අපේ බුදුහාමුදුරුවෝ 369 (සන්තිකේ නිධානය)

 

ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබදව ඔබ නොදත් කරුණු. 05

පසේ බුදුවරයකුගේ පාත්‍රයට මඩ පුරවාදුන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පූර්ව ආත්මභාවයේ බිරිඳ

මෙම සංසාරය කොතරම් දිර්ඝද? අනතුරුදායකද? කියල මේ කතාව කියවනවිට හිතෙනවා. මෙතරම් දීර්ඝ අතීත කතාපුවතක් මම මීටපෙර කියවලා නැහැ. මේ තවමත් ලියන්නේ අපේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ අතීත කතා පුවත්. ඒත් මෙය වෙනස් කතා පුවතක්.

උන්වහන්සේ නැවතත් පෙර පරිදිම කල්ප ගණනක් දෙව්ලොව වල සැරි සරලා මේ මහා භද්‍ර කල්පයේ කොණාගමන භාග්‍යවතුන් වහන්සේගේ ද කාශ්‍යප දශබලයන් වහන්සේගේ ද යන බුදුවරුන් දෙනොගේ අතර කාලයෙහි බරණැස කෙළෙඹි ගෙයක උපන්නා. මේ සිද්ධිය වෙන කාලයේ ඔහු වැඩිවියට පැමිණ ගිහිගෙයි වාසයකරමින් සිටියේ. එක් දිනයක ඔහු යම් හේතුවක් මත කැලයේ සැරිසරන්නට වුනා. ඒ කාලයේ ඒ වනාන්තරය මැදින් ගලාගිය නදීතෙර ඇසුරු කරමින් පසේබුදුවරු වැඩවාසය කළා. සමහරක් අයට වාසනාව කොයි මොහොතේ හෝ මතුවන්නේ ඔවුන්ගේ පෙර කුසලයටම වෙන්න ඇති. ඔවුන් එය ඉක්මනින්ම හිමිකරගන්නටත් පසුබට වෙන්නේ නැහැ. එත් සමහර අවාසනාවන්තයින් අන්ධයිනට මුණගැසුන මැණික් වගේ අතටම ලැබුනත් ඒ වාසනාව අහිමි කර ගන්නවා. එදා ඔහු ඒ නදීතෙරෙ සැරිසරද්දී එක් පසේබුදුවරයන් වහන්සේ නමක් දිරාගිය චීවරයක් පිළිසකර කරමින් සිටියේ. ඒත් එය නිමාකරගන්න තව රෙදිකඩක් අවශ්‍යයි. එහෙත් උන්වහන්සේ සන්තකයේ වෙන කිසිම දෙයක් තිබුනේ නැති නිසා එය හකුළා තබන්නට සිද්ධවුණා. ඒ මොහොතේ තමයි ඒ පින්වත් පුරුෂයා එතැන අසලින් යන්නට වුනේ. එහෙත් ඔහු එය දැක්කා. ඔහු මෙසේ ප්‍රශ්න කොට සිටියා. ‘ස්වාමීනි කුමක් නිසා ඔබගේ චීවරය හකුළා තබන්නහුද’? . නුවා පටිය නොපොහෝනේයයි උන්වහන්සේ සැළකොට සිටියා. ඔහු ක්ෂණිකව ම “ස්වාමීනි මෙයින් කරන්නැ’යි තමන්ගේ සළුව දී මෙහෙම ප්‍රාර්ථනයක් කරනු ලැබුවා.”උපනුපන්තන්හි මට කිසිදු පරිහානියක් නොවේවා” යනු ඒ ප්‍රාර්‍ත්‍ථනයයි.

ඒ කතාව එතැනින් නිම වන්නේ නැහැ. ඒ වනවිට ඔහු විවාහ ජිවිතයට ඇතුළු වෙලා සිටියේ. පතාගෙන පැමිණි බිරිඳ නැවතත් හමුවෙලා. මොනයම් හෝ හේතුවකට ඔහුගේ ගෙදරම ඔවුන් සමග ඔහුගේ සහෝදරියත් ජිවත් වුණා . ඔහුගේ බිරිඳ සහ නෑනා අතර ලොකු සමගියක් තිබුනේ නැහැ. ඒ නිසා නිතරම නෑනලා දෙදෙනා කෝළාහල හටගත්තා. එක් දවසක් එවැනිම කෝලාහලයක්. ඔහුගේ ගෙදර සහෝදරිය සමග තම භාර්යාව කෝලාහල කරන වෙලාවක පසේබුදුවරයෙක් පිණ්ඩපාතයේ වැඩිය.

සහෝදරියත් ත්‍රිවිධ රත්නයට ඉතාමත් භක්තිමත් කාන්තාවක්. ඇය බහින්බස්වීම පසෙකලා ලහි ලහියේ පසේබුදුහිමියන්ට පිණ්ඩපාතය පිළිගන්න වුණා. අවසානයේ තම නෑනා වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පූර්ව ආත්මභාවයේ භාර්යාව කෙරෙහි ගැන සිතා “මෙබඳු බාලයකු යොදුන් සියයකින් අත්හල යුතුයි” කියා ප්‍රාර්ථනා කළාය. ඇයත් හිටියේ ඒ ආසන්නයේ නිසා ගෙමිදුලේ සිට මෙය අසා ‘මැය දුන් දානය වළඳන්න එපා’ කියා පාත්‍රය ගෙන පිණ්ඩපාතය ඉවත දමා එහි මඩ පුරවා දුන්නා. බලන්න අධික කෝපය මිනිසුන්ව විකෘති කරන හැටි. අනිත් තැනැත්තිය එය බලා සිට බාල තැනැත්තිය, “නුඹ මට පමණක් බනින්න. පහරදෙන්න. මෙබඳු වූ අසංඛ්‍යයක් පාරමිතා පුරා ආ උතුමන්ගේ බත් ඉවතදමා එහි මඩ දැමීම යෝග්‍ය නොවේ” යැයි කියා සිටියා. එවිට තමයි ඇයට සිහි එළඹුණේ. ඇයට මහත් වූ සිත්වේදනාවක් ඇතිවුනා තමා අතින් වෙච්ච වැරැද්ද ගැන හිතලා. . ඇය ඉක්මනින් ස්වාමීනි! නතරවන්න, ස්වාමීනි! නතරවන්න ආයාචනා කරමින් පසේ බුදුරජාණන් වහන්සේ පසුපස හඹා ගියා. ඉක්මනින් නැවත පාත්‍රය ඉල්ලා ගත ඇය මඩ ඉවත දමා පාත්‍රය සෝදා සුවඳ කුඩුවලින් උලා ප්‍රණීත බත් චතුමධුර පුරවා මතුපිට ඉසින ලද නෙලුම්මලක ගැබෙහි වර්ණයට සමාන ගිතෙල්වලින් බබලන පාත්‍රය පසේබුදුන්ගේ අතෙහි තබා ‘යම්සේ මේ පිණ්ඩපාත දානය ආලෝකමත් වීද, එපරිද්දෙන් මගේ ශරීරයද අලංකාර වේවා’යි ප්‍රාර්ථනා කළාය. පසේබුදුන් වහන්සේ අනුමෝදකොට අහසට පැන නැගී නොපෙනී ගියා. ඒ යුවලද දිවි ඇතිතෙක් පින්කොට නැවතත් ස්වර්ගයෙහි උපත ලැබුවා.

උපකාර වූ මූලාශ්‍ර

මහාකාශ්‍යප තෙරණුවෝ අඞ්ගුත්තර නිකාය එතදග්ග පාළිය පළමුවෙනි වර්‍ගය