අපේ බුදුහාමුදුරුවෝ 398 (සන්තිකේ නිදානය)

 

බුදුවරුන්ගේ සුවිශේෂතා, සමානතා, සහ අසමානතා 02

5.ශරීර රශ්මියේ වෙනස (රස‍්මිවෙමත‍්තං)

මෙලෙස ශරීර රශ්මිය මංගල සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දසදහසක් සක්වළ පැතිර සිටියා කියලා කියනව. මේ සම්බන්ධව රසවත් තොරුතුරු මිට පෙර සුවිසිවිවරණ යටතේ ලියා තිබෙනවා. එහෙත් එයම පදුමුත්තර බුදුන්ගේ දොළොස් යොදුන් ප්‍රමාණක් පමණයි පැතුරුණේ. විපස්සී බුදුරජාණන් වහන්සේගේ පැතුරුන ප්‍රමාණය සත් යොදුනකක්. සිඛී බුදුන්ගේ තුන් යොදුන් පමණ වුණා. කකුසඳ බුදුන්ගේ දස යොදුන් පමණ විහිදුනා. එහෙත් අපේ බුදුහාමුදුරුවන්ගේ බුදුරැස් විහිදුනේ හාත්පස බඹයක් පමණයි. සෙසු බුදුවරුන්ගේ නියමයක් තිබුනේ නැහැ. උන්වහන්සේලාගේ අදහස අදහස කැමැත්ත අවශ්‍යතාව මතම පැතිරුණා. යම් බුදුකෙනෙකු යම් පමණ කැමතිද උන්වහන්සේගේ ශරීරයෙන් එපමණක් පැතිරුණා. එහෙත් එහි ගුණයෙහි වර්ණයෙහි කිසිදු වෙනසක් තිබුණේ නැහැ. . මේ රශ්මි වෙනස නම් වනවා.

6.අභිණික්මන නොහොත් ගිහිගෙය අතහැර ගිය යානයන්හි වෙනස (යානවෙමත‍්තං)

මෙහිදී උන්වහන්සේලා අභිණික්මන සඳහා උපකාරී වූ සජීවී, අජීවී වස්තුන් යානා නමින් හඳුන්වනවා. ඒ ආකාරයට බලන විට සමහර බුදුරජාණන් වහන්සේලා ඇත් යානයෙන්ද, තව සමහරක්, අස් රථ, පද පාසාද, සිවිකාදි, යන්දියෙන් නික්ම ගොස් තිබෙනවා. දීපංකර, සුමන, සුමේධ, එුස්ස, සිඛී, කෝනාගමන යන බුදුරජාණන් වහන්සේලා ඇත්යානයෙන් නික්මුණා. ඒ වගේම කොණ්ඩඤ්ඤ, පදුම, රේවත, පියදස්සී, කකුසන්‍ධ බුදුවරු නික්මුනේ රථයානයෙන්. මංගල, සුජාත, අත්‍ථදස්සී,

 තිස්ස, ගෝතම බුදුවරු අස් යානයෙන්ද, අනෝමදස්සී, සිද්ධත්‍ථ, වෙස්සභූ සිවිකාවෙද,. නාරද බුදුහු පාගමනින්ද, නික්මුනා. එහෙත් මේ සියල්ලන්ටම වෙනස්ව ආශ්චර්ය අද්භූත ලෙස සෝභිත, පදුමුත්තර, ධම්මදස්සී, කස්සප යනබුදුරජාණන් වහන්සේලා වැඩම කලේ තමන් ජීවත්ව සිටි රජ මාළිගාව පිටින්ම අහසට නැග ඒ ප්‍රාසාදයෙන්ම නික්ම ගියේ සිව්රංග සේනාව සමගයි. මේ සියල්ල මීට පෙර සුවිසිවිවරණ යටතේ විස්තර සහිතව ලියා තිබෙනවා. ඒ ගමන හරිම විචිත්‍රවත්. මේ යානා වෙනසයි.

