අපේ බුදුහාමුදුරුවෝ 355 (සන්තිකේ නිධානය)
සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා
අගසවු තනතුරු පැතූ අතීත කතා පුවත බුද්ධ වචනයෙන් 04
තමන්ගේ ගෝල පිරිස අරහත් භාවයට පත් වෙද්දීත් සරද තවුසා අර්හත්භාවයට පත්නොවූයේ නැහැ. ඊට හේතුව වන්නේ විපිළිසර සිතක් ඇතිවූ හින්දා. ඔහු බුදුන් ළඟ දෙවෙනි අසුනේ හිඳිමින් ශ්‍රාවකපාරමීඥානයෙහිම පිහිටා දහම් දෙසන අග්‍රශ්‍රාවකයන්ගේ ධර්ම දේශනාව අසන්නට පටන් ගත්තා. ඔහුට ඒ වෙලාවේ මේ ශ්‍රාවකයන් ලැබූ ධුරය මටත් යම් දිනක ලබාගත හොත් මැනවි යන සිතක් පහළවුණා. ඔහු ඒ කල්පනාවෙන් ම යුක්තව බණ ඇසූ නිසා මාර්ගඵලාවබෝධයක් ලබාගත නො හැකි වුනා. අවසානයේ ඔහු බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමින් මෙහෙම ඇසුවා. ස්වාමීනි, ඔබ වහන්සේ ළඟමවූ ආසනයේ සිටි භික්ෂුව ඔබ සසුනේ කවර තනතුරක් දරන්නෙහි ද?
එවිට ඒ අනෝමදස්සි බුදු පියාණන් වහන්සේ මෙලෙස උත්තර දුන්නා. ඒ “ම විසින් පවත්වනු ලබන ධර්ම චක්‍රය නැවත පවත්වන්නා වූ හෙතෙම ද ශ්‍රාවකපාරමීඥානයෙහි කෙළවරට පැමිණ සොළොස්ඥානය පිළිසිඳ දැන සිටින මගේ සසුනෙහි අග්‍රශ්‍රාවක නම් වේයයි” යනුවෙන්.
මෙය අසා සිටි සරද තාපස තුමා තම හිත යට සැඟවී සිටි පාරමිතාව මෙලෙස හෙළි කළා. “ස්වාමීනි, මම සතියක් මල් කුඩයක් දරමින් බුදුන්ට උපහාර පුජා කළෙමි. එසේ කළ මම මේ පුණ්‍ය ඵලයෙන් ශ්‍රාවක භාවයක් හෝ බ්‍රහ්ම භාවයක් හෝ නො පතමි. අනාගතයේ දී මේ නිසඟ තෙරුන්මෙන් එක් බුදුවරයන්වහන්සේ නමක ගේ අගසවු වෙම්වා යි පතන්නෙමි යි” කීවා. ශාස්තෘන්වහන්සේ මේ පුරුෂයාගේ ප්‍රාර්ථනාව ඉටු වන්නේ දැයි අනාගත ඥානය විහිදුවා බලා, මෙයින් වර්ෂ ඒකාසංඛ්‍යාකල්ප ලක්ෂයක් ගිය තැන මෙම ප්‍රාර්ථනාව ඉටුවන බව දුටුවා. එසේ දැක සරද තවුසා අමතා මෙසේ ප්‍රකාශ කරනු ලැබුවා.
ඔබේ මේ ප්‍රාර්ථනාව හිස් නොවන්නේය. වර්ෂ එකාසංඛ්‍යාකල්ප-ලක්ෂයක් ගිය තැන ගෞතම නම් බුදුවරයෙක් ලොව පහළ වන්නේ ය. උන්වහන්සේගේ මව මහා මායා දේවියයි. පියා ශුද්ධෝදන නම් රජු ය. පුතා රාහුලය. උපස්ථායක ආනන්ද නම් තෙරණුවෝය. ද්විතීය ශ්‍රාවක නම් මුගලන් තෙරණුවෝය. නුඹ වනාහි ඒ බුදුරදුන්ගේ අග්‍රශ්‍රාවක ධර්ම සේනාපති වන්නේ යයි වදාරනු ලැබුවා. මෙසේ තවුසාට විවරණ දී දැහැමි කතා කොට අවසානයේ භික්ෂු සංඝයා පිරිවරා අහසට පැන නැංගා.
උපකාර වූ මූලාශ්‍ර – සාරිපුත‍්තත්‍ථෙරවත්‍ථු