අපේ බුදුහාමුදුරුවෝ 388 (සන්තිකේ නිදානය)

 

ශාක්‍ය වංශිකයින් දමනය කිරීම 03

භවාග්‍රය දක්වා විහිදුණු තථාගත දේහ රශ්මීන් සුදොවුන් රජුගේ තෙවන වන්දනාව.

මෙලෙස යමක මහා ප්‍රාතිහාර්ය පාන අවස්ථාවේ තවත් සුවිශේෂී දෙයක් වුණා. ඒ නම් සුවිශේෂී බුදුරැස් මාලාවක් උන්වහන්සේගේ දේහයේ විවිධ තැන් පාදකකොටගෙන නික්මීමයි. ඒ මෙලෙසයි.

යමක මහා ප්‍රාතිහාර්ය කරන්නා වූ, තථාගතයන් වහන්සේට, යමක මහා ප්‍රාතිහාර්ය බලයෙන්ම, උන්වහන්සේගේ දේහයේ කෙහෙ, රැවුල්, ඇස් ආදී නීල වර්ණ පැවති ස්ථානයන්ගෙන් නිල් රශ්මීහු නික්මෙන්නට වුණා. අහස් තලය අඳුන් සුණු විසුරුවන ලද්දක් මෙන්ද, නිල්පැහැති උම්මා පුෂ්ප ( දියබෙරලිය මල්) හා නිලුපුල් පෙතිවලින් වැසුණාක් මෙන්ද, සෙලවී වැටෙන මැණික් තල් නටුවක් මෙන්ද, විසුරුවන ලද මොණර ඇස් පිලෙන් තැනූ වස්ත්‍රයක් මෙන්ද දිස්වුණා.

එවෙන්ම සමෙන් ද, ඇස් වලින් ද, වැනි කහපැහැති ස්ථානයන්ගෙන් කහ රශ්මීහු නික්මෙන්නට පටන් ගත්තා. දස දිග රන්රස විසුරුවන්නාක් මෙන් රන් වස්ත්‍ර දිගහරින ලද්දාක් මෙන්ද, කොකුම් සුණු කිණිහිරි මලින් ගැවැසී ගත්තාක් මෙන්ද බබළන්නට වුණා.

මස් ලේ හා ඇස් ආදී රත් ස්ථානයන්ගෙන් ලෝහිත(රත්) රශ්මීහු නික්මුණා. දෙයාකාර වශයෙන් දිසා ප්‍රදේශ රත්සිරියල් සුණුයෙන් වර්ණගැන්වූ ආකාරයෙන්, මනාව ඉදුණු, දියකළ ලාකඩ රස ඉසින්නාක් මෙන්, රත් කම්බිලියකින් වටකළාක් මෙන්ද, දෑසමන් එරබදු වද යන මල්වලින් ගැවසී ගත්තාක් මෙන්ද, බැබළෙනවා .

අස්ථීන්ගෙන්ද, දන්තයන්ගෙන්ද, නේත්‍රයන්හි ශ්වේත වර්ණ

 (සුදු පැහැ) ස්ථානයන්ගෙන් ශ්වේත රශ්මීහු නික්මෙනවා. යමක වශයෙන් දස දිශාවන්හි රිදී පර්වත මුදුන්වලින් ඉසිනු ලබන කිරි දහරා ගැවසී ගත්තාක් මෙන්ද, දිගහරින ලද රිදී තහඩු වියනක් මෙන්ද, පතිතවන රිදී තල් නැටි මෙන්ද, කොඳ, සුදු මානෙල්, නික, සමන්, දෑසමන් ආදී මල්වලින් ගැවසී ගත්තාක් මෙන්ද බබළනවා.

අත්ල, පතුල ආදී මඳ රත් ස්ථානයන්ගෙන් මදටිය පැහැති රශ්මීහු නික්මෙනවා. යමක වශයෙන් දිසා ප්‍රදේශ පබළු දැලකින් වටකළාක් මෙන්ද, රතු කටුකරඬු විසිරවූවා මෙන්ද බබළනවා.

සියුම් රෝම නිය ආදී ප්‍රභාශ්වර ස්ථානයන්ගෙන් ප්‍රභාශ්වර රශ්මීහු නික්මෙනවා. යමක වශයෙන් දිසා ප්‍රදේශ දවහත් තරු (පහන් තාරකාව) රාශියකින් පිරුණාක් මෙන්ද විදුලි පටලයකින් පිරුණාක් මෙන්ද බබළන්නට වුණා.

මාංජ්‍යෙෂ්ඨ ප්‍රභාශ්වර වර්ණ වනාහි ඒ ඒ සිරුරු පෙදෙස්වලින් නික්මුණා. මෙසේ ඒ සවනක් රැස් නික්ම ගන මහපොළවම ආවරණය කළා.