7.බෝරුක් වෙනස (බොධිවෙමත‍්තං)

ඒ ඒ බුදුරජාණන් වහන්සේලා හට බුද්ධත්වය සඳහා පිටදුන් වෘක්ෂයන්හි වෙනස්කම් බෝරුක් වෙනස නමින් මෙහි හඳුන්වනු ලබනවා. දීපංකර බුදුන්ගේ බෝධිය ගිවුළු රුක බෝධියයි. කොණ්ඩඤ්ඤ බුදුන්ගේ සල්කලණ ගසයි. මංගල, සුමන, රේවත, සෝභිත බුදුවරුන්ගේ නාරුක බෝධියයි. අනෝමදස්සී බුදුන්ගේ බෝධිය කුඹුක්ගසයි. පදුම, නාරද බුදුවරුන්ගේ බෝධිය මහාසොණ වෘක්‍ෂයයි. පියුමතුරා බුදුන්ගේ හොරගස බෝධියයි. සුමේධ බුදුන්ගේ බෝධිය කොළොම්ගසයි. සුජාත බුදුන්ගේ බෝධිය හුණගසයි. පියදස්සී බුදුන්ගේ බෝධිය කුඹුක් ගසයි. අත්‍ථදස්සී බුදුන්ගේ බෝධිය සපුගසයි. ධම්මදස්සී බුදුන්ගේ බෝධිය කුරවක වෘක්‍ෂයයි. සිද්ධාර්ථ බුදුන්ගේ බෝධිය කිණිහිරි රුකයි. තිස්ස බුදුන්ගේ පියාගසයි. ඵුස්ස බුදුන්ගේ නෙල්ලිගසයි . විපස්සී බුදුන්ගේ පළොල් රුකයි. සිඛී බුදුන්ගේ සුදුඅඹ ගසයි. වෙස්සභූ බුදුන්ගේ සල්රුකයි. කකුසඳ බුදුන්ගේ සරස රුකයි. කෝනාගමන බුදුන්ගේ දිඹුල් රුකයි. කස්සප බුදුන්ගේ නුගරුකයි. ගෝතම බුදුන්ගේ ඇසතු රුකයි. මේ බෝරුක් වෙනසයි.

8.පර්යංක වෙනස -වජ්‍රාසනය (පල‍්ලඞ‍්කවෙමත‍්තං)

මෙහිදී පර්යංකය යනුවෙන් අදහස් කරන්නේ වජ්‍රාසනයයි. පර්යංක වෙනස නම් දීපංකර, රේවත, පියදස්සී, අත්‍ථදස්සී, ධම්මදස්සී, විපස්සී බුදුවරුන්ට

තෙපනස් රියන් (53) පර්යංක වුණා. කොණ්ඩඤ්ඤ, මංගල, නාරද, සුමේධ බුදුවරුන්ට

සත්පනස් (57) රියන් විණා. සුමන බුදුන්ට සැටරියන් පර්යංකයද,. සෝභිත, අනෝමදස්සී, පදුම, පදුමුත්තර, ඵුස්ස බුදුවරුන්ට

අටතිස්රියන් (38) ද, සුජාත බුදුන්ට දෙතිස්රියන් ද,. සිද්ධත්‍ථ, තිස්ස, වෙස්සභූ බුදුවරුන්ට සතළිස් රියන්ද,. සිඛී බුදුන්ට

දෙතිස්රියන් (32) ද,. කකුසඳ බුදුන්ට සිව්විසිරියන්ද, කෝනාගමන බුදුන්ට විසි රියන්ද, කසුප් බුදුන්ට පසළොස් (15)රියන්ද වුණා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පර්යංකය තුදුස්රියන්ක් (14) වුණා. මේ පර්යංක වෙනස නම් වනවා.

මෙලෙස පස්විසි බුදුරජාණන් වහන්සේලාගේ වෙනස්කම් අටක් ආයු වෙනස, ප්‍රමාණ වෙනස, කුල වෙනස, ප්‍රධන් වෙනස, රශ්මි වෙනස, යානා වෙනස, බෝධිවෘක්‍ෂ වෙනස, පර්යංක වෙනස යනුවෙන් බුද්ධවංශයේ වෙමත්තකථා යනුවෙන් දක්වා තිබෙනවා..

උපකාර වූ මුලාශ්‍ර –

සන්තිකෙනිදානකථා – කුදුගත් සඟිය අටුවාව – බුද්ධවංශ අටුවාව – ගොතම බුද්ධවංස වර්ණනාව

සුත‍්ත අට‍්ඨකථා – වෙමත‍්තකථා – ඛුද‍්දකනිකායො -බුද‍්ධවංස අට‍්ඨකථා – බුද‍්ධපකිණ‍්ණකකථා