අපේ බුදුහාමුදුරුවෝ 62


පියදස්සි බුදුහාමුදුරුවෝ 02

මිථ්‍යාදෘෂ්ටික දෙවියන් දමනය කිරීම.

අපි මෙතෙක් කල් වැඩි පුර අසා තිබුණේ බුදුරජාණන් වහන්සේලා යක්ෂයෝ මිනිස්සු, වගේම සත්තුත්  දමනය කරනවා කියලා. ඒ එක්කම බුදු වරු දෙවියන්ට බණ කියනවා මිසක් දෙවියොත් සමග යුද වදිනවා කියලා  අපි අහලා තිබුනෙත් නෑ. මේ එහෙම කතාවක්.

ඒ කාලේ සුභවතී  නම්  නුවරට නොදුරු සුදස්සන නම් පර්වතයෙහි සුදර්ශන කියලා දිව්‍ය රාජයෙක් වාසය කළා. ඔහු මිත්‍යා දෘෂ්ටිකයි. සියලු සුදර්ශන වැසියෝ ඒ දිව්‍ය රාජයාට අවුරුදු පතා ලක්ෂයක් වටිනා බලි  පුද පූජා පවත්වනු ලැබුවා. ඒ සුදස්සන  දිව්‍යරාජයා නර රජුත් සමඟ එකම අසුනෙහි හිද  බලි පූජා පිළිගැනීමට පුරුදු වෙලා හිටියා. එකල පියදස්සී භාග්‍යවතුන් වහන්සේ ඒ සුදස්සන දිව්‍යරාජයාගේ දෘෂ්ටි ගතිය දුරු කරනෙමෙයි සිතා ඒ දිව්‍යරාජයා යක්ෂ සමාගමයට ගිය කල්හි ඔහුගේ භවනට අහසින් වැඩම කළා. ඉන් අනතුරුව ඔහුගේ සිරි යහනට නැඟී සවණක් රැස් පතුරවමින් යුගදුරු පර්වතයෙහි සරා හිරු මෙන් දසත බබළවමින් වැඩ සිටියා. සුදස්සන යක් රජුගේ පිරිවර පරිවාරිකා දෙවඟනන් මල්ගඳ විලවුන් ආදියෙන්  දසබලයන් වහන්සේට පූජා කොට පිරිවරා ගෙන සිටියේ බුදුකෙනෙකුගේ පරාක්‍රම බලමහිමය ද වෙන කිසිවක් කරගත නොහැකිවය. සුදස්සන දෙව්රජ යක්ෂ සමාගමෙන් පිට වී තම භවනට එනවිට මුළු පර්වතයෙන් ම  සවණක් රැස් විහිදුණු දැක මෙසේ සිතන්නට වුණා.

“වෙනදා  කිසි දිනෙක මාගේ බවනෙන් මෙවැනි නානා රශ්මි ජාලාවන්ගෙන් බබළන අසිරියක් නොදුටුවෙමි. කවරනම් දෙවියකු විසින් මෙවැන්නක් කරනු ලබන්නේ ද?”, යනුවෙන් බලමින් විපරම් කරන්න වුනා. එවිට උදාගිරි කුළු මුදුන් හි සරාකළ හිරු මෙන් සවනක් රැස් දැලින් බබළමින්  වැඩ සිටි  භාග්‍යවතුන් වහන්සේ දැක මේ මුඩුමහන මාගේ පිරිවර ජනයා පිරිවරා මාගේම සිංහාසනේ සිටින්නේ යැයි මහත් වූ ක්‍රෝධයෙන් වෙවුලන්නට වුණා. මිථ්‍යා දෘෂ්ඨික දෙවිවරු දැනගෙන සිටියේ නැහැ බුදුවරයෙකුගේ ශක්තිය, බල මහිමය, විෂය ක්ෂේත්‍රය, ඒ වගේම දස දහසක් සක්වල ආඥා පැතිරෙන බව. අණසක පැතිරෙන බව. එහෙත් ඔහුගේ අණසක පැවතුණේ ඔහුගේ භවන තිබූ ඒ කඳු මුදුනට පමණයි. එහෙත් බුදුවරයකු හමුවේ එයත් වියාර්ථ වී ගියා.