දෙලක්‍ෂ සතළිස් දහසක් යොදුන් ගන මහපොළොව වැසීයන රන්පිඩක් මෙන් වුණා. එයින් නොනැවතී මහපොළොව බිඳගෙන යට ජලයටත් වැටුණා. පොළොව දරා සිටින්නා වූ හාරලක්‍ෂ අසූදහසක් යොදුන් ගඟ ජලය රන් කළසින් ඉසිනු ලබන ලිහිල් වූ ස්වර්ණයක් මෙන් වුණා. ජලය විනිවිද වාතය ගත්තා. නවලක්‍ෂ සැටදහසක් යොදුන් ගණන වාතය ඔසවන ලද රත්කඳන් මෙන් වුනා. වාතය විනිවිද යට අජටාකාශයටද පැන නැගුනා.

මතු භාගයෙන් උඩට ද නැගී චාතුර්මහා රාජිකයන් ගත්තේය. ඔවුන් විනිවිද තාවතිංස දෙවියන් ද එයින් යාම දෙවියන් ද එයින් තුසිත දෙවියන් ද එයින් නිම්මානරතී දෙවියන් ද එයින් පරනිම්මිත වසවත්ති දෙවියන් ද එයින් බ්‍රහ්මලෝකවාසී බ්‍රහ්මයන් ද එයින් වේහප්ඵල බ්‍රහ්මයන් ද එයින් පංච සුද්ධාවාසීන් ද විනිවිද සතර අරූපීන් කරාද පැමිණියා. ඒ සතර අරූපීන් ද විනිවිද අජටාකාසයට පන්නා.

සරසින් අනන්ත ලෝකධාතූන්ට පැන්නා. මේ තැන්වල ද චන්ද්‍රයන්ගේ චන්ද්‍රප්‍රභා නැති වුනා. සූර්යයන්ගේ සූර්යප්‍රභා නැති වුනා. තාරකා රූපයන්හි තාරකා රූප ප්‍රභා නැති වුනා. දෙවියන්ගේ, උයන් විමන කල්ප වෘක්‍ෂයන්ගේ මෙන්ම ශරීරයන්හි ආභරණයන්හි යන සියලු තන්හි ප්‍රභාවක් නැතිව ගියා. ත්‍රිසහස්‍රී, මහාසහස්‍රී ලෝකධාතුයෙහි ආලෝකය පැතිරවීමේ සමත් මහා බ්‍රහ්මයා ද සූර්යෝද්ගමනයෙහි දී කදෝපැණියකු මෙන් වුනා. චන්ද්‍ර, සූර්ය, තාරකා රූප, දේවතා, උයන්, විමාන, කප්රුක් පිරිසිඳීම් පමණක් පෙනුණා. මේ සෑම තැන බුදුරැස්ම පැතිරුණා.

රජතුමා ඒ ආශ්චර්යන් දැක මහා ප්‍රීතියෙන් මෙලෙස පවසන්නට වුණා. “ස්වාමීනි, ඔබගේ උපන් දිනයෙහි අසිත තවුසාණන්ට වැඳීම පිණිස ඔබ යොමු කළ කල්හි ඔබගේ පාද පෙරළී අවුත් බමුණාගේ හිස්මුදුනේ පිහිටියේය, මම එය දැකද, ඔබගේ පා වැන්දෙමි. මේ මගේ පළමු වන්දනයයි. වප්මඟුල් දවසේදී දඹගස් සෙවනේ සිරියහනක හුන්නා වූ ඔබ දඹගස් සෙවනේ පළඟින් සිටීමද දඹරුක් සෙවන නොවෙනස්ව සිටීමද දැක පා වැන්දෙමි. ඒ මගේ දෙවෙනි වැඳීමයි. දැන් මේ නොදුටුවිරූ ප්‍රාතිහාර්ය දැක ඔබගේ පාද වඳිමි. මේ මගේ තෙවෙනි වැඳීමයි.” රජතුමා දොහොත් නගා වැඳුම් පිදුම් කළ සැණින්ම භාග්‍යවතුන් වහන්සේට නොවැඳ සිටීමට සමත් එකම ශාක්‍යයෙක් වත් නොවුණා. ඒ මහා පෙළහරත් රජතුමාගේ වැඳීමත් ඒ සියලු ශාක්‍යයන්ගේ මාන්නය සුණු විසුණු කරනු ලැබුවා.

 

උපකාර වූ මුලාශ්‍ර

යමක ප්‍රාතිහාර්ය ඤාණ නිර්දේශ වර්ණනාව කුදුගත් සඟිය අටුවාව, පටිසම්භිදාමග්ග අටුවාව. මහා වර්‍ගය ඥාන කතා

අභිධර්ම අටුවාව – නිදානකථා ධම්මසංගණී අටුවාව ග්‍රන්ථ ආරම්හ කතා

සූත්‍ර අටුවාව – නිදාන කථා කුදුගත් සඟිය අටුවාව චරියාපිටක අටුවාව ග්‍රන්ථාරම්භ කථා