අපේ බුදුහාමුදුරුවෝ 377 (සන්තිකේ නිධානය)
ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත්
මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු. 13
තෙරුන් වහන්සේ මුලින් ම ගමන් කරමින් පසුපස හැරී බලා මෙසේ සිතුව. “මේ භද්‍රකාපිලානිය, මුළු දඹදිවට ම අගනා ස්ත්‍රියක් . ඇය මා පසුපස පැමිණීම සුදුසු දෙයක් නොවේ. ඇතමෙක් මෙසේ සිතීමටද පුළුවන් . ඒ “මේ දෙදෙනා පැවිදි වූවත් වෙන්වීමට නොහැකිව නුසුදුසු හැසිරීමක් කරති” යනුවෙන්. ඇතැම්හු මනස දූෂණය කරගෙන ආපාගාමී වෙන්නටත් පුළුවන්. මැය අත්හැර මම තනිව ම යාම සුදුසුය”
ඉදිරියෙන්ම වැඩමකරන තෙරණුවෝ දෙමං සන්ධියකට පැමිණ ඒ මැද නැවතුන. භද්‍රාවද පසුපසින් පැමිණ, උන්වහන්සේට වැඳ පසෙකින් සිටියා. ඉක්බිති ඇයට “භද්‍රාවනි! නුඹ වැනි ස්ත්‍රියක් මා පසුපස එනු දැක, මේ දෙදෙන පැවිදි වුවත් වෙන්වීමට නොහැක්කෝ වෙති” සිතා අප කෙරේ සිත් දූෂිත කරගෙන මහජනයා අපාය පුරවන්නෝ වෙති. මේ පාරවල් දෙකකි. එකකින් ඔබ යනු මැනවි. අනිකින් මම යමියි පැවසූවා. භද්‍රාවද “ආර්ය පුත්‍රය! එසේය. පැවිද්දන්ට ස්ත්‍රියනම් කිලුටකි. පැවිදිවීත් වෙන් නොවෙති”යි ජනයා අපගේ දොස් දකිති. නුඹවහසේ එක් පාරක යන්න. දැන් අපි වෙන්වෙමු”යි තෙවරක්ම පැදකුණු කොට, සිවුතැනක හිඳ පසඟ පිහිටුවා වැඳ, තෙරුන්ගේ දසනිය එක්වී බබලන ඇඟිලි සහිත පාදෙක අල්ලාගෙන මෙසේ පවසන්නට් වුණා
“කල්ප ලක්‍ෂයක් පමණ වූ දීර්ඝ සංසාරයේ කරන ලද මිත්‍ර කථාබස් ඇති අපගේ සබඳතාව, අදින් පසු බිඳී යයි. නුඹවහන්සේ ‘දක්ඛිණ ජාතික’ නම් වේ. එනිසා නුඹ දකුණු දෙස පාරෙන් යනු මැනවි. මා මාතුගාම නම් වේ. මාහට වම්පස මාර්ගය සුදුසුය”යි මෙසේ පවසා වම් පැත්තෙහි මාර්ගයට බැස ගමන් ආරම්භ කළා. ඔවුන්ගේ වෙන්වන වේලාවෙහිදී මේ මහපොළව, “මම සක්වල ගල, මහමෙර ආදිය දරාසිටීමට සමත් වුවත් නුඹලාගේ ගුණමහිමය දරාගැනීමට නොහැකෙමි”යි පවසන්නාක් මෙන් මහහඬින් කම්පා වුණා. අහස හෙන හඬ දෙමින් සුලං හැමුවා. සක්වල පර්වතය ද මහත් නාද පවත්වන්නට වුණා.
උපකාර වූ මුලාශ්‍ර
චීවර සූත්‍ර වර්ණනාව