අපේ බුදුහාමුදුරුවෝ 371 (සන්තිකේ නිධානය)
ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත්
මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු. 07
ඒක සාටක බුමුණා වශයෙන් තමන්ට හිමි එකම සළුව දන්දීමෙහි කුසල විපාකයෙන් රාජ්‍යයකට දුහුල් සළු ලැබීම.
ඔවුන් දෙදෙනා එලෙස බොහෝ කලක් සැපවත්ව ජීවත්ව එයින් නික්ම ස්වර්‍ගයෙහි ඉපිද එයින් චුතව බරණැසින් යොදුනක් පමණවූ තැනක එක්තරා ඇමතිකුලයක උපන්නා. සිටු කන්‍යාවද දෙව්ලොවින් චුතවී රජකුලයෙහි දෙටු දියණියව උපන්නා. එකට සංසාරයේ යන අය එහෙමයි. එකිනෙකා පසුපසින් ම අත්වැල් බැඳගෙන යනවා.
ඔවුන් ක්‍රමක්‍රමයෙන් වියපත් වුණා. ඒ කාලයේම හදිසියේ රජතුමාද මියගියා. ඒ කාලයේ කුමරා වසන ගමෙහි නැකැත් කෙලියක් ප්‍රකාශවුණා. සමහරවිට අලුත් රජකෙනෙකුව තෝරාගන්න වෙන්නට ඇති. එයට හේතුව වුනේ රජතුමාට දුවෙකු මිස පුතෙකු නොසිටීමයි. නැකැත් කෙලි සදහා සහභාගී වූවන් තමන් සතු මිළෙන් අධික ඉහලම වටිනා සළුවක් පැළඳගෙන තමයි ඒ සඳහා සහභාගී වුනේ කියල මෙම ඉතිහාස කතා කියවනවිට දකින්නට ලැබෙන සුලභ දසුනක්. ඉතින් ඔහු මෑණියන්ට මෙහෙම කිවා, ‘මෑණියනි, මට සළුවක් දෙන්න. නැකත් කෙළියට යන්න. ඇය සේදූ පිරිසිදු වස්ත්‍රයක් ඔහුට ගෙනවුත් දුන්නා. ‘මෑණියනි, මෙය රළුය’යි පුතා කියා සිටියා. යා වෙනෙකක් ගෙනවුත් දුන්නා. ඔහු එයද ප්‍රතික්‍ෂ්ප කළා. අම්ම දුන්නේ ඒ තමන් සතුව තිබුන හොදම සළුව. එහෙත් ඔහු එයින් සතුටට පත්වුණේ නැහැ. ඉන්පස්සේ මව ඔහුට, ‘දරුව යම්බදු ගෙයක අපි උපන්නාහු වෙම්ද එහි මීට වඩා මුදුමොළොක්වූ වස්ත්‍රයක් ලැබීමට අපට පිණක් නැතැ’යි යනුවෙන් කියා සිටියා. ‘මෑණියන් එසේනම් මම ලබන තැනකට යන්නෙමි” ඔහුත් කියා සිටියා. දැන් ඔහු යන්නට සැරසෙනවා. අසරණ අම්මා ඔහුට හදපත්ලෙන්ම ආශීර්වාදයක් කළා. පුත මම අද ඔබට බරණැස් නුවරෙහි රාජ්‍යප්‍රතිලාභය කැමති වෙමි’. කොයි අම්මාද ආසා නැත්තේ තමන්ගේ පුතා රජවෙනවා බලන්නට. ඔහු මවට වැඳ ‘මෑණියනි, යමි’යි කියා සිටියා. ‘දරුව යව’යි ඇයද අවසර දුන්නා. එහෙත් ඇයට මෙහෙමත් සිතුනා. මෙයා කොහි යන්නද සළුවකුත් නැතිව., ගෙදර හෝ ඒ අවටට වෙලා ඉඳලා ඒවි. එහෙත් ඔහුගේ අතීත පින්කම්වල බලය මෙහෙයවීමෙන්ම ගෙයින් නික්මුණු ඔහු බරණැසට ගොස් එහි උයනෙහි මඟුල්ගල් තලාවෙහි හිසසිට පොරවා සැතපිලා සිටියේ සළුවක් නැතිව කළහැකි දෙයක් නොමැතිව. එදා හරියටම බරණැස රජුගේ කළුරිය කිරීමෙන් සත්වැනි දිනයයි. අම්මා සමහරවිට අර ඉහතින් කියූ ආශීර්වාදය කරන්නට ඇත්තෙත් ඒ නිසාම විය හැකියි.
