අපේ බුදුහාමුදුරුවෝ 380 (සන්තිකේ නිධානය)
කාළුදායි මහරහතන් වහන්සේගේ ආරාධනය පිළිගෙන
බුදුරජුන් සුද්ධෝදන රජු , යසෝදරාව ඇතුළු ඥාතීන් බැලීමට පැමිණීම. 01
මෙතැන් සිට ඔබ හට කියවන්නට ලැබෙන්නේ අප මහා බුදුපියාණන් වහන්සේව රජගහනුවර සිට කිඹුල්වත් පුරය දක්වා දින හැටක් තිස්සේ යොදුන් සැටක් මහා කාලුදායි තෙරුන්වහන්සේ විසින් වැඩමවාගෙන පැමිණි සුන්දර කතා වස්තුවයි .
මෙයින් කල්ප ශතසහස්‍රයකට පෙර පදුමුත්තර නම් ශාස්තෲන් වහන්සේ ලොව පහළවුනා. උන්වහන්සේ මහාභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වී සර්වඥ බවට පත්ව ‘අනෙකජාති සංසාරං’ යනාදී උදානය පවසා දින සතක් බෝමැඩ ගතකර බිම තබන්නෙමියි පය බිම තැබුවා. ඒ මොහොතේ මහපොළව පැලී මහත් වූ පද්මයක් ඉහලට පැන නැංග. එහි පත්‍රයක් රියන් අනූවක්. කෙසරු රියන් තිහක්. කර්ණිකාව දොළොස් රියනක් . කල නවයක් පමණ රේණු වුණා.
ශාස්තෲන් වහන්සේ වනාහි උසින් අටපනස් රියන් වුණා. උන්වහන්සේගේ බාහු දෙක අතර පරතරය දහඅට රියනක්. නළල රියන් පහක්. අත්පා රියන් එකොළොහක්. උන්වහන්සේගේ රියන් එකොළොසක් වූ පාදයෙන් දොළොස් රියන් කර්ණිකාව පිරිමදිනවිට කලනවයක් පමණ රේණු පනස්අට රියනක් පමණ උසට අහසට පැන නැගී ඉසින ලද මනෝසීල කුඩු මෙන් දසත පැතිරුණා. ඒ හේතුවෙන්ම ඒ භාග්‍යවතුන් වහන්සේව පදුමුත්තර ලෙස හැඳින්වූවා.
ඒ දවසේ ලෝකජ්‍යෙෂ්ඨ වූ තාදී ගුණ ඇති, ඒ මහා පිරිපුන් දේහයකින් යුතු පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මහමඟ චාරිකාවේ හැසිරෙමින් සිටියේ. ඒ මොහොතේ මහපොළව පලාගෙන පැමිණි මහා පියුමන් සුපුරුදු ලෙසම එදත් උන්වහන්සේගේ ශ්‍රී පාද පිළිගනිමින් සිටියා. මැනවින් පිපුනු පියුම් ද උපුල් ද බෝලිද්ද ද සමග කිරිබත් ද රැගෙන සුවිශේෂී කෙනෙකු උන්වහන්සේව පිළිගන්නට මහමග බලා සිටියා. ඒ තමයි වර්තමානයේ අපේ බුදුරජාණන් වහන්සේව ශුද්ධෝදන රජතුමා වෙතට වඩම්මවාගෙන ගිය කාලුදායි මහරහතන් වහන්සේ. අප සාසනයේ උදායි නමින් තෙරුන් තුන්දෙනෙකු සිටියා. ඒ ලාලුදායි, කාලුදායි, මහා උදායි යනුවෙන්. ඒත් මේ ඔබ කියවන්නේ ඒ අතරින් සිටි “කුලයන් පහදවන්නවුන් අතරින් අග්‍රස්ථානය ලැබූ කාලුදායි මහරහතන් වහන්සේ ගැනයි.
මහාවීර වූ පදුමුත්තර බුදුරජාණෝ එදා ඒ භෝජනය වැළඳූවා. මල් රැගෙන පැමිණි මහජනයාට එකල කාලුදායි උපාසක තුමාව පෙන්වා උන්වහන්සේ මෙහෙම කතාවක් කීවා.
“ලොව ඉෂ්ට වූ මනවඩන ප්‍රිය වූ උතුම් ජලජ පුෂ්පයෝ වෙති. ඒ මලින් මා පිදූ මෙතෙමේ ඉතා අමාරු කටයුත්තක් කළේය.
මාහට මල් පිදූ, උතුම් ආහාර පිදූ මොහු අනාගතයේ කවරෙකු වන්නේ දැයි පවසමි. ඒ මාගේ වචනය සාවධානව අසවු.
