අපේ බුදුහාමුදුරුවෝ 360 (සන්තිකේ නිධානය)
තුරිත චාරිකා, අතුරිත චාරිකා
අංගුත්තරාපෙසු ජනපදයට ආසන්නයේ ආපන නම් නියම් ගමක් පිහිටා තිබුණා. එම නියම ගම ආපන නමින් හැඳින්වීමට හේතුව ඒ නියම්ගමෙහි ආපන ශාලා විසි දහසක් පමණ තිබීමයි. මෙසේ එහි ආපණ බහුල බැවින් එම නියම් ගම ආපණ යනුවෙන් ම ප්‍රසිද්ධ ව තිබුණ බව පෝතලිය සූත්‍ර වර්ණනාවේ සඳහන් වනවා.
තුරිත චාරිකා
තුරිත චාරිකා, අතුරිත චාරිකා යනුවෙන් භාග්‍යවතුන් වහන්සේගේ චාරිකා දෙ ආකාර වනවා. දහම් අවබෝධ කළහැකි තැනැත්තන්, දුරක සිටියත් වහා ඔවුන් වෙත යාම තුරිත චාරිකාවයි. උදාහරණ වශයෙන් මහා කස්සප උදෙසා කල පෙර ගමන ගත හැකියි. එම ගමනෙහි දී භාග්‍යවතුන් වහන්සේ මොහොතකින් ගවු තුනක් වැඩිය. ආළවක දමනයට, එමෙන්ම අංගුලිමාල දමනයට තිස් යොදුනක් වැඩියා. පුක්කුසාති හමුවට යොදුන් හතළිස් පහක දුරක් වැඩියා. මහා කප්පින වෙනුවෙන් යොදුන් එකසිය විස්සක්. ධනිය හමුවීමට ගමන් මග සත්සිය යොදුනක්, මේ අකාරයෙන් යම් පුද්ගලයෙක් අරම්භයාම හෝ ඒ වෙනුවෙන් ම කල ගමන “තුරිත චාරිකා” යනුවෙන් හැඳින්වෙනවා.
අතුරිත චාරිකා
ගම් නියම්ගම් නගර අනුපිළිවෙළින් දිනපතා යොදුනක් අඩ යොදුනක් වශයෙන් පිඬු පිණිස හැසිරීම් ආදියෙන් ලෝකයාට අනුග්‍රහ කරන ගමන “අතුරිත චාරිකා” නමින් හැඳින්වෙනවා. මේ චාරිකාවෙහි හැසිරෙන භාග්‍යවතුන් වහන්සේ මහා මණ්ඩලය, මධ්‍ය මණ්ඩලය අන්තො මණ්ඩලය යන මේ මණ්ඩල තුනෙන් එකක හැසිරෙනවා.
එහි මහා මණ්ඩලය නවසියයක් යොදුන් වනවා. මධ්‍යම මණ්ඩලය හයසියයක් යොදුන් වනවා. අන්තො මණ්ඩලය තුන්සියයක් යොදුන් වනවා. යම්කලෙක මහා මණ්ඩලයෙහි චාරිකා කරන්ට කැමති සේක්ද මහා පවාරණයෙන් පවරා ශුක්ල පක්ෂයෙහි පළමු වන දිනයෙහි මහා භික්ෂු සංඝයා පිරිවරා නික්මෙනවා. එවිට එහි හාත්පස යොදුන් සියයක් එකම කෝලාහලයක් බවට පත් වෙනවා. කලින් කලින් පැමිණි පිරිසට ආරාධනා සඳහා ඉඩ ලැබෙනවා. එවිට ඉතිරි මණ්ඩල දෙකෙහි සත්කාරය මහා මණ්ඩලයට ගලා එනවා. භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ ගම් නියම්ගමෙහි දවසක් දෙකක් වසන සේක් මහජනයාට ආමිෂ පිළිගැනීමෙන් අනුග්‍රහය දක්වමින් ධර්ම දානයෙන් ඔවුන්ට නිර්වාණයට උපනිශ්‍රය වූ කුසල් වඩමින් නව මසකින් චාරිකාව අවසන් කරනවා.
එමෙන්ම ඇතුළු වස භික්ෂූන්ගේ සමථ විදර්ශනා කටයුතු වේ නම් මහා පවාරණයෙන් නො පවරා පවාරණ සංග්‍රහ දී ඇසල පුන් පොහෝදින පවාරණය කොට නිකිණි මස පළමු වන දින මහා භික්ෂු සංඝයා පිරිවරා නික්ම මධ්‍ය මණ්ඩලයට පැමිණෙනවා. මෙලෙස මධ්‍ය මණ්ඩලයෙහි චාරිකාව සිව්මසකින් නිම කරනු ලබනවා. එවිට ඉහත කියූ පරිද්දෙන් ම ඉතිරි මණ්ඩල දෙකෙහි සත්කාරය මධ්‍ය මණ්ඩලයට ගලා එනවා. භාග්‍යවතුන් වහන්සේ පෙර ක්‍රමයෙන් ම ලෝකයට අනුග්‍රහය දක්වමින් අට මසකින් ඒ චාරිකාව නිම කරනවා.
සිව්මසක් විසූ වස් ඇති වුවත් භාග්‍යවතුන් වහන්සේ හික්මවිය යුතු සත්ත්වයෝ මුහුකුරා නොගිය ඉඳුරන් ඇත්තෝ නම්, ඔවුන්ගේ ඉඳුරන් මුහුකුරා යාම අපේක්ෂාවෙන් තවත් එක්මසක්, දෙමසක් තුන්මසක් සිව්මසක් වුවද එහිම වැඩ සිට ඉන් අනතුරුව මහා භික්ෂු සංඝයා පිරිවරා නික්ම යනවා. ඉහත කියන ලද පරිද්දෙන්ම ඉතිරි මණ්ඩල දෙකෙහි සත්කාරය අන්තො මණ්ඩලයව ගලා එනවා.