ඇමැතිවරුත් ඉතාමත් ගෞරවාන්විතව රතුමාගේ අදාහන කටයුතු රාජකීය ගෞරව සහිතව අවසන් කළා. දැන් විශාල ප්‍රශ්නයක්. ‘රජුට එක් දියනියක් පමණක්නේ සිටියේ ඉතින් රජකම ගන්න රාජ්කුමාරයෙක් නැති අඩුව මතු වුණා. රජකුනැති රාජයය නොමනායි. කවරෙක් රජ වන්නේද ඔබ වේවා! ඔබ වේවායි සාකච්ඡා කළා. එහෙත් සුදුස්සෙක් සොයාගන්නට බැරි වුනා. බොහෝ කල් බලාසිටීමත් නොවටීයි. එය රජ්‍යයකට අනතුරු දායකයි. රජතුමෙකු සොයාගැනීමට අපි රාජරථය පිටත් කර හරින්නෙමු’යි පුරෝහිත තුමා පැවසුවා. ඔවුන් කුමුදු පැහැති අසුන් සිවු දෙනකු යොදවා පඤ්චවිධරාජකකුධභාණ්ඩද සේසතද රථයෙහිම තබා රථය පිටත් කොට පිටුපසින් තුර්‍ය්‍යභාණ්ඩ වාදනය කරමින් ගමන් කළා. රථය නැගෙනහිර දොරින් නික්ම උයනට අභිමුඛ වූණා. ‘යම් කෙනෙක් උයනට අභිමුඛව නිදනවා. නවත්වමු’යි ඇතමෙක් කීවා . පුරෝහිත තෙමේ ‘නොනවත්වමු’යි අණ කළා. එහෙත් රථය කුමරුවා පැදකුණු කොට නංවාගැනීමට සුදාණමින් සිටිය. සෙලවුනේ නැහැ. පුරෝහිත තුමාට ඒ නිසාම ඔහුව පරික්ෂා කිරීමට සිදු වුණා. කවුද මේ? පොරෝණයෙහි කොණ මෑත් කොට පාදතලයන් බලනවිට මේ දිවයින පමණක් නෙවෙයි මෙවැනි දෙදහසක් දිවයින් පිරිවර කොට ඇති සතර දිවයිනම ඒකරාජ්‍යය කිරීමට සුදුස්සෙක් මොහු කියා දේහලක්ෂණ වලින් පෙනී ගියා. හරිම සතුටුයි. පුරෝහිතයාගේ අනින් යළිදු තූර්‍ය්‍ය භාණ්ඩ වාදනය කෙරෙන්නට වුනා. තෙවරක් තූර්‍ය්‍යභාණ්ඩ මෙලෙස වාදනය කෙරුනේ අදහස සඵල වුනු බව අන් අයට දන්වන්නට වෙන්නට ඇති.
මේ සද්දෙට කුමරුවා මුහුණ විවෘත කොට බලා “දරුවනි කුමන කටයුත්තකින් පැමිණියහුදැයි අසා සිටියා. ‘දේවයන් වහන්ස, නුඹට රාජ්‍යය පැමිණෙයි’ ඔවුන් පැවසුවා. රජු කොහිද? ඔහු ඇසුවා. ‘දේවත්වයට ගියේයෙ’යි ඔවුන් පවසා සිටියා. ‘දින කීයක් ඉක්මුණේද?’ ‘අද සත්වැනි දිනයයි.’ ‘පුතෙක් හෝ දුවක් හෝ නැද්ද?’ ‘දේවයිනි, දියණියක් ඇත. පුතෙක් නැත.’ ‘රජ්‍යය කරමි’යි ඔහු කිවා. ඔවුන් එකෙණෙහිම අභිෂේක මණ්ඩපයක් කරවා රාජ දියණිය සියලු අලංකාරණයන්ගෙන් සරසවා උයනට පමුණුවා කුමරුවාට අභිෂේක කරනු ලැබුවා.
