අපේ බුදුහාමුදුරුවෝ 350 (සන්තිකේ නිධානය)
අගසව් තනතුර දීමෙන් පසු මුහුණු බලා තනතුරු දෙනවා යැයි බුදුන් ලද චෝදනාව 01
එදා එලෙස බුදුපියාණන් වහන්සේ පිරිස පිරිවරා සවස් වේලාවෙහි ශ්‍රාවක සංඝයා එක්තැන් කොට ඒ තෙරවරුන් දෙනමට අගසවු තනතුරු දී පාමොක් ද දේශනා කරනු ලැබුවා. පසුව රැස්වුණ භික්ෂූන් හට මෙලෙස වැරදි අදහසක් පහල වුනා. බුදුරජාණන් වහන්සේ මුහුණ බලා තනතුරු දෙති, හරිනම් අගසවු තනතුරු දෙන විට පළමුව පැවිදි වූ පස්වග මහණුන්ට දිය යුතුයි. ඔවුන් ගැන නොසලකතොත් ඊළඟට යස තෙරුන් ප්‍රමුඛ පනස්පහක් වූ භික්ෂු පිරිසට දිය යුතුයි. ඔවුන් ගැනත් නොසලකන්නේ නම් හද්‍රවර්ගීයයන්ට දිය යුතුයි. ඔවුනුත් සැලකිල්ලට නොගැනේ නම් උරුවේල කාශ්‍යපාදි තුන්බෑ ජටිලයන්ට දියයුතුයි. බුදුරජාණන් වහන්සේ මේ සියල්ලන්ම හැරදමා සියල්ලන්ටම පසුව පැවිදි වූවන්ට අගසවුතනතුරු දීම නම් අපි දකින්නේ මුණ බලා කළ ක්‍රියාවක් ලෙසයි. පෘතග්ජන භික්ෂූන් එලෙස දොස් නගන්නට වුනා
මෙම කුසුකුසුව මෙහෙම යනවිට බුදුරජාණන් වහන්සේට මෙය දිවැසින් පෙනිගියා. අද එදා කියලා වෙනසක් නැහැ. මිනිසුන් හැමදේකම දොසක් තමයි හොයන්න උත්සාහ කරන්නේ. බුදුරජාණන් වහන්සේ ඔවුන්වෙත එළඹ මම පැමිණීමට පෙර කුමක් කතා කරමින් සිටියේදැයි විමසා සිටියා. ඔවුන් හැබැයි අද වගේ බොරු කිවේ නැහැ. අපි මෙසේකථා කෙළෙමු යයි කතා කල දේ නොසඟවා පැවසුවා. මේ සියල්ල ඉවසීමෙන් අසා සිටි අපේ බුදුහාමුදුරුවෝ ඔවුන් හට මෙලෙස දීර්ඝ අතීත කතාපුවතක් දේශනා කිරීමට මුලපිරුවා. මෙම අතීත කතා පුවත ඔබටද මටද අදටත් අදිෂ්ඨානයක ඇති බලය ශක්තිය පෙන්වා දෙනවා.
මහණෙනි, මම මූණ බලා ආහාර හෝ තනතුරු දෙන්නෙක් නොවෙයි. මේ දෙදෙනා තමතමන් පතා ආ දෙයක්ම ඔවුනට ප්‍රධානය කරනු ලැබුවා. අඤ්ඤාකොණ්ඩඤ්ඤ එකම කන්නයක (අස්වනු වාරයක) නව වරක් අග්‍රසශ්‍ය දන් දුන්නත් අගසවු තනතුරු පතා දුන්නේ නම් නැහැ. අග්‍රධර්මය වූ අර්හත්වය සියල්ලන්ට පළමුව අවබෝධ කර ගැනීම ප්‍රාර්ථනා කරමින් ම තමයි ඔවුන් එදා ඒ මහා දන් දුන්නේ. එවිට භික්ෂුන්, භාග්‍යවතුන්වහන්ස, ඒ කවදාද? එසේ නම් මහණෙනි, අසව්යයි වදාළ කල්හි ඔවුහු එසේ යයි පිළිවදන් දුන්නා. භාග්‍යවතුන් වහන්සේ ඒ දීර්ඝ අතීතය ගෙනහැර පාමින් මෙසේ වදාරනු ලැබුවා.
