අපේ බුදුහාමුදුරුවෝ 358 (සන්තිකේ නිධානය)
විශාඛාව (මිගාරමාතාව) ප්‍රථම වතාවට බුදුරජාණන් වහන්සේ හමුවීම සහ සෝවාන් ඵලයට පත්වීම.
දන් දීමෙහි ඇලුම් ඇති උවැසියන් අතුරින් අග්‍රය යන ආශීර්වාදය බුදුරජාණන් වහන්සේ වෙතින් විශාඛා මිගාරමාතාව ලබාගත්තත් එහි මූල බීජය හටගනු ලබන්නේ මීට කල්ප ලක්ෂගණනකට පෙර පියුමුතුරා බුදුරජාණන් වහන්සේ අභියසයි. පියුමුතුරා බුදුන්ගේ කාලයේ ඇය හංසවතියෙහි කුල ගෙයක ඉපිද සිටියා. ඒ කාලයේත් මෙකල වගේම නිතරම බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් දර්මය ශ්‍රවණය කිරීමට කැමැත්තක් දැක්වූවා. එක් දවසක් එලෙස ශාස්තෘන්වහන්සේගේ ධර්මදේශනය අසමින් සිටින විට එක් උවැසියක දායිකාවන් අතුරින් අගතැන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින් දහම් කොට ඇයද ඒ තනතුරම පැතුවාය. ඒ භාග්‍යවතුන් වහන්සේගෙන් ඇයට ඒ වරම ලැබුණා. ඉන් පස්සේ කල්ප ලක්‍ෂයක් දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරා කාශ්‍යප බුද්ධකාලයෙහි නැවතත් මෙළොව ඉපදුණා. ඒ කිකී කාශි රජුගේ නිවසෙහි සිටි සොහොයුරියන් සත්දෙනාගෙන් සියල්ලනටම බාලයා හැටියට. ඒ සොහොයුරියන් සත් දෙනාගේ නම් තමයි.
1.සමණී
2.සමණගුත්තා
3.භික්‍ඛුනී
4.භික්‍ඛුදායිකා
5.ධම්මා
6.සුධම්මා සහ
7.සංඝදාසී යන අය. මේ සත් සොහොයුරියෝ වූවා. ඔබ පුදුම වේවි ඒ අය මෙකල අපගේ සාසනයේ ප්‍රධාන චරිත.
මම මිට පෙරත් වෙස්සන්තර ජාතකය අවසානයේ මේ ගැන ලියා තිබෙනවා වගේ මතකයි. ඔවුන් මෙකල පිළිවෙළින්
1.ඛෙමා
2. උපපලවණ්ණා
3.පටාචාරා
4.ප්‍රජාපතී ගොතමි
5. ධම්මදින්නා
6. මහාමහා සහ සත් වැනි වූ
7. විශාඛා වැනි ප්‍රබල චරිත.
ඒ අය අතරින් සඞ්ඝදාසී තොමෝ එක් බුද්ධාන්තරයක් දෙවි මිනිසුන් අතුරෙහි සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි අඟුරට භද්දිය නගරයෙහි මෙණ්ඩක සිටුපුත් ධනඤ්ජය සිටුගේ අගමෙහෙසියවූ සුමනා නම් දේවියගේත් කුසෙහි උපන්නා. ඔවුන් ඇයට විශාඛායයි නම් කළා. මේ කාලේ මිට පෙර පැවසූ පරිදී අපේ බුදුහාමුදුරුවෝ සැරියුත් මුගලන් දෙනමට අගසවු තනතුරු ප්‍රධානය කිරීමෙන් අනතුරුව භද්දිය නගරයට වඩිමින් සිටියේ. ඒ විශේෂ හේතුවක් නිසා. ඒ ඇයට සත්අවුරුදු වන කාලය වනවිට ඇයගේද, සේල බමුණාගේද අනෙක් ධර්මාවබෝධ කරවිය හැකි නෑදෑයන්ගේද හේතුසම්පත් දැක මහබික්සඟන විසින් පිරිවරන ලදව චාරිකාවෙහි හැසිරෙමින් එරටෙහි ඒ නුවරට සැපැමිණියා.
