අපේ බුදුහාමුදුරුවෝ 68

පරසතු මලින් පුදනු ලැබූ
අත්‍ථදස්සී බුදුහාමුදුරුවෝ
02

අත්ථදස්සි බුදුරජුන්ගේ අගසවුවරුන්හට බුදුන් හමුවීම.

සුචන්දක නුවර ශාන්ත රාජ පුත්‍රයාද උපශාන්ත  පුරෝහිත පුත්‍රයාද හොඳම යහළුවෝ. හරියටම සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ සසර පුරා පැමිණි මිත්‍රත්වය මෙනි. ඒ අත්ථදස්සි බුදුහාමුදුරුවන්ගේ අනාගත අගසවු දෙදෙනායි. ඔවුන් දෙදෙනාම ත්‍රිවේදයෙහි කෙල පැමිණිලයි සිටියේ. එහෙත් ඔවුන්ට ඒ තුලින් යම් සාරයක් සොයාගැනීමට නොහැකිව සිටියේ. ඒ සසර දුකෙන් එතෙර වීමටය. එම නිසාම ඔවුන් නුවර සතර දොරටුවෙහි පණ්ඩිත විශාරද මිනිසුන් සතරදෙනකු නතරකලා. නවත්වලා “ඔබලා යම් පණ්ඩිතයෙකු , මහණෙකු , හෝ බමුණෙකු දුටුවොහොත් අපට දන්වන්න” යනුවෙන් කිවා. ඒ අතර තුර තමයි අත්ථදස්සි බුදුහාමුදුරුවෝ සුචන්දක නුවරට වැඩම කලේ. දොරටුවේ රැකවල්ලා සිටි පණ්ඩිත විශාරදයන් කලේ බුදුහාමුදුරුවෝ ඇතුළු පිරිස එහි නතර කරවාගෙන විගසින් රාජපුරැෂයන් යවා උන්වහන්සේලාගේ වැඩම කරවීම දැනුම් දීමයි. ඒ කල්ප ගණනක් පෙරුම්පෙරූ තවත් අගසව්වරු දෙනමකගේ ප්‍රීතිමත්ම මොහොත. සසර පුරාවට මග බලාගෙන සිටි මොහොත. ඔවුන් දුවගෙන පැමිණියේ දසදහසක් වූ මහා පිරිවරත් සමගින්. ඔවුන් ප්‍රථමයෙන් කලේ බුදුහාමුදුරුවෝ ඇතුළු පිරිසට දනට ආරාධනය කිරීමයි. ඊට පස්සේ දින හතක්ම එක දිගටම අසමසම මහදන් දුන්නා. 

ප්‍රථම සන්නිපාතය.

එලෙස සතියක්ම දන් දීලා සත්වෙනි දින මුළු නුවර වැසියන් සමගින් බණ ඇසුවා. එදා අටානුලක්ෂයක්  ඒහි  භික්ෂු පැවිද්දෙන් පැවිදි භූමියට පැමිණිලා රහත් භාවයට පත්වුනා. ඒ පිරිසට භාග්‍යවතුන් වහන්සේ පාමොක් දේශණා කරනු ලැබුවා. එය උන්වහන්සේගේ ප්‍රථම සන්නිපාතයයි.

දෙවැනි සන්නිපාතය.

අත්ථදස්සි භාග්‍යවතුන් වහන්සේ සිය පුත්‍ර රත්නය වන සේල තෙරුන්ට ධර්මය දේශණා කරන අතරතුර අටාසුදහසක් පහදවා ඒහි භික්ෂුභාවයෙන් පැවිදි කරවා රහත්කොට පාමොක් දේශනා කරනු ලැබුවා. ඒ  දෙවැනි සන්නිපාතයයි.

තෙවැනි සන්නිපාතය.

එදින නවම් පොහෝදිනයක්. ඒ භාග්‍යවතුන් වහන්සේ මහාමංගල සමාගමයෙහි දෙවුමිනිසුන්ට දම්දෙසා හැත්තා අටදහසක් රහත් කරවා පාමොක් දේශණා කරනු ලැබුවා. ඒ තෙවැනි සන්නිපාතයයි.

නියත විවරණ ලබා ගැනීම.

ඒ කාලේ අප මහා බෝසතාණෝ වැඩ වාසය කලේ චම්පක නම් නුවර. උන්වහන්සේ සුසීම නම් ලෝකසම්මත මහාසාර බ්‍රාහ්මණයෙක්. උන් වහන්සේ සියලු ධනය දීන අනාථ දුගිමගී යාචකයනට දන්දී හිමවත සමීපයට ගොස් පැවිදිව පඤ්චාභිඥා අෂ්ට සමාපත්ති උපදවා මහා සෘද්ධි මහානුභාව ඇතිව මහජනතාවට කුසලාකුසල ධර්මයන් ගේ නිරවාද්ය සාවද්‍ය බව දක්වා බුද්ධෝත්පාදය බලාපොරොත්තු වෙමින් සිටියා. ඒ කාලේ අත්ථදස්සි ලෝක නායකයානෝ ලොව සුදස්සන මහා විහාරයේ අට පිරිස් මැද ධර්ම වර්ෂා වස්වමින් හිටියේ. අප මහා බෝසතාණන් වහන්සේත් ඒ ශ්‍රාවකයන් අතර ධර්මය අසමින් සිටයා. ඒ අකාලික වූ ධර්මය අසා සිතේ ඇතිවුණු සතුට උතුරා ගලා ගොස් උන්වහන්සේ මහා සෘද්ධි සමාපත්තියෙන් දෙව්ලොවට වැඩම කොට දිව්‍යමය මදාරා පරසතු මල් නෙලා ගෙනවිත් තමන් ආනුභාවය දක්වමින් දෘශ්‍යමාන ශරීරයෙන් සතර දිසාවට චාතූර්දීවීපික මහා මේඝයක් මෙන් විසුරුනු ලබමින් මදාරා මල් කුඩයක්  දසබලයන් වහන්සේට පූජා කරනු ලැබුවා. ඒ දිව්‍යමය මල්වල සුවඳ මුළු නුවරම පැතිරෙන්න ඇති කියලා මට හිතුනේ මීට ඉහත කියවා තිබූ කතාවක දෙවිවරුන් පැලද පැමිණි මල් ඔටුන්නක් නිසා මුලු නුවරම සුවඳවත් වූ  කතාවක් මතක් වෙලයි. හැකි විටක ඒ කතාව ලියන්නම්. භාග්‍යවතුන් වහන්සේ අප මහා බෝසතාණන් වහන්සේට මතු ගෞතම නමින් ලොවෙහි  බුදු වන බව නියත විවරණ දී වදාරනු ලැබුවා.

දෙවු මිනිසුන්ගේ සාදුකාර හඬ නැවතත් දස දහසක් සක්වල දක්වා පැතිර ගියා. දසපාරමී මෙනෙහි කිරීමේදී මහ පොළොව කම්පා වුණා. අත්ථදස්සි බුදු හාමුදුරුවන්ගෙන් යම් විදියකින් ධර්මය අවබෝධ කර ගැනීමට නොහැකි වුනොත් තවත් බුදුවරයෙක් මතුවට අප වෙනුවෙන් සිටින බව දැක දෙව්මිනිසුන් සතුටු වුණා. සමහරවිට අපිත් ඒ අතරෙ ඉන්න ඇති. ඒත් තාමත් සංසාරේ.