අපේ බුදුහාමුදුරුවෝ 64

 

හස්තිරාජයෙකු හට ඔහුගේ මනසට වැටහෙන පරිදී ධර්ම දේශණා කරන ලද 

පියදස්සි බුදුහාමුදුරුවෝ 04

ඒ මහා ප්‍රපාත වත් ඇත් රාජයා බුදුරජාණන් වහන්සේ අභියස දැන ගැහුවෙ පුංචි ළමයෙක් වගේ. තිරිසන් යෝනියේ උපන් සතෙකු සතෙකු එලෙස දන ගැසුවත්  මොලෙන් වැඩි මිනිසුන්ව දන ගස්සන්න සමහරවිට බුදු කෙනෙකුට වත් ඒ තරම් ලේසි නැහැ. ඒ මොහොතේ ඒ භාග්‍යවතුන් වහන්සේ ඒ තිරිසන් මනස ට  වැටහෙන, ඔහුගේ ද්වේශය  බිඳිය හැකි ඔහුව සුගතිය කරා ගෙනයා හැකි සරල සුමදුර ධර්ම දේශනාවක් දේශනා කරන්නට වුණා පමණක් නොවෙයි ඔහුට අවබෝධ වෙන්නට සැලැස්සුව.

පින්වත් හස්ති රාජය, මාගේ වචනය අසව. තමාට සැබැවින්ම හිතවත් අර්ථවත් අය ඇසුරු කරව. වදයෙහි නිරත තොපගේ දුෂ්ට බව අතහැරව. සුන්දර දළ ඇත. ශාන්ත වෙව. ලෝභයෙන් ද්වේශයෙන් හෝ මෝහයෙන් යමෙක් ප්‍රාණීන්ට හිංසා කරයි ද ඒ ප්‍රාණඝාතයා බොහෝ කල් නිරයේ දුක් විඳී. හස්තිය  ප්‍රමාදයෙන් හෝ මදයෙන් නැවත මෙවැනි පාප කර්ම නොකරව. ප්‍රාණඝාත ඒ කරන්න නොඉවසිය හැකි දුක්දෙන අවීචියට පැමිණෙයි. අපායෙහි ගොරබිමේ දුක් විද නැවත මිනිස් ලොව පැමිණියද බෙහෙවින් අල්පායුෂ්ක වෙයි. විරූප දේහ ඇත්තේ වෙයි.  විහිංසකයා  නිරන්තරයෙන්ම දුක් විශේෂයට භාජනය වෙයි. හස්තිරාජය  යම්සේ තොප ජීවිතයට පරම ප්‍රිය ද එසේම අනුන්ටත් ප්‍රිය බව සිතා  ප්‍රාණඝාතය  දුරු කළ යුතුය. හිංසාවේ හි නිරත වීමේ දොස් ද ප්‍රාණඝාතයෙන් වැළකීමේ ගුණ ද දැන ප්‍රාණඝාතය අතහැර පරලොව සුගතිසැප කැමැති වෙව. ප්‍රාණඝාතයෙන් වැළකුණු පුද්ගලයාගේ මෙලොව  ප්‍රිය ද මනාප ද වෙයි. කය බිඳී පරලොව සුගතියට යතැයි ද බුදුවරු පවසති. ලොව  කිසිවෙක් දුක කැමැති නොවෙති. උපන් සියල්ලෝම සැපම  සොයති. එබැවින් මහා හස්තිය, හිංසාව අතහැර සුදුසු අවස්ථාවෙහි මෛත්‍රිය හා කරුණාව වඩව. “

මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව අසා සිටි ඒ ඇත් රාජයා සිහි එළඹ පරම විනීත විනය ආචාර සම්පන්න ශිෂ්‍යයකු මෙන් වුණා. මෙසේ පියදස්සී භාග්‍යවතුන් වහන්සේ අපගේ බුදුරජාණන් වහන්සේගේ  කාලයේ සිටි ධනපාල ඇතු මෙන් ද දොණමුඛ ඇතු දමනය කොට ඒ මහජන සමාගමෙහි ධර්ම දේශනා කරනු ලැබුවා. ඒ අවස්ථාවේ අසූ කෙළ ලක්ෂයක් ජනයාට ධර්මාවබෝධය වුණා. මේ උන්වහන්සේගේ තෙවන මහා ධර්මාභිසමය ද වුණා.