ඒ කාලයේ මෙණ්ඩක ගෘහපති තුමා ඒ නුවර සිටි මහ පින්වතුන් පස්දෙනා අතුරින් ජ්‍යෙෂ්ඨයාවී සිටුතනතුරක් කරමින් සිටියේ. ඔහුව රජ්ජුරුවන්ට මහා සම්පතක්. ඒ මහා පින්වතුන් පස්දෙනා තමයි
1. මෙණ්ඩක සිටු
2. චන්‍දපදුමා නම් වූ ඔහුගේම අගමෙහෙසිය
3. ඔහුගේම පුත් ධනඤ්ජය
4. ඔහුගේ බිරියවූ සුමනාදේවි සහ
5.මෙණ්ඩක සිටාණන්ගේ පුණ්ණ නම්වූ දාසයාද යන අයයි.
මෙණ්ඩක සිටුපමණක්ම නොවයි බිම්සර රජුගේ අණ පවතින භුමියේ අමිතභොගී නම්වූ පස් දෙනෙක් ද වුණා . ඒ අය නම්
1. ජොතිය
2. ජටිල
3. මෙණ්ඩක
4. පුණ්ණක හා
5. කාකවලිය යන අයයි.
ඔවුන් සියලූම දෙනා මහා ධනවතුන්. දැන් ඔබට තේරෙන්නට ඕනේ මෙණ්ඩක සිටුතුමා ධනවතුන් අතරත් පින්වතුන් අතරත් අගතැන්පත් ව සිටි බව. එදා භාග්‍යවතුන් වහන්සේත් වැඩම, කලේ මේ පින්වන්ත මෙණ්ඩක සිටුතුමා ජීවත්වුණ නුවරට. ඔවුනටත් ඒ වනවිට උන්වහන්සේගේ පැමිණීම දැනගන්නට ලැබිලා තියෙන්නට ඇති. භාග්‍යවතුන්වහන්සේ සැපත්වනබව අසා මෙණ්ඩක සිටුතුමා පුත් ධනඤ්ජය සිටුගේ දූ විශාඛාදැරිය කැඳවා මෙහෙම කීවා.
“දුව, නුඹට ද මඟුලකි, අපට ද මඟුලකි. ඔබගේ පරිචාරිකා දැරියන් පන්සිය සමඟින් රිය පනසියයක නැඟී දැස්සන් පනසියයක් විසින් පිරිවරනා ලදුව භාග්‍යවතුන්වහන්සේට පෙර ගමන් කරව ‘ය
ඇයද සීයාගේ වචනය අසා එසේ කළා. ඇය කාරණාකාරණයන්හි දක්ෂතාව ඇති බැවින් යානයෙන් යා යුතු දුර යානයෙන් ගොස් යානයෙන් බැස පාගමන් යායුතුව ඇති දුර පාගමනින් ගොස් භාග්‍යවතුන්වහන්සේ වෙත එළඹ එකත්පසෙක සිටියා. එවිට ඇයට වයස අවුරුදු හතක් කියා මා අසා තිබෙනවා. අපගේ ශාස්තෘන්වහන්සේත් ඇයගේ පැමිණීම බලපොරෝතුන්ම ඉන්න ඇති. අවසානයේ භාග්‍යවතුන් වහන්සේ ඇයට චරිත වශයෙන් දහම් දේශනා කරනු ලැබුවා. ඒ දෙසුම අවසානයේ ඇය සෝවාන් ඵලයෙහි පිහිටා හෙට දිනය සඳහා ශාස්තෘන්හන්සේට නිමන්ත්‍රණයකොට දෙවැනි දිනයෙහි තම නිවසෙහි ප්‍රණීත වූ කෑ යුතු හා බිදිය යුතු දෙයින් බුදුපාමොක් බික්සඟන වළඳවා මේ ක්‍රමයෙන් ම අඩ මසක් මහ දන් දුන්නා. මෙසේ ශාස්තෘන්වහන්සේ භද්දිය නුවරෙහි කැමැතිපරිද්දෙන් වැඩ වාසය කරනු ලැබුවා.
උපකාර වූ මූලාශ්‍ර – විසාඛාවත්‍ථු ඛුද‍්දකනිකාය