මෙතෙම මේ පිනෙන්ම දහඅට වරක් දෙව්රජව උපදින්නේ ය. ඔහුගේ පුණ්‍ය විපාකයෙන් දිව්‍යමය සුවඳින් යුතු උපුල්, පියුම්, බෝලිද්ද ආදී මල් අහසේ වියනක් මෙන් සිටින්නේය.
සක්විති රජව විසිපස්වරක් උපදින මෙතෙම පෘථිවි රාජ්‍යය පන්සිය වරක් දරන්නේය.
මීට කල්ප ලක්‍ෂයකට පසුව ඔක්කාක කුලයේ ගෞතම නම් ශාස්තෲහු ලොව පහළ වෙති.
කුශල මූලයෙන් මෙහෙයූ සතුටු සිතැති මෙතෙම ශාක්‍යයන්ගේ සතුට ඇති කරන ඥාතියෙක් වන්නේය.
පසුව පැවිදිව ආශ්‍රව ප්‍රහීණ කරන මෙතෙමේ පිරිනිවන් පාන්නේය.
ලෝකබන්‍ධු වූ ගෞතම බුදුරජාණන් වහන්සේ සිවුපිළිසිඹියා පත් වූ, කොටැ නිමැවූ කටයුතු ඇතිවූ, ආශ්‍රව රහිත වූ මෙතෙම
කුලයන් පහදවන්නවුන් අතරින් අග්‍රස්ථානයේ පිහිටුවන සේක.
මෙලෙස විවිරණ ලැබූ උන්වහන්සේ දිවි ඇතිතෙක් කුසල්කොට දෙවි මිනිසුන් අතර සැරිසරමින් පැමිණ අපගේ බෝධිසත්ත්වයන් වහන්සේ මවගේ කුසෙහි පිළිසිඳගන්නා දවසෙහි, ඔහුද කපිලවස්තු නගරයෙහි ම ඇමතියකුගේ ගෙහි පිළිසිඳ ගත්තේ ඒ ප්‍රාර්ථනය ඉෂ්ඨ කරගැනීමට. උන්වහන්සේ උපන්නේත් බෝධිසත්ත්වයන් වහන්සේ මෙලොව පහලවූ දිනයෙමයි. ඒ තරමටම ඔහුගේ උපතත් මේ බුද්ධ ශාසනයට වැදගත් එකක් වුණා. එදවස ම ඔහු දුහුල් සුඹුළුවෙක හොවා බෝධිසත්ත්වයන් වහන්සේ ළඟට ගෙන ආවා. බෝධිසත්ත්වයන් වහන්සේ සමග බෝරුක, රාහුල මාතාව, සතරමහා නිධාන, කන්ථක, ආනන්ද, ඡන්න, කාලුදායි යන මේ සත එක් දවසෙක උපන් බැවින් සහජාත නම් වුනා. ඉන්පසු ඔහුට නම් තබන දවසෙහි සියලු නගරයෙහි ඔදවැඩුණු සිත් ඇති දවසෙහි උපන් බැවින් උදායී යනුවෙන්ම නම් ලැබුවා. මදක් කාලවර්ණ ස්වභාවය ඇති බැවින් කාලුදායී යනුවෙන් හඳුන්වනු ලැබුවා. . ඔහු බෝධිසත්ත්වයන් සමග කුමර කෙළි කෙළින්නේ වැඩිවිය පත්විය. ඔහු මෙලෙස රාජකීය පවුල අතරත් නෑයන් අතරත් පමණක් නෙවෙයි බෝධිසත්වයන් වහන්සේගේද සිත තදින්ම දිනාගත්තා. දැන් ඔබට තේරෙන්නට ඕනේ මේ බුදුසසුනේ සියලූම සුවිශේෂී කාරනා අහඹු ලෙස සිදු නොවූ බව. පාපතර පුද්ගලයන් මුසු නොවූ බව. ඔවුන් ඒ ඒ කටයුතු සඳහාම කල්ප ලක්ෂ ගණනින් පෙරුම් පුරමින් කණ්ඩායමක් ලෙස පැමිණි මහා සත්පුරුෂයින්.
උපකාර වූ මූලාශ්‍ර
සූත්‍ර අටුවාව – සන්තිකෙ නිදානකථා කුදුගත් සඟිය අටුවාව අපදාන අටුවාව ග්‍රන්ථාරම්භ කථා
සූත්‍ර අටුවාව – සම්පසාදනිය සූත්‍ර වර්ණනාව දික් සඟිය අටුවාව පාථීක වර්ගය අටුවාව
සූත්‍ර අටුවාව -. කාළුදායි ථේර අපදාන වර්ණනාව කුදුගත් සඟිය අටුවාව අපදාන අටුවාව ථේර අපදාන 4. කුණ්ඩධාන වර්‍ගය
සූත්‍ර අටුවාව – අවිදූරෙනිදානකථා කුදුගත් සඟිය අටුවාව අපදාන අටුවාව ග්‍රන්ථාරම්භ කථා