අපේ බුදුහාමුදුරුවෝ 70
අධිකරණ ව්‍යවහාර පුස්තකයන් හි තිබූ අධාර්මික ව්‍යවහාර අතුරුදහන් කරමින් මෙලොවට බිහිවූ
ධම්මදස්සී බුදුහාමුදුරුවෝ 01.
අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අන්තර් කල්පයක් ගත වූවායින් පස්සේ අපරිමිත ආයුෂ ඇති සත්ත්වයින් පිරිහී ගොසින් මිනිසුන්හට වසර ලක්ෂයක පරමායුෂයට පැමිණි කාලයේ ලෝකලොකතර, ලෝකමල නසාලන ලොවට එකම නායක වූ ධම්මදස්සි නම් ශාස්තෘන් වහන්සේ ලොව පහළ වුනා. උන් වහන්සේත් අනෙකුත් බුදුරජාණන් වහන්සේලා මෙන් ඊට පෙරභවයේ වැඩසිටියේ තුසිත දෙවුලොව. නිසිකල පැමිණිවිට දේවාරාධනය පිළිගෙන පස්මහ බැලුම් බලා දෙව්ලොවින් චුතව සරණ නම් නුවර සියලු ජනයාට සරණ වූ සරණ නම් රජුගේ අගමෙහෙසිය වුණ සුනන්දා දේවියගේ කුස තුළ පිළිසිඳ ගත්තේ දෙවියන්ගේ සාදුකාර මැද්දේ.
ඒ සරණ නුවර සරණ කියලා මනස්කාන්ත මල් වලින් පිරුන උයනක් තිබුණා. ධම්මදස්සි බෝසතාණන් වහන්සේ දසමස් ඇවෑමෙන් සරණ උයනේ වර්ෂාවෙන් පිරුණ අන්ධකාර රාත්‍රියක පෑයූ පුන්සඳක් මෙන් මෙලොවට මවුකුසින් බිහි වුණා. ඒ මහා පුරුෂයාණන් වහන්සේ මව් කුසින් බිහි වන කොටම හරි පුදුම දෙයක් වුණා . එනම් අධිකරණ ව්‍යවහාර පුස්තකයන් හි තිබූ අධාර්මික ව්‍යවහාර ඉබේටම අතුරුදහන් වුනා. ධාර්මික ව්‍යවහාර පමණක් ශේෂ වුණා. ඒ කියන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ උපත ලබන මොහොතේ ම මිනිසුන් බොහෝ සිල්වත් ගුණවත්වූ බවක්. ඒ නිසාම උන්වහන්සේට නම් තබන දිනයෙදී රැස් වූ බ්‍රාහ්මණ පිරිස උන්වහන්සේට ධම්මදස්සී කියාම නම් තබනු ලැබුවා.
උන් වහන්සේ වෙනුවෙනුත් විශේෂ ප්‍රාසාද තුනක් අරජ, විරජ, සුදස්සන කියලා ඉදිවුනා. උන්වහන්සේ වසර අටදහසක්ම එලෙස කම්සැප විඳිමින් එම මාලිගාවන් තුල ගත කලා. විචිකොලි දේවිය ප්‍රමුඛ දහසකට අධික ස්ත්‍රීන් උන් වහන්සේට උපස්ථාන කළා. කොතරම් කාමභෝගී ජීවිතයක් ගත කළත් පෙර සසරෙහි පුරුදු පුහුණු කරනු ලැබූ අධිෂ්ඨාන සහ පාරමී බලයෙන් සතර පෙර නිමිති දුටු දිනයෙම ගිහිගෙයින් නික්මීමට තීරණය කලත් එයට බාධාවන අයුරින්ම විචිකොලි දේවිය පුඤ්ඤවඩ්ඪන පුතුව මෙලොවට බිහිකලෙත් එදිනමයි. මේ වනතෙක් ලියු සෑම බුදුවරයෙකුට වගේ ඒ බාධාව අබිනික්මන දිනයෙහිම පැමිණියේ සැලසුම් කල දෙයක් විලසමයි. එහෙත් රාත්‍රී නින්දෙන් පිබිදුන බෝසතාණන් වහන්සේ දුටු නළගනන්ගේ විකාර රූප දැක හටගත් සංවේගය ඇතිවම අබිනික්මනට සිත එකඟ කරගත්තා.
හරිම පුදුම දෙයක් වුනේ. ඒ සිතූ සැණින්ම උන්වහන්සේගේ සුදර්ශණ ප්‍රසාදය අහසට නැග සිවුරඟසෙන් පිරිවරා දෙවුවිමනක් ලෙස ගොස් රත්කරව් (බිම්බිජාල, කුරවක) රුක් මුල බෝධිය සමීපයෙහි බැස සිටියා. මා ලියනා මෙම ලිපි පෙළේ මාලිගාව සමගින් ම අභිනික්මනේ යෙදුනු තුන්වැනි බෝධිසත්වයින් වහන්සේයි මේ. බෝධිසත්වයන් වහන්සේ මාළිගාවෙන් එලියට වඩින විටම මහා බ්‍රහ්මයා කසාවත් ඇතුළු පිරිකර පුජා කරනු ලැබුවා. උන්වහන්සේ ඒ කසාවත් පැළඳ පැවිදිව පැහැයෙන් බැස ඊට නුදුරින් රැඳී සිටියා. ප්‍රාසාදය නැවතත් අහසින් ගොස් බෝරුක මැදිකොට අහසින් බිමට බැස පොළවෙහි පිහිටියා. ඒ වනවිටත් ඒ ප්‍රාසාදය තුල අගබිසව හැර අනෙකුත් පරිවාර ස්ත්‍රීන්ගෙන් පිරී පැවතියා. ඒ සියලූම දෙනාද ප්‍රාසාදයෙන් නික්ම ගොස් අඩගව්වුවක් දුරින් රැඳී සිටියා. එහිදී එහි සිටි ස්ත්‍රීන්ද ඔවුන්ගේ සේවිකාවන්ද හැර සියලු පුරුෂ පක්ෂය උන්වහන්සේ අනුව යමින් මහණ වුනා. තවත් බුදුවරයෙකුගේ විශ්මිත අබිනික්මන දුරේ නිධානයේ එලෙස සටහන් වුනා.