අපේ බුදුහාමුදුරුවෝ 374 (සන්තිකේ නිධානය)
ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත්
මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු. 10
සාම ජාතකයෙහි බෝසතාණන් වහන්සේගේ මව වූ භද්දකාපිලානි කුමරිය මෙකල මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ ගිහි බිරිඳ ලෙස අභිසේක ලැබීම.
මේ දීර්ඝ විස්තරයක් ලෙස ඔබ හමුවේ තබන්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සහ ඔහුගේ ගිහිකල බිරිඳ බුදුරජාණන් වහන්සේ හමුවීමට සංසාරය පුරා කුසල් වඩමින් පැමිණි ආකාරයයි. ඒ විතරක් නොව අප සැම කුඩාකල දහම්පාසලේ ඉගෙනගත් සාම ජාතකයෙහි සාමකුමරුගේ පියාණන් වුයේ ද මහා කස්සප තෙරණුවෝයි. මව භද්දකාපිලානි තෙරණියයි. එවන් පින්වත් ආදරණීය යුවලකගේ මේ අවසාන ආත්මභාවයයි.
නන්ද රජතුමා සහ ඔහුගේ බිරිඳ අපේ බුදුහාමුදුරුවෝ ලොව පහළවනතෙක් මෙසේ දීර්ඝකාලයක් බඹලොව වැඩ වාසය කරනු ලැබුවා. අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහල වී උතුම්දම්සක් දේශනා පවත්වා පිළිවෙලින් රජගහනුවරට වැඩම කොට වේළුවනාරාමයෙහි වැඩවෙසෙන කාලයෙහි; “පිප්ඵලී” නමින් මගධරට මහාතිත්ථ බමුණුගම කපිල බමුණාගේ භාර්යාවගේ කුස ද “භද්දකාපිලානි” නමින් මදුරට සාගල නම් නුවර කෝසියගොත්ත බමුණුගේ භාර්යා කුස පිළිසිඳගෙන වැඩිවියට පත්වසිටියා. පිප්ඵලී කුමරුට විසි හවුරුද්දක් හා කාපිලානියට දාසය හවුරුද්දක් වූ කාලයෙහි, පිප්ඵලි කුමරුගේ දෙමාපියෝ “පුත! නුඹ නිසි වයසට පත්වූයෙහිය. කුලවංසය පිහිටුවීමට කටයුතු කරව!”යි කියා සිටියා පමණක් නෙවෙයි අතිශයින් කරදර කළා. තරුණයා, “මගේ කණට ඇසෙන සේ මෙබඳු අමිහිරි කථා නො පවසන්න. නුඹ දෙදෙනා ජීවත්වන තෙක් මම මනාව සළකන්නෙමි. ඉන්පසු ගිහිගේ හැර පැවිදි වෙමි”යි ඒ කී සෑම වතාවකම පිළිතුරු දුන්නා. එහෙත් දෙමාපියෝ දින කිහිපයකට පසුව නැවත නැවතත් ඇවිටිලි කරනු ලැබුවා. ඔහුද පෙරසේම එය ප්‍රතිකේෂ්ප කළා. නැවත නැවත කියූවත් යලි යලිත් ප්‍රතිකේෂ්ප වුණා. ඉන්පසු මව නිතරම ඒ පිළිබඳව ගතු කීමට පටන් ගත්ත.
මෑණියන්ගේ පැරත්තය ඉවසීමට බරිතැනම ඔහු මෙය මගහැරීමට උපායක් කල්පනා කෙරුවා. තරුණයා, “මගේ මවුට මෙය අවබෝධ කරවමි”යි, කියා රන්කරුවෙකුට රන් ආලේපිත කහවනු දහසක් දී රනින් අති සුන්දර ස්ත්‍රී රූපයක් නිමැවීමට අනකරනු ලැබුවා. එහි සියලු කටයුතු නිමවූ පසු රතු වස්ත්‍රයක් හන්දවා වර්ණවත් මලින් ද නානාවිධ වූ අලංකාරයගෙන්ද සරසවා, මවු කැඳවා “මෑණියනි! මෙබඳු කාන්තාවක් ලැබේ නම් ඇය හා විවාහ වී ගෙයි වසමි. නොලැබේ නම් පැවිදි වෙමි” යි කියා සිටියා.
