක් වූහ.
මනාව සරසන ලද පිරිවර අඟනෝ විසිහතර දහසකි. බිරින්ද’’සබ්බකාමා’’ නම් වූවාය. පුත් තෙම’’අතුල’’ නම් වී.
(සිඛී) පුරුෂොත්තම තෙම සතර පෙර නිමිති දැක, ඇත් යානයෙන් මහබිනික්මන් කෙළේය. අට මසක් මුළුල්ලෙහි ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.
මහා වීර්‍ය්‍ය ඇති නරදෙටු’’සිඛී’’ ලොවග නා හිමිඳු බඹහු විසින් අයදනා ලද්දේ,’’මිගදාය’’ නම් නගරයෙහිදී දම්සක් පැවැත්වූ සේක.
මහර්ෂීවූ’’සිඛී’’ බුදුරදුන්ටද,’’අහිභූ’’ ද, ’’සම්භව’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම’’ඛෙමඞ්ක’’ නම් වී.
’’මඛිලා’’ ද,’’පදුමා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක’’ඇටඹ රුක’’ යයි කියනු ලැබේ.
’’සිරිවඩ්ඪ’’ ද,’’නන්‍ද’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’චිත්ත’’ ද,’’සුගුත්ත’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.
රන් පහන් කණුවක් හා සමානව, දෙතිස් මහ පුරිස් ලකුණෙන් යුත්, ඒ බුදුරද තෙම උසින් සැත්තෑ රියනක් උස්වී.
ඒ (සිඛී) බුදුරජුන්ගේද බඹයක් තැන් පැතිර පවතින බැබලීමක් ඇති කයින් (නික්මෙන) ප්‍රභාවෝ රෑ දවල් නිතර තුන් යොදුනක් පමණ දිශානුදිශාවන්හි පැතිරෙත්.
මහර්ෂීවූ ඒ (සිඛී) බුදුරජුන්ට අවුරුදු සැත්තෑ දහසක් ආයුෂ වී. උන්වහන්සේ ඒතාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා (බව සයුරෙන්) එතර කළ සේක.
දහම් වැසි වස්වා, දෙවියන් සහිත ලෝ වැස්සන් තෙමා, ඒ නිවනට පමුණුවා, ශ්‍රාවකයන් සහිතවූ උන්වහන්සේ පිරිනිවි සේක.
අසූ අනූ ව්‍යඤ්ජනයෙන් යුත්, දෙතිස් මහ පුරිස් ලකුණෙන් යුත් සියල්ල අතුරුදන් විය. සියලු සංස්කාරයෝ හිස්වූවාහු නොවෙත්ද?
සිව්සස් අවබෝධ කළ’’සිඛී’’ මුනිසඳු’’දුස්ස’’ නම් ආරාමයෙහි පිරිනිවි සේක. එහිම උන්වහන්සේගේ උතුම් සෑය තුන් යොදුනක් උස්වී. (හෙවත් තුන් යොදුනක් උසට බඳින ලදී.)
විසිවෙනි බුද්ධවංශ වර්ණනාව මෙයින් සමාප්තවනවා.