 මහා සද්දන්ත රාජකීය ඇතකු අසල සිටි කුඩා කූඹියකු වැනි ඒ මිථ්‍යාදෘෂ්ටික දෙවියන් මොහු හට මාගේ බලය පෙන්වමි යැයි  සිතා මොහොතකින් ඒ මුළු මහත් පර්වතයම එකම ගිනි ජාලාවක් බව ට  පත්කළා. ඒ මහා ගිනි ජාලාවෙන් මුඩු මහණ අළු දුවිලි බවට පත්වෙන්නට ඇතැයි සිතා පිරික්ෂණ ඔහුට දකින්නට ලැබුනේ පෙර පරිදීම බබලමින් රැස් විහිදමින් ප්‍රභාෂ්වර  වූ සිරුරෙන්ම එක් රෝමකුපයක් හෝ නොදැවී වැඩ සිටිනා බුදුරජාණන් වහන්සේයි. “මේ මහණ අග්නිදාහය ඉවසයි. දැන් මම මේ මහණව සැඩදිය දහරේ ගිල්වා එක මොහොතකින් මරා දමන්නෙමියි” සිතා ගැඹුරු සැඩ දියදහරක් විමානයට අභිමුඛ කොට පවත්වන්නට වුනා. ඒ විමානයම රුදුරු සැඩ දියදහරෙන් පිරුණත් භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙහි රෝම මාත්‍රයක්වත් තෙමන්නට නොහැකිවුණා. එවිට සුදස්සන දෙවු රජ මෙයින් ශ්‍රමණතෙම හුස්මගැන්මට නොහැකිව මිය යන්නට ඇතැයි සිතමින් දිය වළකා බලන කල නිල්මේකළු විවරගත සරාකල සඳ මෙන්  නා නා රැස්දැලින් බබළමින් සිය පිරිස් පිරිවරා හුන් භාග්‍යවතුන් වහන්සේ දැක ක්‍රෝධය දරාගත නොහැකිව දැන්නම් මොහුව මරන්නේ යනුවෙන් මහා ආයුධ වර්ෂාවක් වස්සවන්නට වුනා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ  ආනුභාවයෙන් සියලු ආයුධ නන්වැදෑරුම් පරම රුචිර දැකුම් ඇති සුවඳ මල් මාලා බවට පත්ව භාග්‍යවතුන් වහන්සේගේ පාමුල රැඳෙන්නට වුනා.

එවිට ඒ අසිරිය දැක සුදස්සන දෙවු රජ පරම කුපිත මනසින් භාග්‍යවතුන් වහන්සේගේ දෑතින් දෙපයින් ගෙන සිය භවනින් ඇද දමනු රිසිව ඔසවා මුහුද ඉක්මවා සක්වළගලට ගොස් ජිවත් වෙයිද මලේදැයි බලන කල එම අසුනෙහිම හිඳුනු දැක, ආශ්චර්යයක්. මෙම මහණ මහානුභාව සම්පන්නයි. මම මේ මහණ මෙතනින් නෙරපීමට අසමත් වෙමි. කවුරුන් හි දැනගතහොත් අපමණ අපකීර්තියකි. ඒ නිසා කිසිවෙකු දකින්නට පෙර මොහු වැඳ නමස්කාර කොට මෙතනින් එළවාදමන්නෙමි සිතන්නට වුනා. ඔහුගේ සිත හඳුනා ගත බුදුපියාණන් වහන්සේ

සියලුම දෙවු මිනිසුන්ට පෙනෙන පරිදි අධිෂ්ඨාන කරනු ලැබුවා. එදින දඹදිව සියයක් පමණ රජවරු ඔහුට උපහාර පිණිස රැස්වෙලා හිටියේ. ඒ නරරජවරු භාග්‍යවතුන්වහන්සේගේ සිරිපා වැඳගෙන සිටින සුදස්සන දෙවු රජ දැක අපගේ දෙවු රජ පියදස්සි භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා මෙහෙවර කරයි. අපොයි බුදුවරු නම් ආශ්චර්ය වෙති. බුදුගුණ විශිෂ්ටයි යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ වෙත පහන් සිතින් සියල්ලෝම බුදුන්ට නමස්කාර කරමින් හිසෙහි ඇඳිලි බඳිමින් සිටියා. එහිදී පියදස්සි භාග්‍යවතුන් වහන්සේ ඒ සුදස්සන දිව්‍ය රාජයා ප්‍රමුඛ කොට ධර්මදේශනා කරනු ලැබුවා. එදින අනුකෙළ දහසක් දිව්‍යමනුෂ්‍යයෝ ධර්මාබෝධයට පත්වුණා. එය උන්වහන්සේගේ දෙවැනි ධර්මාභිසමය වුනා.