අපේ බුදුහාමුදුරුවෝ 343 (සන්තිකේ නිධානය)

 

සාරිපුත්ත තෙරුන් ධර්මාවබෝධය ලද ගැඹුරු සුත්‍ර දේශනාව 01

වේදනා පරිග්‍රහ සුත්‍රය

මේ වනවිටත් සැරියුත්තෙරණුවෝ පැවිදි වෙලා අඩමසක් පමණ ඉක්මවා ගිහින්. ඒ මොහොත වනවිට උන්වහන්සේ බුදුරදුන් සමඟ රජගහනුවර සමීපයෙහි තිබුන ගිජුකුළුපව්වෙහි සූකරඛත නම් වූ ලෙනෙහි වැඩ වාසය කරමින් සිටියේ. ඒ ලෙන ගැනත් ලස්සන නිධාන කතාවක් තියෙනවා.එය කාශ්‍යප බුදුන් කාලයේ පරිහරණය කරන ලද්දක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ සිටියාද කියලා හරියටම පැහැදිලි නැහැ. ඒ ලෙන එලෙස එක් බුද්ධාන්තරයක් පොළොව වැඩෙන කල පොළොව තුළට ගිලා බැහැලා තිබුනේ. ඉන්පස්සේ එක්දවසක් කොහෙද සිට පැමිණි පින්වත් ඌරෙක් එහි වහල කෙළවර සමීපයෙහි පස් හාරන්නට වුණා. මෙම කතාව ඉවරවනවිට ඌරා පින්වත් වුනේ කොහොමද කියලා ඔයාටම තේරේවි. ඉන් පස්සේ වස්සාන කාලය එළඹුණා. වැසිජලය වැටෙන විට ඌරා විසින් හාරපු වලේ පස් ඉබේටම වගේ සේදී වහලේ කෙළවර පෙනෙන්නට පටන් ගත්තා. එය වනචාරියෙක් දැක පෙර සිල්වතුන් විසින් පරිභෝග කරන ලද ලෙනක් වියයුතුයයි සිතා එය පිළිදැගුම් කරන්නෙමියි සිතා හාත්පස පස් ඉවත් කොට ලෙන සෝදා බිත්තියකින් ආවරණයක් කොට දොර කවුළු යොදා මැනවින් නිමකරන ලද සුණු පිරියම්, චිත්‍රකර්ම ඇති රිදීපටක් වැනි වැලි අතුරන ලද මිදුල ඇති ලෙනක් කොට ඇඳපුටුද පනවා අපගේ භාග්‍යවතුන් වහන්සේගේ වාසය පිණිස පරිත්‍යාග කරනු ලැබුවා. ලෙන ගැඹුරවුනා පහළට බැස නැගිය යුතු වුනා. මෙම කරුණු නිසාත් ඌරෙකු විසින් හාරන ලද්දක් වූ බැවිනුත් මෙම ලෙන සුකරඛත නමින් හැඳින් වූවා.

ඒ කාලේ සාරිපුත්ත තෙරණුවන්ට දීඝනඛ කියලා ඥාති පුතෙක් හිටියා. සාරිපුත්ත තෙරුන්වහන්සේ පැවිදිව අඩමසක් ගතවුණාට පස්සේ ඔහුට මෙහෙම සිතිවිල්ලක් පහල වුණා. “මාගේ මාමා වෙනත් පාෂාණ්ඩයකු වෙත ගොස් වැඩිකල් නොසිටී දැන් මේ ශ්‍රමණ ගෞතමයන් වෙත ගොස් අඩමසක් විය. ඔහුගැන ප්‍රවෘත්තියක් වත් නො අසමි. ශාසනය ඔදවත් විය යුතුය. එය දැනගන්නෙමිය” යනුවෙන් ඔහු බලන්නට යාමට සිතක් පහල වුණා. ඔහු සාරිපුත්ත තෙරුන් සොයමින් සූකරඛත ලෙනට එන විට තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පවන් සලමිනුයි සිටියේ. පිරිවැජියා මාමා කෙරෙහි භය සහ ලජ්ජාවෙන් සිටියදීම භාග්‍යවතුන් වහන්සේ වෙතට ප්‍රශ්නයක් යොමුකරනු ලැබුවා. එය ඉතාමත් ගැඹුරු දර්ම දේශණාවක් අරඹයා බුදුරජාණන් වහන්සේට ඇරයුම් කළා වගේ.

උපකාර වූ මුලාශ්‍ර 

මජ්ඣිමනිකාය » මජ්ඣිමපණ්ණාසපාළි » පරිබ්බාජකවග්ගො » දීඝනඛ සුත්‍රය