ඉන්පස්සේ රාජ පුරෝහිතයා විසින් අබිසෙස් කරනලද ඔහුට දහසක් වටිනා සිනිදු රාජකීය වස්ත්‍රයක් පිළිගැන්නුවා. ඒත් ඔහුටනම් එය රාජකියත්වයෙන් දැනුනේ නැහැ. කොටින්ම කියතොත් අම්මා දුන් සළුවයි එයයි අතර වෙනසක් නැතිවා වාගෙයි.
ඔහු එවිට දරුවනි, මේ කිමෙක්දැයි අසා සිටියා. ‘දෙවයන් වහන්ස, හඳිනා වස්ත්‍රයකැ’යි ඔවුන් පිළිතුරු දුන්නා. ‘දරුවනි, රළු නොවේද? වෙනත් වඩා සියම් වූවක් නැද්ද’යි ඔහු ඇසුවා. මිනිසුන් පරිභෝගකරන වස්ත්‍ර අතුරෙහි මීට වඩා සියුම් වූවක් නැතැයි ඔවුන් පවසා සිටියා. ‘නුඹලාගේ රජතුමා මෙබඳුවූ වස්ත්‍රයක් හැන්දේද?’ ‘එසේය, දේවයිනි’, ‘නුඹලාගේ රජතුමා පින් ඇත්තෙකැයි නොහඟිමි’යි රන් කෙණ්ඩිය ගෙනෙවු, වස්ත්‍රයක් ලබමු’යි ඔහු කියා සිටියා.
ඔවුන් රන් කෙණ්ඩිය ගෙන ආවා. හෙතෙම නැඟිට අත් දොවා මුවසෝදා අතින් දිය ගෙන පෙරදිගෙහි විසිරවනු ලැබුවා. ක්ෂණයකින් ඝනපොළොව බිඳී කප්රුක් අටක් පැන නැංඟ. යළි දිය ගෙන දකුණය, අපරදිගය, උතුරය යනමෙසේ සතර දිගෙහි දිය විසිරවනු ලැබුවා. සියලු දිශාවන්හි අට අට බැගින් කප්රුක් තිස්දෙකක් පැන නැගී සිටියා. ඔබ දන්නවා කප්රුක කියන්නේ සිතු පැතූ සම්පත් ලබාදෙන දිව්‍යමය රුකක් බව. ඔහු පළමුව එයින් එක් දිව්‍යමය එක් දිව්‍ය වස්ත්‍රයක් හැඳ එකක් පොරවා මින් ඉදිරියට ‘නන්‍ද රජුගේ රාජ්‍යයෙහි නූල් කටින ස්ත්‍රීහු නූල් නොකටිත්වායි” මෙසේ බෙර හසුරුවයි කියා ඡත්‍රය ඔසවා අලංකාරයෙන් සරසන ලද ඇතුපිටට නැග නුවරට පිවිසියා.ඒක සාටක බුමුණා වශයෙන් තමන්ට හිමි එකම සළුව දන්දීමෙහි කුසල විපාකය නැවත නැවතත් සසරෙහි මෙලෙස ඵල ගැනුණා. රාජමාලිගයට සපැත්වුන ඔහු මහා සැප සම්පත් විදිමින් රජකම් කරනු ලැබුවා. අකුසල විපාක වගේම පුන්‍යවිපාකත් සසරේ පසුපස හඹා එමින් ඵල දෙන්නේ ඔන්න ඔහොමයි.
උපකාර වූ මුලාශ්‍ර
මහාකාශ්‍යප තෙරණුවෝ අඞ්ගුත්තර නිකාය එතදග්ග පාළිය පළමුවෙනි වර්‍ගය
මහාකස්සප ස්ථවිරගාථා වර්ණනාව කුදුගත් සඟිය අටුවාවෙහි ථේරගාථා අටුවාව චත්තාලීසනිපාතය