අපේ බුදුහාමුදුරුවෝ 44
සිංහ රාජයෙකු වී නියත විවරණ ලබාගත් අපේ බෝසතාණෝ
පදුම බුදුහාමුදුරුවෝ 02
ප්‍රථම සන්නිපාතය
උන්වහන්සේගේ සාසනයේත් ශ්‍රාවක සන්නිපාත තුනක් ඇති වුණා. යම් දාක මනාව වැඩු ජීවිත ඇති භාවිතාන රජ බුදුපියුම් මුහුණැති පදුම බුදුන් වෙත කෙළ ලක්ෂයක් දෙනා පිරිවරා පැමිණ බණ අසා ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වූයේද ඒ සමාගමෙහි භාග්‍යවතුන් වහන්සේ පාමොක් දේශනා කළා. ඒ ප්‍රථම සන්නිපාත යයි.
දෙවැනි සන්නිපාතය
පසු කලෙක මහා පදුම මුනිවරයානෝ උසභපාගමනින් උසභවතී නුවර සමීපයේ වස් වැසූවා. නුවර වැසියන් බුදුන් දකිනු රිසි ව බුදුන් වෙත මහා ජන ගංගාවක් මෙන් පැමිණෙන්නට පටන් ගත්තා. එහිදී ඒ මහා කාරුණිකයාණෝ ඒ මිනිසුන් හට ධර්මය දේශනා කරනු ලැබුවා. එහිදී බොහෝ පහන් සිත් ඇති මිනිසුන් පැවිදි භූමියට ඇතුළත් වුණා. ඒ දසබලයාණෝ ඔවුන් ද වෙනත් තුන්ලක්ෂයක් භික්ෂූන් සමඟ විසුද්ධි පවාරණයෙන් පවාරණය කළා. ඒ දෙවැනි සන්නිපාතයයි.
ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වූ ඒ භික්ෂුන්වහන්සේලා කඨිනානිසංස අසා පෑලවියේ පස් මසක් පස් ආනිසංසයක් දෙන කඨින සිවුරක් පූජා කළා. ඉන්පසුව පසුව ඒ භික්ෂූන් වහන්සේලා ඒ කඨින සිවුර ඇතිරීම සඳහා මහා ප්‍රාඥ ධර්ම සේනාධිපති අග්‍රශ්‍රාවක සාරතෙරුන්ට ආයාචනය කොට කඨින සිවුර උන් වහන්සේ වෙතට දුන්නා. ඒ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ කඨින සිවුර පිළියෙළ කරද්දී මැසීම සඳහා භික්ෂුන් වහන්සේලා සහය වුණා. ඒ මහා අනතිමාණී ගුණයෙන් යුතු පදුම බුදුරජාණන් වහන්සේ ඉඳිකටු මලේ නූල් අමුණා දෙමින් ඒ සංඝ පිරිසට සහය වුණා. සිවුර නිමවීමෙන් පසු බුදුරජාණන් වහන්සේ තුන් ලක්ෂයක් භික්ෂූන් සමග චාරිකාවේ වැඩියා. උන් වහන්සේ ඒ මහා සංඝ සාගරයත් සමඟ වස් වැසුවේ මහ වනයක. ඒ වනය ගැන වර්ණනාවක් මෙලෙස බුද්ධවංශ අට්ඨකථාවේ තියෙනවා.
පසු කලෙක සිංහවික්‍රාන්ත ගමන් ඇති පුරුෂ සිංහයකු මෙන් බුද්ධ සිංහයන් වහන්සේ ගොසිංග සල්වනය බඳු පරමසුවඳ කුසුමින් ඵලයෙන් බරව නැමීගත් සාවෙළප ඇති නිමල නෙළුම් මානෙල් ආදියෙන් සමලංකෘත සිහිල් මීබිඳු වෑහෙන පිරුණු දියවිලින් යුත් මුවසෙමර සිංහ ව්‍යාඝ්‍ර අහස් ඇත් අස් ගව මී ආදි විවිධ මිගගණ හැසිරෙන සුවඳමල් ගඳින් බැදි හදින් බඹර මීමැසි යුවතියන්ගේ සංවරණයෙන් හාත්පස ගුමුගුමු නද ගැන්වූ පලරසින් මත් හදින් අවියත් මිහිරි හඬින් යුත් කොවුලගගනන්ගේ ගායනා ඇති පරමරමණීය යෝගානුකුල ජනයාගෙන් තොර මහා වනයෙහි වස් එළැඹි සේක යනුවෙනි.