භාග්‍යවතුන් වහන්සේ පෙර ක්‍රමයෙන්ම ලෝකයාට අනුග්‍රහ දක්වමින්, සත් මසකින් හෝ සය මසකින් හෝ පස් මසකින් හෝ සිව් මසකින් හෝ චාරිකාව අවසන් කරනව.
මෙසේ මේ මණ්ඩල තුනෙහි යම්තැනෙක චාරිකා කරනුයේ ලාභ සත්කාර අරමුණින් නොවේ. දුප්පත්, බාල, දිරූ, රෝගී වූවවන්, ආදී අසරණ පුද්ගලයන් හට තථාගතයන් වහන්සේ මෙලෙස චාරිකාවෙහි හැසිරෙන විට ඔවුන්ට තථාගත දර්ශනය ලැබීමට භාග්‍ය උදා වෙනවා. එහි දී යම් අය සිත් පහන් කර ගන්නවා. සමහර අය ධර්මය අවබෝධ කර ගන්නවා, මගඵල නිවන් ලබනවා, කෙනෙක් මල් දම් ආදියෙන් පුදනවා, සමහරු හැන්දෙන් ශික්ෂාව පිරිනමනවා,. ඇතමෙක් මිථ්‍යා දර්ශනය අත්හැර සම්‍යක් දෘෂ්ටිකයෝ වනවා. මෙලෙස එය ඔවුන්ට බොහෝ කලක් හිත පිණිස සුඛ පිණිස පවතී යැයි මෙසේ ලෝකයාට අනුකම්පාවෙන් චාරිකා කරනවා.
තවද කරුණු හතරකින් භාග්‍යවත් බුදුවරු චාරිකාවෙහි හැසිනව. සංඝා විහාර වශයෙන්, ශරීර පහසුව පිණිස, අර්ථ උත්පත්ති කාලයක් කැමති බැවින්, භික්ෂූන්ට සිකපද පනවනු පිණිස ඒ ඒ තැන මුහුකුරා ගිය ඉන්ද්‍රිය ඇති අවබෝධ කළ යුතු සතුන්ට අවබෝධය ලබා දෙනු පිණිස යනුවෙන්.
තවත් කරුණු සතරකින් භාග්‍යවත් බුදුවරු චාරිකාවෙහි හැසිරෙති. ‘බුදුන් සරණ යන්නාහුය කියා හෝ’ දහම් සරණ යන්නාහුය කියා හෝ ‘සඟ සරණ යන්නාහුය කියා හෝ ‘මහත් වූ දහම් වැස්සෙන් පිරිස සන්තර්පණය කරන්නෙමුයි කියායි.
තවත් කරුණු පසකින් භාග්‍යවත් බුදුවරු චාරිකාවෙහි හැසිරෙති. ‘පාණාතිපාතයෙන් වෙන් වන්නාහුය. අදින්නාදානයෙන්, කාමේසු මිච්ඡාචාරයෙන්, මුසාවාදයෙන්, සුරාමෙරය මජ්ජපමාදට්ඨානයෙන් වෙන් වෙන්නාහුය කියා හෝ යනුවෙන්.
තවත් කරුණු අටකින් භාග්‍යවත් බුදුවරු චාරිකාවෙහි හැසිරෙනවා. එනම් ‘ප්‍රථම ධ්‍යානය ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යාන, චතුර්ථධ්‍යානය ආදී පිළිවෙළින් ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තිය ලබන්නා අය සඳහා
තවත් අට කරුණකින් භාග්‍යවත් බුදුවරු චාරිකාවෙහි හැසිරෙනවා එනම් . ‘සෝවාන් මාර්ගය සෝවාන් ඵලය සකුරදාගාමි මාර්ග ඵල, අනාගාමී මාර්ග ඵල, අරහත් මාර්ග ඵල සාක්ෂාත් කරන්නාහුය කියා හෝ යනුවෙන්.
මෙම අතුරිත චාරිකාවද මෙහි චාරිකායැයි අදහස්කරන අතර එයද දෙ වැදෑරුම් වනවා. ඒ ‘අනිබද්ධ චාරිකා නිබද්ධ චාරිකා යනුවෙන්. එහි ගම් නියම්ගම් නගර පිළිවෙළ වශයෙන්ම හැසිරේ නම් මෙය අනිබද්ධ චාරිකා නම් වනවා. එකම අවබෝධ කළ යුතු සත්ත්වයකු පිණිස හැසිරේ නම් මෙය නිබද්ධ චාරිකා නම් වනවා.
ඉතින් මෙලෙස අංගුත්තරාප ගමට බුදුරජාණන් වහන්සේ වැඩියේ භික්‍ෂුන් වහන්සේලා එක්දහස් දෙසිය පනසක් සමගයි. එහි විශේෂයක් වන්නේ මෙම භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම ශ්‍රාවක සන්නිපාතයෙහි එක්රැස් වූ එහි භික්‍ෂු භාවයෙන් පැවිදි වූ රහතන් වහන්සේලා වීමයි.
උපකාර වූ මූලාශ්‍ර
අම්බට්ඨ සූත්‍ර වර්ණනාව, පෝතලිය සූත්‍ර වර්ණනාව,
සේල සූත්‍රය