ඒ වෙලාවේ නුවණැති බැමිණිය ඒ පිළිබඳව සිතුවේ පුතා බලාපොරොත්තු නොවුණු විදිහට. ඇය මෙහෙම සිතුවා. “මගේ පුතා පින්වතෙක්. දුන් දානවලිනුත්, කරන ලද ප්‍රාර්ථනා වලිනුත් පින්දහම් කරන ලද්දේ තනිවම වෙන්නට ව්දිහක් නැහැ. ඒකාන්තයෙන් මොහු සමග පින්කළ තවත් තැනැත්තියක් සිටිය යුතු වනවා වගේම ඒ තැනැත්තිය රන්රුවක් හා සමාන විය යුතුමය.” ඇය වහාම බමුණන් අටදෙනෙකු කැඳවා ඔවුන් රිසිසේ සන්තෝෂ කරවා, රන්රුව රථයකට නංවා, “යමු! දරුවනි! යම්තැනක අපට ජාති ගෝත්‍රාදියෙන් සමාන පවුලක මෙබඳු දැරියක් ඇතිනම් සොයමු. එසේ සොයාගතහොත් මේ රන් රුවම නුඹලාට ත්‍යාගයක් කොට දෙමි”යි කියා ඔවුන්ව කුමරියක් සෙවීමෙහි යෙදවූවාය.
ඔවුන් “අප දැන් කොතැනක යමුද?” යනුවෙන් සාකච්ඡා කරනවිට , “මදුරට නම් ස්ත්‍රීන්ට ආකරයකි. එහි යමු”යි මදුරට සාගල නුවර වෙත පියමැන්නා. එහි ගොස් එක් නානතොටක රන්රුව තබා ඔවුන් සැගවී සිටියා. . එවිට කාපිලානියගේ කිරිමව, ඇය නහවා සරසා ශ්‍රී යහන් ගබඩාවේ නිදිකරවා, තමා දිය නෑමට එන අතරේ මේ රුව දුටුවා. ඇය ඒ රුවට රැවටී “ආර්යදුව, මා පසුපස මෙහි නැවත පැමිණියා විය යුතුයැ”යි යන සිතෙන්, ඒ පිළිරුවට තර්ජනය කරන්නට වුණා “අකීකරු තැනැත්තිය! නුඹ මෙහි කුමට ආවෙහිද?”යි ගැසීමට අත ඔසවා “වහා ගෙදර යව!”යි වැරෙන් කම්මුලට පාරක් ගැසුවා. ඇගේ අත ගලක ගැසුවාක් මෙන් කම්පා වුනා. පුදුම වූ ඈ මදක් විමසිල්ලෙන් බලනවිට මහත් වූ ගෙල දැක “මෙය ආර්ය දුවයැ”යි මට සිතුණු නමුත් මෙහි මගේ ආර්ය දුවගේ යැයි පැවසීමට තරම් සුදුසු වස්ත්‍රයක් වත් නැතැයි කියා සිටියා.
අවට සැඟවී සිටි බමුණෝ රැස්වී ඇය පිරිවරාගෙන “මේ රුව නුඹගේ ස්වාමිදුව වැනිද?”යි අසා සිටියා. . එවිට කිරිමව, “මේ කිමිද? මීට වඩා සියදහස් ගුණයකින් මගේ ආර්ය දුව ශෝභාමත් වන්නීය. රූප සම්පන්නය. දොළොස්රියන් ගැබෙක හුන්නී පහන් නොදල්වාම සිය සිරුරේ ශෝභාවෙන් අඳුර දුරු කරන්නීය”යි කියා සිටියා. . “එසේනම් ඒ නිවසට යමු” යි පුදපූජා ගෙන රන්රුව ද රථයට නංවාගෙන, කෝසිය ගොන්තගේ ගෙදරට ගොස් ද්වාරයේ සිට පැමිණි බව දන්වා සිටියා.
බමුණා පිළිසඳර කථාකර, “කොහි සිට ආවෙහිද?” ඇසුව. “මගධරට මහාතිත්ථ ගමෙහි කපිල බමුණාගේ ගෙදර සිටයැ”යි ඔවුන් පිළිතුරු දුන්නා. . “කුමක් නිසා මෙහි ආවෙහිද?” “මෙනම් කරුණක් නිසායැ”යි කාරණය පැමිණි කාරණය පැහැදිළි කරනු ලැබුවා. “දරුවනි! යහපති. සම වූ ජාති ගෝත්‍ර සම්පත් ඇති අපි බමුණෝ වෙමු. දැරිය දෙන්නෙමි”යි ඔවුන් ත්‍යාගය පිළිගත්තා. .
උපකාර වූ මුලාශ්‍ර
චීවර සූත්‍ර වර්ණනාව
සංයුත්ත නිකාය අටුවාව නිදාන වර්ගය – අටුවාව 4. කස්සප සංයුක්තය1. කස්සප වර්ගය
සාම ජාතකය