තෙවැනි සන්නිපාතය
එහි පැමිණි ජනයා පිරිවර සමඟ වැඩ වාසය කරන දසබලයාණන් වහන්සේ දැක බණ සහ ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වුණා. ඒ කාලයේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා දෙලක්ෂයක් පිරිවරා වස් පවාරණය කරනු ලැබුවා. එය උන්වහන්සේගේ තෙවැනි සන්නිපාතය වුණා.
සිංහ රාජයෙකු වී නියත විවරණ ලබාගත් අපේ බෝසතාණෝ
වස් පවාරණයෙන් අනතුරුව ඒ පදුම බුදුරජාණන් වහන්සේ ඒ වනයෙහි ම සතියක් නිරෝධ සමාපත්තියෙන් වැඩ විසුවා. ඒ කාලය අප මහ බෝසතාණන් වහන්සේ සිංහ රාජයකු ඉපිද ඒ වනයේ ම වාසය කළා. එක් දිනයක් වනයේ ගොදුරු සොයමින් ඇවිදමින් සිටි අප මහා බෝසතානෝ පදුම බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටින ස්ථානයට පැමිණියා. උන් වහන්සේ දුටු විගසම ඒ සිංහ රාජයා හට සංසාර පුරුදු මතු වී මහා බුද්ධාලම්භන ප්‍රීතියක් ඇති වුණා . ඔහුගේ බුද්ධාලම්බන ප්‍රීතිය අත් නොහැරම සතුටු සිතින් ගොදුරු සෙවීම නතර කොට තෙවරක් සිංහනාද කොට දින හතක්ම දිවි පූජා කොට ඒ ශාස්තෘන් වහන්සේ දිහා බලමින් ඒ අසලම රැදී සිටියා. ඒ භාග්‍යවතුන් වහන්සේ සතියක් ඇවෑමෙන් නිරෝධ සමාපත්තියෙන් නැගී සිටියා . එවිට තමන් කෙරෙහි පැහැදීමෙන් එහි රැඳී සිටින සිංහයකු වූ අප මහා බෝසතාණන් වහන්සේව දැක ගන්නට ලැබුණා. උන්වහන්සේට වැඩි වෙලාවක් නොයන්නට ඇති මේ බෝසත්වරයෙක් බව දැනගැනීමට. ඒ භාග්‍යවතුන් වහන්සේ සිංහයා දෙස බලා සිටිමින් ඔහු හට සංඝයා වහන්සේලා කෙරෙහිද ප්‍රසාදය ඇති කිරීම සඳහා සංඝයා වහන්සේලා ද මෙතැනට පැමිනෙත්වා යයි සිතෙන් සිතන්නට වුනා. එවිට ඒ ලක්ෂ ගණනක් වූ ඒ රහතන් වහන්සේලා ද එතැනට වැඩම කරනු ලැබුවා. සිංහයා ද ඒ සංඝරත්නය දෙස බලා ද සිත පහදවා ගනු ලැබුවා. ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ සිත බලා මේ සිංහ තෙමේ අනාගතේ ගෝතම බුදු නමින් බුදු වන්නේ ඇයි නියත විවරණ ලබා දුන්නා.
මතු බුදු බුදුවන බුදුවරයකු ද බුද්ධත්වය ආසන්නේ දීත් එලෙස තිරිසන් කුලයක ඉපදුණා. මේ බියකරු සංසාරේ අපේ ගැන කුමන කතාද.