මහණෙනි, මීට කල්ප අනූ එකකට පෙර විපස්සි නම් බුදුවරයෙක් ලොව පහළ වුනා. ඒ කාලේ මහාකාළ-චූළකාළ යයි කෙළෙඹි සොහොයුරෝ දෙදෙනෙක් විශාල ඇල්කෙතක් වැපුරූවා. පසුව එක් දිනක චූළකාළ වී කෙතට ගිහින් එක් හැල් කරල්ගැබක් පලා රස බැලුවා. එය ඉතා මිහිරි රැසක් ගෙන දුන්නා. හෙතෙම බුදුන් ප්‍රමුඛ මහසඟනට හැල්ගැබ් (බණ්ඩි) දානයක් දෙනු කැමැත්තෙන් දෙටු සොහොයුරා ළඟට ගොස් “ සොහොයුරාණනි, හැල් බණ්ඩි පලා බුදුන්ට උචිත සේ පිස දානයක් දෙමුදැයි වචාරනු ලැබුවා. එවිට ඔහු “දරුව, කුමක් කියන්නෙහිද? හැල්බණ්ඩි කරල් පලා දන් දීමක් අතීතයේ කිසි විටක නොවීය. අනාගතයේදීත් එබන්දක් වීමට නුපුළුවන. නිකම් අස්වනු විනාශ නොකරන්නැයි” කියද්දීත් හෙතෙම නැවත නැවතත් ඇවිටිලි කරනු ලැබුවා. ඉත්පසු ඔවුන් දෙදෙනාගේ කෙත දෙකට බෙදා මගේ කොටසට අත නොතබා ඔබේ කොටසට කැමැත්තක් කරගන්නැයි කියා සිටියා. ඔහු මැනවැයි කෙත බෙදා බොහෝ මිනිසුන් වැඩෙහි යොදවා හැල්ගැබ් පලා දිය නුමුසු කිරිවලින් පිසවා ගිතෙල් මීපැණි හකුරු ආදියද දමා බුදුන් ප්‍රමුඛ භික්ෂු සංඝයාට දන්දී බත්කිස කෙළවර ස්වාමීනි, මේ මගේ අග්‍රදානය සියල්ලන්ට ප්‍රථමව අග්‍රධර්මය අවබෝධය පිණිසම වේවායි ප්‍රාර්ථනා කරනු ලැබුවා. බුදුරජාණන් වහන්සේ එය එසේම වේවායි අනුමෝදනා කරනු ලැබුවා.
ඔහු ඉන් පසුව ඇල්කෙතට ගොස් බලන විට මුළු කෙතම ඇල්කරල් මිටි බැන්දාක් මෙන් ඇල්කරලින් ගැවසී ගෙන තිබෙනු දැක පස්වනක් ප්‍රීතිය ලැබ මට වූයේ මහා ලාභයකියි සිතා, නැවත නැවතත් දන් දෙන්නට සිත පහල කර ගත්තා. නොමේරූ කාලයෙහි පුථුකග්ග (හබලපෙති) නම් දානයක්ද, ගොයම් කපන කාලයෙහි දායග්ග නම් දානයක්ද, ගොයම් කපා උප්පිඩි (කුඩා මිටි) කරන කාලයෙහි වෙණග්ග නම් දානයක්ද, මහපිඩි (ලොකුමිටි) කරන කාලයෙහි කලාපග්ග නම් දානයක්ද, කමතට අදින කාලයෙහි කළග්ග නම් දානයක්ද, ගොයම් පාගන කාලයෙහි ඛළහණ්ඩග්ග නම් දානයක්ද, වී අටුවේ තැන්පත් කරන වේලෙහි කොට්ඨග්ග නම් දානයක් දැයි මෙසේඑක් සශ්‍ය වාරයක (කන්නකදී) දින නවවරක් අග්‍රදාන දෙනු ලැබුවා. ඒ හැම වරකදීම ගත් ගත් තැන් කරලින් වීවලින් පිරී ගියා. අස්වනු අතිරේක වශයෙනුදු වැඩී ගියා. මේ ධර්මය නම් රැකි පමණින් තමන්ද රැකෙනසුලු වේ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ද මෙසේ වදාරනු ලැබුවා.
“ධම්මෝ හවෙ රක‍්ඛති ධම්මචාරිං,
ධම්මෝ සුචිණ‍්ණො සුඛමාවහාති,
එසානිසංසො ධමෙම සුචිණෙණ,
න දුග‍්ගතිං ගච්ඡති ධම්මචාරී”ති. (ථෙරගා· 303; ජා· 1.10.102)
දැහැමි ලෙස හැසිරෙන අය දහමෙන් ම සුරැකෙති
දහම පුහුණු කළ විට සුබ සැපතක්ම ගෙන දේ
දහම පුහුණු කළ විට මේ අනුසස් ම ගෙන දේ
කිසි දා කිසි ම විට ඔහු දුගතියක නොවැටෙයි.
ඒ විතරක් නෙවෙයි, මෙසේ මොහු විපස්සි බුදුන් සමයෙහිත් අග්‍රධර්මය පළමුවෙන් අවබෝධ කිරීමට ප්‍රාර්ථනා කරමින් මෙලෙසම නව වරක් අග්‍රදන් දුන්නා . ඒ විතරක්ද නෙවෙයි, මින් කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුන් කාලයෙහිදීත් සත්දිනක් මහදන්දී ඒ බුදුන්ගේ පාමුල වැඳ වැටී අග්‍රධර්මය පළමුව අවබෝධ කර ගැනීමම ප්‍රාර්ථනා කරනු ලැබුවා. මෙසේ ඔහු විසින් පතාගෙන ආ දෙය මම දුනිමි. මම මූණ බලා යමක් දෙන්නෙම් නොවෙමි. බුදුරජාණන් වහන්සේ මහත් වූ කරුණාවෙන් දේශනා කරනු ලැබුවා.
උපකාර වූ මුලාශ්‍ර – සාරිපුත‍්තත්‍ථෙරවත්‍ථු