අපේ බුදුහාමුදුරුවෝ 357  (සන්තිකේ නිධානය)

 

බුදුන් දැකීම ප්‍රතික්ෂේප කල  අගසවු දෙනමගේ ගුරුවරයා වූ සංජය

ඉතින් මේ විදිහට සියල්ලම යහපත්ව සිදුවුනා. එවලෙහි අගසවු දෙනම බුදුරජාණන් වහන්සේට  වැඳගෙනම නිසලවම සිටියා. දැන් පරිසරයම නිහඬයි. සාරිපුත්ත මොගල්ලාන දෙනමට බුදුරජාණන් වහන්සේ වෙත පවසන්න යම්  කරුණක් තිබ්බා. ඒ තමයි ඔවුන්ගේ ගුරුවරයා සංජය පිළිබධව. දැන් තමයි හොඳම වෙලාව. ඔවුන් බුදුපියාණන් වහන්සේට වන්දනා කරමින්ම මෙලෙස පවසන්නට පටන් ගත්තා.

ඔවුන් ස්වාමීනි, අපි දෙදෙන ගිහිගෙයි සිටින කාලයේ ගිරග්ගසමජ්ජය බැලීමට ගියෙමු යි අස්සජි තෙරුන් හමුවෙහි සෝවාන් ඵලයට පැමිණීම දක්වා වූ සියලු වර්තමානකාලික කථා පුවත පවසන්නට වුණා, (මීට පෙර මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් ලියා තිබෙනවා)  ඉන් පස්සේ තම ගුරුවරයා කොතරම් ආයාචනය කෙරුව ද බුදුන් හමුවීමට නොපැමනීම සම්බන්ධව මෙලෙස කියා සිටියා.  

ස්වාමීනි, අප අපේ ආචාර්යයන්ට ඔහුගේ ලබ්ධියෙහි නිසරු බව අප විසින් පෙන්වා දුන්නා. පෙන්වා දී , ඔබ හමුවට ඒමෙහි වටිනාකමද කියා දුන්නා. එහෙත් අභාග්‍යක මහත ඔහු එක්පයින්ම කියා සිටියේ දැන් මා හට තවත් කෙනෙකුගේ  අතවැස්සකු වීමට බැරි බවයි. ඊට හේතුව වුනේ සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම ඔහුගේ ශිෂ්‍යභාවය ගත් පසු ඔවුන්ගේ පිනට පිරිවර වැල නොකැඩී සුවඳ මල් ආදී දෑ රැගෙන ඔහු වෙත ඇදී ඒමයි. එහෙත් දැන් තත්වය වෙනස්. ඔවුන් ඒ බව ඔහුට පෙන්වා දුන්නා. ඇදුරුතුමනි දැන් මිනිස්සු සුවඳ මල් ආදිය ගෙන ගොස් බුදුරදුන්ම පුදන්නට යනවා.  එදා මෙන්  ඔබව  පුදන්නට එන්නේ නැහැ.  ඉතින් එවිට ඔබට අනාගතයේ  කුමක් සිදු වේද? ඔවුන් අසා සිටියා. එහෙත් බුදු කෙනෙකුගේ පහස සංසාරය පුරාවට සොයා පැමිණි විමුක්තිය තම දෙපතුල වෙතට ම පැමිණ සිටියත් අධික මාන්නය මිත්‍යා දෘෂ්ටිය ඔහුගෙන් එය වසන් කරනු ලැබුවේ හරිම අවාසනාවන්ත ලෙස. එය අපටත් හොඳ පාඩමක්. එහෙත් ඔහු බුදුරජාණන් වහන්සේ ව විවේචනයට භාජනය කලේ නැහැ. ඒ වෙනුවට ඔහු මෙවැනි ප්‍රශ්නයක් මා වෙත යොමු කලා බුදු පියාණන් වහන්ස.

සාරිපුත්ත, මෙලොව වැඩියෙන් සිටින්නේ පණ්ඩිතයෝ ද, නැතහොත් මෝඩයෝ දැයි ඔහු  අපෙන් ඇසුවා. ඇදුරුතුමනි, මෝඩයෝ බොහෝ ය, පණ්ඩිතයෝ අල්පයි අපි උත්තර දුන්නා. එසේ නම් පණ්ඩිතයෝ පණ්ඩිත වූ ශ්‍රමණභවත් ගෞතමයන් වෙත යනවා. මෝඩයෝ මෝඩ වූ මා සමීපයට එනවා. ඒ නිසා ඔබ දෙපළද යන්න. මට එන්නට බැහැ දැන්.

 ඒ ඇසු තථාගතයන් වහන්සේ, මරණෙනි, සංජය තමන්ගේ මිසදිටු බව නිසා අසාරය සාර ලෙසත්, සාරය අසාර ලෙසත් ගත්ත. ඔබලා තමන්ගේ ඥානවන්ත කම නිසාම  සාරය සාර ලෙසත් අසාරය අසාර ලෙසත් දැන අසාරය හැර සාරයම තෝරා ගත්ත යැයි වදාරමින් මෙම ගාථාව දේශනා කරනු ලැබුවා.

“අසාරෙ සාරමතිනො, සාරෙ චාසාරදස‍්සිනො;

තෙ සාරං නාධිගච‍්ඡන‍්ති, මිච‍්ඡාසඞ‍්කප‍්පගොචරා.

සරු දෙය නිසරුයයි නිසරු දෙය සරුයයිද ගත්

වැරදි දැකුම ඇතියන්හට සාරයක් කිසිදාක නොලැබේ

“සාරඤ‍්ච සාරතො ඤත්‍වා, අසාරඤ‍්ච අසාරතො;

තෙ සාරං අධිගච‍්ඡන‍්ති, සම‍්මාසඞ‍්කප‍්පගොචරා”ති.

සරු දෙය සරුමයයි නිසරු දේ ඒ ලෙසම දුටු

හරි කල්පනා ඇති අය සැම කල්හි නිවනට යති

එහි අසාරෙ සාරමතිනො යනුවෙන් සඳහන් වන්නේ  සිව්පසය දසවස්තුක මිථ්‍යාදෘෂ්ටියයි. ඊට ආශ්‍රය වන ධර්මදේශනාදිය අසාර නම් වනවා. එහි සාරදර්ශීව සිටින අය යනු අර්ථයි. එමෙන්ම සාරෙවාසාරදස්සිනො යනු දශවස්තුක සම්‍යදෘෂ්ටියයි, ඊට ආශ්‍රය වන ධර්මදේශනාදි කරුණු සාර නම් වේ. ඒ කරුණු ගැන මේවා සාර නැතැයි ගත් අසාරදර්ශකයෝ යනු අර්ථයි. තෙ සාරං යනු ඒ මිථ්‍යාදෘෂ්ටි ග්‍රහණය ගෙන සිටියා වූ අය කාමවිතර්කාදි වශයෙන් මිථ්‍යා සංකල්පයට යටත් වී, සීල සාරය, සමාධි සාරය, ප්‍රඥා සාරය, විමුක්ති සාරය, විමුක්තිඥානදර්ශනසාරය, පරමාර්ථ සාරය යන මේ අවස්ථාවලට නො පැමිණෙන බවයි. මෙලෙස තව දුරටත් අට්ඨ කථාවන්හි එම ගාථා විස්තර වනවා.

 බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ මේ ගාථා කෙළවර බොහෝ අය සෝවාන් ඵලාදියට පැමිණියා කියලා සඳහන්. ඒ වගේම  රැස්වූවන්ට එය සාර්ථක ධර්ම දේශනාවක් වුනා කියලත් පෙළෙහි සඳහන්.  ඉතින් අගසවු කථාවස්තුව මෙලෙස නිම වෙනවා.

උපකාර වූ මූලාශ්‍ර –  සාරිපුත‍්තත්‍ථෙරවත්‍ථු